දික්ඔය ෆෝර්ඩයිස් වත්තේ කම්කරුවෝ නව වැටුප් ක‍්‍රමයට එරෙහිව වර්ජනය කරති

එම්. දේවරාජා විසිනි, 2015 නොවැම්බර් 10

වතු සමාගම් විසින් යෝජිත, ආදායම් මත පදනම් වූ නව වැටුප් ක‍්‍රමයට එරෙහිව කැලනි වැලි වතු සමාගමට අයිති දික්ඔය ෆෝර්ඩයිස් වත්තේ කම්කරුවෝ පසුගිය මාසයේ එක් දින සංකේත වර්ජනයක නිරත වූහ. වත්තේ කර්මාන්ත ශාලාව ආසන්න කොටසේ (ෆැක්ටරි ඩිවිසන්) කම්කරුවන් 400 පමන මෙම වර්ජනයට සහභාගී වී ඇත.

යෝජිත නව ක‍්‍රමයට අනුව වතු කම්කරුවන් ට ගෙවීම් කරන්නේ ඔවුන් නෙලන තේ දලූ ප‍්‍රමානයට ලැබෙන ආදායම පදනම් කරගෙන ය. ඒ යටතේ වත්තේ තේ පඳුරු සංඛ්‍යාවෙන් නිශ්චිත ප‍්‍රමානයක් එක් එක් කම්කරු පවුලකට වෙන්කර දීමට නියමිතය. පොහොර සහ අනෙකුත් ආම්පන්න සමාගම විසින් සපයන අතර තමන්ට නියමිත තේ පඳුරු ප‍්‍රමානය කම්කරුවන් විසින් නඩත්තු කලයුතු ය. ගෙවීම් කරන්නේ පොහොර සහ අනෙකුත් ආම්පන්න සඳහා සමාගම දැරූ වියදම් අඩුකර ගැනීමෙන් පසුව ය.

නව කොන්ත‍්‍රාත් ක‍්‍රමය දෙලක්ෂයක ට අසන්න වතු කම්කරුවන්ට සහ ඔවුන්ගෙන් යැපෙන දස ලක්ෂයක් පමන දෙනා ගේ ජීවන තත්වයන් ට ඍජු ව ම බල පානු ඇත. දැනට පවතින දරිද්‍රතා මට්ටමේ වැටුප ඇතුලූ ව අරගල මගින් කම්කරුවන් දිනාගෙන ඇති සොච්චම් සුබසාධන පහසුකම් ද අහෝසි කෙරෙනු ඇති අතර ලංකාවේ සංවිධාන ගත ශ‍්‍රම බලකායෙන් විශාල කොටසක් වන වතු කම්කරුවන් තනි පවුල් වලට කඩා සිය අයිතීන් සඳහා සටන් කිරීමට හා කේවෙල් කිරීමට පවතින ඔවුන්ගේ හැකියාව මුලුමනින් ම සිඳලනු ඇත. වතු සමිති නිලධරය මේ කිසිවක් ගැන කම්කරුවන් ට අනතුරු නොහඟවයි.

1500 ක් පමන වන ෆෝර්ඩයිස් කම්කරුවෝ ලංකා කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී), කඳුරට ජනතා පෙරමුන, (යුපීඑෆ්) ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව් ) සමිති තුල සංවිධානය වී සිටිති. වර්ජනය මගින් පෙන්නුම් කෙරෙන්නේ වතු සමාගම්, වෘත්තීය සමිති සහ ආන්ඩුව එකාබද්ධ ව, සූරාකෑම තීව්ර කරනුවස් තමන් මත පැට වීමට උත්සාහ දරන නව වැටුප් ක‍්‍රමයට එරෙහිව පොදුවේ වතු කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වයයි. වැඩෙන විරෝධය මධ්‍යයේ වර්ජනයක් කැඳවීමට වෘත්තීය සමිති වලට බල කෙරුන නමුත් එය වත්තේ කොටස් තුනෙන් එක කොටසකට හා දිනකට සමිති නායකයන් විසින් හිතා මතා ම සීමා කෙරුනේ සෙසු වතු කම්කරුවන් අතරට ද වර්ජනය පැතිරී යාමට තිබු හැකියාව ගැන ඔවුන් තුල පැවති භීතිය නිසාවෙනි.

පාලනාධිකාරය කි‍්‍රයාවට දැමීමට උත්සාහ කරන නව සැලැස්ම ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට ෆෝර්ඩයිස් වත්තේ කම්කරු කාන්තාවක් මෙසේ විස්තර කලා ය: “ගිය මාසේ වත්තේ පාලකයො කම්කරුවන්ගේ රැස්වීමක් කැඳෙව්වා. එහිදී කිව්වා අලුත් කොන්ත‍්‍රාත් ක‍්‍රමයක් කි‍්‍රයාවට දැමීමට තීරනය කල බව. ඒ අනුව වත්තේ තේ පඳුරු ගනන ගනන් කරලා පවුල් අතරේ බෙදලා දෙනවා කිව්වා. ගෙවීම් කරන්නේ කඩන දලු ප‍්‍රමානයට අනුව ලු. නමුත් අපි ඒක ප‍්‍රතික්ෂේප කරලා වර්ජනය කලා. ඊට පස්සේ ඒක නතර කලා.”

සමාගමේ කොන්ත‍්‍රාත් වැඩ ක‍්‍රමය පිලිගත්තා නම් කම්කරුවන්ට දැනට ලැබෙන දෛනික වේතනය මෙන් ම සේවක අර්ථසාධක අරමුදල් හිමිකම ඇතුලු සෙසු පහසුකම් ද අහිමි වන බව ඇය පැවසුවා ය. මෙම සැලසුමේ අන්තරායකාරී ස්වභාවය දැන දැනත් වෘත්තීය සමිති සම්පුර්නයෙන් ම නිශ්ශබ්ද බවට ඇය චෝදනා කලා ය.

දශක ගනනාවක අරගල මගින් දිනා ගත් සියලූම අයිතීන් ලාබ වැඩි කර ගැනීම සඳහා සමාගම් විසින් කප්පාදු කරන බව විශ‍්‍රාමික කම්කරුවෙක් කීවේය. “අපි ආයෙත් ජීවත් වෙන්නේ යටත් විජිත යුගයේ වගේ. අලුත් කොන්ත‍්‍රාත් ක‍්‍රමය කි‍්‍රයාත්මක වුනොත් ක්ෂේත‍්‍ර කම්කරුවන්ට විතරක් නෙමෙයි කාර්යාල සේවකයන්ටත් බල පානවා. ඒ අයගෙත් රක්ෂා නැති වෙන්න පුලුවන්. තනි තනි කම්කරුවා නෙලන දලු ප‍්‍රමානය කොම්පියුටර් මගින් සමාගම් වලට කොලඹ ඉඳල දැන ගන්න පුලුවන්. එතකොට ඒ ගොල්ලන්ට ලොකු කාර්යාල කාර්ය මන්ඩලයක් අවශ්‍ය නැහැ.”

“වෘත්තීය සමිති කම්කරුවන් වෙනුවෙන් සටන් කරන්නේ නැහැ. ඒ ගොල්ල එන්නේ චන්දෙ කාලෙට විතරයි. ඊට පස්සේ අතුරුදහන් වෙනවා. හැම සමිතියක් ම කරන්නේ කම්කරුවන් රවටන එක” යැයි ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කලේ ය.

කම්කරුවන් සූරාකමින් ලාභ ඉහල දමා ගැනීම සඳහා සමාගම් වැඩ කරන ආකාරය පිලිබඳ ව තමන් ට හොඳ අවබෝධයක් තිබෙන බව වසර 40 සේවා කාලයක් සහිත තවත් විශ‍්‍රාමික කම්කරුවෙක් පැවසුවේ ය.

“ඒ ගොල්ලෝ හැම වෙලාවෙම හිතන්නේ ලාභෙ ගැන විතරයි. අපි වගේ විශ‍්‍රාමික කම්කරුවන්ට සුබසාධන පහසුකම් කිසි දෙයක් නැහැ. මං හිතන්නේ කම්කරුවන්ට විශ‍්‍රාම යන්න බල කරලා මේ සැලැස්ම හැම වත්තක ම ක‍්‍රියාවට දමයි. අලූත් ක‍්‍රමයෙන් කම්කරුවො අතර ම ගැටුම් ඇති වෙනවා. මොක ද පාලකයොන්ට සමීප වෘත්තීය සමිති කි‍්‍රයාකාරීන් ට වත්තේ සරුසාර කොටස් වලින් ඔවුන්ගේ නිවාස වලට යාබද ව ඔවුන්ගේ කොටස වෙන් කරලා දෙයි. කිලෝ මීටර් 2-3 දුර ගිහින් දලු නෙලන අය ට අසාධාරනයක් වෙනව. කම්කරුවන් භේද කරන එක ඒ ගොල්ලන් ට අවශ්‍යයි. පාලකයො උත්සාහ කරන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරා ගන්න.”

දවසේ පඩිය රුපියල් 1,000 ක් කරලා දෙන බව සමිති නායකයන් ඡන්දෙ කාලේ දි කිව්වත් දැන් ඒ ගැන කිසි කතාවක් නැති බව ඔහු වැඩි දුරටත් පැවසුවේ ය. “සමිති නායකයන් හැමෝ ම ආන්ඩුවේ මැති ඇමතිවරු. ඒ ගොල්ල කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නේ නැහැ. කි‍්‍රයාකාරී කමිටු හදාගෙන අයිතීන් සඳහා අරගලය කම්කරුවන් තමන්ගේ අතට ගන්න ඕන කියල සමාජවාදී සමානතා පක්ෂය කරන යෝජනාව ට එකඟ” බව ඔහු කීවේ ය.

තම රැකියා, වැටුප් හා ජීවන තත්වයන් ට එල්ල වීමට නියමිත ප‍්‍රහාර සම්බන්ධයෙන් ඔවුන් මුලූමනින් ම කම්කරුවන් අඳුරේ තබා ඇති ආකාරය හැටන් හි ස්ට‍්‍රැත්ඩන් වත්තේ කම්කරුවෙකු පැහැදිලි කලේ ය. “වතු සමාගම් කි‍්‍රයාවට දැමීමට යන නව කොන්ත‍්‍රාත් ක‍්‍රමය ගැන වතු පාලකයන් හෝ වෘත්තීය සමිති අපට කිසි දෙයක් කියල නැහැ. අප ඒ ගැන පලමු වතාවට දැන ගත්තේ ඔබෙන්. අපට ඒ සැලැස්ම ට එකඟ වෙන්න බැහැ. අපි දිනාගෙන තියෙන සුලු අයිතිවාසිකමුත් ඒකෙන් නැතිවෙයි. ඒකට විරුද්ධ ව සටන් කරන්න සියලු ම කම්කරුවන් ඉදිරියට එන්න ඕන.” ඔහු පැවසුවේ ය.

වර්ජනයෙන් පසුව ෆොර්ඩයිස් වත්තේ පාලනාධිකාරය විසින් සිය සැලැස්ම තාවකාලික ව හකුලාගෙන ඇතත් සමිති නිලධරයේ සහ ආන්ඩුවේ සහයෝගය ඇතිව එය ක‍්‍රමයෙන් සියලු ම වතු සමාගම් විසින් කි‍්‍රයාවට දමනු ඇත. දැනට ම ත් ඇතැම් වතු වල නව සැලැස්ම කි‍්‍රයාවට දමා තිබේ. මතුරට වතු සමාගමට අයත් වෙල්ලකැලේ වත්ත ඉන් එකකි. මෙහි එක කම්කරු පවුලකට අක්කර දෙක හමාර බැගින් අපේ‍්‍රල් මාසයේ දී වෙන් කර දී ඇත. මහා ව්‍යාපාරිකයන්ගේ පුවත්පතක් වන “ඬේලි එෆ්ටී ‘ජයග‍්‍රාහී කතාවක්’ යනුවෙන් ඔක්තෝබර් 28 දා උජාරුවෙන් පල කොට ඇති පුවතක මෙහි සමහර කම්කරුවන් මසකට රුපියල් 50,000 ක් පමන උපයන බව හුවා දක්වා ඇත.

එකී කම්කරුවන් තම ආදායම යම් ප‍්‍රමානයකින් වැඩිකරගෙන ඇත්නම් එය සිදු ව ඇත්තේ උදේ 6.30 ට පමන වැඩ ආරම්භ කොට වැඩකරන පැය ගනන වැඩි කිරීමෙනි. සවස කීය වන තුරු වැඩ කරනවා දැයි වාර්තාවේ සඳහන් කර නැත. පසුගිය දස වසර පුරා එක දිගට පාඩු ලැබීම මගින් වත්ත බර පතල අර්බුදයක ට මුහුන දුන් තතු යටතේ මෙම නව ක‍්‍රමය කි‍්‍රයාවට දැමු බව සීමා සහිත මතුරට වතු සමාගමේ සාමාන්‍යාධිකාරි සුභාෂ් අබේවික‍්‍රම ප‍්‍රකාශ කර ඇත. මෙලෙස වැඩ කරන පැය ගනන වැඩි කිරීමෙන් ශ‍්‍රම සූරාකෑම උග‍්‍ර කර ලාභ උපයා ගැනීමට දැන් වතු සමාගම සමත් වී ඇත.

වෙල්ලකැලේ වත්තේ “සමහර” කම්කරුවන්ගේ ආදායම එම වත්තේ සියලු කම්කරුවන්ගේ ආදායමේ පොදු තත්වය නො වන බව නිසැක ය. මෙම රුදුරු ශ‍්‍රම සුරාකෑම වෙල්ලකැලේ වත්තේ කම්කරුවන් මත පැටවීම සඳහා ඔවුන් සංවිධානය වී සිටින සිඩබ්ලිව්සී සහ යුපීඑෆ් සමිති නිලධරය වතු සමාගමට පුර්න සහයෝගය දී ඇති බව ඊට එරෙහිව කිසිදු අරගලයක් සංවිධානය නොකිරීම මගින් පැහැදිලිය.

කෙන්යාව, ඉන්දියාව සහ චීනය ඇතුලු ලෝකයේ තේ නිපදවන සෙසු රටවල් සමග තරඟය උග‍්‍ර වීමත් රුසියාවේ ආර්ථික අර්බුදය හා මැදපෙරදිග එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ප‍්‍රකුපිත මිලිටරි ගැටුම් නිසා ශී‍්‍ර ලංකාවේ තේ අපනයන ආදායම පහත වැටී ඇත. ශී‍්‍ර ලංකාවේ තේ අපනයනයෙන් සියයට 70 කට ආසන්න ප‍්‍රමානයක් මිල දී ගන්නේ මෙම රටවල් විසිනි. 2008 පුපුරා ගිය ලෝක ධනවාදයේ අර්බුදය වඩ වඩා ගැඹුරුවීම මධ්‍යයේ මේ තත්වය තවත් උග‍්‍ර වනු ඇතැයි සීමාසහිත දේවගිරි වතු සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි ජේ. ගාමිනී ජයවර්ධන අනතුරු අඟවා ඇත. වතු සමාගම් අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ දරන්නේ වෘත්තීය සමිති සහ ආන්ඩුවේ සහයෝගය ඇතිව කම්කරුවන්ගේ ශ‍්‍රමය රුදුරු ලෙස උරාබීම මගිනි.

Share this article: