යුද්ධය, ඩිමොක්‍රටික් පක්ෂය හා 2016 මැතිවරනය

War, the Democratic Party and the 2016 elections

2016 අපේ‍්‍රල් 23

මේ සතිය මුල පැවති නිව් යෝක් ප්‍රාථමික වටයෙන් ඉක්බිත්තේ ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රධාන අපේක්ෂිකා හිලරි කලින්ටන් කෙරෙහි පවතින පුලුල් විරුද්ධත්වය හෙලිදරවු කොට ඇති නාම යෝජනා ක්‍රියාවලිය, සමාප්තියකට ගෙන ඒමට එම පක්ෂ සංස්ථාපිතය කටයුතු කරමින් සිටී. ඒ මඟින් ඩිමොක්‍රටිකයන් සූදානම් වෙමින් සිටින්නේ මිලිටරි-රහස් තොරතුරු සංස්ථාපිතය හා මූල්‍ය වංශාධිපතිත්වය අතර වන දූෂිත දේශපාලන බැඳීම මූර්තිමත් කරන අයෙක් සිය අපේක්ෂිකාව ලෙස තෝරා ගැනීමට යි.

සිකුරාදා නිව් යෝක් ටයිම්ස් වෙබ් අඩවියේ පල වූ සුවිශේෂී ලිපියක්, ක්ලින්ටන්ගේ දීර්ඝ දේශපාලන ජීවිතය නිර්නය කරන, මිලිටරි ධූරාවලිය සමඟ ඇයට ඇති සමීප සබඳතාව හා අධිරාජ්‍යවාදී යුද්ධයට ඇය කැමැත්තෙන්ම දක්වන සහයෝගය පිලිබඳ වැඩිදුර ලේඛන සම්පාදනය කරයි. ඇයගේ රිපබ්ලිකානු ප්‍රති කොමියුනිස්ට්වාදී පියා වූ හියු රෝධම්ගෙන් ඇයට ලැබුනු පුහුනුව දක්වා මෙම සම්බන්ධය ආපස්සට යයි. ප්‍රමුඛ කාන්තාව ලෙස ඇය, යුගෝස්ලාවියාවට බෝම්බ හෙලීම ඇතුලු සිය ස්වාමි පුරුෂයා වන බිල්ගේ යුද පිලිවෙතට ක්‍රියාශීලී ව සහයෝගය දුන්නා ය. සෙනට් සභිකවරියක ලෙස සෙනට් සන්නද්ධ කමිටුවේ සේවය කරමින් ඇය පෙන්ටගනය සමඟ සබඳතා වර්ධනය කර ගත්තා ය.

ධවල මන්දිර වාර්තාකාර මාක් ලැන්ඩ්ලර් විසින් ලියන ලද “හිලරි ක්ලින්ටන් යුදවාදියෙක් බවට පත්වූයේ කෙසේ ද" යන හිසින් යුතු ටයිම්ස් ලිපිය, ක්ලින්ටන්ට අනුමැතිය පල කල හා ඇයගේ නාමයෝජනා තරඟයේදී ඊට පූර්න සහාය ලබාදී ඇති එම පුවත්පතේ පලවූ ලිපිය යුද්ධය පිලිබඳ ඇයගේ සුදුසුකම් හුවා දක්වන අනුග්‍රහශීලී වාර්තාවක් මිස හෙලිදරවු කිරීමක් නො වේ. මෙම ලිපිය පලකල කාලය ද ක්ලින්ටන්ගේ උද්ඝෝෂනය සමඟ පැහැදිලි ව ම බැඳී ඇත. බොහෝ කාලයක් තිස්සේ සූදානම් කරන ලද මෙම ලිපිය, නිව් යෝක් ඩිමොක්‍රටික් ප්‍රාථමික වටය අවසන් වනතෙක් ටයිම්ස් පුවත්පතේ පල කිරීම පමා කෙරුනේ, එම ප්‍රාන්තය තුල පවත්නා පුලුල් යුද විරෝධී මනෝගතිය ඇවිලී ක්ලින්ටන්ගේ ඡන්ද කෙරෙහි එය ඍනාත්මක ව බලපානු ඇතැයි සිතා එය වැලැක්වීමට යි. රිපබ්ලිකන් ප්‍රධාන අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උද්ඝෝෂනයෙන් හෙම්බත් ව සිටින මිලිටරි හා සංගත ප්‍රභූතන්ත්‍රයේ කොටස් දිනාගෙන සිය දක්ෂිනාංශික සුදුසුකම් අවධාරනය කිරීමට, ක්ලින්ටන් ප්‍රාථමික වටයේ සිට මහ මැතිවරන තරඟය දක්වා ඉදිරියට යාම සමඟ ද එය පෙල ගැසෙයි.

නිරන්තරයෙන් ජනාධිපතිවරයා සමඟ එකට සිටි, ඔබාමා පරිපාලනයේ නොපසුබස්නා යුදවාදිනිය ක්ලින්ටන් යයි ටයිම්ස් ලිපිය සඳහන් කරයි. “භටයන් 30,000ක් ආපසු ගෙන්වා ගැනීමට පෙර (2009 දී) ඇෆ්ගනිස්තානයට තවත් භටයන් 40,000ක් යැවීමේ ජෙනරාල් ස්ටැන්ලි මැක්ක්‍රිස්ටල්ගේ යෝජනාවට ඇය සහාය දුන්නා ය. ඇමරිකානු භටයන් 10,000ත් 20,000ත් අතර ගනනක් දිගටම ඉරාකය තුල රැඳවීමට ඇය සහයෝගය දුනි." සිරියානු සිවිල් යුද්ධයේ කැරලිකාරීන්ට ආයුධ සම්පාදනය කිරීමට එක්සත් ජනපදයට බලකල ඇය, පසුව සිරියානු ආන්ඩුවට එරෙහි පියාසර තහනම් කලාපයක් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියා ය.

මැද පෙරදිග හෝ මධ්‍යම ආසියාවේ එක්සත් ජනපද මිලිටරි මැදිහත් වීම් වේවා චීනයට හා රුසියාවට එරෙහි ප්‍රකෝපකරනයන් වේවා ඒ සෑම එකක දී ම ක්ලින්ටන් අනිවාර්යයෙන් ම ගෙන ඇත්තේ වඩාත් ම දක්ෂිනාංශික ආස්ථානයන් ය. “මහ මැතිවනරයේ දී ඇයට මුනගැසෙනු ඇති රිපබ්ලිකානු අපේක්ෂකයන්ට වඩා" යුද්ධයට යාමට ඇති කැමැත්ත සම්බන්ධයෙන් ක්ලින්ටන් කැපී පෙනේ යයි ටයිම්ස් පත්‍රය ලියයි. “අයිඑස්අයිඑස් සංවිධානය අතුරුදහන් වන තෙක් එයට බෝම්බ හෙලන්නේ යයි ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් හෝ ටෙක්සාස් සෙනට් සභික ටෙඩ් ක්රූස් දෙඩෙව්වත් ඒ දෙදෙනාගෙන් කවරෙක්ටවත් විදේශයන්හි මිලිටරි මෙහෙයුම් කෙරෙහි ක්ලින්ටන්ට තරම් ආශාවක් නැතැ" යි ද “තරඟයේ ඉතිරි ව සිටින එකම යුදවාදියා ඇය" යි යනුවෙන් ද ලැන්ඩ්ලර් ලියයි.

ලැන්ඩ්ලර් කියන ආකාරයට ක්ලින්ටන් දශක ගනනක් තිස්සේ මිලිටරිය සමඟ සමීප සබඳතා ගොඩනගා ගැනීමට ක්‍රියා කොට තිබේ. ඇය හුදෙක් “ගේට්ස් වැනි සිවිල් නායකයන් සමඟ පමනක් නොව පදක්කම්ලාභී ඉහල පෙලේ අනදෙන නිලධාරීන් සමඟ ද" සබඳතා ගොඩනඟා ගැනීමට කටයුතු කර තිබේ.

2001 සිට 2008 දක්වා සමයේ නිව් යෝක් සෙනෙට් සභිකවරියක් ලෙස ක්ලින්ටන් සබඳතා ඇති කරගත් අය අතරට දැන් විශ්‍රාම ගොස් සිටින ජෙනරාල් ජැක් කියේන් අයත් වේ. (“සමහර අවස්ථාවල දී ඇයගේ සෙනෙට් සභික කාර්යාලය අසල ඔහු නැවතුනි; තවත් අවස්ථාවල දී ඔවුහු රාත්‍රී ආහාරය හෝ සාදයකදී හමුවුනි.") යුද්ධය පිලිබඳ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මන්ඩලයේ වත්මන් සභාපති වන කියේන් 2007 දී බුෂ් පරිපාලනය ඉරාකය තුල කල “මෙහෙයුම් තීව්‍ර කිරීමේ" දී ප්‍රධාන ක්‍රියාකලාපයක් ඉටු කලේ ය.

මෙම සම්බන්ධකම් පෙන්නුම් කරන්නේ ඇමරිකානු ජනතාවට හොරෙන් පිලිවෙත් තීන්දු කරන කල්ලියක දේශපාලනික අසික්ෂිත භාවය යි. කියේන්ගේ “ආයතනයට" අරමුදල් සපයන්නේ රේතියොන්, අධ්‍යක්ෂ මන්ඩල සාමාජිකයෙක් ලෙස කියේන් කටයුතු කරන ජෙනරල් ඩයිනැමික්ස් හා ඩින්කෝප් ඇතුලු විශාල පරිමාන ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් විසිනි. එම ආයතනයේ සභාපතිවරිය, ඇමරිකානු ව්‍යාපාරික ආයතනයේ ෆ්‍රෙඩ්රික් කගාන්ගේ බිරිඳ හා නව ඇමරිකානු සියවස ව්‍යාපෘතිය ආරම්භ කල දක්ෂිනාංශික භූමූලෝපායඥයා වන රොබට් කගාන්ගේ නෑනා වන කිම්බර්ලි කගාන් ය.රොබට් කගාන්ගේ බිරිඳ, 2014 දී රුසියාවට හිතවත් ආන්ඩුව පහකරමින් සිදුකල යුක්රේන කුමන්ත්‍රනය අධීක්ෂනය කල ඔබාමාගේ යුරෝපා හා යුරේසියානු කටයුතු පිලිබඳ සහකාර රාජ්‍ය ලේකම් වන වික්ටෝරියා න්‍යුලන්ඩ් ය.

බුෂ් හා ඔබාමා පාලන සමයන්ගේ විවිධ අවස්ථාවල දී ඉරාකය හා ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජනපද හමුදාවලට නායකත්වය දී ඇති ජෙනරාල් ඩේවිඩ් පෙට්රේවුස් හා ජෙනරාල් ස්ටැන්ලි මැක්ක්‍රිස්ටල් ද ක්ලින්ටන්ගේ හිතවත්තු වෙති.

ක්ලින්ටන් හා ඇයගේ උපදේශකයන් යුද පිලිවෙත ගැන සාකච්ඡා කරන ආකාරය කියවීමේ දී යමෙක්ට හැඟී යන්නේ, දෙවන ලෝක යුද සමයේ ජර්මානු මිලිටරි කාර්ය මන්ඩලය වඩා පරිස්සම් සහගත වූ බවකි.

උතුරු කොරියාවට තර්ජනය කිරීමට හා චීනය බිය වැද්දීමට කහ මුහුදට ගුවන් යානා ප්‍රවාහන නැවක් යැවීමට කල සැලසුම් ගැන ගේට්ස්, ඔබාමා හා ක්ලින්ටන් 2010 දී කල සාකච්ඡාවක් ටයිම්ස්හි උපුටා දැක්වේ. ගේට්ස්ගේ ආක්‍රමනකාරී යෝජනාවට සහයෝගය දක්වමින් ක්ලින්ටන් “අප වහාම එය කල යුතු යි! කී අතර ඇයගේ කාර්ය මන්ඩලය වින්ස් ලොම්බාර්ඩි අනුකරනයක් වූ එයට කොක් හඬලා සිනාසුනි" යි ලැන්ඩ්ලර් ලියයි.

වගකීම් විරහිත භාවයේ, මුග්ධත්වයේ හා මිලිටරි බලය ඉදිරියේ වැඳ වැටෙන මෙම සංයෝජනය, ඕනෑම විටෙක පාලනයෙන් පිට පැනිය හැකි, ලෝකයේ ඕනෑම තැනක යුද්ධයකට තුඩු දිය හැක්කේ කෙසේදැයි සිතා ගැනීම අසීරු නො වේ.

ටයිම්ස් ලිපිය පින්තාරු කරන්නේ, තම දේශපාලන ජීවිතයට වාසි සහගත වනු ඇත්තේ කුමක්දැයි, පටු ම ආකාරයට හා වඩාත් නරුම ලෙස ගනන් බැලීම මඟින් ඇදහිය නො හැකි තරම් වගකීම් විරහිතව මෙහෙයැවෙන තැනැත්තියකගේ රූපයකි. හවුස් ඔෆ් කාඩ්ස් ප්‍රබන්ධ කතා මාලාවේ ජනාධිපතිවරයාගේ බිරිඳ වන ක්ලෙයාර් අන්ඩවුඩ්ගේ චරිතයට වඩා යමක් මෙහි ඇති අතර ඇගේ කුමන්ත්‍රනවල දී අන්ඩවුඩ් වඩා ස්වාධීන වූවා පමනි. මෙම දේශපාලන ගනන් බැලීම් පිටුපස පවතින්නේ, පෘතුවි ගෝලයේ සෑම කොනක ම එක්සත් ජනපද ආධිපත්‍යය පවත්වාගෙන යාම පිනිස මිලිටරි බලය භාවිතා කිරීමට ඇති නැඹුරුවයි.

ක්ලින්ටන්ගේ යුදකාමීත්වය හුදෙක් ඇයගේ දේශපාලන චරිතය පමනක් නොව ඇය අයත් වන පක්ෂයේ ස්වභාවය ද පිලිබඳ ප්‍රකාශනයකි. ස්වයං-තෘප්ත හා යුදවාදී ඉහල මධ්‍යම පන්තික ස්ථරයන් අතර පදනමක් සහතික කර ගැනීමට අනන්‍යතා දේශපාලනයේ “වාම" දෙඩවිලි යොදා ගන්නා ඩිමොක්‍රටික් පක්ෂය, මිලිටරි-රහස් තොරතුරු නිලධරයේ හා මූල්‍ය ප්‍රාග්ධනයේ කොටස්වල දේශපාලන කටහඬ යි.

ක්ලින්ටන්ගේ ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන බර්නි සෑන්ඩර්ස්, නාමයෝජනා තරඟයේ දී යුද්ධය පිලිබඳ කාරනය යට ගැසීම පිනිස තමන්ගේ පැත්තෙන් ඉතා හොඳින් සිතා බලා කටයුතු කොට ඇත. අවම වසයෙන් ඇමරිකානු විදෙස් පිලිවෙත ගැන සඳහන් කර ඇති සෑන්ඩර්ස් එසේ කලේ ද 2003 දී ඉරාක යුද්ධයට සහාය දීම මඟින් ක්ලින්ටන් කලේ යයි ඔහු යලි යලිත් කියන “විදෙස් පිලිවෙත් අත්වැරැද්ද" අරබයා ඇය ව විවේචනය කිරීමට පමනි. ක්ලින්ටන් ඩිමොක්‍රටික් නාමයෝජනාව දිනා ගන්නේ නම් ඇයට සහාය දෙන බවට සෑන්ඩර්ස් නිතර දෙන පොරොන්දුව ක්‍රියාවේ යෙදවීමට ඔහු දැන් සූදානම් වෙමින් සිටී.

කම්කරු පන්තිය මුහුන දෙන්නේ අත්‍යන්ත අන්තරායන්ට ය. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රටවල් දෙකක් වන රුසියාවට හා චීනයට විරුද්ධ ව වඩ වඩා යොමු වන, ඔබාමා පරිපාලනයේ මිලිටරි ප්‍රචන්ඩත්වයේ තීව්‍ර වීම මැතිවරනයෙන් පසුව නව හා වඩා ප්‍රකෝපකාරී මෙහෙයුම් ලෙස පුපුරා යනු ඇත. ජනගහනයේ පුලුල් කොටස් අතර යුද්ධයට එරෙහි ව පවතින ගැඹුරු විරුද්ධත්වයට ද්වි-පක්ෂ පද්ධතියේ රාමුව තුල ප්‍රකාශනයක් සොයා ගත නො හැක.

එක්සත් ජනපද ජනාධිපතිවරනයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපේක්ෂකයන් නිවේදනය කරමින් පක්ෂය, එහි උද්ඝෝෂනයේ හරිමැද යුද්ධයට එරෙහි අරගලය තැබුවේ ය. “මිනිසුන් බිලියන ගනන් මරා දැමීමට හේතු විය හැකි ගෝලීය යුද්ධය සඳහා කෙරීගෙන යන මෙහෙයුම්, ආවරනය කොට ඇත්තේ බොරු හා රහසිගත භාවයෙන්" යයි අපි අනතුරු ඇඟවූයෙමු. අපගේ උද්ඝෝෂනය “කම්කරුවන් හා තරුනයන් ඔවුන් මුහුන දෙන යෝධ අන්තරායන් පිලිබඳ ව දැනුවත් කරමින්, නව බලගතු යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා පදනම් දමනු ඇත."

නොවැම්බරයේ මැතිවරනය පැවැත්වෙන තෙක් ගතවන මාස හයහමාර තුල ජෙරී වයිට් හා නයිල්ස් නිමුත් යන සසප අපේක්ෂකයෝ පාලක ප්‍රභූවේ යුද කුමන්ත්‍රනය හෙලිදරවු කරමින් යුද්ධයටත් එය නිර්මානය කරන ධනේශ්වර පද්ධතියටත් එරෙහි ව කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට වැඩ කරනු ඇත. මෙම උද්ඝෝෂනයට සහාය දෙමින් එය ගොඩනැගීමට එක් වන ලෙස ලෝසවෙඅ සියලු පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: