ලෝක ආර්ථිකය තව තවත් පිරිහෙමින් තිබියදී මහ බැංකු, කොටස් වෙලඳපොලවල් පුම්බයි

Central banks boost stocks as world economy sinks deeper into slump

2015 ඔක්තෝබර් 26

පසුගිය සතිය තුල ලෝකයේ ප්‍රමුඛ මහ බැංකු දෙකක තීරන මඟින්, ගෝලීය ආර්ථිකයේ වැඩෙන අවධමනාත්මක බලපෑම් හා ඒවා ජය ගැනීම පිනිස කිසිවක් කිරීමට මූල්‍ය බලධාරීන් අසමත්ව ඇති ආකාරය පෙන්නුම් කෙරී තිබේ.

චීනයේ පසුබෑම හා නැඟී එන වෙලඳපොලවල් මත එහි අහිතකර බලපෑම නිසා යුරෝ කලාපය හා ලෝක ආර්ථිකය මුහුනපා සිටින අවදානම් ගැන සඳහන් කරමින් යුරෝපීය මහ බැංකුව 22දා ඇඟවුම් කලේ, වත්කම් මිලට ගැනීමේ යුරෝ ට්‍රිලියන 1.1ක් වන සිය “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” වැඩසටහන දීර්ග කිරීමට සූදානම් බවයි.

ඊලඟ දිනයේදී චීන මහ බැංකුව, මාස 12ක් තුල හය වන වතාවටත් සිය පාදක පොලී අනුපාතිකය පහත හෙලීය. තුන්වන කාර්තුවේ චීන දල දේශීය නිෂ්පාදිතයේ වැඩිවීම, වසර 25කට පසුව පහතම වර්ධන අගය සලකුනු කරමින් සියයට 6.9ක් දක්වා වැටීමෙන් අනතුරුව මෙම තීරනය ගෙන ඇත. චීන මහජන බැංකුව සිය පාදක පොලී අනුපාතිකය සියයට 1.75 සිය 1.5 දක්වා වාර්තාගත පහතම අගයකට ගෙන ආ අතර, බැංකු විසින් සංචිත ලෙස තබාගත යුතු ගනුදෙනුකාර තැන්පත්වල පංඟුව පහත දැමීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු චීන නියෝජිත හා කෝනෙල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඊස්වර් ප්‍රසාද්ට අනුව, “යම් ආකාරයකට දදේනි නිල වර්ධන අනුපාතය පිලිබඳව බලාපොරොත්තු වූවාට වඩා, ආර්ථිකයේ වර්ධන වේගය පහත වැටෙමින් තිබීම” ගැන කනස්සල්ලක් චීනය විසින් ගෙන ඇති පියවර මඟින් සලකුනු කරයි.

ඒ පිලිබඳව ඇති බිය, චීන අගමැති ලී ක්වුවෑංගේ ප්‍රකාශයකින් ද සටහන් කෙරේ. මේ වසරේ වර්ධන ඉලක්කය සියයට 7 තබා ගැනීමට ආන්ඩුව “මරාගෙන නොමැරෙනු ඇත.” ඔහු මෙම අදහස් පල කලේ, ඊලඟ 5 වසර සඳහා වර්ධන ඉලක්ක නියම කිරීමේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන රැස්වීම ලංව තිබියදීය.

පසුගිය 22දා මෝල්ටාවේ පැවති යුරෝපීය මහ බැංකුවේ පාලක මන්ඬල රැස්වීමෙන් අනතුරුව එහි සභාපති මාරියෝ ඩ්‍රාගි නිකුත් කල නිල ප්‍රකාශනයේ හරි මැද තිබුනේ ද චීනයේ වර්ධනය පහත වැටීමේ බලපෑම පිලිබඳ කනස්සල්ලයි.

ලබන දෙසැම්බරයේ පැවැත්වෙන ඊලඟ රැස්වීම තුල “මූල්‍ය ප්‍රතිපත්තියේ සම්පූර්න න්‍යායපත්‍රය විවෘතව” තැබෙනු ඇති බවත්, “අවශ්‍ය වුවහොත්” ඒ අනුව කටයුතු කිරීමට මහ බැංකුව සූදානම් බවත් ඔහු පැවසීය. 2016 සැප්තැම්බර් වන තෙක් සෑම මාසයකම යුරෝ බිලියන 60ක මූල්‍ය වත්කම් මිලට ගැනීමට අදාල, වත්මන් ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන පුලුල් කිරීමට හා වැඩි කිරීමට බැංකුව සූදානම් වෙමින් සිටින බවට මෙය පැහැදිලි ඇඟවුමකි.

“නැඟී එන ආර්ථිකයන්හි වර්ධන බලාපොරොත්තු සුන්වීම” හා මූල්‍ය හා පාරිභෝගික වෙලඳපොලවල නැඟී එන “වර්ධනය ද උද්ධමනය ද පහත හෙලීමේ අඛන්ඩ අවදානම” පිලිබඳව ඩ්‍රාගි කනස්සල්ල පල කලේය. මෙම ක්‍රියාවලීන් දෙකම සිදු වන්නේ චීනයේ දිගට ඇදෙන පසුබෑමෙනි. එමඟින් ලෝහ, තෙල්, ගෑස්, ඛනිජ හා කෘෂි නිෂ්පාදන මත පදනම්ව ඇති කාර්මික පාරිභෝගික භාන්ඬ මිල පහත වැටීම නිසා, නැඟී එන වෙලඳපොල ආර්ථිකයන්හි මූල්‍ය අර්බුදයක් නිර්මානය කරයි.

යුරෝ කලාපය සම්බන්ධ නවතම සංඛ්‍යා සලකන කල එහි දදේනි පලමු කාර්තුවේ පැවති සියයට 0.4 සිට 0.3දක්වා පහත වැටී ඇත. එය කෙතරම් පහත් මට්ටමක් ද යත්, 2008 මූල්‍ය අර්බුදයේ ප්‍රතිපල වශයෙන් අහිමිවී ගිය නිෂ්පාදිතය වසර 7ක කාලයකදී වත් යලි අත්කරගෙන නැත. යුරෝපීය මහ බැංකුවට සියයට 2ක වාර්ෂික ඉලක්කගත උද්ධමන අනුපාතයක් ඇත ද අගෝස්තුවේදී සියයට 0.1ක් වූ එය සැප්තැම්බරයේදී - 0.1 දක්වා පහත වැටී තිබේ.

මෙයට දක්වන නිල හේතුව වන්නේ, බොහෝකොටම අතිරික්ත සැපයුමේ ප්‍රතිපල වශයෙන් තෙල් මිල පහත වැටීමය. එහෙත් එම හේතු දැක්වීම පිලිබඳව “වඩා ප්‍රවේසම්” විය යුතු අතර එය, “ඉල්ලුමෙන් හටගත් කම්පනයක්” එනම්, කාර්මික නිෂ්පාදනයේ පිරිහීම නිසා තෙල් සඳහා වන ඉල්ලුම වැටීමේ ප්‍රතිපලයක් විය හැකි බව ඩ්‍රාගි පැවසීය.

මෙම සියලු කාරනා සැබෑ ආර්ථිකයේ ගැඹුරුවන අර්බුදයක් පෙන්නුම් කරන අතර, මහ බැංකු හා ආන්ඩු නායකයින් විසින් මූල්‍ය පැලැන්තියේ පරපුටු ක්‍රියාවන්ට සහන සලසමින් සම්පත්, නිෂ්පාදන ආයෝජනයේ සිට සමපේක්ෂනය කරා හරවා යැවීම අනුමත කරනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව, ගෝලීය කොටස් වෙලඳපොලවල් ඉහල නඟියි.

මේ පිලිබඳ පැහැදිලි ඇඟවුමක්, යුරෝපීය හා චීන මහ බැංකුවල කටයුතු වලින් ද පොලී අනුපාත ඉහල නංවීම සඳහා පූර්වයෙන් පැවති සැලසුම් මත ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුවේ පාලක මන්ඬල තුල හටගෙන ඇති ව්‍යාකූලතා හා මතභේද තුලින් ද මතුවේ.

එකකට පසුව තවෙකක් වශයෙන් හදිසි පියවර ගනු ලැබුව ද ආර්ථික හා ප්‍රතිපත්ති බලධාරීන්ට ඒවා ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන නිශ්චිත අදහසක් නොමැති තතු තුල, ලෝක ආර්ථිකය ගොඩඒමක් නොදකියි. මෙය යම් බුද්ධිමය අඩුවක් නිසා ඇතිව තිබෙන තත්වයක් නොවේ. එය මතුව එන්නේ, 2008 සිදුවීම් වාරික අර්බුදයක් නොව, තව තවත් ගැඹුරු වෙමින් ඇති ගෝලීය ධනේශ්වර පද්ධතියේම අති මූලික කඩාවැටීමක්ය යන කාරනය තුලින්ය.

සෑම හැරීමකදීම මූල්‍ය අධිකාරීන්ගේ පරම ප්‍රතිචාරය වී ඇත්තේ, තව තවත් ලාභ මුදල් සම්පාදනය කිරීමයි. එම පිලිවෙත නියම කරනු ලැබ ඇත්තේ, ආර්ථිකයේ මුදුන් තැන් අරා සිටින මූල්‍ය පරපුට්ටන්ගේ අසීමිත ඉල්ලුම ද “සාමාන්‍ය” අනුපාත කරා යලි එලඹුනහොත්, නව අර්බුදයක් හටගනු ඇති බවට ද පවතින භීතියෙනි.

මේ වැඩසටහන මුලින් නිවේදනය කල අවස්ථාවේ කියා සිටියේ, එය සැබෑ ආර්ථිකයට උත්තේජනයක් සපයනු ඇතැයි යනුවෙනි. එම කියාපෑම මුලුමනින්ම අපකීර්තියට පත්ව ඇත. විවිධ ජාතික රූපාකාරයෙන් ක්‍රියාවට නැඟුනු ප්‍රමානාත්මක ලිහිල් කිරීම්, සැබෑ ආර්ථිකයේ ආයෝජන යලි පන ගැන්වීමට කිසිදු දායකත්වයක් සපයා නැත. ඒ වෙනුවට එය, මූල්‍ය අපයෝජන හා සමපේක්ෂනය ලාභ ඉපැයීමේ මූලික රූපාකාරය බවට පත්කර තිබේ.

මෙම පරපුටුකම, එනම් වත්කම් කප්පාදුව හා රැකියා විනාශයට තුඩුදුන් යෝධ ඒකාබද්ධයන් හා අත්පත්කර ගැනීම්, නිෂ්පාදන මාධ්‍යයන්ගේ විනාශයට දායකවී ඇතුවා පමනක් නොව, ඓතිහාසිකව පෙර නොවූ විරූ සමාජ අසමානතාවයත්, කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර උග්‍ර කිරීමත් සමඟ අත්වැල් බැඳගෙන ගමන් කරමින් තිබේ.

යුරෝපීය හා චීන මහ බැංකුවල කටයුතු, අර්බුදයේ ගෝලීය ස්වභාවය ද සලකුනු කර ඇත. එක් අතකින් යුරෝ මහ බැංකුව, තව තවත් මූල්‍ය උත්තේජක සඳහා හේතුව ලෙස චීනයේ ගැටලු පෙන්වා දෙන අතර ජනාධිපති ක්ෂී ජින්පින් ද ඇතුල චීන බලධාරීහු, තමන් මුහුනපා ඇති වැඩෙන ගැටලු වලට හේතුව නරක අතට හැරෙන ගෝලීය තත්වය බව පෙන්වා දෙති. ඒ අතර ඇමරිකාවේ ෆෙඩරල් මහ බැංකුව පෙන්නුම් කරන්නේ, පසුගිය සත් වසරක සිය ශුන්‍ය පොලී අනුපාත පිලිවෙතින් ඉවත් වීමට හරස්වී ඇත්තේ, චීනයේ පසුබෑම හා නැඟී එන ආර්ථිකයන්හි කැලඹීම් තත්වය බවයි.

ආර්ථික හා මූල්‍ය බලධාරීහු, කුමන හෝ සම්බන්ධීකරන ප්‍රතිචාරයක් දැනවීමට අසමත්ව සිටිති. ඒ වෙනුවට යුරෝපීය චීන හා ජපන් මධ්‍යම බැංකු වාර්තාගත පහත් අනුපාතයන් පවත්වාගෙන යාමට අදිටන් කර සිටින අතර ඇමරිකානු මහ බැංකුව, අඩුම වශයෙන් නාමිකව හෝ අනුපාත ඉහල දැමීමට කැපවී සිටින තතු හමුවේ, මතභේද පුලුල් වෙමින් තිබේ.

ඔවුන්ගේ ව්‍යාකූලත්වය හා ප්‍රතිවාදී පිලිවෙත් නැඟී එන්නේ, ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධය තුලින්ය. එනම්, ආර්ථිකයේ ගෝලීය ස්වභාවය ද සෑම ධනපති පාලක පන්තියකගේම දේපොල හා ලාභය මුල්බැසගත් ජාතික රාජ්‍ය පද්ධතිය ද අතර නොපෑහීම තුලින්ය.

මෙම ප්‍රතිවිරෝධය ලාභ පද්ධතිය යටතේ විසඳිය නොහැකිය. ගැඹුරුවන ආර්ථික අර්බුදයේ ද නොවැලැක්විය හැකි පරිදි නව ලෝක යුද්ධයක් කරා යොමුවී ඇති ජාතික ප්‍රතිඝතිතාවන්ගේ වර්ධනයේද රූපාකාරයෙන් එය නොකඩවා පැසවමින් ඇත. ආර්ථික සම්බන්ධතාවන්ගේ ගෝලීය ස්වභාවය සමඟ සම්පාත වෙමින්, සමාජ සම්බන්ධතා ප්‍රති සංවිධානය කිරීමේ ඓතිහාසික අවශ්‍යතාවය ඉටුකල හැක්කේ, ලෝක සමාජවාදී විප්ලවයේ පදනම මත කම්කරු පන්තියට පමනි.

නික් බීම්ස්

Share this article: