ඔබාමාගේ ත‍්‍රස්ත සමුලුව: කුහකත්වය, ප්‍රෝඩාව සහ ආත්ම වංචනිකත්වය පිලිබඳ අභ්‍යාසයක්

Obama’s terror summit: An exercise in hypocrisy, falsification and self-delusion

2015 පෙබරවාරි 20

ත‍්‍රස්තවාදයේ මූල හේතු පිලිබදව “ඍජුව සහ අවංකව” කතාකිරීමේ අවශ්‍යතාව යලි යලිත් අවධාරනය කල ද ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශ, පසුගිය දශකය තුලදී අමෙරිකානු ආක‍්‍රමනකාරී යුද්ධ නිසා ඇතිවූ විනාශයන් සහ ත‍්‍රස්තවාදය අතර ඇති අවිවාදනීය සම්බන්ධය ආවරනය කිරීම එල්ල කරගත්, යාන්තම් පැහැදිලි, වැදගැම්මකට නැති, “එදිනෙදා කියුම් වැලකින් - 12 හැවිරිදි දරුවෙකුගේ වැලන්ටයින් දින සුබ පැතුම් පතකින් උපුටා ගත් පාඨයන්ද ඇතුලු- සමන්විත විය

දින තුනක් තිස්සේ පැවැත්වුනු මෙම කතා මඩුවේදී කිසිදු තීරන ගැනීමක්, කැපවීමක් හෝ ප‍්‍රතිපත්ති පිලිබඳ වෙනසක් සිදු නො විනි. ආගමික සමානතාවය පිලිබඳ වැරහැලිවූ හිස් අලංකාරෝක්ති බඳු ප‍්‍රකාශ යෞවනයෙක් “රැඩිකල් අන්තවාදය” දෙසට ඇදගනු ලැබෙනවිට ඒ බව හඳුනාගන්නා අයුරු පිලිබඳ, ඔබේ දරුවා කන්සා පරිහරනය කරන්නේදැයි හඳුනාගැනීම පිලිබඳ මත්ද්‍රව්‍ය බලාධිකාරියේ අත් පත‍්‍රිකාවකින් කොපි කරගත්තාක් වැනි, හාස්‍ය දනවන උපදෙස් සමග එකතු කර ගැනුනි.

මෙම රැස්වීමට කිසියම් හඳුනාගතහැකි අරමුනක් තිබුනා නම් ඵ්, නොනවත්වා කරගන යන විදේශ යුද්ධ සඳහා සේම ස්වදේශීයව ගනු ලැබෙන පොලිස් රාජ්‍ය පියවර සඳහා ප‍්‍රචාරක සාධාරනකරනය කිරීම් වලට, මුක්කුව සැපයීම පමනි.

ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ, සිරියාවේ, යේමනයේ, සෝමාලියාවේ නයිජීරියාවේ සහ අනෙකුත් තැන්වල එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් පවත්වා ගැනීමට හා ව්‍යාප්ත කිරීම සදහා සැලසුම් සංක්ෂිප්තව සඳහන් කරමින්, එක්සත් ජනපදය, “ත‍්‍රස්තවාදී සංවිධානවලට එරෙහි අපේ සටන නොසැලී” ඉදිරියට කරගෙන යන බවට ඔබාමා සපථ කලේය.

“ප‍්‍රචන්ඩ ත‍්‍රස්තවාදයට” එරෙහි කුරුස යුද්ධය, “අහිංසකයන් ඝාතනය කරන ත‍්‍රස්තවාදීන්ට” එරෙහිව පමනක් නොව, මතවාදයන්ට, අන්තවාදීන්ගේ පොදු කාර්ය ව්‍යුහයට-ජනයා රැඩිකලීකරනය කොට බඳවාගන්නා හෝ ඔවුන් ප‍්‍රචන්ඩත්වයට උසි ගන්වන ප‍්‍රචාරකයන්ට ‘බඳවා ගන්නන්ට’, අරමුදල් සපයන්නන්ට විරුද්ධවද සිදු කල යුතු බවට ඔහු තර්ක කල අතර, එබඳු වර්ගීකරනයක් කෙතරම් පුලුල් මෙන්ම දුර්වල ලෙස නිර්වචනය වී ඇත්ද යත්, ඊට අමෙරිකානු අධිරාජ්‍යවාදයේ “මධ්‍යස්ත” යයි හඳුන්වා ගනු ලැබෙන ප‍්‍රතිපත්ති හෙලා දකිනා ඕනෑම අයෙකු පාහේ ඇතුලත් කරගත හැක.

මෙම ප‍්‍රචාරක ව්‍යායාමය යටින් වූ ප‍්‍රතිවිරෝධතා දිදුලන බවින් ඔබ්බට ගියේ විය. ත‍්‍රස්තවාදයට එරෙහි අරගලය, “වැඩි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්” හා “මානුෂික අයිතිවාසිකම් ගරු කරන සහ ජනතාවට ගෞරවාන්විතව සලකන ආරක්ෂක හමුදාවන් සහ පොලීසි” ඉල්ලා සිටින බව ඔබාමා ප‍්‍රකාශ කලේය. එසේ නමුදු මෙම අරගලයේදී වොෂින්ටනය තමන්ගේ කිට්ටුතම සගයන් ලෙස සලකා ගෙන ඇත්තේ, මර්දනය, හිස ගසා දැමීම් සහ මහා පරිමාන මිනිස් ඝාතන සඳහා කුප‍්‍රකට සෞදි අරාබියාවේ කෲර රාජාන්ඩුව සහ ඊජිප්තුවේ මිලිටරි රෙජිමයයි.

වර්තමාන ත‍්‍රස්තවාදය, අල්කයිඩා, අයිසිස් වැනි කන්ඩායම් වල “විකෘති මතවාදයන්” හි ද මුස්ලිම් ලෝකයේ පලල් කොටස් දරා සිටින වැරදි “අදහස්”, “හිතලු” හා “සිතුවිලි ධාරා” හේතුවෙන්ද පැන නගින බව පෙන්වීම සඳහා ඔබාමා විකාර සහගත උත්සාහයක යෙදුනි.

“බටහිර (ලෝකය), ඉස්ලාම් ධර්මයට එරෙහිව යුද වැදී සිටින්නේය යන අදහස, කැත මුසාවකි” යි ඔබාමා ස්ථිර ලෙස කියා සිටියේ ය. සත්තකින්ම වොෂින්ටනය සම අවස්ථා ආක‍්‍රමනිකයෙකි. එය නැගෙනහිර යුරෝපයේ සහ නැගෙනහිර ආසියාවේ මුස්ලිම් නොවන ජනතාවන්ට එරෙහිව වඩාත් විශාල යුද්ධ සූදානම් කරයි.

මෙම “අදහස” පැන නගින්නට ඇත්තේ, ලෝකයේ විශාලතම බලශක්ති සංචිත ද ඒවා සෑරීම සඳහා එලන නල මාර්ග ද දරා සිටින්නේ, ජනගහනයේ බහුතරය මුස්ලිම් වන්නාවූ රටවල් වල වීම නිසා, එම භූමි භාගයන්හි ආධිපත්‍ය මිලිටරිමය වශයෙන් ස්ථාපනය කිරීම සඳහා වොෂින්ටනයේ මෙහෙයුම් වල ඛේදනීය ප‍්‍රතිපල වලට මුහුන දීමට මෙකී රටවල ජනතාවන්ට සිදුවී තිබීම නිසා විය හැක.

ත‍්‍රස්තවාදයට එරෙහි අරගලය, අවශ්‍ය පමනට වැඩිදෙනා “මුස්ලිම් ලෝකය ඓතිහාසික දුක්ගැහැට වලට ලක්වූ බවටද - මෙය විටෙක නිවැරදිය - .... මැදපෙරදිග බලපවත්වන උපද්‍රව බොහොමයක් ගලා එනුයේ යටත් විජිත ඉතිහාසයකින් හෝ කුමන්ත‍්‍රන වලින් බවට ද දරන්නාවූ විශ්වාසයන්ට” අභියෝග කිරීම අවශ්‍ය කරන බව ඔබාමා පැවසීය.

ඓතිහාසික දුක්ගැනවිලි? ඔබාමා ඔහු කවුරු රවටනවා කියා සිතන්නේද? දුක්ගැනවිලි ගැන සඳහන් කරන්නේ නම්, මිලියන සංඛ්‍යාත අරාබි වාසීන් දුක්ගැනවිලි සඳහා, ගස්බඩ වලින් තැනූ හෙල්මට් පැලඳි ප‍්‍රන්ස සහ බි‍්‍රතාන්‍ය යටත් විජිතකාරයන්ගේ යුගය කරා මතකය දිවවනු අවශ්‍ය නැත. මෑත දශකයන් හිදී ඇමෙරිකානු අධිරාජ්‍යවාදය, මුස්ලිම් බහුතරයක් සිටිනා රටවල් එකක් පාසා එකක් බැගින් විනාශ කර දමා ඇත.

එය, එක්සත් ජනපද අනුග‍්‍රහය ලත්, 1980 ගනන් වල මුජහිදීන් යුද්ධයෙන් පසු මිලියන ගනනක් ඝාතනයට ලක්වූ නිමක් නැති මනුෂ්‍ය සංහාරයකට ඇෆ්ගනිස්ථානය තල්ලු කර දැමීය. ඉරාකයේදී එය ජීවිත මිලියනයකට වඩා බිලි ගත් නීති විරෝධී ආක‍්‍රමනකාරී යුද්ධයක යෙදී සිටියේ ය. ලිබියාවේදී එය එදිරිවාදී සන්නද්ධ කන්ඩායම් අතර සන්නද්ධ අරගල වලින් සමාජය කඩා බිඳ විනාශ කර දැමූ, ආන්ඩු පෙරලියකට සහාය දුනි. එමෙන්ම සිරියාවේදී එය 200,000 කට ආසන්න සංඛ්‍යාවක් මරා දැමුනු සහ මිලියන ගනනක් අනාථයන් බවට පත් කල සිවිල් යුද්ධයක් අවුලුවාලී ය.

වොෂින්ටනය, ඉරාකයේ ලිබියාවේ සහ සිරියාවේ අනාගමික අරාබි ආන්ඩු පෙරලා දැමීම ට අත පොවා එමගින් අල්කයිඩා සහ අයිසිස් වැනි ඉස්ලාම්වාදී බලයන්ගේ වර්ධනයට උත්පේ‍්‍රරකයක් ලෙස ක‍්‍රියා කලේය. අවසනට සඳහන් කල රටවල් දෙකෙහිදී වොෂින්ටනය මෙම කොටස් සන්නද්ධ කර ඔවුනට උදව්කරමින් තම බලල් අත ලෙස යොදා ගත්තේය.

බුෂ් සහ ඔබමා පරිපාලන වල ඉහල නිලධාරීන් ඔසාමා බින් ලාඩන් ගේ පඩිකාර ඒජන්තයන් ව සිටියේ වුව ද ඔවුනට, එක්සත් ජනපදයේ අනුග‍්‍රහය ලද “ප‍්‍රචන්ඩ ත‍්‍රස්තවාදයට” එරෙහි සමුලුවේ එල්ලය ලෙස දැක්වුනු අයගේ ප‍්‍රවර්ධනය උදෙසා වඩා හොඳ කාර්යක් ඉටුකල නොහැකි වනු ඇත.

මෙම සමුලුව තුලදී ප‍්‍රදර්ශනය වුනු සියලුම කුහකත්වයට, රැවටිල්ලට සහ ආත්ම වංචාවට, දශකයකට වැඩි කාලයක් තුල වොෂින්ටනය අනුගමනය කල ප‍්‍රතිපත්ති වල ප‍්‍රතිඵලය අන්ත විනාශය බව ආවරනය කල නොහැකි විය.

සෝවියට් සංගමය විසිරුවා හැරීමෙන් ඉක්බිතිව, තමන්ගේ ආර්ථික පිරිහීම හිලව් කර ගැනීම පිනිස තම මිලිටරි සුපිරි බලය යොදා ගත හැකිය යන සංකල්පය පදනම් කර ගනිමින්, එක්සත් ජනපදය වැඩි වර්ධනය වන්නා වු මැදිහත්වීම් ගනනාවක යෙදී සිටියේය. අවසන් ප‍්‍රතිඵලය වූයේ ඉමහත් වියවුල සහ ව්‍යසනයි.

මේ තත්වය දැන් යුක්රේනය තුලට විහිදෙන්නේ, එහි ආර්ථිකය පුපුරුවා කඩා බිඳ දමමින්, එහි හමුදාව විසුරුවා හරිමින් රට දෙකඩ කරන මෙන්ම එක්සත් ජනපදය හා න්‍යෂ්ටික අවි දරන රුසියාව අතර මිලිටරි ගැටුමක තර්ජනය ඉස්මතු කරන සිවිල් යුද්ධයකට එරට තල්ලුකර දමමිනි. කියෙව්හි ආන්ඩු පෙරලියක් ඇති කිරීම උදෙසා ෆැසිස්ට් නායකත්වයෙන් මුලලුදුන් කුමන්ත‍්‍රනයට වොෂින්ටනය උදව් කිරීම තවත් ව්‍යසනයක් පමනක් නිර්මානය කර ඇත.

ඕනෑම සක‍්‍රිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති රටක, අන්තිම එක්සත් ජනපද පලනාධිකාරයන් දෙක සිදු කල පරිමාන ලෝකය අරක්ගත් ව්‍යසනයන් සිදුකිරීම හේතුවෙන්, ප‍්‍රතිවිපාක ගෙන එනු ඇත. ඒවා මහජන විවාදයට හා කොන්ග‍්‍රසයේ විමසුමට ලක්වනු පමනක් නොව ඉල්ලා අස්වීම් සඳහා බල කරනු ලැබීමට සහ සාපරාධිත්වය උදෙසා නඩු පැවරීමට ලක්වෙනු ඇත.

එක්සත් ජනපදයේ මේ කිසිත් නැත. මහජනයාට දිගින් දිගටම බොරු කියමින් තමුන්ටම ද බොරු කියාගන්නා ආන්ඩුවක් කිසිදු විවේචනයකට භාජනය කිරීම සඳහා යාන්ත‍්‍රනයක් නැත. කිසිවකු වග කීමක් බාර නොගනිති. කිසිවකු වගවීමකට ලක් නොකෙරේ.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය සඳහා සූදානම් වෙද්දී, රිපබ්ලිකන් පක්ෂයෙන්, ඉරානයට එරෙහි සාපරාධී යුද්ධය අධීක්ෂනය කල ජෝර්ජ් බුෂ් ගේ සහෝදර ජෙබ් බුෂ් ද, ඩිමොක‍්‍රටික අපේක්ෂක ලෙස, ඉස්ලාමීය සන්නද්ධ කන්ඩායමක් විසින් සිදුකල ලිබියාවේ මුඅම්මර් ගඩාෆි ගේ ම්ලේච්ඡු ඝාතනය, “අපි ආවා, අපි දැක්කා, ඔහු මලා” යන ආකාරයෙන් මහ සිනහ හඬ මැද තම ප‍්‍රසාදය පලකරමින් පිලිගත් හිලරි ක්ලින්ටන් ද, ඉදිරියෙන් සිටී. එක්සත් ජනපද දේශපාලන පද්ධතියේ විකෘති ස්වභාවය ගැන මීට වඩා පැහැදිලි මිම්මක් සොයා ගැනීම අපහසු ය.

වගකීම ධවල මන්දිරයෙන්, කොන්ග‍්‍රසයෙන් සහ ප‍්‍රධාන පක්ෂ දෙකෙන් ඔබ්බට විහිදී, එක්සත් ජනපද මිලිටරි වාදය සාධාරන කරනා පල්හෑලි සහ මුසාවාද නිරන්තරයෙන් වගුරුවන “ත‍්‍රස්තවාදය පිලිබඳ විශේෂඥයින්” අරක් ගත් ජන මාධ්‍ය ද, ඍජුව හවුල්වන හෝ මුනිවත රකිනා ශාස්ත‍්‍රාලිකයන් ද, ඇතුලත් කරගනි.

එක්සත් ජනපද පාලන සංස්ථාපිතයේ සෑම කොටසක්ම මෙවන් අපරාධ හා විනාශයන්හි ගැඹුරටම හවුල්වී තිබීම සලකුනු කරන්නේ, අති මහත් බහුතරයවූ කම්කරු පන්තියේ වියදමින්, මූල්‍ය පරපෝෂිත බවේ යෙදෙන කුඩා සුලුතරයක් පොහොසත් කිරීම සඳහා යොදා ගැනුනු, ධනවාදී පද්ධතියක් අලලා ගත් ගැඹුරු ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයකි.

මෙවැනි අර්බුදයන්ට ප‍්‍රගතිශීලී විසඳුමක් නැති ඇමෙරිකානු පාලක පන්තිය, වඩාත් ලේ වැකි මිලිටරි මදාවිකම් සඳහා තල්ලු වී යන්නේ, අවසන් “ප‍්‍රචන්ඩ අන්තවාදී” ක‍්‍රියාව වන තුන්වන ලෝක යුද්ධය සඳහා වන තර්ජනය උග‍්‍ර කරමිනි.

බිල් වෑන් ඕකන්

Share this article: