පාලක පන්තිය සහ ලියොන් ට්‍රොට්ස්කිගේ අවතාරය

The ruling class and the spectre of Leon Trotsky

2016 අගෝස්තු 20

අදින් වසර හැත්තෑහයකට පෙර රේමන් මර්කාඩර් නමැති ඝාතකයා, මෙක්සිකෝ සිටි නගරයේ කොයෝවාකාන්හි නිවසේ දී ලියොන් ට්‍රොට්ස්කිගේ හිස මතට අයිස් පොරෝ පහරක් එල්ල කලේ ය. දරුනු ලෙස තුවාල සිදුව තිබිය දී පවා තම ඝාතකයා සමඟ ට්‍රොට්ස්කි නිර්භීත ව සටන් කල නමුත් එම තුවාල හේතුකොටගෙන පසුදින ට්‍රොට්ස්කි මරනයට පත් විය.

ඝාතකයාගේ ප්‍රධාන හාම්පුතා වූ සෝවියට් නායක ජෝසෆ් ස්ටැලින්ගේ අභිප්‍රාය වූයේ, තම ප්‍රධාන හතුරාගේ හඬ නිශ්ශබ්ද කොට, එමඟින්, රුසියානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියට තම ශ්‍රේෂ්ඨතම විප්ලවවාදී නායකයා අහිමි කිරීම යි.

එහෙත් ස්ටැලින් අසාර්ථක විය. අද වනවිට, ආඥාදායකයාගේත් ඔහුගේ අනුගාමිකයන්ගේත් නාමයන් වෛරයට පාත්‍රව ඇත. “විප්ලවයේ මිනීවල හාරන්නා" ලෙස ට්‍රොට්ස්කි ස්ටැලින් හඳුන්වා දුන් අතර ට්‍රොට්ස්කිගේ නාමය සදාකාලික ව බැඳී තිබෙන්නේ, ස්ටැලින්වාදයට එ‍රෙහි අව්‍යාජ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා ගෙන ගිය අරගලය සමඟිනි.

ට්‍රොට්ස්කි හුදෙක් යෝධ ඓතිහාසික පෞරුෂයක් පමනක් නො ව, ලොව පුරා කම්කරුවන් සඳහා, ඉමහත් සමකාලීන දේශපාලන අදාලත්වයක් සහිත චරිතයක් ද වේ. බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය තුල ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ ඔහුගේ නම යලි යලිත් සඳහන් කරනු ලබන ආකාරයෙන් පවා මෙය සනාථ වන්නේය.

පක්ෂ නියෝජ්‍ය නායක ටොම් වොට්සන් අගෝස්තු 9දා ලිපියක් තුලින් කම්කරු පක්ෂ දක්ෂිනාංශය, “රිංගාගෙන ඇති ට්‍රොට්ස්කිවාදීන්" තියුනු ලෙස හෙලා දැකීම ආරම්භ කලේය. වර්තමාන නායක ජෙරමි කෝබින්ගේ ආධාරකරුවන් මෙම සැඟවුනු බලවේගවල අවිඥානික නලුවන් ලෙස ඔහු ගෙනහැර දැක්වීය. මෙයට කෝබින් කඳවුරේ ප්‍රතිචාරය වී ඇත්තේ, එවැනි චෝදනාවක් කිරීම ගැන කෝපය හා පුදුමය පල කිරීම යි. “එක් වර ම කම්කරු පක්ෂයට රිංගාගත් කට්ටිවාදී අන්තවාදීන් 300,000ක් රටතුල වේ යයි කිසිවකුට සිතාගත නො හැකි" වනු ඇතැයි කෝබින් දි ඔබ්සර්වර් පුවත්පතට සහතික වෙයි.

එහෙත් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පුවත්පත්, ට්‍රොට්ස්කි අවමානයට ලක්කරමින් හා ඔහුගේ අදහස් සමඟ කිසිදු අනන්‍ය වීමකට එරෙහි ව අනතුරු අඟවමින්, ලිපි මාලාවක් පල කිරීමෙන් වැලැක්වීමට මේ කිසිවක් සමත් ව නැත. කම්කරු පක්ෂය තුල “ට්‍රොට්ස්කිගේ අවතාරය" ‍හොල්මන් කරන බවත් පක්ෂය තුල දේශපාලන අරගලය ප්‍රතිසංස්කරනය හා විප්ලවය අතර අරගලයක් හුවා දක්වන බවත් යලි යලිත් සඳහන් කරනු ලැබේ.

කම්කරු පක්ෂ දක්ෂිනාංශයේ කන්ඩායමික අභිප්‍රායන් කුමක් වුවත්, ට්‍රොට්ස්කිගේ නම ඉස්මතු වීමට දැවැන්ත වෛෂයික වැදගත් කමක් පවතී. විශේෂයෙන් ම අර්බුදයෙන් මිරිකී යන ධනවාදය, එමෙන් ම කම්කරු පන්තියේ සමාජ හා දේශපාලන අරගල පුපුරා යන ඕනෑම අවස්ථාවක ට්‍රොට්ස්කිගේ ආනුභාවය දැනෙන්නට පටන්ගෙන තිබේ.

ඒ මක්නිසා ද?

තියුනු සමාජ බෙදීම්, බ්‍රෙක්සිට් ජනමත විචාරනය මඟින් නිර්මානය කර තිබෙන දේශපාලන කුනාටුව, සියල්ලටත් වඩා ශතවර්ෂයකටත් අධික කාලයක් පුරා කම්කරු පන්තියේ අරගලවලට එරෙහි පොලිස්කාරකමේ යෙදී ඇති කම්කරු පක්ෂය බිඳී විසිරී යාමේ තර්ජනය මධ්‍යයේ, ට්‍රොට්ස්කිගේ “අනදාලත්වය" ගැන කරන ප්‍රකාශ තිබිය දීම ට්‍රොට්ස්කි හා ට්‍රොට්ස්කිවාදය විසින් මතු කරන අනතුර පිලිබඳ ව, පාලක ප්‍රභූව හා මාධ්‍යය අතිශයින් දැනුවත් ය.

මිලියන ගනන් කම්කරුවෝ හා තරුනයෝ කප්පාදු වැඩපිලිවෙලට හා මිලිටරිවාදයට එරෙහි ව සටන් කිරීමේ මාවතක් සොයමින් සිටිති. කම්කරු පක්ෂයෙන් කිසිදු බිඳීමකට විරුද්ධ වන ගමන් එම විකල්පය ලෙස පෙනී සිටීටම කෝබින් දරන රැවටිලිකාරී උත්සාහය වැඩිකලක් නො පවතිනු ඇත. අව්‍යාජ නව සමාජවාදී පක්ෂයක් ගොඩනැගීමේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම පැනනගිනු ඇත.

බ්‍රිතාන්‍යය තුල පවත්නා තත්ත්වය ලොව පුරා වර්ධනය වන තත්ත්වයේ හුදු පිලිබිඹුවක් පමනි. කම්කරු පන්තිය වමට චලනය වෙමින් සිටියත් එයට අවශ්‍ය සමාජවාදී නායකත්වය ගොඩනැගීම තවමත් කලයුත්තක් ලෙස පවතී.

ලබන වසර, 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය සලකුනු කරයි. ලොව ප්‍රථම කම්කරු රාජ්‍යය ස්ථාපිත කල එම යුගකාරක සිද්ධියේදී ලෙනින් සමඟ අනන්‍ය වන අනෙක් නම ට්‍රොට්ස්කි ය. අද දින ලෝක ධනවාදය වෙලාගෙන ඇති ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය, මානව වර්ගයා ආඥාදායකත්වයේ, ම්ලේච්ඡත්වයේ හා යුද්ධයේ විනාශකාරී ආගාධයකට ඇද දමනවා ද නැතහොත්, කම්කරු පන්තිය පන්තිය සූරාකෑම හා ජාතික බෙදීම් අවසන් කොට ලෝක සමාජවාදය ගොඩනැගීමට සමත් වනවාද යන ප්‍රශ්නය අලුතෙන් මතු කරයි.

ස්ටැලින් යටතේ සෝවියට් සංගමයේ පිරිහීමට එරෙහි දේශපාලන අරගලයට ට්‍රොට්ස්කි නායකත්වය දුන්නේ ය. 1938 දී හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමෙන් කූඨප්‍රාප්තියට පත් ඔහුගේ හා වාම විපාර්ශවයේ අරගලය, ස්ටැලින්ගේ නැගීමට මග පෑදුවේ ලෙනින් බවත් නිලධාරිවාදී කෘෘරත්වය සමාජවාදයේ නිර්මානයක් බවත් කියන කේන්ද්‍රීය ප්‍රති-කොමියුනිස්ට්වාදී බේගල් නිෂ්ප්‍රභා කරයි.

නො නවතින විප්ලව න්‍යායේ ද “ධනවාදයේ මරලතෝනිය" වැනි යුගය අර්ථ දක්වන පාඨයන්හි ද කතුවරයා ට්‍රොට්ස්කි ය. ලෝක සමාජවාදී විප්ලවය පිලිබඳ ඉදිරිදර්ශනයේ පුද්ගල ප්‍රතිමූර්තිය ඔහු ය. මේ නිසා ම, බ්‍රිතාන්‍යයේ ද එහි ජාත්‍යන්තර හවුල්කාර පාලක පන්තීන්ගේ ද පැත්තෙන් සලකන කල, ඉතිහාසයේ අතිශයින් ම විසකුරු හා අන්තරායකාරී චරිතය ට්‍රොට්ස්කි වේ.

දශක ගනනාවක ඇවෑමෙන් පසුව ද ට්‍රොට්ස්කිගේ ලේඛන ක්ෂනික අදාලත්වයක් දරයි. ඔහු හුදෙක් බ්‍රිතාන්‍යය තුල පන්ති අරගලයේ දිගහැරීමට අවධානය යොමු කලා පමනක් නො ව, කම්කරු පක්ෂය ද ධනේශ්වර පාලනයේ ආරක්ෂකයෙක් ලෙස එහි භූමිකාව ද පිලිබඳ වඩාත් ම තියුනු හා උපහාසාත්මක ඇගයීම සම්පාදනය කලේ ය. “බ්‍රිතාන්‍යය කොයිබට ද?" යන ඔහුගේ සම්භාව්‍ය කෘතිය ලියන ලද්දේ, කම්කරු පක්ෂය හා වෘත්තීය සමිති කොංග්‍රසය මහා වැඩ වර්ජනය පාවා දීමට යන්තම් වසරකට කලින් 1925 දී ය. ෆේබියානු වාමාංශය, එහි දුබලකම, ව්‍යාජ බව හා නරුමත්වය පිලිබඳ ඔහුගේ රචනා, කෝබින් හා වෘත්තීය සමිති නිලධරය තුල ඔහුගේ සහචරයන් කෙරෙහි කිසිදු විශ්වායක් තැබීමට එරෙහි උපදේශාත්මක අනතුරු ඇඟවීමකි.

ලෝකයේ නො වේ නම් යුරෝපීය හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ප්‍රධානතම මුක්කුව ඔවුන් ය. ස්වයං-තෘප්ත බුද්ධිරෝධවාදීන්, කෙලතොලු සාරසංග්‍රහවාදීන්, මනෝබද්ධ වෘත්තීයවාදීන් හා ‍ ධනවාදයේ පා ලෙවකන්නන් වන මොවුන්, සියලු වෙර යොදා ඔවුන්ගේ සැබෑ වර්නයෙන් කම්කරුවන්ට හෙලිදරවු කල යුතු ය. ඔවුන් ඔවුන්ගේ සැබෑ ස්වරූපයෙන් පෙන්වීම යනු, යලි ගොඩගත නො හැකි ලෙස ඔවුන් අපකීර්තියට පත් කිරීම යි. ඔවුන් අපකීර්තියට පත් කිරීම යනු ඓතිහාසික ප්‍රගතිය වෙනුවෙන් කරන ඉහල ම සේවය යි.

එලඹෙන වකවානුව තුල ට්‍රොට්ස්කි හා ඔහුගේ උරුමය පිලිබඳව, ජාත්‍යන්තර පරිමානයෙන් වැඩිදියුනු කම්කරුවන් හා තරුනයන්ට පැහැදිලි කල යුතුය. බ්‍රිතාන්‍යය තුල සමාජවාදී සමානතා පක්ෂය නියෝජනය කරන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ට්‍රොට්ස්කි, ඔහුගේ ජීවිතය හා වැඩකටයුතු පිලිබඳව “ඓතිහාසික මුසාකරනයේ පශ්චාත්-සෝවියට් ගුරුකුලය" යනුවෙන් අප විසින් ම නම් කර ඇති දෙය හෙලිදරව් කිරීමට කැප වී සිටී.

මෙම ශතවර්ෂයේ මුල හා 2008 මූල්‍ය අර්බුදය හමුවේ, ඉයන් තැචර්, ජෙෆ්රි ස්වේන් හා රොබට් සර්විස් යන බ්‍රිතාන්‍ය ඉතිහාසඥයෝ ට්‍රොට්ස්කි පිලිබඳ චරිතාපදාන ලිවූහ. එම චරිතාපදාන තුල අන්තර්ගත බොරු හා මුසාකරනයන් ක්‍රමානුකූල ව හෙලිදරවු කිරීමට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඩේවිඩ් නෝර්ත් කටයුතු කලේ ය. ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා යන නමින් 2010 දී මුද්‍රනය කරන ලද කෘතිය තුල, නව විප්ලවවාදී අරගලවල මුව විටදී එලිදක්වන ලද ඉහත ඉතිහාසඥයන්ගේ අගතිගාමී කෘති, “ඓතිහාසික චරිතයක් ලෙස ට්‍රොට්ස්කි මුලුමනින් ම අපකීර්තියට පත්කිරීම" ඉලක්ක කරගත්, “පූර්ව භංග ප්‍රහාරයක්" යයි නෝර්ත් විස්තර කලේ ය.

තම හැඳින්වීම තුල නෝර්ත්, ට්‍රොට්ස්කි අවමානයට පත්‍ කිරීම සඳහා කරන සියලු වර්තමාන ව්‍යායාමයන්ගේ අභිප්‍රේරනය පහත දැක්වෙන පරිදි විමසා බැලීය:

“ අන් සියල්ලටත් වඩා ලියොන් ට්‍රොට්ස්කි ලෝක සමාජවාදී විප්ලවයේ ශ්‍රේෂ්ඨ කථිකයා ද න්‍යායාචාර්යවරයා ද විය. ඔහුගේ නාමයෙන් පැන නංවන ලාලසාව, ට්‍රොට්ස්කිගේ අදහස්වල චිරකාලීන වැදගත්කම පිලිබඳව සාක්ෂි දරයි. ට්‍රොට්ස්කි පිලිබඳ විවාද හුදෙක් අතීතයේ සිදුවූයේ කුමක් ද යන්න පිලිබඳව පමනක් නො වේ. ඒ සා පරිමානයෙන් ම ඒවා, ලෝකයේ අද සිදුවෙමින් ඇත්තේ කුමක් ද හා අනාගතයේ සිදු විය හැක්කේ කුමක් ද යන්න පිලිබඳව ද වෙයි.”

මෙම වචන ලියන ලද තැන් පටන්, ට්‍රොට්ස්කි දියාරුකොට, ඔහුට මඩගැසීම සඳහා තව තවත් තීන්ත හා කඩදාසි නාස්ති කරනු ලැබ තිබේ. මෙම මඩගැසීම් හා ඉදිරියේ කෙරෙන තවත් එවැනි දේ තිබිය දී වුවත් ඔහුගේ නො නස්නා අදාලත්වය මකා දැමීම කිසිවිටක කල නොහැක්කක් වනු ඇත. එයට හේතුව ට්‍රොට්ස්කිවාදය යනු හුදෙක් අවතාරයක් පමනක් නො ව, දේශපාලන ව්‍යාපාරයක් ද වීම යි. ඔහු විසින් ගොඩනගන ලද සංවිධානය වන හතරවන ජාත්‍යන්තරය, ධනේශ්වර පද්ධතියට එරෙහි ව විප්ලවවාදී අරගලයන් සඳහා ලොව පුරා කම්කරු පන්තිය යලි වතාවක් ඉදිරියට මෙහෙය වන ගැඹුරු වෛෂයික ප්‍රවනතාවන්ගේ සවිඥානික ප්‍රකාශනය යි.

ක්‍රිස් මාස්ඩන්

Share this article: