අර්ඩෝගන් හා පුටින් ශාන්ත පීටර්බස්ර්ග් හි දී හමුවෙති

Erdogan and Putin meet in St. Petersburg

හලීල් සෙලික් හා පීටර් ස්වාස් විසිනි, 2016 අගෝස්තු 10

තුර්කි ජනාධිපති රෙසෙප් ටේයිප් අර්ඩෝගන් හා රුසියානු ජනාධිපති ව්ලඩිමීර් පුටින් ජූලි 6දා, රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර කොන්ස්ටන්ටයින් මාලිගාවේ දී හමුවූහ. ආසන්න වශයෙන් වසරක් ඇතුලත පලමුවැනි වතාවට සිදුවූ ජනාධිපතිවරුන් දෙදෙනාගේ හමුවීම, ජූලි 15දා අසාර්ථක කුමන්ත්‍රනයෙන් පසු අර්ඩෝගන්ගේ පලමු විදේශ සංචාරය ද විය.

පසු ගිය නොවැම්බර්යේ තුර්කි ප්‍රහාරක යානාවක් රුසියානු ගුවන් යානයක් වෙඩි තබා බිම දැමීමෙන් පසු, තුර්කිය හා රුසියාව අතර සම්බන්ධතා අවම මට්ටමක පැවතුනි. එහෙත් ජූනි 29දා, යලි මිත්‍රවීමට උත්සාහ කරමින් අර්ඩෝගන්, ක්ෂමාව අයදින ලිපියක් පුටින් වෙත යැව්වේ ය. එතැන් සිට, සම්බන්ධකම් වේගයෙන් වර්ධනය වී ඇත.

අර්ඩෝගන්ගේ ලිපියට දිනකට පසුව රුසියානු හා තුර්කි ජනාධිපතිවරුන් අතර පැවති දුරකතන සාකච්ඡාවකින් අනතුරුව රුසියානු ආන්ඩුව, සංචාරක ගුවන් යානා වලට තුර්කිය වෙත පියාසර කිරීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය ඉවත් කරන ලදී. ජූලි 01දා තුර්කි හා රුසියානු විදේශ ඇමතිවරු රුසියානු නගරයක් වන සෝචිහි දී හමුවූහ.

මාධ්‍ය සාකච්ඡාවක දී 9දා පුටින් පැවසුවේ, අර්ඩෝගන්ගේ සංචාරය “බැඳීම් සාමාන්‍ය තත්වයට පත් කර ගැනීමේ ආරම්භයක්” ලෙස ය.“තුර්කියේ පවතින අති දුෂ්කර දේශපාලන තත්වය නො තකා, අද ඔබගේ පැමිනීම ප්‍රකාශ කරන්නේ තුර්කි හා රුසියානු ජනතාවගේ උත්සුකයන් සඳහා අපට අපගේ සංවාදය, මිත්‍රවීම යලි ඇරඹීම අවශ්‍ය බව” යයි ඔහු තුර්කි ජනාධිපතිට පැවසී ය. අර්ඩෝගන් එයට ඒකඟ වූයේ, “තුර්කි - රුසියානු බැඳීම් බොහෝ වෙනස් හා සාධනීය අවස්ථාකට අවතීර්න වී ඇතැ” යි පවසමිනි.

ජූලි 15වැනිදා කුමන්ත්‍රනය, අඩු වශයෙන් කොටසක් හෝ, රුසියාව සමග තුර්කිය අලුතෙන් යලි මිතුරුකම් ඇරඹීමට දක්වූ ප්‍රතිචාරයක් බවට බොහෝ සලකුනු තිබේ. අර්ඩෝගන්ට පන බේරාගෙන පලායාමට හා ඔහුගේ ආධාරකරුවන්ට ඇමතීම පිනිස අර්ඩෝගන්ට ඉඩ ලබා දෙමින්, කු‍මන්ත්‍රනය ගැන ඇන්කාරා වෙත අනතුරු ඇඟවූයේ රුසියානු ආන්ඩුව යි. කුමන්ත්‍රනයට පෙර නියම කර ගැනුනු, ශාන්ත පීටර්බර්ග් සංචාරය දැන් සිදුවන්නේ, එක්සත් ජනපදය හා යුරෝපා සංගමය සමග තුර්කියේ සම්බන්ධකම් ආසන්න වශයෙන් දෙදරා යාමේ තැනට ලඟා වී තිබීමත් සමගිනි.

වොෂින්ටනය කුමන්ත්‍රනයට සහාය දැක් වූ බවට සැකයක් නොමැති අතර ඒ පිලිබඳව අර්ඩෝගන් එලිපිට ම වොෂින්ටනයට චෝදනා කරයි. පෙනිසිල්වේනියාවේ එක්සත් ජනපද රැකවරනය යටෙත් ජීවත් වන පිටුවහලේ පසුවන ඉස්ලාමීය නායක ෆෙතුල්ලා ගුලෙන් තම රටට භාර දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

කුමන්ත්‍රනය සංවිධානය කිරීම සම්බන්ධයෙන් අර්ඩෝගන් චෝදනා කරන්නේ, ගුලේන්ගේ හිස්මට් ව්‍යාපාරයට යි. ප්‍රධාන ධනේශ්වර විරුද්ධ පක්ෂ දෙක වන කෙමාලිස්ට්වාදී මහජන සමූහාන්ඩු පක්ෂය (සීඑච්පී) හා අන්ත දක්ෂිනාංශික ජාතික ව්‍යාපාර පක්ෂය (එම්එච්පී) සමග “ජාතික එක්සත්කමේ” සන්ධානයක් ඇටවීම පිනිස ඔහු තුර්කිය තුල කුමන්ත්‍රනය කෙරෙහි පල වන මහජන විරෝධතාවේ වාසිය ගසා කමින් සිටියි . ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් විරේක කිරීමට හා තුර්කිය තුල උග්‍ර පන්ති ආතතීන් මර්දනය කිරීමට ඔහු මෙම සන්ධානය ප්‍රයෝජනයට ගනිමින් සිටින අතර නව විදේශ ප්‍රතිපත්ති හැඩගැස්මක් ආරම්භ කර තිබේ.

රුසියාව හා තුර්කිය අතර නව මිත්‍රත්වය පිටුපස ඇත්තේ ආර්ථික කරුන ය. අර්ඩෝගන් පැමිනියේ විශාල නියෝජිත කන්ඩායමක් ද සමගිනි. සාකච්ඡාවලින් අනතුරුව, රුසියානු ආධාර ඇතිව ඉදිකරනු ලබන තුර්කියේ පලමු න්‍යෂ්ටික බලශක්ති බලාගාරය සම්පූර්න කෙරෙනු ඇති බවත්, කලු මුහුද හා තුර්කිය හරහා ගිනිකොනදිග ආසියාවට රුසියානු ගෑස් ගෙනයාමට නියමිත තුර්කි නලමාර්ග ව්‍යාපෘතිය යලි ආරම්භ කෙරෙනු ඇති බවත් නිවේදනය කෙරුනි.

පසු ගිය වසරේදී, මොස්කව් හා ඇන්කාරා 2023 වන විට ඔවුන්ගේ අන්‍යෝන්‍ය වෙලඳාම් පරිමාව ඩොලර් බිලියන 100 දක්වා වැඩි කිරීමේ ඉලක්කය නියම කර ගත්හ. තුර්කි සංඛ්‍යාලේඛන ආයතනයට අනුව, 2010 හා 2014 අතර දෙරට අතර වෙලඳාම ඩොලර් බිලියන 30 දක්වා ආසන්න වශයෙන් සියයට 18කින් වැඩි වී ඇත. පසු ගිය වසරේ දී, තුර්කි අපනයන සඳහා රුසියාව දෙවැනි විශාල ම ගමනාන්තය වූ අතර ආනයනවල තුන්වැනි විශාල ම මූලාශ්‍රය විය.

කෙසේ නමුත්, සිරියාවට ඉහල අවකාශයේ දී එහි ජෙට් යානයක් වෙඩි තබා බිම දැමීමෙන් අනතුරු ව රුසියාව ආර්ථික සම්බාධක පැනවීමෙන් පසු, 2016 පලමු මාස හයේ දී, තුර්කියේ අපනයන සියයට 60.5 න් පහල වැටුනි.නොවැම්බර් අර්බුදයෙන් පසු මොස්කව් තුර්කි පැකේජ සංචාර හා කුලී ගුවන් යානා ගමන් තහනම් කෙරුනු අතර තුර්කියට ඩොලර් මිලියන 840ක සංචාරක ආදායමක් අහිමි විය.

අර්ඩෝගන්ගේ සංචාරය, මිලිටිරි හවුලේ ඉතාමත් වැදගත් සාමාජිකයෙකුගේ මුලෝපායික වෙනසක් සලකුනු කරතැයි එක්සත් ජනපද හා නේටෝ රටවල් තුල බිය මතු වෙමින් පවතී. මෙය වොෂින්ටනය විසින් මිලිටරිමය වශයෙන් රුසියාව වට කිරීමට පමනක් නොව, සිරියාව තුල අසාද් තන්ත්‍රය පෙරලා දැමීමේ එහි උත්සාහයට ද වල කපනු ඇත.

බීබීසී වෙබ් අඩවිය ම මෙවැනි මතයක් පලකලේ ය: එක්සත් ජනපදය හා යුරෝපා සංගමය සමග තුර්කි ආන්ඩුවේ සම්බන්ධතාවන් තුල වර්තාමන “රැවටිල්ලේ” දෘෂ්ටියෙන් ගත් කල අසාර්ථක කුමන්ත්‍රනයෙන් පසු, ජනාධිපති රෙසෙප් ටේයිප් අර්ඩෝගන් ඔහුගේ පලමු නිල සංචාරය සඳහා රුසියාව තෝරා ගැනීම ඇඟවීම් සහිත බව පෙනේ. එමෙන් ම බටහිර නායකයින් ඒ දෙස බලනවා ඇත්තේ බියෙනි.”

ස්ටැට්ෆෝර් ප්‍රයිවට් ඔත්තු සේවාවේ හිටපු ප්‍රධානියා ද රුසියාවේ දැඩි විරුද්ධවාදියෙකු ද වන ජෝජ්ජ් ෆ්‍රීඩ්මාන්, එම උත්සුකයන් පිලිබඳව ඉතා අවංකව කතා කලේ ය: “සිරියාවේ දී ඔවුන් (තුර්කිය) අපට උදව් කරනු ඇතැ යි යන බලාපොරොත්තු නැති භංග වී ඇත” යි ඔහු වීඩියෝ සංවාදයක දී පැවසුවේ ය.“සමීකරනයේ අනෙක් පැත්තේ දී අප උත්සාහ කරමින් සිටින්නේ රුසියාව මැඩපැවත්වීමට ය. ඔවුහු රුසියානු යානය ‍වෙඩි තබා බිම දැමූ අවස්ථාවේ අප බලාපොරොත්තුවෙන් සිටියේ තුර්කිය සමග අප කිට්ටු මිත්‍රකමක සිටිනු ඇති කියා ය. දැන් එය ගොසින් ය. රුසියාව පැතිරයාම වැලැක්වීම ද අයිඑස්අයිඑස් පරාජය කිරීම ද යන අපගේ සැලසුම් දෙකට, දැඩි ප්‍රහාරයක් එල්ල කෙරී ඇත. ”

පුටින් හා අර්ඩෝගන් යන දෙදෙනා ම ශාන්තපීටර්බර්ග්හි දී, එකට වැඩ කරනු ඇති බව ඇඟවුම් කලේය. මේ දක්වා ඔවුන් ප්‍රතිවිරුද්ධ අරමුනුවල පිහිටා සිටියේ, රුසියාවට හා අසාද්ට එරෙහිව තුර්කිය එක්සත් ජනපදයේ පැත්ත ගැනීම මුල්කරගෙනය.

සංචාරයට දිනකට පෙර, රුසියානු ටාස් ප්‍රවෘත්ති ඒජන්සිය හා රුසියා 24 නම් රාජ්‍ය රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවක දී, රුසියානු සමූහාන්ඩුව “සිරියාවට සාමය ගෙන එන මූලික සාධකය” යයි අර්ඩෝගන් පැවසීය. “මම සිතන්නේ තුර්කිය හා රුසියාව එකට පියවර ගනිමින් මෙම (සිරියා) ප්‍රශ්නය විසඳිය යුතු ය කියාය.”

පුටින් සමග නියමිතව තිබුන ඔහුගේ හමුව “පුනරුත්පත්තියක්” ලෙස ඔහු විස්තර කලේය. “දැන්, මම විශ්වාස කරන්නේ, සෑම දෙයක් ම යලි සලකා බැලීමට, රුසියාව හා තුර්කිය අතර සම්බන්ධතාවන්ගේ නව පිටුවක් විවෘත කිරීමට අපට අවස්ථාවක් ඇති බව යි. සංස්කෘතික, වෙලඳාම, මිලිටරි, ආර්ථික ක්ෂේත්‍රයන් තුල අපට බොහෝ දේ කරන්නට ඇතැ යි මම සිතනවා. ඒ ගැන මට සැකයක් නොමැත.”

ශාන්ත පීටර්ස්බර්ග් හමුවෙන් පසු, පුටින් පැවසුවේ සිරියාව තුල අර්බුදය විසඳීමේ දී රුසියාවට හා තුර්කියට පොදු අරමුනු තිබුන බව යි. ප්‍රශ්නය පිලිබඳ ඔවුන්ගේ දෘෂ්ටීන් හැමවිට ම සම්පාත නොවෙන නමුත් තව දුරටත් සාකච්ඡා කිරීමට හා විසඳුමක් සෙවීමට දෙරට එකඟ වී ඇති බවත් ඔහු සඳහන් කලේ ය.“අපගේ දෘෂ්ටීන් හා ප්‍රවේශයන් පෙල ගැස්වීමට හැකි වෙනු ඇතැ යි මම විස්වාස කරමි” යි ඔහු ප්‍රකාශ කලේ ය.

එහෙත්, සිරියාවේ හා තුර්කියේ කුර්දි හමුදා පිලිබඳ ආකල්පය වැනි බොහෝ නොවිසදුනු ප්‍රශ්න ඉතිරිව තිබේ. කුර්දි කම්කරු පක්ෂය සන්නද්ධ කරන බවට අර්ඩෝගන් රුසියාවට චෝදනා කර ඇත. තමන්ගේ පාර්ශවයෙන් තුර්කිය, සිරියාවේ ඉස්ලාමීය කන්ඩායම් වලට සහාය දක්වා ඇති අතර ඔවුන් රුසියාව තුල ද ක්‍රියාශීලීව සිටී. ක්‍රිමියානු ප්‍රශ්නයේදී තුර්කිය සහාය දක්වන්නේ, මොස්කෝවට සතුරු ක්‍රිමියානු ටාටර් වරුන්ටය.

අර්ඩෝගන්ගේ සංචාරයට පලමු ප්‍රතිචාරය පලවුනේ බර්ලිනයෙනි. අසාර්ථකවු කුමන්ත්‍රනයෙන් පසුව ජර්මානු මාධ්‍ය පොදුවේ අර්ඩෝගන් සමග දැඩි සතුරු කමක් දැක්වූ අතර විදේශ ඇමති ෆ්‍රෑන්ක් ස්ටේන්මීයර් වඩා ප්‍රවේශම් සහගත ප්‍රවේශයක් ගත්තේ ය, “පසු ගිය වසරේ තුර්කිය විසින් රුසියානු යුද ගුවන්යානයක් බිම දැමීමෙන් පසු, දැන් යලි මිත්‍රවීම යහපත්” යයි බිල්ඩ් නම් ජර්මානු දිනපතා පත්‍රයට ඔහු පැවසුවේය. “ ඉරානය,සෞදි අරාබිය හා තුර්කිය මෙන් ම මොස්කෝව ද නොමැති ව සිරියාව තුල සිවිල් යුද්ධයට විසඳුමක් තිබිය නො හැකිය.”

Share this article: