ඔබාමාගේ න්‍යෂ්ටික සමුලුව යුද්ධයේ තර්ජනය මතු කරයි

Obama’s nuclear summit underscores danger of war

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2016 අප්‍රේල් 02

රටවල් 50කට වැඩි සහභාගීත්වයක් සහිතව වොෂින්ටනයේ පැවති න්‍යෂ්ටික ආරක්ෂන සමුලුව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් 1දා අවසන් කලේ, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය සීමාකිරීම සම්බන්ධයෙන් තමා අත්පත්කරගත් බව කියන ජයග්‍රහන ඉස්මතු කෙරුනු නීරස ප්‍රකාශයකිනි. යතාර්ථය නම් ඔබාමා පාලනය න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ අවදානම උග්‍ර කලා මිස අවම කලේ නැති බවයි.

සමුලුව පැවැත්වූයේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” නමැති බැනරය යටතේ අල් කයිඩා සහ අයිසිස් සංවිධානය න්‍යෂ්ටික අවි අත්පත්කර ගැනීම වැලැක්වීම සඳහා ජාත්‍යන්තර එකමුතුව ගොඩනැඟීමට බව කියනු ලැබේ. “මේ උන්මත්තකයින් කවදා හෝ න්‍යෂ්ටික බෝම්බ හෝ න්‍යෂ්ටික මූලද්‍රව්‍යවලට අත තැබුවොත් ඔවුන් හැකිතාක් අහිංසකයින් මරාදැමීමට එය භාවිතා කරනු ඇතැ”යි ඔබාමා පැවසීය.

කෙසේ වෙතත් මනුෂ්‍ය වර්ගයා මුහුනදෙන බරපතලම අනතුර න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ බලවතුන් අත‍ර විපත්තිකර ඝට්ටනයකට පිටිය සකසමින් ධවල මන්දිරයේ උන්මත්තකයින්, මැදපෙරදිග, නැගෙනහිර යුරෝපය සහ ආසියාව තුල ජ්වලන කේන්ද්‍ර අවුලුවා තිබීම විනා අයිසිස් හෝ අල්කයිඩාවරු න්‍යෂ්ටික අවි ලබාගෙන භාවිත කිරීම නොවේ.

වොෂින්ටනය සහ මොස්කෝව අතර සම්බන්ධතා කොතෙක් පලුදුවී තිබේ ද කිවහොත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමුලුවට පැමිනීම ප්‍රතික්ෂේප කර තිබුනි. සමුලුව අවසානයේදී ඇමරිකානු මිලිටරිය නිවේදනය කලේ, 2017 පෙබරවාරි වන විට, රුසියාවට මායිම් වන නැගෙනහිර යුරෝපයේ නේටෝ රටවල හමුදා සේනාංක තුනක් “ස්ථිර ලෙස ස්ථානගත කිරීම” සඳහා සැලසුම් කරන බවයි.

මැදපෙරදිග කලාපය තුල අයිසිස්ට එරෙහිව සටන් වැදීමේ කඩතුරාව යටතේ ඇමරිකාව සහ එහි සහචරයෝ, මොස්කෝවට හිතැති ජනාධිපති බෂර් අල් අසාද් ගේ සිරියානු රෙජීමය බලයෙන් පහකිරීම සඳහා භයානක ගැටුමකට පැටලී සිටිති. පසුගිය නොවැම්බරයේ නැටෝ සහචරයෙකු වන තුර්කිය, සිය ගුවන් කලාපයට බලහත්කාරයෙන් ඇතුලුවූයේ යැයි කියන රුසියානු ගුවන් යානයක් වෙඩිතබා බිම හෙලූ අවස්ථාවේ, මිලිටිරි ගැටුමක අනතුර මතු විය. එම ප්‍රකෝපකරනය නිසැකවම වොෂින්ටනයේ අනුදැනුම මත සිදුවූවකි.

සමුලුවට රුසියාවේ නොපැමිනීම එහි වංචාකාරී ස්වභාවය ඉස්මතු කරයි. “න්‍යෂ්ටික අවිවලින් තොර ලොවක්” සඳහා වන ඔබාමාගේ දැක්ම සමච්චලයට ලක් කෙරෙමින්, ඇමරිකාව සහ රුසියාව ලෝකයේ ඇති භාවිත කිරීමට සූදානම් න්‍යෂ්ටික බෝම්බ 10,000කින් පමන සමන්විත අවි තොගයෙන් සියයට අනූවක් සිය සන්තකයේ තබා ගෙන සිටිති. “න්‍යෂ්ටික ආයුධ සීමාකිරීමේ” වොෂින්ටන් ප්‍රතිපත්තියේ ඉලක්කය, රුසියාව ඇතුලු ඕනෑම විභව ප්‍රතිවාදියෙකු මත සිය අනසක පවත්වා ගැනීම පිලිබඳව සහතික වීම මිස ලෝකය න්‍යෂ්ටික බෝම්බවලින් ගලවා ගැනීම නොවේ.

න්‍යෂ්ටික සමුලුව තුල ධවල මන්දිරයේ ප්‍රමුඛ අවධානය යොමු වූයේ චීනය කෙරෙහිය. ඔබාමා සිය චීන ප්‍රතිවාදියා වන ෂී ජින්ග්පින් නිල නොවන ආකාරයෙන් මුන ගැසුනු මොහොත ආතති සහගත විය. කලින් දවසේ වොෂින්ටන් පොස්ට් හි පල කල ප්‍රකාශයක් තුල ඇමරිකානු ජනාධිපති “උතුරු කොරියාවේ නොනවතින ප්‍රකෝපකරනයන්” නම් කර තිබුනේ “නොනිමි රාජකාරියක්” ලෙසයි. කොරියානු අර්ධද්වීපය තුල න්‍යෂ්ටික අවි හරනයකට චීනය හා ඇමරිකාව එකඟව සිටින අතරම චීන ජනාධිපති, දකුනු කොරියාව තුල ටීඑච්ඒඒඩී ලෙස හඳුන්වන ගුවන් ආරක්ෂන පද්ධතියක් පිහිටුවීමේ පෙන්ටගන සැලැස්මට “තදින් විරුද්ධවූයේය.”

බලයට පත් වූ මොහොතේ සිට ඔබාමා උතුරු කොරියාවේ ආයුධ සහ පහසුකම් තුරන් කිරීම සඳහා වන සය පාර්ශවික සාකච්ඡා යලි ආරම්භ කිරීමට හරස් කැපුවේය. ඒ වෙනුවට ඔහු කලේ චීනයට විරුද්ධ “ආසියාව වෙත හැරීමේ” පුලුල් වැඩපිලිවලේ කොටසක් හැටියට දකුනු කොරියාව සහ ජපානය තුල කෙරෙන මිලිටරි ඉදිකිරීම් යුක්තිසහගත කරගැනීමට කොරියානු අර්ධද්වීපයේ ආතතීන් යලි යලිත් ගසාකෑමයි.

බැලස්ටික් මිසයිල නාෂක පද්ධතිය මුලින් ඉලක්ක කලේ චීනයට එරෙහිව විනා උතුරු කොරියාවට එරෙහිව නොවේ. වොෂින්ටනයේ නිරන්තර ඝෝෂාව චීනයේ මිලිටරි ව්‍යාප්තිය තුලින් මතු කෙරෙන “තර්ජනය” පිලිබඳවය. චීනය සතුයැයි ඇස්තමේන්තු ගත න්‍යෂ්ටික අවි 260 හා සසඳන කල ඇමරිකාව සතු සූදානමේ පවතින වැඩි දියුනු 5000ක න්‍යෂ්ටික අවි තොගය පිලිබඳව කථාවක් නැත.

තවද ආරක්ෂක අවියක් බව කියන ටීඑච්ඒඒඩී පද්ධතිය, ඕනෑම සතුරෙකුට එරෙහිව “න්‍යෂ්ටික සුපිරි” බලය ලඟා කරගැනීමේ පෙන්ටගන උත්සාහයේ කොටසක් ලෙස පවතී. චීනය මෙන් නොව ඇමරිකාව කිසිදා පලමු න්‍යෂ්ටික ප්‍රහාරය එල්ල කිරීමේ උත්සාහය අතහරින්නේ නැත. ටීඑච්ඒඒඩී පද්ධතිය යනු, පූර්ව භංග න්‍යෂ්ටික ප්‍රහාරයකින් විනාශ නොකෙරෙන, කවර හෝ චීන අවියක් කවර හෝ ඇමරිකානු ඉලක්ක වෙත ලඟාවීමට පෙර බිම හෙලීමට හැකි බව සහතික කරන්නකි.

දකුනු චීන මුහුද අරභයා ෂි සහ ඔබාමා රාජ්‍යතාන්ත්‍රික ගුටිබැට හුවමාරුවක යෙදී සිටියහ. සිය හමුවට ප්‍රථම චීන පාලනය යටතේ පවතින දිවයින් “මිලිටරිකරනය” ගැන ඇමරිකානු නිලධාරීන් යලිත් චීනයට චෝදනා නැගූ අතර ගුවන් ආරක්ෂන හඳුනාගැනීම් කලාපයක් (ඒඩීඅයිඉසෙඩ්) නම් කිරීම ගැන අනතුරු ඇඟවුයේය.

ආරක්ෂක උපලේකම් රොබට් වර්ක් ගුවන් ආරක්ෂක කලාපය “අස්ථායිකරනයක්” ලෙස නම් කල අතර ඇමරිකාව එය පිලි නොගනු ඇති බව පැවසීය. 2012දී චීනය නැගෙනහිර චීනයේ ගුවන් ආරක්ෂක කලාපයක් ප්‍රකාශයට පත්කල පසු ඇමරිකාව න්‍යෂ්ටික බලය සහිත B-52 ප්‍රහාරක යානා එහි යැවීය.

දකුනු චීන මුහුදේ ඉහලයන අස්ථාවරත්වය, චීනයට විරුද්ධව ප්‍රකෝපකාරී පීඩනයක් යොදමින් සිය සමුද්‍ර හිමිකම් ඉල්ලා සිටීමට පිලිපීනය, වියට්නාමය වැනි රටවල් දිරිමත් කරන වොෂින්ටනයේ ක්‍රියාකලාපයෙහි සෘජු විපාකයකි. පසුගිය වසර පුරාවට දකුනු චීන මුහුද තුල චීනය සිය භූමි හිමිකම් පෑම සහ “පතුරුවා හැරීම” ඇමරිකාව දිගටම හෙලාදැක ඇත. ගෙවුනු ඔක්තෝබරයේ සහ නැවත ජනවාරියේ අවස්ථා දෙකකදී චීන පාලනය යටතේ පවතින දිවයින් වටා නාවුක සැතපුම් 12ක සිමාව තුල, “නාවුක ගමනාගමනයේ නිදහස” මෙහෙයුම් සඳහා ඇමරිකාව සිය නාවුක ප්‍රහාරක යාත්‍රා පිටත්කලේය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතට අනුව “දකුනු චීන මුහුදේ මිලිටරි මධ්‍යස්ථාන ගොඩනැගීම” ගැන ද නැවත වතාවක් ඔබාමා ෂි ට පීඩනය යෙදුවේය. ඊට පිලිතුරු වශයෙන් ෂි ඔබාමාට පවසා සිටියේ, භූමිය පිලිබඳ මතභේද හමුවේ වොෂින්ටනය, පැත්තක් නොගෙන “අපක්ෂපාත සහ වෛෂයික ආකල්පයක්” දරමින් සිය වගකීම “තදින්ම” රකිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

චීනයේ ෂින්හුවා පුවත් ඒජන්සියට අනුව ෂි අනතුරු අඟවා ඇත්තේ “නාවික ගමනාගමනයේ නිදහස” නාමයෙන් චීනයේ ස්වෛරීත්වයට කෙරෙන හානියක් බීජිනය නොඉවසන බවයි.

දකුනු චීන මුහුදේ ඇමරිකානු යුද නැවකට නැගුනු වාර්තාකරුවෙකුගේ ඇසින්දුටු දේ අඩංගුකරමින් වාර්තා කලාවේ ලීලාවෙන් කෙරුනු ප්‍රචාරනයකට තවත් උදාහරනයක් මෙම සතියේදී නිව්යෝර්ක් ටයිම්ස් සැපයුවේය. එම ස්ථානයේ සිටම කෙරුනු වාර්තාවෙන් පැහැදිලි කෙරුනේ දැන් දකුනු චීන මුහුදේ නිරන්තරව සැරි සරන චීන බල ඇනි සමඟ ඇමරිකාව පොරයට යන බවයි. මෙම මුහුනට මුහුන ගැටෙන සෑම මොහොතක්ම අවිගැටුමකට සහ පුලුල් අර්බුදයකට මඟ පාදන වැරදි ගනනය කිරීමක අනතුර මතුකරයි.

“මතභේදකාරී මුහුදේ මුරසංචාර, ඇමරිකාව සහ චීනය ආධිපත්‍ය සඳහා හැප්පෙයි.” යන හිසින් යුතුව සති දෙකකට ඉහතදී කාර්යමන්ඩල සභාපතිත්වයේ සම ප්‍රධානීන් වන ජනරාල් ජෝසප් ඩන්ෆෝර්ඩ් සහ ඇමරිකාවේ පැසිෆික් ආඥාපති හැරී හැරිස්ගෙන් ඇසුනු සංවාදයක් නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රය වාර්තා කලේය. “ස්කැබැරෝ ශෝල්ස් (චීනය සහ පිලිපීනය හිමිකම් කියන ගල්පරයක්) සම්බන්ධයෙන් ඔබ යුද්ධයකට යනවාද?” ඩන්ෆෝර්ඩ් ඇසුවේය. හැරිස් ඊට දුන් පිලිතුර අසන්නට ලැබුනේ නැත.

පිලිතුර ඔව් වුවත් නැත වුවත් මිලිටරියේ ඉහලම ආඥාපතීන් දෙපලක් උඩින් පල්ලෙන් චීනය සමඟ යුද්ධයක් ගැන කතා කිරීමම හෙලිදරව්කාරීය. තව ද ආසියාව තුල වොෂින්ටනයේ මැදිහත්වීම්වල නිසග තර්කයක් ඇත. ස්කැබැරෝ ශෝල්ස් සම්බන්ධයෙන් පිලිපීනයට හෝ සෙන්කකු/දියායු කොදෙව් සම්බන්ධයෙන් ජපානයට හෝ උතුරු කොරියාව සම්බන්ධයෙන් දකුනු කොරියාවට අනුබලදීම ඇමරිකාව ප්‍රතික්ෂේප කලේ නම්, ආසියාවේ සහ ජාත්‍යන්තරව පවතින ඇමරිකාවේ සමස්ත සන්ධාන ජාලයම ප්‍රශ්නයට භාජනය වනු ඇත.

න්‍යෂ්ටික ආරක්ෂක සමුලුවේදි ඔබාමාගේ රඟපෑම් කෙසේ වුවත් යටින් දිවෙන මෙම ගාමකය න්‍යෂ්ටික යුද්ධයක සැබෑ අනතුර මතු කරයි.

Share this article: