මූල්‍ය ප්‍රාග්ධනයේ ඒකාධිපතිත්වය: ග්‍රීසිය සහ යුක්රේනය

The dictatorship of finance capital: Greece and Ukraine

2015ජූනි 13

ග්‍රීසිය බංකොලොත්බව අද්දර වැනෙද්දී, යුරෝපා සංගමය එම නයගැති රට මත පීඩනය උත්සන්න කරමින් සිටී.

ග්‍රීසියට තම නය නැවත ගෙවන ලෙසද අලුත් නය සඳහා පූර්ව කොන්දේසියක් ලෙස විශ්‍රාම වැටුප් තව දුරටත් කපා හරින ලෙස ද ඔවුන් බල කරයි. යූරෝ මිලියන 300 නය ආපසු ගෙවීමේදී සිරිසාවේ සුළු ප්‍රමාදයට පිලිතුරු ලෙස, ග්‍රීසියේ රාජ්‍ය හා මූල්‍ය පද්ධතිය බංකොලොත්කමට තල්ලු කෙරෙන නය සැපයුම කපාහැරීමක් ගැන ඔවුහු තර්ජනය කලහ. මෙම තත්වය, තම බැංකු කඩාවැටීම වලක් වනු වස් ග්‍රීසියට නැවතත් තමාගේම මූල්‍ය ඒකකය නැවත හඳුන්වා දීමට ද යුරෝ මුදල් ඒකකය හා යුරෝපා සංගමය සමග බැඳීම් අවසන් කිරීමේ ක්‍රියාවලිය දියත් කිරීමටද ග්‍රීසියට බල කෙරෙනු ඇත.

බර්ලිනය “තද ස්ථාවරයක්, ‘ගැනීම හෝ අතහැරීමේ’ ප්‍රවේශයක්” තෝරා ගනිමින් සිටින බව ලියන ඊයේ පල වූ ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය, යුරෝපා කලාපයේ නිලධාරියෙකු උපුටා දක්වමින් “ඔවුන් ග්‍රීකයන්ගෙන් බලාපොරොත්තු වන එකම උත්තරය ‘ඔව්’ පමනකි” යැයි සටහන් කලේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපා මහ බැංකුව ග්‍රීක නිලධාරීන් සමග පැවැත් වූ සාකච්ඡාවෙන් පිටව යමින්, හිටපු පෝලන්ත අගමැති හා වර්තමාන යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක්, “දැන් අපට අවශ්‍ය සාකච්ඡා නොව තීරන”යයි පැවසීය. ග්‍රීසිය වෙත දක්වන සැලකිල්ල තවත් බංකොලොත් රටක් වන යුක්රේනය සමග සැසඳීම උපදේශාත්මකය. ග්‍රීසිය මත යුරෝපීය නිලධාරීන්ගේ ක්‍රියා කලාපය උපුටා දක්වන ලිපිය සහිත මුද්‍රනයෙහිම, ජ්‍යාමිතිකව විරුද්ධ ප්‍රතිපත්තියකට බල කෙරෙමින්, යුක්රේනයේ නය බොහොමයකට සමාව දෙන්නැයි නය දෙන්නන්ට ෆයිනෑන්ෂල් ටයිම්ස් තම කතුවැකියෙන් ආයාචනා කරයි.

“යුක්රේනයේ නය පවත්වා ගෙන යා හැකි මට්ටමකට අවම කිරීමේ ප්‍රතිව්‍යුහගතකිරීමකට එකඟවීමට” එහි නය දෙන්නන්ට “සදාචාරාත්මක බැඳීමක්” ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් ලියයි. “යුක්රේනයට නය දෙන්නන් එකඟතාවකට පැමිනීම ප්‍රතික්ෂේප කල හොත්, නය සේවා ගාස්තු මත ප්‍රමාද සහනයක් ප්‍රකාශ කිරීමේ හැකියාව ඉදිරිපත් කරන්නට එරටට අයිතියක් ඇති” බව පුවත් පත පවසයි. එනම්, ග්‍රීසිය කෙටි කලකට ජාමූඅ පිලිබඳව කලාක් මෙන්, කියෙව් හි ආන්ඩුවට තම නය කරුවන්ට ගෙවීම් පමා කරන්නට හෝ සම්පූර්නයෙන්ම අවලංගු කරන්නට අයිතියක් ඇති බවයි.

ග්‍රීසියේ මූල්‍ය හිරවීමට කිසිඳු බුරුලක් නොපෙන්වන යුරෝපීය මූල්‍ය ප්‍රාග්ධනයේ පුවත්පත් ප්‍රකාශනය, කියෙව් ආන්ඩුවටආධාර කරන්නට “සදාචාරාත්මක බැඳීමක්” තිබීම ගැන අතිශය උනන්දුවෙන් කතා කරන්නේ ඇයි?

“යුරෝ කලාපයේ ස්ථාවරත්වයට ග්‍රීසිය කඩා වැටීම වලක්වා ගැනීම ඉතා වැදගත් වන නමුත්, යුක්රේනයේ තත්වය හා සැසඳීමේදී ග්‍රීසියේ උපායමාර්ගික වැදගත්කම ඉතා අඩු මට්ටමක පවතින” බව ෆයිනෑන්ෂල් ටයිම්ස් විස්තර කරයි. නැගෙනහිර යුක්රේනයේ අසල්වැසි රුසියාවට එරෙහිව ගෙනයන “ආදේශක යුද්ධයේ” සටන් වැද සිටින කියෙව් රෙජීමයේ භූමිකාව පෙන්වා දෙන පුවත්පත, “එවැනි භූ-දේශපාලනිකව තීරනාත්මක කාරනාවකදී, පුද්ගලික මූල්‍ය අවශ්‍යතාවලට, රාජ්‍ය ප්‍රතිපත්තීන් අභිබවනය කරන්නට ඉඩ දිය නොහැකි ” යයි පෙන්වා දේ.

ග්‍රීසියට සහ යුක්රේනයට සැලකීමේ පැහැදිලිව පෙනෙන පරස්පරය පිටුපස සිටින්නේ, අනුකම්පා විරහිත අධිෂ්ඨානයකින් ලුහු බැඳයන, ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ මූල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රතිවිප්ලවවාදී පන්ති අවශ්‍යතාය.

රුසියාවට එරෙහිව පූර්න යුද්ධයකට තර්ජනය කරමින්, යුරෝපය පුරා දැවැන්ත මිලිටරි තරකිරීමක් සඳහා වොෂින්ටනයේ හා නැටෝ වේ ප්‍රයත්නයේදී, යුක්රේනයේ අන්ත-දක්ෂිනාංශික ආන්ඩුව ප්‍රධාන දැති රෝදය ලෙස ක්‍රියා කරනු ඇත. එජ හා යුස (යුරෝපා සංගමය) විසින් දියත් කල ප්‍රති විප්ලවවාදී දේශපාලන මෙහෙයුමකින් ස්ථාපිත කෙරුනු, ෆැසිස්ට්වාදී මිලීෂියාවකින් පාලනය කෙරෙන යුක්රේනය, අර්ධ-යටත්විජිත තත්වය පිලිගැනීමට මොස්කෝවට බලකිරීම සඳහා ගෙනයන අධිරාජ්‍යවාදී මෙහෙයුමේ බලල් අතක් මෙන් ක්‍රියා කරයි.

නැගෙනහිර යුක්රේනයේදී රුසියානු පක්ෂපාත හමුදාවන්ට එරෙහිව ලේවැකි සිවිල් යුද්ධයක් ගෙන යන අන්දමටම, දෙවැනි ලෝක යුද්ධයේදී යුක්රේනයේ පැවති නාසි-සහයෝගිතාවාදී හමුදාවන්ගේ උරුමය පුනරුත්තාපනය කරමින්ද ඔක්තෝබර් විප්ලවය හා කොමියුනිස්ට්වාදය ගැන ප්‍රසිද්ධියේ සඳහන් කිරීම තහනම් කරමින් ද කියෙව් ආන්ඩුව, රැකියා හා සහනාධාර කප්පාදු කරමින් සිටී. කියෙව් වෙත යූරෝ බිලියන ගනනක් දුනහොත්, මුලු මුදලම යුද්ධය වෙනුවෙන් වියදම් කරන බව අධිරාජ්‍යවාදී ආන්ඩු හොඳින් දනී. යුක්රේනියානු කම්කරුවන්ට තඹ සතයක් හෝ නොලැබෙනු ඇත.

ග්‍රීසියේ ආන්ඩුව දෙස බලන විට එවැනි භූ-උපායමාර්ගික සැලකීමක් නැත. ග්‍රීසියේ පාලක පක්ෂය වන සිරීසා (වාම රැඩිකලුන්ගේ සංධානය) හි නායකයන්, විප්ලවවාදී තර්ජනයක් නොවන බව යුසං නිලධාරීහු හොඳින් දනිති. කෙසේ වුව ද සිරීසා බලයට පත්වූයේ, වසර හයක් පුරා පැවති යුසං කප්පාදුවලට හා ඒවා ක්‍රියාත්මක කල රටෙහි සම්ප්‍රදායික පක්ෂවල ආන්ඩුවට එරෙහි පුලුල් මහජන විරෝධයක පදනම මතය.

කප්පාදුවලට එරෙහි මහජන විරෝධයට කිසිඳු ආකාරයක සහනයක් ලබා නොදෙන බවට යුරෝපා බැංකු, ග්‍රීසිය සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීමට බලාපොරොත්තු වේ. කුමක් සිදු වුව ද කම්කරුවන්ගෙන් යූරෝ බිලියන ගනන් මංකොල්ල කෑම දිගටම සිදුවනු ඇත.

ජනවාරියේදී සිරිසා බලයට පත්වී මාස පහක අත්දැකීම් තුල ග්‍රීක හා ජාත්‍යාන්තර කම්කරු පංතියට බරපතල පාඩම් අන්තර්ගත වේ. කම්කරු පන්තිය ජාත්‍යන්තරව එකමුතු කිරීමේ අරගලයත් ධනවාදයට එරෙහිව එය බලමුලුගැන්වීමත් තුලින් පමනක් ඉදිරි ගමන වැටී තිබෙන අතර ග්‍රීසිය සම්බන්ධයෙන් හතරවන ජාත්‍යාන්තරයේ ජාත්‍යාන්තර කමිටුවේ (හජාජාක) අනතුරු ඇඟවීම සනාථ වී තිබේ.

යුසං සමග එකඟතාවයකට පැමිනීමට හැකි වනු ඇති බවත් එමගින් ධනවාදයේ, අධිරාජ්‍යවාදයේ හා යුරෝපා සංගමයේ රාමුව තුල ග්‍රීක කම්කරුවන්ගේ දුක්ගැනවිලි වලට ආමන්ත්‍රනය කල හැකි බවත් ප්‍රකාශ කරමින් සිරීසා බලයට පැමිනියේය. යුරෝපා සංගමයේ කප්පාදු වැඩසටහනට යම් වෙනසක් කිරීමට සිරිසා හට ක්‍රමවේදයක් තිබූ තාක් දුරට යුසං යේ කප්පාදු ප්‍රතිපත්තියට අනුබලදෙන ප්‍රධානතම බලවතා වන බර්ලිනය හා වොෂින්ටනයත් උත්තේජක මූල්‍ය ප්‍රතිපත්තියකට අනුග්‍රහය දක්වන අනෙකුත් යුරෝපීය අගනගරත් අතර පවතින ආතතීන් ගසා කනු ලැබිනි.

කප්පාදුවලට එරෙහිව ජර්මනියේ, බ්‍රිතාන්‍යය්යේ, ප්‍රන්සයේ, යුරෝපය පුරා හා එක්සත් ජනපදයේත් කම්කරු පන්තිය තුල ගොඩනැගෙන පුපුරා යන සුළු ද්වේශයට සිරීසා කිසිඳු ආයාචනයක් කලේ නැත. ඊට පටහැනිව එය කලේ, රුසියාවට එරෙහිව පැන වූ යුසං සම්බාධකවලට නිෂේධ බලය යෙදීම ප්‍රතික්ෂේප කරමින් අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තීන් සමග එකට පෙලගැසීමත්, ග්‍රීසියේ පෙර යුසං කප්පාදු එකඟතාවන් සමග බැඳෙන්නට, බලයට පැමින හරියටම සති ගනනකදී පොරොන්දු පත්‍රයක් අත්සන් කරමින්, කප්පාදු වැඩපිලිවෙලට ආපසු යාමට තම මැතිවරන පොරොන්දු නින්දා සහගත ලෙස අතහැරදැමීමත්ය.

ඉහල මධ්‍යම පන්තික වඩා වරප්‍රසාදිත අංශවල අවශ්‍යතා මත මුල් බැසගත් තම ප්‍රති-මාක්ස්වාදී ඉදිරි දර්ශනයේ බංකොලොත්කම ඔප්පුකරන්නට සිරීසා වැඩි කාලයක් ගත්තේ නැත. එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ප්‍රන්සය, ග්‍රීසියට උදව් කරන්නට ඇඟිල්ලක් වත් එස වූයේ නැත. බංකොලොත් සමාජ පර්යායකට කම්කරු පන්තිය යටත් කර ගැනීම සඳහා යෙදවෙන දේශපාලනික උපකරනයක් ලෙස සිරීසා ඉක්මනින්ම එලිදරවු විය.

දශක ගනනාවක් ආපස්සට ගිය ජීවන තත්වයන් සහිත ග්‍රීක කම්කරු පන්තිය මතට, කප්පාදු දිගටම යෙදවෙමින් පවතී. යුරෝපීය බැංකුවලට තවදුරටත් අනුග්‍රහ දැක්වීමට තම ආන්ඩුවේ කැපවීම බ්‍රහස්පතින්දා බර්ලිනයට යමින් ග්‍රීක මුදල් ඇමති යානිස් වරුෆාකිස් පැහැදිලි කලේය. “වේලාසනින් විශ්‍රාම ගැන්වීම මුලිනුපුටා දමන්නටත්, විශ්‍රාම අරමුදල් ඒකාබද්ධ කිරීමටත්, ඒවායේ මෙහෙයුම් වියදම් අඩු කරන්නටත්, අස්ථිර භාවයේ සිට තිරසාර ක්‍රමයකට මාරුවීමටත්, අපි හේතු සහගතව හා ක්‍රමානුකූලව මාවත් සෙවිය යුතු” යැයි පැවසූ ඔහු ග්‍රීක විශ්‍රාම වැටුප් කපා හැරීමේ “ශල්‍ය කර්මය” සඳහා කැඳවුම් කලේය.

ඒ අතරේදී, රුසියාවට එරෙහිව පූර්ව භංග මිසයිල ප්‍රහාරයන් එල්ල කරන බවට තර්ජනය කරමින්, සහ එජ හා නැටෝ නිලධාරීන් සමග නැගෙනහිර යුරෝපය තුල යුද අභ්‍යාස සංවිධානය කරමින්, රුසියාවට එරෙහිව අධිරාජ්‍යවාදී යුද උත්සන්නිය ඉහල දැමීම දිගටම සිදු කෙරේ. දේශපාලන වැඩසටහන තුල ලෝක යුද්ධය වඩාත් ඉස්මතු වී පවතී.

අවදානම් සහගතව ඇත්තේ, ග්‍රීසියේ අනාගතය පමනක් නොව, සමස්ත යුරෝපයේම හා මුළු මහත් පෘතුවි තලයේම අනාගතයයි. ධනවාදයේ හා අධිරාජ්‍යවාදී ලෝක පර්යායේ පැවැත්ම කම්කරු පන්තියට හා මානව සංහතියටම ඉතා ආසන්න අනතුරු මතුකරනු ඇත.

ධනවාදය මුලිනුපුටා දමමින් යුරෝපයේ එක්සත් සමාජවාදී රාජ්‍යයක් ස්ථාපනය කිරීම සඳහා කම්කරු පන්තිය බලමුළුගන්වා සටන් කිරීමට යුරෝපය හරහා රටවල් තුල ශාඛා ගොඩ නැගීමට හජාජාක හි අරගලය මෙම ඉදිරි දර්ශනය මත පාදක වේ.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: