ලෝක ප‍්‍රකෝටිපතියන්ගේ ධනය ඩොලර් ටි‍්‍රලියන 7 ඉක්මවා යයි

Wealth of world’s billionaires surges past $7 trillion

ජෝශප් කිෂෝර් විසිනි , 2015 මාර්තු 4

ෆෝබ්ස් සඟරාව 2දා ප‍්‍රසිද්ධ කල අලුත් ම තොරතුරුවලට අනුව, ලෝක ප‍්‍රකෝටිපතියන්ගේ ඒකාබද්ධ ශුද්ධ ධනය 2015දී ඩොලර් ටි‍්‍රලියන 7.05ක නව මුදුනකට ලඟා වී ඇත.

එක් අයෙකුගේ සාමාන්‍ය ධනය ඩොලර් බිලියන 3.8ක් වන වාර්තාගත මට්ටමක ප‍්‍රකෝටිපතියෝ 1,826ක් සිටිති. පසු ගිය වසරට සාපේක්ෂව, ලෝකයේ ප‍්‍රකෝටිපතියන් ඔවුන්ගේ ඒකාබද්ධ ධනය 2014ට වඩා සියයට 10කින්, එනම් ඩොලර් ටි‍්‍රලියන 6.4කින් වැඩි කර ගෙන ඇති අතර ඔවුන්ගේ සංඛ්‍යාව සියයට 11කින් වැඩි වී ඇත. තම වාර්තාව හඳුන්වා දෙමින් ෆෝබ්ස් සඳහන් කලේ, ලෝකයේ සුපිරි පොහොසතුන්ගේ ධනයේ අඛන්ඩ නැගීම හා ලෝක ආර්ථික තත්වය අතර කැපී පෙනෙන අසම්බන්ධය යි. “ගිලා බසින තෙල් මිල හා බෙලසුන් යුරෝව නො තකා ලෝකයේ පොහොසත් ම ප‍්‍රභූවරු ලෝක ආර්ථික වික්ෂෝභයට අභියෝග කල අතර නැවත වරක් තරවී ඇතැයි” සඟරාව ප‍්‍රකාශ කලේ ය.

ප‍්‍රකෝටිපතියන්ගේ ධනයෙහි මෙම වර්ධනය ලෝක කොටස් වෙලඳපොලේ අඛන්ඩ නැගීම සමග බැඳී පවතියි. ෆුට්සි ලෝක පරිමාන දර්ශකය පසු ගිය මාසයේ දී වාර්තාගත මුදුනකට නැගුනු අතර ඇමරිකානු වෙලඳපොල දිගට ම වාර්තා බිඳ දමා ඇත. කොටස් හිමිකාරිත්වය දැවැන්ත ලෙස සංකේන්ද‍්‍රනය වන්නේ, “ප‍්‍රමානාත්මක ලිහිල්කිරීම්”, වාර්තාගත පහල පොලී අනුපාත හා රජයේ අනෙකුත් ප‍්‍රතිපත්තිවල මූඛ්‍ය ප‍්‍රතිලාභීන් වී සිටින පොහොසතුන්ගේ අතෙහිය.

වෝල් වීදියේ නිජබිම හා ගෝලීය මූල්‍ය වෙලඳපොලේ කේන්ද්‍රය වන එක්සත් ජනපදය, නැවත වතාවක් ඉහලම ප‍්‍රකෝටිපතියන් සංඛ්‍යාව, එනම් 536කට හිමිකම් කියයි. 2009 ඊනියා “ආර්ථික සුවවීම” ඇරඹී තැන් සිට එක්සත් ජනපදය තුල සියලුම ආදායම් ඉපයීම්වලින් සියයට 95ක් හිමිකරගෙන ඇත්තේ ජනගහනයේ ඉහලම සියයට 1 ය. මේ අතර, ආසන්න වශයෙන් ලමුන් හතර දෙනෙකුගෙන් සෑම එක් අයෙකු ම ජීවත්වන්නේ දරිද්‍රතාවෙහි ය.

ඇමරිකාව තුල ප‍්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුව මුදුනේ ඇත්තේ බිල් ගේට්ස් ඇතුලු සුපුරුදු පුද්ගලයින්ගේ නම් ය, මයික්‍රොසොෆ්ට් ආරම්භකයා වන බිල් ගේට්ස්ගේ පුද්ගලික ධනය පමනක් ඩොලර් බිලියන 79.9 දක්වා බිලියන 3.2කින් පසුගිය වසරේදී ඉහල ගියේ ය. ඇමරිකානුවන් අතර ගේට්ස් පසු පස සිටින්නේ වර්ෂය සඳහා ලැයිස්තුවේ ලොකුම වාසි ලබාගත් ආයෝජක වොරන් බුෆෙ ය. ඔහුට දැන් ඩොලර් බිලියන 72.7ක ශුද්ධ ධනයක් ඇත. එය පසුගිය වසරට වඩා ඩොලර් බිලියන 14.5ක වැඩිවීමකි.

යමෙකු ලැයිස්තුවේ වඩාත් පහලට යන විට සොයා ගනු ඇත්තේ, ඇමරිකානු ධනවාදයේ සාරභූතව ම අපරාධකාරී ස්වභාවයේ පුද්ගලාරෝපනය වන ආරක්ෂක අරමුදල් කලමනාකාර ස්ටීවන් කොහෙන් ය. වසරකට පෙර, කොහෙන්ගේ ආරක්ෂක අරමුදල වන එස්ඒසී කැපිටල් ඇඩ්වයිසර් නම් මූල්‍ය ආයතනය නීති විරෝධී වෙලඳාම පිලිබඳ චෝදනාවලට වරදකරුවන් විය. කොහෙන්ට නම් කිසි දා චෝදනා එල්ල නො කෙරුනු අතර ඔහු බොහෝ සරලවම සිය ධනය නව සමාගමකට, එනම් පොයින්ට්72 ඇසෙස්ට් මැනේජ්මන්ට් සමාගමට මාරු කලේ ය. කොහෙන් පසු ගිය වසරේ ඩොලර් බිලියන 1.3ක් උපයා ගත්තේ ඔහුගේ මුලු ශුද්ධ ධනය ඩොලර් බිලියන 14.4 දක්වා වැඩිකර ගනිමිනි.

වෙනම රටක් ලෙස වර්ගීකරනය කල හොත් ප‍්‍රකෝටිපතියන් 131ක් සහිත කැලිෆෝනියාව, සමස්තයක් වශයෙන් එක්සත් ජනපදයට පසුපසින් ෆෝබ්ස් ලැයිස්තුවේ දෙවැනි වන්නේ චීනයට පමනි. කැලිෆෝනියාවේ නව ප‍්‍රකෝටිපතියන් අතර, අවිනිශ්චිත පැය ගනන් හා අනිස්ථීර පැය ගනන් සමග පහල වැටුප් ගෙවනු ලබන රියදුරන් සම්බන්ධීකරනයේ විශේෂඥ මෝටර් රථ හුවමාරු සේවාවක් වන ඌබර් සමාරම්භකයින් වන ට‍්‍රාවිස් කැලනික් හා ගැරට් කෑම්ප් වෙති. එවැනි ශ‍්‍රමය සමස්තයක් වශයෙන් ඇමරිකානු ආර්ථිකය සඳහා වඩා හොඳ ආදර්ශයක් ලෙස දකිනු ලැබේ. මෙක්සිකානු විදුලි සංදේශ ධනකුවේරයකු වන කාලොස් ස්ලිම් ඩොලර් බිලියන 77ක් හිමිකරගෙන ගෝලීය ලැයිස්තුවේ දෙවැනියා විය. මිලියන 122ක් වන මෙක්සිකානු ජනගහනයෙන් අඩක් දරිද්‍රතාවේ ජීවත් වෙති. ඔවුන්ගේ දෛනික ආදායම ඩොලර් 6කට (මසකට පෙසෝ 2,329) අඩු ය. ස්ලිම්ගේ පුද්ගලික ධනය මිලියන 60ක් වන මෙම දරිද්‍රතාවෙන් මිරිකෙන මෙක්සිකානු කම්කරුවන්ගේ ඒකාබද්ධ වාර්ෂික ආදායමට දල වශයෙන් සමාන ය.

ස්ලිම් ලතින් ඇමරිකාවේ පොහොසත් ම තනි පුද්ගලයා වන අතර කලාපයේ ප‍්‍රකෝටිපතියන්ගේ විශාලම සංඛ්‍යාව, එනම් 54දෙනෙකු සිටින්නේ බ‍්‍රසීලයේ ය. බ‍්‍රසීලයේ මිලියන 60ක් වන ලමුන්ගෙන් අඩක් ජීවත්වන්නේ දරිද්‍රතාවෙහි ය.

සමස්තයක් ලෙස ප‍්‍රකෝටිපතියන්ගේ දෙවැනි විශාල ම සංඛ්‍යාව, එනම් 213ක් සිටින්නේ චීනයේ ය, පිලිවෙලින් ජර්මනිය, ඉන්දියාව හා රුසියාව එය පසුපසින් පැමිනේ.

ලෝක ධනේශ්වරය සඳහා ලාභ ශ‍්‍රම වේදිකාවක් ලෙස පවතින චීනය, මෙම වසරේ ෆෝබ්ස් ලැයිස්තුවේ 290ක් වන ප‍්‍රකෝටිපතියන්ගෙන් 71දෙනෙකුගේ නැතහොත් මුලු ගනනින් හතරෙන් එකකගේ වාස භූමිය යි. චීනයේ පොහොසත් ම පුද්ගලයා වන වෑන්ග් ජියැංලිං (ඩොලර් බිලියන 24.2) දේපල වෙලඳාම් ධනකුවේරයෙකු වන අතර ඔහු පසු පසින් සිටින්නේ අන්තර්ජාල වෙලඳ සමාගමක් වන අලිබාබා සමූහයේ නිර්මාතෘ ජැක් මා ය (ඩොලර් බිලියන 22.7).

පසු ගිය වසරේ චීනයේ කොටස් වෙලඳපොලේ ඉපිලීම වාසි ගෙන දී ඇත්තේ චීන ප‍්‍රකෝටිපතියන්ට පමනක් නො වේ. ෆෝබ්ස් මෙසේ අදහස් දැක් වී ය, “ඔබ චීනයේ ඉහල 20දෙනාගේ ලැයිස්තුවේ ප‍්‍රකෝටිපතියන් විසින් පවත්වාගෙන යන සමාගමක ආයෝජනය කලේ නම්, ඔබ ඔවුන්ගේ වත්කම් හරියට ම හරවා යවන්නේ ඔබගේ තැරව්කාර ගිනුමට ය.” පසු ගිය වසරේ අලිබාබා සමාගමේ ආරම්භක ප‍්‍රසිද්ධ කොටස් නිකුතුව, ගෝලීය ආයෝජකයින් බිලියන ගනන් ලාභ ඩැහැ ගත්, සමපේක්ෂනයේ හා කෑදරකමේ ජාත්‍යන්තර අපූර්ව දර්ශනයක් විය.

ඉන්දියාව ගැන ෆෝබ්ස් පැවසුවේ, රටේ ප‍්‍රකෝටිපතියන් 90දෙනා “අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ‘ශුභ දවස්වල’ පොරොන්දුව මත හිතුවක්කාර ලෙස හැසිරෙමින් සිටින” බව යි. පසු ගිය වසරේ දී, බලයට පත් හින්දු දක්ෂිනාංශික දේශපාලනඥයා වහා ම ව්‍යාපාර ගැති පියවර තොගයක් අනුමත කර ඇත්තේ රට ලෝකයේ ශ‍්‍රම කඳවුර ලෙස ප‍්‍රචාරය කරමින් සිටින අතරතුර ය.

ඉන්දියාවේදී සුපිරි ධනවතුන් 90 දෙනෙක් අගමැති නරේන්ද්‍ර මෝඩිගේ “හොඳ කාලයක්” පිලිබඳ පොරොන්දුව යටතේ හොඳ වාසි සලසාගෙන ඇත. පසුගිය වසරේ බලයට පත්වූ දක්ෂිනාංශික හින්දු මූලධර්මවාදී දේශපාලඥයා රට ලෝකයේ ලාභ ශ‍්‍රම වේදිකාව ලෙස නගා සිටුවමින් ඉක්මනින්ම ව්‍යාපාර ගැති පියවර ගනිමින් සිටියි.

පොහොසත් ම ඉන්දියානුවා වන්නේ රිලයන්ස් ඉන්ඩස්ටි‍්‍රයල් ලිමිටඞ් කලමනාකාර අධ්‍යක්ෂ මුකේෂ් අම්බානි (ශුද්ධ වත්කම ඩොලර් බිලියන 21කි) ය. ඉන්දියාවේ ජනගහනයෙන් සියයට 60ක් පමන, එනම් පුද්ගලයන් මිලියන 750ක් ජීවත්වන්නේ දිනකට ඩොලර් 2ට අඩු ආදායමක් මත ය.

රුසියාව ප‍්‍රකෝටිපතියන් සංඛ්‍යාවේ සැලකිය යුතු වැටීමක් අත්දැක තිබේ. සංඛ්‍යාව 111ක සිට 88 දක්වා පහත බැස ඇත. සියලු රටවල් දැක්වෙන ලැයිස්තුවේ තුන්වැනි තැන සිට පස්වැනි තැනට ඇදවැටී තිබේ. තෙල් මිල ගනන්වල තියුනු පහල යාම ද ඇමරිකාව හා යුරෝපය විසින් පටවන ලද බල බිඳින ආර්ථික සම්බාධක නිසා රට ගිලගෙන ඇති ආර්ථික අර්බුදයේ එක් ප‍්‍රතිඵලයකි මෙය. සම්බාධකවල එක් මූලික අරුමයක් වන්නේ, සිය ධනය මතට යෙදෙන බලපෑම පිලිබඳව බියට පත්ව සිටින රුසියානු කතිපයාධිකාරයේ කන්ඩායමක් ව්ලැඩිමීර් පුටින්ගේ ආන්ඩුවට එරෙහිව යාම සඳහා දිරි ගැන්වීම යි.

ඇතම් වඩා පුලුල් සැසඳීම් වැදගත් තොරතුරු හෙලි කර යි. උදාහරනයක් වශයෙන්, යුරෝපා බැංකුවට ග‍්‍රීසිය ගෙවිය යුතු නය ප‍්‍රමානය ඩොලර් බිලියන 90ක් පමන වේ. ලෝකයේ ප‍්‍රකෝටිපතියන්ගේ ධනය මෙම සංඛ්‍යාව මෙන් 77ත් ගුනයකට වඩා වැඩි ය.

එක්සත් ජනපදයේ ඩෙට්‍රොයිට් නගරය නය ගැතිව සිටින මුදල වන ඩොලර් බිලියන 6.9, ලෝක ප‍්‍රකෝටිපතියන්ගේ ඒකාබද්ධ ධනයෙන් දාහෙන් එකක් පමනකි.

බැංකු හා සමස්ත දේශපාලන සංස්ථාපිතය විසින්ම අනුමත කරන ලද විනාසකාරී ප‍්‍රතිව්‍යුහගත කිරීම තුලින් ග‍්‍රීසිය හා ඩෙට්‍රොයිට් නගරය, මහජන දරිද්‍රතාවය හා ජීවන තත්වයන් විනාශවීමේ තත්වයට ඇද වැටී ඇත.

ෆෝබ්ස් ලැයිස්තුව සමස්තයක් ලෙස ලෝක ධනවාදයේ පරපුටු ස්වභාවයට ප‍්‍රකාශනයක් ලබා දෙයි. මූල්‍ය, නිෂ්පාදන, විදුලි සංනිවේදන යන ඔවුන්ගේ ධනය ඒකාබද්ධව පවතින ආර්ථිකයේ කුමන විශේෂ අංශයක් වුවත්, සුපිරි පොහොසතුන්ගේ ධනය අනිවාර්යයෙන් ම බැඳී ඇත්තේ ඉහල යන කොටස් වෙලඳපොල සමග ය.

එතරම් සුලුතරයක් අත ඒ සා දැවන්ත මුදල් සම්භාරයක් සමුච්චයනය වීම හුදු වියුක්ත ආර්ථික ක‍්‍රියාවලියක ඵලයක් නො ව, 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව තීව‍්‍රකරන ලද ආන්ඩුව හිතාමතා ක‍්‍රියාත්මක කල ප‍්‍රතිපත්තිවල ඵලයකි. එවකදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කල පරිදි අර්බුදය වනාහි, “ඇමරිකානු හා ගෝලීය ආර්ථිකයේ අතිමූලික ප‍්‍රතිව්‍යුහගත කිරීම හා එය පදනම් වූ සමාජ හා පන්ති සම්බන්ධතා ක‍්‍රියාත්මක වන” රූපාකාරය යි.

බැංකු වලට ඇප දීම ද ආසන්න වශයෙන් ශුන්‍ය පොලී අනුපාත හා “ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ” ප‍්‍රතිපත්ති මුලුමනින් ම ක‍්‍රියාත්මක කල 2009 සිට, ලෝකයේ ප‍්‍රකෝටිපතියන්ගේ වත්කම් ආසන්න වශයෙන් තුන් ගුනයක් වී ඇත. ඔබාමා පාලනාධිකාරය විසින් නායකත්වය දෙන ලද පාලක පන්තිය මූල්‍ය වෙලඳපොලට ඩොලර් ටි‍්‍රලියන ගනන් පොම්ප කල අතර කම්කරු පන්තිය මත රුදුරු ප‍්‍රහාර එල්ල කරයි.

මෙම ක‍්‍රියාදාමයේ විශ්වව්‍යාපී ස්වභාවය පැහදිලි කරන්නේ, විවාදයට භාජනය වන පවතින ආර්ථික පර්යායේ සැබෑ ස්වභාවය යි. සමාජ අසමානතාවේ අසාමාන්‍ය වර්ධනය හා පතුලේ සිට මුදුනට ධනය මාරු කිරීම, බංකොලොත් හා රෝගාතුර සමාජ පද්ධතියක, එනම් ධනවාදයේ ප‍්‍රකාශනය යි. මෙම පද්ධතියේ පරිහානිය හා අර්බුදය එය ම අහෝසි කිරීමට අවශ්‍ය මාධ්‍යය, එනම් ලෝක පරිමාන සමාජ ගැටුම් හා පන්ති අරගල පැන නංවයි.

Share this article: