සමාජවාදය සහ යුද්ධයට එරෙහි අරගලය

Socialism and the struggle against war

2015 මැයි 4

මෙම ඉදිරි දර්ශනය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති වූ ද එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති වූ ද ඩේවිඩ් නෝර්ත් විසින් මැයි 3 වන දා අන්තර් ජාල මැයි දින රැලිය අරඹමින් කරන ලද දේශනයේ පිටපතයි.

ලෝකය පුරාම රටවල් 60ක සිට, මෙම 2015 මැයි දිනයේ අන්තර්ජාල සමරුවට සහභාගී වන්නාවූ අසන්නන්ට, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙනුවෙන්, සහෝදරාත්මක සුබපැතුම් ගෙනෙන්නට මට අවසර.

මෙම රැලියේ අරමුන තෙආකාරය:

පලමුව, වලක්වනු නොලැබුව හොත්, සිතාගත නොහැකි තරම් මහත් ව්‍යසනයක මුලුලොව ම ගිල්වාලීමට තර්ජනය කරමින් නිර්දයව උග‍්‍ර කරනු ලබන යුද්ධමය ප‍්‍රචන්ඩය කෙරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තිය දක්වන්නාවූ විරුද්ධත්වයට ප‍්‍රකාශනයක් අත්පත් කරදීම.

දෙවනුව, ලෝකය පුරාම අධිරාජ්‍යවාදී සහ ධනවාදී ආන්ඩු විසින් ගෙන යනු ලබන යුදවාදී පිලිවෙත් වල ට ගාමක බලය සපයන ගෝලීය අර්බුදයේ ප‍්‍රධාන කාරකයන් වන ආර්ථික, භූ දේශපාලන සහ සමාජමය ගතිකයන්හි මුඛ්‍ය හේතු පිලිබඳ විශ්ලේෂනයක් සම්පාදනය කිරීම.

තුන්වෙනුව, යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ නව විප්ලවවාදී ව්‍යාපාරයක් පදනම් වී ගත යුතු දේශපාලන මූලධර්ම සහ ක‍්‍රියාමාර්ගය සටහන් කිරීම.

2015 මැයි දින රැලිය අරඹමින් ඩේවිඩ් නෝර්ත් කල දේශනය: සමාජවාදය සහ යුද්ධයට එරෙහි අරගලය

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය ප‍්‍රථම අන්තර්ජාල මැයි දින රැලිය පැවැත්වූයේ, මෙයට වසරකට පෙරය. එය, එකල්හි - ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ - අධිරාජ්‍යවාදී බලවතුන් අනුගමනය කරමින් සිටි ප‍්‍රතිපත්ති, තුන් වන ලෝක යුද්ධයකට මුලපුරන බව පෙන්වා දෙමින් අනතුරු හැඟවිය. ගත වූ දොලොස් මාසයේ සිද්ධීන් මෙම අනතුරු හැඟවීම් සනාථ කර ඇත.

ගතවූ වසරේදී අපට දක්නට ලැබුනේ එක්සත් ජනපදය සහ එහි ප‍්‍රධාන අධිරාජ්‍යවාදී සහචරයින් විසින් අවුලුවන ලද අනවරත යුද්ධමය ප‍්‍රචන්ඩය ය. ඊනියා “ත‍්‍රස්ත විරෝධී යුද්ධය” රටින්රට, මහාද්වීපයෙන් මහාද්වීපයට පතුරුවනු ලැබේ. 9/11 සිද්ධීන්ගෙන් පසලොස් වසරක් තරම් ගතව ඇති අද, අන්ධයින්ට හැර අන් සියල්ලන්ටම පෙනෙන දෙයක් නම්, “ත‍්‍රස්ත විරෝධී යුද්ධය” යොදාගැනෙන්නේ ලෝකය පුරා එක්සත් ජනපද යුදබලය විහිදුවාලීමේ කඩතුරාවක් ලෙස බව ය.

ඇමරිකා එක්සත් ජනපදය 2001 වසරේ දි ඇෆ්ඝනිස්ථානය ද 2003 වසරේ ඉරාකය ද ආක‍්‍රමනය කිරීම, මැද පෙරදිග ද උතුරු අප‍්‍රිකාවේ ද මධ්‍යම ආසියාවේ ද ලේවැකි යුද මෙහෙයුම්වල ආරම්භය පමනක් විය. එක්කෝ ඍජුව ඇමරිකානු යුද බලකායන්, එසේත් නැති නම් ඇමරිකානු ගැති කුලී භටයන් යොදනු ලැබූ එම මෙහෙයුම්වලින් මිලියන සංඛ්‍යාත මිනිස්සු මරා දමනු ලැබු හ. මෙම මෙහයුම් වල ප‍්‍රතිපල වශයෙන් ඉරාකය, ඇෆ්ඝනිස්තානය, සිරියාව, යේමනය සහ ලිබියාව භෞතික සහ සමාජමය වශයෙන් විනාශභාග් කර දැමීය. මධ්‍ය ධරනී මුහුදේ ලිබියානු වෙරල ආසන්නයේ දියේ ගිලී මරනයට පත් සරනාගතයෝ එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදයේ සාපරාධී පිලිවෙත් වල ගනන් නැති ගොදුරුවලින් කොටසක් පමනි.

ගිය වසරේ සිද්ධීන්ගෙන් උවමනාවටත් වඩා හොඳින් පැහැදිලි වන්නේ මෙම ප‍්‍රාදේශීය ආක‍්‍රමන වනාහි ඉස්මතුවෙමින් පවත්නා ගෝලීය යුද සැලසුමක කොටස් බවය. ඇමරිකා එක්සත් ජනපදය එක විටම රුසියාව සහ චීනය යන දෙරටට ම එරෙහි ගැටුම උග‍්‍ර කරයි. ඇති වියහැකි ප‍්‍රති විපාක පුදුමාකාර ලෙස නොතකා හරිමින් ඔබාමා පාලනාධිකාරය ගෙන ඇති ප‍්‍රකෝපකාරී පියවරයන්, රුසියාව ලවා මිලිටරි ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල කරවාගැනීමට ගනන් බලා ගනු ලැබූ ඒවා බව මොනවට පැහැදිලිය.

2014 පෙබරවාරි මස ඇමරිකා එක්සත් ජනපදය විසින් යුක්රේනයේ බලකොල්ලය සැලසුම් කිරීම, න්‍යෂ්ටික බලවෙතකු වන රුසියාවත් සමග ඝට්ටනයකට මුල පිරීමකි. අඩියක් පස්සට ගැනීමට බලනවා වෙනුවට එක්සත් ජනපදය කරන්නේ, ජර්මනියේ සහ අනෙකුත් නැටෝ බලවතුන්ගේ ආධාර ඇතිව, රුසියාවට එරෙහි -ආර්ථික සහ යුදමය පීඩනය උග‍්‍ර කිරීම ය.

අදාල රාජ්‍ය විසින් දේශපාලන ඇඟවුම් සහ ප‍්‍රතිවිපාක හොඳින් තේරුම් ගනු නොලැබුවාවූ ද බහු ජනතාවගෙන් සඟවන ලද්දාවූ ද සංකීර්න යුද සන්ධාන හා අනුබද්ධතා ජාලයක් විවිධ යුරෝපීය රාජ්‍ය අතර පැවතීම, 1914 ජුලි -අගෝස්තු මාස වලදී පලමුවන ලෝක යුද්ධය පැනනැගීමට බරපතල ලෙස බලපෑ බව හොඳින් තහවුරු වූ කරුනකි.

ජර්මනිය ඔස්ටි‍්‍රයා-හන්ගරියේ ආධාරයට එන බවට සහතික වෙමින් 1914 ජුලියේ දී දෙනලද කොන්දේසි විරහිත සහතිකය නොවන්නට ඉන් සති දෙකකට පසු ඔස්ටි‍්‍රයාව සර්බියාවට එරෙහි යුද්ධ ප‍්‍රකාශ නොකර සිටින්නට ඉඩ තිබුනි. ප‍්‍රන්සය රුසියාවට දෙන ලද එවැනිම සහතිකයක් නිසා දිරිමත්වූ සාර්වාදී රුසියානු තන්ත‍්‍රය සර්බියාවට මිලිටරි ආධාර සැපයීමට ඉදිරිපත් නොවන්නට ද ඉඩ තිබුනි.

අවුරුදු සියගනනක් ගිය තැන ඉතිහාසය පුනර්කරනය වෙමින් පවතී. පසු ගිය වසරේ එස්තෝනියාව යන කුඩා බෝල්ටික් රාජ්‍යයේ, ටැලිනින් නගරයේ කල ප‍්‍රසිද්ධ කතාවක දී ඔබාමා මෙසේ කියා සිටියේ ය:

මම එස්තෝනියාවේ ද මුලු බෝල්ටික් ප‍්‍රදේශයේ ද ජනයාට මෙසේ කියා සිටිමි. අද අපි අපගේ ගිවිසුම් සන්ධානයෙන් බැඳී සිටිමු. අපි එකිනෙකාට සහාය දැක්වීමට ශුද්ධ වූ බැඳීමකින් වෙලී සිටිමු. මෙම ගිවිසුමේ 5ස්වන වගන්තිය පලිඟුවක් සේ පැහැදිලිය: අප එකෙකුට එල්ල වන පහර සියල්ලටම එල්ල වන පහරකි. ඉතින් එවන් මොහොතක දී, ඔබ යලිත් මෙසේ ඇසුවොත්, “අපගේ ආධාරයට එන්නේ කවු ද?”, ඔබ සියලු දෙනාම උත්තරය දන්නෝය - ඒ නැටෝ සන්ධානය ය, ඊට එක්සත් ජනපදයේ සන්නද්ධ බලකායන් ද ඇතුලත් ය. හරියට ම මෙන්න මෙතනදී! අපි එස්ටෝනියාව වෙනුවෙන් ඉදිරිපත් වෙමු. ලැට්වියාව වෙනුවෙන් ඉදිරිපත් වෙමු. ලිතුවේනියාව වෙනුවෙන් ඉදිරිපත් වෙමු.

එස්තෝනියාවේ දේශපාලන වශයෙන් අස්ථාවර, ඉවබව නැති දක්ෂිනාංශික ආන්ඩුවට යුද්ධාධාර දීමට ඔබාමා පාලනාධිකාරය දී ඇති පොරොන්දුවේ බැරෑරුම් කම වටහාගැනීම පසෙක තිබියේවා ඔහු විසින් එවැන්නක් දෙන ලද බවක් හෝ ඇමරිකානුන් කීයෙන් කී දෙනෙක් දැන සිටිත් ද? එස්තෝනියාවේ ටැලිනින් නුවර සිට රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයට ඇත්තේ සැතපුම් 230 කි - නිව් යෝර්ක් නගරයේ සිට වොෂිංටන් නගරය දක්වා ඇති දුරට වඩා සැතපුම් දහයකට අඩු දුරකි. එස්තෝනියානු ජනගහනයෙන් දල වශයෙන් හතරෙන් පංගුවක් රුසියානු ජනවර්ගයට අයත් වේ.

යුක්රේනයේ යුද ගැටුමේ ද, රුසියාව සහ පෝලන්තය අතර දිගටම වැඩෙන ආතතීන්ගේ ද නැටෝව නැගෙනහිර යුරෝපයට සහ කලු මුහුද ප‍්‍රදේශයට නිර්දයව කඩාවැදීමේ ද පසුබිම තුල ඔබාමා ටැලිනින් නුවර කල කතාව බෝල්ටික් රාජ්‍යයන්ට දුන් අසීමිත අවසරයක් යයි වටහා ගැනීම රුසියාවට අමාරු දෙයක් ද? එපමනක් නොව ඔබාමා කියපු දේ සැබවින්ම අදහස් කලානම් - ඔහු එසේ කල බව අප නිගමනය කල යුතු ය - එක්සත් ජනපදය සහ එහි නැටෝ මිතුරන් බෝල්ටික් රාජ්‍යයන්ට සහය දීම සඳහා රුසියාවට එරෙහිව යුද්ධයට පිවිසෙනු ඇත. ඒ න්‍යෂ්ටික යුද්ධයකට ය.

එක්සත් ජනපද මූලෝපායඥයෝ යුරේසියානු භූමිස්කන්ධයේ අනෙක් කොනේ, චීනය වැටලීමේ තම ඉලක්කය නිර්දයව හඹායමින් සිටිති. පසුව කථාකරන අය වඩා සවිස්තරව දක්වනු ඇති පරිදි, ‘ආසියාවට හැරීම’ වනාහි අන් කිසිවක් නොව චීනයට එරෙහිව ක‍්‍රමානුකූලව යුද්ධය සූදානම් කිරීම ය. මේ අවුරුද්දේ මාර්තු මාසයේ දි පලකරනලද චීනය කෙරේ එක්සත් ජනපද පිලිවෙත පිලිබඳ ප‍්‍රමුඛ පරීක්ෂනයක දි, අධිකාරවත් විදේශ සම්බන්ධතා මන්ඩලය කෙලින්ම කියාසිටියේ ‘එක්සත් ජනපදය සහ චීනය අතර මූලික විශ්වාසයක්’, ‘සාමකාමී සහජීවනය’, ‘අන්‍යොන්‍ය වැටහීම’, ‘මූලෝපායික සහකාරිත්වයක්’ හෝ ‘නව වර්ගයේ රාජ්‍යාන්තර සම්බන්ධතා’ ගොඩනැගීමට කිසිදු අවකාශයක් ඇත්තේ නැති බවය.

එක්සත් ජනපදයේ ප‍්‍රානසම ආසක්තයන් රැක ගැනීම සඳහා චීනය සමග බේරුමක් කරගැනීමට නම් “දේශපාලන අධිෂ්ඨානය” සහ යුදමය හැකියාව වර්ධනය කර ගත යුතු බව එම වාර්තාව ප‍්‍රකාශ කරයි. එක්සත් ජනපදයේ පිලිවෙත් සම්පාදනයේ ඉහලම මට්ටමේ සිටින අය එලඹ සිටින්නේ චීනය සමග යුද්ධය මගනොහැරිය හැක්කක් ය යන නිගමනයට ය.

එවන් මූලෝපායික දෘෂ්ටියක්, යුද්ධමය විනාශයක් කඩාපාත්වීමට තවත් අමතර සාධකයක් විය හැකි බව පෙර ලෝක යුද්ධ පිලිබඳ අධ්‍යයනයක් විසින් තහවුරු කෙරෙයි. පලමුවැනි ලෝක යුද්ධයේ ඉතිහාසඥයෙකු විසින් ලියා ඇති පරිදි “යුද්ධයක් වැලැක්විය නොහැකි බව පිලිගත්තායින් පසුව, නායකයන්ගේ සහ හමුදාවල ගනන් බැලීම් වෙනස් වෙයි. තවදුරටත් ප‍්‍රශ්නය වන්නේ යුද්ධයක් සිදුවන්නේ ද, සිදු කල යුතු ද යන්න නොවේ. යුද්ධය වඩාත් වාසි සහගත ලෙස කල හැක්කේ කවදා ද?” යන්නයි. (The Next Great War? The Roots of World War I and the Risk of U.S.-China Conflict( මීලඟ ලෝක මහා යුද්ධය? පලමුවන ලෝක යුද්ධයේ මුල් සහ එක්සත් ජනපද-චීන ඝට්ටනයක අවදානම, සංස්කරනය රිචඩ් එන්. රොසේන්ක්රන්ස් සහ ස්ටීවන් ඊ. මිලර් පිටු .xi.)

චීනයට එරෙහි එක්සත් ජනපද පිලිවෙතේ ආක‍්‍රමනික ස්වභාවය දිවවෙන්නේ අති මූලික භූ දේශපාලන සහ ආර්ථික ආසක්තයන් විසින්ය යන්න සුප‍්‍රකට ය. ඇමරිකානු පාලක ප‍්‍රභූව චීනයේ වැඩෙන ආර්ථික බලය ආසියාවේ ද මුලු ලෝකයේ ද සිය ආධිපත්‍යයට තර්ජනයක් ලෙස දැකගනී. එපමනක් නොව, දශක ගනනාවක ආර්ථික පල්වීම සහ කාර්මික නිෂ්පාදන පදනම දිරාපත් වීමේ තතු තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපාත්‍යය තවදුර පවත්වා ගත හැක්කේ නග්න යුද බලය යෙදවීමෙන් පමනක් බව එරට පාලක පන්තිය තේරුම් ගෙන තිබෙන කරුනකි.

ඇමරිකානු පාලක පන්තියට ප‍්‍රගතිශීලී විසඳුමක් නොමැති දෘඪ සමාජ ප‍්‍රතිඝතිතාවන් ගෙන් දැදුරුව ඇති එක්සත් ජනපදයේ අභ්‍යන්තර අර්බුදයේ බලපෑම මෙම ජාත්‍යන්තර සාධකයන්ට අමතරව එකතු කලයුතු වේ. දැන් ඇමරිකානු දේශපාලන පර්යාය පරපුටු වූ ද, නිමක් නැතිව ආත්මාර්තකාමී වූ ද හරයෙන්ම සාපරාධි වූ ද මූල්‍ය ප‍්‍රභූවේ ආසක්තයන් උඩ සමාජය කොල්ලකන යන්ත‍්‍රයක් බවට පිරිහී ගොස් ඇත.

නිමක් නැති ‘ත‍්‍රස්ත විරෝධී යුද්ධයේ’ කේන්ද්‍රීය අරමුනු වලින් එකක් නම් ඇමරිකානු ජනයා ගේ බහුතරයට සමාජ ව්‍යසනය ගෙන එන සැබෑ හේතු වසන්කොට ජනයා නොමග යැවීම සඳහා ඔවුන් අතර භීතිය සහ සන්ත‍්‍රාසය වැපිරීම ය.

නිසැකවම වොෂින්ටනය, සමස්ත ලෝකයේම අධිරාජ්‍යවාදී ප‍්‍රචන්ඩයේ දේශපාලන ස්නායු කේන්ද්‍රය වේ. එහෙත්, එක්සත් ජනපද ආන්ඩුව අනුගමනය කරන පිලිවෙත් අවසාන විග‍්‍රහයේ දී ගෝලීය ධනේශ්වර පර්යායේ අර්බුදයට දක්වන ප‍්‍රතිචාරයක් ද වේ. අර්බුදයේ සාරභූත අංග දෙකක් නම් 1). නිෂ්පාදන බලවේගයන්ගේ පෞද්ගලික අයිතිය මත පදනම් වූ ආර්ථික පර්යායේ යල්පිනූ බව සහ 2). ගෝලීයව -අන්තර් බද්ධ ආර්ථිකයක නිෂ්පාදන ශක්‍යතාවන්, කිසිසේත්ම පවත්නා ධනේශ්වර ජාතික-රාජ්‍ය පද්ධතිය තුල සමාජමය වශයෙන් ප‍්‍රගතිශීලී ආකරයකින් ප‍්‍රතිසංවිධානය කර ප‍්‍රයෝජනයට ගැනීම සිදු කල නොහැකි බවයි.

එන්න එන්න ම වැඩිවන අධිරාජ්‍යවාදී සහ ධනේශ්වර බලවතුන් සංඛ්‍යාවක් ආර්ථික වෙලඳපොල සඳහා සහ භූදේශපාලන අනුහස දිනාගැනීම උදෙසා තරග වැදීම අර්බුදයේ ගෝලීය ස්වභාවය තහවුරු කරයි. සිය ගෝලීය අභිලාශයන් යලි පන ගන්වමින් සිටින සියලු පැරනි ධනේශ්වර බලවත්තු, සිය අතීත අපරාධයන් වසාගැනීම සඳහා ඉතිහාසය බොරුකරන තැනට වැටී සිටිති. පිලිගත් ජර්මානු මහාචාර්යවරු නාසීන් කල යුද්ධ වලට ක්ෂමාලාප ගොතමින් සිටිති. 1915 ගැලිපොලියේ දී දහස් ගනනක් තරුන ජීවිත ඝෝර ලෙස විනාශ කර දැමීම පිලිබඳව උත්සව පවත්වන ඕස්ටේ‍්‍රලියානු අගමැතිවරයා ගැලිපොලි මස් මඩුව අනාගත කැපකිරීම් සඳහා පරමාදර්ශයක් ලෙස හුවා දක්වයි.

සෑම ධනේශ්වර ආන්ඩුවක්ම, තම ප‍්‍රතිවාදී ආසක්තයන් හා අභිලාෂයන් කුමක් වුවත්, දරන-හරින ගෝලීය අර්බුදය තුල ඉටු කරන්නේ ප‍්‍රතිගාමී භූමිකාවකි. ඇමරිකානු, යුරෝපීය සහ ජපාන අධිරාජ්‍යවාදයේ පීඩනයට පිලිතුරු ලෙස රුසියාව සහ චීනය, තමන්ගේම මිලිටරි වැඩසටහන් පුලුල් හා ශක්තිමත් කරන අතර ජාත්‍යෝත්තමවාදය අවුලුවයි. ඊට ආයාචනය කරයි. මෙම පිලිවෙතට අංශුමාත‍්‍ර හෝ ප‍්‍රගතිශීලී බවක් ඇත්තේ නැත.

රුසියාවේ න්‍යෂ්ටික අයුධාගාරය රට බාහිර තර්ජනයන් ගෙන් රැකගනු ඇති යයි පුටින් කරන කතා වලින් කෙරෙන්නේ යුද්ධ මූලෝපායික බංකොලොත්බව සමග ආන්තික ජාතික දෛවවාදය බද්ධ කිරීමයි. චීනයේ යුද වියදම් වල ඉමහත් නැගීම එරට ට ලබා දෙන ආරක්ෂාවක් හෝ සාමයක් නැත. චීනයේ යුද වියදම් එක්සත් ජනපදය සහ ජපානය ඇතුලු අනෙකුත් ශාන්තිකර හා ඉන්දියානු කලාපයේ බලවතුන් විසින් ප‍්‍රදේශය තුල යුද බලය ගොඩනැගීම යුක්ති සහගත කිරීම සඳහා ගසාකනු ලැබේ.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සටන් වැද සිටින ඉහත කී සියලු ජාතික බලවතුන්ට අශමනියව සතුරු වෙයි. අප අධිරාජ්‍යවාදයට සතුරු වන්නේ සමාජවාදී ජාත්‍යන්තර වාදයේ මූලධර්මයන් මත පදනම්ව ය. යුද්ධයට එරෙහි අපගේ අරගලයේ දී, අප හැරී ගන්නේ කිසියම් ජාතික ආන්ඩුවක් දෙසට නොව ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙතට ය. ජාතීන් අතර යුද්ධයට එකම ප‍්‍රතිකාරය නම්. සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත ධනේශ්වරය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තියේ සවිඥානක අරගලය සියලු බැමි වලින් මුදා පෝෂනය කිරීම යි.

අපගේ ලෝක පරිමාන ශ‍්‍රාවකය තුල, සමහර කොටස්, අප අරමුනු හා අපේක්ෂාවන්ට හිතවත් වන නමුත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කොට ඇති ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයේ ශක්‍යතාව පිලිබඳ සංශයවාදය හැර දැමීමට අපහසුවෙන් සිටින බවට මම සැක කරමි. සංශයවාදය ඛන්ඩනය කලහැක්කේ ගෝලීය ධනේශ්වර අර්බුදය පිලිබඳ වෛෂයික විශ්ලේශනය මගින් ද ඉතිහාසයේ පාඩම් මගින් ද වේ.

ගෝලීය යුද්ධයක් බවට පරිවර්තනය වීමේ මාරාන්තික තර්ජනය එල්ල කරන, පිලිකාවක් සේ ඔඩුදුවන මිලිටරි ප‍්‍රචන්ඩත්වය, පිලිබිඹු කරන්නේ පවත්නා දේපල සම්බන්ධතාවන් සහ ජාතික රාජ්‍ය පද්ධතියේ රාමුව තුල ලෝක ධනවාදයේ පර්යායගත අර්බුදය රඳවා තබා ගැනීමට පාලක ප‍්‍රභූව දරන්නා වූ එන්නෙන්නම උග‍්‍රවන වියරු ප‍්‍රයත්නය යි. එහෙත් මෙම අර්බුදය විසින් ම නිෂ්පාදන බලවේගයන් ගේ ධනේශ්වර අයිතිය සහ ජාතික රාජ්‍ය පද්ධතිය ම අහෝසි කර දමන විප්ලවවාදී අරගලයන් කරා ජාත්‍යන්තර කම්කරු පන්තිය දුවවන්නේද වෙයි.

හරියටම අවුරුදු සියයකට පෙරාතුව, 1915 මැයි මාසයේ දී, ලියොන් ට්‍රොට්ස්කි ලියූ ‘අධිරාජ්‍යවාදය සහ ජාතික අදහස’ නම් ලිපියක, ප‍්‍රථම ලෝක යුද්ධයේ ගාම්‍යයන් සහ අර්ථභාරය මෙසේ විශ්ලේෂනය කලේ ය:

ආර්ථිකයේ අත්තිවාරම් පවා විනාශ කරන වර්තමාන අධිරාජ්‍යවාදී යුද්ධය, ජාතික සංකල්පයේ ආධ්‍යාත්මික කලකන්නි භාවය හා ප්‍රෝඩාකාරී බව උග‍්‍ර කර, හෙලිදරව් කර, ධනේශ්වර සමාජයේ ගමන්මග ඇදවැටී ඇති අපාරයේ සිත් කාවදින ප‍්‍රකාශනය බවට පත්ව තිබේ. ලෝකාර්ථිකය ජාතික බන්ධන වලින් මුදා ගෙන, ඒ හා සමගම ජාතික සංස්කෘතිය ජාතීන් අතර ආර්ථික ඝට්ටනයේ ග‍්‍රහනයෙන් ගලවා ගෙන, සමස්ත මානව සංස්කෘතියට ම ඝෝර තර්ජනයක් බවට පත්ව අප ඉදිරියේ පුපුරා ගොස් ඇත්තාවූ ප‍්‍රතිඝතිතාවන්ගෙන් එලියට එන මාවතක් සම්පාදනය කලහැක්කේ සමාජවාදයට ම පමනි.

ඊට මාස කිහිපයකට පසු, 1915 සැප්තැම්බර් මාසයේ දී, පලමුවැනි ලෝක යුද්ධයේ අඳුරුම පැය තුලදී, ස්විට්සර්ලන්තයේ සිම්මර්වෝල්ඩ් නම් කුඩා ගම්මානයේ දී යුද්ධයට එරෙහි විපාර්ශවය විසින් ගතයුතු ක‍්‍රියාමාර්ගය සහ මූලෝපාය කුමක් දැයි විවාද කිරීමට සමාජවාදීන් 38 දෙනක් රැස් වූහ. 38 දෙනෙක් පමනි! මේ 38 දෙනාගෙනුත් ලෙනින්ගේ නියෝජිත කන්ඩායම සමන්විත වූයේ හුදෙක් පස් දෙනෙකුගෙනි.

ලෙනින් නායකත්වය දුන් බෝල්ෂෙවික් පක්ෂය, ඒ වන විටත් පැවතුනේ ඉතා කුඩා සංවිධානයක් ලෙස ය. එහෙත් යුද්ධයේ දේශපාලන ගම්‍ය පිලිබඳ ලෙනින්ගේ නිගමනය ඉමහත් සේ දූරදර්ශි විය. ට්‍රොට්ස්කි මෙන්ම ලෙනින් ද යුද්ධය වනාහි, ස්ථාවර සමතුලිතතාවකින් අවාසනාවන්ත හා තාවකාලිකව විතැන් වුව ද සටන් අවසන්වූ කල්හි 1914 අගෝස්තුවට පෙර පැවති තත්වය අඩු වැඩි වශයෙන් යලි තහවුරු කෙරෙන සංසිද්ධියක් නොවන බව අවධාරනය කලේය. යුද්ධය පෙන්නුම් කලේ පැරනි ලෝක ධනේශ්වර පර්යායේ බිඳ වැටීමයි.

ලෙනින් විසින් ඉදිරිපත් කරන ලද සාරභූත මූලෝපායික සංකල්පය වූයේ, ලෝක යුද්ධය පුපුරායාමට තුඩුදුන් එම සාරභූත ප‍්‍රතිඝතිතාවන්ම ලෝක සමාජවාදී විප්ලවය ද ජනනය කරනු ඇති බව ය.

මාක්ස්වාදීන්ගේ කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ, ධනවාදයට සහ අධිරාජ්‍යවාදයට එරෙහිව ලෝක කම්කරු පන්තියේ නැගිටීම සඳහා - සිය න්‍යායික, දේශපාලන සහ ප‍්‍රායෝගික-සංවිධානාත්මක වැඩ කටයුතු තුලින් - සූදානම් වීමය.

අන් සියල්ලටමත් වඩා යුද්ධයට එරෙහි සටන පදනම් කල යුත්තේ, සම්මුති විරහිත සමාජවාදී ජාත්‍යන්තරවාදය මතය.

මෙය ඉල්ලා සිටියේ අධිරාජ්‍යවාදයට යටත් වී යුද්ධයට සහය දුන් අවස්ථාවාදී දෙවන ජාත්‍යන්තරයට එරෙහිව නව විප්ලවවාදී ජාත්‍යන්තර පක්ෂයක් ගොඩනැගීම ය.

1915 දී ලෙනින්ගේ ආස්ථානයට සහයෝගය දුන්නේ කුඩා සුලුතරයක් පමනි. එහෙත් යාන්තම් වර්ෂ දෙකක් ගතවීමට පෙර, මිලියන සංඛ්‍යාත ජනකායක් ඔහුගේ ක‍්‍රියාමාර්ගය පිලිගත්තෝය. ඔක්තෝබර් විප්ලවය විසින් ලෙනින්ගේ විශ්ලේෂනය සනාථ කරන ලදී.

මේ ඉමහත් ඓතිහාසික අත්දැකීමේ පාඩම් අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව නව ව්‍යාපාරයක් ගොඩනැගීම ට ආස්වාදය සපයමින් එයට මග පෙන්විය යුතු ය. ධනවාදය අපාරයකට එලඹ ඇත. ධනවාදය විසින් ඇති කෙරෙන සමාජ දුක්ඛය සහ හිතුවක්කාරී විනාශය මහා ජනතාව තුල ප‍්‍රගාමී ව උග‍්‍රවන සද්කෝපයක් ජනනය කරයි. ඇමරිකා එක්සත් ජනපදය තුල අප දැකගනිමින් සිටින්නේ කම්කරු පන්ති ප‍්‍රතිරෝධයක ප‍්‍රථම චලනයන් ය. ලෝක අධිරාජ්‍යවාදයේ හදවතේම ඇතිවන මෙම ප‍්‍රතිරෝධය, තිරසරව නැගී එනු ඇත. අප අන්තරායන් අඩුවෙන් තක්සේරු කරන්නේ නැත එසේම අප, එක්සත් ජනපදයේ සහ ලෝක පරිමාන කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය ද අඩු තක්සේරු කරන්නේ නැත. පරදුවට තැබී ඇති ඓතිහාසික ප‍්‍රශ්නය, විසඳිය යුතුව ඇත.

පෙරට එන්නාවූ මහා ජනකාය, පීඩකයන් පැටවූ සකල බාධක බිඳගෙන ඉදිරියට ඇදෙන අවස්ථා ඉතිහාසයේ දක්නට ලැබේ. අප ප‍්‍රවිෂ්ට වෙමින් සිටින්නේ එවන් ඓතිහාසික ක්ෂනයකට ය. පස් දෙනා පසෙක තිබියේවා මෙම ජාත්‍යන්තර රැලියට 38 දෙනෙකුට වඩා සැලකිය යුතු ඉහල සංඛ්‍යාවක් සම්බන්ධව සිටිති. ලෝකය පුරා මෙම රැලියට සහභාගිවන්නාවූ ආදරනීය සහෝදරවරුනි, අද ඇහුම්කන් දී ගෙන සිටිනා ඔබ සියලු දෙනාම, තමන්ව දැකගත යුත්තේ ද ක‍්‍රියාකල යුත්තේ ද හතරවන ජාත්‍යන්තරයේ ක‍්‍රියාමාර්ගය නියෝජනය කරන්නාවූ ද ඒ සඳහා සටන් කරන්නාවූ ද නියෝජිතයින් ලෙසය.

කම්කරු පන්තියේ සහ තරුනයින්ගේ දේශපාලන විඥානය නගාලීම ට අප‍්‍රතිහතව වැඩට බසිමින් ක‍්‍රියාත්මක වන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. අක‍්‍රියභාවයට හෝ දෛවවාදයට මෙහි ඉඩ නැත.

ධනවාදයේ වෛෂයික ප‍්‍රතිඝතිතා කම්කරු පන්තියේ රැඩිකලීකරනයට යෝධ ගාමකයක් සපයනු ඇත. එහෙත් එයට දැනුවත් විප්ලවවාදී සමාජවාදී දිශානතියක් දීමට නම් අප වැඩෙන අරගලයන්ට මැදිහත් විය යුතු වේ. ඓතිහාසික තත්වය ද ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය හා ක‍්‍රියාමාර්ගය ද වටහා ගන්නා වූ සියලුදෙනා ඉදිරියේ පවත්නා මහා කර්තව්‍යය හා කිසිසේත් ම, මගහැරිය නොහැකි වගකීම වන්නේ, “යුද්ධයට එරෙහිව යුදවැදීම” යි: හතරවන ජාත්‍යන්තරයට බැඳී එය සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස ගොඩනැගීමට සටන් වැදීමයි.

ඩේවිඩ් නෝර්ත්

Share this article: