ගෝලීය පරිමානයේ අර්බුදයක්

A crisis of global dimensions

2015 ඔක්තෝබර් 09

ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2015 ආරම්භයේදී පලකල ලිපියක් තුල, ගෝලීය ධනපති ක්‍රමය වෙලාගෙන ඇති අර්බුදයේ කාල පරාසය පිලිබඳව ලියා ඇත. “ප්‍රධාන භූ දේශපාලනික, ආර්ථික හා සමාජ අර්බුද අතර සාමකාමී විරාමයන් කෙතරම් කෙටි වෙමින් තිබේ ද කිවහොත්, ඒවා විරාමයන් ලෙස පවා හැඳින්විය නොහැකිවී ඇත. අනෙක් අතට අර්බුද හුදෙකලා සිදුවීම් සිදුවීම් ලෙස ප්‍රාදූර්භූත නොවන අතර අඩු හෝ වැඩි වශයෙන් සමකාලීන යථාර්තය පිලිබඳ ස්ථාවර අංඟ බවට පත්ව ඇත.”

2015 අවසන් මාස වලට පිවිසෙමින් තිබියදී, කාල පරාසයන් පමනක් නොව අර්බුදයන්ගේ තීව්‍රතාව ද නව අදියරකට සේන්දු වෙමින් ඇති බව කිව හැකිය. විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම අන් කවරදාකටත් වඩා හදිසි බවක් අත්කර ගනිමින් තිබේ.

ගෝලීය ආර්ථිකය, වසර හතකට පෙර මතුපිටට පුපුරා ආ ප්‍රතිවිරෝධයන් තුල පැටලී ඇත. වෝල් වීදියේ බිඳ වැටීමට ප්‍රතිචාර වශයෙන් ඉදිරිපත්වූ පාලක පන්තියේ පිලිවෙත, ආවෘත අන්තරයකට මුහුනපා ඇත. මූල්‍ය වෙලඳපොලට ගලා ආ මුදල්, වත්කම් බුබුලු නිර්මානය කර තිබුන ද කිසිදු වැදගත් ආර්ථික වර්ධනයක් ඇතිකිරීමට අසමත්ව ඇත. එමෙන්ම ෆෙඩරල් මහ බැංකුවේ හා අනෙකුත් මහ බැංකුවල සැහැල්ලු නය ප්‍රතිපත්තිය දැඩි කිරීමට දරන ඕනෑම උත්සාහයක්, 2008 පරයා යන තරමේ තියුනු භාවයකින් මූල්‍ය කම්පනයන් ඇති කිරීමේ අවදානම ගෙන එයි.

මේ සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, සිය 2015 ගෝලීය වර්ධන පුරෝකථන පහත හෙලූ අතර එය, 2009න් පසු පහතම අගය සලකුනු කරන සියයට 3.1කි. “ලෝක ආර්ථිකය පශ්චාත් යුද කාලීන ගැඹුරුම හා පුලුල්ම පසුබෑමට මුහුනපෑමෙන් පසුව හිස ඔසවන නමුත් වේගවත් හා සම්බන්ධීකරන ගෝලීය වර්ධනයක් කරා යලි ලඟාවීම අවිනිශ්චිතය.” යනුවෙන් පැවසුවේ ජාමූඅ ආර්ථික උපදේශක මොරිස් ඔබ්ස්ෆෙල්ඩ්ය.

මෙය පවතින තත්වය පිලිබඳ සැලකිය යුතු අඩු තක්සේරුවකි. වැඩි දියුනු ධනපති රටවල ආර්ථික වර්ධනය එකතැන පල්වෙයි. පුලුල්ව පැතිරුනු විරැකියාව හා වැටුප් මට්ටම් පහත වැටෙන නැතිනම් එකතැන රැඳී ඇත. ඊනියා “නැඟී එන ආර්ථිකයන්හි තත්වය ඊටත් වඩා නරකය.” ජනාධිපති ක්ලින්ටන් යටතේ ඇමරිකාවේ භාන්ඬාගාර ලේකම්ව සිටි ලෝරන්ස් සමර්ස් 16දා වොෂින්ටන් පොස්ට් පත්‍රයට කල ප්‍රකාශයකින් පාලක පන්තිය මුහුනපා සිටින අර්බුදය පෙන්නුම් කලේය. “ගෝලීය ආර්ථිකය පවත්නේ අනතුරුදායක අඩියකය. ඒවා 2008 ලේමන් බ්‍රදර්ස් බැංකුව කඩා වැටෙන විට තිබුනාට වඩා බොහෝ බරපතලය. සැබෑ පල්වීමේ ගැටලුව එනම්, ඉතාමත් ලිහිල් මූල්‍ය පිලිවෙත් හමුවේ පවා සතුටුදායක අනුපාතයකින් කාර්මික ලෝකයට වර්ධනය වීමට නොහැකිවීම, චීනයෙන් පටන්ගෙන බොහෝ නැඟී එන ආර්ථිකයන් හා ගැටලු මධ්‍යයේ තව තවත් නරක අතට හැරෙමින් තිබේ.” සමර්ස් පවසයි.

ලෝක ආර්ථිකය “ගෝලීය දුෂ්ඨ චක්‍රයක අවතාරයකට” මුහුනපා ඇත. කාර්මික රටවල මන්දගාමී වර්ධනය නැඟී එන ආර්ථිකයන්ට වේදනාකාරී වන අතර එනිසාම, බටහිර රටවල වර්ධනය තවදුරටත් අඩපන කරයි. “ඇන හිටිමින් ඇති වේගයට මඳක් ඉහලින් පවතින කාර්මික ආර්ථිකයන් වුවත් රිනාත්මක ගෝලීය කම්පනයකින් කොරවීමට ඉඩ තිබේ” ඔහු තවදුරටත් පැවසීය.

තීව්‍ර වන ආර්ථික අර්බුදය, නැඟී එන භූදේශපාලනික අර්බුද හා ජාත්‍යන්තර ගැටුම් වලින්, සියල්ලටත් වඩා ඇමරිකානු අධිරාජ්‍යවාදය නිර්දය ලෙස සිය ගෝලීය ආධිපත්‍යය කරා දිවීම මඟින්, උග්‍ර අතට පත්කරනු ලබයි. සියවස් කාලක් තිස්සේ ඇමරිකානු පාලක පන්තිය, භූදේශපාලනික පරිමාව අතින් නොකඩවා ප්‍රසාරනය වන, නිමක් නැති යුද්ධ වලට පැටලී සිටියි. පසුගිය පහලොස් වසර පුරා මිලිටරි මැදිහත්වීම් සිදුකරනු ලැබුවේ, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” බැනරය යටතේය. එය වනාහි ලේ හැලීම් හා ප්‍රචන්ඩත්වය තුලින් මැද පෙරදිග හා මධ්‍යම ආසියාව ප්‍රතිසංවිධානය කිරීම පිනිස ඇමරිකානු මූල්‍ය වංශාධිපතිත්වය විසින් යොදාගන්නා දෘෂ්ටිමය රාමුවයි.

ඇමරිකාව හා එහි සහචරයින් විසින් යටත් කිරීම හෝ තන්ත්‍ර මාරුව සඳහා එකකට පසුව තවෙකක් වශයෙන් රටවල් ඉලක්ක කරයි. ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, සිරියාව හා යේමනය එවැනි රටවල්ය. මෙම අධිරාජ්‍යවාදී යුද්ධ මඟින් නිර්මානය කර ඇති ව්‍යසනය, මැද පෙරදිග පුරා රාජ්‍ය ව්‍යුහයන් මුලුමනින්ම බිඳවැටීමට මඟ පාදා ඇත. එමඟින්, මංමුලා සහගත සරනාගතයින්ගේ ප්‍රවාහයක් නිර්මානය කෙරී ඇත. ප්‍රචන්ඩත්වය හා මර්දනය සමඟින් යුරෝපයේ පාලක පන්ති ඊට ප්‍රතිචාර දක්වති.

මෙහිදී ද අර්බුදය පිපිරුම් ලක්ෂ්‍යයකට පැමින ඇත. මැද පෙරදිග ප්‍රාදේශීය යුද්ධ, ප්‍රධාන බලවතුන් අතර වඩ වඩාත් සෘජු ගැටුම් වලට තුඩුදෙමින් තිබේ. මේ සතියේ ප්‍රන්ස ජනාධිපති ප්‍රන්සුවා ඔලන්ද් පැවසුවේ සිරියානු ගැටුම, “අපගේ ප්‍රදේශයන්ට ද බලපානු ඇති පූර්න පරිමානයේ යුද්ධයක් බවට පත්වීමේ අනතුර ගැබ්කර ගන්නා” බවයි. එනම් යුරෝපයයි.

පසුගිය සතිය පුරා රුසියානු පාලක පන්තිය සිරියාව තුල සිය අවශ්‍යතා, ඇමරිකානු පිටුබලය ලබන ඉස්ලාමීය මිලිෂියාවන් විසින් පෙරලා දැමීමට ඉලක්ක කරගෙන සිටින, ජනාධිපති බෂර් අල් අසාද්ගේ ආන්ඩුවට විවෘතව සහාය දැක්වීමේ තැනට ගෙනැවිත් ඇත. ඇමරිකාව හා නේටෝ බලවතුන් ඊට ආන්තික යුදවාදය සමඟ ප්‍රතිචාර දක්වයි.

09දා බ්‍රසල්ස්හිදී නේටෝ ආරක්ෂක ඇමතිවරුන්ගේ රැස්වීමක කථා කරමින් ඇමරිකානු ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් පැවසුවේ, රුසියානු ව්‍යායාමය, “ප්‍රහාර සම්බන්ධයෙන් බියට පත්ව සිටින රුසියාවටම ප්‍රතිවිපාක ජනනය කරනු ඇති” බවයි. “එලඹෙන දවස් වලදී රුසියානුවන්ට හානි සිදුවීමට පටන්ගනු ඇත.” ඔහු තර්ජනාත්මක ලෙස අනතුරු ඇඟවීය.

රුසියාවට එරෙහි තර්ජන එල්ල කරන අතරම ඇමරිකාව, ආසියාව තුල සිය මිලිටරි උපාමාරු දැඩි කරමින් සිටී. මාධ්‍ය වාර්තාවලට අනුව ඇමරිකාව, චීනය විසින් හිමිකම් කියනු ලබන මුහුදු සීමාවන් තුලට ඉදිරි දෙසතිය තුල යුද නැව් පිටත්කිරීමට සැලසුම් කරමින් සිටියි. චීනය හුදෙකලා කිරීම හා කලාපය තුල එහි අනුහසට වල කැපීමේ විශේෂ අරමුන සහිත, ඇමරිකාව, ජපානය හා අනෙකුත් ආසියානු ආර්ථිකයන් අතර වෙලඳ හා ආයෝජන ගිවිසුමක් වන අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වය නිමාවකට ගෙන ඒමත් සමඟ ඇමරිකාව, මෙම ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට පැන ගත්තේය.

ගෝලීය කරලියේ සිය අවශ්‍යතා අවධාරනය කරන එකම අධිරාජ්‍යවාදී බලවතා ඇමරිකාව පමනක් නොවේ. වර්තමානයේ ඔබාමා පාලනයේ දිරිගැන්වීම් සහිතව ජපානය, සිය මිලිටරි වැඩකටයුතු හා අවි කර්මාන්තය පුලුල් කරමින් සිටියි. ගෝලීය අභිලාෂයන් සහිත ජර්මානු අධිරාජ්‍යවාදය, යලි වතාවක් යුරෝපීය මහාද්වීපය තුල තමන්ගේ අධිපතිකම අවධාරනය කරයි. විසිවන සියවස තුල ඇමරිකාව සමඟ ලෝක යුද්ධ දෙකකට පැටලී ඇති ඔවුන්ට, සිරියාව, ඉරානය, රුසියාව හා චීනය සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ ගැටෙන, තමන්ගේම අවශ්‍යතා පවතියි.

ආර්ථික හා භූදේශපාලනික අර්බුද ධනේශ්වර පාලනයේ ආන්තික අර්බුදයට අතිරේක වශයෙන් එකතුවෙයි. දශක ගනනාවක් තිස්සේ පාලක පන්ති ප්‍රයෝජනයට ගත් පැරනි දේශපාලන සංස්ථා කඩා වැටෙමින් හෝ අර්බුදයට මුහුනපා ඇත. විවිධාකාර ප්‍රකෝටිපතියන්ගේ කථිකයින් විසින් අධිකාරය උසුලන මැතිවරන ව්‍යාපාරයක් හමුවේ, ඇමරිකාව තුල දේශපාලන පද්ධතිය වඩ වඩාත් දුස්සාද්‍ය වෙමින් ඇත.

පාලක පන්තියේ එක් ප්‍රධාන සංස්ථාවක් වන රිපබ්ලිකානු පක්ෂය, දැනට කොන්ග්‍රස් බහුතරයේ නායකයා වන කෙවින් මැකාති, නව කොන්ග්‍රස් කථානායක තරඟයෙන් ඉවත්වීමත් සමඟ දරුනු අර්බුදයකට මුහුනපා සිටියි. මාධ්‍ය වාර්තවන්ට අනුව කොන්ග්‍රසයේ කථානායක තෝරාගැනීම පිනිස රැස්ව සිටි මන්ත්‍රීවරු එම කාරනය දැනගැනීමත් සමඟ “වික්ෂිප්ත” වූහ. මැකාති සිටියේ ජනාධිපති වීමේ පේලියේ දෙවැන්නා ලෙසය.

මේ සියලු අර්බුද වඩාත් ප්‍රගාඪ යම් දෙයක මතුපිට ප්‍රකාශනයන්ය. ඒ වනාහි ලෝක ධනේශ්වර ක්‍රමයේම අර්බුදයයි. මෙම අර්බුදය ලෝක යුද්ධයේ හා ම්ලේච්ඡත්වය කරා ඇද වැටීමේ තර්ජනය මතු කරයි. ඒ සමඟම එය, කම්කරු පන්තිය ජාත්‍යන්තරව රැඩිකලිකරනය වීම ලෙස, ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමේ වෛෂයික පදනම ද නිර්මානය කරයි.

යුද්ධයේ දශක ගනනාවක් ද උග්‍ර අතට හැරෙන ආර්ථික අර්බුදය ද වැඩෙන සමාජ අසමානතාව ද ජාත්‍යන්තරව බිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින්ගේ විඥානයෙහි ඉමහත් වෙනස්කම් ඇතිකර තිබේ. යටින් දිවෙන මෙම සන්තතීන් මතුපිටට කඩා වදිනු ඇත. සෑම තැනකම දැකිය හැක්කේ වැඩෙන නොසංසුන්කම හා සටන් කිරීමේ අභිලාෂයයි.

අර්බුදයේ කාලපරිච්ඡේදයකදී දේශපාලන ප්‍රවනතාවන්හි පන්ති ස්වභාවය වඩා පැහැදිලිව ඉස්මතු වෙයි. වසර ආරම්භයේදී ග්‍රීසිය තුල කප්පාදුවට පලවූ විරුද්ධත්වය, රැඩිකල් වාම සභාගය (සිරිසා) බලයට පත් කලේය. සෑම ආකාරයෙන්ම ව්‍යාජ සමාජවාදී හා ව්‍යාජ වාම සංවිධනයක් වූ එය, ග්‍රීක කම්කරු පන්තිය හා තරුනයින් දුගී භාවයට ඇද හෙලූ බැංකුවල නිර්දේශයන්ට විකල්ප, අනාගතය සඳහා බලාපොරොත්තුව ලෙස පෙනී සිටියේය.

දස මාසයකට පසුව සිරිසාවේ නායක ඇලෙක්සිස් සිප්‍රාස්, යුරෝපීය සංඟමයේ නිර්දේශිත කප්පාදුවේ නව වටයක් ක්‍රියාත්මක කිරීමේ උද්ඝෝෂනයක පෙරමුන ගෙන සිටියි. “අපට අපගේ පටි තදකර ගැනීමට සිදුව ඇතැයි” ආන්ඩුවේ නව අයවැය ඉදිරිපත්කරන අවස්ථාවේ ඔහු පැවසීය. ඒ “මෙරටට අවශ්‍යව ඇති ප්‍රතිසංස්කරන හඳුන්වා දීමට ඉඩ සැලසීම සඳහාය”. මේ අතර තමන්ම කියා ගන්නා “ව්‍යභිචාරී මාක්ස්වාදියා” වන සිරිසාවේ හිටපු මුදල් ඇමති යානිස් වරෝෆකිස්, මාග්‍රට් තැචර් පිලිබඳ සිය මනාපය නිවේදනය කලේය.

ග්‍රීසිය තුල මධ්‍යම පන්තියේ වඩාත් වරප්‍රසාදිත කොටස්වල ව්‍යාජ වාම නියෝජිතයින්, කප්පාදුවේ සම අපරාධකරුවන් ලෙස එලිදරව්වී ඇතුවා පමනක් නොව, ඔවුන් මැද පෙරදිග අධිරාජ්‍යවාදී ක්‍රියාන්විතයන්හි දැනමුත්තන් බව ද හෙලිදරව් කෙරී ඇත. සිරියාවේදී ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය හා ඉන්ටනැෂනල් විව්පොයින්ට් වැනි කන්ඩායම් හා ප්‍රකාශන, ව්‍යසනකාරී නිකායික සිවිල් යුද්ධයක් ඇවිලවීම තුලින් අසාද් තන්ත්‍රය පෙරලා දැමීමට පැනගෙන සිටින සීඅයිඒ සංවිධානය සඳහා “මානව හිමිකම්” යුක්තිකරනයක් සම්පාදනය කරති. ඇමරිකානු පාලක පන්තියේ අමු මිලිටරිවාදී කොටස් පුනරුච්ඡාරනය කරමින් ඔවුහු, අසාද් පෙරලා දැමීම පිනිස ඉක්මනින්ම හෝ ආක්‍රමනකාරී ලෙස ඉදිරියට නොයෑම ගැන ඔබාමා පාලනය විවේචනය කරති.

දේශපාලන ප්‍රතිසන්ධානගත වීමක් ඇරඹී තිබේ. ඒ සමඟ ඉස්මතු කර ඇත්තේ, ජාත්‍යන්තර කමිටුව විසින් සටන් වැදි ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය අතර හරස් කැපීමක් හා කම්කරු පන්තියේ අරගල පුපුරා යාමය. ඇමරිකාවේදී ලෝසවෙඅ, මෝටර් රථ කම්කරුවන්ගේ වැඩෙන ව්‍යාපාරයක් තුල ප්‍රමුඛ භූමිකාවක් ඉටුකර තිබේ. කම්කරුවෝ යෙදී සිටින්නේ තමන් මත පැටවී ඇති වෘත්තීය සමිතිවල මලකුන පෙරලා දමමින් ස්වාධීන මාවතක් සඳහා වන අරගලයකය. මෙය වනාහි, කම්කරු පන්තිය ගෝලීය පරිමාවකින් යලි දිශාවනතිය සෙවීම පිලිබඳ ආරම්භක ලක්ෂනයකි.

පුලුල් වන අර්බුදය, බිඳී විසිර යාමේ ඉහල අවධියක පසුවන ධනවාදය පිලිබඳ නිමිත්තකි. ප්‍රධාන ප්‍රශ්නය වන්නේ: පාලක පන්තිය ම්ලේච්ඡත්වයට හා යුද්ධයට පැන ගැනීම හෝ ලෝක සමාජවාදී විප්ලවය තුල කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව බලමුලු ගැන්වෙන්නේ ද යන දෙකින් වඩා ඉක්මනින් නැඟී එන්නේ කුමක් ද යන්නයි.

මෙම ප්‍රශ්නයට, මානව වර්ගයාගේ අනාගතය සඳහා නව අවධියක් විවෘත කිරීම පිනිස විප්ලවවාදී නායකත්වය ගොඩනැඟීම හරහා කම්කරු පන්තිය තුල සමාජවාදී දේශපාලන විඥානයේ වර්ධනයක් ඇතිකිරීම මඟින් පිලිතුරු දිය යුතුය. එනම් සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කම්ටුව ගොඩනැඟීම මඟින්ය.

ජෝසෆ් කිෂෝර්

Share this article: