ආසියාවේ “සාමය හා ස්ථාවරත්වය” ගැන වොෂින්ටනය ඇදබාන මහාබොරුව

Washington’s big lie of “peace and stability” in Asia

2015 නොවැම්බර් 10

පසු ගිය මාසයේ යූඑස්එස් ලාසන් ඩිස්ට්‍රෝයර් යානය දකුනු චීන මුහුදේ චීනය උරුමකම් කියන ප‍්‍රදේශයට ප‍්‍රකෝපකාරී ලෙස කඩාවැදීමෙන් පසුව ගිය සතියේ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඈෂ්ටන් කාටර් චීනයට එරෙහි වොෂින්ටන මිලිටරි සන්ධාන හා මූලෝපායාත්මක හවුල්කාරිත්වයන් ශක්තිමත් කර ගැනීමේ අදහස ඇතිව ආසියාවේ සංචාරය කලේ ය.

චීනය සමග පවත්නා ආතතීන් හිතාමතා ඇවිලවූ කාටර්, එක්සත් ජනපදය සාමය හා ස්ථාවරත්වය සඳහා වන බලවේගයක් ලෙස නොකඩවා ක‍්‍රියාකරන බව යලියලිත් කියාසිටියේ ය. දකුනු චීන මුහුදේ නැංගුරම් ලා තිබෙන යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් නෞකාව මත පෙනී සිටිමින් ඔහු ප‍්‍රකාශ කලේ එම ගුවන්යානා වාහක නෞකාව “එක්සත් ජනපදය දශක ගනනාවක් තිස්සේ ලෝකයේ මෙම කලාපය තුල අත්කර ගෙන තිබෙන ස්ථායිකරන බලපෑම් හැකියාව” සංකේතවත් කරන්නක් බවයි. එක්සත් ජනපදය ආසියාව තුල කරන මිලිටරි තරකිරීම නොහොත් “ප‍්‍රතිතුලනයෙන්” “අදහස්වන්නේ එය තව කලක් පවත්වා ගෙනයාම”බව ඔහු අවධාරනය කලේ ය.

කිසිවෙකු මේ මහා පචයට නොරැවටිය යුතු ය. වොෂින්ටනයේ ශබ්දකෝෂයට අනුව “ස්ථාවරත්වය” යනු ඇමරිකානු ආධිපත්‍යයට කියන තවත් නමකි. නිර්දය හා ප‍්‍රචන්ඩ ක‍්‍රම යොදාගෙන ඔවුන්, ආසියාව හා ලෝකය තුල හැමවිට ම සිය ආධිපත්‍යය හඹාගොස් ඇත. ඇත්ත වශයෙන් ම එක්සත් ජනපදය තමන් ලෝක තලයට පිවිසි බව නිවේදනය කලේ 1898 ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධයෙන් ලද ජයග‍්‍රහනයත් පිලිපීනය තුල සිය විජිතවාදී පාලනයට එරෙහිව පැනනැගි ප‍්‍රතිරෝධය සියදහස් ගනනක් මරුමුවට පත්කරමින් කුරිරුලෙස මර්දනය කිරීමත් මගිනි.

එක්සත් ජනපදය ආසියාව තුල සිය ආධිපත්‍යය තහවුරු කර ගත්තේ, දෙවන ලෝක යුද්ධයේ දී ජපාන අධිරාජ්‍යවාදය පරාජය කිරීමෙනි. 1920 ගනන් මුල වන විටත් බලවතුන් දෙදෙනා සිටියේ චීනය තුල ප‍්‍රමුඛයා බවට පත්වීම සඳහා පොරකමිනි. එක්සත් ජනපදය සිය අවශ්‍යතා තහවුරු කර ගැනීමේ හොඳ ම ක‍්‍රමය ලෙස සලකා “විවෘත” ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිනමුත් මහා අවපාතය හේතුවෙන් හිටිහැටියේ ආර්ථික අර්බුදයෙහි ගිලී ගිය ජපානය, සම්පත්වල පාලනය අත්කර ගැනීම සඳහා 1931 දී මැන්චූරියාව ද 1937 දී සමස්ත චීනය ම ද ආක‍්‍රමනය කලේ ය. දසලක්ෂ ගනනකගේ ජීවිත බිලි ගත් ශාන්තිකර කලාපීය යුද්ධය අවසන්වූයේ එක්සත් ජනපදය හිරෝෂිමාවට හා නාගසාකියට පරමානු බෝම්බ හෙලීමෙනි. මෙම භයංකර අපරාධ ප‍්‍රධාන වශයෙන් ම සැලසුම් කරන ලද්දේ ගෝලීය ආධිපත්‍යය අත්කර ගැනීම සඳහා එක්සත් ජනපදය, කුමන හා සියලු ක‍්‍රමයක් ම යොදා ගන්නා බවට සෝවියට් සංගමයට හා ලෝකයට පනිවුඩයක් යැවීම සඳහා ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක ධනවාදය යලි ස්ථාවර කිරීමට හා සිය ආධිපත්‍යධාරී තත්ත්වය තහවුරු කර ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට පැවති හැකියාව ප‍්‍රධාන සාධක දෙකක් මත රඳාපැවතින: පලමුවැන්න නම් එය සතුව තිබූ ඉමහත් ආර්ථික ශක්තියයි. දෙවැන්න නම් කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවන්ගේ පශ්චාත් යුද විප්ලවීය ව්‍යාපාර පාවාදුන් සෝවියට් නිලධරයේ දේශපාලනික ද්‍රෝහිත්වය යි. එක්සත් ජනපදය ආසියාවේ දී තරම් බරපතල අභියෝගයන්ට අන්කිසි තැනක දී මුහුන නොදුනි. 1949 චීන විප්ලවය ද කොටසක්වූ මහා විජිත විරෝධී ව්‍යාපාර කලාපය පුරාම ධනපති පාලනයට තර්ජනය කලේ ය.

ආසියාව තුල සාමය සඳහා වූ බලවේගයක්වීම කෙසේවෙතත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, 1950 හා 1960 ගනන්වල දී දිග් ගැසුනු යුද්ධ දෙකකට මුල පුරනු ලැබින. එක්සත් ජනපද ගැති දක්ෂිනාංශික සින්ග්මන් රී ආඥාදායකත්වය ආරක්ෂා කිරීම සඳහා දියත් කල කොරියානු යුද්ධය (1950 ජූනි-1953 ජුලි) කොරියානු අර්ධද්වීපය වනසා දසලක්ෂ ගනනක් මරනයට පත්කලේ ය. 1953 දී සාම ගිවිසුමකින් නො ව සටන් විරාමයකින් මිලිටරිමය ඇනහිටීම අවසන්වූයේ අඛන්ඩව පවත්නා දැඩි අස්ථාවරත්වයක් උරුමකර දෙමිනි. එක්සත් ජනපදය වියට්නාමයේ කල යුද්ධය සහ ඉන්දුචීනයේ කල අවශේෂ යුද්ධ (1955 නොවැම්බර්-1975 අපේ‍්‍රල්) දස ලක්ෂ හතරක් ඝාතනයවීමට ද ඊලඟ වසරවල වග විභාගයක් නැතිව එල්ල කල බෝම්බ ප‍්‍රහාරවලට ද ගිනිබෝම්බ යොදාගැනීමට හා වෙනත් කුරිරුකම්වලට ද තුඩුදුන්නේ ය. ඒවා අවසන් වූයේ එක්සත් ජනපදය නින්දිත ලෙස පසුබෑමෙන් හා ඔවුන් ඇටවූ රූකඩ තන්ත‍්‍රය බිඳ වැටීමෙනි.

දශක ගනනාවක් තිස්සේ එක්සත් ජනපදය ආසියාව තුල සිය තත්ත්වය ආරක්ෂා කර ගත්තේ, සීඅයිඒ කුමන්ත‍්‍රන මගින් සහ තායිවානය, දකුනු කොරියාව, පිලිපීනය, තායිලන්තය, සිංගප්පූරුව හා මැලේසියාව තුල පැවති පොලිස් රාජ්‍ය තන්ත‍්‍රයන්ට මුක්කුව දීම මගිනි. ඉන්දුනීසියාවේ දී සීඅයිඒය ඇටවූ කුමන්ත‍්‍රනයක් (1965-66) ලේවැකි සුහර්තෝ ආඥාදායකත්වය බලයට පත්කල අතර එහි ප‍්‍රතිඵලය ලෙස යටත් පිරිසෙයින් 500,000ක් ජනයා ඝාතනයට ලක් වූහ.

1972 දී එක්සත් ජනපද ජනාධිපති නික්සන් චීන නායක මා ඕ සේතුං සමග ඇතිකර ගත් ගනුදෙනුව හරහා ආසියාව “ස්ථාවරකලේ” කල හැකි අන්දෙයක් නැතිව ගියවිට පමනකි. චීන ස්ටැලින්වාදීන් වොෂින්ටනයට එල්ලීම සඳහා පිදුරු ගසක් ලබාදුන්නේ, වියට්නාමයේ දී ලද පරාජය කලාපය පුරා ම එක්සත් ජනපද ආනුභාවයට වල කැපීමට තර්ජනය කල ඒ නිශ්චිත මොහොතේ දී ම ය. එක්සත් ජනපදය හා චීනය අතර ඇතිකර ගත් සමගි සන්ධානය චීනය තුල ධනවාදය පුනස්ථාපනය කිරීමට ද කලාපයෙන් බොහෝ කොටසක් ගෝලීය අන්තර්ජාතික සංගත සඳහා වූ දැවැන්ත ලාභ ශ‍්‍රම මූලාශ‍්‍රයක් බවට පරිවර්තනය කිරීමට ද පදනම දැමී ය.

කෙසේවුව ද 1970 ගනන්වල අග භාගයේ පටන් නිෂ්පාදනය ගෝලීයකරනය වීම සහ එම තත්ත්වය තුල චීනය ලෝකයේ ප‍්‍රමුඛතම ලාභ ශ‍්‍රම වේදිකාව ලෙස මතු වී ඒම, ජාත්‍යන්තර ආර්ථික හා මූලෝපායාත්මක සම්බන්ධතාවල අතිමහත් වෙනසක් සිදුකර ඇත. චීනය අධිරාජ්‍යවාදී බලවතෙකු නොවන නමුත් එරට ආර්ථිකයේ විශාලත්වය සහ ආසියාව තුල හා ලොව පුරා ඊට පවත්නා ආර්ථික හා වෙලඳ සබඳතාවල පරිමානය මගින් ඇමරිකානු ගෝලීය ආධිපත්‍යයට එල්ල වන අභියෝගය වොෂින්ටනයට දැරිය නොහැකි විය.

1991 දී සෝවියට් සංගමය බිඳ වැටුනු තැන්සිට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, සිය ඓතිහාසික ආර්ථික පරිහානිය ජය ගැනීම සඳහා වඩවඩාත් ආක‍්‍රමනකාරී ලෙස අධිකාරය චීනය සිය ස්ථිර ඉලක්කයක් බවට පත්කර ගත්තේ ය. 2011 නොවැම්බරයේ දී නිල වශයෙන් නිවේදනය කෙරුනු එහි “ආසියාවට හැරීම” යනු අවශ්‍ය වුවහොත් යුද්ධය මගින් වුව ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වොෂින්ටනයේ අවශ්‍යතාවන්ට නතු කර ගැනීම ඉලක්ක කර ගත් පුලුල් රාජ්‍ය තාන්ත‍්‍රික, ආර්ථික හා මිලිටරිමය මූලෝපායකි.

පසු ගිය පස්වසර පුරා එක්සත් ජනපදය හා එහි සහචරයින් දකුනු හා නැගෙනහිර චීන මුහුදු ප‍්‍රදේශවල භූමිය පිලිබඳ නොවැදගත් කලාපීය මතභේද යුද්ධයේ ගිනිපුපුරු අවුලුවන කාරනා බවට පරිවර්තනය කර ඇත. වොෂින්ටනය කලාපය පුරා ම යෙදී සිටින්නේ, හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් චීන ආනුභාවයට වල කැපීම සඳහා “කල් තියා යොදා ගත් රාජ්‍ය තාන්ත‍්‍රික” ක‍්‍රමෝපාය නමින් හැඳින්වූ දෙයෙහි ය. එරට රාජ්‍ය තාන්ත‍්‍රික කුමන්ත‍්‍රන, 2020 වන විට සමස්ත ඇමරිකානු නාවික හා ගුවන්හමුදා සම්පත්වලින් සියයට 60ක් ඉන්දු-ශාන්තිකරය තුල රඳවන මිලිටරි තරකිරීමට සම්බන්ධය.

ආසියාව තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඓතිහාසික වාර්තාව, එරට අධිපති තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා න්‍යෂ්ටික ආයුධ යෙදවීම ඇතුලු ඕනෑ ම පියවරක් ගැනීමට පසුබට නොවන බව බැරෑරුම්ව සිහිපත් කර දෙන්නකි. එහි කටයුතු සමස්ත කලාපය ම මාරක අනතුරක හෙලා ඇත. දකුනු චීන මුහුද තුල සිදුවන ඕනෑ ම අත්වැරැද්දක් හෝ වැරදි ගනන් බැලීමක්, උතුරු හා දකුනු කොරියාව අතර හමුදා මුක්ත කලාපය තුල ඇතිවන ඕනෑ ම සිදුවීමක්, න්‍යෂ්ටික බලවතුන් අතර කෙරෙන බෙහෙවින් පුලුල් ගැටුමක් බවට වේගයෙන් වර්ධනය වියහැකි ය.

යුද්ධයේ මූලාශ‍්‍රය වන යල්පැනගිය ලාභ ගැරීමේ ක‍්‍රමය අවසන් කර දැමීම ඉලක්ක කර ගත් ඒකාබද්ධ සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම මගින් යුද්ධය කරා යන මෙම සාහසික ගමන නතර කිරීමේ හැකියාව ඇති ග‍්‍රහලෝකය තුල පවත්නා එක ම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ලෝකය පුරා සටන් වදින්නේ එම ඉදිරි දර්ශනය සඳහා ය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: