වර්ජිත රෝහල් සේවකයන්ට එරෙහිව රාජ්‍ය මර්දනයක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2015 මැයි 27

රුපියල් 3000 විශේෂ දීමනාව, 2006 චක‍්‍ර-ලේඛයක් යටතේ සිදුකල රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමකට අනුව ලැබිය යුතු හිඟ වැටුප් සහ තවත් ඉල්ලීම් ගනනාවක් මත වර්ජන අරගලයකට පිවිස සිටින රෝහල් කනිෂ්ට සේවකයන්ට විරුද්ධව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව විසින් රාජ්‍ය මර්දනයක් මුදාහැර ඇත. රජයේ රෝහල්වල 40,000 ක් පමන කම්කරුවෝ මෙම වර්ජනයට සම්බන්ධ වී සිටිති.

වර්ජනය කැඩීම සඳහා කොලඹ ජාතික රෝහල, බොරැල්ලේ රිජ්වේ ආර්යා ලමා රෝහල, කලුබෝවිල දකුනු කොලඹ මහ රෝහල ඇතුලු රෝහල් ගනනාවකට 300 ට අධික හමුදා භටයන් රෝහල් කටයුතු සඳහා යොදවා ඇත. එමෙන් ම වර්ජනයට සම්බන්ධ අනියම් සහ ආදේශක සේවකයන්ට වර්ජනය කිරීමේ අයිතියක් නැති බවත් සේවයට වාර්තා නොකරන සියලුම සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ප‍්‍රකාශ කර තිබේ.

එමෙන් ම වර්ජිත සෞඛ්‍ය සේවකයන්ට විරුද්ධව මහජනයා උසිගැන්වීමේ හා මර්දනය යුක්ති සහගත කිරීමේ ප‍්‍රචාරයක් ආන්ඩුවේ සහ පුද්ගලික ධනපති ජනමාධ්‍යයන් විසින් ගෙන යනු ලබයි.

හතලිස් දහසක් පමන රෝහල් සේවකයන් අරගලයට සම්බන්ධ වීම ජීවන තත්වයන් වඩ වඩා පිරිහෙන තතු තුල වැටුප් වැඩිකර ගැනීම සඳහා සටන් කිරීමට ඔවුන්ට ඇති වුවමනාව මෙන් ම ආන්ඩුව කෙරෙහි කම්කරු පන්තිය තුල පුලුල් ව වර්ධනය වන විරුද්ධත්වය පෙන්නුම් කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කල කම්කරුවන් ගනනාවක් ම ප‍්‍රකාශ කලේ ‘මෙම ආන්ඩුව බලයට ගෙනාවේ අපි. සිරිසේන මහත්තය රාජපක්ෂ ආන්ඩුවේ සෞඛ්‍ය ඇමති විදිහට ඉන්නා කොට කිව්වේ ඒ ආන්ඩුව එයාට සෞඛ්‍ය සේවකයන්ගේ ප‍්‍රශ්න විසඳන්න ඉඩ දෙන්නේ නැහැ කියල. දැන් එයා ජානාධිපති නිසා එයාට කරන්න පුලුවන්නේ. නමුත් ගිය ආන්ඩුව වගේ ම මේ ආන්ඩුවත් කරන්නේ කම්කරුවන් රවට්ටන එක.’

මෙම ප‍්‍රකාශයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ ජනතා විමුක්ති පෙරමුන හා එය නායකත්වය දෙන වෘත්තීය සමිති ව්‍යාජ වම්මු ඇතුලු අනෙකුත් මධ්‍යම පන්තික සංවිධාන සිරිසේන බලයට ගෙන ඒමට මොන තරම් මිථ්‍යාවන් වැපුරුවේද යන්නයි. වැටුප් හා සේවා තත්වයන් දිනා ගැනීමට අරගල කිරීමේ උවමනාව කම්කරුවන් අතර මතු වන විට රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා තුල හිර කල මෙම සමිති කියා සිටියේ සිරිසේන බලයට ගෙන ඒමෙන් තත්වය වෙනස් කර ගත හැකි බවයි.

රාජපක්ෂගේ කප්පාදු වැඩ පිලිවෙලට වෙනස් වැඩපිලිවෙලක් ධනපති ක‍්‍රමය රැකීමට කැපවූ සිරිසේනට හා දක්ෂිනාංශික එජාප ආන්ඩුවකට නැති බව සමිති නායකයෝ හොඳින්ම දැන සිටියහ. රාජපක්ෂට බලයට ඒමට පාර කපා ඒ ආන්ඩුවේ ප‍්‍රහාරවලට කම්කරුවන් ගොදුරුකල මේ සමිති ගිය ජනාධිපතිවරනයේදී සිරිසේනට හා එජාපයට පාර කැපුවේ ය.

2006 වැටුප් වැඩි කිරීමෙන් සේවකයන්ට ලැබිය යුතු වැටුප ගෙවීම 2011 වනතුරු වසර පහක් ආන්ඩුව විසින් ප‍්‍රමාද කිරීම හා ඉන් අනතුරුව 2006 සිට 2011 දක්වා වසර පහක හිඟ වැටුප් ගෙවීම ආන්ඩුව විසින් වසර හතරක් පැහර හැර ඇති තතු තුල ජවිපෙට සම්බන්ධ සමිති පෙරමුන සහ ආන්ඩුවට ඍජුව සහය දෙන වෘත්තීය සමිති පෙරමුනත් කෙලේ පසුගිය වසර කිහිපය තුල ම කම්කරුවන් පුහු විරෝධතා උද්ඝෝෂනවලට කොටුකර ඔවුන්ගේ අරගලය දිය කර දැමීමය.

වර්ජනයට විරුද්ධ සහ වර්ජනය කැඳවුම් කර ඇති වෘත්තීය සමිති කම්කරුවන්ගේ අරගලය කඩාකප්පල් කිරීම සඳහා පසුගිය වසරවල දී මෙන් ම මෙවර ද වැඩ බෙදා ගැනීමක නිරතව සිටිති. වර්ජනයට විරුද්ධ ජනරජ සෞඛ්‍ය සේවක සංගමය, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ නිදහස් සෞඛ්‍යසේවක සංගමය ඇතුලු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන 25 වෙනිදා සෞඛ්‍ය ඇමති සමග පැවති සාකච්චාවක දී විශේෂ දීමනාව රුපියල් 1000 කට කප්පාදු කිරීමට එකඟ වී ඇත. සෙසු ඉල්ලීම් වලට කිසිදු විසඳුමක් නැත.

වර්ජනය කැඳවුම් කර ඇති ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ සමස්ත ලංකා සුව සේවා සංගමය, සමස්ත ලංකා වාට්ටු ලිපිකරු සංගමය, සමස්ත ලංකා රසායනාගාර කාර්මික සහකාර සංගමය ඇතුලු වෘත්තීය සමිති පහක පෙරමුන ආන්ඩුවෙන් ‘පිලිගත හැකි’ විසඳුමක් ලබා ගැනීමේ නමින් අරගලය දියකර හැරීමේ තැතක යෙදී සිටී.

ආන්ඩුවට ‘කඩේ යන අවස්ථාවාදී’ සමිති අරගලය පාවා දෙන බව ට ජවිපෙට සම්බන්ධ සමිති පෙරමුනේ නායකයෝ අනෙක් සමිති පෙරමුනට චෝදනා කරන නමුත් මෙම සමිති පෙරමුනු දෙක ම ජනාධිපති සිරිසේන බලයට ගෙන ඒම සඳහා සිරිසේනට කඩේ ගියහ. සිරිසේනගේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපාලනය’ වගවර්නනා කල ජවිපෙ ඔහුගේ ආන්ඩුවේ විධායක සභාවට ද සම්බන්ධ විය.

දැන් සිරිසේන--වික‍්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි රෝහල් සේවකයන් ඇතුලු සමස්ත වැඩකරන ජනතාවගේ අතෘප්තිය සහ කෝපය වර්ධනය වන තතු තුල ආන්ඩුවෙන් දුරස්ථ වීමට පටන් ගෙන ඇති ජවිපෙ සහ එහි සමිති කම්කරු පන්තිය තුල වර්ධනය වන එම තත්වය තමන්ගේ අවස්ථාවාදී දේශපාලන උවමනාවන්ට ගසා කෑමට තැත් කරන ගමන් ම පුහු විරෝධතාවලට කොටු කර කම්කරුවන්ගේ අරගල දිය කර හැරීමට කටයුතු කරති.

කලක් තිස්සේ යට ගැසූ ඉල්ලීම් දිනා ගැනීමට කම්කරුවන් අතර ඇති දැඩි උවමනාව නිසා ජවිපෙ සමිති නායකයෝ තැති ගැනී සිටිති. එහෙයින් කම්කරුවන්ට ගිල්ලවිය හැකි ‘පිලිගත හැකි’ දෙයක් සෞඛ්‍ය ඇමති ගෙන් නො ලැබුනොත් බලහත්කාරයෙන් හෝ සාකච්චාවක් ලබා ගන්නා බව ජවිපෙ සමිති නායකයෝ කියති. බදාදා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂනයක යෙදුන රෝහල් සේවකයන් ඇමතූ සමස්ථ ලංකා සුව සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් සමන්ත කෝරලේ ආරච්චි ‘28 වෙනිදා උදේ 6 ට පෙර විසඳුමක් නො ලැබුනොත් අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යායුතු බවත් අවශ්‍ය වුනොත් සාකච්චාවක් ලබා ගැනීම සඳහා ගේට්ටු කඩාගෙන හෝ අමාත්‍යාංශය තුලට යාමට සුදානමින් සිටිය යුතු බවත්’ කීවේ ය.

බලධාරීන් සමග සාකච්චාවක් ලබා ගැනීමට පවතින මේ මාරාන්තික උනන්දුව පිටු පසින් ඇත්තේ සම්මුතියකින් සේවකයන් ආපසු වැඩට තල්ලූ කර යැවීමේ දැඩි උවමනාවයි.

දශක ගනන් දිග් ගසා ඇති මේ අරගලයේ වත්මන් අත්දැකීම වන්නේ ද සෞඛ්‍ය සේවය හා සේවක අයිතීන් දිනා ගැනීමේ පලල් දේශපාලන අරගලයකින් තොරව කම්කරුවන්ගේ අයිතීන් දිනාගත නොහැකි බවයි. අවශේෂ සෞඛ්‍ය සේවකයන් සමිති නායකයන්ගේ සීමා කිරීම් හා යටිකූට්ටු ක‍්‍රියා ප‍්‍රතික්ෂේපකර දැන් කනිෂ්ට සේවකයන් අරඹා ඇති අරගලයට කි‍්‍රයාකාරීව සහයෝගය දිය යුතුය. මෙම අරගලය සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහා අරගල මත පදනම් පදනම් කිරීම අත්‍යවශ්‍ය ය.

Share this article: