පාප් ඇමරිකාවේ

The Pope in America

2015 සැප්තැම්බර් 24

ඇමරිකා එක්‌සත් ජනපදයේ කොංග්‍රස් මන්ඩලයේ ඒකාබද්ධ සැසිවාරයකට පාප් විසින් කරන ලද දේශනය සලකුනු කරන්නේ ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ දක්ෂිනාංශික ගමනේ සැතපුම් කනුවකි. විවෘතව ප්‍රතිගාමීත්වය වැලඳගැනීම සඳහා ඔවුන් සිය ප්‍රජාතන්ත්‍ර උරුමයේ ඉතුරු පහදුවී ඇති දෙය ඉවත දමමින් සිටියි.

යෝධ ආරක්ෂක මෙහෙයුමකින් වට කරන ලදුව සිය පිරිවර ද සමග, මධ්‍ය කාලීන වස්ත්‍රවලින් විභූෂිතව, වොෂිංටනය හරහා පෙරහරින් යන පාප් ගේ බැල්මට ලක්වන්නේ, ප්‍රජාතන්ත්‍රය නටබුන්ව ගිය ඇමරිකාවකි.

1774 දී ප්‍රථම ඇමෙරිකානු කොන්ග්‍රස් මන්ඩලය කැඳවු තැන් පටන් 2015 දී කැඳවූ 114වන කොන්ග්‍රස් මන්ඩලය දක්වා කවර අවස්ථාවක වත් ඇමෙරිකානු නීතිසම්පාදක මන්ඩලය ඇමතීමට කිසිදු පාප්වරයෙකු කැඳවනු ලැබුවේ නැත. පාප්ගේ මේ දේශනය ඇමරිකානු සමුහාන්ඩුවේ නිරාගමික පදනම්වලට මෙන්ම එක්සත් ජනපද ව්‍යවස්ථාවට ද ඍජු අවමානයකි.

ඇමෙරිකානු ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලද ප්‍රථම සංශෝධනයේ පලමු වගන්තිය වූ මූලික අයිතිවාසිකම් පනතේ එම කොටසට, රජය සහ ආගම වෙන්කිරීම ඇතුලත් වන අතර කොංග්‍රස් මන්ඩලය කුමන හෝ ආගමක් ස්ථාපනය කිරීම තහනම් කෙරේ තෝමස් ජෙෆර්සන් ගේ වචන වලින් කිවහොත්, ප්‍රථම සංශෝධනයේ අරමුන වූයේ, රාජ්‍ය සහ ආගම අතර “බෙදුම් පවුරක්” ඉදි කිරීමය. මෙය සලකන ලද්දේ නිදහස් චින්තනය සහ පුද්ගලික නිදහස සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙසය. පාප්ගේ ආගමනය ද ඒ පිලිබඳව දේශපාලනඥයන් ගේ චර්චා ද පිලිබඳව බිත්තියක්, බිත්තියක් පාසා කෙරෙන ප්‍රචාරයේ ද කිසි තැනක දක්නට ම නොලැබෙන දෙය ද මෙම මූලික ප්‍රජාතන්ත්‍ර සංකල්පයයි.

“සුදොතුම්” ගැන හිස් හිසින් ගැයෙන විරුදාවලි වනාහි අදේව දෘෂ්ටිකයින්, අඥෙය වාදීන්, යුදෙව්වන්, මුස්ලිමුන්, සහ රාජ්‍යය විසින් පොදුවේ ආගම ගැන හෝ සුවිශේෂ භක්තියක් පිලිබඳව කුමන හො ආස්ථානයක් ගනු නොලබන සමාජයක ජීවත්වීමට අයිතිය ඇති ප්‍රජාතන්ත්‍ර අයිතිය රක්නා අය ගේ මුහුනට දමා ඇනීමකි.

පාප්ට “ශුද්ධවූ පිතෘ” සහ “සුදොතුම් තුමා” යනුවෙන් නම් කරමින් ජනාධිපති ඔබාමා ධවල මන්දිරයේ දී කල නිල අභිනන්දනය ආරම්භ කලේ “දෙවීයන් වහන්සේ කොතරම් ලස්සන දවසක් මවා ඇති දැයි” කියමිනි විනාඩි 10 තුල පැවැත්වූ ඔබාමාගේ කතාවේ දී “දෙවියෝ” (5), “ස්වාමි තුමා”(2) “යේසුස්,” (1) “ශුද්ධවූ” (6) සහ “ශුද්ධභාවය” (2) යන වචන 16 වතාවක් කියනු ලැබිනි. පාප්ගේ කතාවේ දී පවුල් සාරධර්ම, ආගමික නිදහස, පරිසරය, ගැන ද එක වතාවක් මැවුම්කරුවාගැන ද සඳහන් කැරිණි. කථාව අවසන් වුනේ ඇමරිකාවට දෙවියන් වහන්සේගේ පිහිටයි” යනුවෙන් පවසමිනි.

ඔබාමා ප්‍රකාශ කලේ, “මහජනයා ඇත්ත වශයෙන්ම නිදහස් වන්නේ තමන්ගේ භක්තිය නිදහසේ ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ ලත් කල්හි පමනක් යයි ඔබ අපට මතක් කර දෙයි” යනුවෙනි. නිර්ලජ්ජිත ලෙස මෙසේ ආමන්ත්‍රනය කරන ලද්දේ “ශුද්ධවූ අධර්මමර්දනාධිකරනය ( ඉන්ක්විසිෂන් ) ශත වර්ෂ ගනනාවක් තිස්සේ යුරෝපයේ “විධාර්මික” විද්‍යාඥයන්, දාර්ශනිකයන්, සහ කලා කරුවන් මර්දනය, වධ බන්ධන, ඝාතන වලට භාජනය කලාවූ සංස්ථාවේ නායකයා ය. ස්පාඤ්ඤයේ , ඉතාලියේ, පෝලන්තයේ, ක්‍රොඒෂියාවේ සහ ස්ලෝවාකියාවේ ෆැසිස්ට් පාලනතන්ත්‍ර සමග ඉතා සමීප සම්බන්ධකම් පවත්වාගෙන ගිය, 1933 දී නාසි ජර්මනිය සමග රයික් කොන්කොර්ඩට් නම් ගිවිසුම අත්සන් කල එම කතෝලික පල්ලියම ය මේ.

මෙසේ ඔබාමාගේ වර්නනාවට පාත්‍රවු, තමාගේ සුදු ලෝගුවට යටින් සිටි මේ තැනැත්තා වනාහි, 1976 -83 සමයේ ආර්ජන්ටිනාවේ, “කැත යුද්ධ ය (ඩර්ටි වෝර්)” ට පෞද්ගලිකවම සම්බන්ධ ව සිටි ජෝර්ජ් බර්ගොග්ලියෝ නමැති බුඅනොස් අයර්ස් නගරයේ හිටපු අග්‍ර රදගුරු ය. මොහුගේ නායකත්වය ලද පල්ලිය මාක්ස්වාදයට එරෙහි යුද්ධයේ නාමයෙන්, ගනන් බලා ඇති පරිදි 30,000 ක් කම්කරුවන්, ශිෂ්‍යයන්, සහ බුද්ධිමතුන් “අතුරුදහන්” කල අතර තවත් දහස් ගනනක් පැහැරගෙන ගොස් වධ බන්ධනයට ලක් කල මිලිටරි ජුන්ටාවට සහාය දුන්නේය. ඔන්න, ඔබාමාගේ නිදහසේ ශූරයා!

ඔබාමා සහ ෆ්රැන්සිස් අතර ආදර සන්ථවය සිහියට නංවන්නේ, ජෙෆර්සන් ගේ පහත දැක්වෙන වචනය: “සෑම රටකම, සෑම යුගයකම, පූජකයා නිදහසේ සතුරකුව සිට ඇත. ඔහු සැමවිටම තමන්ගේම ආරක්ෂාවට හිලව් වශයෙන් ඒකාධිපති පාලකයාගේ නොපනත්කම් වසං කරමින් ඔහු සමග හවුල්ව කටයුතු කර තිබේ.” එහෙත් ඇමරිකානු මාධ්‍ය එවන් දේවල් ගැන උනන්දු නැත. ඒ වෙනුටට නොඑක් පුවත් මාධ්‍ය, පැමිනෙන පාප් ගේ පාලොවින්නට හිරිකිතයකින් තොරව පොරවැටී සිටිති. පාප්ගේ වස්ත්‍රාභරන සමූහය, පරිවාරය, ගමන් මග සහ විශේෂ මොටර් රිය ඇතුලු සවිස්තර තොරතුරු පිලිබඳ අසංඛේයයක් ලිපි සහ රූපවාහිනී වැඩසටගන් පලකරනු ලැබ ඇත.

පාප්ගේ සංචාරයේ විස්තර තොරතුරු පිලිබඳ මාධ්‍ය ලිපි යෝධ කන්දරාව තුල ඓතිහාසික විඥානය වැනි කිසියම් දෙයක් ගෑවී වත් නැත. උදාහරනයක් හැටියට , 1867 පටන් 1984 දක්වා දීර්ඝ කාලය තුල අමරිකා එක්සත් ජනපදයට, ශුද්ධවූ පාප් රාජ්‍යය සමග කුමන හෝ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයක් වත් නොතිබුනු බව වත් සබඳකම් අරඹන ලද්දේ ජනාධිපති රොනල්ඩ් රේගන් යටතේ බව වත් මේ මාධ්‍ය පෙරහැර නැරඹීමෙන් කිසිවෙකුත් දැනගන්නේ නැත. ප්‍රථම කතෝලික ජනාධිපති ජෝන් කෙනඩි තෝරාපත් කර ගැනීම ගැඹුරින්ම විවාදපාත්‍ර කාරනයක් වූ බව පිලිබඳව හංකවිසියක්වත් මෙම වැඩසටහන් වලින් දැනගන්නට කිසිදු ප්‍රේක්ෂකයෙකුට හෝ ඉඩක් තබා නැත. 1960 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුගේ කතෝලික භක්තිය නිසා ඔහුට රෝමයේ අන පිලිපදින්නට සිදුවනු ඇතැයි යන්න උඩ කෙනඩිට එරෙහිව පහර එල්ල කෙරුනි.

සිය විවේචකයන්ට පිලිතුරු දෙමින් සිය ප්‍රමුඛ දේශනයක දී කෙනෙඩි පෙන්වා දුන්නේ, මා ජීවත්වන ඇමරිකාව වනාහි, ජනාධිපති වරයා (කතෝලිකයෙකු නම්) ඔහු කුමක් කල යුතු ද යන්න කීමට කිසිදු කතෝලික පුජකයෙකුට අයිතියක් නොමැතිවු ද කිසිදු ප්‍රොතෙස්‌ස්තන්ත දේශකයෙකුට, තම මීසමේ අය ඡන්දය දිය යුත්තේ කාටදැයි කීමට අයිතියක් නොමැති වූ ද කිසිදු පල්ලියකට හෝ පල්ලි පාසලකට රාජ්‍ය අරමුදල් හෝ දේශපාලන අධි මාන ප්‍රදානය නො කරන්නාවූ ද තමාව තෝරා පත්කරගන්නාවූ ජනයාගෙන් වෙනස් ආගමක් ඇදහීමේ කරුන හේතු කොටගෙන කිසිදු පුද්ගලයෙකුට රාජ්‍ය තනතුරක් අහිමිකිරීම ට ඉඩ නැත්තා වූ ද පරිද්දෙන් ආගම සහ රාජ්‍යය වෙන්කිරීම පරිපුර්න වූ රාජ්‍යක් බවය.

“(ඇමරිකානු) තානාපතිවරයෙකු වතිකානුවට යැවීමට එරෙහිව සිය අදහස් දැක්වූ වාර්තාව” ගැන ආඩම්බර වූ කෙනෙඩි මෙසේද කීය: “ පොදු කටයුතු වලදී මම මගේ පල්ලිය වෙනුවෙන් කතා නොකරමි. එසේම පල්ලිය මා වෙනුවෙන් කතාකරන්නේ ද නැත.”

කෙනඩි සහ ඔබාමා අතර වෙනස මීටත් වඩා තියුනු විය නොහැකිය. කෙසේවෙතත් මෙය , පුද්ගලයින් පිලිබඳ ප්‍රශ්නයක් නො වේ. එය වනාහි ගතවූ අර්ධ ශතවර්ෂය තුල ඇමරිකානු ප්‍රජාතන්ත්‍ර වාදය වැටී ඇති දිග්ගැසුනු පරිහානිය පිලිබඳ පිලිබිඹුවකි. කෙනෙඩි පාලනාධිකාරය කිසිසේත්ම ස්වර්නමය යුගයක් නියෝජනය කලා නොවේ; එහෙත් එය, දේශපාලන ප්‍රතිගාමිත්වයේ දශක ගනනාවක බලපෑම ද රටේ සියලු සංස්ථාවන් අපරාධකාරී වු ද එන්ට එන්ටම මහත්සේ ධනවත් වන්නාවූ ද මුල්‍ය වංශාධිපතිත්වයක ට යටත් කිරීමද මැන ගැනීමට ආශ්‍රය ලක්ෂ්‍යයක් සම්පාදනය කරයි.

21 වන සියවසේ ප්‍රථම දශක එක හමාර තුල ඇමරිකා එක්සත් ජනපදයෙහි දක්නා ලද්දේ, මුලික ප්‍රජාතන්ත්‍රීය අයිතින් ද සංස්ථාවන් ද හරහා කපාගෙන ගිය ඍජු ප්‍රහාරයකි. ඒ සමග බැඳී පැවැත්තේ රට තුල සමාජ අසමානතාවය ද රටින් පිට යුදමය ආක්‍රමනය ද වැඩී ඒම වේ. වත්මන් ඇමරිකාව වනාහි, රාජ්‍යය සිය පුරවැසියන් සියලු දෙනාට විරුද්ධව ඔත්තු බලන , වධක සහ ඝාතක පොලිස්කාරයන් කිසිදු දඬුවමකින් නිදහස්ව වැඩට බැස සිටින, රටේ ජනාධිපතිවරයාට ලෝකයේ ඕනෑම තැනක ඉන්නා පුද්ගලයෙකු මරා දැමීමට නියෝග දීමේ බලය පැවරී ඇති රටකි. එරට මැතිවරන ක්‍රමය මුලුමනින්ම ප්‍රජාතන්ත්‍ර අන්තර්ගතයකින් තොර කොට , බිලියනපති කුවේරයන්ගේ ඉත්තන් රොත්තක් අතර අධෝගාමී තරඟයක් බවට පත් කර තිබේ. මේ රොත්ත මුලුමනින්ම මහාසංගත, මුල්‍ය ප්‍රභුව, මිලිටරිය හා සීඅයිඒ සංවිධානය විසින් පාලනය කරනු ලැබේ.

ආගමික අන්ධ භක්තිය සිතාමතාම වගා කිරීම නිශ්චිත ප්‍රතිගාමී අන්තයන්ට සේවය කරයි. අමරිකාවට පාප්ගේ ආගමනය සිදුවන්නේ මහජන විරෝධය වලක්වා පාගා දෑමීමටයොදාගත හැකි, හේතුවාද විරෝධී, විද්‍යා විරෝධි, ප්‍රජාතන්ත්‍ර විරෝධී සමජ බලවේගයන් බලමුලු ගන්වා ගැනීම ට මධ්‍යතන සහ ප්‍රතිගාමී මත බලමුලුගැන්වීම ට ගෙනයමින් පවත්නා නිර්දය ව්‍යායාමයක් මැද්දෑවේ දීය.

උදාහරනයක් හැටියට, පසු ගිය අවුරුද්දේ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය හොබී ලොබි නමැති “ක්‍රිස්තියානි සංගතය” ට සිය සේවකයන් මත ආගමික මත පැටවීමට “අයිතියක්” ඇතැයි තීන්දු කලේ ය. පසුගිය මාසයේ දී “දෙවියන්ගේ අධිකාරය උඩ” ගේ හෙවත් පිරිමි සමලිංගික ජෝඩු වලට විවාහ සහතික නිකුත් කිරීම ප්‍රතික්ෂේප කල කෙන්ටකි ප්‍රාන්තයේ ලේකම් කිම් ඩේවිස් වටා ප්‍රතිගාමී ව්‍යායාමයක් සංවිධානය කරන ලදී. රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂක ලාබීන් ගනනාවක්ම මුස්ලිම් -විරෝධී අධිකාරමතික කොටස් වලට විවෘතව සහය දෙති.

1905 දී ලෙනින් රජය සහ ආගම වෙන්කරලීම පිලිබඳ මාක්ස්වාදී ආකල්පය පැහැදිලිව ප්‍රකාශ කලේ ය. “කම්කරු පන්තිය නූතන රාජ්‍යයට ද නූතන පල්ලි වලට ද කියා සිටින්නේ ආගම සහ රාජ්‍යය මුලුමනින්ම වෙන්කර දැමියයුතුය යන්නය.”

“ආගම තවදුරටත් රාජ්‍යයේ උත්සුකය විය යුතු නැත. ආගමික සමාජ වලට ආන්ඩු බලධාරීන් සමග මොනම සම්බන්ධයක් වත් තිබියයුතු නැත. තමා කැමති ආගමක් ඇදහීමට හෝ කුමන ආගමක් හෝ නො ඇදහීමට පුර්න නිදහස හැම කෙනෙකුටම තිබියයුතුය. හැම සමාජවාදියෙකු ම අදේවදෘෂ්ටිකයෙකු වන අතර ඕනෑම කෙනෙකුට අදේව දෘෂ්ටිකයෙකු වීමට අයිතිය තිබිය යුතු ය.”

පාප් ඉදිරියේ සකල ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ හා මාධ්‍යයේ වැඳ වැටීම විසින් අවධාරනය කෙරෙන්නේ, ආගම සහ රාජ්‍යය වෙන්කරලීම ද ඇතුලු අපගේ යුගයේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම අවියෝජනීයව බැඳී පවතින්නේ කම්කරු පන්තියේ මහා සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම මත බවය.

ටොම් කාටර්

Share this article: