ඔබාමාගේ “විනාඩි 60” හමුව හා සිරියාව තුල ඇමරිකානු පිලිවෙතේ අර්බුදය

Obama’s “60 Minutes” interview and the crisis of US policy in Syria

බැරී ග්‍රේ විසිනි, 2015 ඔක්තෝබර් 13

සීබීඑස් නිව්ස්හි “විනාඩි 60” වැඩසටහන සමඟ එක්ව පැවැත්වූ අසාමාන්‍ය හමුවේදී ජනාධිපති බරක් ඔබාමා, ඔහු බලය පවරා ඇතුවාටත් වඩා දැවැන්ත හා ඉවබව නැති මිලිටරි මැදිහත්වීමක් වෙනුවෙන් හඬ නඟන, විදේශ ප්‍රතිපත්ති හා මිලිටරි/ඔත්තු සේවා අංශ තුල විවේචකයින්ගේ නැඟී එන තානයකට එරෙහිව, සිරියාව තුල සිය පිලිවෙත ආරක්ෂා කිරීමේ උත්සාහයක නිරත විය.

“විනාඩි 60” මධ්‍යස්ථ මතධාරියෙකු වන ස්ටීව් ක්‍රොෆ්ට්ගේ යුදවාදී යයි පෙනී ගිය ආක්‍රමනික ප්‍රශ්න කිරීම් හමුවේ ඔබාමාට, සිරියානු යුද්ධයේ අරමුන හෝ සිරියානු ජනාධිපති බෂර් අල් අසාද්ගේ ආන්ඩුව පෙරලා දැමීමට වොෂින්ටනය ගෙන යන සිව් වසරක මැදිහත්වීම මේ දක්වා මුහුනපා ඇති ව්‍යසනය සඳහා හේතු වන තර්කානුකූල පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට නොහැකි විය.

හමුව පැවැත්වුනේ, ඇමරිකාවේ පිටුබලය ලබන ඉස්ලාමීය මිලිෂියාවන්ට එරෙහිව අසාද් රෙජිමය නඟා සිටුවීමට රුසියාව දියත් කර ඇති මිලිටරි මෙහෙයුමෙන් සතියකට පසුවය. ඊනියා “කැරලිකරුවන්ගේ” කොඳු නාරටිය වන මෙම මිලිෂියාවන්, තන්ත්‍ර මාරුව සඳහා බිම් මට්ටමේදී යුද්ධය ගෙන යයි.

ඔක්තෝබර් 6දා ධවල මන්දිරයේදී පවත්වන ලද හමුව, අසාද්ට හා අයිසිස් වරුන්ට එරෙහිව සටන් වැදීම සඳහා “මධ්‍යස්ථ” සටන්කරුවන් බඳවාගෙන පුහුනු කිරීමට වසරක් තිස්සේ දරන ලද පෙන්ටගනයේ ව්‍යසනකාරී ව්‍යායාමය අවසන් කර ඒ වෙනුවට, දැනට සිටින “කැරලිකාර” මිලිෂියාවන්ට ලබාදෙන ඇමරිකාවේ අවි හා ගුවන් සහාය වැඩි කරන බව ඔබාමා විසින් නිවේදනය කරනු ලැබීමෙන් දෙදිනකට පසුව විකාශනය කරන ලදී. ඔබාමා නොපැවසුවේ, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් විදේශ ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කර ඇති අල් නුස්රා පෙරමුන වැනි අල් කයිඩාවට සම්බන්ධ කන්ඩායම් මෙම බලවේගයන්ගේ අධිකාරය දරන බවයි.

මිලිටරි පසුබෑමකට වැඩි දෙයක් වන ඔබාමාගේ නිවේදනය, ඇමරිකාවට පසුව ලෝකයේ දෙවන ලොකුම න්‍යෂ්ටික අවි ගබඩාව සතු රුසියාව සමඟ සෘජු ගැටුමක් ඇවිලීමේ තර්ජනය මතු කරමින්, සිරියාව තුල ඇමරිකානු මැදිහත්වීම් උග්‍ර වීමක් සලකුනු කරයි.

කෙසේ වෙතත් මෙම පියවර, ඩිමොක්‍රටික් පක්ෂ කන්ඩායම් ද ඇතුලු රාජ්‍ය හා දේශපාලන සංස්ථාපිතයේ පුලුල් කොටස් තුල සැලකෙන්නේ, කිසිසේත්ම නොසෑහෙන මැදිහත්වීමක් ලෙසය. “විනාඩි 60” හමුව හෙලිදරව් කර ඇත්තේ, ඇමරිකානු පිලිවෙතේ අවුල හා පාලක පන්තිය තුල පවත්නා කටුක බෙදීම්ය. රුසියාව සමඟ යුද්ධයක හා තුන්වන ලෝක යුද්ධයේම හැකියාව පවා දරා සිටින අවදානම් නොසලකා මෙම බලගතු කොටස් යොමුව සිටින්නේ, අසාද් අල්ලා ගැනීමට දහස් ගනන් ඇමරිකානු හමුදා යෙදවීමට බලකිරීම පිනිසය.

සිරියාවේ හා පුලුල් වශයෙන් මැද පෙරදිග වොෂින්ටනය මුහුනපා සිටින වින්නැහිය විසින් මතුකර ඇති දේශපාලන අර්බුදයේ එක් ප්‍රකාශනයකි, ක්‍රොෆ්ට් විසින් යොදාගනු ලැබූ හරස් ප්‍රශ්න විචාරය. යලි යලිත් ඔබාමාට බාධා කරමින් ඔහුගේ ප්‍රතිපත්තියෙහි අසාර්ථකත්වයන් ඔහු කෙලින්ම ගෙනහැර දැක්වීය.

හමුවේ පලමු විනාඩිය තුලම ක්‍රොෆ්ට් පැවසුවේ, “මම අදහස් කරනවා තත්වය දෙස බලන කල හා ප්‍රගතියක් අපේක්ෂා කරනවා නම්, එවැනි කිසිවක් දක්නට නැති බව. වෙනස්වී ඇති එකම දෙය, තව තවත් ඉහල නඟින මරන සංඛ්‍යාව හා සිරියාවෙන් යුරෝපය බලා පලා යන සරනාගතයින්ගේ සංඛ්‍යාව පමනක් බවට අපට තර්ක කල හැකිය.”

ඔබාමා පැනයකට පිලිතුරු දීමට උත්සාහ කරන විටම එයට බාධාකල ඔහු, “මා අදහස් කරන්නේ දැන් සිදුවෙමින් තිබෙන දේ අසාර්ථක බවයි. මම කියන්නේ, ඔවුන් (අයිසිස්) තවමත් ඉරාකයේ විශාල කොටසක් අල්ලාගෙන සිටින බවයි. ඔවුන් තවමත් සිරියාවේ වැඩි කොටසක් අල්ලාගෙන සිටින බවයි. ඔවුන් එලවා දමන්නේ කවරුන් ද?”

අයිසිස් විරෝධී හා අසාද් විරෝධී “මධ්‍යස්ථ” මිලිෂියාවන් නිර්මානය කිරීමේ අසාර්ථක වැඩසටහන පිලිබඳව ක්‍රොෆ්ට් මෙසේ පවසයි, “ඔබ සිරියාවේ මධ්‍යස්ථ විපක්ෂයක් ගැන කථා කරයි. පෙනී යන්නේ එවැන්නක් දැක ගැනීම අපහසු බවයි....ඔවුන් පුහුනු කර සන්නද්ධ කිරීම සඳහා ඔබ කොන්ග්‍රසයෙන් ඩොලර් බිලියන භාගයක් ලබා ගත්තා, සෙන්ට්කොම් හි ආඥාපතිට අනුව අවසානයේදී ඔබ පුහුනුකර ඇත්තේ මිනිසුන් 50ක් පමනයි. ඉනුත් බොහොමයක් මියගොස් හෝ පලාගොස් ඇත. ඔහු පැවසුවේ හතර දෙනෙක් හෝ පස් දෙනෙක් ඉතිරිව සිටින බවයි, එය හරි ද?”

ප්‍රතිචාර වශයෙන් ඔබාමා මවිතකරවන ලෙස පැවසුවේ, තමන් එම වැඩසටහන ගැන ආරම්භයේ පටන්ම කැමැත්තක් නොදැක්වූ බවය. ඔවුන් අතර පහත සඳහන් දෙබස ඇතිවිය:

ඔබාමා: “ස්ටීව්, විශ්වාස කරන්න, සිරියාව තුල මෙම කුලී හමුදාව ගොඩනැඟීම ගැන මුල පටන්ම මම සැක කලේ මේ හේතුව නිසාය. මගේ අරමුනව තිබුනේ, අයිසිස්ට විරුද්ධව සටන් කිරීමට කැමති මධ්‍යස්ථ විපක්ෂයක් පුහුනුකර සන්නද්ධ කිරීමට අපට හැකිවන්නේ ද යන යෝජනාව ගැන සලකා බැලීමයි. එහිදී අප ඉගෙන ගත්තේ, අසාද් බලයේ සිටිනතාක් කල්, එම අයගේ අවධානය අයිසිස් කෙරෙහි යොමු කර වීම බෙහෙවින් දුෂ්කරවී ඇති බවයි.”

ක්‍රොෆ්ට්: “මධ්‍යස්ථ සිරියානුවන් සොයා හඳුනාගෙන, පුහුනුකර සන්නද්ධ කිරීමේ වැඩසටහන ගැන ඔබ සැක කලේ නම්, ඔබ එය ක්‍රියාත්මක කලේ මක් නිසා ද?”

ඔබාමා: “හොඳයි ස්ටීව්, එක අතකින් අපට මෙහිදී කරන්නට තිබුනේ වෙනස්වූ දේ අත්හදා බැලීම නිසයි....”

සිය පිලිවෙතේ කිසිදු තර්කාන්විත බවක් නොතිබුනු බව පිලිගැනීමට අමතරව, පෙන්ටගන් සැලැස්මේ අසාර්ථකත්වය පැහැදිලි කිරීමට දැරූ ඔබාමාගේ උත්සාහය, සිරියාව තුල අසාද් විරෝධී මිලිටරි බලයක් පවතින බවට ඔහුගේ පාලනය කරන ප්‍රකාශ බොරුවක් බව පිලිගැනීමට සමාන ය. හැම විටම අසාද් පෙරලා දැමීමට සටන් කරන එකම වැදගත් බලය වූයේ අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය කොටස් ය.

මෙම කාරනය අවධාරනය නොකිරීමට ක්‍රොෆ්ට් ප්‍රවේසම් විය. මක්නිසා ද යත්, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව හා යේමනය තුල, ජීවිත මිලිනයකට වැඩියෙන් බිලිගත් හා සමස්ත ජන සමාජයන්ම අතුගා දැමුනු ලේවැකි යුද්ධ, වොෂින්ටනය හා එහි සහචරයින් විසින් ත්‍රස්තවාදයට විරුද්ධව ගෙනයනු ලැබූ සටනක් බවට කරන කියාපෑමේ ප්‍රෝඩාව කුඩුපට්ටම් කරනු ඇති බැවිනි.

සිරියාව තුල රුසියානු මැදිහත්වීම පිලිබඳව ක්‍රොෆ්ට් ඊට වඩා ලිහිල් බවක් නොදැක්වීය. සම්මුඛ සාකච්ඡාවෙන් උපුටාගත් සමහර කොටස් පහත දැක්වේ.

ක්‍රොෆ්ට්: “පුටින් මහතා නායකත්වයට (ඇමරිකානු) අභියෝග කරන බව පෙනේ.”

ඔබාමා: “මොන විදිහට ද?”

ක්‍රොෆ්ට්: “එකක් ඔහු සිරියාව තුලට හමුදාව යවා තිබීමයි. ඔහුට ගොඩබිමේ මිනිසුන් සිටියි. දෙවැනිව, රුසියානුවන් දෙවන ලෝක යුද්ධයෙන් පසුව පලමු වතාවට මැද පෙරදිග අප සහාය දක්වන මිනිසුන්ට බෝම්බ දමමින් මිලිටරි මෙහෙයුම් ආරම්භ කර තිබීමයි....

ජනාධිපති තුමනි, ඔහු ඔබගේ නායකත්වයට අභියෝග කරයි. ඔහු අභියෝග කරන්නේ ඔබගේ නායකත්වයටයි....

මැද පෙරදිග අපගේ විරුද්ධවාදීන් අතර, නිසැකවම අපගේ සමහර සහකරුවන් අතර පවා අදහසක් ඇතිවී තිබෙනවා, එක්සත් ජනපදය පසුබසිමින් සිටින බවට, අප ඉරාකයෙන් අපගේ හමුදා ඉවත්කර ගත්තා, අයිසිස් පැමින එරට වැඩි කොටසක් තම ග්‍රහනයට ගෙන තියෙනවා. ඇෆ්ගනිස්ථානය තුල තත්වය බෙහෙවින් අස්ථාවරය, යලිත් තලිබාන්වරු පෙරට ගමන් කරනවා. එසේම අයිසිස් සිරියාවේ ද වැඩි කොටසක් පාලනය කරනවා.”

මැද පෙරදිග වත්මන් තත්වය පිලිබඳ මෙම නිවැරදි විස්තරය කෙරෙහි ඔබාමාගේ ප්‍රතිචාරය, හෙලිදරව්කාරී මෙන්ම බෙහෙවින් අනතුරුදායකය. අයිසිස් පරාජය කිරීමේ එකම පදනම යයි කියනු ලබන, අසාද් බලයෙන් පහ කිරීමේ දේශපාලන විසඳුමක් සඳහා වන බාගෙට තැම්බුන උත්සාහයෙන් අනතුරුව, ඔහු අදිමදි කරන, විශාල ප්‍රමානයකින් එක්සත් ජනපද හමුදා සිරියාව තුලට යැවීම පිලිබඳව, පාලක පන්තිය තුලින් මතුව ඇති විකල්පය වෙත ඔහු යොමුවනු ඇත.

ඔබාමා: “අප මැද පෙරදිගට නිමක් නැතිව හමුදා යැවිය යුතු බවත්, ශක්තිය පෙන්විය හැක්කේ ලක්ෂ ගනනක් හමුදාව එහි යැවීමෙන් බවත් සිතන කන්ඩායම් මැද පෙරදිග වගේම රිපබ්ලිකන් පක්ෂය තුලත් සිටින බව මම ඔබට සහතික ලෙසම කියා සිටිනවා. අපට සාමය ගෙන ආ හැක්කේ හා කලාපයේ පොලිස්කාරකම කල හැක්කේ එලෙසය. එයින් ඇතිවිය හැක්කේ, එක්සත් ජනපද හමුදාවන්ගේ තව තවත් ජීවිත විනාශයයි. දහස් ගනන් හමුදා භටයින් මිය යාම, දහස් ගනනින් තුවාලකරුවන් බිහිවීම, තවත් ඩොලර් ට්‍රිලියන ගනනක් වැය කිරීම, ඔවුන්ට කිසිදු ප්‍රශ්නයක් නොවේ. අප එය කරනු දැකීමට කැමති මිනිසුන් සිටියි....

අපට ඇති එකම විකල්පය තවත් ලක්ෂයක් හෝ දෙලක්ෂයක් හමුදාව සිරියාවට හෝ ඉරාකයට පිටත්කර හැරීම හෝ සමහරවිට ලිබියාවට නැතිනම් සමහර විට යේමනයට, නම් කෙසේ හෝ දැන් අපගේ ඉලක්කය වනවා ඇත්තේ හුදෙක් පොලිස්කාරකම කිරීම පමනක් නොවේ, කලාපය පාලනය කිරීම ද වන්නේය. ස්ටීව්, එය නරක මූලෝපායකි.”

ඇමරිකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය මෙම වචන අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. ගොත ගසමින් ඔබාමා මෙහිදී ගෙනහැර දක්වන්නේ, සීඅයිඒ, පෙන්ටගන් හා නොයෙකුත් සංගත අධ්‍යක්ෂ මන්ඩල කාමර තුල පුලුල් වශයෙන් සාකච්ඡා කෙරෙන හා සැලසුම් කෙරෙමින් ඇති කාරනාය.

විශේෂයෙන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදය රුසියාව, චීනය වැනි එදිරිවාදීන්ට එරෙහිව මෙන්ම අවසානයේදී ජර්මනිය හා ජපානය වැනි ඇමරිකානු උපරිමාධිකාරයට අභියෝගයක් විය හැකි රට වලට එරෙහි ඊටත් වඩා විශාල යුද්ධ සඳහා සූදානම් කෙරෙන දිග් විජයේ හා අධිරාජ්‍යයේ මෙම සැලසුම්, දැනට පවතින ස්වේච්ඡා හමුදාවන් මඟින් පමනක් ගෙන යා නොහැකිය. ඒ සඳහා බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමේ නීතිය යලි පැනවීම අවශ්‍ය කෙරෙනු ඇත. ලක්ෂ ගනන් තරුනයින් ගෝලීය පරමාධිකාරය වෙනුවෙන් සිදුවන ඇමරිකානු පාලක පන්තියේ උමතු තල්ලුව වෙනුවෙන් මූනිස්සම් සඳහා යොදවා ගැනීම අවශ්‍ය වනු ඇත.

උපායික ගනන් බැලීම්වල පදනම මත වර්තමානයේ ඔබාමා විසින් ප්‍රතිරෝධය දක්වන මෙම වචන වලින් විස්තර කෙරෙන පූර්න යුද්ධය, විශේෂයෙන්ම, 25 වසරකට පෙර සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සමස්ත විදෙස් පිලිවෙතේ තර්කාන්විත හා නොවැලැක්විය හැකි ප්‍රතිපලය වන්නේය.

ඇමරිකාවේ “නව ලෝක නියාමය” යන බැනරය යටතේ ජ්‍යෙෂ්ඨ බුෂ් විසින් 1991දී දියත් කරන ලද ගල්ෆ් යුද්ධයේ සිට, 1990 ගනන්වල බෝල්කන් යුද්ධ ද ඉරාක ආක්‍රමනය හා ලිබියාවේ ද සිරියාවේ ද තන්ත්‍ර මාරුව සඳහා වන යුද්ධ හා යේමනයේ අලුත්ම යුද්ධය ද දක්වා, ඇමරිකානු අධිරාජ්‍යවාදය ඒක පාර්ශවිකව ගෙන යන ලෝක ආධිපත්‍යයේ පිලිවෙත, සිය ආර්ථික පරිහානිය ජයගැනීමේලා සිය මිලිටරි සුපිරි බලය ප්‍රයෝජනයට ගැනීමට දරන උත්සාහයකි.

මෙම පිලිවෙත එකකින් පසුව තවෙකක් වශයෙන් ව්‍යසනයන් ගෙන ආවේය. රුසියාව හා ඉරානය සමග පෙලගැසෙන ඉරාක තන්ත්‍රයක් නිර්මානය කිරීමත් සමඟ එක්ව සිරියානු අර්බුදය හා ඇෆ්ගනිස්ථානයේ ගොඩනඟන ලද වෛරයට පාත්‍රව ඇති රූකඩ ආන්ඩුව ද යන මේ සියල්ල, ලක්ෂ ගනන් ඇමරිකානු හමුදාවන්ගේ සහාය නොලබා පවතිනු නැත.

කෙසේ වෙතත් ඇමරිකානු අධිරාජ්‍යවාදය, එක් හෝ තවත් ප්‍රතිවාදියෙකු විසින් තමන් ඌන පූරනය කරනු නොඉවසනු ඇත. සිරියාවේ හා පුලුල් වශයෙන් මැද පෙරදිග ඇමරිකානු ප්‍රතිපත්තිය, අධිරාජ්‍යවාදයට එරෙහිව කම්කරු පන්තිය ජාත්‍යන්තරව එක්සත් කිරීමේ පදනම මත නව යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීම දැවෙන අවශ්‍යතාවක් බවට පත් කරයි.

Share this article: