ශ‍්‍රී ලංකාවේ ග්ලෙනුගි වතු කම්කරුවන්ට එරෙහි සමාගමේ හා පොලිසියේ දඩයම නතර කරනු!

வேட்டையாடல் நடவடிக்கையில் இலங்கை பொலிஸ் தோட்டத் தொழிலாளர்களை கைது செய்தது

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2015 මාර්තු 19

පසුගිය බදාදා මස්කෙලිය පොලිසිය සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ආධාරකරුවෙකු වන ජී. විල්ෆ‍්‍රඩ් ද ඇතුලු ග්ලෙනුගි වත්තේ ඩීසයිඩ් කොටසෙහි වැඩ කරන තරුන කම්කරුවන් අට දෙනෙක් බොරු චෝදනා මත අත්අඩංගුවට ගත්තේය. වැඩ ප‍්‍රමානය ඉහල නැංවීමට එරෙහිව පෙබරවාරි මාසයේ ඩීසයිඩ් වත්තේ කම්කරුවන් දින තුනක් වැඩවර්ජනය කිරීමෙන් පසුව ඇතිව තිබෙන මර්දනයේ කොටසක් ලෙස මෙම දඩයම දියත්වී ඇත.

මස්කෙලිය වතු සමාගමට අයත් ග්ලෙනුගි වත්තේ කලමනාකරනය මෙම මර්දනයේ කොටසක් ලෙස, විල්ප‍්‍රඩ් හා අනෙක් හත්දෙනාට එරෙහිව මාර්තු 21දා අභ්‍යන්තර පරීක්ෂනයක් පැවැත්වීමට නියමිතය. ක්ෂේත‍්‍ර නිලධාරියෙකු වන බී. ඒබ‍්‍රහම්ට බැනවැදී පහරදුන් බවටත්, ක්ෂේත‍්‍රයේ වැඩකටයුතු වලට බාධා කල බවටත්, කරුනු අටකින් යුත් චෝදනා පත‍්‍රයක් නිකුත්කර ඇත. මෙම චෝදනා පත‍්‍රයෙන් කලමනාකරනය, චෝදනා ඔප්පු වුවහොත් කම්කරුවන් දොට්ට දැමීමට හැකි බව ඇඟවුම් කර තිබේ.

මොවුන්ට පමනක් නොව, ග්ලෙනුගී කම්කරුවන් මෙන්ම වඩාත් පුලුල් ආකාරයෙන් වතු කම්කරුවන් මැඩීම අරමුනු කරගත් මෙම තුච්ඡ දඩයම සසප හෙලා දකියි. සමාගම හා පොලිසිය, සමහර කම්කරුවන් සිද්ධිය පිලිබඳ සාක්ෂිකරුවන් ලෙස යොදාගැනීමට උත්සාහ කරති. මෙය වනාහි කම්කරුවන් බෙදීම පිනිස ඔවුන් එකිනෙකාට එරෙහිව පිහිටුවීමේ නරුම උත්සාහයකි. තමන්ගේ එකමුතුකමට හානිකරන මෙම උගුලට හසු නොවන ලෙසට අපි කම්කරුවන්ට අනතුරු අඟවන අතර, සිය අයිතීන් ආරක්ෂාකර ගැනීමට සටන් වදින ලෙස කියා සිටිමු.

සසප ආධාරකරුවෝ වැඩවර්ජනයේ පෙරමුනෙහිම සිටිමින්, වෘත්තීය සමිතිවල පාවාදීමට එරෙහිව ක‍්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීම සඳහා කම්කරුවන් අතර උද්ඝෝෂනයක යෙදී සිටියහ. අනෙකුත් කම්කරුවන් වන්නේ, එම්. නෙස්තුරියන්, එස්. ඩග්ලස් නුමාන්, එෆ්. ප‍්‍රෑන්ක්ලීන්, ඇන්ටන් ජුලියන්, ජේ. ජක්සන්ජෝයි, එස්. බෙනඩික්ට් හා ටී. ජෙරාම් ය. පොලිසිය කම්කරුවන් හැටන් මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත්කොට රිමාන්ඩ් භාරයට පත්කර ඇත. පසු දිනයේ ඔවුන් උසාවියට ඉදිරිපත්කොට රුපියල් 50,000ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

පොලිසිය මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, වත්තේ වැඩ පරීක්ෂකයෙකුට පහර දීම හා කම්කරුවන්ට එරෙහිව බඹරුන් ඇවිස්සීම සඳහා ඔවුන්ගේ කූඩු වලට ගල්ගැසුවේය යන බොරු පැමිනිල්ලක් මතය.

ඩීසයි වත්තේ කම්කරුවෙක් ලෝසවෙඅ මෙසේ පැවසීය. “පහුගිය මාසයේ වැඩවර්ජනයෙන් පසුව, ග්ලෙනුගි වත්තේ පාලකයින්, ලංකා වතු කම්කරු සංගමය හෙවත් සීඩබ්ලිව්සී ශාඛාවේ නායකයින්ගේ උදව්ව ඇතිව කම්කරුවන්ගෙන් පලි ගැනීමට නොයෙකුත් බර පටවා ඇත. බොරු කතන්දර උඩ සිදුකර තිබෙන මෙම අත්අඩංගුවට ගැනීම් කම්කරුවන් බිය ගැන්වීම සඳහා පාලකයින් විසින් නිර්මානය කල දේය.”

බඹර ප‍්‍රහාරය සිදුව ඇත්තේ ගල් ගැසීම නිසා නොව අහම්බ සිද්ධියක් නිසාය. පසුගිය වසරවල බඹර ප‍්‍රහාර බොහෝ වතුවල පොදු සිද්ධියක්ව ඇති අතර ඒවාට සිය ගනනක් කම්කරුවන් ගොදුරුවී, සමහරෙකුට බරපතල හානි සිදුව ඇත. ඊට හේතුව කලමනාකරනය වතු නිසි පරිදි පවත්වාගෙන නොයෑමය.

විල්ප‍්‍රඩ් හා අනෙක් කම්කරුවන් සිද්ධිය ආරංචි වීමෙන් පසුව ඒ ගැන සොයාබැලීම පිනිස එහි ගොස් තිබේ. ඒ කොටසට ගැහැනු කම්කරුවන් යෙදීම ගැන ඔවුන් වැඩ පරීක්ෂකවරයා සමග තර්ක කර ඇත. එම සීඩබ්ලිව්සී පරීක්ෂකවරයා කම්කරුවන් තමන්ට පහර දුන් බවට පොලිසියට පැමිනිලි කර තිබේ.

බඹර ප‍්‍රහාරය සිදුව ඇත්තේ කම්කරුවන් බඹරුන් ඇවිස්සීම නිසා බවට වතු පාලකයින්ට උදව් කෙරෙන බොරු කථා ප‍්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කම්කරුවෝ මාධ්‍යයට ද චෝදනා කලහ. එක් කම්කරුවෙක් මෙසේ පැවසීය. “ශක්ති” රූපවාහිනිය මෙම බොරු කථාව ප‍්‍රචාරය කලා. මෙම සීඩබ්ලිව්සී ශාඛාවේ උප සභාපති ද වන එහි වාර්තාකරු ඩීසයිඩ් වත්තේ වාසය කරන අතර වතු පාලකයින් සමග සමීපව සිටියි. මෙම නාලිකාව පසුගිය මාසයේ අප කල වැඩවර්ජනය ගැන කිසිවක් වාර්තා කලේ නෑ.”

කිසිදු ගෙවීමක් නොකර නෙලන දලු ප‍්‍රමානය දවසකට කිලෝ 18 දක්වා කිලෝ දෙකකින් වැඩි කිරීමට එරෙහිව පෙබරවාරි 10දා සිට දින තුනක් ඩීසයිඩ් වත්තේ කම්කරුවෝ වැඩ වර්ජනය කලහ. වැඩවර්ජනය සිදුවුනේ සියලු වෘත්තීය සමිති වලින් ස්වාධීනවය. වැඩවර්ජනයට පෙර මෙම වත්තේ කම්කරුවන්ගෙන් බහුතරය සීඩබ්ලිව්සී සාමාජිකයන් විය. තම සටනට සහාය නොදුන් බැවින් සියයකට වැඩි කම්කරුවන් සංඛ්‍යාවක් ඒ දිනවල තම ඉල්ලා අස්වීමේ ලිපි සීඩබ්ලිව්සී ශාඛාවට බාරදී ඇත.

කඳුරට ජනතා පෙරමුන හා කම්කරු ජාතික සංගමය හෙවත් නුවා සමිතියේ ශාඛාවන් ද මෙහි ඇත. නුවාහි නායක පී. දිගම්බරම් ආන්ඩුවේ ඇමතිවරයෙකි. මෙම සමිතිය ආරම්භයේදී වැඩවර්ජනයට සහාය දුන් නමුත් එහි ප‍්‍රාදේශීය නායකයා වන නගුලේෂ්වරන්, කලමනාකරනය දලු නෙලීමේ ඉලක්කය අඩු කිරීමට එකඟවී ඇති බවත් අමතර වැඩ සඳහා අතිරේක ගෙවීමක් නඩුවකින් පසුව ලබාගත හැකි බවත් කියා සිටිමින් පසුව වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට මැදිහත් විය.

එම කම්කරුවන් අටදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවශ්‍යවූ මේ වතාවේ නුවා නායකයින්, ග්ලෙනුයිගි වතු පාලකයින් හා මස්කෙලිය පොලිස් ප‍්‍රධානියා ද සමග එක්ව සාකච්ඡා කර, ඇප ලැබෙන බව පවසා කම්කරුවන්ට උසාවියට ඉදිරිපත්වන ලෙස කියා සිටි අතර කම්කරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇප ලබාදුන්නේ පසු දිනයේ පමනි.

ඩීසයිඩ්හිදී දක්නට ලැබුනු පරිදි වතු වෘත්තීය සමිති, වතු සමාගම්, ආන්ඩුව හා පොලිසිය සමග එකට වැඩ කරති. සැබවින්ම ඔවුහු, කම්කරුවන් මත තව තවත් බර පැටවීමේ කාර්මික පොලිසිය ලෙස වතුකරය තුල වැඩ කරති. කම්කරුවන් පාවාදීම සඳහා සමිති, වතු සමාගම් සමග තුට්ටු දෙකේ ගිවිසුම් වලට එලඹෙති. කම්කරුවන් මැඩපැවැත්වූ තත්වයක පවත්වාගැනීම පිනිස සිදුවන පොලිස් මර්දනය වතුකරය තුල සාමාන්‍ය දෙයක් වන අතර වෘත්තීය සමිති පොලිසියේ පැත්ත ගෙන කටයුතු කරති. වෘත්තීය සමිතිවල තුච්ඡ ක‍්‍රියාකලාපය හේතුකරගෙන බොහෝ කම්කරුවන් ඒවායින් ඉවත්වී ගොසිනි.

පසුගිය සතියේ තලවකැලේ ආසන්න ගේ‍්‍රට් වෙස්ටර්න් වතුයායේ කම්කරුවන් පොලිස් මර්දනයකට මුහුන පෑවේය. පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව වත්තේ තරුනයෙකු සැකකටයුතු පරිදි තලවකැලේ ජලාශයකට වැටී මරුමුවට පත්විය. ඊට විරුද්ධත්වය පල කල කම්කරුවන්ට පොලිසිය පහර දුන්නේය. පසුව කම්කරුවන් 20ක් අත්අඩංගුවට ගත්තේ, මහේස්ත‍්‍රාත් පරීක්ෂනයට බාධා කල බවටත් නීති විරෝධී කාන්ඩ ගැසීමේ චෝදනාවත් එල්ල කරමිනි.

මෙම මර්දනය හා දඩයම් සිදුවෙමින් ඇත්තේ, කම්කරුවන් අතර අසහනය වැඩෙමින් ඇති තත්වයකදීය. දෙවසරක සාමූහික ගිවිසුම අවසන් වීමට නියමිත අපේ‍්‍රල් මාසය වන විට වතු සමිති සොච්චම් වැටුප් වැඩිවීමකට එකඟතාවය පල කරන තවත් පාවාදීමකට සූදානම් වන නමුත් ප‍්‍රමානවත් වැටුප් වැඩිවීමක් සඳහා වන කම්කරුවන්ගේ ඉල්ලීම් දැඩි වෙමින් තිබේ. වැටුප් හා අනෙකුත් අයිතීන් සඳහා අරගල පුපුරා යාම පිලිබඳව කනස්සල්ලට පත්ව සිටින වතු සමාගම්, පොලිසිය හා ආන්ඩුව කම්කරුවන් මැඩීමට උත්සාහ දරති.

සසප ග්ලෙනුගි වතුයායේ ඩීසයිඩ් හා මස්කෙලිය ප්ලාන්ටේෂන් සමාගමට අයත් අනෙකුත් වතුවල කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම දඩයමට විරුද්ධ වන ලෙසයි. එමෙන්ම අපි ඩීසයිඩ් කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නැගී සිටින ලෙස වතුකරයේත් අනෙකුත් ක්ෂේත‍්‍රයන්හිත් සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: