ශ්‍රී ලංකාවට ඇප දීමේ ක්‍රියාවලිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටුක කප්පාදු වලට ගැට ගසයි

IMF attaches harsh austerity measures to Sri Lankan bailout

සමන් ගුනදාස විසිනි, 2016 අප්‍රේල් 16

ගෙවුම් ශේෂ අර්බුදයක් වලක්වා ගැනීමට දෙන නය සඳහා හිලව්වට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), ආන්ඩුව සමග “ප්‍රතිසංස්කරන වැඩසටහනක්” ගැන ගිවිසුමකට එලඹි බව සඳුදා නිවේදනය කලේය.

නය පහසුකමේ අගය ජාමූඅ හරියටම සඳහන් නොකල නමුදු එය ඇමරිකානු ඩොලර් බිලියන 1 හා 1.5 ක් විය හැකි බව කොලඹ ආන්ඩුව ඇඟවුම් කලේය. ජාමූඅ සමග තවත් සති දෙකක සාකච්ඡාවන් අතරතුරදී මාස 36 ක විස්තීර්න අරමුදල් පහසුකම් (විඅ ප) වැඩසටහනක් සමඟ ගනුදෙනුව අවසන් කෙරෙනු ඇත.

ටොඩ් ස්නයිඩර් විසින් නායකත්වය දුන් ජාමූඅ කන්ඩායම, මාර්තු 31 සිට සති දෙකකට ආසන්න කාලයක් ආර්ථිකය “විමර්ෂනය කිරීමට” හා රජයේ නය ඉල්ලීම සාකච්ඡා කිරීමට කොලඹ රැඳී සිටියහ. අවශ්‍ය “ප්‍රතිසංස්කරන” තම ආන්ඩුව විසින් ක්‍රියාවට නංවන බවට ජාමූඅ ඒත්තු ගන්වන්නට, අගමැති රනිල් වික්‍රමසිංහ පුද්ගලිකවම අවසන් සාකච්ඡාවලට එක් වී සිටියේය.

ගිවිසුම නිවේදනය කරමින්, ශ්‍රී ලංකාවේ “මූල්‍ය හිඟය පුලුල් වී, රාජ්‍ය නය ඉහල ගොස්, ගෙවුම් ශේෂ තත්වය පිරිහී ඇති බව” ස්නයිඩර් පැවසීය.

නිල සංඛ්‍යාලේඛන මූල්‍ය අර්බුදයේ ඟැඹුර ගැන යමක් ඇඟවුම් කරයි. මේ වසර සඳහා විදේශ නය ආපසු ගෙවීම් සමස්තයක් ලෙස ඩොලර් බිලියන 4.56 ට වැඩි වන අතර එය දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 6 ක් පමන වේ. දල විදේශ සංචිත ඩොලර් බිලියන 7.3 ක පවතී.

ගිය වසරේ මුල් මාස නවය තුල රටෙහි නොගෙවූ නය සියයට 12 කින් ඉහල ගොස් ඩොලර් බිලියන 57 ක් වුන අතර එයින් විදේශ නය පමනක් සියයට 5 න් ඉහල ගොස් බිලියන 22 ක් විය. 2015 අවසාන වන විට, වාර්ෂික ගෙවුම් ශේෂ හිඟය ඩොලර් බිලියන 1.5 කට ලඟාවී තිබුනි.

ස්නයිඩර්ගේ ප්‍රකාශයට අනුව, ජාමූඅ ආන්ඩුවට පනවා තිබෙන වැඩසටහනට, “ආදායම් පරිපාලනය හා බදු ප්‍රතිපත්තිය වැඩි දියුනු කිරීම; රාජ්‍ය මූල්‍ය කලමනාකරනය ශක්තිමත් කිරීම; රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරන; සහ වඩා පිටතට හැරුනු ආර්ථිකයක් දිරිමත් කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන; විදේශ විනිමය වෙලඳපොල ගැඹුරුකිරීම; සහ මූල්‍ය අංශ අධීක්ෂනය ශක්තිමත් කිරීම” ඇතුලත් වේ.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ගනන් ඉහල දැමීමෙන්, සහනාධාර කප්පාදු වලින්, රැකියා හා විශ්‍රාම වැටුප් අයිතීන් ඉවත් කිරීමෙන්, නිදහස් අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් කප්පාදු හරහා සිදු කෙරෙන මෙම ඊනියා ප්‍රතිසංස්කරන මඟින්, කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට නිසැකවම තවදුරටත් ප්‍රහාර එල්ල වනු ඇත.

ජාමූඅ හි ප්‍රමුඛ අවධාරනය වන්නේ ගිය වසරේ සියයට 7.2 ක් වුන අයවැය හිඟය මේ වසරේදී සියයට 5.4 ක් දක්වා තියුනු ලෙස පහතට ගෙන ඒමයි. 2020 වන විට රජය එය සියයට 3.5 තෙක් අඩු කල යුතුය.

අගය මත එකතුකිරීම් හෙවත් වැට් බද්ද සියයට 11 සිට 15 දක්වා ඉහල දැමීම සහ අනෙකුත් බදු යෝජනා වික්‍රමසිංහ විසින් මාර්තු 8 දා නිවේදනය කරනු ලැබින. කෙසේ වුව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉල්ලීමකට අනුව, අප්‍රේල් උත්සව කාලයේදී කම්කරුවන් හා දුගීන් කෝපාවිෂ්ඨවේයැයි බියෙන්, රජය මෙම වැඩපිලිවෙල මාසයේ අවසානය තෙක් කල් දමන ලදී. “උපායමාර්ගික නොවන” ආයෝජන පුද්ගලීකරනය කිරීමට ද මාස තුනක් ඇතුලත රාජ්‍ය ආයතන සමහරක් කොලඹ කොටස් හුවමාරුවට ඇතුල් කිරීමට ද ආන්ඩුව බලාපොරොත්තු වන බව මුදල් ඇමති රවි කරුනානායක පැවසීය.

ජාමූඅ හි නිර්දේශිත “රාජ්‍ය මූල්‍ය කලමනාකරනය ශක්තිමත් කිරීම” යන්නෙහි තේරුම, සහනාධාර කපාහැරීම් හා සෞඛ්‍ය හා අධ්‍යාපන වැනි මහජන සේවාවන්හි වියදම් කප්පාදු කිරීමය. ජාමූඅ සමග සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වෙමින් ආන්ඩුව, කම්කරුවන්ගේ, විශේෂයෙන්ම වතුකම්කරුවන්ගේ ප්‍රධාන ආහාරයක් වන පාන් පිටි වල සහානාධාරය අඩු කරමින් එහි මිල සියයට 8 කින් ඉහල නැංවීය.

මේ වසරේ සිට, රජය සහනාධාර මිලකට පොහොර ලබාදීම දැනටමත් නතර කර තිබේ. රට පුරා දහස් ගනන් ගොවීහු මෙම කප්පාදුවට එරෙහිව විරෝධතා දැක්වූහ.

“පිටතට හැරුනු ආර්ථිකය” සහ “විදේශ විනිමය වෙලඳපොල පුලුල් කිරීම” යනුවෙන් ජාමූඅ අවධාරනය කරන්නේ, ගෝලීය වෙලඳපොලෙහි ශ්‍රී ලාංකික අපනයනයන් ලාභ කරවීම සඳහා, සම්පූර්නයෙන්ම වෙලඳපොල මත පදනම් වූ දේශීය මුදලක අවශ්‍යතාවයයි. මෙයින් කම්කරුවන්ගේ මූර්ත වැටුප තවදුරටත් පහලට ඇද දැමෙයි. පසුගිය මාස අට පුරා, මහ බැංකුව විසින් රුපියල නිල වශයෙන් පාවෙන්නට ඇරුනු තැන්හි සිට එය ආසන්නව සියයට 10 කින්, එනම් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 135 සිට 150 දක්වා අවප්‍රමාන වූ අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද ඇතුලු ආනයනික භාන්ඩ මිල ඉහල ගියේය.

ගෝලීය ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට ද පහර වැදී ඇත. එහි අපනයන ආදායම 2015 දී සියයට 5.6 කින් අඩු විය. එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ ප්‍රධාන වෙලඳපොලවල පවතින මන්දාවධමන ප්‍රවනතාවන් පෙන්නුම් කරමින්, නිමි ඇඳුම් හා රෙදිපිලි වලින් ලැබෙන ආදායම දෙසැම්බරයේදී සියයට 12.8 කින් ඇද වැටුනි. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ලැබෙන තැන්පතු ආදායම සියයට 12.8 කින් පහල ගියේය. ඊට එක් හේතුවක් නම් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් මැද පෙරදිග අවුලුවනු ලබන ආතතීන් හා ප්‍රචන්ඩත්වයයි.

අනෙකුත් මූලාශ්‍රයන්ගෙන් ඩොලර් බිලියන 5 ක නය ලබාගැනීමට ඇපයක් ලෙස භාවිතා කිරීම සඳහා ජාමූඅ නය අනුමැතිය අපේක්ෂාවෙන් ආන්ඩුව බලා සිටින බව සන්ඩේ ඔබ්සර්වර් වෙත මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පවසා තිබීමෙන්ම අර්බුදයේ තරම පෙනේ. එම මූලාශ්‍රයන්ට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපාන ජාත්‍යාන්තර නයදෙන්නන් සහ ඉන්දීය හා චීන බැංකු ඇතුලත්ය.

තාවකාලික වැඩපිලිවෙලක් ලෙස ආන්ඩුව, ඉන්දීය මහ බැංකුවෙන් ඩොලර් බිලියන 1.5 ක මුදල් හුවමාරුවක් හා චීන මහ බැංකුවෙන් ඩොලර් බිලියන 1 ක මුදල් හුවමාරුවක් ලබා ගනිමින් දැනටමත් ඊට මුල පුරා තිබේ. ස්වෛරී (රාජ්‍ය) බැඳුම්කර හරහා ඩොලර් බිලියන 3 ක වානිජ නය ගැනීමක්ද එය නිවේදනය කලේය.

චීනයෙන් ලබාගත් නය බර අඩුකර ගැනීමේ වැඩපිලිවෙලක් සොයන අතරතුර නව ආයෝජන අපේක්ෂාවෙන් මාර්තු මස අගදී වික්‍රමසිංහ චීනයට ගියේය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෙර පැවති ආන්ඩුව සමයේ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8 ක පමන නය චීනයෙන් ලබා ගත්තේය.

2015 ජනවාරියේ සිරිසේන බලයට පැමිනීමත් සමග, ඩොලර් බිලියන 1.4 ක් වන කොලඹ වරාය නගර ව්‍යාපෘතිය ද ඇතුලු, චීනය විසින් මූල්‍ය පහසුකම් සැපයූ බොහෝ ව්‍යාපෘති “විමර්ෂන” අවසන් වන තුරු නවත්වනු ලැබීය. නියම හේතුව වන්නේ චීනයෙන් දුරස්ත වන්නටඇමරිකාව කරන බලපෑමයි. බීජිනය සමග රාජපක්ෂගේ කිට්ටු ආර්ථික හා දේශපාලන සම්බන්ධකම් අවසන් කිරීමට ඇමරිකාව විසින් ඉන්දියාවේ ද සහාය ඇතිව ක්‍රියාවට නැංවුනු තන්ත්‍ර මාරු කිරීමේ මෙහෙයුමක් හරහා සිරිසේන බලයේ පිහිටුවන ලදී.

චීනයෙන් ලබාගත් සමහර නය, ව්‍යාපාර කොටස්වලට පරිවර්තනය කරන ලෙස වික්‍රමසිංහ ඔහුගේ සංචාරය අතරතුර, චීන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. ව්‍යාපෘතියෙහි නිරත චීන සමාගමට හිමිකම් නොපැවරෙන පරිදි එය 99 අවුරුදු බදු ගිවිසුමක් ලෙස සංශෝධනය කිරීම වැනි වෙනස්කම් සහිතව කොලඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත පටන්ගන්නට අවසර දෙන්නට ද ඔහු එකඟ විය.

පසුගිය ඉරිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වික්‍රමසිංහ, මංමුලා සහගත ජාමූඅ නය ඉල්ලීම සම්බන්ධයෙන් ගෝලීය ආර්ථික අර්බුදයට දොස් පැවරීය. ජාමූඅ සෑම මාස තුනකට වරක්ම තම ගෝලීය ආර්ථික වර්ධන අනාවැකිය පහල දමන බව ඔහු පැවසීය. “අපි මූදෙ තියන පොඩි බෝට්ටුවක් වගෙයි.” ඔහු පැවසීය. “මුහුද රලු වේවි. මට ඒක නවත්වන්න බෑ. නමුත් බෝට්ටුව පෙරලෙන්නෙ නැතුව තබා ගැනීම මම සහතික කරන්නම්. අප ඉදිරිය බලා යනු ඇති.”

ලෝකය පුරා අනෙකුත් ආන්ඩු මෙන්ම ශ්‍රී ලංකා ආන්ඩුව ද ජීවන තත්වයන් හා සමාජ අයිතීන් කෙරෙහි විනාශකාරී ප්‍රතිපල ගෙන එන ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට කල් යල් බලමින් සිටී. මෙම තත්වය නිසැකවම කම්කරු පීඩිත ජනතාවගේ හා ශිෂ්‍යයන්ගේ තියුනු අරගලවලට වේදිකාව නිර්මානය කරනු ඇත.

Share this article: