සිරියාව හා ලෝක යුද්ධයේ බෙර හඬ

Syria and the drumbeat of world war

2015 ඔක්තෝබර් 08

සැතපුම් 900ක් දුර කැස්පියන් මුහුදේ රඳවා ඇති යුද නැව් වල සිට කෲස් මිසයිල 26ක් එල්ල කරමින් රුසියාව, සිය සතියක ගුවන් ප්‍රහාර අවසන් කිරීමත් සමඟ ඇමරිකාවේ හා යුරෝපීය පාලක කවයන් ගේ ප්‍රතිචාරය වී ඇත්තේ, ලෝක යුද්ධය පවා අන්තර් කරගත් වඩාත් අනතුරු දායක ගැටුමක තර්ජන, අනතුරු ඇඟවීම් සහිත පැතිර යන යුද බෙර හැඬවීමකි.

සිරියවේ ගුවන් ප්‍රහාර සඳහා නියෝග දුන් ප්‍රන්ස ජනාධිපති ප්‍රන්සුවා ඔලන්ද්, එරට තුල සිදුවීම් යුරෝපයටවත් “රැකවරනයක්” නැති “පූර්න යුද්ධයක්” කරා විහිද යාමේ හැකියාව ගැන 7දා යුරෝපීය නායකයින්ට අනතුරු ඇඟවීය.

රුසියානු යුද ගුවන්යානා තුර්කි ගුවන් සීමාවට කඩා වැදුනා යයි චෝදනා එල්ලවී ඇති සිද්ධිය අල්ලා ගනිමින් තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් ඊඩොගන් පැවසුවේ, “තුර්කියට පහරදීමක අර්ථය නේටෝවට පහර දීමක්” බවය. තුර්කියට හෝ වෙනත් සාමාජික රටකට පහර දීමකට එරෙහිව සන්නද්ධ ප්‍රතිචාර දැක්වීමට කැපව සිටින ඇමරිකාව ප්‍රමුඛ මිලිටරි සන්ධානයේ උතුරු අත්ලාන්තික් ගිවිසුමේ පස්වන ලේඛනය ඔහු විශේෂයෙන් උපුටා දැක්වීය.

සිරියාව වනසා දමා ඇති අයිසිස් හා අල් නුස්රා වැනි ඉස්ලාමීය මිලිෂියාවන්ට සහාය දෙන ප්‍රධාන බලවේගය වන තුර්කි ආන්ඩුව, ඉරාකයේ කුර්දි කඳවුරු වලට බෝම්බ හෙලමින් ද සිරියාවේම භූමිය තුල සිරියානු ගුවන් යානා වෙඩි තබා බිම හෙලමින් ද තමන්ගේම අසල්වැසියන්ගේ ගුවන් සීමාවන් තුලට බලහත්කාරයෙන් කඩා වදියි.

නේටෝ නිලධාරීහු ද මොස්කෝව හෙලා දකින යුදවාදී ප්‍රකාශ නිකුත් කරති. නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් චෝදනා කලේ තුර්කි ගුවන් සීමාවට රුසියාවේ කඩා වැදීම “අහම්බ සිද්ධියක් ලෙස නොපෙනේ” යනුවෙනි. “සිදුවීම්, හදිසි අනතුරු හා අන්තරායකාරී තත්වයන් නිර්මානය කල හැකිය. එබැවින් එවැන්නක් යලි සිදු නොවන බවට වග බලා ගැනීම වැදගත්ය.”

06දා වොෂින්ටනයේ සිට කථාකරමින්, ඉතාලියේ නේපල්ස්හි නේටෝ ඒකාබද්ධ බල ආඥාපති, නාවික අද්මිරාල් මාක් ෆර්ගියුසන් රුසියාවට චෝදනා කලේ, ආක්ටික් කවයේ සිට මධ්‍යධරනී මුහුද දක්වා “වානේ ආරුක්කුවක්” ගොඩනඟන බවටය. 1946දී වින්ස්ටන් චර්චිල් “අයෝමය තිරය” පිලිබඳව කල කථාව හිතාමතා අර්ථ ගැන්වීම, බලවේගයන්ගේ සැබෑ සම්බන්ධතාව උඩු යටිකුරු කරයි. විසිපස් වසරකට පෙර සෝවියට් සංඟමය විසුරුවා හැරීම හමුවේ වොෂින්ටනය හා නේටෝව විසින් නිර්දය ලෙස රුසියාව වැටලීම ඒ මඟින් වසං කරයි.

නේටෝව මුහුනදෙන “වඩාත්ම අන්තරායකාරී තර්ජනය” ලෙස රුසියාව නම් කරමින් අද්මිරාල් ෆර්ගියුසන්, මොස්කෝව සම්බන්ධයෙන් වඩා ආක්‍රමනික පිලිවෙතක් කැඳවුම් කරයි. සැබෑ ලෝක මෙහෙයුම් වලදී, කැඳවූ විගස “ මුදාහල හැකි මිලිටරි බලය” හා එය සතු “යුද සටනේ දක්ෂතා” ශක්තිමත් කිරීම ඔහු ඉල්ලා සිටියි.

ඇමරිකානු පාලක සංස්ථාපිතයේ හා එහි විස්තෘත මිලිටරි ඔත්තු සේවාවන්හි බලගතු කොටස්වල චින්තනය නිසැකවම පිලිබිඹු කරන හිටපු ඉහල පෙලේ ඇමරිකානු නිලධාරීහු, රුසියාව සමග ගැටුමක් සඳහා කරන කැඳවුම් වලට බර තබති.

ෆිනෑන්ෂල් ටයිම්ස්හි පල කල ලිපියක් තුල, කාටර් පාලනයේ ජාතික ආරක්ෂක උපදේශකව සිටි හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දිගු කාලීන මූලෝපායඥයෙකු වන සිබිග්නිව් බ්‍රෙසන්ස්කි, සීඅයිඒ පිටුබලය ලබන ඉස්ලාමීය මිලිෂියාවන්ට රුසියාව එල්ල කරන ප්‍රහාර කෙරෙහි “ඇමරිකාවේ ප්‍රතික්‍රියාව ඉක්මන් කල යුතු” බව ලියයි. වොෂින්ටනයේ අනෙකුත් අය මෙන්ම ඔහු ද මෙම මිලිෂියාවන් අතර වඩාත් ප්‍රමුඛ, සිරියාවේ සිටින අල් කයිඩාවට සම්බන්ධ අල් නුස්රා සංවිධානය ගැන සඳහන් කිරීමෙන් වැලකී සිටියි.

“සිරියාවේ සිටින රුසියානු නාවික හා ගුවන් බලකායන්, තම නිජ බිමෙන් භූගෝලීයව හුදෙකලාවූ හා ගොදුරු බවට පත්වීමේ හැකියාව සහිත” සහිතව සිටින බවත් “ඔවුන් දිගටම ඇමරිකාව ප්‍රකෝප කරන්නේ නම්, නිරායුධ කිරීමට හැකි” බවත් බ්‍රෙසින්ස්කි උපදේශාත්මකව සඳහන් කරයි. “නිරායුධ” කිරීම යනුවෙන් ඔහු අදහස් කරන්නේ මිලිටරිමය වශයෙන් වනසා දැමීම බව පෙනී යයි.

එලෙසම 2013 මැද වන තෙක් ඔබාමාගේ නේටෝ තානාපතිව සිටි අයිවෝ ඩාඩ්ලර් පොලිටිකෝ වෙත පැවසුවේ: “අපට එහිදී ඔවුන්ගේ මිලිටරි බලයන් අභිමුඛ කිරීමට අවශ්‍ය නම් සපේක්ෂ වශයෙන් සුලු හෝ කිසිදු වියදමක් නැතිව කිරීමේ හැකියාව අපට ඇත. ප්‍රශ්නය වන්නේ පුටින්ගේ ප්‍රතිචාරයයි. මම හිතන්නේ ඔබ පොරොත්තු කාමරෙයේ සිටින්නේ නම් ඔබට එය දැනගත හැකිවන බවයි.”

මේ අතර සිරියානු අන්තර්වාර කටයුතු පිලිබඳ ඔබාමාගේ හිටපු විශේෂ නියෝජිත ෆෙඩ්‍රික් හොෆ්, ලෝකය න්‍යෂ්ටික යුද්ධයක අද්දරට ගෙන ආ, කෘෂ්ෂෙව්ගේ 1962 ඔක්තෝබර් කියුබානු මිසයිල් අර්බුදයේ අවධිය සමග පුටින්ගේ කටයුතු සංසන්දනය කරයි. “ වසර 50ට පෙර ඔහුගේ පූර්වගාමියා මෙන්ම ඔහු ද (පුටින් ද) ඇමරිකානු ජනාධිපතිගේ පාර්ශවයෙන් දුබලකමක් දකිනවා ඇත. ඔහුගේ පූර්වගාමියා මෙන්ම ඔහු ද එක්සත් ජනපදය සමග පොර ඇල්ලීම ඇඟට ගුන නැති බව දැනගන්නවා ඇත. එහෙත් එවන් අවදානම් දැරීම හැම විටම අන්තරාදායක වනු ඇත.”

මෙම සාකච්ඡාවන්හි නොවරදින ඇඟවුම් උකහා ගනිමින් ෆිනෑන්ෂල් ටයිම්ස්හි ප්‍රධාන විදෙස් කටයුතු ලේඛකයා වන ගිඩියොන් රැක්මන්, සිරියානු ගැටුම ස්පාඤ්ඤ සිවිල් යුද්ධය සමග සසඳයි. “එවැනිම කුලීකාර යුද්ධයක් අද සිරියාව තුල සිදුවෙමින් ඇත. රුසියානු හා එක්සත් ජනපද ගුවන් හමුදා රට තුල ඉලක්ක වෙත පහර දෙන අතර විදෙස් සටන්කරුවන් එහි ඇදී එමින් සිටියි. 1930 ගනන්වල ස්පාඤ්ඤයේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්ට සහාය දුන් රටවල්, 1940 ගනන් වන විට කෙලින්ම එකිනෙකාට එරෙහිව සටන් කරමින් සිටියහ. සිරියානු ගැටුම ඉරානය හා සව්දි අරාබිය සමග හෝ රුසියානුවන් හා ඇමරිකානුවන් අතර සෘජු ගැටුමකට තුඩුදීම පිලිබඳ ප්‍රශ්නය නොසලකා හැරිය නොහැකිය.” ඔහු ලියා ඇත.

රුසියානු රාජ්‍යයේ හා එරට බල ශක්ති සංගත නියෝජනය කරන කතිපයාධිකාරී පාලක පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා දියත්කර ඇති රුසියානු මැදිහත්වීම, සිරියාව තුල තන්ත්‍ර මාරුවක් හරහා මැද පෙරදිග සිතියම යලි ඇඳීමේ දශක ගනනාවක් තිස්සේ පවතින ඇමරිකානු සැලැස්මට හරස් කපන බැවින්, එම අන්තරාය නිසැකවම පවතින්නේය.

කුලී ගොඩබිම් හමුදාවන්ගේ පිටුබලය ඇතිව සිරියාව තුල තන්ත්‍ර මාරුවක් පිලිබඳ යෝජනාව ගෙන ආවේ දශක දෙකකට පෙරය. “පැහැදිලි බිඳීමක්: අධිරාජ්‍යය රැක ගැනීම සඳහා නව මූලෝපායක්” යන මාතෘකාව සහිත ලියවිල්ලක් එවක ඊස්රායල් අගමැතිව සිටි බෙන්ජමින් නෙතන්යාහු වෙනුවෙන් පිලියෙල කරනු ලැබුවේ රිචඩ් පර්ලි, ඩග්ලස් ෆිත් හා ඩේවිඩ් වූම්සර් යන අධ්‍යයන කන්ඩායම විසිනි. එම තිදෙනාම පසුව බුෂ් පාලනයේ ඉහල තනතුරු වලට පත්වූ අතර ඉරාකයට එරෙහි ඇමරිකාවේ ආක්‍රමනකාරී යුද්ධය දියත් කිරීමේ කුමන්ත්‍රනයට දායක වූහ.

විකි ලීක්ස් විසින් ලබාගෙන මෑතකදී නිකුත් කල රහසිගත ලේඛනයක්, අඩුම තරමින් වසර පහකට පෙර සිරියානු සිවිල් යුද්ධයක් ඇවිලවීම මඟින් තන්ත්‍ර මාරුවක් සිදුකිරීමට ඇමරිකාවේ ක්‍රියාශීලී සූදානමක් පැවති බව තහවුරු කර තිබේ. ඩැමස්කසයේ අමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රධානියා විසින් යැවූ රහසිගත වාර්තාවකින්, වොෂින්ටනයට උපයෝගී කරගත හැකි සිරියානු ආන්ඩුවේ “දුබල තැන්” ගෙනහැර දක්වා තිබුනි. ලැයිස්තුවේ ඉහලින්ම දක්වා තිබුනේ, “ඉරාන අනුහස පිලිබඳව සුන්නි වරුන් තුල බිය ජනිත කිරීම” මඟින් නිකායික ගැටුම් නිර්මානය කර එහි වාසිය ගනිමින් ඉස්ලාමීය අන්තවාදය සඳහා කොන්දේසි ඇති කිරීමය.”

ඇමරිකාවේ ආක්‍රමනය හා වොෂින්ටනයේ බෙදා පාලනය කිරීමේ උපාය මඟින් නිර්මානය කල ඉරාකයේ නිකායික කාකොටා ගැනීමේ ව්‍යසනය උපරිමයට පැමින තිබුනු 2006දී ලියන ලද ලේඛනය ගැන සලකන කල, එම යෝජනා රුධිර ස්නානයක් කුපිත කරවන බව හොඳින්ම දැනගෙන කරන ලද බව පැහැදිලිය. දශකයකට පමන පසුව මෙම පිලිවෙතේ කටුක ප්‍රතිපලය නම්, ලක්ෂ තුනක් පමන සිරියානුවන් ඝාතනය වීම, තවත් මිලියන 4ක් රටින් පලා යාමට සැලැස්වීම හා මිලියන 7ක් රටතුල සරනාගත තත්වයට පත්කිරීමයි.

ඇමරිකානු මිලිටරීකරනය පුලුල් කිරීම යුක්තිසහගත කිරීමට සිරියානු ජනතාව මුහුනදී සිටින අවාසනාවන්ත හා ඛේදජනක තත්වය නරුම ලෙස ගසාකමින් වොෂින්ටනය, තෙලින් පොහොසත් මැද පෙරදිග හා සමස්ත ග්‍රහලෝකය පුරාම සිය ආධිපත්‍යය සඳහා වන තල්ලුව අඩපන කිරීමට රුසියාවට ඉඩ නොදීමට අධිෂ්ඨානවත්ව සිටියි.

රුසියාව සමග යුද්ධයකට කැපී ඇති මාවත අහම්බයක් නොවේ. මුල සිටම ඩැමස්කස් රෙජිමය පෙරලා දැමීමේ ඇමරිකානු මැදිහත්වීම අරමුනු කලේ, සිරියානු ආන්ඩුවේ ප්‍රධාන සහචරයින් වන ඉරානය හා රුසියාව දුබල කිරීමය. ඒ එම දෙරටටම එරෙහිව සෘජු ප්‍රහාර සූදානම් කරමිනි.

ඇමරිකානු හා ලෝක ධනවාදයේ ඓතිහාසික අර්බුදය තුල මුල් බැස පවතින ඇමරිකානු මිලිටරිවාදයේ උත්සන්නිය, සෑම දිනකම වඩ වඩාත් සෘජු ලෙස තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධයක අවතාරය මානව වර්ගයා හමුවේ මතුකරයි.

බිල් වෑන් ඕකන්

Share this article: