බුරුම “ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිමූර්තිය” මිලිටිරිය සමග සාකච්ඡාවන්ට සැරසෙයි- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

බුරුම “ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිමූර්තිය” මිලිටිරිය සමග සාකච්ඡාවන්ට සැරසෙයි

Burma’s “democracy icon” seeks talks with military

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2015 නොවැම්බර් 12

බුරුමය තුල විවෘත වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නව යුගයකට ප‍්‍රතිවිරුද්ධව එන්එල්ඩීය, ඔවුන්ගේ ඒකාබද්ධ න්‍යායපත‍්‍රය, එනම් වොෂින්ටනය හා එහි සහචරයන් සමග වඩා කිට්ටු ආර්ථික හා මූලෝපායික පෙලගැසීමක් සමග බැඳුනු විදේශ ආයෝජන ආකර්ෂනය කිරීමට තව දුරටත් වෙලඳපොල ගැති ප‍්‍රතිව්‍යුහනය තීව්ර කිරීමට හමුදාව සමග කිට්ටු සහයෝගීතාවයෙන් ක‍්‍රියා කරනු ඇත.

“ජාතික සංහිඳියාවේ ජීවගුනය තුල” ඔවුන් එකිනෙකා සමග සාකච්ඡා අපේක්ෂාවෙන් සූ කී, රටේ ජනාධිපති තේන් සීන්, හමුදා ප‍්‍රධානී ජ්‍යෙෂ්ට ජනරාල් මින් අවුන්ග් හ්ලේන්ග් හා කතානායක ෂ්වේ මාන් යන අයට 10දා වෙන වෙන ම ලිපි තුනක් යැව්වා ය. ජනාධිපති හා හමුදාව ජයග‍්‍රහනය පිලිබඳව එන්එල්ඩීයට සුබ පතා ඇති අතර හමුවීමට ඔවුන්ගේ කැමත්ත පල කලහ.

හිටපු ජනරාල්වරයෙකු වන තේන් සීන් පැවසුවේ, “ආන්ඩුව මිනිසුන්ගේ තේරීමට ගරු කරනු හා එය අනුගමනය කරනු ඇති අතර කාලසටහනට අනුව සාමකාමීව බලය මාරු කරනු ඇති” බව යි. 1962 සිට බුරුමය පාලනය කර ඇති මිලිටරි ඒකාධිපතිත්වය කෙරෙහි තම විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමට ඡන්දදායකයින් අවස්ථාව යොදා ගැනීමත් සමග හමුදා පිටුබලය ලත් ඔහුගේ එක්සත් සහයෝගිතා හා සංවර්ධන පක්ෂය (යූඑස්ඩීපී)ය සැබවින් ම අතුගෑවී ගියේය.

සාමකාමී ලෙස බලය මාරු කිරීම පිලිගැනීම සඳහා මිලිටරියේ කැමත්ත, 2011 සිට සිදු වී ඇති වෙනස සමග බැඳී තිබේ. ඇමරිකාව හා එහි සහචරයන් විසින් පටවන ලද කොන්ද කැඩෙන ආර්ථික සම්බාධාක වලට ඒ වන විට මුහුන දෙමින් සිටි ජුන්ටාව, චීන ආයෝජන මත සිය යැපීම ගැන උනන්දු වූ අතර ම චීනයට එරෙහි ඔබාමා පාලනාධිකාරයේ “ආසියාවට හැරීමේ” ප‍්‍රතිවිපාක පිලිඳව ද භීතියට පත් විය.

සිවිල් වෙස් මුහුනක් පෙන්වීමට ජනාධිපති වශයෙන් තේන් සේන් පත් කිරීමත් සමග 2011දී බුරුම ජුන්ටාව, වොෂින්ටනය වැලඳ ගැනීමේ සිය කැමත්ත ඇඟවුම් කල අතර, චීනය අරමුදල් සැපයූ දැවන්ත ම්යිට්සොනේ වේල්ල ව්‍යාපෘතිය තහනම් කලේය. 2011 මාර්තුවේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ බුරුම සංචාරය ද්වපාර්ශ්වීය සම්බන්ධකම් යලි ස්ථාපිත කිරීම සලකුනු කල අතර සම්බාධක ලිහිල් කිරීම හා වඩා කිට්ටුවෙන් දෙරටේ මිලිටරි කටයුතු සම්බන්ධ කිරීම ඉන් පසුව පැමිනියේ ය.

වොෂින්ටනය නරුම ලෙස “මානව හිමිකම්” යොදා ගැනීම නැවත වතාවක් ප‍්‍රදර්ශනය කෙරුනි. ඇමරිකානු ප‍්‍රචාරය තුල එක රැයකින්, බුරුමය “සහාසික රාජ්‍යයක” සිට “සංවර්ධනය වෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට” පරිවර්තනය වුනි. ඇමරිකාව කිසි දා බුරුම මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ගැන උනන්දු නො වූ නමුත් රට තම සංගතවලට විවෘත කිරීමට හා සියල්ලටත් වඩා චීනයට එරෙහිව “ආසියාවට හැරීම” තුලට එය ඈඳා ගැනීමට උත්සුක වූයේ ය.

2008 ව්‍යවස්ථාව යටතේ තවමත්, ආරක්ෂක, අභ්‍යන්තර හා දේශසීමා කටයුතු භාර ඇමතිවරුන් පත් කිරීම ඇතුලු සැලකිය යුතු දේශපාලන බලයක් මිලිටරියට ඇත. පාර්ලිමේන්තු ආසනවලින් හතරෙන් එකක් මිලිටරියට වෙන් කෙරී ඇති අතර ව්‍යවස්ථාදයක වෙනස්කම් පිලිබඳව හමුදාවට නිෂේධ බලය පැවරී ඇත. ඊට අමතර ව, අපැහැදිලි ව නිර්වචනය කෙරුනු ජාතික හදිසි අවස්ථාවක දී මිලිටරියට සම්පූර්න දේශපාලන බලය නැවත පවරා ගත හැක. ඇගේ ලමයින් හා ඈ අත හැර ගිය ස්වාමියා විදේශිකයින් වන නිසා සූ කීට ජනාධිපති විය නො හැක.

කෙසේ නමුත්, සියල්ලට ඉහලින් එන්එල්ඩී ආන්ඩුව පිලිගැනීමට හමුදාව සූදානම් වන්නේ, පාර්ශ්වයන් දෙකම අතිමූලික කාරනා ගැන එකඟවන හෙයිනි. ජාතික වශයෙන් පාලිත ආර්ථිකය මත හමුදාවේ පාලනය මගින් කොන් කරනු ලැබීම නිසා අමනාපයට පත්ව සිටි බුරුම ධනේශ්වරයේ කොටස් නියෝජනය කරන සූ කී හා එන්එල්ඩීය, විදේශ ආයෝජනයන්ට රට විවෘත කිරීම සහ වොෂින්ටනය හා එහි සහචරයින් වෙත හැරීම ගැන පවා කතා කලෝ ය.

පසු ගිය සිව් වසර පුරා, මිලිටරියේ පිටුබලය ලත් ආන්ඩුව, එහි වෙලඳපොල ගැති ප‍්‍රතිව්‍යූහන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ දී එන්එල්ඩීය සමග කිට්ටුවෙන් කටයුතු කර ඇත. “ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිමූර්තිය” ලෙස බොහෝ සේ ප‍්‍රශංසාවට ලක්වූ සූ කී, ජාත්‍යන්තර වශයෙන් විදේශ ආයොජකයින්ට බුරුමය සූදානම් කිරීමේ දී හා බුරුම මහජනතාව මුලා කිරීමේ දී විශේෂයෙන් ම ප‍්‍රයෝජනවත් වී ඇත.

මිලිටරි සංගතවලින් එකක් හා චීන සංගතයක් අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් වූ ලැට්පාඩවුන්ඩ් තඹ පතලට එරෙහිව 2012දී පිපුරුනු විරෝධය නිශ්ක‍්‍රීය කිරීමේ දී, සූ කී උපකාරී විය. විරෝධය මැඩලීමට පොලීසිය අසමත් වුවාට පසු, එන්එල්ඩී නායිකාව පෙරට පැමින විරෝධය අවසන් කිරීමට ආයාචනය කලා ය. එවැනි ගනුදෙනු අවශ්‍යයෙන් ම ජනතාවගේ අවශ්‍යතාවක් ලෙස නො පැවතුන ද ඇය පැවසුවේ, “මේ කාරනය මත රටේ ප‍්‍රතිරූපය පලුදු නොවීමට” වගබලාගත යුතු බැවින් ඔවුන් එයට එකඟ විය යුතුව තිබුන බව යි.

මිලිටරිය පැහැදිලිව ම බලාපොරොත්තු වන්නේ, අතිරේක වෙලඳපොල ප‍්‍රතිපත්ති (ප‍්‍රවර්ධනය) සහ ඇමරිකානු හා ජාත්‍යන්තර සම්බාධක තව දුරටත් ඉවත් කිරීම යන දෙකම මගින් එන්එල්ඩී ආන්ඩුව, බුරුමය විදේශ ආයෝජනයන්ට විවෘත කිරීම වේගවත් කරනු ඇති බව යි. “රටේ සමහර ව්‍යාපාරිකයින්ට - විශේෂයෙන් ම මිලිටරිය සමග කිට්ටුවෙන් සම්බන්ධ අයට - එරෙහි ඇමරිකානු සම්බාධක මගින්, ආයෝජනය අවහිර කෙරෙන බව බොහෝ ඇමරිකානු සමාගම් පවසතැ” යි වෝල් ස්ටී‍්‍රට් ජර්නලය 11දා වාර්තා කලේ ය.

ලබන සතියේ සිය ගිනිකොන දිග ආසියානු සංචාරයේ කොටසක් ලෙස ජනාධිපති ඔබාමා, හදිසියේ බුරුමයේ නැවතින්නේ දැ යි එන්එල්ඩී නිලධාරීහු ධවල මන්දිරයෙන් විමසූහ. කෙසේ නමුත්, මැතිවරන ප‍්‍රතිඵල පිලිබඳ වොෂින්ටනයේ ප‍්‍රතිචාරය වඩා ප‍්‍රවේශම් සහගත වී ඇත. නැගෙනහිර ආසියානු කටයුතු පිලිබඳ ඇමරිකානු සහකාර ලේකම් ඩැනියෙල් රසල් එය “පෙර නොවූ විරූ ආරම්භයක්” ලෙස විස්තර කල නමුත් “දැන් එන්නේ අමාරු කොටස” යයි පැවසීය - එනම් නව තන්ත‍්‍රය ඇමරිකානු භූ-දේශපාලනික සැලැසුම් සමග එක පෙලට ගැනීම යි.

ඡන්ද ගනන් කිරීම තවමත් කෙරීගෙන යන අතර එන්එල්ඩී පහසු පාර්ලිමේන්තු බහුතරයක් ලබනු ඇති බව පෙනේ. සූ කී දැනටමත් සංඥා කර ඇත්තේ “ජාතික සංහිඳියාව” සඳහා ඇයට සියල්ලන් ඇතුලත් ආන්ඩුවක් අවශ්‍ය බව යි - වෙනත් වචනවලින් පවසතොත් ඍජුව හෝ වක‍්‍රව මිලිටරියේ කන්ඩායම් ඇතුලත් ආන්ඩුවකි. සූ කීගේ උපදේශකයෙකු වන, ඕස්ටේ‍්‍රලියානු ජාතික ශාස්ත‍්‍රාලික සීන් ටර්න්බුල් වෝල් ස්ටී‍්‍රට් ජර්නලයට පැවසුවේ, එන්එල්ඩීය වර්තමාන ආන්ඩුවේ සමහර ප‍්‍රතිපත්ති වෙනස් නොකරනු ඇති බව යි. විදේශ උපදේශකයෙකු තව දුරටත් මෙසේ පැවසී ය: “වර්තමාන (මිලිටරි) ආන්ඩුවේ ඇතැම් ප‍්‍රධාන පුද්ගලයන්, අඩු වශයෙන් පරිවර්තනීය කාලය තුලවත් බලයේ සිටිනු දැකීමට අප කැමති ය”

සැකයකින් තොර ව, වර්තමාන ජනාධිපති හා මිලිටිරි නායකයින් සමග සාකච්ඡාවේ දී මෙම මාතෘකාවලට සූ කී අනුමැතිය පතනවා ඇත. ජ්‍යෙෂ්ට එන්එල්ඩී සාමාජිකයෙකු ද සූ කීගේ උපදේශකයෙකු ද වන වින් හ්ටේන් 6දා මාධ්‍යයට පැවසුවේ, හමුදාව සමග සම්බන්ධකම් ගොඩනැගීමේ මූලෝපාය “ඉහල ම රහසක්” බව යි. “එය අපට මේ මොහොතේ සාකච්ඡා කල හැකි යමක් නො වේ. එය බොහෝ සංවේදී කාරනයක් වගේම පරාජය වී ඇති අයගේ හැඟීම්වලට අප ගෞරව කල යුතු ව ඇත.”

එන්එල්ඩී-හමුදා සම්බන්ධයේ වඩාත් ම සංවේදී කාරනය පැරදුනු මිලිටරි අපේක්ෂකයින්ගේ රිදුනු හැඟීම් නො ව, ආන්ඩුව මිලිටරි මර්දනයේ පාලනය අවසන් කරනු ඇතැ යි විශ්වාස කරමින් එන්එල්ඩීයට සහාය දුන් ඡන්දදායකයින්ගේ ප‍්‍රතිචාරය යි. හමුදා සම්බන්ධකම් ඒකාබද්ධ කිරීමේ එන්එල්ඩී අධිෂ්ඨානය සියල්ලටත් වඩා එල්ල කෙරෙන්නේ, කම්කරු පන්තියට එරෙහිව යි. එය සිය වෙලඳපොල ගැති න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කරනවාත් සමග, ජීවන තත්වයන්ට එරෙහි ප‍්‍රහාර පිලිබඳ ඕනෑ ම විරුද්ධත්වයක් මැඩීමට නව ආන්ඩුව වඩ වඩාත් ආරක්ෂක හමුදා මත වාරු වනු ඇත.

Share this article: