සිරියාව තුල ඇමරිකානු- රුසියානු ඝට්ටනය සහ යුද තර්ජනය

The US-Russian clash in Syria and the threat of war

2015 ඔක්තෝබර් 1

රුසියාව, සිරියාව තුල ඉස්ලාමිය සන්නද්ධ කැරලි කරුවන් ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග වොෂිංටනය විසින් එය තර්ජනාත්මක ලෙස හෙලා දකිනු ලැබීම , සිරියාව තුල දැනට සිදුවෙමින් පවත්නා මහා මනුෂ්‍ය ඝාතනය තවදුරටත් උග්‍ර කිරීම පමනක් නොව ලෝකයේ විශාල තම න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර ඊටත් වඩා භයානක යුදමය ඝටටනයක තර්ජනය ද ඉස්මතු කරයි.

ඔබාමා පලනාධිකරය ද පුටින් ආන්ඩුව ද යන දෙගොල්ලම තම තමන්ගේ යුද බලය සිරියාවට යොදවා ඇත්තේ, ත්‍රස්තවාදයට එරෙහි වඩා පුලුල් සටනක කොටසක් ලෙස සිරියාවේ ඉස්ලාමිය රාජ්‍යය (අයිඑස්අයිඑස් ) ට එරෙහිව බව කියා සිටිති. ඔවුන් කියන්නේ බොරු ය.

අයිසිස් සංවිධානය නිර්මානය කල වොෂිංටනය දැන් සිරියාව තුලට අත පොවා ගෙන සිටින්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ද එහි ප්‍රමුඛ ප්‍රාදේශීය සහචරයින් වන සෞදි අරාබිය, තුර්කිය සහ පර්සියානු බොක්කේ තෙල්අධිකාරය දරන ‍ශේක් වරුන්ගේ ද ඉස්රායෙලයේ ද අරමුනු තවදුරටත් තහවුරු කරගැනීම සඳහා ය. මේ සඳහා සිරියානු ජනාධිපති හෆෙස් අල් අසාද් පෙරලා දමා සිය උවමනාකම් වලට යටත් රුකඩ ආන්ඩුවක් සිරියාව තුල බලයට පත් කිරීමට ඔවුන්ට උවමනා වී ඇත.

සිරියාවේ දී මොස්කව් පාලකයන්ගේ ප්‍රධාන එල්ල ය වී ඇත්තේ ත්‍රස්තවාදය අහෝසි කිරීම නොව, අසාද් ඇතිව හෝ නැතිව ඔහුගේ පාලනය බලයේ තබාගැනීමය- එමගින් මැදපෙරදිග තම එකම මිතුරා සහ රුකුල පවත්වා ගැනීමය. පැරනි සෝවියට් සංගමයයේ ප්‍රදේශ වලින් පිටස්තරව රුසියාවට තිබෙන එකම නාවුක කඳවුර පිහිටා තිබෙන්නේ සිරියාවේ ය.

එකම සතුරාට, එනම් අයිසිස් සංවිධනයට එරෙහිව සටන් කරනවා යයි කියාපාන ප්‍රමුඛ විදේශීය යුද බලවතුන් දෙගොල්ල ඇත්ත වශයෙන්ම පොරවැටී සිටින්නේ මුලුමනින්ම ප්‍රතිමුඛ අරමුනු උදෙසාය. එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයට වඩා යන්තමින් ලොකු වූ රටක් තුල ය මෙම ප්‍රතිමල්ල බලවතුන් දෙදෙනා ගුවන් ප්‍රහාරක යුද මෙහෙයුම් වල නිරතව සිටින්නේ. දෙගොල්ල අතර සන්නද්ධ ගැටුම් ඇතිවීමට තිබෙන ඉඩකඩ ඉතා වැඩිය.

පුටින්ගේ ආන්ඩුව සිරියාවට අත දමන්නේ මන්ද යන්න ට ඉතා පැහැදිලි හේතු ඇත. අසාද් පෙරලා දැමීමේ මෙහෙයුම සාර්ථක කරගැනීමට වොෂින්ටනය සමත් වුව හොත් එමගින් රුසියාව වට කොට, දුබල කර දැමීමේ ඇමරිකානු පරිශ්‍රමය තීව්ර වී මුලු රුසියාවම කැබලි කර දැමීමට මග පෑදෙනු ඇති යයි මොස්කව් පාලනය බියවෙයි. චෙච්නියාවෙන් සහ තවත් කොකේසස් ප්‍රාන්තවලින් සිරියාවට පලාවිත් ඉස්ලාමිය සටන්කරුවන්ට එකතුවී සිටින දහස් ගනනක් මොස්කව් පාලනයට එරෙහිව බෙදුම්වාදී කැරලි ඇරඹීම සඳහා, ඇමරිකාව, සෞදි අරාබිය, කටාර්, යනාදී පාලනයන්ගේ ආධාර ඇතිව ආපසු යැවෙනු ඇත. මොස්කව් පාලනය විසින් ලෝක යුද්ධ දෙකක් තුල චෙචන් ජනයා මෘග ලෙස මර්දනය කිරීම එවන් ව්‍යාපෘතියකට සරු පසක් සපයාදී තිබේ.

එපමනක් නොව අසාද් පාලනය ඉවත් කිරීම සමස්ත මැද-පෙරදිග ම ඇමරිකානු ආධිපත්‍ය තහවුරු කොට , කටාර් සිට කෙලින්ම බටහිර යුරෝපීය වෙලඳපලට තෙල් සැපයිය හැකි අලුත් නල මාර්ගයක් සඳහා මග පෑදෙනු ඇත. එමගින් රුසියානු ඉන්ධන සමාගම් වල ආසක්තයන්ට පහර වැදෙනු ඇත.

රුසියාව සිරියාවට අත පෙවීමේ ආරක්ෂක ස්වභාවයක් පවතින නමුදු , එම මැදිහත් වීම තරයේම ප්‍රතිගාමීය. එය යොමු වී ඇත්තේ සිරියාවේ ජනයා ආරක්ෂාකිරීමට නොවේ. නැතිනම් රුසියාවේම වැඩ කරන ජනයා ආරක්ෂා කිරීමට ද නොවේ. ඒ වෙනුවට , එය එල්ලවී ඇත්තේ පුටින් තන්ත්‍රය විසින් නියෝජනය කරනු ලබන රුසියානු පාලක ප්‍රභුවේ ආසක්තතා සුරක්ෂිත කිරීමටය.

සෝවියට් සංගමය විසුරුවා හැරීම, සහ කම්කරු පන්තිය දිලිඳු බවට ඇද දමා එ මගින් පෝසත් වුනු සාපරාධී කතිපයාධිකාරි පන්තිය ලෝක තලයේ ප්‍රගතිශීලි ක්‍රියාවක් කිරීමට ඓන්ද්‍රියවම අසමත් ය. මෙවන් කොම්ප්‍රදෝරු පාලනයක් අධිරාජ්‍යවාදයෙන් සැබෑ ස්වාධීනතත්වයක් පවත්වා ගැනීමටද සමත් නොවේ.

පසු ගිය බදාදා රුසියානු ඔර්තොඩොක්ස් පල්ලිය මොස්කව් අත පෙවීමේ ප්‍රතිගාමී ස්වාහාවය ඉතා පැහැදිලිව සාරාංශ කොට ඉදිරිපත් කලේ ය. “ එය ශුද්ධ යුද්ධයක්” බව පවසමිනි.

ඒ ටික කී පසු , අප විසින් තරයේ පැහැදිලි කල යුතු දෙය නම් , වොෂිංටනය විසින් රුසියාවේ ක්‍රියා හෙලාදැකීම වංචනික බවෙන් ඔබ්බට යන බවය. බදාදා ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් රුසියානු ගුවන් ප්‍රහාර “ගින්නට පෙට්‍රල් දැමීමක්” බඳු යයි කිවේ ය.

ගින්න අවුලුවාලුයේ වොෂින්ටනය, සහ මෙම ප්‍රදේශය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධාන සහකරුවන් වන සෞදි රාජාන්ඩුව , සහ ප්‍රදේශයේ තෙල් නිපැයුම පාලනය කරන අනෙකුත් ශේක් රාජ්‍ය විසිනි. තමන්ගේම අවශ්‍යතා වෙනුවෙන් සටන් වැද ඉන්න බවක් එක්සත් ජනපදය විසින් කියනු ලබන ඉස්ලාමිය කැරලි කන්ඩායම්, සන්නද්ධ කර, අරමුදල් සපයා ආධාර ලබාදී යුද්ධයේ කුලීකාර ගොඩබිම් බලකායන් ලෙස යොදාගන්නේ, ලිබියාවේ මෙන්ම, සිරියාවේ ද තන්ත්‍රමාරුව සඳහා කෙරෙන සටනකටය.

“රුසියානු හමුදා ප්‍රහාර අයිඑස් අයිඑස් සංවිධානය නැති තැන් වල ද එල්ල කරන ලදි” යනුවෙන් ප්‍රකාශ කල කාටර් ද අනෙකුත් ඇමෙරිකානු නිලධාරීහු ද ප්‍රහාර හුදෙක් අයිසිස් සංවිධානයට පමනක් සීමා කිරීමට අසමත් වීම ගැන රුසියාවට චෝදනාකරති.

“ඔවුන් පහර දුන්නේ (අයිඑස් අයිඑස් සංවිධානය) නො සිටි තැන වලටය” යි කටාර් කිවේ ය. ඔහු මේ අපුරු බාසාව යොදාගත්තේ එම තැන්වල ඇත්තවශයෙන්ම සිටියේ සිරියාවේ අල් ඛයිඩා ශාඛාව වූ අල් නුස්රා ෆ්‍රන්ට් ය යන්න වසං කිරීමට එක්සත් ජනපද බලධාරීන්ට පවත්නා උවමනාව නිසා ය. ඇමරිකානු මිලිටරිය විසින් පුහුනු කර සන්නද්ධ කර සිරියාවට යවා ඇති මෙම ඊනියා කැරලිකරුවන් එහි ලඟාවූ වහාම සිය අවි බාරදී අල් නුස්රාවට බැඳී ඇත්තේ වරක් දෙවරක් නොවේ. “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” හැටි එලෙසය.

ඇමරිකා එක්සත් ජනපදය යෙදී සිටින්නේ දැනටම ගෝලීය පරිමානව රටවල් ගනනාවක් වනසා ඇති අනන්ත යුද්ධ පිලිවෙතක ය. මේ සතියේ තලිබන්වරුන් විසින් ඇෆ්ඝනිස්ථානයේ කුන්දුස් නගරය අල්ලා ගැනීමෙන් ද ඇමරිකාව ඇෆ්ඝනිස්තානය ආක්‍රමනය කොට වසර 14 කට පසුව ද 10,000 ක් ඇමෙරිකානු සොල්දාදුවන් එහි රඳවා තැබීමට සිදුවී තිබීමෙන් ද පෙන්නුම් කරන්නේ එය යි.

ගෝලීය යුදවාදයේ මෙම පිලිවෙත රුසියාව සමග ඍජු යුද්ධයක් කරා පෙරලී යාමේ ඉඩකඩ සැබවින්ම පවතී. සිරියාවේ එක්සත් ජනපද ආධාරලත් කැරලිකරුවන්ට පහර දෙන ඕනෑම් බලයකට එරෙහිව තම යුදබලය යෙදීමට තම යුද පටිපාටිය වෙනස් කරගත් බව පෙනටගනය පසු ගිය මාසයේදී දැනුම් දුන්නේ ය. වොශිංටනයේ මිතුරෝ ද, මේ අතර, මෙවන් තර්ජන කර ඇත. ඍජු යුදමය ආක්‍රමනයක් කිරීමට සෞදි පාලනය තර්ජනය කරයි. මේ සතියේ ම බෝම්බ දැමීම අරඹා ඇති ප්‍රන්සය, තම පහර හුදෙක් අයි එස් අයිඑස් සේනාංක වලට පමනක් නොව රුසියානුවන් සහාය දක්වන සිරියානු පාලනයට ද එල්ල කරන බව ප්‍රකාශ කර ඇත.

පසුගිය අවුරුද්දේ පසුගිය වසරේ යුක්රේනයේ සිදු කරන ලද බටහිර ආධාර ලත් බල කොල්ලයෙන් පසුව එක්සත් ජනපදය සහ නැටෝව සිය යුද සුදානම නැගෙනහිර යුරෝපය හරහා උග්‍රකර ඇත. රුසියාව ද තම රටේ බටහිර මායිම් දිගේ හමුදා තර කරගෙන සිටී.

සෝවියට් සංගමය විසුරුවා හැර ශතවර්ෂ කාලක් ගතවත්ම යුදමය ප්‍රතිමුඛ තාවය න්‍යෂ්ටික යුද්ධයක් පුපුරුවා හැරීම කරා පැතිර යාමේ තර්ජනය ඉතිහාසයේ අන් කවර කලකටත් වඩා උග්‍රව ඇත.

“ජාතන්තර කම්කරු පන්තිය සිරියාවේ මිනිස් ඝාතනය ට ද ලෝක යුද තර්ජනයට ද විරුද්ධ විය යුත්තේ තමන්ගේ ම විධික්‍රමයෙනි. රුසියාව හෝ වෙනත් කුමන ධනේශ්වර බලයක් විසින් හෝ කෙරෙන මැදිහත් වීමකට බිංදු මාත්‍ර හෝ සහයෝගයක් දිය යුතු නැත. ට්‍රොට්ස්කිගේ වචන වලින් කිවහොත්, “අප බැලිය යුත්තේ යුද සිතියම් නොව පන්ති අරගල සිතියමයි.”

ඉරාකය , සිරියාව, සහ මුලුමහත් මැද පෙරදිගින් විදේශීය හමුදා ඉවත් කිරීමට කම්කරුවන් සටන් කල යුතු වේ. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඇෆ්ඝනිස්ස්ථානයේ ද, ඉරාකයේ ද, ලිබියාවේද සිරියවේ ද කරගෙන යන යුද ආක්‍රමන පරාජය කල හැක්කේ කම්කරු පන්තිය සිය සටන ආගමික, වාර්ගික සහ ජාතික සීමාවන් හරහා කපාගෙන යන පරිදි ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය සඳහා එකාබද්ධ කිරීමෙන් ම පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: