ශ‍්‍රී ලංකාව: ඉහල නිෂ්පාදන ඉලක්ක පැටවීම සඳහා වතු වෘත්තීය සමිති, සමාගම් සමග කුමන්ත‍්‍රනය කරති

එම්. දේවරාජා විසිනි, 2016 අගෝස්තු 3

පැවති ඒකාබද්ධ ගිවිසුම පසු ගිය මාර්තු මාසයේ දී අවසන් වීමෙන් පසුව, කිසියම් හෝ වැටුප් වැඩි කිරීමක් වතු සමාගම් විසින් දැඩි සේ ප‍්‍රතික්ෂේප කරනු ලැබින. අර්බුදය නිසා වැටුප් වැඩි කල නො හැකි බව පවසමින්, වැටුප් කැපීමට හා වැඩ ප‍්‍රමානය ඉහල දැමීමට ඔවුහු, අදායම් බෙදාගැනීමේ ක‍්‍රමවේදයක් යෝජනා කලහ. ඔවුන්ගේ යෝජනාව වූයේ වත්තේ යම් කිසි කොටසක් හෝ තේ පඳුරු ප‍්‍රමානයක වැඩ කම්කරුවන්ට පැවරීම හා සමාගමේ වියදම් හා ලාභ අඩු කිරීමෙන් පසුව ආදායමේ ඉතිරි පංගුව ඔවුන්ට ගෙවීමට ත් ය. භාවිතයේ දී, මෙම ක‍්‍රමය සමාන වන්නේ පැරනි අඳ ගොවි ක‍්‍රමයට ය.

වෘත්තීය සමිති මෙම ක‍්‍රමයට එකඟ වුව ද, කම්කරුවන්ගේ පුලුල් විරෝධයට බියෙන් සමාගම්වලට එය ක‍්‍රියාත්මක කල නො හැකි වුනි. පසු ගිය වසර කීපය තිස්සේ වැඩ ප‍්‍රමානය වැඩි කිරීමට එරෙහිව වතු ගනනාවක කම්කරුවෝ විරෝධතා දැක්වූහ.

මෙම තතු තුල, වැවිලිකරුවන්ගේ සංවිධානය පසු ගිය මාසයේ මිශ‍්‍ර වැටුප් ව්‍යුහයක් වන “දෙමුහුන් ක‍්‍රමය” නම් නව යෝජනාවක් ඉදිරිපත් කලේ ය. මේ අනුව, රුපියල් 620 සිට 720 දක්වා රුපියල් 100න් දෛනික වැටුප වැඩි කර පෙර පරිදි මාසයකට දින 12ක් සඳහා කම්කරුවන්ට ගෙවනු ලැබේ. ඉතිරි දින 13 සඳහා කම්කරුවන්ට ගෙවනු ඇත්තේ තේ හෝ රබර්වල නිෂ්පාදනය අනුව ය. මෙම ක‍්‍රමය නිත්‍ය වශයෙන් ම වැඩ ප‍්‍රමානය ඉහල දමනු ඇති අතර කම්කරුවන්ගේ වැටුප් පහත හෙලයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ, වැවිලි කර්මාන්ත අමාත්‍ය නලින් දිසානයක හා වෘත්තීය සමිති සමග වැවිලි කරුවන්ගේ සංවිධානය පසු ගිය මාසයේ දී මෙම ක‍්‍රමය ගැන සාකච්ඡා කලේ ය. කෙසේ නමුත්, එක වෘත්තීය සමිතියක් හෝ මෙම සැලැස්මට විරුද්ධ නො වීය. එය අඟවන්නේ ඒ සඳහා ඔවුන්ගේ සහාය ලැබෙන බව යි.

කඳුරට මහජන පෙරමුනේ (යූපීඑෆ්) නායකයා මෙන් ම වර්තමාන ආන්ඩුවේ ඇමතිවරයෙකු ද වන වී. රාධක‍්‍රිෂ්නන් ලෝසවෙඅ මේ ගැන විමසූ විට, ඔහු මෙසේ පැවසුවේ ය: “අපි කොම්පැනියේ අලුත් යෝජනාව ගැන සාකච්චා කරමින් ඉන්නේ, නමුත් තවමත් තීරනයක් අරගෙන නෑ.”

ඔහු මෙසේ ද පැවසී ය: “පාඩු ලබන බවත් වතු පවත්වාගෙන යා නොහැකි බව කොම්පැනි කියනවා. මෙම තත්වය යටතේ මොකක් ද විකල්පය, ඔබට පුලුවන්ද අපට මොකක් හරි විකල්පයක් කියන්න. ‘අපි විකල්පයක් දෙන්නේ නැත් නම් කොම්පැනියට වත්ත වසා දැමීමට සිදුවෙනවා, කම්කරුවන්ට රැකියා නැති වෙනවා, ඔවුන් පාරට බසි යි. මේ තත්වය තුල අපි මොක ද කරන්නේ’ කියා අගමැති ඇසුවා.”

ලංකා කම්කරු කොංග‍්‍රසයේ (සීඩබ්ලිව්සී) සභාපති මුතු සිවලිංගම් ද එවැනි ම අදහස් ප‍්‍රකාශ කලේ ය: “අපි බලන් ඉන්නේ හාම්පුත්තු එක්ක සාමූහික ගිවිසුමක් ගැන කතා කරන්න. වැවිලි කර්මාන්තය අර්බුදයකට මුහුන දෙමින් සිටින බවත් සමහර කොම්පැනි වතු වසා දාන්න සූදානම් බවටත් අපි එකඟ වෙනවා. කම්කරුවන්ට රැකියා නැති වෙනවා. මේ යෝජනාව ගැන අනෙකුත් වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරලා අපි විසඳුමක් ගන්න ඕනෑ.”

ආන්ඩුව සමග අත්වැල් බැඳගෙන වැඩ කරන අනෙකුත් වෘත්තීය සමිති වන්නේ, කම්කරු ජාතික සංගමය (එන්යූඩබ්ලිව්) හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන පෙරමුන (ඩීපීඑෆ්) ය. පිලිවෙලින් ඒවායේ නායකයින් වන පී. දිගම්බරම් හා මනෝ ගනේෂන් වර්තමාන ආන්ඩුවේ කැබිනට් ඇමතිවරුන් වෙති.

මෙම වෘත්තීය සමිතිවල ආස්ථානය පැහදිලිව ම පෙන්වන්නේ ඔවුන්ට සමාගමේ යෝජනාව පිලිගනු හැර කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට විකල්ප වැඩපිලිවෙලක් නොමැති බව යි. වී. රාධක‍්‍රිෂ්නන්, මුතු සිවලිංගම් හා අනෙකුත් අය, සමාගම් හාම්පුතුන් හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රචාරය සමග එලියට බැස ඇත්තේ, වතු වලින් පාඩු සිදුවන්නේ නම් කම්කරුවන්ට රක්ෂා අහිමි වන බව පවසමින්, කම්කරුවන් බිය වැද්දීමට ය; ඒ නිසා කම්කරුවන් දරිද්‍ර මට්ටමේ වැටුප් පිලිගෙන සමාගම්වල ලාභ වැඩි කල යුතු ය.

හාම්පුතුන්ගේ කාර්මික පොලීසියක් ලෙස වැඩ කරමින් වැවිලි කරුවන්ගේ සංවිධානයේ යෝජනා ක‍්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති සූදානම් බවට කෙරෙන අනතුරු ඇඟවීමකි මේ. අතීතයේ දී, කම්කරුවන්ගේ විරුද්ධත්වය දියකර හැරීමට හා ඔවුන් කටුක ජීවන හා වැඩ කොන්දේසි යටතේ තැබීමට වෘත්තීය සමිති හාම්පුතුන්ට උදව් කලහ.

තේ කර්මාන්තයේ අර්බුදය නව මට්ටමකට ලඟා වී ඇත්තේ ගෝලීය අර්බුදයේ කොටසක් ලෙස ය. පසු ගිය වසර දෙක තිස්සේ අපනයන පරිමාව හා මිල ගනන් නොකඩවා පහල ගොස් ඇත. රබර් කර්මාන්තය ද ඒ සමාන අර්බුදයකට මුහුන දෙමින් පවතී. මැද පෙරදිග යුද්ධය හා රුසියාවට එරෙහි ආර්ථික සම්බාධක ශ‍්‍රී ලංකාවේ තේ හා රබර් කර්මාන්තයට බරපතල ලෙස බල පා ඇත.

කෙන්යාව, ඉන්දියාව, වියට්නාමය, චීනය හා දකුනු අප‍්‍රිකාව වැනි තේ නිපදවන රටවල්, කම්කරුවන්ගේ සේවා කොන්දේසි පහලට ඇද දමමින් ඔවුන්ගේ ලාභ වැඩි කර ගැනීමට කුලල් කා ගැනීමේ තරඟයක යෙදී ඇත. සෑම කර්මාන්තයක ම කම්කරුවන් මෙන් ම දුප්පතුන්ගේ පටි තද කර ගැනීම සඳහා කෙරෙන ඉල්ලීම්වල අවසානයක් නැත.

ලෝක ධනපති ආර්ථිකය මුහුනදී සිටින්නේ, 1930 මහා අවපාතයෙන් පසුව එලඹී ඇති බරපතලම ආර්ථික කඩාවැටීමට ය. ලෝකයේ කම්කරු පීඩිත ජනතාවට මෙම ධනපති ක‍්‍රමය තුල විසඳුමක් සොයා ගත නො හැක. එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලවතුන් තල්ලුවෙමින් සිටින්නේ විනාසකාරී තුන්වන ලෝක යුද්ධයක් කරා ය.

සෑම රටක ම, ධනේශ්වර සමාගම් හා ඒවාට සේවය කරන ආන්ඩු කම්කරු පන්තියට හා දුප්පතුන්ට එරෙහිව කුරිරු ලෙස හැරී ඇත්තේ ආර්ථික අර්බුදයේ බර ඔවුන් මත පැටවීමට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තලා දැමීමට ය. ආන්ඩු වඩ වඩාත් පොලිස් රාජ්‍ය ක‍්‍රමවේදයන් යොදා ගනිමින් සිටී.

වෘත්තීය සමිති හා ඒවායේ නායකයින් හාම්පුතුන්ගේ ඍජු උපකරන ලෙසට පරිවර්තනය වී ඇත. ධනේශ්වර පද්ධතියට හා රාජ්‍යයට බැඳුනු වෘත්තීය සමිතිවල “විසඳුම” හාම්පුතුන්ගේ “විසඳුමට” සමාන ය. සත්‍ය වශයෙන් ම, බොහෝ වැවිලි වෘත්තීය සමිති නිලධරය, වතු හෝ ව්‍යාපාර අයිතිකරුවන් වන අතර ම, ඇතැමෙක් අමාත්‍ය තනතුරු හා රාජ්‍ය නිල තල දරන ධනේශ්වර දේශපාලනඥයෝ ය.

සෑම රටක ම සැබෑ නිෂ්පාදකයින් වන්නේ කම්කරු පන්තිය යි. අර්බුදයට වග කිව යුත්තේ ඔවුන් නොවේ. අර්බුදයට වග කිව යුත්තේ සමාජයේ බහුතරයේ අවශ්‍යතාවන් සඳහා නොව, ලාභය සඳහා නිෂ්පාදනය කරන අධිරාජ්‍යවාදයේ අනසක යටතේ වැඩ කරන ධනේශ්වර පන්තිය යි.

ජාත්‍යන්තරව කම්කරු පන්තිය සඳහා සැබෑ විකල්පයක් ඇත, එනම් මනුෂ්‍ය වර්ගයාගේ මෙන් ම එහි කොටසක් ලෙස ශ‍්‍රී ලංකාවේ ද අවශ්‍යතාවන් සැපිරීම සඳහා සැලසුම් ගත ආකාරයකින් සමාජවාදී පදනමක් මත නිෂ්පාදනය සංවිධානය කිරීම යි. මහා වතු, විශාල බැංකු හා ව්‍යාපාර කම්කරු පාලනය යටතේ ජනසතු කල යුතු ය.

ධනේශ්වර පද්ධතියේ කොටසක් වන වෘත්තීය සමිති හා ඒවායේ නිලධාරී තන්ත‍්‍රය කම්කරු පන්තිය සඳහා එක ම විසඳුම වන සමාජවාදී විකල්පයට තදින් ම විරුද්ධ ය. වැවිලි කර්මාන්තය තුල හා කොහේ නමුත් කම්කරුවන්ගේ අත්දැකීම වන්නේ, වෘත්තීය සමිති වනාහි, ඔවුන්ගේ අරගල මර්දනය කරන මෙවලම් බව යි. කම්කරුවන්ට නව ආකාරයක සංවිධානයක් අවශ්‍ය ය, එය නම් ඔවුන්ගේ ඓතිහාසික උත්සුකයන් හා අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට, වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම ස්වාධීන වූ කම්කරුවන්ගේ ක‍්‍රියාකාරී කමිටු සෑම වැඩ පොලක හා වත්තක ම ගොඩනැගීම යි.

Share this article: