ආර්ථික පල්වීම, මූල්‍ය පරපුටුකම ජාමූඅ-ලෝක බැංකු රැස්වීම අරක්ගනියි

Economic stagnation, financial parasitism dominate IMF-World Bank meeting

2015 අපේ‍්‍රල් 18

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව මෙම සති අන්තයේ වොෂින්ටනයේදී සිය වාර්ෂික වසන්ත රැස්වීම පැවැත්වූයේ, සැබෑ ආර්ථිකයේ දිග්ගැස්සෙන පල්වීමේ කොන්දේසි යටතේ, පෙර නොවූ විරූ මූල්‍ය පරපුටුකම හා සමාජ අසමානතාවය ගැඹුරුවීම හමුවේය.

ඇමරිකාවේ, යුරෝපයේ හා ආසියාවේ කොටස් මිල ගනන් වාර්තාගත මට්ටම් කරා නැගුනු අතර ගෝලීය සංගත, කම්කරුවන්ගේ වැටුප් හා ජීවන තත්වයන්ට ආන්ඩු-ව්‍යාපාර විසින් එල්ල කරන ප‍්‍රහාර හමුවේ, මහ බැංකු වලින් මුදා හැරුනු ලාභ නය මගින් උත්තේජනය කල ඩොලර් ටි‍්‍රලියන 1.3ක මුදල් ප‍්‍රමානයක් පොදිගසා ගත්තේය. එහෙත් මේ සතියේ ජාමූඅ විසින් ප‍්‍රකාශයට පත් කල එහි යාවත්කාලීන ලෝක ආර්ථික දැක්ම තුල අනතුරු ඇඟවූයේ, ලෝක ආර්ථිකය, මන්දගාමී වර්ධනය, ඉහල විරැකියාව හා උග‍්‍ර නය බර තවත් කාලයකට පැවතීමේ රටාව තුල සිරවී තිබෙනු ඇති බවය.

ඩොලර් ටි‍්‍රලියන ගනන් රාජ්‍ය අරමුදල් මූල්‍ය වෙලඳපොලට සපයා තිබීම නො තකා, 2008 මූල්‍ය කඩාවැටීමට පෙර පැවති ආර්ථික වර්ධනයන් කරා ලඟාවීමේ බලාපොරොත්තු මඳ බව, පූර්ව ආර්ථික පුරෝකතනවලින් කැපී පෙනෙන සේ වෙනස්ව ජාමුඅ විසින් පිලිගෙන තිබේ. ආසන්න වසයෙන් වසර හතකට පෙර වෝල් වීදියේ උනුවී යාම මගින් නිර්මානය වූ අර්බුදය, අති මූලික හා ඓතිහාසික ස්වභාවයේ එකක් වන අතර ගෝලීය ධනේශ්වර පද්ධතිය තුල අධස්ථ ව්‍යුහයේ ගැටලු විසඳා නැති බව නිහඬ ලෙස පිලිගැනීමකට මෙය සමාන වේ.

ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත පසු ගිය සතියේ ප‍්‍රසිද්ධ කරන ලද ලිපිවල ශීර්ෂපාඨ පෙලක්, උග‍්‍රවන රෝගී තත්වය පිලිබඳව ඇඟවුම් කරයි. “කවරදාක වත් දීප්තිමත් නොවන ආර්ථික අනාගතයක්”, “දිගු කාලීන පහත් වර්ධනයක් ගැන ජාමූඅ අනතුරු අඟව යි”, “යුරෝපීය නයගැතියන්ගේ පාරාදීසිය ඛේදජනක ලෙස අවසන් වනු ඇත”, “ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම් යුරෝ කලාපීය ද්‍රවශීලතාව මිරිකී යාම පිලිබඳ බිය වැඩිකර යි” “මිල ගනන් හා වාසි ඇහිරීයාමත් සමග ගෝලීය වත්කම් බුබුල පිලිබඳ සන්ත‍්‍රාස වැඩි වෙයි.” ආදී ශීර්ෂපාඨ ඒවාට ඇතුලත් ය.

විශේෂයෙන් ම, උතුරු ඇමරිකාව, යුරෝපය හා ආසියාවේ දියුනු ආර්ථිකයන් හි පුද්ගලික ව්‍යාපාරික ආයෝජනවල තියුනු හා දිගට පවතින පරිහානිය ගැන ජාමූඅ වාර්තාව අවධානය යොමු කර යි. “දියුනු ආර්ථිකයන් හි විභව වර්ධනය පූර්ව-අර්බුද අනුපාතවලට පහලින් පැවතීමට ඉඩ ඇති අතර, වසර මැද දී නැගී එන වෙලඳපොල ආර්ථිකයන් තුල එය තව දුරටත් අඩුවීමක් අපේක්ෂා කෙරේ.”

“මීට පෙර මූල්‍ය අර්බුදයන්ට වෙනස් ව, ගෝලීය මූල්‍ය අර්බුදය විභව නිමවුමේ මට්ටම තුල පහත වැටීම සමග පමනක් නො ව එහි වර්ධන අනුපාතයේ පහල යාම සමග ද බැඳී ගනියි... 2008 සැප්තැම්බරයේ දී අර්බුදයෙන් පහර වැදීමෙන් ක්ෂනික ඉක්බිත්තේ, ආර්ථික කටයුතු පිරිහී ගිය අතර ඉන් වසර හයකට ද වඩා වැඩි කාලයක් ගතවූ තැන වර්ධනය, අර්බුදයට පෙරාතුව බලාපොරොත්තු වූවාට වඩා තවමත් දුර්වල ය.” එය සඳහන් කර යි.

2008 අර්බුදය ගැන සමාජවාදී සමානතා පක්ෂය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් කරන ලද විශ්ලේෂනය පිලිබඳව මෙය කැපී පෙනෙන සනාථනයකි. ලේහ්මන් බ‍්‍රදර්ස් බංකොලොත් වීමට මාස නවයකට පෙර, 2008 ජනවාරි 11වැනිදා ලෝසවෙඅ ප‍්‍රසිද්ධ කල ප‍්‍රකාශනය ඇරඹුනේ මෙසේ ය:

“ලෝක ධනේශ්වර පද්ධතියේ ආර්ථික හා දේශපාලන අර්බුදය සැලකිය යුතු උග‍්‍ර මට්ටමකට පත්වීම මගින් 2008 වසර, සංලක්ෂිත වනු ඇත. ලෝක මූල්‍ය වෙලඳපොලවල කලබගෑනිය වාරිකව ඇතිවන සිද්ධියකට වඩා, දැනටමත් ජාත්‍යන්තර දේශපාලනය අස්ථාවර කරන ප‍්‍රගාඪ පද්ධතිමය වියවුලක ප‍්‍රකාශනයකි.”

ජාමූඅ වාර්තාව මෙසේ ද පවස යි, “මෙම සෙයා ගැනීම් අඟවන්නේ අනාගතයේ දී ජීවන තත්වයන් වඩා මන්දගාමී ලෙස වර්ධනය වීමට අමතරව, බදු පදනම ද වඩා මන්දගාමීව වර්ධනය වනු ඇති බැවින් රාජ්‍ය බදු ආදායමේ තිරසාරබව පවත්වා ගැනීම වඩා අසීරු වනු ඇත.” මෙම සුමුදු භාෂාවේ තේරුම, කම්කරු පන්තියේ ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහිව ලෝක පරිමානයෙන් එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ගේ අවසානයක් නැති බව යි.

දැනටමත් ගිනිය නො හැකි මිලියන සංඛ්‍යාවක් දරිද්‍රතාවට ඇද දමා ඇති කප්පාදු ප‍්‍රතිපත්ති, තාවකාලික ඒවා නො වේ. ධනවාදය පවතින තාක් දුරට ඒවා ද පවතිනු ඇත.

මෙම සතියේ ම නිකුත් කෙරුනු ජාමූඅ යාවත්කාලීන ගෝලීය මූල්‍ය ස්ථාවරත්ව වාර්තාව පිලිගන්නේ පොලී අනුපාත බින්දුවට ආසන්නව පවත්වා ගැනීමේ මහබැංකු ප‍්‍රතිපත්ති හා“ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම්”, උදාහරන වසයෙන් මුදල් අච්චුගැසීම හරහා ඩොලර් ටි‍්‍රලියන ගනන් බැංකු පද්ධතියට පොම්ප කිරීම සැබෑ ආර්ථිකය මත බලපෑමක් ඇතිකර නැති බව යි. ඊට වෙනස් ව ඒවා, මූල්‍ය අවදානම වැඩි කරයි. වාර්තාවට අනුව 2014 ඔක්තෝබර මාසයේ කරන ලද අවසාන තක්සේරුවට පසුව ගතවූ මාස හය තුල මූල්‍ය අවදානම ඉහල ගොස් ඇත.

ජාමූඅ ලෝක ආර්ථික දැක්ම, පුද්ගලික අංශයේ පසුබෑම පිලිබඳව කථා කිරීමට මුලු පරිච්ඡේදයක් ම කැප කර යි. ගෝලීය වර්ධනයේ අතිමූලික ගතික බලවේගය වන, ප‍්‍රමුඛ ධනේශ්වර රටවල පුද්ගලික ආයෝජන, ඓතිහාසික මට්ටමේ පහල තලයක පවතින බව එය සඳහන් කර යි. දල දේශීය නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් ලෙස එය, පශ්චාත් යුද කාලපරිච්ඡේදය තුල ඕනෑම අවපාතයකින් ඉක්බිතිව අත්විඳි මට්ටමට වඩා පහල ය.

එහෙත් වාර්තාව, ලෝක මුදල් ඇමතිවරුන්, මහබැංකු අධිපතීන් හා ඔවුන්ගේ ගනන් නැති ආර්ථික උපදේශකයන් අතර මෙම සති අන්තයේ සාකච්ඡාව සඳහා වාතාවරනය සකස් කිරීමේ අටියෙන්, ආයෝජන අවපාතය හා සමස්තයක් වසයෙන් අර්බුදය තුල මූල්‍ය සමපේක්ෂනයේ හා පරපුටුකමේ දැවන්ත කාර්යභාරය මග හරියි. ලෝකය පුරා බැංකු හා සංගත ඔවුන්ගේ දැවන්ත ලාභ හා මුදල් තැන්පතු යොදා ගන්නේ නිෂ්පාදනය ක්ෂේත‍්‍රය තුල ආයෝජනය කිරීමට නොව, කොටස් හා ලාභාංශ වැඩි කිරීමට හා ඔවුන්ගේ ම කොටස් මිල දී ගැනීම මගින් සිය කොටස් අගය ඔසවා තැබීමට ය. සමපේක්ෂන උමතුව, සංගත යලි මිලට ගැනීම හා ඒකාබද්ධයන්ගේ වාර්තාගත මට්ටම් මගින් උග‍්‍ර කරයි.

මෙම සියලු කටයුතු මුලුමනින් ම පරපුටු ය. ඒවා මිනිසාගේ නිෂ්පාදන බලවේගයන්ට කිසිවක් එකතු නො කරයි. ඊට වෙනස් ව ඔවුන් ආර්ථික මූලාශ‍්‍ර, නිෂ්පාදන කටයුතු වෙතින් ඉවතට හරවා, බැංකුකරුවන්ගේ, ප‍්‍රධාන විධායකයන්ගේ හා සමපේක්ෂකයන්ගේ ඉතා කුඩා කතිපයාධිකාරයක් තව දුරටත් පොහොසත් කිරීම සඳහා යොදා ගනියි.

ජාමූඅ - ලෝක බැංකු රැස්වීම පැවත්වන්නේ ධනේශ්වර පද්ධතියේ ඉතිහාසය තුල කිසි දා දැක නො තිබුනු මූල්‍ය පරපුටුකමේ වේගවත් වර්ධනයක් මධ්‍යයේ ය. මෙම සතියේ ෆිනෑන්ෂල් ටයිම්ස් හි පලකරන ලද ලිපියකට අනුව ගිය වසරේ දී පමනක්, ඩොලර් ටි‍්‍රලියනයක මුදලක් කොටස් හිමිකරුවන්ට - ඒවායින් බොහොමයක් ඩොලර් බිලියන ගනනාවක ආරක්ෂක අරමුදල් හා ආයෝජන ව්‍යාපාරයන් ය - කොටස් ආපසු මිල දී ගැනීම් හා වැඩි වූ ලාභාංශ ආකාරයෙන් ආපසු ලබා දී ඇත.

පසු ගිය දශකයේ දී, එස්ඇන්ඩ්පී 500 සමාගම් ඩොලර් ටි‍්‍රලියන 4ක් වටිනා කොටස් ආපසු මිල දී ගත්තේ ය. ඇපල්, ඉන්ටෙල්, අයිබීඑම් හා ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් ඇතුලු ප‍්‍රමුඛ සමාගම් මෙම කොටස් ආපසු ගැනීමේ උන්මාදය තුල කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කලහ.

ගිය සතියේ දී පමනක්, රෝයල් ඩච් ෂෙල් සමාගම විසින් බි‍්‍රතාන්‍ය බීජී ගෘප් මිල දී ගැනීම ඇතුලුව ඩොලර් බිලියන 105ට වඩා වටිනාකමක් ඇති සංගත තුනක මිල දී ගැනීම් නිවේදනය කෙරුනි. මෙම වසරේ අද දක්වා නිවේදනය කෙරුනු සියලු සමාගම් මිල දී ගැනීම්වල වටිනාකම ඩොලර් ට්‍රිලියන 1ට වඩා වැඩි වන අතර 2015 වසර, ඉතිහාසය තුල ඒකාබද්ධවීම් හා අත්පත් කර ගැනීම් වැඩියෙන්ම වාර්තාව වන දෙවැනි වසර බවට පත් කෙරෙනු ඇත.

ප‍්‍රතිඵලය දැවන්ත ලෙස උද්ධමනය කෙරුනු කොටස් මිල ගනන් වන අතර, ඉන් එන ලාභ අතිවිශාල ලෙස ගලා යන්නේ පොහොසතුන්ගේ සාක්කු වලට ය. පසු ගිය වසරේ දී, ජර්මානු ඩැක්ස් දර්ශකය සියයට 24කින් ඉහල ගොස් ඇත, ප‍්‍රන්ස කැක් සියයට 16කින් ද ජපාන නිකේ දර්ශකය සියයට 36කින් ද ඉහල ගොස් ඇත.

බැංකුවල ලාභ ද ඉහල ය. මෙම සතියේ, ජේපීමෝගන් චේස්, සිටිගෘප් හා ගෝල්ඩ්මන් සැක්ස්, ප‍්‍රධාන වසයෙන් ම සමපේක්ෂක වෙලඳ කටයුතු පදනම කරගෙන 2015 පලමු කාර්තුව සඳහා ආසන්න වසයෙන් වාර්තාගත ලාභ නිවේදනය කර ඇත.

පහල වැටුප්, රැකියා අවස්ථා පහත වැටීම, නැගෙන විරැකියාව හා පූර්න කාලීන කියාවලට අනියම් හා අර්ධ කාලීන රැකියා ආදේශ කිරීමට මග පාදමින් සැබෑ ආර්ථිකය සම්පත් හිඟයෙන් පෙලෙන විට, අතිවිශාල ධනස්කන්ධ සමුච්චයනය වන්නේ සමාජයේ මූල්‍ය අධිපතියන් අතෙහි ය.

ලෝක ආර්ථිකය මූල්‍ය පරපුටුකමට බැඳ තබන පෙර නො වූ විරූ මට්ටම, ධනේශ්වර පද්ධතියේ මරනාසන්න තත්වයේ ප‍්‍රකාශනයකි.

අනාගත වර්ධනයන් පෙන්වා දෙන මෙම සති අන්තයේ රැස්වීමට තවත් වැදගත් පැත්තක් ඇත. අවුරුදු හැත්තෑවක් තිස්සේ, ජාමූඅ හා ලෝක බැංකුව එක්සත් ජනපද ආර්ථික ආධිපත්‍යයේ කුලුනු දෙකක් ලෙස කටයුතු කර ඇත. නමුත් පශ්චාත් - යුද යාන්ත‍්‍රනය දැන් ඉරිතලමින් තිබේ.

රටවල් 57ක් - ආසියාවෙන් 37ක් හා ලෝකයේ සෙසු කලාපයන්ගෙන් 20ක් - බීජීනයේ අනුග‍්‍රහය සහිත ආසියානු පොදුකාර්ය ආයෝජන බැංකුව සඳහා ලියා පදිංචි වී ඇති බව මෙම සතියේ දී, චීන බලධාරීහු නිවේදනය කලෝ ය. ඔබාමා පාලනාධිකාරය ඔවුන්ගේ මූලෝපායික හවුල්කරුවන් බැංකුවට එකතු වීම සම්බන්ධයෙන් කටුක ලෙස විරුද්ධ වූ නමුත්, එම බැංකුව ඇමරිකාවේ අනුග‍්‍රහය ලබන ගෝලීය මූල්‍ය ආයතන යටපත් කරනු ඇති බවට වොෂින්ටනය දැක් වූ විරුද්ධත්වය නො තකා බි‍්‍රතාන්‍ය ඊට එකතුවීමට තීන්දු කිරීමෙන් පසු වාන් දොරටු විවෘත වුනි.

ගැඹුරුවන අර්බුදයේ කොන්දේසි යටතේ පශ්චාත් යුද ගෝලීය ආර්ථික පර්යායේ බිඳීම, අවශ්‍ය වුවහොත් ඇමරිකාවට එරෙහිව ද තමන්ගේ ආර්ථික උත්සුකයන් සුරක්ෂිත කර ගැනීමට ප‍්‍රමුඛ ධනේශ්වර බලවතුන් අධිෂ්ඨාන සහගතව සිටින බවට මෙය ස්ථීර සංඥාවකි. 1930 ආර්ථික කොන්දේසි යලි පැමිනෙමින් තිබෙනවා පමනක් නො ව, ලෝක යුද්ධයට තුඩු දුන් දේශපාලන හා ආර්ථික බෙදීම් ද යලි පැමිනෙමින් තිබේ.

නික් බීම්ස් සහ බැරී ගේ‍්‍ර විසිනි

Share this article: