තුර්කිය රුසියානු ජෙට් යානය බිම හෙලීමත් සමග එක්සත් ජනපද - රුසියානු ආතති උග්‍ර වෙයි

US-Russian tensions surge after Turkey downs Russian jet

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි , 2015 නොවැම්බර් 26

විවෘත ආක්‍රමනික ක්‍රියාවක යෙදුනු තුර්කි F-16 යුද ගුවන් යානා තුර්කි දේශසීමාව අද්දර රුසියානු SU-24 බෝම්බ ගුවන් යානයක් වෙඩි තබා බිම දැමූ පසු දින රුසියාව සහ නැටෝ මිලිටරි සන්ධානය අතර පූර්න යුද්ධයක තර්ජනය උඝ්‍ර විය.

ජනාධිපති බැරැක් ඔබාමා සහය දුන් එම ක්‍රියාව, රුසියාව ජනාධිපති බෂාර් අල්-අසාද්ට ආධාර කිරීම සඳහා සිරියාව තුල කර ඇති මැදිහත්වීමට විරුද්ධවන වොෂින්ටනය, එය නතර කිරීමට රුසියාව සමග යුද්ධයක පැටලීමට වූව ද සූදානම් බවට මොස්කෝවට කර ඇති අනතුරු ඇඟවීමකි.

රුසියානු ජෙට් යානය විනාශ කිරීමේ තීන්දුව, තුර්කි රාජ්‍යයේ ඉහලම මට්ටමේ දී ගනු ලැබුනි. 25දා පැවැත්වුනු තුර්කියේ පාලක යුනයිටඩ් ජස්ටිස් පක්ෂ (ඒකේපී) රැස්වීමකදී අගමැති අහමට් දෙවුටෝග්ලු SU 24 වෙඩි තබා බිම දැමීමට දුන් නියෝගයේ නම්බුව බාරගත්තේ ය.

ගිය මස තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය කලේ ය යන චෝදනා රුසියාවට එල්ල කිරිමත් සමග දෙරට අතර ආතතීන් පැන නැගී මෙන් පසු, තුර්කි ගුවන් අවකාශය උල්ලංඝනය කරන කුමන යානයක් වුව වෙඩි තබා බිම දමන ලෙස ස්ථාවර නියෝගයක් තමා ගුවන් හමුදාව වෙත නිකුත් කල බව ඔහු කියා සිටියේය. සැබවින්ම මෙහි අර්ථය නම් , සිරියානු-තුර්කි දේශ සීමාවේ සිට පහර දෙන ඉස්ලාම්වාදී විරුද්ධ පාර්ශ්වීය සනද්ධ කන්ඩායම් වලට එරෙහිව ක්‍රියාත්මක වන රුසියානු ගුවන් යානාවන් වෙඩි තබා බිම දැමීමට විවෘත අවසර පත්‍රයක්, තුර්කි ආන්ඩුවේ ඉහලම තැන් වලින් ලබා දී ඇති බවය.

මෙවන් ස්ථාවර නියෝගයක් පැනවීමට පෙර තුර්කි ආන්ඩුව වොෂින්ටනය සමග පමනක් නොව, නැටෝ සන්ධානයේ අනෙකුත් ප්‍රධාන පෙලේ සාමාජිකයන් සමග ද සාකච්ඡා කර ඇති බවට මොනම සැකයක් වත් තිබිය නොහැකි ය.

රුසියාව පැත්තෙන් මොනම කුපිත කිරීමකින් හෝ තොරව එරටට එරෙහිව යුද ක්‍රියාවලට පැනීමට සිය හමුදා වලට කොල එලියක් ලබාදීම මගින් තුර්කි පාලනය කරන්නේ, නැටෝවේ ද විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ද සහාය නැතිව බැරි ඝට්ටනයක ට තුර්කිය පටලැවීම බව ඒකේපීය මැනවින් දෑන සිටි බව නොකීවාට පැහැදිලි කරුනකි. යම්හෙයකින් තුර්කිය, රුසියාව සමග යුද්ධයක් අවුලුවා ගත් විටෙක ඔවුන්ගේ යුරෝපීය සහ උතුරු ඇමරිකානු සගයන් ඉන් අත සෝදා ගත හොත්, යුදමය වශයෙන් තුර්කිය සමූල ඝාතනය වී යාමේ තර්ජනයට මුහුන දෙනු ඇත.

මේ අවස්ථාවේදී ඔබාමා හා නැටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් රුසියාවට එරෙහිව තුර්කියේ ආක්‍රමනකාරී ක්‍රියාවට සහයෝගය දැක්වීය. මුලු නැටෝ සන්ධානය වෙනුවෙන් කතා කල ස්ටොල්ටන්බර්ග්, තුර්කි ක්‍රියාවට සහය දුන්නේ මෙසේය : " අප නැවත නැවතත් පැහැදිලි කර ඇති පරිදි, අපගේ නැටෝ සගයා වන තුර්කියේ ආධාරයට අපි සහයෝගීව නැගී සිටිමු; එරට භෞමික අඛන්ඩතාවයට සහාය දෙමු; අපි ඉතා සමීපව නැටෝවේ අග්නිදිග මායිමේ පැනනගින තත්වයන් කෙරේ අවධානය යොමු කරමු.”

ඔබාමා පාලනාධිකාරය තුර්කි ආන්ඩුවේ ඉවබව නැති ක්‍රියාවන්ට පිටුබලය සැපයුවේ , සිරියාවේ දී රුසියාව සමග පමනක් නොව, යුරෝපීය බලවතුන් සමග ද වැඩි වැඩියෙන් ගැටුමට ඇද දමන්නාවූ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මූලික භූ-දේශපාලනික අවශ්‍යතා උඩය.

තුර්කියේ ද සහාය ලබන ඉස්ලාමීය විපක්ෂ බලවේග වලට පිටුබලය දෙන එක්සත් ජනපදය, සිරියාව තුල රුසියානු මැදිහත්වීමට එරෙහි වන්නේ, මොස්කෝවේ පිටුබලය ලබන අසාද් තන්ත්‍රය පෙරලා දැමීමේ අරමුනෙනි. SU-24 වෙඩි තබා බිම දැමූ බටහිර සිරියාවේ ඉස්ලාමීය සටන්කාමීන් ට එල්ල කෙරෙන රුසියානු ගුවන් ප්‍රහාර වලට එරෙහිව ඔබාමා පසු ගිය අඟහරුවාදා කෙලින්ම අනතුරු ඇඟවීය .

තව ද අයිඑස් අයි එස් (අයිසිස්) සංවිධානය විසින් නොවැම්බර් 13 දා පැරිසියේ දී එල්ල කල ප්‍රහාර වලට පසුව ප්‍රන්ස ආන්ඩුව, සිරියාවේ ඉස්ලාමීය ත්‍රස්තවාදී කන්ඩායම් වලට එරෙහිව , මොස්කෝව හා වොෂින්ටනය යන දෙගොල්ලම ඇතුලත් සටන් සන්ධානයක් ගොඩනඟා ගැනීමට දරන උත්සාහයට වොෂින්ටනය විරුද්ධ වේ. 2011දී සිරියානු යුද්ධය ආරම්භ කල තැන් පටන් වොශිංටනය, ඇත්ත වශයෙන්ම අසාද්ට විරුද්ධව ඇමරිකානු ගොඩබිම් හමුදාවක් ලෙස ඉස්ලාමීය කුලී භටයින් යොදා ගත්තේය.

රුසියානු ජෙට් යානය වෙඩිතබා බිම හෙලීම, ප්‍රන්සය සහ වෙනත් යුරෝපිය බලවතුන් සිරියාව සම්බන්ධ පිලිවෙත ගැන රුසියාව සමග ඇතිකර ගැනීමට උත්සාහ කරන සම්මුතිය වලක්වා ලීමට හේතු වන බව කොන්ලි කියා සිටියේ ය. “අද දින සිදුවීම් ඇඟවුම් කරන්නේ, කියනු ලබන මෙම හවුලේ සාමාජිකයින්,මාරක ප්‍රතිවිපාක ඇති කරන එකිනෙකට පටහැනි මිලිටරි හා දේශපාලන අරමුනු වෙනුවෙන් ක්‍රියාශීලීව වැඩ කරන බව සැඟවීමට නොහැකි බවයි.”

කොන්ලි සමාප්ත කලේ යථාර්තය ඔලුවෙන් හිටවා මෙසේ තර්ජනය කරමිනි: “ජාත්‍යන්තර සම්මතයන් ට අනුව කටයුතු කිරීමට ද භෞමික අඛන්ඩතාවය පිලිබඳ මූලධර්මය ට ගෞරව කිරීමට ද රුසියාව යලි එකඟ විය යුතුය .” සැබවින්ම එකකින් පසුව තවෙකක් වශයෙන් රටවල් ආක්‍රමනය කර තිබෙන ඇමරිකාවේ අරමුන, සිරියාව තුල සිවිල් යුද්ධය ඇවිලවීම ද ඇතුලුව මැද පෙරදිග සිය පාලනය අවධාරනය කිරීමය.

වොෂින්ටනයේ සහ ඇන්කාරාවේ ආක්‍රමනික පිලිවෙත්, පුර්න න්‍යෂ්ටික යුද්ධයක් අවුලුවාලීමට තර්ජනය කරයි. රුසියාව තුර්කිය සමග යුද්ධයට යන්නේ නැති බව තහවුරු කල රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රෝව්, මෙම ප්‍රහාරය අනුමත කිරීම ගැන එක්සත් ජනපදයට චෝදනා කලේ ය.

“මෙම ප්‍රහාරය බොහෝ දුරට කලින් සුදානම්කල ප්‍රකෝපකරනයක් යයි පෙනී යන” බව ප්‍රකාශ කල ලෑව්රෝව්, ඇමරිකානු වගකීම වක්‍රව පෙන්නුම් කරමින්, “වොෂින්ටනය සිය සහචරයින්ට කියා තිබුනේ, තම කටයුතු ඇමරිකානු හමුදාව සමඟ සම්බන්ධීකරනය සඳහා සිරියාවේ රඳවා ඇති සිය මිලිටරි ගුවන් යානාව යොදාගන්නා ලෙස” යයි පැවසීය. “ මෙම ඇමෙරිකානු ඉල්ලීම තුර්කියට ද අදාල දැයි මට සැකය. එසේනම්, ඇමරිකාවේ තැනූ ප්‍රහාරක යානා ගුවන් ගත කරමින් සිරියානු භුමිය උඩින් පියාසර කරන- අපි කියමු - “නාඳුනන” ගුවන් යානය බිම දැමීමට තුර්කිය එක්සත් ජනපදයෙන් අවසර ඉල්ලුවාද ?”

ලැව්රෝව් නැටෝ ප්‍රධානී ස්ටොල්ටන්බර්ගේ වචන ගැන ද සඳහන් කලේ ය: “ තුර්කිය කැඳවූ නැටෝ රැස්වීමක දී ඉතා අභුත ප්‍රකාශ ද කරනු ලෑබිනි. ඒවා කිසිදු පසුතැවිල්ලක් හෝ ශෝකයක් ප්‍රකශ කලේ නැත. ඇත්ත වශයෙන් ඒවා යොමු වූයේ ඊයේ තුර්කි ගුවන් හමුදාව සිදු කල දේ වසංකිරීමට ය; යුරෝපිය සංගමය දැක්වුයේ ද එවන් ම ප්‍රතිචාරයකි.”

රුසියානු ගුවන් යානය තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය කලේ නැතැයි යලිත් පෙන්වාදුන් ලැව්රෝව්, එය මොහොතකට එසේ කලේ වුවද එය වෙඩි තබා බිම හෙලීම යුක්තිසහගත වන්නේ නැතැයි ප්‍රකාශ කලේ ය. තුර්කි ගුවන් යානයක් සිරියානු ගුවනේදී වෙඩි තබා බිම හෙලන බවට සිරියාව ගත් තීන්දුව හෙලා දකිමින් 2012 දී, එවකට තුර්කි අගමැතිව සිටි රිසේප් තායිප් එදොගන් (දැන් ජනාධිපති) කල ප්‍රකාශය ගැන සඳහන් කරමින් ඔහු, කෙටි අතුලු වීමක් ප්‍රහාරයක් යුක්ති යුක්ත කරන්නේ නැති යයි පැවසීය.

බිම හෙලන ලද SU24 යානාවේ නැවියන් දෙදෙනා ගෙන් පන බේරාගත් කපිතාන් කොන්ස්ටන්ටින් මුරක්තින් තම යානය තුර්කි ගුවන් අවකාශය උල්ලංඝනය කරමින්, සිරියාව දෙසට හරවා යන ලෙසට කල අනතුරු ඇඟවීම නොසලකා හැරියේය යන එරටේ චෝදනාව ප්‍රතික්ෂේප කලේ ය.

“ඇත්ත වශයෙන් නම් , අපට කිසිම අනතුරු හැඟවීමක් ගුවන් විදුලියෙන් හෝ රූප මාධ්‍යයෙන් කෙරුනේ නැත. ඒ නිසා අප කිසිම ලක්ෂ්‍යකදී අපේ පථය වෙනස් කලේ ද නැත . SU 24 වැනි උපායික බෝම්බ හෙලන යානයක් සහ F-16 යානයක් අතර වේගයේ වෙනස ඔබ වටහාගත යුතු ය. අපට අනතුරු හැඟවීමට ඔවුන්ට උවනා වූයේ නම් , කරන්නට තිබුනේ අපේ තටුව අද්දරම පියාසර කිරීමයි.” සිදුවුනේ “කොහෙන්දෝ ආපු මිසයිලයක් අපේ යානයේ පසුපස වැදීම යි. මගහැරීමේ උපාමාරුවකට වත් අපට වෙලාවක් තිබුනේනැත.”

ඒ සමගම මොස්කෝව, සිරියාව තුල ද නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ ද මිලිටරි තර කිරීම් අරඹා තිබේ. තුර්කිය සමග සියලු යුද තොරතුරු හුවමාරු කර ගැනීම නවතා දමා ඇත. රුසියානු විදෙස් පිලිවෙතේ ප්‍රතිගාමී හා බංකොලොත් ස්වභාවය මෙයින් සලකුනු කෙරේ. ඒ වනාහි විටෙක නැටෝ බලවතුන්ට දන ගසමින් ද විටෙක ලෝක යුද්ධයේ අවදානම අවුලුවාලන ඉවක් බවක් නැති පිමි සහිත රුසියානු විදේශ ප්‍රතිපත්තියයි.

“රුසියාව සිරියාව තුල හා නැඟෙනහිර මධ්‍යධරනී ප්‍රදේශයේ සිය ආරක්ෂක හමුදා වේගයෙන් තර කරමින් සිටි. ලටාකියා නගරය අසල සිය කඳවුර තුල ගුවන් ආරක්ෂක පද්ධතියක් ස්ථානගත කරන බව රුසියාව නිවේදනය කලේය. මෙය දකුනු තුර්කිය ඇතුලු ප්‍රදේශවල ගුවන් යානා සොයා, වෙඩි තබා බිම දැමීමට සමත්, S 400 ආරක්ෂක මිසයිල සහිත ඉහල තාක්ෂනික පද්ධතියකි. එවැනි පද්ධතියක් SU-24 යානය බිම දැමූ ප්‍රහාරයට එකටෙක කිරීමක් වශයෙන් ප්‍රහාර එල්ල කල තුර්කි F- 16 යානාවන්ට පහර දෙනු ඇත.

ඉහත ප්‍රකාශය නිකුත් කල දාට පසුව දා මොස්ක්වා නම් රුසියානු ගුවන් ආරක්ෂක යුද නැව නැගෙනහිර මධ්‍යධරනී මුහුදට ඇතුලු විය. මෙම නැව මුහුදු තලයේ සිට ගුවනට දිගු දුර මිසයිල විදීමට සූදානම්ව සිටින බවත් එම මිසයිල වලින් ඕනෑම ගුවන් ගත ඉලක්කයක් බිම දැමීමට හැකි බවත් රාජ්‍ය ගුවන් විදුලියක් වන රසියා ටුඩේ අද වාර්තා කලේය.

Share this article: