පැරිස් ත්‍රස්තවාදීන් වැඩකර ඇත්තේ “කාටත් පේන“ ආකාරයටයි

Paris terrorists operated “in plain sight”

2015 නොවැම්බර් 21

130 දෙනෙකුට මරු කැඳවූ පැරිසියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ ඉස්ලාම්වාදීන් බොහොමයක් හා එම ප්‍රහාර සංවිධානය කල ප්‍රකට පුද්ගලයා, එය සිදුවූ නොවැම්බර් 13දාට පෙර ප්‍රන්ස හා බෙල්ජියම් ආරක්ෂක අංශ විසින් දැන හඳුනාගෙන සිටි බවට, පසුගිය දින ගනනාව තිස්සේ පලවූ මාධ්‍ය වාර්තා මගින් හෙලිදරව් කරගෙන ඇත. එහෙත් ඔත්තු සේවා හෝ පොලිසිය එම මාරක ප්‍රහාරය නතර කිරීම පිනිස ඔවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුනි.

ඔත්තු සේවාවන් සමග සමීප සම්බන්ධකම් පවත් වන නිව් යෝර්ක් ටයිම්ස්,, වොෂින්ටන් පෝස්ට් , සීඑන්එන් මෙන්ම නිල ඇමරිකානු හඬ හා ඊස්රායලයේ පල වන හැරට්ස් වැනි පුවත්පත් හා මාධ්‍ය ජාලයන් වෙතින් මෙම තොරතුරු හෙලිවී තිබීම ද කැපී පෙනේ.

ඒවාටම සම්බන්ධව පලවූ නිව් යෝර්ක් ටයිම්ස් කතුවැකිය පැවසුවේ, “පැරිස් ප්‍රහාර සිදු කල බොහෝ අය, ප්‍රන්සයේ හා ඛෙල්ජියමේ බුද්ධි අංශ නිලධාරීන්ගේ රේඩා තිර මත ඒ වන විටත් දර්ශනයවී සිටි අය වන අතර ප්‍රහාරකයින් ගනනාවක් ප්‍රධාන පොලිස් මධ්‍යස්ථානයට යාර සිය ගනනක් නුදුරින් පිහිටි අන්තවාදීන්ගේ පාරාදීසය නමින් ප්‍රකට කොටසේ වාසය කර තිබේ.“

වොෂින්ටන් පෝස්ට් පුවත්පත තත්වය පිලිබඳව පැවසුවේ මෙසේය. “පසුගිය සතියේ පැරිසියට එල්ලවූ මාරක ත්‍රස්තවාදී ප්‍රහාර පිටුපස සිටි සමහර මිනිසුන් සමග බෙල්ජියම් බලධාරීන්ට සමීප සම්බන්ධකම් පැවති අතර එය සිදුවූ පිලිවෙල ගැන සලකන කල, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ඇඟිලි අතරින් එම සැකකරුවන්ට රිංඟා යාමට හැකි වූයේ කෙසේ ද යන ප්‍රශ්න මතු කරයි.“

ඇමරිකානු සෙනේට් සභාවේ දෙවන පෙල ඩිමොක්‍රටිකයෙකු වන ඉලිනොයිස්හි ඩික් ඩර්බින් පැවසුවේ, පැරිස් ප්‍රහාරකයින් ගනනාවකට ගුවන් ගමන් තහනම පැනවී තිබුනු අතර ඒ නිසාම ඔවුන් ඇමරිකානු ඔත්තු සේවාවන්ට ද හුරු පුරුදු අය බව ඇඟවුම් කෙරෙන බව ය.

පලවූ බොහෝ වාර්තා සටහන් කලේ, ඇමරිකාව, තුර්කිය හා ඉරාකය නොවැම්බර් 13 ප්‍රහාරයන්ට පෙරාතුව, කුමන්ත්‍රන පවතින බවට ප්‍රන්සයට අනතුරු අඟවා තිබුනු බව ය. තුර්කිය, 2010 සිට ප්‍රන්ස බලධාරීන් හොඳින් හඳුනන ඉස්මායෙල් ඔමාර් මොස්ටිෆයි නමැති පුද්ගලයාගේ නම පවා ඔවුන්ට සපයා තිබුනි. ආරක්ෂක උත්සුකයක් ලෙස හඳුන්වන “ෆිෂි එස්“ නමැති පොලිස් ලිපිගොනුවක් තිබියදී ද මොස්ටිෆයි, 2013දී සිරියාවට ගොස් එම වසරේම ආපසු ප්‍රන්සයට පැමින තිබුනි. ඔහු, තමාම නසා ගැනීමට පෙර බැටක්ලන් රංඟශාලාවේදී මිනිසුන් 100ක් පමන මරා දැමූ තුවක්කුකරුවා ය.

බැටක්ලන්හි තවත් තුවක්කුකරුවෙකුවූ සැමී ඇමිමෝර්, ත්‍රස්තවාදී කුමන්ත්‍රන චෝදනා යටතේ ප්‍රන්ස පොලිසිය විසින් 2010 ඔක්තෝබරයේදී රඳවාගෙන සිටි අයෙකි. ටයිම්ස් පත්‍රයට අනුව, “ඔහු සටනට එක්වීම පිනිස යේමනයට යාමට සැලසුම් කල බවට සැක පිට බලධාරීන්, ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අත්අඬංගුවට ගෙන ඔහු අධිකරන පාලනයකට යටත් කර තිබුනි. එහි අර්ථය, ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවී තිබුන බවත් නිතිපතා බලධාරීන් වෙත වාර්තා කිරීමට නියමිතව තිබුන බවත් ය. එසේ වුවත් ඇමිමෝර්, කිසිදු බාධාවකින් තොරව සිරියාවට යාමට සමත් විය.“

පසුගිය වසරේ දෙසැම්බරයේදී ප්‍රන්ස ලේ මොන්ඩේ පුවත් පත වාර්තා කලේ, ඇමිමෝර් සිය පවුල සමග මාසිකව ස්කයිප් හමු පවත්වා ඇති බවත්, ඔහුගේ පියා ඔහු ආපසු ප්‍රන්සයට ආ යුතු යයි ඒත්තුගන්වා ගැනීම පිනිස සිරියාවට ගිය බවත් ය. ආපසු පැමිනි අවස්ථාවේ පොලිසිය ඔහු සමග කථා කිරීමට උත්සාහ කර නොතිබූ අතර මේ වසරේ යම් දිනක ඇමිමෝර් බාධාවකින් තොරවම ආපසු ප්‍රන්සයට පැමිනියේ ය.

ස්ටාඩ් ඩි ෆ්‍රාන්ස්හි මරාගෙන මැරෙන බෝම්බකරුවා වූ බිලාල් හඩ්ෆි, චාලි හෙබ්ඩෝ ඝාතනයට සහාය දක්වමින් කර තිබූ ප්‍රකාශ ගැන, බ්‍රසල්ස්හි ඔහුගේ පැසැලේ පන්ති ගුරුවරයා විසින් වාර්තා කර තිබූ තතු තුල ඔහු, ප්‍රන්ස බලධාරීන්ට හුරු පුරුදු අයෙක්ව සිටියේ ය. පසුව ඔහු සිරියාවට ගිය අතර එහි සිට ඔහු පල කල ට්විටර් සටහන්වල, බටහිර ගැති බලවේග “මිත්‍යාදෘෂ්ටිකයන්“ ලෙස හෙලා දකිමින්, සිරියාවට මැදිහත්වන රටවලට අනතුරු ඇඟවීය. ඔවුන්ට “තවදුරටත් සුරක්ෂිත බවක්, ඔවුන්ගේ සිහිනයන්හිදී පවා, නැති“ බව ඒවායේ සඳහන් ය.

බෙල්ජියම් පොලිස් ප්‍රකාශිකාවක් පෝස්ට් පත්‍රයට පැවසුවේ, “හඩ්ෆි සිරියාවට ගොස් ආපසු පැමිනි බව අපි දැන සිටියෙමු. ඔහු බෙල්ජියමට පැමින “සති දෙකක් යන තෙක් ආරක්ෂක අංශ, මෙලෙන්බීක්හි ඔහු ජීවත්වූ නිවසෙහි දුරකථනට රහසිගතව ඇහුන්කන් දුන්නේ ය.“ හැඩ්ෆි ඉස්ලාමීය රැඩිකලෙක් ලෙස ප්‍රකටව සිටි අතර සිරියාව තුල සටන්වලට සම්බන්ධ විය. පොලිස් උපදේශක කන්ඬායමක් හා බෙල්ජියම් මාධ්‍යවේදියෙකු විසින් තබාගත් ලැයිස්තුවක ඔහුගේ නම ද ඇතුලත් විය. නොවැම්බරයේදී ඔහු ප්‍රහාරයට සම්බන්ධවීම පිනිස පැරිසිය වෙත පැමිනියේ ය.

ඊබ්‍රහිම් ඇබ්ඩෙස්ලම්, පැරිස් ආපන ශාලාවේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විය. ඔහු ද බෙල්ජියානුවෙකි. 2015දී සිරියාවට යාමට උත්සාහ කර තිබුනි. එහෙත් තුර්කි බලධාරීන් ඔහු රඳවාගෙන ආපසු හරවා එවා ඇත. ඔහු අබ්දෙල්හමිඩ් අබාවුඩ් යන බෙල්ජියමේ ඉහල අයිසිස් සාමාජිකයා සමග දිගු කලක් සම්බන්ධකම් පවත්වා තිබුනි. ප්‍රහාරකයින්ගෙන් දිවි ගලවාගත් එකම තැනැත්තා වන ඇබ්ඩෙස්ලම්ගේ සාලේ යන 26 හැවිරිදි සහෝදරයා, නොවැම්බර් 13-14 රාත්‍රියේ පැරිසියේ සිට බෙල්ජියම දක්වා මෝටර් රියකින් පැමිනෙමින් සිටියදී ප්‍රන්ස පොලිසිය, ස්ථාන තුනකදී නතර කර ප්‍රශ්න කරනු ලැබ, මුදාහැර තිබුනි.

තවත් හඳුනා නොගත් මිනිසෙක් හා ගැහැනියක ද සිය මස්සිනා ද සමග 19දා උදෑසන ප්‍රන්ස පොලිසිය සමග ඇතිවූ වෙඩිහුවමාරුවකදී මියගිය, ප්‍රහාර සංවිධානය කල මූලිකයා වූ අබවුඩ් පිලිබඳ කාරනය ද වැදගත් ය. අබවුඩ් අයිසිස්හි ප්‍රකට පොදු හඬකි. එබු උමාර් අල් බල්ජිකි යන නමෙන්, ඩබික් යන ඔන්ලයින් සඟරාවේ පෙබරවාරි කලාපයේ ඔහුගේ හමුවක් වාර්තාකර තිබුනි.

ඇමරිකානු හඬ සමග පැවති හමුවකදී අබාවුඩ්, “බෙල්ජියමේදී තමා, අසු නොවී කාටත් පෙනෙන පරිදි කටයුතු කල හැක්කේ කෙසේ ද“ යන්න පෙන්නුම් කල බවට කයිවාරු ගැසීය. “මගේ නම හා පින්තූරය ප්‍රවෘත්ති වල පල විය, එහෙත් මට, ඔවුන්ගේම රට තුල සිටිමින් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට හා වැදගත්ම දේ වන සුරක්ෂිතව පිටවී යාමටත් හැකි විය.“ එක් ස්ථානයකදී පොලිසිය ඔහු නතර කල නමුත් සමහරවිට ඔහු හඳුනා නොගැනීම නිසා අල්ලා නොගැනුනි. එසේ වුව ද බෙල්ජියම් අධිකරනය, එරට තරුනයින් අයිසිස් සටන සඳහා බඳවා ගැනීමේ චෝදනාව මත, ඔහු නැතිව කල නඬු විභාගයකදී වසර 20කට ඔහුට සිර දඬුවම් නියම කර තිබුනි.

ඉස්ලාමීය අන්තවාදීන්ගේ පාර්ශවයෙන් මැදිහත්වීම සඳහා අබාඋඩ්ට, බලධාරීන්ට හසු නොවී කටයුතු කිරීමට තිබුනු හැකියාව ප්‍රයෝජනවත් වූවා යයි අනුමාන කල හැකි වුවත්, සරල පැහැදිලි කිරීමක් ඇත. ඇබාඋඩ් ක්‍රියාශීලීව සිටි අවධියේ වැඩි කොටසක් තුල අයිසිස් සංවිධානය, ඇමරිකාව, ප්‍රන්සය, බෙල්ජියම හා අනෙකුත් අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලය ලත් සිරියාවේ අසාද් විරෝධී ව්‍යාපාරයේ කන්ඬායමක්ව සිටියේ ය.

2014 ජූනියේදී අයිසිස් මිලිෂියාවන්, බැග්ඩෑඩයේ ඇමරිකානු රූකඩ තන්ත්‍රයට තර්ජනයක් වන පරිදි, දේශසීමාව හරහා ගොස් ඉරාකයේ මොසුල් නගරය අල්ලා ගන්නා තෙක්, එහි කටයුතු ඉවසා සිටි හෝ අනුග්‍රහයක් ලෙස සලකන ලදි. ඇමරිකාවේ පිටුබලය ලත් “හවුලේ“ අයිසිස්, මොසුල් සිද්ධීයෙන් පසුව පවා සැලකිය යුතු තරම් ඉබාගාතේ යන බෝම්බ ප්‍රහාර එල්ල කර තිබියදී ද අඩු තරමින් සිරියාව තුලදී හෝ ප්‍රයෝජනවත් අධිරාජ්‍යවාදී මෙවලමක් ලෙස ඔවුන් සැලකුන බව පෙන්නුම් කරයි.

මෙසේ දිග්ගැස්සී යන පිලිවෙල, 2001 සැප්තැම්බර් 11 නිව් යෝර්ක් හා වොෂින්ටන් ඩීසීහි ත්‍රස්තවාදී ප්‍රහාර දක්වා ඈතට දිව යයි. ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත සංවිධාන, අල්කයිඩාව ද ඇතුලු අයිසිස් හා ඒවායේ නිමක් නැති අනෙකුත් අංකුරවල මුල් ඇත්තේ, අධිරාජ්‍යවාදී ඔත්තු සේවා, විශේෂයෙන්ම ඇමරිකානු ඒජන්සිවල රහසිගත කටයුතු තුල ය.

අල් කයිඩාව මතුව ආවේ 1980 ගනන්වල සෝවියට් පිටුබලය ලත් ඇෆ්ගනිස්ථාන තන්ත්‍රය පෙරලා දැමීමට කල ඇමරිකානු මැදිහත්වීමට එකතුවූ අරාබි බලවේගයන්ගෙනි. ඉරාක යුද්ධය අයිසිස් පෙර ගමන්කරුවා බිහිකල අතර සිරියාව තුල ඇමරිකානු පිටුබලය ලත් මැදිහත්වීම මගින් එම කන්ඬායම සිරියානු-ඉරාක යන දෙරටේම භූමිභාගයන් ද අත්පත් කරගත් බලගතු හමුදාවක් බවට පත් කලේ ය.

තවත් පිලිවෙලක් ද දැකගත හැකිය. අධිරාජ්‍යවාදීන් විසින් නිර්මානය කර සන්නද්ධ කල ත්‍රස්තවාදී කන්ඬායම්වල ප්‍රහාර, ජාතික ආරක්ෂක රාජ්‍යයේ බලතල තවත් ව්‍යාප්ත කිරීමේ කඩතුරාව බවට පත් විය. පැරිස් ප්‍රහාර හමුවේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ඔත්තු සේවා, විශේෂයෙන්ම ඇමරිකාවේ සීඅයිඒ, එන්එස්ඒ, එෆ්බීඅයි වැනි සංවිධාන, එම ප්‍රචන්ඬත්වයෙන් ඉහලම පල නෙලාගැනීමට යුහුසුලුවී ඇත.

අලුත්ම ත්‍රස්තවාදී මෙහෙයුම පිලිබඳව එඩ්වඩ් ස්නෝඩන් විසින් කල හෙලිදරව් කිරීම් හා ආන්ඩුවේ ඔත්තු බැලීම් මත පනවා ඇති අල්පයක් වන සීමාවන් මත පවා වරද පටවමින්, ඇමරිකාවේ ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ මාලාවක්ම කර ඇත. ස්නෝඩන්, ස්මාට්ෆෝන්ස් හා අනෙකුත් සන්නිවේදන මෙවලම් නිෂ්පාදකයන් විසින් නිර්මානය කරන ලද කේතාංක සහිත රහසිගත (encrypted) උපක්‍රම හෙලිදරව් කල බවට චෝදනා නඟා ඇත.

මෙම තර්ක විතර්කයන්හි ව්‍යාජ ස්වභාවය, පැරිසියේ සැබෑ සිදුවීම් පරීක්ෂා කිරීමෙන් පෙනී යයි. ප්‍රන්ස පොලිසිය ප්‍රහාරකයින් පාවිච්චි කල එක් ජංගම දුරකථනයක් සොයාගෙන ඇත. ප්‍රහාර සඳහා උපකාරී වන පරිදි සැකසූ ජාලයක් බව කියන, අබාඋඩ් හා අනෙකුත් අය සිටින තැන් සොයාගැනීමට හැකි, ජීපීඑස් දත්ත හා රහස්‍යභාවය නොසැඟවූ ලිඛිත පනිවිඩ එතුලින් හෙලිකරගෙන ඇත. කිසිදු ප්‍රහාරකයෙකු රහස්‍යභාවය සහිත සන්නිවේදන යොදාගෙන ඇති බවට හෝ එවැන්නක් ඔවුන්ට අවශ්‍යවූ බවට කිසිදු සාක්ෂ්‍යයක් සොයාගෙන නැත. ඔවුන්ට සිය මෙහෙයුම දියත් කිරීමට කොල එලිය දැල්වී තිබුනු බවට එය ඇඟවුම් කරයි.

මේ දක්වා ලැබී තිබෙන සීමිත තොරතුරු මත, ඔත්තු සේවා මෙහෙයුම් හා ඉස්ලාමීය මූලධර්මවාදී ත්‍රස්තවාදය එකිනෙකට හරස් කැපී යන අන්ධකාර ලෝකය තුල, 2015 නොවැම්බර් 13දා රාත්‍රියේ පැරිසියෙහි සිදුවූ දේවල මූලයන් කෙසේ වෙතත්, සිදුවූයේ කුමක් ද යන්න පිලිබඳව පවා සම්පූර්න හා නිශ්චිත නිගමනයකට එලඹිය නොහැක.

කෙසේ හෝ නිගමන දෙකක් නොවැලැක්විය හැකි ය: 1) මහජන මතය යටපත් කිරීම අරමුනුකොට ගත් හා අනෙකුත් ත්‍රස්තවාදී ප්‍රහාර පිලිබඳ රාජ්‍යයේ හා ඔත්තු සේවාවන් පිටුපස පැවතින නිල ප්‍රචාරනය, අර්ධ සත්‍යයන් හා බොරු මත පදනම්ව ඇත. 2) මැද පෙරදිග, අප්‍රිකාවේ හා මධ්‍යම ආසියාවේ තෙල් හා භූ දේශපාලනික වාසි සඳහා ගෙන යන මෘග යුද්ධවල යෙදී සිටින අධිරාජ්‍යවාදී ආන්ඩු, තමන් සම්බන්ධකම් පැවැත්වූ ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානවල නැගීමට කොන්දේසි නිර්මානය කලේ ය. යලි වතාවක් මෙම ත්‍රස්තවාදී ප්‍රචන්ඩත්වය, විදේශයන්හි මිලිටරි මැදිහත්වීම් තර කිරීමේ දිගු කාලීන සැලසුම් ක්‍රියාවට නැගීමේදී ද දේශීයව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කම්බස් කිරීමේ කඩතුරාව ලෙස ද යොදාගනිමින් තිබෙන බව යි.

පැට්‍රික් මාටින්

Share this article: