අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වය: යුද්ධය දෙසට පියවරක්

The TPP: A step on the road to war

නික් බීම්ස් විසිනි, 2015 ඔක්තෝබර් 08

ලෝක නිෂ්පාදනයෙන් සියයට 40 ප්‍රමානයකට හිමිකම් කියනු ලබන රටවල් 12 සම්බන්ධ වෙලඳ හා ආයෝජන එකඟතාවයක් වන, මෙම සතියේ එක්සත් ජනපදයේ අනුග්‍රහය සහිතව ඇති කර ගත් අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වය (ටීපීපී) තුලින්, නිදහස් වෙලඳාමේ හා සෞභාග්‍යයේ නව යුගයක් සඳහා මාවත හෙලි කල බව හුවා දැක්වේ.

ඕස්ට්‍රේලියානු පුවත්පත් ශුභවාදයෙන් පිරී තිබුනි. ඕස්ට්‍රේලියන් ෆයිනැන්ශල් රිවිව් හි සිරස්තලය වුයේ “වර්ධනයට පිටුබලයක්” යන්නයි. අගමැති මැල්කම් ටර්න්බුල් පැවසු “ අපගේ අනාගත සමෘද්ධියට මහත් පිටුබලයක්” යන අදහස එය උපුටා දැක්විය. මර්ඩොක් පුවත්පත් ද ගිවිසුම පිලිබඳව උද්යෝගිමත් විය. ඔස්ට්‍රේලියන්ස් හි සිරස්තලය වුයේ “ ෆැසිෆික් එකඟතාවය සෞභාග්‍යයේ යුගයක් උදා කරයි” යන්නය. කොන්ග්‍රසය තුල ගිවිසුමට සැලකිය යුතු විරෝධයක් එල්ල වූ ඇමරිකාවෙන් ලැබෙන වාර්තාවල සැර බාලවී තිබුනි.

ටී.පී.පී යනු “ෆැසිෆික් එකඟතාවයක්” සහ නිදහස් වෙලඳාමේ ප්‍රධාන ඉදිරි පියවරක් යන අදහස බැලු බැල්මටම විකාරයකි. විශේෂයෙන්ම එය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනය බැහැර කිරීම සඳහා නිර්මානය කරන ලද්දකි. සාමාජික රාජ්‍යන්හි ආර්ථිකයන් තුල නිදහස් වෙලඳපොල මූලධර්ම ක්‍රියාත්මක වීම අනිවාර්ය වීම තුලින්, රාජ්‍ය ව්‍යවසායන් වැදගත් භූමිකාවක් ඉටුකරන චීනයට ඊට සම්බන්ධ වීමට නොහැකි වේ.

ටී.පී.පී හි පදනම වන්නේ, නිදහස් වෙලඳාම නොව, චීනය දුර්වල කර එය අර්ධ යටත් විජිතයක් බවට පත්කිරීමට ඇමෙරිකාව හා ජපානය -ලෝකයේ පලවෙනි හා තුන්වෙනි ආර්ථික බලවතුන් - අතර වන සන්ධානයයි.

වර්තමාන භූදේශපාලන ගැටලුවලට අමතරව ටී.පී.පී හි වැදගත්කම, ජාත්‍යන්තර වෙලඳාම හා ආර්ථික සම්බන්ධතා පිලිබඳ ඉතිහාසයේ සන්දර්භය තුල එය තැබූ විට වඩාත් පැහදිලි වේ .

1930 ජූනියේ ඇති කල ස්මූට්-හව්ලි පනත, එක්සත් ජනපදයේ තීරුබදු ඉහල නැංවීය. එය මහා අවපාතය -දශකය අවසානයේදී දෙවන ලෝක යුද්ධය ඇතිවීමට බලපෑ සාධකයකි -කාලයේදී ලෝක වෙලඳපොල ප්‍රතිවිරුද්ධ කන්ඩායම් අතර බෙදී යාමට හේතුවූ ක්‍රියමාර්ග ආරම්භ වීමට ප්‍රධාන හේතුවක් විය.

යුද්ධය සහ යුද්ධයෙන් ඇතිකල මහා විනාශයෙන් පසුව එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයින් පැවසුවේ, තමන් අමතක නොවන පාඩමක් ඉගෙන ගත් බවයි. 1930 දශකයේදී සම්පූර්නයෙන්ම පාහේ බිඳවැටුනු ජාත්‍යන්තර වෙලඳපොල, ප්‍රකෘතිමත් කිරීමට තිබුනේ නිදහස් වෙලඳාමේ මූලධර්ම මතය. එය ආර්ථික වර්ධනය අරක්ෂා කිරීමට පමනක් නොව ප්‍රධාන ධනවාදී බලවතුන් අතර පැවැති ප්‍රතිවිරෝධතා යුද්ධයක් බවට පරිවර්තනය වීම වැලැක්වීමට ද අවශ්‍ය විය.

සත්තකින්ම එම කාලයේදී, “නිදහස් වෙලඳ” මූලධර්මය මතු කිරීම ඍජුවම එක්සත් ජනපද අවශ්‍යතාවයන්ට සේවය කිරීමක් විය. ප්‍රධාන ධනවාදී ආර්ථික බලවතා ලෙස -සියලු කාර්මික නිෂ්පාදනවලින් සියයට 50 උතුරු ඇමරිකාවේ සිදුවිය -“දොර විවර කිරීමේ” ප්‍රතිපත්තිය එයට වාසිසහගත විය. මෙම ක්ෂනික අරමුනුවලට අමතරව ආරක්ෂනවාදය විනාශයට මග පාදන බව පිලිගෙන තිබුනි.

1948 දී ස්ථාපිත කල, “වඩාත්ම පිලිගත් ජාතිය” යන මූලධර්මය මත පදනම් වූ , තීරුබදු හා වෙලඳාම පිලිබඳ පොදු ගිවිසුම (ගැට්) යටතේ, පශ්චාත් යුදකාලීන වෙලඳාම ලිහිල් කිරීම සිදු විය. එයට අනුව යම් රටක් විසින් ලබාදෙන වෙලඳ සහන සෑම රටකටම පොදු විය යුතුය. එය තෝරාගත් රටවලට පමනක් සීමා නොවිය යුතු විය. එයට හේතුව, අන්තර් යුද සමයේ ඒ සා භයානක ප්‍රතිවිපාක ගෙන ඒමට හේතුවූ ආකාරයේ ලෝක වෙලඳපොල බිඳ වැටීමක් වැලක්වීමය.

කෙසේවෙතත්, ලෝක වෙලඳ සංවිධානය (ගැට් හි අනුප්‍රාප්තිකයා) 2001 දී දියත් කල දෝහා සාකච්චා සැබෑ වශයෙන්ම බිඳ වැටීමත් සමග, බහුපාර්ශවීයවාදය යන මූලධර්මය දැඩි ලෙස නොතකා හැර තිබේ. ලෝක වෙලඳ ගිවිසුම් ස්පැගටි පිඟානකට සමාන තත්වයකට පත්ව ඇත. පස්චාත් යුදකාලීන ධනවාදයේ ප්‍රසාරනයට පදනම් නිර්මානය කල සියලු මූලධර්ම උල්ලංඝනය කරමින්, තනි රාජ්‍ය හා රාජ්‍ය කන්ඩායම් අතර දිගට හරහට එකඟතා හා ගිවිසුම් ඇතිව තිබේ.

නිදහස් වෙලඳාම සඳහා වූ ගිවිසුමක් නොවන ටී.පී.පීය, ඉහතකී එකඟතාවයන්ගේ නවතම හා වඩාත් වැදගත් එකය. එහි අරමුන ආර්ථික සබඳතා වර්ධනය කිරීම නොව එක්සත් ජනපදය මූලිකත්වය දරන වෙලඳ හා ආයෝජන කන්ඩායමක් නිර්මානය කිරීම ය. එතුලින් ඇමරිකාව තම පැරනි හා නැඟී එන නව ප්‍රතිවාදීන් මත සිය පූර්ව ආර්ථික ආධිපත්‍ය පිහිටුවීමට උත්සාහ කරයි.

එක්සත් ජනපද පරිපාලනය සිය අරමුනු නොසඟවා ප්‍රකාශ කලේය. 5දා නිකුත් කල ප්‍රකාශයක ඔබාමා පැවසුවේ “ සියයට 95 කට වඩා විභව පාරිභෝගිකයින් අපගේ දේශසීමාවෙන් පිටත සිටින විට, චීනය වැනි රටවලට ගෝලීය ආර්ථිකයේ නීති පැනවීමට ඉඩ දිය නොහැක, අප ඒවා ලිවිය යුතුය.”

ටී.පී.පී වටයේ ප්‍රධාන සාකච්චාකරුවූ එක්සත් ජනපද වෙලඳ නියෝජිත මයිකල් ෆොර්මන් පැහැදිලිව කියා සිටියේ, එක්සත් ජනපදයේ ලෝක ආධිපත්‍ය සහතික කිරීමට මිලිටරි බලය මෙන්ම ආර්ථික ආධිපත්‍ය ද වැදගත් වන බවයි. පසුගිය වසරේ පලවුනු ෆොරින් අෆෙයාර්ස් ලිපියක ඔහු ලිව්වේ , “වෙලඳ ප්‍රතිපත්තිය ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියයි. වෙලඳපොලවල්වලට ද හමුදාව කරන ආකාරයේම බලපෑම් කල හැකිය”. ටී.පී.පී හි අරමුන වන්නේ, ලෝක ආර්ථිකයේ තුනෙන් දෙකක් වෙත නිදහසේ ප්‍රවේශ වීමට හැකි ගිවිසුම් ජාලයක කේන්ද්‍රයේ එක්සත් ජනපදය පිහිටුවීමයි.

ටී.පී.පී ය අගය කරමින් ඔබාමා සඳහන් කලේ, ගෝලීයකරනය, තාක්ෂනයේ වෙනස්වීම් හා නව ආර්ථික මධ්‍යස්ථාන මතුවීමට ප්‍රතිචාර වශයෙන්, වර්තමාන ආර්ථික ව්‍යුහය වෙනස් විය යුතු බවයි. ඔහුගේ අදහස්, එක්සත් ජනපදය ගැට් හා ලෝක වෙලඳ සංවිධානය (ඩබ්ලිව්ටීඕ) තුලදී මුහුන දුන් ප්‍රධාන ගැටලු කිහිපයක් වෙත යොමුවී තිබුනි .

පශ්චාත් යුද කාලපරිච්චේදය තුල ධනවාදයේ වර්ධනය, නව ආර්ථික මධ්‍යස්ථාන මතුවීමට තුඩු දුන්නේය. කලකදී එක්සත් ජනපදයේ අනභියෝගී ආර්ථික ආධිපත්‍යට, ඒවා අභියෝගයක් විය. ටී.පී.පී යේ අරමුන වන්නේ මෙම තත්වය නිවැරදි කිරීමයි. එය, එක් අතකින් ගෝලීය ආර්ථිකයේ වර්ධනයත් අනෙක් අතින් ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතියත් අතර ලෝක ධනවාදයේ මූලික පරස්පර විරෝධය පවතින්නේ කෙසේදැයි ලියොන් ට්‍රොට්ස්කි කල පැහැදිලි කිරීම විෂද ලෙස ප්‍රකාශ වීමකි.

ට්‍රොට්ස්කි පැහදිලි කලේ, සෑම ධනවාදී බලවතෙක්ම මෙම ප්‍රතිවිරෝධතාවය විසඳා ගැනීමට උත්සාහ ගන්නේ, තමන් ලෝකයේ අධිපතිවාදී රාජ්‍ය බවට පත්වීමට යත්න දැරීම මගින් බවයි. ලෝකයේ සෑම ප්‍රධාන බලවතෙක්ම එකම දිශාවකට යොමුවීම තුලින්, එකිනෙකා අතර ගැටුම් ඇති වීමට මග පාදන අතර ආර්ථික එදිරිවාදිකම් පූර්න මිලිටරි ගැටුම් බවට පරිවර්තනය වේ.

ස්මූට්-හව්ලි නීතිවල එවක අරමුන වූයේ, ප්‍රථම ලෝක යුද්ධය පුපුරා යෑමෙන් ආරම්භ වුනු හා මහා අවපාතය සමඟින් උත්සන්න කෙරුනු ලෝක ආර්ථිකය කඩාවැටීමේ කොන්දේසි යටතේ එක්සත් ජනපදයේ තත්වය නඟා සිටුවීමය.

අද දිනයේ, 2008 ආර්ථික අර්බුදයෙන් සලකුනු කල, තවත් කඩාවැටීමක් සිදුවෙමින් පවතින අතර ගෝලීය ආර්ථිකය පාලනය කල නොහැකි පරිද්දෙන් එකතැන පල් වීම හේතුකොටගෙන එය වේගවත්වී ඇත. ටී.පී.පීය කරා තල්ලුව සැපයුනේ ද එම ප්‍රතිවිරෝධයන්ගෙන්මය. එක්සත් ජනපදය විසින් තම ආධිපත්‍ය තහවුරු කරගැනීමට දරන උත්සාහයේ ස්වභාවය, වසර 85ට පෙර තිබුනාට වඩා බෙහෙවින් වෙනස් ය. ඒ, ධනේශ්වර ලෝක ආර්ථිකයේ, සියල්ලටත් වඩා නිෂ්පාදනයේ ගෝලීයකරනය හේතුවෙන් ඇතිව තිබෙන, දැවැන්ත වෙනස්කම් නිසාය. එහෙත් යටින් දිවෙන්නේ එම තර්කනයමය.

දෙවන ලෝක යුද්ධයට තුඩුදුන් ආතතීන් උග්‍ර කිරීමේදී ස්මූට්-හව්ලි ප්‍රධාන ක්‍රියාකලාපයක් ඉටු කලේය. එලෙසම ටී.පී.පී, තුන්වන ලෝකයක යුද්ධයක් දිශාවට තැබූ වැදගත් පියවරකි.

Share this article: