ඇමරිකාවේ පිටුබලය සහිතව ප්‍රන්සය, සිරියාව තුල ගුවන් ප්‍රහාර දියත් කර යි

With US backing, France launches bombing campaign in Syria

නික් බීම්ස් විසිනි, 2015 නොවැම්බර් 16

ලෝක ආර්ථිකය කෙරේ බලපාන ප්‍රශ්න සාකච්ඡා කිරීමට තුර්කියේ පැවැත්වෙන ලෝක දේශපාලන නායකයින්ගේ ජී20 සමුළුව, යුද කවුන්සිලයක් බවට පත්ව තිබේ. 13දා රාත්‍රියේ පැරීසිය තුල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවත්තු, සිරියාව තුල සිය මිලිටරි මැදිහත්වීම උත්සන්න කිරීම පිනිස වහාම පියවර ගත්හ.

15 සවස ප්‍රන්ස ප්‍රහාරක ජෙට්යානා සිරියාව තුල සිය ප්‍රබලම ආක්‍රමනය දියත් කලේ ය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ජෝර්දානයේ සිට එය එකවර දියත් කෙරුනු අතර වාර්තාවන පරිදි අයිඑස්අයිඑස් අනදෙන මධ්‍යස්ථානයක්, වෙඩිබෙහෙත් ගබඩාවක් හා පුහුනු කඳවුරක් ඉලක්ක බවට පත්ව තිබුනි. මෙහෙයුම ක්‍රියාත්මක කෙරුනේ ඇමරිකානු හමුදාව සමග සම්බන්ධීකරනයෙනි.

ඇමරිකානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක බෙන් රෝඩ්ස් කල්තියාම ප්‍රකාශ කලේ “එලඹෙන දවස් හා සතිවල” ඇමරිකාව හා ප්‍රන්සය “ත්‍රස්තවාදීන් සඳහා ආරක්ෂක ක්ෂේමභූමියක් නැති බව දන්වා සිටීම සඳහා... (අයිඑස්අයිඑස්) එරෙහිව ගුවන් ප්‍රහාර තීව්‍රකරනු” ඇති බව ය.

එන්බීසී “මාධ්‍ය හමුව”වැඩ සටහනට කතා කරමින් රෝඩ්ස් ප්‍රකාශ කලේ, ඇමරිකානු මිලිටරි මෙහෙයුම් “දැඩි” වනු ඇති අතර “අප ජී-20 සමුළුව තුල සොයමින් සිටින්නේ අපගේ සමහර හවුල් කරුවන්ගෙන් අතිරේක ප්‍රදානයන් ලබා ගැනීමට යි, ඒ මගින් එම ව්‍යායාමය සඳහා අපට තව තවත් හමුදා යොදාගත හැකිවනු ඇති” බව යි.

ඇති විය හැකි ප්‍රතිවිපාක නො සලකා, එරට මිලිටරි හා දේශපාලන සංස්ථාපිතය තුලින් නැඟෙන්නේ ඇමරිකානු මැදිහත්වීම තීව්‍ර කල යුතුය යන හඬය.

ජනාධිපති අපේක්ෂකත්වයට තරඟ වැද සිටින රිපබ්ලිකානු ටෙක්සාස් සෙනෙට් සභික ටෙඩ් කෘස් පැවසුවේ, “ අහිංසක ජීවිත කෙරෙහි ත්‍රස්තවාදීන්ට ඇති නොතැකීම සලකා බලන කල, ඉලක්කගත ගුවන් ප්‍රහාර වලින් සිදුවන සිවිල් වැසියන්ගේ ජීවිත හානි ගැන අයිඑසිඅයිඑස් කලබලයට පත් නොවනු ඇති” බව යි.

ඇමරිකාව උසිගන්වන යුද්ධයෙන් මේ වන විටත් ව්‍යසනයකට ඇද දමා ඇති සිවිල් ජනතාවට ඇති වන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොමැතිව, වේගයෙන් උග්‍ර කෙරුනු මිලිටරි පියවර සඳහා පෙනී සිටින ඔහුගේ හඬ සෙනේට් ඔත්තුසේවා කමිටුවේ සාමාජිකාවක වන කැලිෆෝනියාවේ ඩෙමොක්‍රටික් පාක්ෂික ඩයනී ෆේයින්ස්ටීන් විසින් ද දෝංකාර නැංවුවාය.

“තත්වය පැහැදිලිය, සීමිත ගුවන් ප්‍රහාර සහ ඉරාක හමුදාවන්ට හා සිරියානු විපාර්ශ්වය සඳහා දෙන සහයෝගය අපගේ රට හා අපගේ මිතුරන් ආරක්ෂා කිරීමට ප්‍රමානවත් නැත” යයි ෆේයින්ස්ටීන් පැවසුවා ය.

2009 සිට 2013 දක්වා යුරෝපයේ නේටෝ ආඥාපති ලෙස සේවය කල, විශ්‍රාමික නාවික අද්මිරාල් ජෝන් ස්ටාව්රිඩිස්, සිරියාව හා ඉරාකාය තුල ඍජු මිලිටිරි මැදිහත්වීම් වෙනුවෙන් හඬ නැඟී ය.

“මෘදු බලය හා දීර්ගකාලීන යුද්ධය, මැද පෙරදිග දී වැදගත් වන නමුත් ක්ෂමා විරහිත ලෙස දැඩි බලය යෙදීමට කාලය පැමින ඇත. ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව නේටෝව දැඩි ප්‍රතිචාර දැක්විය යුතු” යයි ස්ටාව්රිඩිස් පැවසී ය.

ජී-20 සමුළුවේ පලමු දිනයේ දී, ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා රුසියානු අගමැති ව්ලැඩිමීර් පුටින් සමග පැවත් වූ සාකච්ඡාව “සාධනීය” එකක් ලෙස ධවල මන්දිරය විස්තර කලේ ය.

රැස්වීමෙන් පසුව සිරියාව තුල සටන් විරාමයක් හා වසර දෙකක් ඇතුලත එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ මැතිවරනයක් පැවත්වීමට කටයුතු කිරීමට ද 16දා වියනාවේ දී සාමාජිකයින් 17දෙනොගේ ජාත්‍යන්තර සිරියා සහයෝගීතා කන්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමක් පැවත්වීමට එකඟත්වයක් ඇති විය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථීර සාමාජිකයින් පස්දෙනා අතුලත් මෙම කන්ඩායම මූලික ප්‍රශ්න සම්බන්ධයෙන් “පොදු අවබෝධයක්” කරා එලඹ ඇති බව පවසන ප්‍රකාශනයක් නිකුත් කලෝ ය.

ජී20 තුල ඔබාමා හා පුටින් අතර ඊට පසු සාකච්ඡා පැවත්වුනේ, ජනාධිපති බෂාර් අල් අසාද්ගේ සිරියානු තන්ත්‍රය සඳහා දෙන රුසියානු සහයෝගය සම්පූර්නයෙන් ඉවත් නොකරන්නේ නම්, එම කාරනය පසෙකින් තැබීමට බල කරන ඇමරිකානු අරමුනේ කොටසක් ලෙස ය.

සටන් විරාමයෙන් පසු එලඹෙන ගිවිසුම යටතේ,“සියල්ල ඇතුලත් හා නිකායික නොවන” ආන්ඩුවක් ස්ථාපිත කීරීම, නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම හා මාස 18ක් තුල එක්සත් ජාතීන්ගේ අධීක්ෂනය යටතේ මැතිවරනයක් පැවත්වීමට ක්‍රියාවලියක් සූදානම් කෙරෙනු ඇත.

කෙසේ නමුත්, අසාද්ගේ අනාගතය, තීරනාත්මක කාරනය වනු ඇත. ජී 20 සමුළුව ආසන්නයේ පුටින් පැවසුවේ, අසාද් තනතුරෙන් ඉවත් විය යුතු යැයි ඉල්ලීමට අනෙකුත් ජාතීන්ට අයිතියක් නැති බව හා “තමන්ගේ කෙරුවාව ගැන විශ්වාසය තබන අය පමනක් ( එජ පිලිබඳ තුනී-සැඟවුනු සඳහනකි) ඒ ආකාරයට අත්තනෝමතික ලෙස කටයුතු කරන අතර ඔවුන්ගේ කැමත්ත අනෙක් අය මත පටවති” යනුවෙනි.

කලාපය සිය පාලනය යටතට ගෙන ඒම සඳහා, මැද පෙරදිග තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමේ කොටසක් ලෙස අසාද් ආන්ඩුව පෙරලා දැමීම සඳහා 2011 සිට ඇමරිකාව මැදිහත්වීම් කර ඇත. රුසියාව කලාපයේ සිය නාවුක පහසුකම් ඇතුළු මූලෝපායික උත්සුකයන් රැක ගැනීම සඳහා ආසාද්ට අනුග්‍රහ දක්වා ඇත.

ඇමරිකාව පැහැදිලිව සටහන් කර ඇත්තේ, අසාද් ඉවත් කිරීමෙන් තොර විසඳුමක් තිබිය නො හකි බව යි. ඔබාමාගේ ජාතික ආරක්ෂක උපදේශිකා සූසන් රයිස් පුනරුච්චාරනය කලේ එම ආස්ථානයයි. “සංක්‍රමනීය තන්ත්‍රයක්” බලයට ආ යුතු ව තිබුනි. “එමෙන් ම අසාද් තවදුරටත් බලයේ සිටියදී එවැන්නක් සාක්ෂාත්කර ගත හැක්කේ ද යන්න සිතා ගැනීම අපහසු ය”යි ඇය පැවසුවා ය.

මෙම ප්‍රකාශ පැහදිලි කරන්නේ, වේගවත් කල මිලිටරි ප්‍රහාරය අයිඑස්අයිඑස් සංවිධානයට එරෙහි යුද්ධයේ ධජය යටතේ ක්‍රියාක්මක කෙරෙමින් පවතින අතර සැබෑ ඉලක්කය අසාද් තන්ත්‍රය බව යි. ඇමරිකාව හා ප්‍රන්සය යන දෙරටට ම අසාද්ගේ වැටීම අවශ්‍ය ය.

අනෙකුත් අධිරාජ්‍යවාදී බලවත්තු ද මැදිහත්වීමට සූදානම් වෙමින් සිටිති. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඇමරිකාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය හමුදාවන්ගේ සහාය ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ අනුග්‍රහය සෙවීමේ සිය අභිමතය පෙන්නුම් කලේ ය. සිරියාවට පහර දීමේ සැලැසුම් සඳහා එක්සත් රාජධානිය ඇමරිකාවට සහාය දීම 2013 අගෝස්තු - සැප්තැම්බර්වල දී ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සිය හමුදා ආපසු ගැනීමට හා සිරියානු රසායනික අවි විනාස කිරීමට රුසියාවේ මැදිහත්වීම පිලිගැනීමට ඔබාමාට බල කෙරුනි.

“ ඉරාකය හෝ සිරියාව තුල අයිසිස් (අයිඑස්අයිඑස්) මැඬීම හා අවසානයේ දී විනාස කිරීම මත අපගේ ආරක්ෂාව රඳා පවතී යයි වඩ වඩා පැහදිලි වෙමින් තිබේ” යයි කැමරන් පැවසී ය.

ජී20 රැස්වීම තුල ඔබාමා සමග සාකච්ඡා වලින් පසුව පුටින්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ප්‍රතිසන්ධානයක් සඳහා කතා කිරීම ඕනෑවට වඩා කල් වැඩි අතර ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී “එක්සත්කම” සඳහා අවශ්‍යතාවක් පවතින බව යි.

ෆිනෑන්ෂල් ටයිම්ස් විස්තර කල පරිදි යුරෝ සංගම් සභාපති ඩොනල්ඩ් ටස්ක්ගේ පාර්ශ්වයෙන් “සැඟවුනු තුනී අපහාසයක්” එල්ල කරමින් එයට ප්‍රතිචාර දැක්වින. “අපට අවශ්‍ය තව තවත් සහයෝගය පමනක් නොවේ, විශේෂයෙන් ම සිරියානු භූමියේ රුසියානු කටයුතුවල ආශීර්වාදය ද අවශ්‍ය ය. ඔවුන් වඩාත් යොමු විය යුත්තේ ඉස්ලාමීය රාජ්‍ය (අයිසිස්) සංවිධානය වෙත මිස...මධ්‍යස්ථ සිරියානු විපාර්ශ්වයට එරෙහිව නො වේ” යැයි ඔහු පැවසී ය.

“මධ්‍යස්ථ සිරියානු විපාර්ශ්වය” යන්න අධිරාජ්‍යවාදී දේශපාලනඥයින් හා ඊට බැඳුනු මාධ්‍ය විසින් තොරොම්බල් කෙරෙමින් පවතින මිත්‍යාවකි. අසාද් තන්ත්‍රයට විරුද්ධ කන්ඩායම්වල ආධිපත්‍යය ගෙන ඇත්තේ, අල් කයිඩාවෙන් බිහිවුනු අල් නුස්රා හා එයින් ම වර්ධනය වුනු අයිඑස්අයිඑස් වැනි කන්ඩායම් විසිනි. ඊනියා “මධ්‍යස්ථයින්ගේ” ව්‍යාජ ස්වභාවය හෙලිදරව් වුනේ, ඔවුන්ට මිලිටරි පුහුනුව සැලසීමේ අරමුන සඳහා ඩොලර් මිලියන 500 වියදම් දරා තිබියදීත් ඇමරිකාවට අවසානයේ ඉතිරිවූයේ, මෙම කාන්ඩයට ගත හැකි පුද්ගලයන් හතර පස්දෙනෙකු පමනක් බව මෙම වසරේ දී හෙලිවීමත් සමග ය. පැරිස් ත්‍රස්ත ප්‍රහාරය මැද පෙරදිග ඇමරිකානු මෙහෙයුමේ භියකරු පස්ස ගැසීමේ ප්‍රතිවිපාකය යි. අධිරාජ්‍යවාදී ලෝක බලවතුන්ගෙන් හා ජී 20 සාකච්ඡාවලින් පැනනගින ප්‍රකාශන පැහදිලි කරන්නේ අතීතයේ සිදුකල අපරාධවල ප්‍රතිවිපාකයක් වන ත්‍රස්ත ප්‍රහාර, අලුත් අපරාධ සිදුකිරීම සඳහා වේගයෙන් යොදා ගනිමින් තිබෙන බව ය.

Share this article: