යුද විරෝධී ව්‍යාපාරයේ අකල් මරනය

The strange death of the antiwar movement

2015 සැප්තැම්බර් 14

ත්‍රස්තවාදයට එරෙහි සටනේ, මානවවාදී මැදිහත්වීමේ හා “ප්‍රජාතන්ත්‍රය” නඟාසිටුවීමේ නාමයෙන් දියත් කල ආක්‍රමනයේ නිමක් නැති ඇමරිකානු යුද්ධ ලෙස පුපුරා ගිය මිලිටරිවාදය මඟින් මානව වර්ගයාට එල්ලවූ තර්ජනය, වසර 14ට පසුව අද එහි උච්ඡ ස්ථානයට ලඟාවී ඇත.

සිරියාව තුල ජනාධිපති බෂර් අල් අසාද්ගේ ආන්ඩුවට සහාය පිනිස ද ඇමරිකාව පිටුබලය දෙන ඉස්ලාමීය මිලීෂියාවන්ට එරෙහිව ද රුසියාව කර ඇති මැදිහත්වීමට ප්‍රතිචාර වශයෙන් වොෂින්ටනය හා එහි සහචරයින්, යුදවාදී තර්ජන උග්‍ර කර ගැටුම තුලට අලුතෙන් අවි තොග යවා ඇත. ලෝකයේ විශාලතම න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා එකිනෙකාට එරෙහිව පිහිටුවමින් යුද ව්‍යායාමය, කලාපයේ හා ගෝලීය පරිමානයේ ගිනි මැලයක් බවට පත්වීමේ හැකියාව පිලිබඳව පුලුල් අවධානයක් යොමුව ඇත. ප්‍රන්ස ජනාධිපති පසුගිය සතියේ අනතුරු ඇඟවූයේ, සිරියානු ගැටුම “අපගේ කලාපයට ද බලපෑ හැකි පූර්න යුද්ධයක” අවදානම දරා සිටින බවයි. එහි අර්ථය බටහිර යුරෝපයයි.

ආසියාවේදී ඇමරිකාව, චීනයේ නැඟීමට අභියෝග කිරීමේ අරමුන සහිත ප්‍රකෝපකාරී මිලිටරි කටයුතු වලට වඩ වඩාත් පැටලෙමින් සිටියි. බීජිනය හිමිකම් පාන භූමි ප්‍රදේශ වලට සිය යුද නැව් පිටත්කර හරින බව ඇමරිකාව නිවේදනය කර ඇත.

තමා බලයට පත්වීමට පෙර අවසන් කරන බවට ජනාධිපති බරක් ඔබාමා පොරොන්දුවූ නව යටත් විජිත යුද්ධ දෙකකට, යලි ඇමරිකානු හමුදා මැදිහත් කර ඇත. ඉරාකයේ ඇමරිකානු හමුදා තරකර ඇත. ඇෆ්ගනිස්ථානයේ කුන්දුස්හි තලිබාන් ආක්‍රමනය හමුවේ වොෂින්ටනයේ රූකඩ ඇෆ්ගන් හමුදා පරාජය වීමේ කොන්දේසි යටතේ, ඇමරිකානු හමුදා ශක්තිය අඩුකිරීමේ සැලසුම් කපා හැර තිබේ.

මේ මාසයේ මුල වෛද්‍ය කාර්ය මන්ඩල හා රෝගීන් 22ට මරු කැඳවමින්, කුන්දුස්හි දේශසීමාවලින් තොර වෛද්‍යවරු සංවිධානයේ රෝහලකට ඒසී-130 හෙලිකොප්ටර් මඟින් එල්ල කල ප්‍රහාරයත් සමඟ ඇමරිකානු හමුදා තවත් යුද අපරාධයක් සිදුකර තිබේ.

ලෝකය පුරා මෙන්ම ඇමරිකානු ජනතාවගේ අති මහත් බහුතරයක් ද යුද්ධයට විරුද්ධය. එහෙත් මෙම ගැඹුරට විහිද යන මනෝ භාවයට වත්මන් දේශපාලන වාතාවරනය තුල ප්‍රකාශනයක් අත්කර ගත නොහේ. ඇමරිකාව ඉරාකය ආක්‍රමනය කිරීමට ඔන්න මෙන්න කියා තිබිය දී 2003 පෙබරවාරියේදී ශක්තිමත් ලෝක බලවේගයක් ලෙස, දශ ලක්ෂ සංඛ්‍යාත යුද විරෝධී පෙලපාලි පැනනැඟුන නමුත් එය යලි දක්නට ලැබුනේ නැත. ආක්‍රමනයෙන් ඉක්බිතිව හටගත් සීමිත යුද විරෝධතා ද නිමාවී බොහෝ කල්ය.

යුද විරෝධී ව්‍යාපාරයේ මෙම මලගම විස්තර කල හැක්කේ කෙසේ ද? එය වැඩකරන ජනතාව අතර විරුද්ධත්වයේ සැර බාලවීමක ප්‍රකාශනය නොවීය. ඒ වෙනුවට එහි අවසාන වගකීම පැවරෙන්නේ, පූර්වයෙන් විරෝධතා ව්‍යාපාර මෙහෙයවූ අය මතය. ඔවුන් කිසිසේත්ම ඒ ජාතියේ නොවුන ද එලෙස පෙනී සිටි ව්‍යාජ වාම දේශපාලන ප්‍රවනතා වූ අතර පසුව රැඩිකල්, අධිරාජ්‍ය විරෝධී හා ධනේශ්වර විරෝධී සිය වෙස්මුහුනු ගලවා දැමූහ.

ඇමරිකාවේදී මෙම ප්‍රවනතා යුද විරෝධී මනෝගතීන්, එරට මූල්‍ය ප්‍රාග්ධනය නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස පෙලගැස්වීමට හිතාමතාම වැඩ කලහ. සෑම මැතිවරන කාලයකදීම ඔවුහු මෙම විරෝධතා පසුබැස්සවීමට වැඩ කල අතර ඔබාමා ධවල මන්දිරයට පැමිනි කල මුලුමනින්ම අතහැර දැමූහ.

මෙය ඇමරිකානු ජනාධිපතිගේ අතපෙවීම නිසා සිදුවූ දෙයක් පමනක් නොව, ව්‍යාජ වාම ප්‍රවනතාවන්ගේ දේශපාලනයම වීම කැපී පෙනේ.

මෙම කන්ඩායම් ප්‍රධානකොටම මතුව ආවේ, 1960 හා 70 ගනන්වල වියට්නාම් යුද්ධයට එරෙහිව පැන නැඟුනු මහජන විරෝධතා තුලින්ය. මධ්‍යම පන්තික කොටස් විසින් හසුරුවන ලද මේවා, ඇමරිකාව බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම අත්හිටුවීමත්, හමුදා ඉවත්කර ගැනීමත් සමග වේගයෙන් දියවී ගියේය.

ඔවුන්ගේ දේශපාලනය මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්වල පන්ති අවශ්‍යතා තුල ගැඹුරින් මුල්බැස තිබුනු තතු හමුවේ, පසුකාලීනව සිදුවූ ඔවුන්ගේ දක්ෂිනාංශික පරිනාමය පාලක පන්තිය විසින්මත් වටහාගනු ලැබ තිබුනි. මෙම ස්ථරයන්ගේ පෞද්ගලික වාසනාව, මූල්‍ය පරපුටුකම වැඩී යාමේ නිමැවුමක් වූ, කොටස් වෙලඳ

පොල හා දේපල මිල ගනන් සමඟ බැඳී තිබුනු, ඇමරිකානු මිලිටරිවාදයේ පිපිරී යාම සමග ඉහල ගියේය.

ඇමරිකානු අධිරාජ්‍යවාදය සඳහා වන මෙම නව සමාජ වාතාවරනය, “මානව හිමිකම්” පිලිබඳ නරුම බැනරය යටතේ, වමෙන් සහාය දීමට තල්ලුවී ගිය විශාල කොටස් තුලින් ප්‍රකාශයට පත් විය. එය 1990 ගනන්වල යුගෝස්ලාවියාව කැබලි කල, බටහිරෙන් උලුප්පන ලද, සිවිල් යුද්ධ තුල සිදුවූ අධිරාජ්‍යවාදී මැදිහත්වීම හමුවේ ප්‍රකාශයට පත් විය.

ඇමරිකාවේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය (අයිඑස්ඕ) දේශීය දේශපාලනය තුල, වාම ප්‍රතිසංස්කරනවාදය වැලඳ ගත්තේය. එය ඩිමොක්‍රටික් පක්ෂයේ කොටස්, මධ්‍යම පන්තියේ ලිබරල් තට්ටු, ශාස්ත්‍රාලිකයින් හා වෘත්තීය සමිති නිලධරය සමඟ අත්වැල් බැඳගති.

කෙසේ වෙතත් එහි විදෙස් පිලිවෙත තුල එහි පන්ති ස්වභාවය වඩාත් නග්න ලෙස දැකිය හැකි විය. මෙහිදී ඔවුහු යුද්ධයේ වඩාත්ම උමතු උපදේශකයින් වූ අතර වඩාත් ආක්‍රමනික ලෙස මිලිටරි මැදිහත්වීම් වෙනුවෙන් පෙනී සිටි රාජ්‍යයේ, පෙන්ටගනයේ හා සීඅයිඒ කොටස් සමඟ පෙල ගැසුනෝය.

ප්‍රන්සයේ අධිරාජ්‍ය විරෝධී පක්ෂය (එන්පීඒ) හා ජර්මනියේ වාම පක්ෂය වැනි යුරෝපයේ සිය සහචර සංවිධාන සමග අත්වැල් බැඳ ගනිමින් ඔවුහු, මානව හිමිකම් කඩතුරාවට මුවාවී ලිබියාවේ ද දැන් සිරියාවේ ද තන්ත්‍ර මාරුව වෙනුවෙන් වූ අධිරාජ්‍යවාදී යුද්ධයන්ට සහාය දෙති. මැද පෙරදිග වඩාත්ම ප්‍රතිගාමී පාලන තන්ත්‍රයන් වන සව්දි අරාබිය, තුර්කිය හා කටාර් රාජ්‍යයන් හා ඇමරිකාව පිටුබලය සපයන ඉස්ලාමීය මිලීෂියාවන්ගේ මිලිටරි මෙහෙයුම් “විප්ලව” ලෙස පින්තාරු කිරීම තරම් දුර ඔවුන් ගමන් ගෙන ඇත. එවැනිම සැලකිල්ලක් ඔවුහු, වොෂින්ටනය විසින් සැලසුම් කල කුමන්ත්‍රනයට හා එය පෙරට ගෙන ගිය යුක්‍රේනයේ ෆැසිස්ට් මැරයින් කෙරෙහි ද දක්වති.

මෙම දිශානතිය ප්‍රන්සයේ එන්පීඒ හා ජර්මනියේ වාම පක්ෂය තුල විශේෂ තියුනු භාවයකින් මතුව ඇත. එන්පීඒ වෙනුවෙන් කථා කරමින් ශාස්ත්‍රලිකයෙකු වන ගිල්බට් ආකර්, ලිබියාවේ ඇමරිකා-නේටෝ යුද්ධයට යුක්තිකරනයක් සම්පාදනය කලේ, ලිබියානු හමුදාව නැඟෙනහිර නගරයක් වන බෙන්ගාසිහි ජනඝාතනයක් සඳහා සූදානම්ව සිටින බව කිසිදු වෛෂයික පදනමක් නොමැතිව අවධාරනය කරමින්, එය නතර කල හැක්කේ අධිරාජ්‍යවාදී යුද්ධයකින් පමනක් බව කියා සිටිමිනි. “සිවිල් වැසියන් සංහාරය කිරීම නතර කරනු ඇති මෙහෙයුමකට, අධිරාජ්‍ය විරෝධී මූලධර්මය යටතේ ඔබට විරුද්ධ විය නොහැකිය.” එහෙත් ඔහු නඟාසිටවූ ඇමරිකානු-නේටෝ යුද්ධය 30,000ක් ලිබියානුවන්ගේ ජීවිත බිලි ගත්තේය.

ඉන් පසුව ආකර්, ඇමරිකානු හා ප්‍රන්ස ඔත්තුකරුවන් ජාලයක් වන සිරියානු ජාතික කවුන්සිලයේ නිලධාරීන් හමුවී, සෘජු අධිරාජ්‍යවාදී මැදිහත්වීමකට මග සැලසීම හා ඊට එරෙහි මහජන විරෝධය මැඩීම පිනිස වඩාත්ම හොඳ මූලෝපාය ඔවුන්ට පහදා දුන්නේය.

මෙම ප්‍රවනතා, ලිබියානු යුද්ධය නඟා සිටුවීම සඳහා, ඉරාක යුද්ධයේ විවේචකයෙකු වශයෙන් පුම්බන ලද සිය ප්‍රසිද්ධිය යොදාගත් ශ්‍රාස්ත්‍රාලික වංචනිකයෙකු වන ජුආන් කෝල් වැන්නවුන් ද කැටිව, අක්‍රමනික ඇමරිකානු යුද්ධ යුක්තිසහගත කිරීමේදී මූලික ක්‍රියාකලාපයක් ඉටුකර තිබේ.

රුසියානු මැදිහත්වීම හමුවේ ඔබාමා පාලනය සිරියානු පිලිවෙත මත ගැඹුරෙන්ම බෙදී සිටින කොන්දේසි යටතේ අයිඑස්ඕව, මිලිටරි කටයුතු පතුරුවා හැරීමේ පැත්තට බෙහෙවින් නැඹුරුවී සිටියි. පාලනයේ වඩාත්ම යුදවාදී කොටස් අතර සිටින එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති සමන්තා පවර් අධිරාජ්‍යවාදී ආක්‍රමනකාරීත්වය සඳහා ඉදිරිපත් කරන “මානව අයිතීන්ගේ” යුක්තිකරනය, ව්‍යාජ වම්මුන්ගේ දේශපාලන මතවාදය සමග මනාව පෑහෙන්නේ අහම්බයෙන් නොවේ.

සමාජවාදී කම්කරුවා යන සිය වෙබ් අඩවියේ අයිඑස්ඕව ඔබාමා විවේචනය කරන්නේ, ප්‍රමානවත් තරම් ආක්‍රමනකාරී නොවීම ගැනය. එය මෙසේ කියයි: “ඇමරිකාව හා යුරෝපීය ආන්ඩු තමන්ට පොරොන්දුවී ඇති මිලිටරි ආධාර වලට, සිරියානු මිලිටරියට හා දැන් රුසියානු ප්‍රහාරක යානා වලට මුහුන දීමට හැකි ගුවන් යානා නාශක මෙවලම් වැනි බැර අවි ඇතුලත්කර නැති බව කැරලිකරුවන් පවසයි.”

ඔවුන් ඇමරිකානු ආක්‍රමන නීති යුක්ත කරන්නට බලන්නේ, රුසියාව “අධිරාජ්‍යවාදී” යයි කියමිනි. තමන් නියෝජනය කරන ධනපති හා කතිපයාධිකාරී කොටස්වල අවශ්‍යතාවන්ගේ පදනම මත ව්ලැඩිමීර් පුටින්, සිරියාව තුල ප්‍රතිගාමී න්‍යායපත්‍රයක් අනුගමනය කරනවා වුවත් රුසියාව, බටහිර අධිරාජ්‍යවාදීන් විසින් වටලනු ලැබ ඔවුන් ආධිපත්‍යය දරන හා ඔවුන් මත යැපෙන ආර්ථිකයක් ලෙස පවතියි.

රුසියාව අධිරාජ්‍යවාදී බලවතෙකුය යන අයිඑස්ඕවේ අර්ථ කථනය ඉදිරිපත් කෙරෙන්නේ, එරටෙහි ඓතිහාසික වර්ධනය හෝ සෝවියට් සංඟමය විසුරුවා හැරීමෙන් පසුව මතුව ඇති සමාජයේ ස්වාභාවය ගැන බැරෑරුම් විමසුමක පදනම මත නොවේ. එය වනාහි, රුසියාවට එරෙහි ඇමරිකාවේ නායකත්වයෙන් යුත් මිලිටරි මෙහෙයුම් වලට සහයෝගය දීම සඳහා ඔවුන්ට ඉඩ සැලසෙන සුව පහසු වචනයක් පමනි. එබැවින් වොෂින්ටනය හා මොස්කෝව අතර ගැටුමක් ඇති වුවහොත් අයිඑස්ඕව ඇමරිකාවට පක්ෂව ඉදිරිපත් වනු නියතය.

යුක්‍රේන කුමන්ත්‍රනය සම්බන්ධ සිද්ධියේදී මෙම සංවිධානය, සියවසකට වැඩි කාලයක් පුරා අධිරාජ්‍යවාදී රටවල අව්‍යාජ මාක්ස්වාදීන්ගේ සටන් පාඨයව තිබූ “ප්‍රධාන සතුරා” එනම් අධිරාජ්‍යවාදය “සිටින්නේ රට තුලමය” යන්න අවධාරනය කිරීම සම්බන්ධයෙන් “ඇමරිකාවේ හා යුරෝපයේ සමහර වාමාංශිකයින්” හෙලාදකින ලදී. ඇමරිකාව විසින් සැලසුම් කරන ලද රුසියානු දේශසීමාවෙහි තන්ත්‍ර මාරුවකට තුඩුදුන් කුමන්ත්‍රනය හෙලාදැකීම “මහජන නැඟිටීමකට විරුද්ධ වීමට” සමාන දෙයක් බව ඔවුහු පැවසූහ.

යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීම කෙසේ වෙතත් එවන් සංවිධාන ජාත්‍යන්තර වශයෙන් ඉටුකරන්නේ, දේශපාලනිකව තීරනාත්මක යුදවාදී ප්‍රවනතාවකි. ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රමුඛ පුද්ගලයින් සමඟ කිට්ටු සම්බන්ධකම් ඇති, සංස්ථාපිත ආයතන විසින් ඉහලින්ම වරදාන ලබාදෙන, කම්කරු පන්තියේ කුමන හෝ ස්වාධීන ව්‍යාපාරයකට තරයේම සතුරු අයිඑස්ඕ වනාහි, අධිරාජ්‍යවාදී ආක්‍රමනයන්ට “වාම” ආවරනය සැපයීම සිය රාජකාරිය කරගත්, එක්තරා වර්ගයක රාජ්‍ය නොවන සංවිධානයකි.

අව්‍යාජ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟිය හැක්කේ, එවන් සංවිධාන නිර්දය ලෙස හෙලිදරව් කිරීම හා යුද්ධයේ මූලය වන ධනවාදයට අවසන් තිත තබන සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, ජාත්‍යන්තර කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමේ සටනෙහි අත්‍යවශ්‍ය පුරුකක් ලෙස ඔවුන්ගේ අනුහස බිඳ හෙලීමෙන් පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: