දකුනු චීන මුහුදු ප්‍රදේශය තුල වොෂින්ටනයේ ප්‍රකෝපකරන හා තුන්වන ලෝක යුද්ධයේ අවතාරය

Washington’s South China Sea provocation and the spectre of World War III

2015 ඔක්තෝබර් 28

දකුනු චීන මුහුදේ චීනය හිමිකම් පාන භූමි ප්‍රදේශයේ නාවික සැතපුම් 12 සීමාව තුලට ඇමරිකානු නාවික යාත්‍රාවක් ඇතුල් කිරීම, න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර වඩා පුලුල් ගැටුමක් ඇවිලයාමේ තර්ජනය මතුකරන, හිතාමතා සිදු කල හා ඉවබව නැති ප්‍රකෝපකරනයකි.

“නාවික ගමනාගමනයේ නිදහස” වෙනුවෙන් ජාත්‍යන්තර නීතිය යටතේ හුදෙක් සිය අයිතිය ක්‍රියාත්මක කිරීමක්ය යන වොෂින්ටනයේ කියාපෑමට කිසිදු විශ්වාසනීයත්වයක් හිමි නොවනු ඇත. චීනය හා තවත් බොහෝ රටවල් මෙන් ඇමරිකාව, තමන් අනුගමනය කරනවා යයි කියන එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පවා පිලිගෙන නැත. යලි වතාවක් ඇමරිකානු අධිරාජ්‍යවාදය ගොතනු ලැබ ඇත්තේ, සිය මිලිටරිවාදී න්‍යායපත්‍රය, මෙම අවස්ථාවේදී, ආසියාව තුල සිය ආධිපත්‍යය පවත්වාගෙන යාම හා චීනය ඇමරිකාවේ ආර්ථික හා මූලෝපායික අවශ්‍යතාවන්ට යටත්කිරීම පිනිස වන, කඩතුරාවකි.

27දා පැවති කොන්ග්‍රස් හමුවකදී කථාකරමින් ඇමරිකානු ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර්, ඇමරිකාව නීතියට අනුකූලව කටයුතු කර ඇති බව හා ඊනියා ක්‍රියාකිරීමේ නිදහස පිලිබඳ මෙහෙයුම් ඉදිරියටත් සිදුවන බව ද පැහැදිලි කලේය. “අපි පියාසර කරන්නෙමු, යාත්‍රා කරන්නෙමු, ජාත්‍යන්තර නීතියෙන් ඉඩ ලැබෙන ඕනෑම දෙයක් කරන්නෙමු. මෑත දිනවලදී එම කලාපයේ නාවික මෙහෙයුම් සිදුවිය, එලඹෙන සති හා මාසවල තවත් එවන් බොහෝ දේ සිදුවනු ඇත.” ඔහු පැවසීය.

දකුනු ආසියානු අධ්‍යයන පිලිබඳ සිංගප්පූරු ආයතනයේ මූලෝපායික විශ්ලේෂකයෙකු වන ඉයන් ස්ටොරි, එකිනෙක රටවල් හිමිකම් කියන මුහුදු කලාපයට වොෂින්ටනය යුද නැවක් ඇතුල් කිරීමේ බැරෑරුම්කම පෙන්වා දුන්නේය. “ඔවුන් සවිමත් ලෙස ගමන් කර තිබුනි. ඩිස්ට්‍රෝයර් නැවක් දෙවැනි වන්නේ ගුවන්යානා හාරක නෞකාවකට පමනි.” ඔහු ගාඩියන් පත්‍රයට පැවසීය.

සැබවින්ම ඇමරිකානු නාවික හමුදාවට වැඩි ඈතක නැති ගුවන් යානා හාරක නෞකා දෙකක් ඇත. යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් නැව සැපයුම් කටයුතු සඳහා මේ දැන් මැදපෙරදිග සිට දකුනු චීන මුහුදට යාබද සිංගප්පූරුව කරා යාත්‍රා කරමින් තිබේ. යූඑස්එස් රොනල්ඩ් රීගන් නැව ජපානයේ නැංඟුරම්ලා ඇත.

කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී වගවීමක් නැතිව ඇමරිකානු ජනතාවගේ පිටුපසින් ක්‍රියාත්මක වන, ඇමරිකානු මිලිටරියේ හා විදේශ ප්‍රතිපත්ති සංස්ථාපිතයේ යුදවාදී කල්ලියක් විසින් යුද්ධයේ අවදානම දරමින්, චීනයට අභියෝග කිරීමේ තීන්දුව ගෙන තිබේ. ජනතාව ආන්ඩුවේ යුද පිලිවෙතට මුලුමනින්ම විරුද්ධය. මාස ගනනක් තිස්සේ ඇමරිකානු පැසිෆික් ආඥා මධ්‍යස්ථානය දකුනු චීන මුහුද ගොඩකිරීමේ චීන ව්‍යායාමය හෙලා දකිමින් ප්‍රසිද්ධ උද්ඝෝෂනයක් ගෙනගොස් ඇත. අවසානයේදී ඔබාමා ඊට අනුගත වෙමින් මෙහෙයුම සඳහා අවසන් අනුමැතිය පලකොට ඇත.

ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයට කථා කරමින් ඇමරිකාවේ විශ්‍රාමලත් අද්මිරාල් ජේම්ස් ස්ටාව්රයිඩිස් පුලුල් අරමුනු ගැන සඳහන් කලේය. ඇමරිකාව “නැඟී එන කලාපීය බලවතෙකු වන චීනය වෙත, ඒ යාබද ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශ අතහැර දැමීමට සූදානම් නැත.” ඔහු පැවසීය. වොෂින්ටනය එක් අඟලක් හෝ චීනයට අතහැර දැමීමට අකමැතිවා පමනක් නොව ඔවුන්, චීනය අර්ධ යටත් විජිත තත්වයකට සිඳලීමේ අරමුන සහිත “ආසියාවට හැරීම” ලෙස දන්නා ආක්‍රමනකාරී රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා මිලිටරි මූලෝපාය අනුයමින් සිටියි.

ඇමරිකාව, කලාපය පුරා මිලිටරි තරකිරීම් හා මුහුදු ප්‍රදේශ වලට හිමිකම් කියන නැඟෙනහිර ආසියාවේ අනෙකුත් රටවල් හා චීනය අතර බෙදුම්කඩනයක් ඇඳීමේ කඩතුරාවක් සපයා ගැනීම පිනිස, දකුනු චීන මුහුද වැනි අන්තරායකාරී ගිනි පුලිඟු හිතාමතාම දල්වමින් සිටියි. ඇමරිකාව, දශක ගනනාවක් තිස්සේ කලාපය තුල දිග්ගැස්සෙමින් ඇති නාවික කටයුතු පිලිබඳ ගැටුලු නොදුටුවාක් මෙන් සිටි අතර 2010 මැද එරට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, මතභේදයට තුඩුදී ඇති මුහුදු ප්‍රදේශයන් හරහා “නාවික ගමනාගමනයේ නිදහස” රැකීම සිය “ජාතික වගකීමක්” බව ප්‍රකෝපකාරී ලෙස පැවසුවාය.

පසුගිය පස් වසර පුරා වොෂින්ටනය, චීන හිමිකම් පෑමට අභියෝග කිරීමට, විශේෂයෙන්ම ෆිලිපීනය හා වියට්නාමය දිරිමත් කරමින් හා ඊට උදව් දෙමින්, සුලු භූමි ආරාවුල් චීනයට එරෙහි යුද්ධයේ හේතුවක් බවට පත්කරගෙන සිටියි. මෙම රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාරය, ඕස්ට්‍රේලියාව හා ෆිලිපීනය සමඟ නව කඳවුරු සඳහා ඇතිකරගත් එකඟතා ද කලාපය පුරා ආරක්ෂක බැඳීම් ශක්තිමත් කිරීමේ ද 2020 වන විට ඇමරිකාවේ නාවික හා ගුවන් බලඇනි වලින් සියයට 60ක් ඉන්දු-ශාන්තිකර කලාපයේ ස්ථානගත කිරීමේ ද කටයුතු සමඟ අත්වැල් බැඳගෙන ගමන් කරයි.

ප්‍රදේශයට ඇතුලුවීම තහනම් කිරීමේ චීන උපක්‍රම යයි ඔවුන් හඳුන්වන ක්‍රියාවලිය හරස් කපන පෙන්ටගන් සැලසුමේ පලමු අදියර, ඊයේ දිනයේදී දකුනු චීන මුහුදේ චීනය හිමිකම් පාන ප්‍රදේශයට යුද නැවක් පිටත්කර හැරීමය. චීනය ප්‍රති ප්‍රහාර එල්ල කලහොත් චීනය තුලටම විනාශකාරී ගුවන් හා මිසයිල් ප්‍රහාර එල්ල කිරීමේ වඩා පුලුල් ගුවන් සාගර සටන් උපායක කොටසකි එම මෙහෙයුම.

ඇමරිකාවේ යුද ව්‍යායාමය පිටුපස ඇත්තේ ගැඹුරුවන ලෝක ධනවාදයේ අර්බුදයයි. රට තුල කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කරන ප්‍රහාර උත්සන්න කරන අතරතුර, සිය ප්‍රතිවාදීන් පසුබැස්සවීම පිනිස ඉවබව නැතිව මිලිටරි බලය මත වාරුවීම මඟින් ඇමරිකානු පාලක පන්තිය, තමන්ගේ දුබල වන ගෝලීය තත්වය රැක ගැනීමට උත්සාහ කරති.

චීනයට එරෙහි තවදුරටත් කටයුතු කරන බවට අනතුරු අඟවන අතර පවා කාටර් ඊයේ කියා සිටියේ, ගොඩබිම් සටන්වල නිරතවීමට ඇමරිකානු හමුදාවන්ට ඉඩ සලසමින් මැද පෙරදිග සිය යුද්ධය වඩා සවිමත් කරන බවය. එසේම වොෂින්ටනය ආසියාවේ සිදුකරන ප්‍රකෝපකරනයන්ට, නැඟෙනහිර යුරෝපය තුල රුසියාව සමඟ ගැටුමකට නේටෝ හමුදා සූදානම් කිරීමේ කටයුතු සම්පාතවී තිබේ. ලෝකයේ කුමන තැනක හෝ හිතාමතා හෝ එසේ නොමැතිව ඇතිවන සිද්ධියක් දිග්ගැස්සෙන ගැටුමකට හැරීමේ අන්තරාය ලෝකයටම මුනගස්වා තිබේ.

බොහෝකොටම චීනයේ ප්‍රතිචාරය ආරක්ෂක ස්වභාවයක් ගන්නා නමුත් එම රෙජිමයේ කටයුතු තරයේම ප්‍රතිගාමීය. කතිපයාධිකාරී සුපිරි ධනවතුන් කුඩා ස්ථරයකගේ අවශ්‍යතා නියෝජනය කරන, චීනයේ හෝ ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත කිසිදු ආයාචනයක් කිරීමට ඓන්ද්‍රියවම අසමත් බිජිං නිලධාරි පැලැන්තිය, යුද්ධයේ අන්තරායම උත්සන්න කරමින්, මිලිටරිවාදය මත වාරුවන අතර චීන ජාතිකවාදය අවුලුවති. රජය සතු යුදවාදී පුවත්පතක් වන ග්ලෝබල් ටයිම්ස් ඊයේ සිය කතුවැකිය තුල චීන නායකත්වයට කියා සිටියේ, “ආන්තික තත්වයට සූදානම් වන” ලෙසයි. එමඟින් ධවල මන්දිරයට, තමන් “කලාපය තුල එක්සත් ජනපදය සමඟ යුද්ධයක් කිරීමට බිය නැති බව” පෙන්වන ලෙසයි.

ලෝක තත්වය වඩ වඩාත් සමානකම් දක්වන්නේ, පලමුවන හා දෙවන ලෝක යුද්ධ අවධියටයි. මියුනිච් සමුලුව ආසන්නයේ 1938 සැප්තැම්බරයේ දුන් සම්මුඛ සාකච්ඡාවකදී ලියොන් ට්‍රොට්ස්කි, ගැටුමට තුඩුදෙන සිදුවීම් පිලිබඳ වෛෂයික තර්කනය පැහැදිලි කලේය. “මේ වතාවේදීත්, කුනුවූ සම්මුතියකට එලඹීමට රාජ්‍ය තාන්ත්‍රිකය සමත් විය හැකිය. එහෙත් එය වැඩි කලක් නොපවතිනු ඇත. සමහරවිට ඉතා නුදුරු අනාගතයේදී ඇතිවන යුද්ධය නොවැලැක්විය හැකිය. සෑම නව පිපිරීමක්ම ස්වභාවයෙන් අන්තරායකාරී ද බරපතල ද වනු ඇත.” ඔහු පැවසීය.

“සමාජවාදය හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන” යන 2014 ජූලියේ පල කල සිය ප්‍රකාශනය තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ධනවාදයේ එම පරස්පර විරෝධයන්ම පැහැදිලි කලේය. එනම්, එක් අතකින් ලෝක ආර්ථිකය හා යල්පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය අතර ද අනෙක් අතින් සමාජීයවූ නිෂ්පාදනයේ හා නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය ද අතර ප්‍රතිවිරෝධය, යුද්ධයේ ගාමකය වන්නේය. “තවත් අධිරාජ්‍යවාදී රුධිර ස්නානයක හැකියාව පවතිනවා පමනක් නොව, විප්ලවවාදී මාක්ස්වාදී ක්‍රියාමාර්ගයක පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තියේ මැදිහත්වීමක් නොවුනහොත් එය නොවැලැක්විය හැකි ද වන්නේය.” එය අනතුරු ඇඟවීය.

ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශනය යුද විරෝධී ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැඟීමේ දේශපාලන පදනම ද ගෙනහැර දැක්වීය. “සමාජ අසමානතාවයේ වැඩීම, පාලනයේ ආඥාදායක රූපාකාරයන්ට වාරුවීම වැනි කම්කරු පන්තිය මුහුනපා සිටින මූලික ප්‍රශ්න සියල්ල, මෙම අරගලයෙන් නොවෙන්කල හැකි උපාංඟයෝය. යුද්ධයට එරෙහි සටනකින් තොරව සමාජවාදය සඳහා සටනක් නොමැතිවාක් මෙන්ම, සමාජවාදය සඳහා සටනකින් තොරව යුද්ධයට එරෙහි අරගලයක් ද නොමැත්තේය. සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය, තරුනයින් හා පීඩිත ජනතාව තමන් පිටුපස පෙලගස්වා ගනිමින්, අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ විය යුතුය. එනම්, දේශපාලන බලය ගැනීමට සටන් වදින, බැංකු හා ප්‍රමුඛ සමාගම් අත්පත්කර ගන්නා, කම්කරු සමූහාන්ඩුවල සමූහාන්ඩු සංඟමයක් ගොනැඟීමේ කර්තව්‍යය ආරම්භ කිරීමයි.“

වසරක් ඉක්ම ගිය විට එම කර්තව්‍යය වඩාත් හදිසි භාවයකින් මතුව තිබේ. එම අරගලය ඉල්ලා සිටින විප්ලවවාදී නායකත්වය ලෙස, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැඟීමේ අවශ්‍යතාවය එහි හරි මැද පවතී.

පීටර් සිමන්ඩ්ස්

Share this article: