යුරෝපීය මත විමසුමක් රුසියාවට එරෙහි යුද ධාවනයට මහජන විරෝධය පෙන්නුම් කරයි

Poll finds mass opposition in Europe to war drive vs' Russia over Ukraine

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2015 ජූනි 11

වොෂින්ටනයේ පිහිටුවා තිබෙන පිව් පරියේෂන මධ්‍යස්ථානය 10දා නිකුත් කල මත විමසුමකට අනුව, රුසියාව සමග නේටෝ යුද්ධයකට, යුරෝපය තුල පවතින පුලුල් විරෝධය පෙන්නුම් කරන අතර යුකේ‍්‍රනය මුල්කරගෙන රුසියාවට විරුද්ධව ඇමරිකාවේ මූලිකත්වය ගත් යුද ධාවනයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය සලකුනු කරයි.

මත විමසුම, විශේෂයෙන්ම, රුසියාව සමග ඇතිවිය හැකි යුද්ධයක් සම්බන්ධව, ඇමරිකාවට හා නේටෝවට හැකිතාක් වාසි සහගත පිලිතුරු ලබාගැනීමට සැලසුම් කර තිබුනි. එහි ප‍්‍රශ්න විචාරකයා, රුසියාව හා නේටෝව යන දෙපාර්ශවයම සතුව න්‍යෂ්ටික අවි තිබෙන බව හෝ න්‍යෂ්ටික යුද්ධයක අවදානම ගැනීම කෙරෙහි දක්වන ප‍්‍රතිචාරය පිලිබඳව පිලිතුරු සැපයූ අයගෙන් විමසුවේ නැත. එහි ප‍්‍රතිපලය වශයෙන් මත විමසුම යුද්ධය කෙරෙහි පලවන මහජන මතය බෙහෙවින් අඩු තක්සේරු කෙරේ.

යුද්ධය පිලිබඳව ඇසූ ප‍්‍රධාන ප‍්‍රශ්නය වූයේ, “අපගේ අසල්වැසි නේටෝ මිතුරෙකු සමග බරපතල මිලිටරි ගැටුමකට” රුසියාව පැටලුනොත්, එරටට එරෙහිව ආරක්ෂක යුද්ධයක් නේටෝ සාමාජික රටවල් විසින් දියත් කල යුතු ද යන්නය. එවන් තත්වයකදී, සාමූහික ආත්ම ආරක්ෂාව පිලිබඳ නේටෝ ගිවිසුමේ 5වැනි කොටසේ දැක්වෙන්නේ, සියලු නේටෝ මිත‍්‍ර රටවල් රුසියාවට විරුද්ධව යුද ප‍්‍රකාශ කරන බවය.

කියනු ලබන එවන් ආරක්ෂනවාදී යුද්ධයකට සහාය ලබාගැනීමේ අරමුන සහිතව සැලසුම් කල පිව් මත විමසුම නැගූ ප‍්‍රශ්නයේදී වුවත්, යුරෝපීයයන් අතර පුලුල් විරෝධයක් දැකගත හැකි විය. ජර්මනියේ සියයට 53ක් ද ප‍්‍රන්සයේ 51 ද ඉතාලියේ සියයට 51ක් ද නේටෝ සාමාජිකයෙක් ආරක්ෂාකර ගැනීමට වුවත් රුසියාව සමග ආරක්ෂනවාදී යුද්ධයකට විරුද්ධවූහ.

කෙසේ වුවත්, දැන් පුපුරා යාමට තර්ජනය කරන යුද්ධයේ ස්වභාවය මෙය නොවේ. නේටෝ සාමාජිකයෙක් නොවන යුකේ‍්‍රනයේ, නේටෝ ක‍්‍රියාකලාපය ආරක්ෂනවාදී නොවේ. යුකේ‍්‍රන අර්බුදය හටගත්තේ, නැගෙනහිර යුකේ‍්‍රනයේ රුසියාවට පක්ෂපාත ප‍්‍රදේශවලට එරෙහිව සිවිල් යුද්ධයක් දියත් කල, 2014 පෙබරවාරි කුමන්ත‍්‍රනය තුලින් කියෙව්හි රුසියානු ගැති ආන්ඩුව පෙරලා දැමූ ෆැසිස්ට්වාදීන්ගේ මූලිකත්වය යටතේ අටවන ලද අන්ත දක්ෂිනාංශික පාලනයට, ඇමරිකාව හා යුරෝපීය බලවතුන් පිටුබලය දීමත් සමගය. රුසියානු හා ඇමරිකානු මිසයිල් බලඇනි දැඩි ලෙස සුපරීක්ෂාකාරීව පිහිටුවා ඇති තත්වය තුල, නේටෝ ගුවන්, නාවික බල ඇනි රුසියානු දේශසීමාව ආසන්නයේ නිරන්තර අභ්‍යාසවල යෙදෙන තතු තුල ලෝකය නැගී සිටින්නේ, වොෂින්ටනය හා එහි යුරෝපීය සහචරයින් අවුලුවන ව්‍යසනකාරී යුද්ධයක් අබියසය.

මහජන මතය වඩාත් පැහැදිලි ලෙස ඉස්මතු වූයේ, පිව් මත විමසුම, යුකේ‍්‍රනය තුල නේටෝව අනුගමනය කරන ක‍්‍රියා පිලිවෙත ගැන ප‍්‍රශ්න කල විටය. ඔබාමා පාලනය විසින් ඉදිරියට ගෙන යන පිලිවෙතක් වන, රුසියාවට විරුද්ධව නේටෝව විසින් කියෙව් පාලනය සන්නද්ධ කිරීම ගැන විමසූ කල, ඊට සහයෝගය පල කල සියයට 50ක් සහිත පෝලන්තයේදී හැර, සමීක්ෂනයට භාජනයවූ සෑම යුරෝපීය රටකම බහුතරය ඊට විරුද්ධත්වය පල කලහ.

ජර්මනියේදී ඊට සහාය දැක්වූ සියයට 19ට එරෙහිව 77ක් විරුද්ධ වූහ. ඉතාලියේදී එය 22ට 65ක් ද ස්පාඤ්ඤයේ 25ට 66ක් ද ප‍්‍රන්සයේ 40ට 59ක් ද බි‍්‍රතාන්‍යයේ 42ට 45ක් ද විය.

ආන්ඩුව ද ජන මාධ්‍ය හා ශාස්ත‍්‍රාලිකයේ කොටස් ද මිලිටරිවාදයට සහාය දක්වන නොනවතින ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන ජර්මනියේදී, පලවූ විරෝධය ඉතා දැඩි එකකි. රුසියාව එහි දේශසීමාවේ පිහිටි නේටෝ සමාජික රටවලට තර්ජනයක් බව පැවසුවේ ජර්මානුවන්ගෙන් සියයට 38ක් පමනි. යුකේ‍්‍රනයේ ප‍්‍රචන්ඩත්වය පිලිබඳව රුසියාවට දෝෂාරෝපනය කලේ සියයට 29ක් පමනි.

යුරෝපය පුරා ආන්ඩු විසින් පිටුබලය සපයනු ලබන රුසියාවට එරෙහි ඇමරිකානු-නේටෝ යුද ව්‍යායාමයට රුකුලක් ලෙස සිදුකරන ලද කියෙව් කුමන්ත‍්‍රනයට වැදුනු අතුල් පහරකි, මෙම මත විමසුම. තමන්ට අවශ්‍ය නොවන යුද්ධයක සැබෑ තර්ජනය ජනතාවගෙන් වසං කරමින්, නේටෝව සිය ඉව බව නැති ප‍්‍රතිපත්ති පෙරට ගෙනයද්දී, එය යුරෝපීයයන්ගේ අති මහත් බහුතරයක් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

රුසියානු ප‍්‍රචන්ඩත්වය හමුවේ තමන් විකසිත වන යුකේ‍්‍රනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ආරක්ෂා කරනුවස් එරටට සහාය දක්වන බවට වොෂින්ටනය හා නේටෝ බලවතුන් කියන කථා, යුකේ‍්‍රන ජනතාව විසින් පිව් මත විමසුම තුල හෙලිකරනු ලබයි. කියෙව් රෙජිමය, බටහිර බැංකු විසින් නිර්දේශිත රුදුරු කප්පාදු පියවර ක‍්‍රියාවට නගමින්, යුකේ‍්‍රන වැඩකරන ජනතාව අතරින් ඒ කෙරෙහි පලවන විරෝධය මැඞඩීම පිනිස ප‍්‍රචන්ඩ හා ආඥාදායක බලය යොදා ගනියි.

නැගෙනහිර යුකේ‍්‍රනයට එරෙහිව කියෙව් ආන්ඩුව සීඅයිඒ හා විවිධ වර්ගයේ ෆැසිස්ට් මිලිෂියාවන්ගේ ආධාරයෙන් යුද්ධය ගෙන යාමේදී, යුකේ‍්‍රන ජනතාවගේ අපේක්ෂාවන් අමු අමුවේ උල්ලංඝනය කරයි. පිව් මත විමසුමට අනුව, බෙදුම්වාදී කැරලිකරුවන් සමග ගැටුම විසඳාගත යුත්තේ සාමයෙන් මිස බලය යෙදීමෙන් නොවේ යයි දෙගුනයකටත් වඩා යුකේ‍්‍රනුවන්, එනම් සියයට 47ට 23ක් ලෙස, පවසා ඇත.

යුකේ‍්‍රන ජනාධිපති පෙට්රෝ පොරෂෙන්කෝ මේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් අනුගමනය කරන පිලිවෙත කෙරෙහි පවතින්නේ පුලුල් විරෝධයකි. නැගෙනහිර යුකේ‍්‍රනයේ ගැටුම කෙරෙහි මෙන්ම රුසියාව කෙරෙහි ඔහු දරන ආස්ථානයත්, ජනගහනයෙන් සියයට 57ක් විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. කියෙව් රෙජිමයේ දේශීය පිලිවෙත් ද ඊට නොඅඩු ලෙසින් අපකීර්තියට පත්ව තිබේ. අගමැති ආසෙනි යැට්සෙන්යුක් ප‍්‍රතික්ෂේප කරන සංඛ්‍යාව සියයට 60කි.

යුකේ‍්‍රන මුදල බිඳවැටෙමින් ද තොග පිටින් කම්කරුවන් රැකියා වලින් දොට්ට දමමින් ද අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා මිල ආන්ඩුව විසින් ඉහල නංවමින් ද තිබියදී පිව් මත විමසුම පෙන්නුම් කරන්නේ, සියයට 94ක් දෙනා යුකේ‍්‍රනයේ ආර්ථිකය “නරක අතට හැරී” ඇතැයි සලකන බවය. සියයට 55ක් දෙනා නිගමනය කර ඇත්තේ කියෙව් රෙජිමය පුද්ගලික නිදහසට ගරු නොකරන බවයි.

විමසුම රුසියානුවන්ගෙන් ද පිලිතුරු ලබාගෙන ඇත. නෙටෝව කෙරෙහි අවිශ්වාසය වැඩිවී ඇත. රුසියානුවන්ගෙන් සියයට 81 දෙනෙක් නේටෝව තර්ජනයක් ලෙස දකින අතර ඔබාමා කෙරෙහි විරුද්ධත්වය සියයට 86කි. ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් කෙරෙහි විරුද්ධත්වය සියයට 66කි. යුකේ‍්‍රනය තුල නෙටෝවේ මැදිහත්වීම සම්බන්ධයෙන් පුටින් දක්වන විරුද්ධත්වය, ඔහු අනුමත කරන අයගේ සංඛ්‍යාව සියයට 88 දක්වා ඉහල නංවා තිබෙන අතර සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කිරීමේ ක‍්‍රියාවලිය තුල මතුව ආ පුටින් නියෝජනය කරන කතිපයාධිකාරී රෙජිමය කෙරෙහි පුලුල් විරුද්ධත්වයක් පවතියි. රුසියානුවන්ගෙන් සියයට 69ක් ද යුකේ‍්‍රනියානුවන්ගෙන් සියයට 34ක් ද සලකන්නේ, සෝවියට් සංගමය විසුරුවා හැරීම සිය රටවල ආර්ථිකය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇති බවය.

පිව් මත විමසුමේ ප‍්‍රතිපල, 1991 එනම්, වසර 25කට පෙර සෝවියට් සංගමය විසුරුවා හැරීමේ ව්‍යසනකාරී ඇඟවුම් සලකුනු කරයි. සෝවියට් සංගමය විසුරුවා හැරීම සමග අත්වැල් බැඳගෙන, එරට කර්මාන්තයේ බිඳ වැටීම හා කොල්ලකෑම, රුසියාව භූ-මූලෝපායිකව අඩපන කල අතර පැරනි සෝවියට් සංගමයේ දැවැන්ත භූමිභාගයන් නේටෝවේ කුමන්ත‍්‍රන වලට විවෘත කලේය. සියල්ලටත් වඩා, රුසියාවේ පාලනය සාපරාධී කතිපයාධිකාරීන්ගේ ග‍්‍රහනයට හසුවීම මගින්, අධිරාජ්‍යවාදය සෝවියට් සංගමයට එරෙහිව කරන තර්ජනයන්ට ජාත්‍යන්තර හා විශේෂයෙන්ම යුරෝපීය කම්කරු පන්තියෙන් පලවූ විරුද්ධත්වය දුබල කලේය.

ග‍්‍රහලෝකයම අලු දූවිලි බවට පත්කිරීමේ තර්ජනය සමග, රුසියාවට එරෙහිව පූර්න පරිමානයේ යුද්ධයකට නේටෝ බලවතුන්ගේ සූදානම, යුරෝපයේ, ඇමරිකාවේ හා ලෝකය පුරා ගැඹුරින් මුල්බැස තිබෙන යුද විරෝධී මනෝභාවය සමග ගැටෙමින් තිබේ. පිව් මත වමසුම පැවැත්වීමම, ජාත්‍යන්තර වශයෙන් පාලක කවයන් තුල යුද්ධයට එරෙහි පුලුල් මහජන මතය පිලිබඳව හටගෙන ඇති කනස්සල්ල පිලිබඳ ප‍්‍රකාශනයකි.

කෙසේ වෙතත් අධිරාජ්‍යවාදී රටවල පාලක ප‍්‍රභූන්, රුසියාවට විරුද්ධ යුද ඝෝෂාව, මහජන මතය නොසලකා දිගටම ගෙන යාමේ සිය අභිලාෂය පෙන්නුම් කර තිබේ. පිව් මත විමසුම ගැන නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය පල කල වාර්තාවෙන් පෙන්නුම් කලේ, යුද්ධය කෙරේ පවතින මහජන විරුද්ධත්වය, ජයගත යුතුව ඇති, ඇමරිකානු හා නේටෝ සැලසුම් වලට එල්ලවී ඇති “අභියෝගයක්” ලෙසය.

රුසියාවට එරෙහි මිලිටරි මැදිහත්වීමටකට සහාය දක්වමින් අඛන්ඩ ප‍්‍රචාරනයක් ගෙනයා යුතු යයි කියා සිටින නේටෝවේ හිටපු ඇමරිකානු තානාපති උපුටා දක්වන පත‍්‍රය, “රුසියානු ප‍්‍රහාරයකට අවශ්‍ය නම් ප‍්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවය සිය ජනතාවන්ට ඒත්තු ගැන්වීම, සූදානම් කිරීම හා විරුද්ධත්වය පසුබැස්වීම සඳහා සන්ධානය බරපතල උත්සාහයක් දැරිය යුතු යයි” ඔහු පැවසූ බව කියයි.

එය තවදුරටත් පැවසුවේ “නේටෝවේ ප‍්‍රතිපත්ති හැඩගැස්වීමේදී මහජන මතය හැමවිටම තීරනාත්මක නොවේ. ජනාධිපති රොනල්ඩ් රේගන්, මහාද්වීපය තුල පැවති සැලකිය යුතු තරමේ සාම ව්‍යාපාරය නොතකා පර්ෂින් 2 හා ගොඩබිමේ සිට ක‍්‍රියාත්මක කරන කෲස් මිසයිල ස්ථානගත කිරීමේදී සෑහෙන යුරෝපීය පිටුබලයක් දිනාගැනීමට සමත් වීය” යනුවෙනි.

1980 ගනන්වල ඇමරිකාව විසින් යුරෝපයේ පර්ෂින් 2 කෲස් මිසයිල ස්ථානගත කිරීම ගැන පුවත්පත කරන සඳහන විශේෂ වැදගත් කමක් දරයි. ඇමරිකානු නිලධාරීන් දැන් සාකච්ඡා කරමින් සිටින්නේ, යුරෝපය තුල මිසයිල් රැඳවීම පුලුල් කිරීම හා රුසියාව අභ්‍යන්තරයේ ඉලක්ක වෙත පූර්ව භංග මිසයිල් ප‍්‍රහාර දියත් කිරීමේ හැකියාව ගැනයි.

Share this article: