ඔබාමා ජී 20 කන්ඩායමට දේශනා කරයි

Obama lectures the G20

බැරී ග්‍රේ විසිනි, 2015 නොවැම්බර් 14

15දා තුර්කියේදී ආරම්භ වන ජී 20 සමුලුවට ඔන්න මෙන්න කියා තිබියදී ජනාධිපති බරක් ඔබාමා, “වර්ධනයට හිතැති හා මධ්‍යම පන්තියට ලැදි” සිය ආර්ථික න්‍යායපත්‍රය, අනෙකුත් දියුනු ආර්ථිකයන්ට ද සුදුසු ආකෘතියක් බව කියා සිටිමින් ෆිනෑන්ෂල් ටයිම්ස් හි ලිපියක් පලකොට ඇත.

“ඇමරිකාවේ පෙරටු හඬ එයටම සීමා විය යුතු නැත” යන හිසින් යුත් තීරුව තුල ඔබාමා, සිය ආර්ථික පිලිවෙත්වල කියනු ලබන සාර්ථකත්වය ගැන අභූත ලෙස දීප්තිමත් වාර්තාවක් ඉදිරිපත් කලේය. එසේම ඔහු, ගෝලීය ආර්ථික පසුබෑම කනපිට හරවන හා තමන්ගේ ඇනහිට නැත්නම් හැකිලෙන ආර්ථිකයන් පන ගැන්වීම පිනිස ඒ හා සමාන පියවර ගත යුතු බව යුරෝපයට, චීනයට, ජපානයට හා නැඟී එන ආර්ථිකයන්ට උපදෙස් දුන්නේය.

ආර්ථිකය රක්ත හීන අනුපාතයකින් වර්ධනය වන්නේ, ලෝකයේ “දීප්තිමත් ස්ථානය” ලෙස හඳුන්වන ඇමරිකානු ආර්ථිකයමය. 2008 මූල්‍ය බිඳවැටීමෙන් පසුව අව්‍යාජ ප්‍රකෘතියක් ඇතිකර ගැනීමට ජී 20 දක්වන අසමත්කම ගැන බොහෝ දේ එමඟින් කියා පායි. නැඟෙන අර්බුදය හා ඊට විසඳුම් සඳහා පොදු පිලිවෙතක් පිලිබඳ කිසිදු එකඟත්වයක් නැති තත්වය හමුවේ, “ගෝලීය ආර්ථිකය වඩා සුනම්‍ය තත්වයකින් යලි ගොඩනැඟීමට කටයුතු කර තිබීම” හා “ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතාවය පිලිබඳ ප්‍රමුඛ සංසදය එය බවට (ජී20) පත්කිරීම” පිලිබඳව ෆිනෑන්ෂල් ටයිම්ස් කොලම තුල ඔබාමාගේ විවෘත වර්නනාව නංවන්නේ, බොල් හඬකි.

ජී20 රාජ්‍ය නායකයින් එක්රැස් වන්නේ, මන්දගාමී වන වර්ධනය, උග්‍ර අතට හැරෙන වෙලඳ ගැටුම් හා ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුව හා බ්‍රිතාන්‍ය, යුරෝපීය, ජපාන මහ බැංකු අතර මූල්‍ය පිලිවෙත් සම්බන්ධයෙන් මතභේද හටගෙන තිබෙන කොන්දේසි හමුවේය. මේ සතිය තුල පැවැත්වෙන රැස්වීම අර්බුදය විසඳන තර්කාන්විත, පොදු පිලිවෙතක් ගෙන එනු ඇතැයි කිසිවෙකුත් බැරෑරුම් ලෙස විශ්වාස කරන්නේ නැත.

පසුගිය සතියේදී ආර්ථික සහයෝගිතාව හා සංවර්ධන සංවිධානය (ඕඊසීඩී) 2015-16 සඳහා වන සිය ආර්ථික වර්ධන පුරෝකථනය යලි වතාවක් පහත හෙලමින් “ගෝලීය වෙලඳාමේ නාටකාකාර මන්දගාමිත්වය” පිලිබඳව අනතුරු ඇඟවීය. “ගෝලීය අවධමනය සමඟ අත්වැල් බැඳඟත්” 2015 සඳහා වන සියයට 2 වර්ධන අනුපාතය පිලිබඳ පුරෝකථනය, පහත් මට්ටමක් බව සංවිධානයේ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ කැතරින් මෑන් පැවසුවාය.

ඔක්තෝබරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාර්තා කලේ, 2008-09 මූල්‍ය අර්බුදයේ හිනිපෙත්තේදී සලකුනු කල මට්ටමෙන් පසුව ගෝලීය වර්ධනය පහලම අගයකට වැටී ඇති බවයි. වර්ධන අනුපාතය පූර්ව අර්බුද අවධිය කරා ඉක්මනින්ම ලඟාවීම පිලිබඳ බලාපොරොත්තු තබාගත නොහැකි බව අප්‍රෙල් මාසයේදී ජාමූඅ පෙන්වා දුන්නේය. එමෙන්ම පැරනි කාර්මික ලෝකය වන යුරෝපය හා ඇමරිකාව තුල පලදායී ආයෝජනය සියයට 25න් පහත වැටීම ගැන ඔවුන් අවධාරනය කර ඇත.

ඔබාමාගේ තීරුව පල කල එම පුවත්පතෙහිම මුල් පිටුවේ වාර්තාවකින්, කලින් සිතුවාට වඩා ගැඹුරු වන චීනයේ පසුබෑම හමුවේ, පහත වැටෙන පාරිභෝගික භාන්ඩ ඉල්ලුම ද සමඟ තෙල් හා ඛනිජ ද්‍රව්‍ය විකුනා දැමීමේ අලුත් නැඹුරුවක් පෙන්වා දෙයි. බ්ලූම්බර්ග් පාරිභෝගික දර්ශකය 2008න් පසුව පහතම අඩියට වැටී ඇති බව එහි සඳහන් වේ.

ඔබාමාගේ තීරුව තුල ඇමරිකානු ආර්ථිකය අලලා ඉදිරිපත් කෙරෙන සටහන, අර්ධ සත්‍යයන්, විකෘති කිරීම් හා බොරුවෙන් පිරී ඇත. පසුගිය තම පාලන කාලය තුල නව රැකියා මිලියන 13.5ක් නිර්මානය කර, විරැකියාව සියයට 5ක් දක්වා පහත හෙලා ඇති බවට ඔබාමා කයිවාරු ගසයි. සාධාරන ලෙස ගෙවීම් කරන රැකියා බොහොමයක් 2008න් පසුව පහත් වැටුප් සහිත රැකියා වලින් විස්ථාපනය කෙරී ඇති බවත්, නව රැකියා වලින් වැඩි හරියක් අර්ධකාලීන හෝ තාවකාලික ඒවා බවත්, නිල විරැකියා අනුපාතයට වඩා ශ්‍රම වෙලඳපොල පිලිබඳ වඩා නිරවද්‍ය චිත්‍රයක් සපයන, ශ්‍රම බලකායේ සහභාගිත්ව අනුපාතය, වාර්තාගත අගයන් සහිතව පහත් මට්ටමක පවතින්නේය යන කාරනයත් ඔහු බැහැර කරයි.

“මධ්‍යම පන්තික ආර්ථික න්‍යායපත්‍රයේ” නාමයෙන් ඔබාමා, ඇමරිකාව ලාභ ශ්‍රම ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමේ අටියෙන්, කම්කරු වැටුප්, විශ්‍රාම දීමනා හා සෞඛ්‍ය සහන කපා හැරීමට කටයුතු කර ඇත. අලුතෙන් බඳවා ගන්නා කම්කරුවන්ගේ වැටුප හරි අඩකට ගෙන ඒම ද ඇතුලු, 2009 වසරේදී ජෙනරල් මෝටර්ස් හා ක්‍රයිස්ලර් සමාගම් බංකොලොත් කිරීමට තුඩුදුන් ඔහුගේ පිලිවෙත්, නොකඩවා සිදුවෙමින් ඇති කම්කරු පන්තියට එරෙහි ජාතික පරිමානයේ ප්‍රහාරයක් සඳහා වේදිකාව සකස් කලේය.

එහි ප්‍රතිපලය වී ඇත්තේ දුප්පත්කම හා සමාජ අසමානතාවය තියුනු ලෙස ඉහල යාමයි. යන්තම් පසුගිය සති දෙක තුල පමනක් පලවූ අධ්‍යයනයන් පවා පෙන්නුම් කර ඇත්තේ, ඇමරිකානු කම්කරුවන්ගෙන් අඩක් වසරකට ඩොලර් 30000ට අඩු හා සියයට 40ක් 20000ට අඩු වැටුප් ලබන බවත්, ආර්ථික ව්‍යසනයේ ප්‍රතිපල වශයෙන් සුදු ජාතික, පරිනත වියේ පසුවන කම්කරුවන් අතර මරන අනුපාතිකය තියුනු ලෙස ඉහල නැඟී ඇති බවත්ය. “මධ්‍යම පන්තියේ” යහපත වෙනුවෙන් බව කියන ඔබාමාගේ යොමුව, ආර්ථික ප්‍රතිලාභ වලින් සියයට 95ක්ම ජනගහනයේ සියයට 1ක් වෙත ගලා යන ආර්ථිකයක් නිර්මානය කර තිබේ.

මන්දාවධමනයෙන් පසු ආඪත්වයට පත්වන්නන්ගේ ආදායම් වැඩිවීමේ පංගුවේ වර්ධනයක්

ඔබාමා සිය ආර්ථික පිලිවෙත ගෙනහැර දක්වන්නේ, “වර්ධනයට ලැදි” එකක් ලෙසය. එය යුරෝපයට වඩා දැඩි බවින් මඳක් අඩු කප්පාදු පිලිවෙතක් ලෙසය. එහෙත් යථාර්තය, ඔබාමා ජනාධිපති ලෙස වැජඹෙන්නේ, සමාජ පිරිවැය මත පෙර නොවූ විරූ ප්‍රහාර එල්ල කරන ක්‍රමයක් මත බවය. ඔබාමා යටතේ, මිලිටරි නොවන අභිමත පිරිවැය ඉහල යාමේ අනුපාතය හා එම පිරිවැය දල දේශීය නිෂ්පාදිතයට දක්වන ප්‍රතිශතය, අවසන් වරට දැකගත හැකිවූ 1950 ගනන්වල අයිසන්හවර් පාලන අවධියේ මට්ටමට කපැ හැර ඇත.

ආහාර මුද්දර, නිවාස උනුසුම් කිරීමේ සහන, අධ්‍යාපන හා නිවාස සහන, විරැකියා හා සෞඛ්‍ය ආධාර කපාහැර ඇති කොන්දේසි යටතේ මිලිටරිය වෙනුවෙන් දරන වියදම් වේගයෙන් ඉහල නංවා ඇත. සිය ලිපිය තුල ඔබාමා, පසුගිය මාසයේ රිපබ්ලිකානුවන් සමඟ ඇතිකරගත් අයවැය එකඟතාව අනෙකුත් රටවලට ද ආදර්ශයක් ලෙස ඉදිරිපත් කරයි. එහෙත් එම අයවැය තුල, ආබාධිත සමාජ ආරක්ෂන වැඩසටහන් හා යලි වතාවක් සෞඛ්‍ය අරමුදල් බිලියන ගනනක් කපාහැරීම යෝජනා කෙරී ඇත.

එසේම ඔබාමා, සිය සෞඛ්‍ය පිරිවැය අතිරේක මිලියන 17.6ක් වන මිනිසුන්ට ද පුලුල් කර ඇති බව කියා සිටියි. එහෙත් මෙහිදී ඔහු, ඊටත් බොහෝ වැඩි රක්ෂනය වී නැති ඇමරිකානුන් සංඛ්‍යාවක් අතහැර දමා ඇත. බෙහෙත්, සෞඛ්‍ය පරීක්ෂන හා සෞඛ්‍ය රටා පහසුකම් ලබාගැනීමට කම්කරුවන්ට ඇති අවස්ථාව අඩුකර ඔවුන් තම සාක්කුවෙන් දැරිය යුතු වියදම් වැඩිකර තිබෙන බව සඳහන් නොකරයි.

බැංකු, සංගත හා මූල්‍ය පැලැන්තිය වෙත ඔබාමාගේ වැඩ සටහනෙන් පිරිනමා ඇති දැවැන්ත වාසි නොතකාම ඇමරිකාවේ වර්ධන අනුපාතය පවතින්නේ, ඓතිහාසික මට්ටමකින් පහත් අගයකය. ඔහු යටතේ දදේනි සාමාන්‍ය වර්ධන අනුපාතය වන සියයට 2, ප්‍රකෘතියේ පූර්ව අවධීන්හි තිබුනාට වඩා සියයට 50න් අඩු වන අතර පශ්චාත් යුද්ධ අවධියේ පැවතියාට වඩා සියයට එකකින් අඩුය. මෙයට බොහෝ දුරකට හේතුවී ඇත්තේ, සංගත හා බැංකු ආර්ථිකයේ පලදායී ආයෝජන පිපාසයකට ඇද දමා තිබියදී, කොටස් වෙලඳපොලවල් හා සමපේක්ෂනයේ ද පරපුටු භාවයේ ද අනෙකුත් ක්‍රම පිම්බීමට යොමුව තිබෙන පාලනයේ පිලිවෙත්ය.

ඔබාමා නිර්දේශ කරන පිලිවෙත් සලකුනු කරන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රතිගාමී ජාත්‍යන්තර න්‍යායපත්‍රයයි. “චීනය, සිය නැඟී එන මධ්‍යම පන්තිය, පාරිභෝජනය මුල්කරගත් ආර්ථිකයකට යොමු කිරීම වේගවත් කල යුතු” බව ඔහු කියා සිටියි. මෙය වනාහි, චීනය සිය රාජ්‍ය ව්‍යවසායන් බිඳ විසුරුවාහල යුතුය, තම පෞද්ගලීකරන ක්‍රියාවලිය වවේගවත් කල යුතුය හා රට අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නිර්බාධිත සූරාකෑමට විවෘත කල යුතුය යන්නට යොදන වෙනත් පදයකි.

ශ්‍රම බලකාය ප්‍රසාරනය කිරීමේ නාමයෙන් ඔහු, මැද පෙරදිග හා අප්‍රිකාවේ ඇමරිකාව මූලිකත්වය ගෙන ඇති යුද්ධ වල විනාශයෙන් පලා යන සරනාගතයින්ගේ සුලු ප්‍රතිශතයක් බාර ගැනීම පිලිබඳව යුරෝපයට ප්‍රසංසා කරයි. රැකවරන පතන්නන් අති මහත් බහුතරයකට එරෙහිව දොරවල් වැසීමේ යුරෝපීය පිලිවෙත හා යුරෝපයට ඇතුලුවූවන්ට පවා සලකන කුරිරු ස්වභාවය, “මානවවාදී ප්‍රතිචාරයක්” ලෙස ඔහුගේ පැසසුමට ලක් වේ. එසේම ඔහු එය, “අල්ලා ගැනීමට තරම් වටිනා ආර්ථික අවස්ථාවක්” බව ද කියයි.

වෙනත් වචන වලින් කිවහොත් යුරෝපයට ඇතුල් වීමට ඉඩ ලැබෙන සංක්‍රමනිකයින්, යුරෝපීය හා ඇමරිකානු අන්තර්ජාතික සංගතවල ලාභ තර කිරීම පිනිස වහල් ශ්‍රමිකයන් බවට පත් කල යුතු බවයි.

අන්තර්-පැසිෆික් හවුල්කාරිත්වය, ගෝලීය වානිජ්‍ය පිලිවෙත ලෙස ආදර්ශයට ගත යුතු බව ද ඔහු කියයි. චීනය බැහැර කර, ඔබාමාගේ “ආසියාවට හැරීම” යටතේ එරටට එරෙහිව මිලිටරි තරකිරීම් හා රාජ්‍යතාන්ත්‍රක වැටලීම් සඳහා පිනුම් පිත්තක් ලෙස සැලසුම් කර තිබෙන, ඇමරිකාව මූලිකත්වය දරන මෙම වෙලඳ කන්ඬායම, ආර්ථික මෙවලමක් ලෙස වඩ වඩාත් වෙලඳාම යොදාගැනීමට වන නැඹුරුව හා ලෝකය සතුරු වෙලඳ පෙරමුනු වලට බෙදාලීමට සමානකම් දරයි. ලෝක යුද්ධයේ ඓතිහාසික දොරටුව වූයේ එයයි.

අවශේෂ ප්‍රධාන මහ බැංකු සිය පොලී අනුපාත තවදුරටත් පහත හෙලීමට පියවර ගනිද්දී, ලබන මාසයේදී පමන ඇමරිකානු මහ බැංකුව සිය පොලී අනුපාත ඉහල දමන්නට පටන් ගන්නා කල, මෙම ක්‍රියාවලිය වේගවත් වනු ඇත.

වෛෂයිකව විමසා බලන කල ඔබාමාගේ ලිපිය පෙන්නුම් කරන්නේ, ප්‍රකෘතියක් සඳහා වන යම් පදනමක් නොව, ඇමරිකානු හා ගෝලීය ධනවාදය ගිලී සිටින අර්බුදයේ ගැඹුර හා සමාජවාදී විප්ලවයෙන් තොරව වෙනත් කිසිදු ප්‍රගතිශීලී විසඳුමක් එයට නොමැති බවයි.

Share this article: