චීනයට එරෙහි “හැරීම” සඳහා ඉන්දියාව සන්නද්ධ කිරීමේදී රහස් රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ග අනුගමනය කරන්නැයි ඉන්දියානු විශ්ලේෂකයා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියි

Indian analyst urges US to use secret diplomacy in harnessing Delhi to anti-China “pivot”

කේ. රත්නායක විසිනි, 2016 මාර්තු 25

ඉන්දියාව ඇමරිකාව සමඟ යුද ආරක්ෂක සබඳතා පුලුල් කිරීම ගැන රාජා මෝහන් දැඩි සහයෝගය පල කරයි. එහෙත් ඇමරිකානු පැසිෆික් ප්‍රධාන අනදෙන නිලධාරි, අද්මිරාල් හැරී හැරිස් මෑතකදී කල කතාවකින් සලකුනු කල පරිදි ඇමරිකාව, එලිපිටම නවදිල්ලියට පීඩනය දැඩි කිරීම මඟින් තත්වය ව්‍යාකූල කරන බවට ඔහු අනතුරු අඟවයි.

මෙම මස මුල නව දිල්ලියේදී ප්‍රසිද්ධියේ කරනු ලැබූ යුදවාදී කතාවකදී අද්මිරාල් හැරිස්, ඇමරිකානු සහ ඉන්දීය නාවුක හමුදාවන් ගෙන් ඉල්ලා සිටියේ මතභේදාත්මක දකුනු චීන මුහුද ඇතුලත් වන පරිදි ඉන්දියානු සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා ඒකාබද්ධ මුර සංචාර වර්ධනය කරගන්නා ලෙසයි. ඇමරිකාව සහ එහි වැදගත් ඉන්දු-පැසිෆික් සගයින් වන ඔස්ට්‍රේලියාව සහ ජපානය සමඟ චතුර්පාර්ශවික “ආරක්ෂක” සාකච්ඡා වලට එක්වන ලෙස ඔහු තවදුරටත් ඉල්ලා සිටි අතර මෙම වසරේ ඉන්දියා-ඇමරිකා-ජපාන ත්‍රෛපාර්ශවිය නාවුක අභ්‍යාසයන් දකුනු චීන මුහුදට නුදුරු පිලිපීනයේ ඊසානදිග වෙරලේ සිදුකෙරෙන බව ද සඳහන් කලේය.

හැරිස්ගේ “යෝජනාවල” ඉලක්කය වන්නේ, චීනය මූලෝපායිකව හුදකලා කිරීම සහ වටලෑම මඟින් චීනයේ “නැගීමට” හරස්කැපීම සහ අවශ්‍ය වුවහොත් යුද්ධයක් දියත් කිරීම සඳහා වන වොෂින්ටනයේ ව්‍යායාමය හෙවත් ඇමරිකාවේ “ආසියාවට හැරීම” වෙතට ඉන්දියාව වඩ වඩාත් ඇදගැනීමයි.

මෙම සියවසේ මුල සිට, චාටුවේ හා බලපෑම් දැමීමේ උපායන් තුලින් සිය කොල්ලකාරී මූලෝපායික න්‍යායපත්‍රයට අනුව ඉන්දියාව සන්නද්ධ කිරීමට වොෂින්ටනය කටයුතු කරයි. “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වයක්”; ඉන්දියාව ඇමරිකානු යුද අවි මත යැපෙන්නෙක් බවට පත්කරගැනීම ඉලක්ක කෙරුනු ආයුධ වෙලඳාම් සහ හවුල් මිලිටරි නිෂ්පාදන ගිවිසුම්; ඉන්දියාවට ඉන්දියන් සාගර බලවතෙක් බවට පත්වීමට සහ ගිනිකොනදිග ආසියාව සමඟ වේගයෙන් වැඩෙන ආර්ථික සහ මිලිටරි ආරක්ෂක සබඳතා සඳහා “අනුබලය ” සහ “සහාය”; සහ න්‍යෂ්ටික අවි වැඩි දියුනු කිරීම මත ඉන්දියාවට, ස්‌වදේශීය න්‍යෂ්ටික වැඩසටහනකට යොමුවීමට ඉඩ සැලසෙන සිවිල් න්‍යෂ්ටික ගනුදෙනුවක් ඊට අන්තර්ගතය.

මෝහන් ඉන්දියාවේ මුල්පෙල භූදේශපාලනික මූලෝපායඥයින් අතරට වැටෙන, විශේෂයෙන්ම බටහිර මිලිටරි චින්තන පර්ෂද සමඟ කිට්ටු සම්බන්ධයක් ඇති අයෙකි. ඉන්දියානු ආන්ඩුවේ ජාතික ආරක්ෂක අනුශාසක මන්ඩලයේ සාමාජිකත්වය දැරුවෙක් වන ඔහු, මේ වන විට ඇමරිකානු පදනමක් සහිත ජාත්‍යන්තර සාමය සඳහා කානගී ආධාර පදනමෙහි ප්‍රාදේශීය කාර්යාංශයක් වන කානගී ඉන්දියා හි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන අතර ජාත්‍යන්තර ප්‍රතිපත්තිය පිලිබඳ ඕස්ට්‍රේලියාවේ ලොවි ආයතනයේ සගයෙකි.

ඉන්ඩියන් එක්ස්ප්‍රස් හි ඔහු පල කල තීරු ලිපියේ, ඉන්දියාව අන් කවරදාකටත් වඩා සමීප ලෙස ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය සමඟ උපායමාර්ගික සබඳකම් ශක්තිමත් කර ගැනීමට පක්ෂව කතා කරයි. ඉන්දියාව “බහු විධ පෙලගැසීම” හෙවත් මහා බලවතුන් සියලුදෙනා සමඟ ආර්ථික සහ මූලෝපායික සබඳකම් ගොඩනඟා ගැනීමට පක්ෂව ඔහු කලක සිට කතාකරමින් සිටින අතර, ඇමරිකාව, චීනය සහ රුසියාව අතර ආතතීන් උග්‍රවීමෙහි අර්ථය, නව දිල්ලිය සිය මූලෝපායික තෝරාගැනීම් සඳහා සූදනම් විය යතු බව යැයි තර්ක කරයි. ඔහු මෙසේ ලියයි: තමන්ගේ “බහු විධ පෙලගැසීම පිලිබඳ මූලෝපායේ ” මතුවෙන කඩතොලු වලට යම් කලකට පැලැස්තර දමාගැනීමට “යුහුසුලු රාජ්‍යතාන්ත්‍රික කටයුතු” ඉන්දියාවට ඉඩ සලසනු ඇත. එහෙත් “මහා බලවතුන් අතර උපාමාරු දැමීමේදී සිය අවශ්‍යතා පිහිටුවන්නේ කොතැනකද යන්න පිලිබඳ යම් අපහසු තීන්දු ගැනීමට ඉන්දියාවට සිදුවනු ඇත.”

හැරිස් දිල්ලියේ පැවැත්වූ කතාවට ප්‍රතිචාර ලෙස මෝහන් ලියූ තීරු ලිපියක, ඇමරිකාවේ “විවෘත රාජ්‍යතාන්ත්‍රික කටයුතු” ගැන දොස් පවරන අතර “ඇමරිකාව සමඟ උපායමාර්ගික සහයෝගීතාවය වර්ධනය කිරීම” සඳහා “රහසිගත රාජ්‍යතාන්ත්‍රික කටයුතු” භාවිත කිරීමට ඉන්දියානු හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව දරන උත්සාහය, එනම් “දෙඩවිල්ල නතර කරගත නොහැකි” “අධික ලෙස කෑදර වොෂින්ටනය” සමඟ රහස් සම්මුති සහ ගිවිසුම් යොදාගැනීම අතර වෙනස පෙන්වා දුනි.

මෝහන්ගේ තීරු ලිපිය කොන්ග්‍රස් නායකත්වයෙන් පැවති සභාග ආන්ඩුවේ “වැනෙන” ප්‍රතිපත්තියෙන් බිඳීම ගැනත්, දකුනු චීන මුහුදේ මතභේදයට ඉන්දියාව ඈඳා ගැනීමෙන් වැලකීම ගැනත් අගමැති නරේන්ද්‍ර මෝඩි පැසසුමට ලක්කර ඇත. “ මලක්කා සමුද්‍ර සන්ධියේ ඉන්දියානු පංගුව තහවුරු කරගැනීමේදී මෝඩි සෘජුව වැඩ කර ඇත.” මෝහන් ලියයි. මෝඩි සහ ඔබාමා 2015දී අත්සන් කල “ඉන්දු-පැසිෆික් කලාපයේ උපායමාර්ගික සහයෝගීතාවය පිලිබඳ අපේක්ෂා සහගත පෙරදැක්ම ” ඔහු වර්නනා කරයි. එය චීනය දකුනු චීන මුහුදේ ආක්‍රමනිකයා ලෙස පින්තාරු කරන අතර ඇමරිකාව “නාවුක ගමනාගමනයේ නිදහස රකින්නා” ලෙස හුවා දක්වන ලියවිල්ලකි. චීනයේ විරෝධතා නොතකා මලබාරයේ ඉන්දු-ඇමරිකා වාර්ෂික නාවුක අභ්‍යාසවල ස්ථිර හවුල්කාරයෙකු බවට පත්වීමට ජපානයට ඇරයුම් කිරීම ද ඇතුලු, වොෂින්ටනය සහ ටෝකියෝව සමඟ විදේශ ප්‍රතිපත්ති සහයෝගීතාව සහ ත්‍රෛපාර්ශ්විය මිලිටරි-ආරක්ෂාව ඉහල නැංවීම ගැනද ඔහු බීජේපී ආන්ඩුවට ප්‍රසංශා කලේය.

චීන වෙරල තීරයේ යුද නැව් බලමුලුගැන්වීමේ ඇමරිකානු “අයිතිය ” තහවුරු කිරීම සහ යුද්ධයකදී හෝ යුද අර්බුදයකදී ආර්ථික වශයෙන් චීනය වැටලීම සඳහා නාවුක මර්මස්ථාන අල්ලාගනිමින් තම බලපරාක්‍රමය පිහිටුවීම ඉලක්ක කරගත් ඇමරිකාවේ දැඩි ආක්‍රමනකාරී “නාවුක ගමනාගමනයේ නිදහස” සඳහා වූ දකුනු චීන මුහුදේ මෙහෙයුම් වලට, ඉන්දියාව සම්බන්ධ වීම කෙරෙහි සිය සහාය, මෝහන් සිය තීරුලිපිය තුලින් ඇඟවුම් කර ඇත. මෝහන්ට අනුව “ඒකාබද්ධ මුරසංචාර (ඉන්දු-ඇමරිකන් නාවුක) පිලිබඳ ප්‍රශ්නය සෑම දිනකම දකුනු චීන මුහුදේ ප්‍රමුඛතාවට පත් වෙයි.”

එහෙත් “ඉන්දියානු මාධ්‍ය සහ බීජිනයේ විචාරකයින් කලබල කරවන , ඒකාබද්ධ නාවුක මුර සංචාර සම්බන්ධ වොෂින්ටනයේ අතොරක් නැති ප්‍රසිද්ධ කතා වලින් නව දිල්ලියට කරදර පමුනුවනු ලැබ ඇති බවට ඔහු අනතුරු අඟවයි. “ඇමරිකාවේ අනවශ්‍ය එලිමහන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු, මාතෘකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ තීරනය සංකීර්න කර ඇතිවා පමනක් බව” මෝහන් පවසයි.

ඉන්දියාව චීනයට එරෙහි යුද ධාවනයේ “ඉදිරි පෙරමුනේ ” රාජ්‍යයක් බවට පත් කරගැනීමේ වොෂින්ටනයේ සැලසුම් පිලිබඳ විවෘත සාකච්ඡා , බීජේපී ආන්ඩුව සහ ඉන්දීය පාලක පන්තිය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආවතේවකරුවකු සහ මාන්ඩලිකයෙකු බව හෙලිකරනු ඇතැයි යන්න පිලිබඳවය මෝහන් බියට පත් වන්නේ. අනුප්‍රාප්තික ඉන්දියානු ආන්ඩු ජනතාවට හොරා ඉන්දියාව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය මිලිටරි මූලෝපායික ප්‍රචන්ඩත්වයට ගැටගසාගෙන ඇත. ඉන්දු-ඇමරිකන් සන්ධානය සහ එහි ගම්‍යයන් එලිදරව්වීම ඉන්දියානු කම්කරු, තරුන හා පීඩිත ජනතාවන්ගේ විරෝධය අවුලුවනු ඇති බව ඔහු වටහාගෙන ඇත. කලින් පැවති කොන්ග්‍රස් ආන්ඩුව මෝහන්ගේ වචනවලින්ම කියතොත් චීනයට එරෙහිව ඇමරිකාව සමඟ එලිපිට සන්ධාන ගත වීමට “දෙගිඩියා සහගත” වූයේ, මැදපෙරදිග ගෙනගිය නිමක් නැති යුද ව්‍යායාමය ද ඇතුලු අධිරාජ්‍යවාදයට කම්කරු පන්තිය ප්‍රමුඛ කොටගත් පුලුල් කන්ඩායම් අතර තදින්ම මුල්බැසගෙන තිබූ සතුරු භාවයයි.

ඉන්දු-ඇමරිකා සම්බන්ධකම් ගැන පලවූ මෙම ආසන්න තීරු ලිපියේ ඔහු ඇමරිකාව සමඟ ආසන්න සම්බන්ධතා වලට ඇති තවත් බාධකයක් මෙසේ ගෙනහැර දක්වයි: එනම් දශක ගනනාවක් වොෂින්ටනයේ ඉත්තන් සහ බලල් අත් ලෙස ක්‍රියාකල මිලිටරියක් සහ පාලක ප්‍රභූවකින් සමන්විත පකිස්තානය සමඟ ඇමරිකාවේ සම්බන්ධතාය. මුලදී ඔවුන් සීතල යුද සමයේ එම රාජකාරියේ යෙදුනු අතර දැන් ව්‍යාජ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී ” ඇෆ්ගනිස්ථානය තුල එම රාජකාරියේ යෙදේ.

“රාවල්පින්ඩියට (පකිස්තාන් මිලිටරියට) වොෂින්ටන් නිලධරයේ කොටස්වල පවතින විවෘත ඇල්ම මෝඩි ආන්ඩුවට හිසරදයකට වැඩි දෙයක් බවට පත්ව ඇත.” මෝහන් එසේ ලියයි.

මෝහන් එය බොහෝ වචනවලින් කොකියන නමුත් එහි ගම්‍යයන් පැහැදිලිය. දේශසීමා හරහා එක දිගට කෙරෙන වටලෑම් සහ යුද්ධය ඇතුලත් කරගෙන, වඩා ශක්තිමත් සහ ආක්‍රමනශීලී මිලිටරියක් සහ රාජ්‍යතාන්ත්‍රික සූදානම හරහා ඉස්ලාමාබාදය සමඟ “තරඟයේ නීති වෙනස්කිරිමට” තමන් දරන උත්සාහයට ඔබාමා පරිපාලනය රුකුල් දී නැති වීම බීජේපී ආන්ඩුව රුස්සන්නේ නැත.

දකුනු චීන මුහුදේ ඒකාබද්ධ මුර සංචාරයන්ට එකඟවීම සහ චීනයට එරෙහි ඇමරිකාවේ මිලිටරි-මූලෝපායික ප්‍රචන්ඩත්වයට ඉන්දියාව විධිමත්ව ගැටගසන අනෙකුත් පියවරයන්ට හුවමාරු වශයෙන් වොෂින්ටනය නවදිල්ලියට, පකිස්තානයට එරෙහි “නිදහස් පහරක්” හෝ නැතිනම් දකුනු ආසියාවේ අධිකාරිත්වය පිරිනමතැයි මෝඩි සහ ඉන්දීය මිලිටරි-ආරක්ෂක සංස්ථාපිතයම හෝ අඩු තරමින් ඉන් වැඩි කොටසක් බලාපොරොත්තු තබා සිටියි.

සිය තීරුලිපිය අවසන් කරමින් මෝහන් අනතුරු අඟවන්නේ “පකිස්තානු මිලිටරියට වොෂින්ටනයේ තැරැව්කාරකම” සහ ඉන්දියාව සම්බන්ධ ඔවුන්ගේ මූලෝපායික න්‍යායපත්‍රය එලිමහනට ගැනීම මූලෝපායික හවුල්කාරීත්වය (ඉන්දු-ඇමරිකා) මෑතකදී දිනාගත් දේ මුදුන්පමුනුවා ගැනීම සඳහා අතේ ඇති අවස්ථාව නාස්ති කරගැනීමකට තුඩු දිය හැකි බවයි.

මෙහිදී මෝහන් මෙම මස අගදී මෝඩිගේ ඇමරිකානු සංචාරය තුලදී, ඇමරිකානු මිලිටරියට, ඉන්ධන පිරවීම සහ සැපයුම් ලබාගැනීම සඳහා ඉන්දියානු වරාය සහ කඳවුරු භාවිතයට ඉඩසලසන ගිවිසුමක් අත්සන්කිරීමේ අද්දර සිටින බවට වාර්තා පලවන අතර, ඉන්දියාව තුල ඇමරිකානු යුද ආම්පන්න නිෂ්පාදනය කිරීමේ සැලසුම් වෙත එය යොමුව ඇත. වැඩි දියුනු ආයුධ පද්ධති සහයෝගී ලෙස දියුනු කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා සහ එෆ්-16 ප්‍රහාරක ගුවන් යානයේ වැඩිදියුනු සංස්කරනයන් ඉන්දියාවේ නිපදවීම සඳහා වන ව්‍යාපෘති දෙක තීරුලිපියේ පසු සඳහනක ඇතුලත් විය.

හැරිස් දිල්ලියේදී කල කතාවත්, මෝහන්ගේ තීරු ලිපියත් යන දෙකම ඉන්දියාව දැනටමත් ඇමරිකාවේ චීනයට එරෙහි යුද ධාවනයට එක්කාසු වී ඇති ප්‍රමානය ඉස්මතු කරන අතර විශේෂයෙන් ඒ ඇමරිකාව විසින් පිලිපීනයට, වියට්නාමයට සහ අනෙකුත් රාජ්‍යවලට ශක්තිමත් ලෙස චීනයට විරුද්ධව සිය සමුද්‍ර බලප්‍රදේශවල හිමිකම් තහවුරු කරගැනීමට දිරිමත් කෙරෙන දකුනු චීන මුහුද තුලය.

ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ සන්ධානය සහ කෑදර, අල්ලසට නැවෙන සුලු ඉන්දීය ධනේශ්වරය, දකුනු ආසියාවේ මෙන්ම ලෝකයේ ජනතාවට බරපතල තර්ජනයක් ගෙන එයි.

ඉන්දියාව දුප්පත් රටක් වුවත් එහි ප්‍රමානය, ඉන්දියානු සාගරයේ භූගෝලීය අධිකාරය, සහ වේගයෙන් ප්‍රසාරනය වන මිලිටරියේ අර්ථය වන්නේ, එහි උදව්ව ඇමරිකාවේ බලය තරකිරීම අතින් වැදගත්කමක් උසුලන බවත්, චීනය යටත් කිරීම සඳහා වන වොෂින්ටනයේ සාහසික ධාවනයට රුකුලක් වන බවත්ය. ඔවුන්ගේ තර්කයට අනුව එම ධාවනය යුද්ධයයි.

මේ අතර ඉන්දියාවේ පාලක ප්‍රභූව, වොෂින්ටනය සමඟ සන්ධානය තමන්ගේම ඉහල බල අරමුනු හඹායාමට යොදාගත හැකි මං සොයයි. විශේෂයෙන්ම ඒ සිය න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ සතුරු පකිස්තානය තලා දැමීමයි.

ඇමරිකාව සමඟ සිය මූලෝපායික හවුල්කාරිත්වය ප්‍රයෝජනයට ගනිමින් නව දිල්ලිය අත්කර ගන්නා මිලිටරි වාසි වලට හරස් කැපීමේ උත්සාහයක යෙදෙමින් ඉස්ලාමාබාදය, චීනය වෙත හැරෙයි. ඉන්දියාව සහ පකිස්තානය අතර ප්‍රතිගාමී භූ දේශපාලනික ගැටුම, වඩ වඩාත්, ඇමරිකාව සහ චීනය අතර ආතතීන් සමඟ පැටලෙමින්, ඒ සියල්ල පිපුරුම් සහගත නව මානයකට ඇද දමයි.

ආර්ථික අර්බුදයේ ගිලී සිටින ලෝක ධනේශ්වර ක්‍රමය මනුෂ්‍යවර්ගයා ගිනි මැලයකට ඇද දැමීමෙන් වලකා, පසුගිය සියවසේ ඇතිවූ ලෝක යුද්ධ යලි ඇති නොවීමට වග බලාගත හැකි සමාජ බලවේගය සමාජවාදී-ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ වූ ලෝක කම්කරු පන්තියයි.

අධිරාජ්‍යවාදයට සහ යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ නායකත්වයෙන් යුතු ගෝලීය ව්‍යාපාරයක් ගොඩනැගීම උදෙසා දකුනු ආසියාව පුරා කම්කරු පන්තිය සහ තරුනයින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මැයි 1වෙනිදා පවත්වන්නට යෙදෙන අන්තර්ජාතික මැයි රැලියට සහභාගී වීම වැදගත්ය.

Share this article: