නේටෝව හා රුසියාව එදිරිවාදී මිලිටරි අභ්‍යාස පවත්වද්දී ගෝලීය ආතතීන් ඉහල නගී

Global tensions surge as NATO, Russia hold rival military exercises

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2015 මැයි 28

රුසියාව තුලත් එහි දේශසීමා දිගේත්, නේටෝව හා රුසියාව එකිනෙකාට සතුරු මිලිටරි අභ්‍යාස පවත්වද්දී යුරේසියාව හා උතුරු ඇමරිකාව පුරා හමුදාවන් දැඩි සුපරීක්ෂාවෙන් සිටියි.

නේටෝ බලවතුන් 25දා, ආක්ටික් සාගරයේ සිය ගුවන් ආරක්ෂක අභ්‍යාස ඇරඹීමත් සමග මොස්කෝව සති දෙකක මහා පරිමානයේ ගුවන් අභ්‍යාසයක් පටන්ගෙන තිබේ. ආක්ටික් කලාපය තුල නේටෝ ගුවන් යානා 100ක් හා ජර්මනිය, බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්සය, නෙදර්ලන්තය, ෆින්ලන්තය, ස්විට්සර්ලන්තය හා ඇමරිකානු භටයින් 4000ක් ඇතුලුව ක‍්‍රියාත්මක වෙද්දී රුසියාව දල වශයෙන් ගුවන් යානා 250ක් හා භටයින් 12,000ක් යූරල්ස් හා බටහිර සයිබීරියාව තුල බලමුලු ගන්වා ඇත.

ආක්ටික් අභියෝගය නමින් සිදුවන නේටෝ අභ්‍යාස, ජූනි 04දා දක්වා ක‍්‍රියාත්මක වේ. ඉන් දිනකට පසුව නේටෝව විසින් පවත්වනු ලබන වාර්ෂික අභ්‍යාස, බෝල්ටික් මුහදු ප‍්‍රදේශයේදී ආරම්භ වන්නේ, නේටෝ සාමාජික රටවල් 17ක හමුදා භටයින් 4500ක් සහභාගීත්වයෙනි. ඒ රුසියාවේ වයඹදිග දේශසීමා ආසන්නයේය.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය සිය මෙහෙයුම් හැඳින්වූයේ රුසියාවේ ආරක්ෂක ශක්‍යතා විමසා බැලෙන ”දැවැන්ත හදිසි පරීක්ෂනයක්” ලෙසය. රුසියානු මාධ්‍යයට අනුව, මෙහෙයුම්වල අර්ථය, විදේශයකින් එල්ල වන මහා පරිමාන ගුවන් ප‍්‍රහාරයකට මුහුනදීම සඳහා රුසියානු මිලිටරිය පුහුනු කිරීම ය. සඳුදා ආරම්භවී බ‍්‍රහස්පතින්දා දක්වා පැවැත්වෙන අභ්‍යාස, සැප්තැම්බරයේ පැවැත්වෙන විශාල මිලිටරි අභ්‍යසයක් සඳහා රුසියානු සන්නද්ධ හමුදා සූදානම් කිරීම අරමුනු කරගෙන ඇත.

බොහෝකොටම රුසියානු මුහුදු කලාපයක් වන ආක්ටික් සාගරයේ බේරන්ට් මුහුදේ දී නාවික ගුවන්යානාවල පිටුබලය සහිත රුසියානු යුද නැව් 10ක් අභ්‍යාසයක යෙදුනේ 27දාය.

ක්‍රෙම්ලිනයේ හැසිරීම “වඩ වඩාත් ආක‍්‍රමනික” ස්වභාවයක් ගනිමින් තිබෙන බව කියා සිටිමින් එරට මිලිටරි අභ්‍යාස මුල්කරගෙන ජනාධිපති බරක් ඔබාමා වොෂින්ටනයේදී 26දා නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සමග පැවති රැස්වීමේදී රුසියාව හෙලා දුටුවේය.

තමන්ගේ පැත්තෙන් ස්ටෝල්ටන්බර්ග්, සිය මිලිටරි අභ්‍යාස පැවැත්වීමේ දී රුසියාව, “වඩාත් විනිවිද භාවයකින්” කටයුතු නොකිරීම ගැන විවේචන එල්ල කලේය. ඔහු සීබීඑස් ප‍්‍රවෘති සේවයට පැවසුවේ “අප රුසියාවට කියා ඇත්තේ මේ වර්ගයේ හදිසි අභ්‍යාස නොපවත්වන ලෙසයි” යනුවෙනි. “රුසියාව ද ඇතුලු ඕනෑම රටකට තමන්ගේ හමුදාවන් අභ්‍යාසයේ යෙදවීමේ අයිතිය ඇත. එහෙත් කුමන හෝ අනවබෝධයක් වැලැක්වීම පිනිස වඩා විනිවිද භාවයකින් හා පෙර දැකිය හැකි පරිදි ඒවා පැවැත්විය යුතුය.”

ඔබාමාගේ හා මහ ලේකම්ගේ හෙලාදැකීම් කුහක මෙන්ම අභූත ය. රුසියාවේ දේශසීමාවන්ට යාබදව පුපුරන සුලු මිලිටරි හබයකට දුවන්නේ නේටෝව මිස රුසියාව නොවේ. අන්ත දක්ෂිනාංශික කුමන්ත‍්‍රනයක් මගින් රුසියානු ගැති යුකේ‍්‍රන තන්ත‍්‍රය පෙරලා දැමීමෙන් මිලිටරි අර්බුදයක් ඇවිලවූ නේටෝව ඉන් පසුව නැගෙනහිර යුකේ‍්‍රනයේ රුසියාවට පක්ෂ හමුදාවන්ට එරෙහිව කුලීකාර යුද්ධයක් දියත්කල අතර දැන්, සතුරු මිලිටරි අභ්‍යාස සමගින් රුසියාව වැටලීමේ යෙදී සිටියි.

නේටෝ සන්ධානයේ රුසියානු නියෝජිතයාට අනුව, රුසියානු දේශසීමා ආසන්නයේ නේටෝ මිලිටරි අභ්‍යාස පසුගිය වසරේදී 3000ක් දක්වා දෙගුනයකින් වැඩිවී ඇත. එසේම නෙටෝව, නැගෙනහිර යුරෝපය තුල රුසියාව සමග ඉක්මන් යුද්ධයක් සඳහා සූදානම සැලසුම් කරන අතර සිය යුරෝපීය වේගවත් ප‍්‍රතික‍්‍රියා හමුදා ශක්තිය ද භටයින් 30,000 දක්වා දෙගුනයකින් වැඩිකර ඇත.

බි‍්‍රතාන්‍ය සිය විශාලතම යුද නැව වන එච්එම්එස් ඕෂන්, මේ සතිය තුල බෝල්ටික් මුහුද වෙත යවා ඇත්තේ පෝලන්තයට රාජකීය මැරීන් භටයින් යෙදවීමට හා කලිනින්ග‍්‍රෑඩ් යන රුසියානු වෙරලේ නාවික අභ්‍යාස වලට සහභාගී වීමටත්ය.

ආක්ටික් සාගරය තුල ඇමරිකානු හා කැනේඩියානු “ඇමල්ගම් ඩාට්” යන නෝරාඩ් වාර්ෂික යුද අභ්‍යාස ඒකාබද්ධව පවත්වාගෙන යන අතර ගුවන් හා මිලිටරි ප‍්‍රහාරක යානා ඊට යොදා ගැනේ. ආක්ටික් සාගරය හා උත්තර ධ‍්‍රැවය හරහා උතුරු ඇමරිකාවට සතුරු ගුවන් ගමන් සිදුවීමේ හැකියාව සැලකිල්ලට ගෙන -එනම් රුසියාවෙන්- ඒවා සොයාගෙන ප‍්‍රතිචාර දැක්වීමට නොරාඩ් හමුදා පුහනු කරන මෙහෙයුම් ලෙස ඒවා හඳුන්වාදී ඇත.

මෑත සති වලදී ඇමරිකානු හමුදා, රුමේනියාව හා බල්ගේරියාව සමග බෝල්ටික් මුහුදේ ද ජොර්ජියාව සමග කොකේසස්හි ද ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස පවත්වා ඇත. පසුගිය මාසයේදී ඇමරිකානු හමුදා, නැගෙනහිර යුකේ‍්‍රනයේ රුසියාවට පක්ෂ හමුදාවන්ට එරෙහිව යුකේ‍්‍රනයේ අන්ත දක්ෂිනාංශික මිලිෂියාවන් පුහුනු කිරීම ඇරඹීය.

ජාත්‍යන්තර ආතතීන් බිඳෙන සුලු මට්ටමක පවතිද්දී නේටෝව, රුසියාවේ ප‍්‍රත්‍යන්තයෙහි බහුවිධ මිලිටරි අභ්‍යාස පැවැත්වීම තරයේම ඉවබව නැති ක‍්‍රියාවකි. පසුගිය මාර්තුවේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ, යුකේ‍්‍රන අර්බුදය හටගත් මුල් දිනවලම, න්‍යෂ්ටික හමුදා බල ඇනි ද ඇතුලු රුසියානු මිලිටරිය සීරුවෙන් තැබූ බවය.

ලන්ඩනයේ යුරෝපීය නායකත්ව ජාලය යන දෘෂ්ටි මන්ඩලය පසුගිය නොවැම්බරයේදී වාර්තා කලේ, 2014 කියෙව් කුමන්ත‍්‍රනයේ තැන් පටන් “යාන්තමින් වැලකී ගිය” සිදුවීම් 40ක් දැකිය හැකිවූ බවය. ඒවා රුසියානු හා නේටෝ හමුදාවන් අතර ගැටුමකට තුඩුදිය හැකිව තිබුනු බවය.

එතැන් පටන් අන්තරාය දැඩිවී තිබේ. යුරෝපය පුරා හමුදා සීරුවෙන්ය. නේටෝ ගුවන් යානා හා දහස් ගනනින් යුත් මිලිටරි ඒකක රුසියාව වටකරගෙන ඇත. සුලු ඝර්ෂනයක් හෝ වැරදි ගනන් බැලීමක් විනාශකාරී ප‍්‍රතිවිපාක ජනනය කල හැකි ගැටුමකට තුඩුදිය හැකිය. කියෙව් කුමන්ත‍්‍රනයෙන් පසුව රුසියාවට එක්වීමට තීරනය කල, නේටෝ බලවතුන්ගේ හෙලා දැකීමට ලක්වූ, යුකේ‍්‍රන් ප‍්‍රදේශයේ ක‍්‍රිමියානු වරායක් වන ස්වෙස්ටපොල් හි සිට ක‍්‍රියාත්මක වෙමින් රුසියාව හා චීනය මෑතකදී මධ්‍යධරනී මුහුදේ ඔවුන්ගේ පලමු ඒකාබද්ධ නාවික අභ්‍යාසය නිමා කලේය. නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ රුසියානු හා චීන යුද නැව්, ජීව උන්ඩ භාවිතා කල අභ්‍යාස ද ඇතුලු බහුවිධ මෙහෙයුම් ක‍්‍රියාත්මක කලේය. චීන නාවික හමුදාවට මෙම අභ්‍යාසය, චීනයෙන් පිටත බොහෝ ඈත ප‍්‍රදේශයක සිදුකල මෙහෙයුමක් විය.

විශාල පරිමානයේ ගැටුමක් සඳහා සූදානම් වීමේ මිලිටරි අභ්‍යාස පැවැත්වීම පෙන්නුම් කරන්නේ, සියල්ලටත් වඩා වොෂින්ටනය හා එහි යුරෝපීය මෙන්ම ආසියානු-ශාන්තිකර සහචර අධිරාජ්‍යවාදීන් තුන්වන ලෝක යුද්ධයකට එලඹෙමින් සිටින බවය. මෙය, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ ඇමරිකාව මූලිකත්වය ගත් යුද්ධයන්ගේ දශක ගනනාවක ප‍්‍රතිපලයයි. එහි මෑතම අදියර යුකේ‍්‍රන අර්බුදය හා වොෂින්ටනයේ චීන විරෝධී “ආසියාවට හැරීම” යි.

සිරියාව, ඉරාකය හා යේමනය ඇතුලු මැද පෙරදිග සිසාරා යන යුද්ධ මෙන්ම, දකුනු චීන මුහුදේ ඇමරිකාව හා චීනය අතර පැතිර යන විරසකය, රුසියාව සමග නේටෝවේ ගැටුම, ලේ හැලීම් හා නොවැලැක්විය හැකි යුද්ධයේ අන්තරාය අන්තර්ගත කරගත් යුරේසියානු භූ ස්කන්ධයේ පින්තූරය සම්පූර්න කරයි. ගෝලීය ධනවාදයේ අර්බුදයෙහි පීඩනය හමුවේ ලෝක පරිමානව වැඩකරන ජනතාවන් කිසිදු උනන්දුවක් නොදක්වන, බිහිසුනු ගැටුමක් තුලට ඇද ගනිමින් සිටින අතර එය වර්ධනය වන්නේ බෙහෝකොටම ඔවුන්ගේ පිටුපසිනි.

ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුනදෙන තීරනාත්මක කර්තව්‍යය වන්නේ, ධනවාදයට හා යුද්ධයට එරෙහි අරගලයට දේශපාලනිකව බලමුලු ගැන්වීමයි. කම්කරු පන්තියට, මොස්කෝවේ පුටින් තන්ත‍්‍රයේ හෝ එහි චීන සහචරයාගේ උපාමාරු වලට කිසිදු සහායක් දිය නොහැකිය. ඔවුන් වනාහි, ධනවාදය පුනස්ථාපනයෙන් මතුව ආ කම්කරු පන්තියේ යුද විරෝධී මනෝ භාවයන්ට කිසිදු ආයාචනයක් කිරීමට අසමත් දූෂිත ව්‍යාපාරික කතිපයාධිකාරීන් සමූහයකි. අධිරාජ්‍යවාදය සමග ගනුදෙනුවක් කර ගැනීමට දරන උත්සාහය ද දේශපාලන හා මිලිටරි ආතතීන් තියුනු කිරීමට පමනක් හේතු කාරක වන මිලිටරි උපාමාරු දැමීම ද අතර ඔවුහු වැනෙති.

Share this article: