පැනමා ලිපිගොනු, එක්සත් රාජධානියේ කැමරන් ආන්ඩුව අස්ථාවර කරයි

Panama Papers destabilise Cameron government in UK

2016 අප්‍රේල් 11

“පැනමා ලිපිගොනුවල” හෙලිදරව් කිරීම් වලට එක්සත් රාජධානියේ කෝපාවිෂ්ඨ ප්‍රතිචාරය, අගමැති ඩේවිඩ් කැමරන්ගේ කොන්සර්වේටිව් ආන්ඩුව තවදුරටත් අස්ථාවර කර තිබේ. යුරෝපීය සංගමයේ සාමාජිකත්වය සහ එක්සත් රාජධානියේ වානේ කර්මාන්තයේ ඉතිරිවී ඇති ස්වල්පය ද වැසීයාමේ තර්ජනය මතුව තිබීම පිලිබඳව ගැඹුරු මතභේද හමුවේ දැනටමත් දුබල කෙරී තිබෙන ආන්ඩුව, දැන් මුහුන දී ඇත්තේ දහස් ගනන් දෙනා කැමරන්ට ඉල්ලා අස්වීමට බලකරන උද්ඝෝෂනවලටය. මේ අතර ඊලග වසරේ මහ මැතිවරනයක් ඉල්ලා අත්සන් කල පෙත්සමට ලක්ෂය ඉක්මවා අත්සන් තබා ඇත.

අද දින කැමරන් ප්‍රකාශකයක් කිරීමට නියමිතව තිබෙන, පාර්ලිමේන්තුවේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී මෙම ප්‍රශ්නය විවාදයට ගනු ලැබේ.

පැනමා නීතිඥ සමාගමක් වන මොසැක් ෆොන්සෙකා විසින් ලැයිස්තු ගත කරන ලද විදෙස් සමාගම් 200,000ක විස්තර දැක්වෙන පැනමා ලිපි ගොනු කාන්දුව මගින්, ලෝකය පුරා ප්‍රභූන් විසින් සිදුකරන ලද බදු පැහැර හැරීම් පිලිබඳ අඳුරු ලෝකය වෙතට දෘෂ්ටියක් හෙලයි.

විවිධ බඳු ක්ෂේමභූමිවල ගිනුම් හා උප සමාගම් පිහිටුවා තිබෙන රටවල් 45ක රාජ්‍ය ප්‍රධානීන් හා ආන්ඩුවේ නිලධාරීන් ලේඛන මගින් හඳුනා ගෙන තිබේ. පසුගිය සතියේ අයිස්ලන්ත අගමැති සිග්මුන්ඩර් ගුන්ලූසන් මෙම සෝලියේ ප්‍රථම ගොදුර බවට පත් විය. බැංකු බැඳුම්කරවලින් මිලියන හතරක් පාලනය කරන, බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල පිහිටා ඇති ඔහුගේ මූල්‍ය සමාගම පිලිබඳ හෙලිදරව් වීමත් සමග පුපුරා ගිය විරෝධතාවන් නිසා ඔහුට ඉල්ලා අස්වීමට බල කෙරින.

පසුගිය සති අන්තයේදී, යුක්රේනියානු අගමැති අර්සෙනි යැට්සෙන්යුක් නිවේදනය කලේ 12දා කියෙව්හි පාර්ලිමේන්තුවට ඔහුගේ ඉල්ලා අස්වීම ඉදිරිපත් කරන බව යි. 2014දී එක්සත් ජනපදය හා ජර්මනිය පිටුබලය දී සිදුකල විරෝධතාවලදී බලයට පත් කල, උග්‍ර රුසියානු විරෝධියෙක් වන මෙම දේශපාලඥයා විදේශ බදු ක්ෂේමභූමියක් ස්ථාපිත කර තිබේ.

බ්‍රිතාන්‍ය අගමැති කැමරන් මෙම සෝලියට සම්බන්ධවූයේ, ඔහුගේ පියා ඉයන්, ධනවත් පවුල්, බැංකුකරුවන් හා ජනප්‍රිය පුද්ගලයන් වෙනුවෙන් ආයෝජන කලමනාකරනය කරන සහ පැනමාවේ සිට ක්‍රියාත්මක වන බ්ලෙයාර්මෝර් හෝල්ඩින්ග්ස්හි ප්‍රධානියෙකු යැයි හෙලිවීමත් සමග ය. පසුගිය සතිය පුරා අගමැති හානි පූරනය කරගැනීමට දැරූ ප්‍රයත්නයන්, හානිය තවදුරටත් උග්‍රකිරීමට පමනක් තුඩු දුන්නේය. සිය සම්බන්ධය යට ගැසීම සඳහා සිදුකල ප්‍රකාශ හතරකින් පසුව අවසානයේ දී ඔහු, පසුගිය 7දා තම පියාගේ සමාගමේ තමන්ට කොටස් ඇති බවත්, 2010දී පවුම් 19,000 දක්වා ලාභ ඒවායින් ලැබූ බවත් පිලිගත්තේය. එමෙන්ම, සිය පියාගේ අවසන් කැමත්ත අනුව පවුම් තුන් ලක්ෂයක්- පරවේනි බද්දට හසුවන පවුම් 325,000 සීමාවට අඩු- තමන්ට ඉතිරි කර තිබෙන බව ඔහු පිලිගත්තේ ය. අනතුරුව හෙලිවූයේ, 2013 වසරේදී බදු පැහැරහැරීම්වලට වැටබැඳීමට යුරෝපීය සංගමය පුරා ක්‍රියාත්මක කිරීමට ගිය වැඩපිලිවෙලට විදෙස් සමාගම් ඇතුලත් කිරීමෙන් වැලක්වීමට ඔහු පෞද්ගලිකව මැදිහත්වූ බව යි.

ප්‍රශ්නය යට ගැසීමේ අවසන් ප්‍රයත්නයක් ලෙස, කැමරන් ඔහුගේ සය වසරක බදු ගෙවීම් පිලිබඳ වාර්තා ප්‍රසිද්ධ කලේ ය. එහෙත් මෙයින් සිදුවූයේ, ඔහු සහ ඔහුගේ බහු මිලියනපති බිරිඳ සමන්තා ඇත්තටම කෙතරම් නම් ධනවත්දැයි හෙලිවීම යි. බදු ගෙවිය හැකි පවුම් දෙලක්ෂයක වාර්ෂික ආදායමක් කැමරන් සතුව තිබුන ද ඔහුගේ ධනය මෙයට වඩා කීප ගුනයකි.

2013-14 වර්ෂයේදී පවුම් මිලියන භාගය ද ඉක්මවා යන ඔහුගේ ඉතිරි කිරීම් වලට ලද පවුම් 6,681ක පොලිය ඔහුගේ ආදායමට ඇතුලත් ය. බටහිර ලන්ඩනයේ නොටින් හිල්හි එක් දේපලකින් ඔහු වාර්ෂිකව බදු වසයෙන් ලබන පවුම් ලක්ෂයක පමන මුදලක් ද මෙයට අයත් ය. බ්ලෙයමෝර් හෝල්ඩින් ද ඇතුලත් සමාගම් කොටස් විකිනීමෙන් 2010 වසරේදී කැමරන් පවුම් 140,000ක් උපයා ගත්තේ ය.

ඔක්ෆර්ඩ්ස්ෂයර්හි ටිට්නි වල ඔහුගේ “මැතිවරන බලප්‍රදේශය” සමීපයේ තිබෙන ඉඩමක් මිලදී ගැනීමට කැමරන්වරුන් පවුම් 140,000ක් වියදම් කල අතර ඔහු ජීවත් වන බද්දෙන් නිදහස් ඩව්නින්ග් වීදියේ අංක 11මහල් නිවාසය පිලිසකර කිරීමට විස්මයජනක මුදලක් වූ පවුම් 120,000ක් වියදම් කර ඇත.

කැමරන් ඔහුගේ පියාගෙන් ලද බද්දෙන් නිදහස් පවුම් තුන් ලක්ෂයක වත්කමට අමතරව 2011 මැයි සහ ජූනිවල ඔහුගේ මවගෙන් පවුම් ලක්ෂයේ ගෙවීම් දෙකක් ඔහුට ලැබිනි. එම ආදායම ඔහුගේ බදු ගෙවීම් ලේඛනවලට ඇතුලත් නැත.

තමන් නීති විරෝධී කිසිවක් කර නැතැයි යන අගමැතිවරයාගේ ප්‍රකාශයන් තත්වය පාලනය කිරීමට සමත්වේයැයි පෙනෙන්ට නැත. ඒ, ඔහු සිදුකල සියල්ල නීත්‍යානුකූලවීමත් ඒවැනි ක්‍රියා ඔහු නියෝජනය කරන සුපරි ධනවතුන් අතර සාමාන්‍යයෙන් සිදුවන්නක්ය යන කරුන වෙත මහජනය වෛරය යොමුව ඇති හෙයිනි.

මේ දක්වාම, ප්‍රමුඛ ටෝරී නායකයින් නව දෙනෙකු පැනමා පත්‍රිකා සෝලියට සම්බන්ධයැයි හෙලිව ඇත. එහෙත් මෙය යෝධ අයිස් කන්දක තුඩක් පමනි. මොසැක් ෆොන්සෙකා සමග ඔවුන්ට කිසියම් හෝ සම්බන්ධයක් තිබුනේද යන්න පිලිබඳ කතා කිරීමට ඔවුන්ට අප්‍රේල් 15තෙක් ඉඩ දෙමින්, බැංකු සහ අනෙකුත් මූල්‍ය සමාගම් 20කට මූල්‍ය පරිපාලන අධිකාරිය ලිපි යවා ඇත. බ්‍රිතාන්‍යයේ විශාලතම බැංකුව වන එච්එස්බීසී හා එහි ශාඛාවන් පැනමා සමාගම සමග උප මූල්‍ය සමාගම් 2,300කට වඩා ගොඩ නගා තිබේ.

2010 තරම් මෑතකදී නිව්ස්වීක් වාර්තා කලේ, ලෝකය පුරා ඩොලර් ට්‍රිලියන 21 සිට ට්‍රිලියන 32දක්වා පෞද්ගලික ධනය ලෙස සලකන මුදලක් පැහැදිලිවම බද්දෙන් නිදහස් විදේශීය බදුක්ෂේමභූමිවල ආයෝජනය කර ඇති බව යි. “මේවායේ ප්‍රමුඛ ගනුදෙනුකරුවන් වන්නේ ලෝකයේ ධනවත්ම පුද්ගලයින් සහ සමාගම් ය”.

සුපිරි “විදෙස් ආයෝජන මධ්‍යස්ථාන” පහ වන්නේ, ස්ව්ස්ට්සර්ලන්තය, හොංකොං, එක්සත් ජනපදය, සිංගප්පූරුව හා කේමන් දූපත් ය. 15 වැනි ස්ථානය බ්‍රිතාන්‍යය ද පැනමාව 13 වෙනි ස්ථානය අත්කර ගෙන සිටී.

කෙසේවෙතත්, ෆිනෑන්ෂල් ටයිම්ස් සටහන් කලේ, බ්‍රිතාන්‍යයේ ජර්සි දූපත “ එහි බිංදුවක අගයේ පවතින සංගත බදු හේතුවෙන් 2013 ඇස්තමේන්තු ගත පවුම් ට්‍රිලියන් 1.2ක ධනයක ආරක්ෂකයා බවට පත්ව තිබූ” බවයි. මේ අතර 2012දී බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්, “එයට වඩා 3000ක ගුනයකින් වැඩි ආර්ථිකයක් පවතින එක්සත් රාජධානියට ගලා ආ විදෙස් ආයෝජනවලට වඩා වැඩියෙන්, එනම් ඩොලර් බිලියන 72ක් ආකර්ශනය කරගනිමින්” ගෝලීයව පස්වැනියට වැඩිම විදේශීය සෘජු ආයෝජන ආකර්ෂනය කරගත් මධ්‍යස්ථානය බවට පත්විය.

මේ අනුව ගත්කල, සමස්ත පෘතුවියම පාලනය කරන මූල්‍ය කතිපයාධිකාරියක අවශ්‍යතාවන්ට සේවය කරන, දූෂනය හා මගඩියේ අන්තර්ජාතික ජාලයක අපිකේන්ද්‍රෙය් බ්‍රිතාන්‍ය පිහිටා සිටී.

කැමරන් සහ බහු මිලියනපතියන්, වංශාධිපතීන්, ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත් සහ රැකියා, වැටුප් සහ සහ අත්‍යවශ්‍ය සේවාවන් විනාශ කිරීම ක්‍රියාත්මක කිරීමෙහිලා මූලිකත්වය ගන්නා අපරාධකරුවන්ගෙන් සමන්විත ඔහුගේ ආන්ඩුවේ අරමුන වන්නේ, ඔවුන් සේවය කරන්නාවූ- බදු නොගෙවන- ධනවතුන් තවතවත් ධනවත් කිරීම යි.

“පැනමා ලියවිලි ධනවාදයේ මහා අර්බුදයකට තුඩු දිය හැක” යන සිරසින් යුතුව ටයිම් සඟරාව ලිපියක් පල කිරීමත්, “21වන සියවසේ ධනේශ්වර වාහනය වේගයෙන් ඉදිරියට යමින් තාප්පයේ හැපීම පිලිබඳව, පැනමාවේ මොසැක් ෆොන්සෙකා සිද්ධිය තවත් සන්ධිස්ථානයක්” යනුවෙන් ඊවියන් ගෲප්හි සමාරම්භකයා වන ජීන්-පියරේ ලෙහ්මන් ෆොබ්ස් සඟරාවට ලිවීමත් පුදුමයට කාරනයක් නොවේ.

දූෂනයේ හා කෑදරකමේ මෙම නරාවල පිලිබඳ හෙලිදරව්ව මගින් කම්කරුවන් හා තරුනයින් අතර පැනනැගි වෛරය, එක්සත් රාජධානියේ නිල දේශපාලන සංස්ථාපිතය තුල අව්‍යාජ ප්‍රකාශයක් සොයා ගෙන නැත. ඒ වෙනුවට, ජූනි 23දා පැවැත්වෙන ජනමත විචාරනයේදී බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමයේ සාමාජිකයෙක් ලෙස දිගටම රැඳී සිටිය යුතුය යන ඉල්ලීම මත ඔහුගේ ජයග්‍රහනය අපේක්ෂා කරන සිටින පාලක පන්තියේ කොටසක් විසින් කැමරන් මුලුමනින්ම ආරක්ෂා කරන අතර වඩා වාචිකව ඔහුගේ විවේචකයන් ටෝරී පක්ෂයේ යුරෝ සංශයවාදී දක්ෂිනාංශය විසින් නියෝජනය කරයි.

“මෙය සෑම යුරෝ සංශයවාදියෙකුගේම සිහිනය තුලට කෙලින්ම ගමන් කරන අතර… එය අතිශයින්ම භයානක ය”, ලන්ඩන්හි ටයිම්ස් පුවත්පතේ මැතිව් පැරිස් ලියයි. (යුරෝපීය සංගමයෙන්) ඉවත්වීමේ උද්ඝෝෂනය, පැනමා සෝලිය මගින් ශක්තිමත් කරන අතර එය “කැමරන්ගේ ඉමහත් කනස්සල්ලට හේතු වනු ඇත. ඇත්ත වසයෙන්ම, බ්‍රිතාන්‍යයෝ අනාගතය පිලිබඳ විස්වාසය තබන ඕනෑම අයෙකුට එරට යුරෝපීය සංගමය තුල රැඳී සිටීම ඉතාමත්ම වාසිදායක තත්වය වනු ඇත” ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත අනතුරු ඇඟවුයේ ය.

යලිවතාවක්, මූලධර්මාත්මක පන්ති ස්වභාවය ඒ සා පැහැදිලිව ඇති ප්‍රශ්නයකදී පවා දේශපාලන ආරම්භකත්වය පවරාදී ඇත්තේ, දක්ෂිනාංශයට ය. මෙම තත්වයේ වගකීම රැඳී ඇත්තේ වැඩකරන ජනතාව වෙනුවෙන් කතා කරන්නේයැයි කියන අය වෙත ය.

පැනමා ලියවිලිවල හෙලිදරව් කිරීම් පලමුවතාවට ප්‍රකාශයට පත් කර සතියකට වඩා ගතවී ඇත ද ලේබර් පක්ෂ පුනරුත්තපත්තියේ හීතුඩ වසයෙන් ව්‍යාජ වාම කල්ලි විසින් හුරේ දමන ලේබර් නායක ජෙරෙමි කෝබයින් කැමරන්ට ඉල්ලා අස්වීමට බලකොට නැතිවාක් මෙන්ම ඔහුගේ ආන්ඩුවට එරෙහි විස්වාසභංග ඡන්දයක් කැඳවුම් කර ද නැත. කැමරන්ගේ පෞද්ගලික “සදාචාරය” පිලිබඳ මොන ආකාරයේ ශබ්ද දැම්මත් ඔහු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ මූලෝපායික අවශ්‍යතා ආරක්ෂා කිරීමට ආන්ඩුව සමග එක දිගට වැඩ කරනු ඇත. එම අරමුන වෙනුවෙන්, මේ සතියේ පැවත්වීමට නියමිත “යුරෝපීය සංගමය පිලිබඳව විවාදයේදී මූලික මැදිහත්වීමක්” කිරීමට ඔහු ලැහැස්ති වේ.

සියල්ල රඳා පවතින්නේ, දිගහැරෙන දේශපාලන අර්බුදයේදී තමන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් මැදිහත්වීමට කම්කරු පන්තියට පවතින ශක්‍යතාව මත ය. පැනමා ලියවිලිවල හෙලිදරව් කිරීම් සහ ඒවායේ දේශපාලන පලවිපාක අවධාරනය කරන්නේ, එක්සත් යුරෝපීය සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ ඉදිරිදර්ශනයට සටන් කරමින්, බ්‍රික්සිට් ජනමත විමසුමේදී ක්‍රියාශීලීව වර්ජනය කිරීමේ කැඳවුම සහිතව එක්සත් රාජධානියේ සමාජවාදී සමානතා පක්ෂය විසින් ගෙන යන උද්ඝෝෂනයේ වැදගත්කම යි.

පෙබරවාරි 29දා සසප ප්‍රසිද්ධියට පත්කල ප්‍රකාශයේදී අපි සටහන් කලේ, “සමාජවාදීන්ගේ පලමු සැලකිල්ල යොමු වන්නේ, කම්කරු පන්තියේ වර්තමාන අවශ්‍යතා ආරක්ෂා කිරීමට පමනක් නොවේ, අනාගතයේ අවශ්‍යතා ද ආරක්ෂා කිරීම වෙතට ය. මෙම තත්වයේදී බියකරුම දේශපාලනික අනතුර වන්නේ, “වාම ජාතිකවාදය”යැයි කියනු ලබන්නකට අනුගත වීමේ පදනම මත පන්ති ධජ එකට මිශ්‍ර කිරීමෙහි ය”.

කැමරන් ආන්ඩුවට හා යුරෝපීය සංගමයට ඇති පසමිතුරුකම බ්‍රිතාන්‍ය ධනපති පන්තියේ කොටසකට ගැට ගැසීමේ ප්‍රයත්නයන්ට එරෙහිව කල මෙම අනතුරු ඇඟවීම, ජූනි 23 සිද්ධවන දෙයට වඩා දුර යන ඇඟවීම්වලින් යුක්ත අතිශයින් වැදගත් කාරනයක් බව සනාථව තිබේ. -පැනමා ලියවිලි මගින් ඒසා නාටකාකාර ලෙස හෙලිදරව්කල- දේශපාලන ජීවිතය මත මූල්‍ය කතිපයාධිකාරයේ ආඥාදායකත්වය බිඳ දැමිය හැක්කේ, එක්සත් රාජධානියේ පමනක් නොව, සමස්ත යුරෝපීය සංගමය පුරා හා ජාත්‍යන්තරව සමාජවාදය සඳහා කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව බලමුලු ගැන්වීම හරහාම පමනි.

ක්‍රිස් මාස්ඩන්

Share this article: