එක්සත් ජනපදය යුකේ‍්‍රනය වෙත මිලිටරි ආම්පන්න යැවීමත් සමග රුසියාව සමග යුද්ධයේ අන්තරාය දැඩිවේ

Danger of war with Russia grows as US sends military equipement to Ukraine

ජොහැනස් ස්ටර්න් හා ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2015 මාර්තු 13

නැගෙනහිර යුරෝපය තුල දැන් සිදුවෙමින් ඇති පරිදි, නේටෝවේ රුසියානු විරෝධී මිලිටරි තරකිරීම්වල කොටසක් ලෙස, වොෂින්ටනය විසින් දැන් ආරම්භ කර තිබෙන, යුකේ‍්‍රනයට මිලිටරි ආම්පන්න බෙදාහැරීම, න්‍යෂ්ටික බලවතෙක් වන රුසියාව හා නේටෝ සන්ධානය අතර පූර්න යුද්ධයක අවදානම මතු කරයි.

ඔබාමා පාලනය, ඔත්තු බලන ඩ්‍රෝන් යානා, රේඩියෝ හා මිලිටරි ගිලන් රථ ඇතුලු ඩොලර් මිලියන 75ක මෙවලම් ද සන්නද්ධ හම්වීස් යුද්ධ ටැංකි 30ක් හා සන්නද්ධ නොකල යුද ටැංකි 200ක් යවනු ඇති බව 11දා නිවේදනය කලේය. එරට කොන්ග‍්‍රසය, ඩොලර් බිලියන 3 වටිනා මාරාන්තික අවිතොග කියෙව් ආන්ඩුවට සැපයීම සඳහා වන නීති සම්පාදනයට ද සූදානම් වේ.

ඒ සමගම වොෂින්ටනය, රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නුවර ආසන්නයේ පිහිටි බෝල්ටික් සමූහාන්ඩු වෙත උපරිමයෙන් සන්නද්ධ කල 3000ක හමුදාවක් යැවීමට කටයුතු කරයි. ඇමරිකානු හමුදා ඉවත්ව ගිය පසුව ද ඔවුන්ගේ ඒබ‍්‍රාම් යුද ටැංකි 750ක් හා බ‍්‍රැඩ්ලි සන්නද්ධ රථ එහි තබා යනු ඇත. මෙම අවි සම්පාදනයේ අරමුන, ඇමරිකානු මේජර් ජෙනරාල් ජෝන් ඕ කොනර් ලැට්වියානු අගනුවර වන රිගාහිදී කියා සිටි පරිදි, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහි “එක්ව සිටීමට අපගේ අධිෂ්ඨානය පෙන්නුම් කිරීම” ය.

තම දේශසීමා ආසන්නයට නේටෝව සිදුකරන දැවැන්ත මිලිටරි සැපයුම්, රුසියාවේ ජාතික ආරක්ෂාවට නොඉවසිය හැකි තර්ජනයක් ලෙස මොස්කෝව විසින් සලකනු ලබන බවට කර ඇති තියුනු අනතුරු ඇඟවීම් නොතකා වොෂින්ටනය මේ පියවර ගනු ලබයි.

පසුගිය මාසයේදී රුසියානු විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක ඇලෙක්සැන්ඩර් ලූකාෂෙවිච් පැවසූ පරිදි, “විශේෂයෙන්ම ඩොන්බාස්හි ( නැගෙනහිර යුකේ‍්‍රනයේ) පුරවැසියන් ඇමරිකානු ආයුධ වලින් මිය යාමට පටන්ගැනීමත් සමග, එවන් තීරනයක් ගතහොත් නිසැකවම එය, එක්සත් ජනපද-රුසියානු සබඳතාවන්ට දැවැන්ත හානියක් සිදුකරනු ඇත.”

“මෙය වනාහි අමතර මිලිටරි අවකාශ නිර්මානය කිරීම පිලිබඳ ප‍්‍රශ්නයක් වන අතර එමගින්, සන්ධානයට රුසියාවේ දේශසීමාව ආසන්නයේ ක‍්‍රියාත්ම වීමට ඉඩ සලසයි... එවන් තීරන ස්වාභාවිකවම අපගේ මිලිටරි සැලසුම් වලදී සැලකිල්ලට ගනු ඇත.” යනුවෙන් පවසමින් නේටෝවේ සැලසුම් “දැඩි කනස්සල්ලට” හේතුවී ඇති බව ඔහු කියා සිටියේය.

එම තීරන වොෂින්ටනය හා බර්ලිනය අතර ද ආතතීන් තියුනු කර ඇත. බර්ලිනය, රුසියාව සමග පූර්න පරිමානයේ යුද්ධයකට තර්ජනය කරන පියවරයන්ට විරුද්ධ වන අතර දැනට ක‍්‍රියාත්මක වන, මූල්‍යමය වශයෙන් රුසියාවේ ගෙල සිර කරන පිලිවෙතට සහාය දක්වයි.

වොෂින්ටනය වෙත 12දා ලඟාවූ ජර්මානු විදේශ ඇමති ප‍්‍රෑන්ක්-වෝල්ටර් ස්ටීන්මියර්, රුසියාවට “ආර්ථික හා දේශපාලන පීඩනය” යෙදීම දිගටම ගෙනයන ලෙස ඉල්ලා සිටියේය. යුකේ‍්‍රනය සන්නද්ධ කිරීම, ගැටුම “නව අදියරකට ඔසවා තැබිය හැකි” බවට ඔහු, මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයනය පිලිබඳ (සීඑස්අයිඑස්) දෘෂ්ටි ආයතනය හමුවේ අනතුරු ඇඟවීය.

කෙසේ වෙතත්, පසුගිය මාසයේදී මින්ස්ක් නුවරදී ජර්මානු, ප‍්‍රන්ස, රුසියානු හා යුකේ‍්‍රන නිලධාරීන් අතර ඇතිකරගත් සටන් විරාම එකඟත්වයට පෙරාතුව, යුකේ‍්‍රන තන්ත‍්‍රය අත්විඳි පරාජයෙන් පසුව, ඇමරිකානු පාලක පන්තියේ පුලුල් කොටස්වල මනෝ භාවය, වඩ වඩාත් උන්මාදනීය වී ඇත.

රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් හෙලා දකින ලද ප‍්‍රකාශයක් තුල විශ‍්‍රාමලත් මේජර් ජෙනරාල් වරයෙක් හා රූපවාහිනී පන්ඩිතයෙක් වන රොබට් ස්කේල්ස් මෙසේ පැවසීය. “එය යුකේ‍්‍රනය තුල සෙල්ලම් කිරීමට සූදානම් කර තිබෙන ක‍්‍රීඩාවකි. කලාපය තුල ඇමරිකාවට යම් හෝ අනුහසක් ඇතිකරගත හැක්කේ ද රැල්ල ආපසු හැරවිය හැක්කේ ද රුසියානුවන් මැරීමට පටන් ගැනීමෙනි.”

මේ සතියේදී පෙන්ටගන් හා කොන්ග‍්‍රස් නිලධාරීහු, ධවල මන්දිරයේ ඉක්මන් ක‍්‍රියාකාරිත්වයක් සඳහා බල කරමින්, වොෂින්ටනය කියෙව් පාලනය සන්නද්ධ කලයුතු බව කියා සිටියහ. ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් හා ඒකාබද්ධ මාන්ඩලික ප‍්‍රධානී ජෙනරාල් මාටින් ඩෙම්සි මෙන්ම මහ ව්‍යාපාරික පක්ෂ දෙකේ ප‍්‍රමුඛ කොන්ග‍්‍රස් සභිකයින් ද කියෙව් වෙත මහා පරිමානයේ අවි සම්පාදනය සඳහා බල කරයි.

ඩිමොක‍්‍රටික් පක්ෂයේ සෙනේට් සභික ඩික් ඩරබින් මෙසේ පැවසීය. “යුකේ‍්‍රන ජනතාවට මෙන්ම ක්‍රෙම්ලිනයට ද තදින් සංඥා කිරීම ගැන මම ජනාධිපති ඔබාමාට ප‍්‍රශංසා කරමි. එහෙත් හැකිතාක් ඉක්මනින් ආරක්ෂක අවි ද ඇතුලුව යුකේ‍්‍රනය වෙනුවෙන් තවත් බොහෝ දේ කල හැකි හා කල යුතුව ඇත.”

රිපබ්ලිකානු සෙනේට් සභික බොබ් කෝකර් පැවසුවේ මෙසේය. “ඇය මෙහි සිටියදී ජනාධිපති, මර්කෙල්ට [ජර්මානු චාන්සලර් ඇන්ජිලා] හෝ ජර්මානු තානාපතිට, පේලි දෙපැත්තේම බොහෝ සේ කනස්සල්ල දනවන තත්වයක් සැබවින්ම නිර්මානය කරන කිසිවක් නොකිරීම පිලිබඳ පොරොන්දුවක් දී ඇති බවක් පෙනී යයි.”

“අප යුකේ‍්‍රන හමුදාවට ආරක්ෂක අවි සම්පාදනය කිරීමෙන් පුටින් ප‍්‍රකෝප කරන්නේය යන මෙම තර්කය ගිලගැනීමට මා සූදානම් නැත” යයි පැවසුවේ ඩිමොක‍්‍රටික් සෙනේට් සභික ක‍්‍රිස් මර්ෆිය.

උමතු ආක‍්‍රමනකාරිත්වය හා අදූරදර්ශීකමේ විසකුරු සංයෝජනය සමග නේටෝ සන්ධානය, සමස්ත ග‍්‍රහලෝකයම විනාශ කල හැකි, රුසියාව සමග යුද්ධයකට පනිමින් සිටියි. යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් කියෙව්හි 2014 පෙබරවාරි කුමන්ත‍්‍රනයට සහාය දැක්වීම සඳහා පෙලගස්වමින් ද නැගෙනහිර යුකේ‍්‍රනයේ කියෙව් ආන්ඩුව ගෙන යන ලේවැකි යුද්ධයට පිටුබලය දෙමින්ද ජර්මනිය, ඇමරිකානු ප‍්‍රතිපත්ති පිලිබඳව කරන අනතුරු ඇඟවීම්, බොහෝකොටම උපායික ස්වභාවයක් ගනියි. යුද්ධයට හරස් කැපිය හැකි එකම බලවේගය ඇමරිකාවේ ද යුරෝපයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

ඇමරිකානු පිලිවෙත කෙරෙහි බර්ලිනයේ සැක සාංකා තිබියදීම නේටෝව, රුසියාවට එරෙහි සිය මිලිටරි වැටලීම් ඉහල නංවා ඇත. 11දා පැවති මාධ්‍ය හමුවකදී නේටෝවේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් හා එහි යුරෝපීය හමුදාවන්ගේ උත්තරීතර අනදෙන නිලධාරී ජෙනරාල් ෆිලිප් බී‍්‍රඩ්ලෝව්, නැගෙනහිර යුරෝපය පුරා සිදුවෙමින් ඇති මිලිටරි තරකිරීම් ගැන තොරතුරු දැක්වූහ. ඔවුන් එසේ පැවසුවේ බෙල්ජියමේ මොන්ස්හි, ෂේප් යන මූලස්ථානයේ සිටිමිනි. එය යුරෝපයේ නේටෝ මෙහෙයුම් අධීක්ෂනය කරන මධ්‍යස්ථානයයි.

ස්ටෝල්ටන්බර්ග් පැවසුවේ, සීතල යුද්ධයේ අවසානයෙන් පසුව නේටෝව “සිදු නොකල ආකාරයෙන් සිය සාමූහික ආරක්ෂාව පුලුල් කරයි. අපි ක්ෂනික විහිදුම් බලකාය භටයින් 13,000 සිට 30,000 දක්වා දෙගුන කරන්නෙමු. පැය 48ක් තුල ස්ථානගත කිරීමට සූදානම් මිනිසුන් 5,000ක පෙරමුනක් සහිත ක්ෂනික විහිදුම් බලකාය අපි සන්නද්ධ කරන්නෙමු. අපි බෝල්ටික් රටවල හා අනෙකුත් නැගෙනහිර යුරෝපීය රටවල මෙහෙයුම් මධ්‍යස්ථාන හයක් පිහිටුවන්නෙමු.” යනුවෙනි.

ආරක්ෂක වියදම් දැවැන්ත ලෙස වැඩි කිරීමට මෑතක පැවති වේල්ස් සමුලුවේදී නේටෝ සාමාජික රටවල් දුන් පොරොන්දුව ගැන සඳහන් කරමින් ඔහු, “වේගය පවත්වාගැනීමට” පොරොන්දු විය. බෝල්ටික්හි මිලිටරි තරකිරීම් වලට අමතරව, කලු මුහුදේ නාවික අභ්‍යාස ආරම්භ කෙරී තිබේ. නේටෝව වයඹදිග යුරෝපයේ වසර ගනනාවක් පුරාවට විහිද යන මිනිසුන් 25,000ක් සම්බන්ධවන විශාලතම අභ්‍යාස ද සූදානම් කරමින් සිටියි.

“අනාගත අභියෝග එක්ව පොර බැදීමේදී නේටෝව තුල, එකමුතුව, සූදානම හා අධිෂ්ඨානය” මෙතරම් ඉහල මට්ටමකින් තිබුනු කාලයක් තමා දැක නැති බව බී‍්‍රඩ්ලොව් පැවසීය. මෙම තත්වය දිගටම පවතිනු ඇති බවට ඔහු විශ්වාසය පල කලේය.

යථාර්තය නම්, වොෂින්ටනය හා එහි යුරෝපීය සහචරයින් අතර විශේෂයෙන්ම ජර්මනිය සමග ආතතීන් මෑත සතිවලදී ඉහල නැග තිබීමයි. සිය මෑතම ප‍්‍රකාශනය තුල ඩර් ස්පීගල් වාර්තා කලේ, “වොෂින්ටනයේ දැඩි මතධාරීන්, පලමුව හා සියල්ලන්ටත් වඩා, යුරෝපයේ උත්තරීතර නේටෝ අනදෙන නිලධාරියා, මොස්කෝව සමග ගැටුම උසිගැන්වීම” පිලිබඳව බර්ලිනය කෝපයට පත්ව සිටින බවය.

ජර්මානු චාන්සලර් කාර්යාලය, බී‍්‍රඩ්ලෝව්ගේ “අන්තරායකාරී ප‍්‍රචාරනය හා වැරදි, ප‍්‍රතිවිරුද්ධ හා අසත්‍ය පවා” ප‍්‍රකාශ විවේචනය කලේය.

සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයේ විදෙස් ප‍්‍රතිපත්ති විශේෂඥයෙකු වන නීල්ස් ඇනන් මෙසේ පැවසීය. “දේශපාලන කාරනා සම්බන්ධයෙන් බී‍්‍රඩ්ලෝව්, වඩාත් පැහැදිලි හා මැඩපවත්වාගත් ආකාරයෙන් සිය අදහස් පල කිරීම සුදුසු බව මගේ අදහසයි.” ඒ වෙනුවට නේටෝව, “අපේ අදහස් ප‍්‍රවේසම් සහගත ශුභවාදයකට පැමින තිබෙන ඒ වේලාවේම, යුකේ‍්‍රන ගැටුම තුල ප‍්‍රහාරාත්මක රුසියානු මැදිහත්වීමට එරෙහිව යලි යලිත් ප‍්‍රකාශ නිකුත් කරයි.”

ඩර් ස්පීගල් පත‍්‍රයට අනුව, ඇමරිකානු ජර්මන් මතභේද, “අන්තර් අත්ලාන්තික් හවුල්කරුවන්ට එකිනෙකට වෙනස් අරමුනු පැවතීමේ මූලික කාරනය නිසා” ඇතිව තිබේ. “මින්ස්ක් සාම ගිවිසුම ඇඟවුම් කරමින්, ජර්මානු-ප‍්‍රන්ස ආරම්භකත්වයන් යුකේ‍්‍රන තත්වය ස්ථාවර කිරීම අරමුනු කරගන්නා අතර ඇමරිකානු පාලනයේ මැදිහත්කරුවන්ට එය රුසියාව සම්බන්ධ කාරනයකි. ඔවුන්ට අවශ්‍ය, කලාපය තුල රුසියානු බලපෑම් පසුපසට තල්ලු කර පුටින් පාලනය අස්ථාවර කිරීමය. ඔවුන්ගේ සිහින අරමුන රුසියාවේ පාලන තන්ත‍්‍ර වෙනසකි.”

තමන්ට නේටෝවේ ආකෘතිය තුල යලි සන්නද්ධ වීමටත්, නැගෙනහිර යුරෝපය තුල සිය ආර්ථික හා භූමූලෝපායික අවශ්‍යතා මිලිටරිමය ලෙස පෙරට ගෙනයාමටත් දේශපාලන කොන්දේසි නිර්මානය කරගැනීමට අර්බුදය ගසාකමින් ජර්මානු අධිරාජ්‍යවාදය, යුකේ‍්‍රනයේ කුමන්ත‍්‍රනයට පිටුබලය දුන්නේය. කෙසේ වෙතත් එරට, ජර්මානු හමුදාව තවමත් සූදානම්ව නොතිබියදී යුකේ‍්‍රන ගැටුම, නේටෝව හා රුසියාව අතර පූර්න යුද්ධයක් තුලට පැතිර යාම පිලිබඳව බියට පත්ව සිටියි.

Share this article: