ඉන්දියානු ප‍්‍රභූව ට‍්‍රම්ප් පත්වීම සාදරයෙන් පිලිගනී

Indian elite welcome Trump’s election

දීපාල් ජයසේකර සහ කීත් ජෝන්ස් විසිනි, 2016 නොවැම්බර් 19

ට‍්‍රම්ප්ගේ චීන සහ පකිස්ථානු-විරෝධී ආක‍්‍රමනශීලී ආස්ථානය, සිය ප‍්‍රධාන ආසියානු ප‍්‍රතිවාදීන්ට එරෙහිව, නවදිල්ලියේ භූ-දේශපාලන උත්සුකයන්ට උත්තේජනයක් සපයනු ඇතැයි ගනන් බලන ඉන්දියානු පාලක ප‍්‍රභූව, ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමරිකානු ජනාධිපති ලෙස පත්වීම උද්‍යෝගයෙන් පිලිගනී.

ඉන්දියානු ආන්ඩුව සහ ට‍්‍රම්ප් පරිපාලනයේ ඉහල තනතුරු හිමිවේයැයි සැලකෙන්නන් අතර, පූර්ව සබඳතා ඉතා අඩු මට්ටමේ පැවතීම පිලිබඳ යම් සැක සංකා පවතිද්දීම, ඉන්දියාව සහ එහි හින්දු ස්වෝත්තමවාදී අගමැති නරේන්ද්‍ර මෝඩි සම්බන්ධයෙන්, ඇමරිකානු නව ජනාධිපතිවරයා සිය මැතිවරන ව්‍යාපාරය තුල සිදුකලේ යයි කියන ප‍්‍රශංසා හුවා දක්වන වාර්තාවන්ගෙන් ඉන්දියානු මාධ්‍ය පිරී පැවතුනි. 2002 ගුජරාට මුස්ලිම්-විරෝධී සංහාරයේ නායකත්වය දැරූ සහ වසර දෙකක සිය ඉන්දීය පාලනය යටතේ ජාතිභේදය උසිගැන්වීමේ සහ විරුද්ධ මත මර්දනය කිරීමේ යෙදුනු “හින්දු දැඩි මතධාරියා” ගැන සඳහන් කරමින් ට‍්‍රම්ප්, “ආර්ථිකය ප‍්‍රතිසංස්කරනයේදී මෙන්ම නිලධාරිවාදය පාලනයේදී ඉතා උද්‍යෝගීමත්ව කටයුතු කරන අගමැති මෝඩි සමග එකට වැඩ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ශ්‍රේෂ්ඨ මිනිසෙක්. මම ඔහු අගයකරනවා” යයි පැවසීය.

තමන්ගේ පැත්තෙන් මෝඩි, වොෂින්ටනය සමග නවදිල්ලියේ “ගෝලීය මූලෝපායික හවුල” තවදුරටත් පුලුල් වනු ඇති බවට විශ්වාසය පල කර ඇත.

මෝඩිගේ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව යටතේ ඉන්දියාව, වොෂින්ටනයේ චීනයට එරෙහි මිලිටරි-මූලෝපායික ආක‍්‍රමනයේ “පෙරමුනේ රාජ්‍යයක්” බවට පත්ව තිබේ. එය, සිය හමුදා කඳවුරු ඇමරිකාවේ ගුවන් ප‍්‍රහාරක යානාවන්ගේ සහ යුද නැව්වල නිරන්තර භාවිතය සඳහා විවෘත කර ඇති අතර දකුනු චීන මුහුදු අර්බුදය සම්බන්ධයෙන් වොෂින්ටනයේ ප‍්‍රකෝපකාරී ස්ථාවරය පුනරුච්චාරනය කරයි. එසේම, ඇමරිකානු-අධිරාජ්‍යවාදයේ ප‍්‍රධාන ආසියා-පැසිෆික් මිතුරන්සේ සැලකෙන, ජපානය සහ ඔස්ට්‍රේලියාව සමග, ද්වි පාර්ශවික සහ ත්‍රෛ පාර්ශවික මිලිටරි-ආරක්ෂක සහයෝගීතාව නටකාකර ලෙස ඉහල දමා ඇත.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවකට අනුව, ඉන්දියානු දේශපාලන නායකයන් වෙනුවෙන් මෙම සතියේ පැවති පුද්ගලික රාත්‍රී-භෝජනයකදී, ට‍්‍රම්ප් සමග පවතින සිය “යහපත් සබඳතාවන්” පිලිබඳව කයිවාරු ගසමින්, “ද්විපාර්ශ්වික සබඳතාවන්හි සැලකියයුතු වෙනසක්” පිලිබඳව බියවීමේ “කිසිදු හේතුවක්” නොමැති බව මෝඩි පවසා ඇත.

මෝඩි, ඉන්දියාවේ ඉහලම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන විදේශ ලේකම් එස්. ජයිශන්කර් මේ සතියේ අමරිකාවට යැව්වේ, ට‍්‍රම්ප් පත්කිරීමට නියමිත රාජ්‍ය නායකයන් හමුවී, ට‍්‍රම්ප්-මෝඩි හමුවක්, වාචාල බිලියනපතියා ජනවාරි මැද ජනාධිපතිකම භාරගත් වහාම යොදාගැනීමට, ඔවුන්ට බලකිරීම සඳහා ය.

ෆස්ට්පෝස්ට් හි “ට‍්‍රම්ප්ගේ මැතිවරන ජයග‍්‍රහනය මගින් ඉන්දියාවට ඇඟවුම් කරන්නේ කුමක්ද?” යන සිරස්තලයෙන් යුතුව සෙවනන්ඩ් ගඞ්ඩාලා විසින් රචිත, මතදැක්මක, ට‍්‍රම්ප්ගේ “චීනය සහ පකිස්ථානය කෙරෙහිවූ කටුක ස්ථාවරය” හේතුකොටගෙන, ඩිමොක‍්‍රටික් පාලනයකට වඩා ට‍්‍රම්ප් පාලනයෙන් “ඉන්දියාවට වඩා වැඩි වාසි ලැබීමට ඉඩ ඇතැයි” තර්ක කර තිබුනි. ට‍්‍රම්ප් විසින් පකිස්ථානය “ලෝකයේ ඇති වඩාත්ම භයානක රට” ලෙස ලේබල් ගැසීම සහ “පකිස්ථානය පරීක්ෂාවට භාජනය කරන්නෙකු” ලෙස ක්‍රියාකිරීමට ට‍්‍රම්ප් ඉන්දියාවට ඇරයුම් කිරීම ගඞ්ඩාලා විසින් පෙන්වාදී තිබුනි. ඇෆ්ගනිස්ථානය තුල ඇමරිකානු යුද්ධයේදී, ඉස්ලාමාබාදය අවශ්‍ය තරම් බරක් නොදරුවේයැයි, වොෂින්ටනයේ මිලිටරි ආරක්ෂක සංස්ථාපිතය තුල තර්ක කරන්නන්, ට‍්‍රම්ප් පරිපාලනයේ ආධිපත්‍යය දරන හෙයින් “පකිස්ථානයට ලබාදෙන ආධාර කපාහැරීම කෙරෙහි ඔවුන් උනන්දු වනු ඇතැයි” ඔහු බලාපොරොත්තු වන බව, ඔහු සඳහන් කරයි. මෙම පිල, තලේබාන්වරුන්ට එරෙහිව සටන් කරන බවට “බොරුවට අඟවමින්”, ඉස්ලාමාබාදය “ඇමරිකානු ආධාර එකතු කිරීමෙහි” නිරතව ඇතැයි, තරයේ කියාසිටින බව, ගඞ්ඩාලා සටහන් කරයි.

මෝඩි යටතේ ඉන්දියාව, වොෂින්ටනය සමග එහි වැඩි දියුනු සහයෝගීතාව මත වාරුවෙමින්, මතභේදයට තුඩුදී ඇති කාෂ්මීරයේ ඉන්දීය විරෝධී ඉස්ලාමීය සටන්කාමීන්ට ඉස්ලමාබාදය ලබාදෙන මොනයම් ආකාරයේ හෝ සැපයුම් සහයෝගයක් අතහැර දැමීමට ඔවුන්ට බලකෙරෙන තර්ජනය කිරීම්, හිරිහැර කිරීම් සහ මිලිටරි පීඩනය යෙදීම් ගනනාවක් අරඹා ඇත. සැප්තැම්බර් අග දී, නවදිල්ලිය පාකිස්ථානය සම්බන්ධයෙන් දරන ලද “මූලෝපායික සංයමය” යන ප‍්‍රතිපත්ති අත්හරිමින්, පාකිස්ථානය තුල අන්තර්-දේශසීමා වැටලීම් සිදුකරමින්, “ත‍්‍රස්තවාදීන්ට” හා ඔවුන්ගේ පාකිස්ථාන “ආරක්ෂකයින්ට” දැඩි හානි පැමිනවූ බව මෝඩි රජය ප‍්‍රකාශ කිරීම, ගුනාත්මක වශයෙන් නව මට්ටමකට නැග ගැනීමකි.

ඔබාමා පරිපාලනය පලමුව නිහඬවත් පසුව පැහැදිලිවමත්, පකිස්ථානය සම්බන්ධයෙන් ඉන්දියාවේ නිසැකවම නීති විරෝධී හා දැඩි ප‍්‍රකෝපකාරී ප‍්‍රහාරය අනුමත කලහ. පැමිනීමට නියමිත ට‍්‍රම්ප්ගේ පරිපාලනය, සිය න්‍යෂ්ටික අවි දරන සතුරා සමග ගැටුමක් ඇතිකර ගැනීමේදී, ඉන්දියාවට වඩාත් වැඩි නිදහසක් ලබා දේ යැයි බලාපොරොත්තුවෙන් නවදිල්ලිය දැන් සිටී.

පසුගිය ආගෝස්තු මස දක්වා ඉන්දියාවේ ඇමරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කල, අරුන් කුමාර් සිංග් ටයිම්ස් ඔෆ් ඉන්දියා පත්තරයට ලියමින්, චීනයට මූලෝපායික ප‍්‍රති-බලයක් ලෙස ඉන්දියාව භාවිතා කිරීමේ වොෂින්ටනයේ ප‍්‍රතිපත්තිය සඳහා ශක්තිමත් ද්විපාර්ශවික සහයෝගය අවධාරනය කලේ ය. ජූලි මාසයේ පැවති රිපබ්ලිකන් සමුලුවේදී ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකානුවන් සහ ට‍්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපාර නිලධාරීන් සමග ඔහුගේ අන්තර් සම්බන්ධතාව තුලින් ට‍්‍රම්ප් පරිපාලනය, ඉන්දියාවේ ආර්ථික වර්ධනය වැලඳ ගැනීම, ඉන්දියාව ශුද්ධ ආරක්ෂාව සපයන්නකු ලෙස දැකගැනීම, හා 21 වන සියවසේ තීරනාත්මක සම්බන්ධතාවක් වශයෙන් එක්සත් ජනපද-ඉන්දියානු සහයෝගීතාව දෙස බැලීම යන එක්සත් ජනපදයේ දැනට ප‍්‍රකාශිත ප‍්‍රතිපත්තිය දිගටම ගෙන යන බවටවූ මගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කලේ යැයි” සිං පැවසීය.

චීනය “සමතුලනය” සඳහා එනම් ප‍්‍රති-චීන උපාමාරුවක් ලෙස, ඉන්දියාව වොෂින්ටනය සමග වඩාත් සමීප බැඳීම් ඇතිකර ගතයුතුයැයි ප‍්‍රබලව යෝජනාකරන්නකු වන, ඉන්දීය මූලෝපායඥ සී. රාජා මොහාන්, එක්සත් ජනපද සම්ප‍්‍රදායික මිතුරන් විසින්, එක්සත් ජනපද-අධිකාරීත්වයෙන් යුතු ලෝක ධනේශ්වර පර්යාය පවත්වා ගෙනයෑමේ මූල්‍යමය හා මිලිටරි වියදම් වැඩි ප‍්‍රමානයක් දැරීමේ ට‍්‍රම්ප්ගේ ඉල්ලීම, ප‍්‍රධාන ආසියානු සහ ඉන්දීය බලයක් බවට පත්වීමේ සිය අභිලාෂයන් පෙරට ගෙනයාම සඳහා ඉන්දියාවට භාවිතා කල හැකිබවට තර්ක කරයි. ඔහුගේ ඉන්දියන් එක්ස්ප්‍රෙස් පුවත්පතේ කොලමට “භූ-දේශපාලනික වශයෙන් ගත් කල,” “එක්සත් ජනපද මිලිටරිය මත යුරේසියානු භූමිභාගයේ බර නැවත සලකා බැලීමේ ට‍්‍රම්ප්ගේ පිලිවෙත, කලාපීය ආරක්ෂාව සඳහා තමන්ගේ ම දායකත්වයන් පුලුල් කරගැනීම සඳහා දුර්ලභ අවස්ථාවක් දිල්ලියට සලසා දෙයි. එක්සත් ජනපද ආසියාවට හැරීමේ පිලිවෙතෙහි “කඩ ඇනයක්” ලෙස කටයුතු කරනවාට වඩා, ප‍්‍රාදේශීය බල තුලනයේ ප‍්‍රමුඛතම අංගය බවට ඉන්දියාවට පත් විය හැක. ට‍්‍රම්ප් යටතේ එක්සත් ජනපදය, වඩා දුරස්ථ බලයක් ලෙස දකිමින්, කලාපීය පද්ධතීන්ට සෘජු මගපෙන්වීම වෙනුවට උපකාර සපයන්නෙකු ලෙස ක්‍රියාකරන්නේ නම්, ඉන්දියාවට ශක්තිමත් යුරේසියානු සභාග ගොඩනගා ගැනීම සඳහා වැඩි ඉඩක් සහ නියෝජනයක් ඇතැයි” මොහාන් ලියයි.

ආර්එස්එස්හි භාරතීය ජනතා පක්ෂ දක්ෂිනාංශික හින්දු සගයන් ට‍්‍රම්ප් හැඟීම්බරව වර්නනාකොට ඇත්තේ, ඔහුගේ මුස්ලිම්-විරෝධී අන්තවාදය නිසාම පමනක් නොවේ. ආර්එස්එස් හි සංවිධායකයා සඟරාවෙහි මූලික ලිපියෙහි “භාරත් (ඉන්දියාව) හා හින්දූන් සම්බන්ධයෙන් ට‍්‍රම්ප් මෘදු ආකල්පයක් දරන්නේයැයි” පවසා ඇත. “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යන ව්‍යාජ හා ප‍්‍රතිගාමී ආඛ්‍යානය පුනරුච්චාරනය කරමින්, “රටවල් දෙකම ඉස්ලාමීය ත‍්‍රස්තවාදයේ මූලික ඉලක්කයන් වන බැවින්, භාරත්, ට‍්‍රම්ප් තේරීපත්වීමේ ප‍්‍රධාන ප‍්‍රතිලාභියකු වනු ඇතැයි” ලිපිය වැඩිදුරටත් ලියයි. ලිපිය අවසන් කරන්නේ “ලෝක ආර්ථිකයේ චීන ආධිපත්‍යය” වලක්වා ගැනීම සඳහා ”භාරත්-එක්සත් ජනපද-රුසියානු සහයෝගිතාව” සඳහා කැඳවුම් කරමිනි.

ඉන්දීය ප‍්‍රභූව, සමස්තයක් ලෙස, ට‍්‍රම්ප්ගේ චීන පසමිතුරුබව ගැන සතුටු වෙති. එනමුත්, ඔහුගේ පලමුව ඇමරිකාව ආරක්ෂනවාදී වැඩසටහන මගින් ඉන්දියාව පැත්තකට තල්ලූවියහැකි බවට ද සැලකිය යුතු කනස්සල්ලක් ඇත. එක්සත් ජනපද සමාගම් වලට විදේශ වෘත්තිකයින් බඳවා ගැනීමට ඉඩ දෙන H1-B වීසා සීමා කිරීමට ඔහු පියවර ගන්නා බව මැතිවරන රැස්වීම්වලදී හා එක්සත් ජනපද රැකියා විදේශ රටවල් විසින් ”කඩා වඩා ගැනීම” හෙලාදැකීමේ සිය ස්වෝත්තමවාදී අස්ථානයේ කොටසක් ලෙස, ට‍්‍රම්ප් නැවත නැවතත් සඳහන් කලේය. දැනට H1-B වීසා යටතේ ඉන්දියානුවන් විශාල සංඛ්‍යාවක්, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂන අංශයේ, එක්සත් ජනපදය තුල සේවය කරති. H1-B කම්කරුවෝ ඉන්දියාවට සැලකිය යුතු මුදලක් සම්පෂනය කරති. කෙසේ වෙතත්, ඉන්දීය ප‍්‍රභූවෙහි වැඩිම සැලකිල්ලට බඳුන්වන කාරනය නම්, H1-B කෝටා අඩු කිරීම මගින්, මුලුමනින් නවතා දැමීම ගැන සඳහන් නොකරමින්ම, එක්සත් ජනපදය තුල ක්‍රියාත්මක ඉන්දීය තොරතුරු තාක්ෂන සමාගම්වල මෙහෙයුම්වලට බාධාවනු ඇත යන්න යි.

ඉරානයට එරෙහි ට‍්‍රම්ප්ගේ ආක‍්‍රමනික ස්ථාවරය -ඔහු ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අහෝසි කරන බවට තර්ජනය කර ඇත- ඉන්දු-ඉරාන ආර්ථික හා මූලෝපායික සබඳතා රැල්ලට හරහට සිටීමේ හැකියාව කෙරෙහිද අවධානය යොමුවී පවතී. මූලෝපායික බලපෑම හා බලශක්ති සම්පත්වලට ප‍්‍රවේශය සඳහා චීනය සමග තරගයේදී, මධ්‍යම ආසියාව තුලට ආර්ථික කොරිඩෝවක් ඉදි කිරීමේ ඉන්දියානු සැලසුම්වල, හැරවුම් ලක්ෂ්‍යය චබාහා ඉරාන වරාය යි.

ඉන්දියාවේ දේශපාලන හා සංගත ප‍්‍රභූව ට‍්‍රම්ප්ගේ තේරීපත්වීම ගැන උද්යෝගීමත් ප‍්‍රතිචාර දැක්වූවත්, පාකිස්ථානය එයට මුහුනදී ඇත්තේ බියමුසු අපහසුවකිනි.

ට‍්‍රම්ප් පරිපාලනය, පාකිස්ථානය සමග එක්සත් ජනපද සබඳතා තවදුරටත් පහත හෙලනු ලබන අතර, ඉන්දු-එක්සත් ජනපද සන්ධානය ශක්තිමත් කරනු ඇති බව ඉන්දියාව මෙන්ම, ඉස්ලාමාබාදය ද අපේක්ෂා කරයි.

වොෂින්ටනය මූලෝපායිකව නවදිල්ලිය වැලඳ ගැනීම, කලාපයේ බල තුලනය කඩාකප්පල් කර ඇතිබව, ඉස්ලාමාබාදය නැවත නැවතත් වඩාත් තියුනුවූ ස්වරයෙන් අනතුරු අඟවා ඇත. වොෂින්ටනය මේ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම, එක්සත් ජනපද-පාකිස්ථාන සබඳතා තවදුරටත් පලදු කිරීමට හේතුකාරක වන, බීජිං සමග සිය දිගුකාලීන සන්ධානය වැඩි දියුනු කිරීම සඳහා පකිස්ථානය තල්ලුකර ඇත.

කෙසේ වෙතත්, පකිස්ථානය නිල වශයෙන්, “නේටෝ-නොවන එක්සත් ජනපද ප‍්‍රධාන සහකරුවකු” වන අතර ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද වාඩිලා ගැනීමේ කඩ ඇනය වෙයි.

ලාහෝර්හි විදේශ ප‍්‍රතිපත්ති විශ්ලේෂකයෙකු වන, හසන් අස්කාරී රිසි “ඇමරිකාව පාකිස්ථානය අත්හරින්නේ නැතැයි,” ලිවීය. “එහෙත් නියත වශයෙන්ම, ට‍්‍රම්ප් හිලරි ක්ලින්ටන් වඩා පකිස්ථානය කෙරෙහි දැඩි ජනාධිපතිවරයෙකු වනු ඇත...පාකිස්ථානය සමග සසඳන විට ඉන්දියාව වඩා හොඳ හා සුමට අන්තර් සහසම්බන්ධතාවක් පවත්වාගනු ඇතයි මම සිතමි.”

ඩෝන් පුවත්පතට ලියමින්, පීපීපී නායකයෙකු හා එක්සත් ජනපදයේ හිටපු පාකිස්ථාන තානාපති, ෂෙරී රහ්මාන්, “මාර්ගය ඉදිරියට රලූ වියහැකියැයි” අනතුරු අඟවයි. එක්සත් ජනපද-පාකිස්ථාන සබඳතාව “ට‍්‍රම්ප්, විවෘතව ප‍්‍රශ්න නොකරනු ඇති වුවද, චීනයේ මූලික සහායකයා ලෙස පාකිස්ථානය හිරකිරීමට ලක්විය හැක. කෙටියෙන් කිවහොත් පාකිස්ථාන උත්සුකතා සම්බන්ධයෙන් අවදියෙන් සිටීමට අවශ්‍ය වනු ඇත. සම්බාධක වැනි නරකම අවස්ථාවන් වලක්වාගත හැකි නමුත්, ඒ විදේශ ප‍්‍රතිපත්තියෙහි තිරසාර සහ රාජ්‍යතාන්ත්‍රික වෙනස්කම් වලින් තොරව නොවේ” යැයි ඇය පැවසුවා ය.

සිය භූ දේශපාලනික බල අවශ්‍යතා සඳහා ඉත්තෙකු ලෙස පකිස්ථානය නැවත නැවතත් “භාවිතා කර” පසුව එයට “පිටුපෑවේයැයි” පකිස්ථාන පාලක පැලැන්තිය තුල, එක්සත් ජනපදය සම්බන්ධයෙන් පුලුල්ව පැතුරුනු අමනාපයක් වේ. එසේ වුව ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, සිය පාලනයේ වැදගත් ආරක්ෂක පවුරක් වන බැවින්, වොෂින්ටනය සමග සිය සන්ධානය පවත්වා ගැනීමට පාකිස්ථාන ධනේශ්වරය මංමුලාසහගත උත්සාහයක නිරත වෙයි.

ට‍්‍රම්ප් හා සුහදශීලීත්වය වර්ධනය කිරීමට පාකිස්ථාන රජය දැක්වූ උනන්දුව හා ඉන්දියාව සමග උත්සන්න කෙරෙනු යුද අර්බුදය පිලිබඳ භීතීය, යන දෙකම ඉදිරිපත් කෙරුනු අභිනයක් ලෙස, පාකිස්ථාන විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප‍්‍රකාශක නෆීස් සකරායි, දශක හතක් පැරනි කාෂ්මීර ආරවුල සඳහා “මැදිහත් වනලෙස” ට‍්‍රම්ප්ගෙන් පසුගිය සතියේ ඉල්ලා සිටීම දැකගත හැක.

Share this article: