ක්ලින්ටන් පදනම දක්ෂිනාංශික පාලන තන්ත‍්‍රයන්ගෙන් හා සංගතවලින් මුදල් රැස් කරයි

Clinton Foundation raked in cash from right-wing regimes, corporations

ටොම් හෝල් විසිනි, 2015 පෙබරවාරි 28

පසු ගිය සතියේ මාධ්‍ය වාර්තා ගනනාවක් බිල්, හිලරි හා චෙල්සී ක්ලින්ටන් පදනමේ ප‍්‍රමුඛ ආධාරකරුවන්ගේ විස්තර හෙලි කලේ ය. විය හැකි පරිදිම ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ ඊලඟට ධවල මන්දිරය අරක්ගන්නා අයගේ බලපෑම අපේක්ෂා කරන දක්ෂිනාංශික පර්සියානු ගල්ෆ් රාජාන්ඩු, දැවන්ත ආරක්ෂක කොන්ත‍්‍රාත්කරුවන් සහ සංගත හා ආන්ඩු පෙලක් මෙම ආධාරකරුවන් අතරට ඇතුලත් ය.

ජනාධිපති වශයෙන් බිල් ක්ලින්ටන්ගේ දෙවනි වාරය අවසානයෙන් පසුව 2001දී ආරම්භ කෙරුනු පදනම, ඩොලර් බිලියන දෙකක් තරම් විශාල මුදල් තොගයක් රැස් කර බෙදා හැර ඇත. 2009 සිට 2013 දක්වා රාජ්‍ය ලේකම් ලෙස හිලරි ක්ලින්ටන්ගේ පත්වීමෙන් පසුව අවශ්‍යතාවන්ගේ පරස්පරයන් නිසා බොහෝ විදේශීය මුදල් ප‍්‍රදාන අධෛර්යමත් කිරීමෙන් පසුව අරමුදල් රැස්කිරීමේ කෙටි පසුබෑමක් ඇතිව තිබුනු නමුත් 2013දී ප‍්‍රදානයන්, ඩොලර් මිලියන 100කින් ඉහල ගිය අතර එය මිලියන 262ට ලඟාවිය.

පදනමේ වෙබ් අඩවිය සඳහන් කරන පරිදි, එහි විශාල ම ආධාරකරුවන්ගේ ලැයිස්තුව, සුපිරි පොහොසතුන්ගේ හා ප‍්‍රමුඛ සංගතවල සැබෑ නාමලේඛනයකට සමාන වෙයි. 2001 සිට ඩොලර් මිලියන 25ට වඩා දී ඇති විශාල ම ආධාරකරුවන් අතරට, මහජන අධ්‍යාපනය කඩා බිඳ දැමීම තුල ඉටුකල ක‍්‍රියා කලාපය වෙනුවෙන් කුප‍්‍රකට බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනම, චිකාගෝ හි දශලක්ෂපතියෙකු හා ඉහල පෙලේ ඩිමොක‍්‍රටික් පක්ෂ ආධාරකරුවෙකු වන ෆ්‍රෙඩ් එයිකනර් හා අරුම පුදුම ආකාරයෙන්, ඕලන්ද ජාතික ලොතැරැයිය ද ගැනේ.

ඩොලර් මිලියන 1ට වඩා ලබා දී ඇති පුද්ගලයන් හා සංවිධාන 168 ලැයිස්තුවේ බොහොමයක් ප‍්‍රමුඛ සංගත යි. ඩොලර් මිලියන 1 සිට 5 දක්වා ලබා දී ඇති බෝයින්ග් හා බූෂ් ඇලැන් හැමිල්ටන් වැනි කොන්ත‍්‍රාත්කරුවන්ට බාක්ලේස්, ගෝල්ඩ්මන් සැක්ස් හා ඇමරිකානු ගුරුවරුන්ගේ ෆෙඩරේෂනය ද එක්ව සිටිති.

පර්සියානු බොක්කේ ප‍්‍රතිගාමී රාජාන්ඩු ක්ලින්ටන් පදනමට ඩොලර් කෝටි ගනන් ලබා දී ඇත: සෞදි අරාබිය ඩොලර් මිලියන 10 සිට 25 දක්වා, කුවේටය 5 සිට 10 දක්වා, කටාර්, ඔමාන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් ඩොලර් මිලියන 1 සිට 5 දක්වා ලබා දී ඇත. ඊට අමතරව සෞදි ආන්ඩුවට කිට්ටු කන්ඩායම් හා පුද්ගලයන් කීප දෙනෙකු ද ඩොලර් මිලියන ගනනාවකින් සම්මාදම් වී ඇත.

හිලරි ක්ලින්ටන්ගේ රාජ්‍ය ලේකම් නිල කාලය තුල දී විදේශීය මූලාශ‍්‍රයන්ගෙන් නව ප‍්‍රදාන පිලි නො ගැනීමට ක්ලින්ටන් පදනම ඔබාමා පාලනාධිකාරය සමග ගිවිසුමක් ඇති කර ගත්තේ ය. මෙම ප‍්‍රතිපත්තිය දැන් යල් පැන ගොස් ය. කෙසේ නමුත්, ඒ වන විටත් සිටි ආධාරකරුවන්ට ඒ මට්ටමින් ම සම්මාදම්වීමට අවසර දෙන ලද මුක්තිය හරහා විදේශ ඩොලර් මිලියන ගනනාවක් දිගට ම පදනමට ගලා ආවේ ය.

ඔවුන් අවංකව ම උනන්දු කෙරුනේ පරෝපකාරය විසින් යැයි ක්ලින්ටන් පදනමේ ආධාරකරුවන් කරන ප‍්‍රකාශ බොහෝ ආධාරවල ස්වභාවය මගින් තහවුරු නො කෙරේ. උදාහරනයක් වශයෙන් වෝල් ස්ටී‍්‍රට් ජර්නල් පත‍්‍රය 2009දී, හිලරි ක්ලින්ටන් බෝයින්ග් 737 යානා 50ක් ගැනීමට රුසියාව ඒත්තු ගැන්වීම පිලිබඳ සිදුවීමක් සඳහන් කලේ ය: මාස නවයකට පසු, බෝයින්ග් සමාගම හයිටි පාසල් පද්ධතිය “නැවත ගොඩනැගීමට” සහාය වනු පිනිස ඩොලර් 900,000ක පලමු ආධාරය ක්ලින්ටන් පදනමට ලබා දුන්නේ ය. සමහර විට එය ක්ලින්ටන් බලාපොරොත්තු වූවාට වඩා මුදලක් විය හැකි යයි පිලිගනිමින් බෝයින්ග් ප‍්‍රකාශිකාවක්, සිය ලිඛිත ප‍්‍රකාශය තුල මෙසේ පැවසුවා ය, “ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් හා කැබිනට් ලේකම්වරුන් දශක ගනනාවක් තිස්සේ නොකර ඇති දේට වඩා යමක්, ලේකම් ක්ලින්ටන් බෝයින්ග් වෙනුවෙන් ඉටු නො කලා ය.”

තවත් සිදුවීමක දී, හයිටි රාජ්‍ය තුල, පදනමේ වෙලඳපොල ගැති “සහන” වැඩසටහන් වෙනුවෙන් ඇල්ජීරියානු ආන්ඩුවෙන් ඩොලර් 500,000ක පරිත්‍යාගයක් ඊට ලැබුනි. වොෂින්ටන් පෝස්ට් සටහන් කලේ ඔබාමා සමග පදනමේ මුල් එකඟත්වය උල්ලංඝනය කෙරුනු එම ප‍්‍රදානය සිදුවූයේ, ඇල්ජීරියාවේ මානව හිමිකම් වාර්තාව හෙලාදකින ක්ලින්ටන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක් නිකුත් වීමෙන් ඉක්බිතිව, වොෂින්ටනය තුල ඇල්ජීරියාව ගෙනගිය දැඩි ලොබි කිරීම් මධ්‍යයේ ය. එකී ප‍්‍රදානය ඇල්ජීරියානු ආන්ඩුව මුලු වසරක් තුල එම ලොබි කිරීම් සඳහා වියදම් කල මුදලට වඩා වැඩි ය.

වසර දෙකකට පසු, “ඉතිහාසය තුල සිය විශාල ම බලශක්ති ගිවිසුම් කීපයක්” ලෙස ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් සමාගම (ජීඊ) විස්තර කල, ඇල්ජීරියාව තුල විදුලි බල ව්‍යාපෘති ඉදිකිරීම් සඳහා වූ ලන්සු තැබීමේ දී, රාජ්‍ය ලේකම් ක්ලින්ටන් සාර්ථක ලෙස පෙලඹවීම් කලා ය. මාසයකට පසු, ජීඊ සමාගම ඩොලර් 500,000 සිට මිලියනයක් දක්වා මුදලක් ක්ලින්ටන් පදනමට ප‍්‍රදානය කලේ ය.

පදනමේ ප‍්‍රධාන ආධාරකරුවන්ගෙන් තුනෙන් එකක් සැදුම් ලත්තේ, විදේශීය රටවල්, සමාගම් හා පුද්ගලයන්ගෙන්ය යන කාරනය සැලකිල්ලට ගන්නා කල, විශේෂයෙන් ම ජර්නලය හා අනෙකුත් අන්ත දක්ෂිනාංශික මාධ්‍ය ගම්‍ය කරන්නේ, එම ප‍්‍රදානයන්, ක්ලින්ටන් හරහා දේශපාලන බලපෑම් කිරීම වෙනුවෙන් ගෙවන ලද මිලක් බව යි. මෙයට යම් සත්‍යයක් ඇති අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදී විදේශ ප‍්‍රතිපත්තියේ උපකරනයක් ලෙස දේශපාලන පර්යාය තුලට ක්ලින්ටන් පදනම මුලුමනින් ම ඒකාබද්ධ වීමත් සමග මෙය දෙපැත්තට යා හැකි මාවතක් වේ.

මේ සම්බන්ධයෙන් ගත් විට, පුද්ගලයන් 300,000ක් මිය ගිය 2010 භූමිකම්පාවට පසු, හයිටි ”යලි ගොඩනැගීම” තුල ඔවුන් ඉටුකල කාර්යභාරය උපදේශාත්මක ය. හයිටියට ජාත්‍යන්තර ආධාර බෙදා හල මන්ඩලයේ සම සභාපතිත්වය බිල් ක්ලින්ටන් විසින් දරන ලද තතු හමුවේ ක්ලින්ටන් පදනම එහි ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කලේ ය. සමස්ත ආධාර වැඩසටහනම යොදා ගැනුනේ වෙඳපොල ප‍්‍රතිව්‍යුහගත කිරීම් දිරිගැන්වීමටය. මහජනතාවගේ කුමන හෝ විරුද්ධත්වයක් වැලක්වීමට ඇමරිකානු හා එක්සත් ජාතීන්ගේ “සාම සාධක නියෝජිතයෝ” රටේ මුර සංචාරය කලහ. හයිටිය තුල ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්තිය සමග මුලුමනින් ම පෙලගැසීමේ හේතුව නිසා, ක්ලින්ටන් පදනමට ඇල්ජීරියානු ආධාර ලැබීම සම්බන්ධයෙන් ඔබාමා පාලනාධිකාරය විරුද්ධත්වයක් නො දැක්වී ය.

“පරෝපකාර” පිලිබඳ ක්ලින්ටන් පදනමේ අනුවාදයට අධිරාජ්‍යවාදී කූඨ ප‍්‍රයෝග ද අඩංගු වෙයි. අවසානයේ දී ජනවාරි මාසයේ මැතිවරන පරාජයකට මුහුන දුන් ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි රහස් කූඨෝපායන් ද මෙයට අතුලත් වුනි. සිරිසේන හදිසියේම ආන්ඩුවෙන් ඉවත්ව යාමට හා ඔහු “විරුද්ධ පාර්ශ්වයේ පොදු අපේක්ෂකයා වනු ඇති” බව පිලිබඳ ප‍්‍රකාශයට මග පෑදූ රහස් කාමර ගනුදෙනු තුල ප‍්‍රධාන භූමිකාව ඉටු කලේ, 2005දී ක්ලින්ටන් පදනමට එක් වූ එරට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බන්ඩාරනායක ය. නම් නො කෙරනු “විදේශ ආන්ඩු” රාජපක්ෂට එරෙහිව කූඨෝපාය යෙදීමට ඈ උනන්දු කර තිබූ බව මෙම මස මුල දී කුමාරතුංග පිලිගත්තා ය.

රාජ්‍ය ලේකම් ලෙස ක්ලින්ටන්ගේ කාලය තුල ඔබාමා පාලනාධිකාරයේ “ආසියාවට හැරීමේ” කොටසක් ලෙස චීනය සමග රාජපක්ෂගේ බැඳීම්වලින් ඔහු ඉවත් කරවීමට පීඩනය යෙදීම සඳහා ශ‍්‍රී ලංකා ආන්ඩුවේ “මානව හිමිකම් වාර්තාව” හෙලා දැකීමේ දී, හිලරි ක්ලින්ටන් පෙරමුන ගත්තා ය. 2011 හා 2012 රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කල කාලයේ, දෙමල බෙදුම්වාදී ගරිල්ලා භටයන්ට (එල්ටීටීඊ) එරෙහි සිවිල් යුද්ධය අතරතුර දී මානව හිමිකම් උල්ලංඝනය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන් පියවර ගත යුතු යයි බල කරමින් ඈ යෝජනා ඉදිරිපත් කලා ය.

Share this article: