නැඟී එන ආතතීන් හමුවේ ඔබාමා සව්දි අරාබිය බලා පියාසර කරයි

Obama flies to Saudi Arabia amid rising tensions

බිල් වෑන් ඔකන් විසිනි, 2016 අප්‍රේල් 20

ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා අද සව්දි අරාබියට පැමිනියේ, සව්දි රජු සලමාන් හා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් අනෙකුත් සුන්නි අරාබි තෙල් රාජාන්ඩු නායකයින් හමුවීමටය. සංචාරය සිදු වුනේ,මැද පෙරදිග තුලත් වොෂින්ටනය හා සව්දි රජ පවුල අතරත් නැඟෙන ආතතීන් හමුවේය. ඒ ඉරානය සමඟ න්‍යෂ්ටික ගනුදෙනුවල සිට, 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාර පිලිබඳව සව්දි අරාබියට එරෙහිව නඩු පැවරීමට ඇමරිකානු පුරවැසියන්ට අවසර ලැබෙන නීති පැනවීම දක්වා වන ප්‍රශ්න ගනනාවක් මුල්කරගෙනය.

මෙම ආරවුල් තිබුනේ වුව ද මධ්‍යකාලීන හිස් ගසා දැමීම් ද ආන්තික නිකායවාදී වහාබි දෘෂ්ටිවාදය ද කරපින්නාගත් සව්දි රාජාන්ඩුව, මැද පෙරදිග ඇමරිකානු අධිරාජ්‍යවාදී පිලිවෙතේ කඩ ඇනය මෙන්ම දශක හතක් තිස්සේ අරාබි ලෝකයේ ප්‍රතිගාමිත්වයේ හා මර්දනයේ ප්‍රාකාරය ලෙස ද පවතියි.

වොෂින්ටනය හා රියාද් අතර ගැටුමේ ක්ෂනික හේතුව, ඇමරිකානු භූමිය මත ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට සහාය දීම සඳහා වගකිවයුතු විදෙස් ආන්ඩු වලට එරෙහිව නඩු පැවරීමට ඉඩ ලැබෙන ඇමරිකානු කොන්ග්‍රසය හමුවේ ඇති, ත්‍රස්තවාදයේ අනුග්‍රාහකයින්ට එරෙහි යුක්තිය පසිඳලීම යන රෙගුලාසියකි.

ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා වන හිලරි ක්ලින්ටන් හා බර්නි සෑන්ඩර්ස් යන දෙදෙනා ද ඇතුලු ද්විපාර්ශවික සහාය ලබන එම නීතිය පැහැදිලිවම එල්ලවී ඇත්තේ සව්දි තන්ත්‍රය වෙතය. එය ඇවිල ගියේ බොහෝකොටම, සැප්තැම්බර් 11 පිලිබඳ ඒකාබද්ධ කොන්ග්‍රස් කමිටුවේ පිටු 28ක වාර්තාව දිගටම වාරනය කිරීම කෙරෙහි අලුතෙන් අවධානය යොමුවීමත් සමඟය. එම ප්‍රහාරයට සම්බන්ධවූ අයගෙන් 15 දෙනෙක්ම සව්දි පුරවැසියන් බවත් ඊට සව්දියේ සහාය හා අරමුදල් ලැබී තිබුනු බවට වාර්තාවෙන් කරුනු හෙලිදරව් කර තිබුනි.

19දා සීබීඑස් නාලිකාව ප්‍රචාරය කල ඔබාමාගේ හමුවක් පිලිබඳ විස්තරය තුල ඔබාමා පැහැදිලි කර ඇත්තේ, එවන් නීතියකට විරුද්ධව තම නිෂේධ බලය යොදවන බවය. එය ඇමරිකාවටම විරුද්ධව පියවර ගැනීමේ අන්තරාය මතුකල හැකිය. “වෙනත් ආන්ඩුවලට එරෙහිව නඩු පැවරීමේ හැකියාව අප එක්සත් ජනපදයේ පුද්ගලයින්ට ලබාදෙන්නේ නම්, අනෙකුත් රටවල පුද්ගලයින්ට එක්සත් ජනපදයට විරුද්ධව නඩු පැවරීමේ අවස්ථාව අප විවෘත කරන්නෙමු” ඔබාමා පැවසීය. තර්කනයේ මෙම රටාව නොසිතාම යමක් හෙලිදරව් කරයි. එය ත්‍රස්තවාදය පිලිබඳව ලෝකයේ ප්‍රධාන රාජ්‍ය අනුග්‍රාහකයාගේ භූමිකාව ඇමරිකානු අධිරාජ්‍යවාදයට පවරනු ලබන්නේය යන්නයි.

නීතිය බලගැන්වුවහොත් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට සව්දි තන්ත්‍රය තර්ජනය කර ඇත. අබ්දෙල් අල් ජබියර් යන සව්දි විදේශ ඇමති පුද්ගලිකවම ධවල මනදිරය වෙත දන්වා ඇත්තේ, ඩොලර් බිලියන 750ක ඇමරිකානු වත්කම් (සව්දිය සතු) තොග පිටින් විකුනා දමමින් රියාද් පාලනය එකට එක කරනු ඇති බවයි.

එවන් “න්‍යෂ්ටික පියවරක්” ඇමරිකානු ආර්ථිකයට ප්‍රහාරයක් එල්ල කරනවා පමනක් නොව, තෙල් මිල පහත වැටීම හමුවේ දැනටමත් ගැඹුරු වෙමින් ඇති අර්බුදය උග්‍ර කරමින්, සව්දියේම වත්කම් අගය තියුනු ලෙස පහත හෙලනු ඇත. රාජාන්ඩුව එවන් ඉවබව නැති කටයුත්තකට අත ගැසුවා හෝ නොගැහුවා හෝ, එසේ කරන බවට තර්ජනය කිරීමේ කාරනයම, ඇමරිකානු-සව්දි සන්ධානය තුල පවතින ආතතිය පිලිබඳ ඇඟවුමකි.

9/11 වාර්තාව පිලිබඳ ආරවුලේ හරි මැද ඇත්තේ, ඇමරිකානු බලල් අත් ලෙස ඉස්ලාමීය සටන්කරුවන් බලමුලු ගැන්වීමේදී, සව්දි තන්ත්‍රයේත්, ඔසාමා බින් ලාඩන් වැනි එරට ප්‍රමුඛ පුරවැසියනේගේත් මැදිහත්වීම තුල මෙම සන්ධානය, 1980 ගනන්වල සීඅයිඒ සංවිධානය සැලසුම් කල ඇෆ්ගනිස්ථානයේ තන්ත්‍ර මාරු මෙහෙයුමේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වීය යන කාරනයයි. මෙය 2011 ලිබියානු යුද්ධය තුලදී ද සිරියාව තුල දැන් සිදුවෙමින් ඇති ගැටුමේදී ද අඛන්ඩව ක්‍රියාත්මක විය. සිරියානු අර්බුදය රියාද් සාකච්ඡා වලදී ප්‍රධාන මාතෘකාවක් වූ බව නිසැකය.

පෙබරවාරි අග ඇතිකරගත් එදිරිවාදිකම් පිටුදැකීමේ එකඟතා කඩා වැටුනොත් හා සිරියානු ආන්ඩුවත් බටහිර පිටුබලය ලබන “කැරලිකරුවනුත්” අතර ජිනීවාහි පැවැත්වෙන සාකච්ඡා බිඳ වැටුනොත් වොෂින්ටනය, සිරියාව තුල “බී සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ඇමරිකානු නිලධාරීහු මෑතකදී අනාවරනය කලහ. එහිදී විශේෂයෙන්ම සිරියානු ආන්ඩුවේ හා රුසියාවේ ගුවන් යානා වෙඩිතබා බිම හෙලිය හැකි, ගුවන්යානා නාශක මිසයිල සහිත අලුත් හා මාරක අවි එහි යැවෙනු ඇත.

දැනට පැවැත්වෙන බව පෙනී යන සාකච්ඡා හා සටන් විරාමය යන දෙකම අවසන් වෙමින් තිබේ. සිරියානු අල් කයිඩාවට සම්බන්ධ හා එහි සීඅයිඒ සහචරයෝ, මේ මාසයේ මුල ඇලෙපෝ ප්‍රාන්තයට ප්‍රහාරයක් දියත් කල අතර එය ආන්ඩුවේ ප්‍රති ප්‍රහාර ඇවිලවීය.

සව්දිය හා ඇමරිකාව පිටුබලය දෙන, සිරියානු ආන්ඩුවට එරෙහිව සටන් කරන ඉස්ලාමීය මිලිෂියාවන් නියෝජනය කරන “ඉහල පෙලේ සාකච්ඡා මන්ඩලය” එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වෙන සාකච්ඡා වලට සහභාගී වීම නතර කරන බව 18දා ප්‍රකාශ කලේය. මේ අතර කැරලිකරුවන්ගේ ප්‍රධාන නියෝජිතයා වන ඉස්ලාම් හමුදාවේ නායක මොහමඩ් අලවුෂ්, ට්විටර් සටහනකින් ඉල්ලා සිටියේ නව ප්‍රහාර පටන්ගත යුතු බවය. එම සංවිධානය සිරියාව තුල ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට සටන් වැදී සිටින අමු නිකායවාදී මිලිෂියාවකි. “ඔවුන්ගේ බෙල්ලටම ගහන්න. ඔවුන් හොය හොයා පහර දෙන්න.” කොරානයේ ඡේදයක් උපුටා දක්වමින් අලවුෂ් පැවසීය.

සව්දිය කාලයක් තිස්සේම වඩ වඩාත් අවි සපයන ලෙස ඉල්ලා සිටියි. විශේෂයෙන්ම මිලිටරි ජෙට් යානා හා මගී ගුවන් යානා බිම දැමිය හැකි ගොඩබිම සිට ගුවනට විදින ජංගම මිසයිල් ඊට ඇතුලත්ය.

සිය ආරක්ෂාව සඳහා ඇමරිකාව මත වාරුවී සිටින අතර වොෂින්ටනයේ අවශ්‍යතාවන්ට අදාල නොවන ගැටුම් වලට ඇමරිකාව ඇද දැමීමට උත්සාහ කරන “පිංඅඩි කාරයින්” ලෙස සව්දිවරු විස්තර කරමින් ජනාධිපති ඔබාමා ඇට්ලෑන්ටික් සඟරාවේ අප්‍රේල් කලාපයට දුන් සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් ද අර්බුදයක් මතුව තිබේ.

රජ පවුල ප්‍රති ප්‍රහාරයකට යාම මුලුමනින්ම වටහාගත හැකි දෙයකි. “පිං” අඩි ගැසීම කෙසේ වෙතත් රියාද් තන්ත්‍රය, ඔබාමා පාලනය යටතේ අවි පද්ධතීන් සඳහා ඩොලර් බිලියන 95ක මුදලක් ගෙවා ඇති අතර, තවත් බිලියන 100කට වැඩි වටිනාකමකින් යුත් ගනුදෙනු ගැන සාකච්ඡා කරමින් සිටී. මේ දක්වා ඇමරිකානු මිලිටරි-කාර්මික සංකීර්නයේ ලොකුම ගනුදෙනුකරුවා සව්දියයි.

සැලකිය යුතු වියදමක් අලුතින් දරා ඇත්තේ යේමනයේ ඉලක්ක වෙත විදින ලද මිසයිල හා බෝම්බ ප්‍රතිස්ථාපනය කිරීම සඳහාය. වසරක් තිස්සේ ගෙන යන සව්දි යුද්ධයෙන් දහස් ගනනක් මියගොස් ජනගහනයෙන් අඩක් සාගතයක් අද්දරට ඇද දමා ඇත. මෙම රුධිරස්නානය සඳහා පෙන්ටගනය, ඔත්තු සේවා හා මෙහෙයුම් ආධාර සපයා ඇත.

යුද්ධයට බැඳුනු තවත් ප්‍රතිපලයක් වී ඇත්තේ, වයඹ දිග වරාය නගරයක් වන මුකල්ලා හා ඒ වටා කුඩා රාජ්‍යයක් පිහිටුවාගෙන සිටින අල් කයිඩාව අරාබි අර්ධද්වීපය තුල නාටකාකාර ලෙස ශක්තිමත් වීමයි. ඔවුහු පෙර නොවූ විරූ තරම් මූල්‍ය සම්පත් හා අවි තොග රැස්කරගෙන සිටිති.

සිරියාව තුල මැදිහත්වන අතර සව්දි අරාබිය, යේමන් යුද්ධය ගෙන යන්නේ ඉරානයේ අනුහස පැතිරීම වැලැක්වීමේ නාමයෙනි. එහෙත් හවුති කැරලිකරුවන් අරභයා පාලනයක් කෙසේ වෙතත් ඔවුන්ට ඉරානයෙන් විශාල සහායක් ලැබෙන බවට පවා සාක්ෂි ඇත්තේ නැත.

ඇට්ලෑන්ටික් සඟරාවට කල ඔබාමාගේ ප්‍රකාශයන්හි සව්දි තන්ත්‍රයට වඩාත්ම දිරවාගත නොහැකි දේ වී ඇත්තේ, ඉරානය සමඟ “යම් වර්ගයක සීතල සාමයක් ඇතිකර ගැනීම හා අරාබිකරය හවුලේ භුක්ති විඳීමට සුදුසු මාවතක් සොයා ගන්නා” ලෙසට ඔහු කල යෝජනාවයි. රියාද් පාලනය ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුමක් ඇතිකර ගැනීමට තරයේ විරුද්ධ විය. ඒ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රමුඛ කලාපීය සහචරයා ලෙස තමන්ගේ භූමිකාව අඩු ලංසුවට දමමින් ඇමරිකාව හා ඉරානය අතර සහයෝගිතාවක් ඇතිවිය හැකි බවට පැවති බිය නිසාය.

න්‍යෂ්ටික සම්මුතිය පැවතියේවී නමුත් වොෂින්ටනය, මැද පෙරදිග සිය ආධිපත්‍යයට අභියෝග කිරීමෙන් ඉරානය වැලැක්වීමට, මිලිටරි මාධ්‍යයන් තුලින් වුව ද - අධිෂ්ඨාන කරගෙන සිටියි.

පහත වැටෙන තෙල් මිල හා එහි ප්‍රතිපල වශයෙන් වියදම් කපා හැරීමෙන් සමාජ නොසංසුන්තා ඇවිල යාම පිලිබඳ තර්ජනය හමුවේ සව්දි සමාජය තුලම විසංවාදයන් නැඟෙමින් තිබේ. මෙම භූදේශපාලනික ආතතීන්ගේ පසුබිමෙහි එම කාරනා ද පවතියි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රමුඛ අරාබි සහචරයාගේ ස්ථාවරත්වය වඩ වඩාත් ප්‍රශ්නයට බඳුන් වෙමින් තිබේ.

Share this article: