ග්‍රීසියේ පුලුල් මැතිවරන වර්ජනය හමුවේ සිරිසාව යලි බලයට පත්වෙයි

Syriza voted back into office amid mass abstention in Greek election

බිල් වෑන් ඕකන් විසිනි, 2015 සැප්තැම්බර් 21

ග්‍රීසියේ සිරිසා නායක හා හිටපු අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් විසින් පසුගිය මාසයේ කැඳවන ලදුව, 20දා පැවති මැතිවරනයේ ප්‍රතිපල 21දා උදෑසන වන විට සියයට 93ක් ඡන්ද ගනන් කර අවසන්ව තිබුනු තතු හමුවේ, සිරිසාව යලි බලයට පත් විය.

සිරිසා බලයට පත් වුනේ, අඩු තරමින් මතුපිටින් හෝ එය පසුගිය ජනවාරියේ පලමු වතාවට බලයට පත්වූ කොන්දේසි වලට නාටකාකාර ලෙස වෙනස්වූ දේශපාලන ක්‍රියාමාර්ගයක පදනමෙනි. එවර පක්ෂය මැතිවරනය දිනා ගත්තේ, පූර්ව ඇපදීමේ ගිවිසුම් දෙකේ කොන්දේසියක් ලෙස යුරෝපීය සංඟමය හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය පනවා තිබුනු කප්පාදු පියවර අහෝසි කරන බවට පොරොන්දු වෙමිනි. දැන් සිප්‍රාස් බලයට පත්ව ඇත්තේ, තෙවන ඇප දීමේ ගිවිසුමෙහි කොන්දේසියක් ලෙස ඇතිකරගත් “අවබෝධතා ගිවිසුමෙන්” පනවා ඇති වඩාත් රුදුරු කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම පිනිසය.

20දා පැවති මැතිවරනය, මේ වසර තුල ග්‍රීකයින් මැතිවරන සඳහා කැඳවන ලද තුන්වන අවස්ථාව යි. පසුගිය ජනවාරියේදී ඔවුන් සිප්‍රාස් හා සිරිසාව පත්කර ගත්තේ, එම පාලනය කප්පාදුවට එරෙහිව සටන්කරනු ඇති බවට පුලුල්ව පැතිර තිබූ විශ්වාසය මතය. පසුගිය ජූලියේ සිරිසා ආන්ඩුව විසින් කැඳවා තිබුනු ජනමත විමසුමේදී දෙවන වතාවට ඔවුන්, කප්පාදුවට එරෙහිව අති මහත් බහුතර ඡන්දයක් ප්‍රකාශ කර තිබුනි. ඊට එරෙහිව යමින්, ඊනියා “ත්‍රිත්වය” ලෙස හඳුන්වන යුරෝපීය සංඟමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපීය මහ බැංකුව විසින් අනකරන ලද කප්පාදු කොන්දේසි කරා හැරීමට සිප්‍රාස්ට ගතවූයේ සතියකටත් නොඅඩු කාලයකි.

මත විමසුමේදී ප්‍රකාශයට පත්වූ ජනමතය ප්‍රතික්ෂේප කිරීම ප්‍රකාශයට පත් කලේ, සිය කප්පාදු විරෝධී මැතිවරන පොරොන්දු පසෙකට දැමීමේ සිරිසාහි තවත් පියවරක් පමනි. එය පටන්ගෙන තිබුනේ ඔවුන් ජනවාරි මැතිවරනය දිනා ගැනීමත් සමඟමය. බලයට පත්වී මාසයක් ගතවීමටත් පෙර සිරිසා, කලින් ක්‍රියාවට නඟන බවට පොරොන්දුවී තිබුනු කප්පාදු පියවර කිසිවක් කටුගා නොදමන බවට පොරොන්දු දෙමින් යුසං සමඟ ගිවිසුමකට එලඹුනේය. එපමනක් නොව, ඔවුන් කලින් පරාජය කරන බවට දිව්රා තිබුනු වෛරයට පත්ව තිබුනු අවබෝධතා ගිවිසුම පදනම් කරගෙන නව ගිවිසුමක් ද ඇතිකර ගත්තේය.

බලයට පත්වූ කල ව්‍යාජ වම්මුන්ගේ කුරිරු කම්කරු පන්ති විරෝධයේ ස්වභාවය, මෙම පාවාදීම මඟින් ග්‍රීසිය තුලත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තියට මූලෝපායික අත්දැකීමක් බවට පත් කර තිබේ. සිය මහජන කයිවාරු පිටුපසින් සිරිසාව, කම්කරුවන්ගේ සතුරන් ලෙස ඉක්මනින්ම හෙලිදරව් කෙරුනු, වරප්‍රසාදිත ඉහල මධ්‍යම පන්තික කොටස්වල අවශ්‍යතා නියෝජනය කරන්නාවූ ධනපති පක්ෂයක් බව පැහැදිලි කලේය.

20දා මැතිවරනයේදී සියයට 45.2ක් ඡන්දය පාවිච්චි කර තිබුන ද පැහැදිලි බහුතරයක් ඡන්දය දීමෙන් වැලකී ඇත. පසුගිය ජනවාරි ඡන්දය වර්ජනය කල සංඛ්‍යාවට වඩා මෙය සියයට 9කින් ඉහල යාමකි. ඡන්දය අනිවාර්ය කර ඇති රට තුල මෙය සැලකිය යුතු කාරනයකි.

ඡන්දය දීමෙන් වැලකී සිටීමේ වාර්තාගත සංඛ්‍යාව, නව ප්‍රජාතන්ත්‍ර, පැසොක් හා “වමේ” යයි කියාගන්නා සිරිසාව දක්වා වන පසුගිය දශක හතරක කාලය තුල ග්‍රීක දේශපාලනය අරක්ගෙන සිටි පැරනි පක්ෂ අපකීර්තියට පත්ව සෝදාපාලුවී තිබීමත්, ග්‍රීසියේ සමස්ත දේශපාලන ව්‍යුහයෙන්ම වැඩකරන ජනතාව වියෝවීම පිලිබඳවත් ප්‍රකාශනයකි.

මැතිවරනයෙන් මතුව ආ කැපීපෙනෙන කාරනය නම්, කිසිදු දේශපාලන පක්ෂයකට තමන් විශ්වාස කටයුතු කප්පාදු විරෝධියෙක් ලෙස පිලිගන්වා ගැනීමට නොහැකිවීමයි. ජූලි ජනමත විචාරනයේදී කැපී පෙනෙන අයුරු ප්‍රකාශයට පත්වූ ආකාරයට, ග්‍රීක වැඩකරන ජනතාවගේ අභිමතය සඳහා දේශපාලන ප්‍රකාශනයක් දීමට කිසිදු පක්ෂයකට හැකිවී නැත. එනම්, පසුගිය වසර පහක කාලය පුරාවට ක්‍රියාවට නඟන ලද පිලිවෙත්වල ප්‍රතිවිපාක වශයෙන් නිර්මානය වී ඇති මහජන දරිද්‍රතාව හා මහා විරැකියාව සඳහා වගකිවයුතු ධනපති ක්‍රමයට එරෙහිව සටනක් ගෙනයාමය.

මිලියන ගනනක් ග්‍රීකයෝ, මෙම මැතිවරනය කිසිවක් තීන්දු නොකරන බව දැන සිටියහ. සිරිසාව හා ග්‍රීසියේ ජාත්‍යන්තර නය හිමියන් අතර ජූලි මාසයේ තමන්ගේ පස්සා පැත්තෙන් ඇතිකරගත් ගිවිසුමෙන් සිය අනාගත ඉරනමට අදාල මූලික දේ සියල්ල දැනටමත් තීන්දුකර හමාර බව ඔවුහු දැන සිටිති. සියයට 35ක් ඡන්ද ලබාගත් සිරිසාව ද සියයට 28ක් ඡන්ද දිනාගත් එහි ප්‍රධාන ප්‍රතිවාදියා වන නව ප්‍රජාතන්ත්‍ර පක්ෂය ද ඉහත ගිවිසුම මඟින් නියම කර ඇති තියුනු කප්පාදු පියවරයන් ක්‍රියාවට නැඟීමට කැපවී සිටිති.

නව ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ මැතිවරන උද්ඝෝෂනය මුලුමනින්ම පාහේ යොමුවී තිබුනේ, සිරිසාවේ “කඩවුනු පොරොන්දු” හා ආර්ථික පිලිවෙත් ක්‍රියාත්මක කිරීමේදී එහි “ආධුනිකකම” පිලිබඳව එය හෙලාදැකීමටය. දැනටමත් හැකිලී ගොස් ඇති ඔවුන්ගේ ජීවන තත්වයන් මත, වඩා “වෘත්තීයමය” ප්‍රහාරයක් පිලිබඳ බලාපොරොත්තුව, ග්‍රීක ඡන්දදායකයින් ආකර්ශනය කරගන්නා ස්ථම්භයක් වූයේ නැත.

ග්‍රීක පාර්ලිමේන්තුවේ සැලසුම්කල ආසන 145 සඳහා සිය දක්ෂිනාංශික සහචර පක්ෂයට දායකත්වය සැපයීමට නොහැකිවීමෙන් සිරිසාවට බහුතර බලය අහිමි විය. සංක්‍රමන විරෝධී හා යුදෙව් විරෝධී කයිවාරු යොදගනිමින් සිටින දක්ෂිනාංශික ස්වාධීන ග්‍රීකයෝ පක්ෂය සමඟ ඔවුන් පසුගිය ජනවාරියේ ගොඩනඟාගත් හවුල යලි අලුත් කරමින් සිටියි. කලින් ආන්ඩුවේදී සිප්‍රාස් මෙම දක්ෂිනාංශික දේශපාලන ප්‍රවනතාවය වෙත රටේ ආරක්ෂක හමුදාවන්හි පාලනය බාර දුන්නේය.

20දා රාත්‍රියේ සිප්‍රාස්, සිය මැතිවරන මූලස්ථානයේදී ප්‍රීතිඝෝෂා නඟන සිරිසා ආධාරකරුවන් හමුවේ ස්වාධීන ග්‍රීකයෝ නායක පැනෝස් කැමනෝස් සමඟ එක් වේදිකාවක සිට අත්පුඩි ගැසීය. දක්ෂිනාංශික පක්ෂය බලාපොරොත්තු වන ආසන 10 ද සමඟ ගත් කල එම හවුලට හිමිවන්නේ සුලු බහුතරයක් පමනි.

ත්‍රිත්වය විසින් නිර්දේශ කරනු ලබන කප්පාදු වැඩසටහනේ භාරකරුවන් ලෙස සිරිසාව හා සිප්‍රාස් යලි බලයට පත්වීම, “ස්ථාවරත්වය හා අඛන්ඩතාව” සඳහා ඉදිරි පියවරක් ලෙස යුරෝපීය ධනපති නායකයින්ගේ පැසසුමට ලක්ව ඇත. “එය වනාහි ග්‍රීසිය සඳහා වැදගත් වර්ධනයකි. දැන් එය පැහැදිලි බහුතරයක් සහිත ස්ථාවරත්වයේ වකවානුවක් තුලින් ගමන් කරනු ඇත” යනුවෙන් ප්‍රන්ස ජනාධිපති ෆ්‍රන්සුවා මිතරෝන් සිරිසා ජයග්‍රහනය වර්නනා කලේය.

නෙදර්ලන්ත මුදල් ඇමති හා යුරෝ කන්ඩායමේ ප්‍රධානී සිප්රාස්ට ශුභ පතමින් පැවසුවේ, තමා “ ග්‍රීක බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බවය. එසේම ග්‍රීසියේ අභිලාශවත් ප්‍රතිසංස්කරන ව්‍යායාමයේදී දිගටම සම්බන්ධකම් තබාගැනීමට අපේක්ෂා කරමි“ යනුවෙනි.

එලෙසම යුරෝපීය පාර්ලිමේන්තුවේ සභාපති වන ජර්මනියේ මාටින් ෂූල්ස් සඳහන් කලේ, “දැන් ස්ථාවර ආන්ඩුවක් කඩිනමින් වැඩට බැසීම අවශ්‍යය.” යුරෝපීය සංඟමයේ ආර්ථික ප්‍රධානියා වන මොස්කොවිසි පැවසුවේ සිප්‍රාස්, ගැඹුරුවන කප්පාදු ක්‍රියාත්මක කල යුතුව ඇති බවය. “සඳුදා පටන් අපි, ග්‍රීක ආර්ථික ප්‍රතිසංස්කරන වැඩසටහන ක්‍රියාවට නැඟීමේදී සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටිමු” යයි ඔහු පැවසීය.

“සිප්‍රාස් යලි ජයග්‍රාහී වීමෙන් පසුව තැතිගැන්මට පත්ව සිටි නයහිමියෝ කෙටි කලකට වුවත් සැනසුම් සුසුමක් හෙලූහ.” යන ශීර්ෂ පාඨය සහිතව ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ මනෝභාවය බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රය සම්පින්ඩනය කලේය. එය මෙසේ ද සඳහන් කරයි: “යුරෝ කලාපය තුල රැඳී සිටින බවට වාම අගමැති දී තිබුන පොරොන්දුව ඉටුකිරීමට අසමත් වනු ඇති බවට පැවති බිය හමුවේ, හිටපු අගමැති අලෙක්සිස් සිප්‍රාස් “20දා රාත්‍රියේ සාර්ථක ලෙස යලි බලයට පත්වීම, ග්‍රීසියේ ජාත්‍යන්තර නයහිමියෝ සාදරයෙන් පිලිගත්හ....දිග්ගැස්සී ගිය දේශපාලන අනිශ්චිත භාවයේ හා මැතිවරනය එක පෙලට දිව යන බවට පලවූ අනාවැකි වලින් පසුව, බිඳෙන සුලු හවුල් කථාවන්හි අවධියක රැඳී සිටි ආයෝජකයින්ට, ජනප්‍රිය අගමැති අඛන්ඩව බලයේ සිටින බව ඇසීම සතුටට කාරනයක් විය.”

ප්‍රතිචාර වශයෙන් සිරිසාවේ ප්‍රකාශක ඔල්ගා ගෙරොවසලි ඔවුන්ගේ සියලු බලාපොරොත්තු ඉටු කරන බවට පිලින දුන්නාය: “මෙය, ශක්තිමත් පාර්ලිමේන්තු බහුතරයක් සහිත සිව් වසරක ආන්ඩුවක් වනු ඇත. එය, තමන් පොරොන්දුවූ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරනු ඇත. මෙය සටනක ආරම්භය බව වටහාගනිමින් එය, නය හිමියන් සමඟ දැඩි සාකච්ඡා දිගටම ගෙන යනු ඇත.”

මෙම “සටන” කම්කරු පන්තියට එරෙහිවය. එය ග්‍රීක කම්කරු ජනතාව තරයේ විරුද්ධවූ ප්‍රතිපත්ති බලගැන්වීමට වඩ වඩාත් රාජ්‍ය මර්දනය උපයෝගි කර ගැනීම අනිවාර්යය.

හදිසි මැතිවරනය පැවැත්වීමේ කාලය සලකන කල, නව කප්පාදු පියවර ක්‍රියාවට නැඟීමේ කාල පරාසයට පෙරාතුව සියල්ල අවසානයකට ගෙන ඒමට සිප්රාස්ට පැවති ඕනෑකම පිලිබඳ සාධකය බැහැර කල නොහැකිය. නයහිමියන් ග්‍රීසිය පිලිබඳ විමර්ෂනයක් කිරීමට නියමිත අද සහ ලබන මාසය අතර, ආන්ඩුව විසින් විශ්‍රාම හා සමාජ ආරක්ෂන පද්ධතිය කපා දැමීම, බදු නැංවීම් මාලාවක්, නව වටයක පෞද්ගලීකරනය හා තව තවත් කප්පාදු සඳහා පියවර ගත යුතු 2016 අයවැය කෙටුම්පත් කිරීම කල යුතුව ඇත.

කප්පාදුවේ විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටිමින්, යුරෝපීය සංඟමයේ කප්පාදු ඉල්ලීම් වලට සිරිසාවේ යටත්වීම පිලිබඳව පවතින මහජන කෝපය ගසාකෑමට උත්සාහ කරන ෆැසිස්ට්වාදී ගෝල්ඩන් ඩොන් (ස්වර්නමය හිමිදිරිය) මැතිවරනයෙන් තුන්වැනියට විශාලම ඡන්ද හිමිකර ගැනීම වැදගත්ය. මිනීමරු ප්‍රචන්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වීමේ හේතු මත නායකයන් ගනනාවක් සිරගතව සිටින එම පක්ෂය, සියයට 7.2 ඡන්ද ලබාගත් අතර ජනවාරි මැතිවරනයේදී ඔවුන් ලබාගත් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව දෙකකින් වැඩිකරගෙන ආසන 19ක් හිමිකර ගනියි.

පාර්ලිමේන්තුවේ එක් ආසනයක් හෝ හිමිකර ගැනීමට අවශ්‍ය සියයට 3 සීමාව ඉක්මවීමට අසමත් වූයේ, පසුගිය මාසයේදී සිරිසාවෙන් කැඩී ගිය, විවිධාකාර ජාතිකවාදී හා ව්‍යාජ වාම කොටස් වලින් සැදුම්ලත්, කලින් වාම පෙරමුනේ අය අලුතෙන් පිහිටුවාගත් මහජන එකමුතුව පක්ෂයයි.

සිරිසා ආන්ඩුවේ කාර්මික, පරිසර හා බලශක්ති ප්‍රතිපත්ති පිලිබඳ ඇමතිව සිටි පැනගොයිටිස් ලසොනිස් විසින් නායකත්වය දුන් මහජන එකමුතුවේ පක්ෂය, නින්දිත ලෙස වුවත් යුක්තිසහගතව අසාර්ථක විය. සිය මැතිවරන උද්ඝෝෂනයේදී ඔවුහු, සිරිසාවේ මුල් කප්පාදු විරෝධී න්‍යායපත්‍රයේ නියමුවන් ලෙස තමන් හඳුන්වා ගත්හ.

ලෆසානිස් හා ඔහුගේ අනුචරයින් පවා සිප්රාස් විසින් පිලිගෙන තිබුනු කප්පාදු පැකේජය ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට යාමේදී, මුලුමනින්ම දෙගිඩියා සහගත විය. එය පක්ෂයේ මධ්‍යම කාරක සභා ඡන්දයකට යොමු කිරීමට බල කිරීම ඔවුහු ප්‍රතික්ෂේප කලහ. ඔවුන් සිරිසාවෙන් කැඩී ගියේ, සිප්‍රාස් තමන් ඊලඟ මැතිවරනයේ පක්ෂ අපේක්ෂකයින් ලෙස නම් නොකරන බව පැහැදිලි වීමට පටන්ගැනීමෙන් පසුව පමනි.

එසේම සිරිසාවේ ප්‍රතිපත්ති වලට ප්‍රතිගාමී ජාතිකවාදී පදනමකින් විරුද්ධත්වය පල කල ස්ටැලින්වාදී ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය ද කිසිදු ජයක් ලැබීමට අසමත් විය. ජනවාරි මැතිවරනයට සාපේක්ෂව ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය සුලු වශයෙන් පහත වැටී ඇත.

සිය ජයග්‍රහනය පැහැදිලි වීමට පටන්ගැනීමෙන් පසුව 20දා සිප්රාස් ට්වීට් කර තිබුනේ, “අප ඉදිරියේ දුෂ්කර හා අරගලයක මාවතක් විවෘත වී තිබේ” යනුවෙනි. සත්තකින්ම ඔහු කැපවී සිටින ප්‍රතිපත්ති, ග්‍රීසිය තුල උත්සන්නවූ පන්ති අරගලයේ අවධියක් නොවරදවාම විවෘත කරනු ඇත. තීරනාත්මක ප්‍රශ්නය වන්නේ සිරිසා ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමයි.

Share this article: