ෆිදෙල් කැස්ත්‍රෝගේ දේශපාලන උරුමය

The political legacy of Fidel Castro

2016 නොවැම්බර් 28

විසිවැනි ශත වර්ෂයේ ප‍්‍රමුඛ පුද්ගලයින්ගෙන් අයෙක් වන ෆිදෙල් කැස්ත්‍රෝගේ මරනය පිලිබඳව 25දා රාති‍්‍රයේ නිකුත්වූ නිවේදනය, ඔහුගේ ප‍්‍රතිවිරෝධී ඓතිහාසික උරුමය පිලිබඳ තියුනු මතභේද පිලිබිඹු කරමින් පුලුල් පරිමාන මහජන ප‍්‍රතිචාරයන් අවුලුවාලී ය.

වයස අවුරුදු 90දී ඔහුගේ මරනය සිදුවූයේ, කියුබාවේ දේශපාලන ජීවිතය පුරා කි‍්‍රයාත්මක කෙරුනු අනභියෝගී බලයේ වරපට අත්හැර දැමීමෙන් දශකයට ආසන්න කාලයකට පසුව ය. ඔහු අර්ධ ශතවර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ “යාවජීව ජනාධිපති” විය. කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ද කියුබානු හමුදා අනදෙන නිලධාරියා ද වූ ඔහු, දැනට 85 වන වියේ පසුවන සිය බාල සහෝදරයා රවූ වෙත සිය අධිකාරි බලයෙන් වැඩි පංගුවක් පරවේනි ක‍්‍රමයට පැවරීය.

අයිසන්හවර්ගේ සිට ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් දක්වා එක්සත් ජනපද ජනාධිපතිවරුන් දස දෙනෙකුගේ කාලය තුල ඔහුගේ පාලනය පැවතුනේය. මේ ජනාධිපතිවරු සියල්ලෝම පාහේ ඔහුගේ පාලනය පෙරලා දැමීමට කැපව සිටියහ. වචනානුසාරයෙන්ම ගත් කල, සීඅයිඒ සංවිධානය කල, 1961දී ගබ්සාවූ බේ ඔෆ් පිග්ස් ආක‍්‍රමනය ද ඇතුලු ඝාතන ප‍්‍රයත්න සියගනනක් හා ලෝක ඉතිහාසයේ දීර්ඝතම ආර්ථික සම්බාධක ක‍්‍රමෝපායන් ඔවුහු කැස්ත්‍රෝ පාලනයට එරෙහිව යොදා ගත්තෝ ය.

බොහෝ අංශයන්ගෙන් ගත්කල, ඔහුගේ චිරකාලීන දේශපාලන කි‍්‍රයාකලාපය මවිතකර ය. සැකයකින් තොරවම, ඔහුගේ පාලනය තුල ලතින් ඇමෙරිකානු කෝඩියෝ (ආඥාදායකයින්) කොටස් අන්තර්ගතවූවා සේම, දේශපාලන විරුද්ධවාදීන් හා සතුරන් ලෙස දැකගත් අය සම්බන්ධයෙන් ඔහු දුෂ්ඨ පිලිවෙතක් ද ගෙන ගියා විය හැක. ඒ අතරම, කියුබාවේ පීඩිත ජනතාවගේ මෙන්ම, ජාත්‍යන්තරව බුද්ධිමතුන් හා රැඩිකලීකරනය වූ තරුනයින්ගේ පලල් ස්ථරයන්හි ආකර්ශනය දිනාගත් මානවවාදී චරිත ලක්ෂන සහ නොඅනුමානවම පුද්ගලික ජනකාන්තභාවයක් ඔහු සතුව තිබුනේ ය.

කැස්ත්‍රෝගේ අභාවය කෙරේ එක්සත් ජනපද මාධ්‍යයේ ප‍්‍රතිචාරය පූර්වඅනුමාන කල හැක. කියුබානු ජනතාවගේ පුලුල් කොටස් අතර පැවති ශෝකබරිත හා අව්‍යාජ කනගාටුව දක්වනවාට වඩා, මියාමිහි කුඩා හවානාව ලෙස හඳුන්වන කොටසේ වීථිවල දක්ෂිනාංශික කියුබානු විවාසිකයන් කීප සියයක් කෙලිදෙලෙන් නටන දසුන් වලට විශාල ගුවන් කාලයක් වෙන් කල, පිලිකුල් සහගත ආවරනයක් මගින් “ම්ලේච්ඡ ආක‍්‍රමනිකයා” හෙලා දකින කර්තෘ වාක්‍ය පල කලහ.

රටේ වඩාත්ම පීඩිත ජනතාවගේ සමාජ කොන්දේසි නගා සිටුවීම සඳහා ක්ෂයවෙමින් පැවතියා වුව ද ප්‍රතික්ෂේප නොකල හැකි සහයෝගයක් දිනාගත්, 1959දී ඔහු නායකත්වය දුන් විප්ලවයෙන් පන්නර ගැන්වුනු සැලකිය යුතු මහජන පදනමක්, බලය අතහැරීමෙන් දසවසරකට පසුවත් දිවයින තුල පවත්වා ගැනීමට කැස්ත්රෝ සමත් විය.

කියුබාවට දල වසයෙන් සමාන ජනගහනයක් හා දල දේශීය නිෂ්පාදිතයක් පවතින අසල්වැසි ඩොමිනිකන් සමූහාන්ඩුව තුල පැතිර පවත්නා කොන්දේසි හා කියුබාව තුල තත්වය කෙනෙකු සංසන්දනය කරන විට, පහත දැක්වෙන දර්ශකයන් වෙත අවධානය යොමුවේ. කියුබාව තුල ඝාතන රේට්ටුව ඩොමිනිකන් සමූහාන්ඩුවේ එම රේට්ටුවෙන් හතරෙන් එකකටත් වඩා අඩු ය. ආයු අපේක්ෂාව වසර හයකින් වැඩි ය (අවුරුදු 73ට 79ක් වසයෙන්). ඩොමිනිකන් සමූහාන්ඩුවේ ලදරු මරන අනුපාතය කියුබාවේ අගයට වඩා දල වශයෙන් හය ගුනයකින් වැඩිය. කියුබාවේ සාක්ෂරතාවය හා ලදරු මරන අනුපාතය, එක්සත් ජනපදයේ එම අගයන්ට වඩා උත්කෘෂ්ඨ වන බව එයට එකතු කල යුතු ය.

දේශපාලන මර්දනය පිලිබඳව කැස්ත්‍රෝ හෙලා දැකීම මත කේන්ද්‍රගත කෙරුනු එක්සත් ජනපද මාධ්‍ය වාර්තා, ඓතිහාසික සන්දර්භයක් තුල තැබීම අවශ්‍ය ය. සියල්ලට පසුව ශතවර්ෂයක් පුරා දිවෙන කාලපරිච්ඡේදයක් තුල එක්සත් ජනපදය, ලතින් ඇමෙරිකාව තුල පමනක් මිනිසුන් ලක්ෂ සංඛ්‍යාවක් ඝාතනය කිරීම සඳහා වගකිවයුතුවන කෙලවරක් නැති ආඥාදායක පාලනයන්ට සහාය දී ඇත. කැස්ත්‍රෝ හා කැස්ත්‍රෝවාදය අවසානයේදී මේ කටුක හා ලේවැකි ඉතිහාසයේ නිෂ්පාදනය යි.

කැස්ත්‍රෝගේ දේශපාලන විප්ලවය හැඩගස්වනු ලැබුවේ, 1898 ස්පාඤ්ඤ-ඇමෙරිකානු යුද්ධයේ ප‍්‍රතිපලයක් වසයෙන් ස්පාඤ්ඤ යටත් විජිතයක සිට වොෂිංටනයේ අර්ධ-කොලනියක් බවට දිවයින පරිවර්තනය කිරීමෙන් අනතුරුව දියක් කෙරුනු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දශකයක් පුරා දිවෙන කොල්ලකාරී මර්දනය මගිනි. ඊනියා ප්ලැට් සංශෝධනය යටතේ ඇමරිකාව, එයට උචිතයැයි සිතෙන විට කියුබානු කටයුතු වලට මැදිහත්වීමට ඇති “අයිතිය” තමන් වෙත පවරාගත් අතර එහි මිලිටරි කඳවුරක් ලෙස යොදා ගැනීම පිනිස ගුවන්තනමෝ බේ අල්ලා ගත්තේය.

එක්සත් ජනපදය පිටුබලය දුන් බැටිස්ටා ආඥාදායකත්වය

විප්ලවයට පෙරාතුව හවානාහි වොෂිංටන් සහචරයා වූයේ ෆුල්ජෙන්සියෝ බැටිස්ටා ය. විදේශ සංගත, රටේ දේශීය කතිපයාධිකාරිය හා මාෆියාවේ අවශ්‍යතා වලින් මෙහෙයවුනු රුදුරු ආඥාදායකත්වයකට බැටිස්ටා නායකත්වය දුන් අතර එම පාලනය රට, සූදුවේ හා ගනිකා ව්‍යාපාරයේ මධ්‍යස්ථානයක් බවට හැරවුයේ ය. වධබන්ධන සාමාන්‍ය පිලිවෙතක් බවට පත්ව තිබූ අතර ජෝන් එෆ්. කෙනඩිම වරෙක කීවේ, අඩුමගානේ කියුබානුවන් 20,000කගේ දේශපාලන ඝාතනයන්ට එකී තන්ත‍්‍රය වගකිවයුතු බව යි.

එම තන්ත‍්‍රය කෙතරම් විෂකුරු වුව ද එය, මොන ආකාරයකින්වත් කලාපය තුල එයටම ආවේනික වූවක් නොවීය. මෙම අවධියේදීම ඩොමිනිකන් සමූහාන්ඩුව තුල ට‍්‍රජිල්ලෝ ද හයිටියේ ඩුවෙලියර් හා නිකරගුවාවේ සොමෝසා ද ගෙන ගිය මේ හා සමාන මහා අපරාධවලට වොෂිංටනය සහාය දුන්නේ ය.

පවත්නා ක‍්‍රමය ප‍්‍රජාතාන්ති‍්‍රක ක‍්‍රමවලින් වෙනස් කිරීමට උත්සාහ දැරූ අය, 1954දී ග්වෝතමාලාවේ අර්බෙන්ස්ගේ ආන්ඩුව සීඅයිඒ විසින් සංවිධානය කල කුමන්ත‍්‍රනයකින් පෙරලා දමන විට පෙන්නුම් කල අයුරින්, ප‍්‍රචන්ඩ ලෙස විස්ථාපනය කරන ලදි. ප‍්‍රතිපලයවූයේ අර්ධද්වීපය පුරාම එක්සත් ජනපදය කෙරෙහි කැකෑරෙන මහජන වෛරයේ වැඩී යාම යි.

ස්පාඤ්ඤ ජාතික ඉඩම්හිමි පවුලක උපත ලත් කැස්ත්‍රෝ දේශපාලනිකව වැඩි වර්ධනය වුනේ, හවානා විශ්වවිද්‍යාලයේ ජාතිකවාදී ශිෂ්‍ය දේශපාලනයේ උනුසුම් පරිසරය තුලිනි. වාර්තාගතවෙන ආකාරයට තරුනයෙක් වසයෙන් ඔහු, ස්පාඤ්ඤ ෆැසිස්ට්වාදී ජෝස් අන්තෝනියෝ පි‍්‍රමෝ ද රිවේරා හා ඉතාලියානු ආඥාදායක බෙනිටෝ මුසොලිනී අගය කල අයෙකු විය.

ඔහු දේශපාලනිකව හැඩගැන්වුනු අත්දැකීම් අතර එකක් වූයේ, ශිෂ්‍යයෙක් වසයෙන් 1948දී කොලොම්බියාවේ බොගොටාහි කල සංචාරයකි. එක්සත් ජනපදය, කලාපය තුල සිය අධිකාරිය තහවුරු කිරීම අරමුනු කරගත් ඇමෙරිකානු රාජ්‍ය සංවිධානයට පදනම දැමූ, අන්තර්-ඇමෙරිකානු සම්මේලනයක් එහි කැඳවා තිබිනි. එකී සංචාරය අතරතුර, ලිබරල් පක්ෂයේ මැතිවරන අපේක්ෂක ජෝර්ජ් ගැයිටන් ඝාතනය කිරීමට එරෙහිව බොගැටාසෝ නමින් හැඳින්වූ මහජන නැගිටීම හමුවේ කොලොම්බියානු අගනගරයේ විශාල විනාශයක් සිදුකරමින් 3,000ක් දෙනාගේ ජීවිත විනාශ කෙරුනි.

ආජන්ටිනාව තුල බලයට පැමිනි මිලිටරි නිලධාරියෙක්වූ ජුවාන් පෙරොන්ගේ දේශපාලනය තමන් මත සැලකිය යුතු බලපෑමක් ඇති කල බවත්, ඔහුගේ ජනතාවාදය, ඇමෙරිකන් විරෝධය හා දුප්පත් ජනතාව සඳහා ඇති කල සමාජ සහන වැඩපිලිවෙලවල් තමා බෙහෙවින් අගය කල බවත් කැස්ත්‍රෝ පිලිගත්තේ ය.

තාමත් වයස විසි ගනන්වල සිටි කැස්ත්‍රෝ, කියුබානු සුලුධනේශ්වරය තුල මුල්බැසගත් ජාතිකවාදී හා ප‍්‍රති-කොමියුනිස්ට්වාදී දේශපාලන ප‍්‍රවනතාවක්වූ ඕටොඩොක්සෝ පක්ෂයේ සාමාජිකයෙක් වසයෙන් එක්සත් ජනපද පිටුබලය ලැබූ බැටිස්ටාගේ ආඥාදායක පාලනයට එරෙහි අරගලය ආරම්භ කලේ ය. 1952 කියුබානු ව්‍යවස්ථාදායක සභාව සඳහා එම පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ කලේ ය. ඊලඟ වසරේදී කැස්ත්‍රෝ, මොන්කාඩෝ හමුදා කඳවුරට අසාර්ථක ප‍්‍රහාරයක් එල්ල කරමින් සන්නද්ධ අරගලයකට යොමුවූ අතර එම ප‍්‍රහාරයේදී කැරලිකරුවන් 200ම එක්කෝ මරා දැමිනි, නැතිනම් අල්ලා ගැනුනි.

කෙටි සිරදඬුවමක් හා පිටුවහල් කිරීමකින් පසුව, 1956 අගභාගයේදී ඔහු කියුබාවට පෙරලා ආවේ ය. ඒ, ආන්ඩුවේ හමුදාව සමග ආරම්භක ගැටීමෙන් පසුව සියල්ලම පාහේ අහිමි කරගත්, සන්නද්ධ ආධාරකරුවන් කිහිප දෙනෙකු ද සමගිනි. එයින් යාන්තම් වසර දෙකකට පසුව, රට පාලනය කිරීමට බැටිස්ටාට ඇති හැකියාව ගැන කියුබානු ධනපති පන්තියේ හා වොෂිංටනයේ විස්වාසය කඩවූ කොන්දේසි යටතේ පාලනය, ඔහුගේ ජූලි 26 ගරිල්ලා ව්‍යාපාරය අතට පත්විය.

එම නැගිටීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලයක් ලෙස දැකගනු ලැබීම හමුවේ කැස්ත්‍රෝට පුලුල් ජාත්‍යන්තර අනුකූලත්වයක් ලැබුනි. නව පාලනය සඳහා සහාය පලකල අය අතර බැටිස්ටාගේ පාලනය පෙරලා දැමීමෙන් තමන් “මහත් සතුටට” පත්වූ බව පැවසූ ඇමෙරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේ ද සිටී.

ආරම්භයේදී කොමියුනිස්ට්වාදය කෙරෙහි තමන්ගේ කිසිදු හිතපක්ෂ කමක් නැති බව පැවසූ කැස්ත්‍රෝ, තම ආන්ඩුව විදේශ ප‍්‍රාග්ධනය ආරක්ෂා කරනු ඇති බවත් නව පෞද්ගලික ආයෝජන පිලිගන්නා බවත් අවධාරනය කලේ ය. ඒ අතර එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග සහජීවනයක් ඇතිකර ගැනීමට උත්සුක විය.

කෙසේවෙතත් කියුබානු කම්කරුගොවි ජනතාව, කැස්ත්‍රෝගේ විප්ලවයෙහි ප‍්‍රතිපල අපේක්ෂා කල අතර, එක්සත් ජනපද සීමාවෙන් මයිල 90ක දුරින් පිහිටි දිවයිනෙහි, කැපී පෙනෙන සමාජ ප‍්‍රතිසංස්කරන ඉවසීමට සූදානම් නැති බව වොෂිංටනය පැහැදිලිව කියා සිටියේ ය. එක්සත් ජනපද පාලක පන්තියේ කොටස් බලාපොරොත්තු වූයේ, බැටිස්ටාගේ පාලනය වැටීම පිලිබඳ කෙටි සන්දර්ශනවලින් පසුව, නව ආන්ඩුව සාමාන්‍ය පරිදි වැඩට බසිනු ඇති බවට යි. දිවයිනේ සමාජ කොන්දේසි වෙනස් කිරීම හා පීඩිත ජනයාගේ ජීවන තත්වය නගා සිටුවීම සම්බන්ධයෙන් කැස්ත්‍රෝ ඇත්ත වසයෙන්ම බැරෑරුම් අවධානයකින් පසුවීම ඔවුන්ගේ කැලඹීමට හේතු විය. පවත්නා ක‍්‍රමය වෙනස් කිරීමට දැරූ ඕනෑම ප‍්‍රයත්නයකට ඔවුන්ගේ ප‍්‍රතිචාරය කර්කෂ විය.

සීමිත ඉඩම් ප‍්‍රතිසංස්කරනවලට පවා වොෂිංටනය ප‍්‍රතිචාර දැක්වුයේ, කියුබාවේ සීනි අපනයන කෝටාව කැපීමෙන් හා දිවයිනට තෙල් සැපයීම ප‍්‍රතික්ෂේප කරමිනි. එලෙස වොෂින්ටනය කියුබානු ආර්ථිකයේ ගෙල සිරකිරීමට උත්සාහ දැරීය.

පලමුවෙන් එක්සත් ජනපද දේපල හා අනතුරුව කියුබානුවන් සතු කර්මාන්ත ජනසතු කිරීමෙන් සහ ආධාර සඳහා සෝවියට් නිලධාරි තන්ත‍්‍රය වෙත හැරෙමින් කැස්ත්‍රෝ මෙයට ප‍්‍රතිචාර දැක්වුයේ ය. ඒ අතර බැටිස්ටාට සහය දෙමින් කැස්ත්‍රෝගේ ගරිල්ලා ව්‍යාපාරයට විරුද්ධව සිටි, අපකීර්තිමත් කියුබානු ස්ටැලින්වාදී මහජන සමාජවාදී පක්ෂය වෙත ඔහු හැරුනේ ය. ඔහුට අඩුව තිබූ දේශපාලන යාන්ත‍්‍රනය ස්ටැලින්වාදීහු ඔහුට සපයා දුන්හ.

ඇල්ජීරියාවේ බෙන් බෙලා, ඊජිප්තුවේ නසාර්, ඝානාවේ එන්කෘමා හා කොන්ගෝවේ ලුමුම්බා සහ තවත් එවැනි පුද්ගලයින් නැගී ආ පශ්චාත් දෙවන ලෝක යුද කාල පරිච්ඡේදය තුල, යටත් විජිත හා පිඩිත රටවල් සිසාරා ගිය පලල් ධනේශ්වර-ජාතිකවාදී හා අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක නියෝජිතයෙකි, කැස්ත්‍රෝ. කැස්ත්‍රෝ මෙන්ම එවැනි බොහෝ දෙනා තමන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරගැනීම සඳහා වොෂිංටනය හා මොස්කෝව අතර පැවති සීතල යුද්ධය ගසාකෑමට වෑයම් කලහ.

“මාක්ස්-ලෙනින්වාදියෙක්” ලෙස කැස්ත්‍රෝගේ ස්වයං-ප‍්‍රකාශිත රංගනය හා සෝවියට් සංගමය වෙත ඔහුගේ හැරීම තුල, නිසැකවම අවස්ථාවාදී අංගයක් ගැබ්ව තිබේ. කෙසේවෙතත්, සෝවියට් නිලධාරී තන්ත‍්‍රය බොහෝ කාලයකට පෙරාතුව විප්ලවයේ නායකයින් විනාශ කර නිර්ව්‍යාජ මාක්ස්වාදය සමග සියලූ බැඳීම් කපා දමා තිබුනේ වුව ද 1960 ගනන් වලදී පවා, ඊට වසර 43කට ඉහතදී රුසියාව පරිවර්තනය කල ඔක්තෝබර් විප්ලවය, ජාත්‍යන්තරව ඉමහත් බලපෑමක් දරා සිටි බව ද සත්‍යයකි.

කියුබානු ජනතාවගේ නැගෙන බලාපොරොත්තු හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කියුබාව සම්බන්ධයෙන් අනුගමනය කල මුරන්ඩු පිලිවෙත, කැස්ත්‍රෝ වමට තල්ලු කිරීමට දායක වූ නමුත් කිසිදු අර්ථයකින් ඔහු මාක්ස්වාදියෙක් නොවී ය. කියුබානු සමාජය තුල වැදගත් ප‍්‍රතිසංස්කරන කි‍්‍රයාත්මක කිරීමට පැවති ඔහුගේ මුල් අරමුනු අව්‍යාජ වූ අතරම, ඔහුගේ දේශපාලන නැඹුරුව හැම විටම තත්කාර්යවාදී ස්වභාවයක් ගත්තේ ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග “සාමකාමී සහජීවනය” සඳහා දරන ව්‍යායාමය තුල කේවල් කාරකයක් ලෙස කියුබාව යොදාගැනීම සඳහා, පෙරලා දැවැන්ත ආධාර හා සහනශීලි වෙලඳාම සෝවියට් නිලධරය විසින් සම්පාදනය කරනු ලැබීමට හිලව් වශයෙන් අවසානයේ කැස්ත්‍රෝ, සෝවියට් ස්ටැලින්වාදයට යටත්වීමේ කේවලයකට ඉදිරිපත් වූයේ ය.

1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් කුලුගැන්වුන ස්ටැලින්වාදී නිලධරයේ අවසන් පාවාදීමත් සමග කියුබාව, ඉතා දුෂ්කර ආර්ථික හා සමාජ අර්බුදයකට ඇද වැටුනි. කැස්ත්‍රෝ ආන්ඩුවට මෙය පිරිමසා ගත හැකිවූයේ, විදේශ ධනපති ආයෝජකයන්ට පෙර නොවූ විරූ මට්ටමින් ආර්ථිකය විවෘත කිරීමෙන් මෙන්ම තමන්ගේ ආර්ථික අර්බුදය හේතුවෙන් දැන් ආධාර මූලාශ‍්‍ර සිඳී යාමට මුහුනපා සිටින, වෙනිසියුලාවෙන් ලැබුනු සහන තුලින් පමනි.

වොෂිංටනය සමග යලි මිත‍්‍ර වීම

හවානාහි එක්සත් ජනපද තානාපති කාර්යාල යලි විවෘත කිරීම හා පසුගිය මාර්තුවේදී රටට කෙරුනු ඔබාමාගේ සංචාරය සමගින් වොෂිංටනය හා කියුබාව අතර යලි සමගිවීම සඳහා පදනම දැමුනු කොන්දේසි ඒවා ය. තමන්ගේ පැත්තෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, කියුබාවේ ලාභ ශ‍්‍රමය හා විභව ලාභදායි වෙලඳපොල සූරාකෑමටත්, රටෙහි වර්ධනය වන චීන හා යුරෝපීය ප‍්‍රතිවාදීන්ගේ අනුහසට වලකැපීමටත් අදිටන්කොටගෙන සිටී.

එක්සත් ජනපද ප‍්‍රාග්ධනය රටතුලට ගලාඒම කියුබානු තන්ත‍්‍රය විසින් සලකනු ලැබුනේ, චීනයට සමාන පිලිවෙතක් අනුගමනය කරන අතරේ තම පාලනය මුහුනපා සිටි අර්බුදය විසඳා ගැනීමේ ක‍්‍රමයක් වසයෙනි. දිවයින තුල සමාජ අසමානතාව සීග‍්‍රයෙන් ගැඹුරු වන තතු යටතේ, කියුබානු කම්කරු පන්තියේ වියදමින් සිය වරප‍්‍රසාද හා බලය රැකගැනීමට කියුබානු පාලක ප‍්‍රභූව කල්පනා කරයි.

මේ සියලු ගැටලු, ජීවිතයේ අවසන් දශකයේදී කැස්ත්‍රෝ කරදරයට පත්කල බව නිසැකය. මේ අවධියේදී ඔහු, “රිෆ්ලෙක්ෂන්” (පිලිබිඹුව) නම් කියුබානු මාධ්‍යයේ තීරුවකින් නිතිපතා සිය අදහස් එලිදැක්වීය. මේ ලේඛන න්‍යායිකව එතරම් ගැඹුරක් නොපෙන් වුව ද අව්‍යාජ සුලුධනේශ්වර රැඩිකල් වාදියෙකුගේ චින්තනය ඒවායේ පිලිබිඹු කෙරිනි.

සිය මරනය දක්වාම කැස්ත්‍රෝ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය නියෝජනය කල සියල්ල ගර්හාවට ලක් කිරීමේ ගෞරවය හිමිකර ගත්තේය. බැරක් ඔබාමාගේ කුහකත්වය හා “මානව හිමිකම්” පිලිබඳ වාචාලකම් හා අධිරාජ්‍යවාදී යුද්ධ ද ඩ්‍රෝන් ඝාතන වැඩසටහන් ද ඔහුගේ දැඩි ප‍්‍රහාරයට ලක් විය.

ඔබාමා කියුබාවට සංචාරය කිරීමෙන් අනතුරුව, ඔහු ලිවූ අවසන් සටහන් තුල කැස්ත්‍රෝ, එක්සත් ජනපද ජනාධිපති හවානාවේදී සිදුකල කතාව තියුනු ලෙස හෙලා දුටුවේ ය. ඔහු මෙසේ සටහන් කලේ ය. “අපගේ ජනතාවගේ උත්සාහය හා බුද්ධියේ මහිමයෙන් අපට අවශ්‍ය තරම් ආහාර හා ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට හැකියාව ඇත. අධිරාජ්‍යය අපට කිසිවක් ප‍්‍රදානය කිරීම අවශ්‍ය නැත.”

කෙසේවෙතත් යථාර්ථය නම්, ඔබාමාගේ සංචාරය හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග සබඳතා “සාමාන්‍ය තත්වයට ගෙන ඒමේ” ඔහුගේ පියවර සලකුනු කරන්නේ, මධ්‍යම-පන්තික බලවේග විසින් නායකත්වය දුන් අනෙක් සෑම ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරයක් හා ජාතිකවාදී නිදහස් අරගල මෙන්ම කැස්ත්‍රෝගේ විප්ලවය ද ආවෘත අන්තයකට මුහුනපා සිටින බවයි. කියුබාව අධිරාජ්‍යවාදී පීඩනයෙන් මුදාගෙන, ඉන් පැනනැගී ඓතිහාසික ප‍්‍රශ්න විසඳාලීමට අසමත්ව හා එය පූර්වයෙන් විරුද්ධත්වය පෑ නව විජිතකරන සම්බන්ධතා ප‍්‍රතිෂ්ඨාපනය කර ගැනීම කරා ද කියුබාව ගමන් කර තිබේ.

කැස්ත්‍රෝගේ ජීවිතය තුල වීරත්වය හා ඛේදනීයත්වයේ සලකුනු, සියල්ලටමත් වඩා කියුබානු ජනතාවගේ දිග්ගැසුනු අරගලය, ප‍්‍රතික්ෂේප කල හැකි වනු ඇත්තේ නරුමයෙකුටම පමනි.

කෙසේවෙතත් කැස්ත්‍රෝගේ උරුමය, ජාත්‍යන්තරව හා සියල්ලටත් වඩා ලතින් ඇමෙරිකාව තුල ඔහුගේ දේශපාලන බලපෑම සැලකිල්ලට නොගෙන, හුදෙක් කියුබාවේ පි‍්‍රස්මය තුලින් ගුනාංගිකරනය කල නොහේ.

මෙහිලා වඩාත්ම විනාශකාරී භූමිකාව ඉටුකලේ, ලතින් ඇමෙරිකාව තුල වාම ජාතිකවාදීන් මෙන්ම යුරෝපය හා උතුරු ඇමෙරිකාව තුල සුලුධනේශ්වර රැඩිකලුන් විසිනි. කුඩා ගරිල්ලා හමුදාවක ප‍්‍රධානියා ලෙස කැස්ත්‍රෝ බලයට පත් වීම, සමාජවාදය සඳහා නව මාවතක් විවෘත වීමක් වසයෙන් ද එයට කම්කරු පන්තියේ දැනුවත් හා ස්වාධීන දේශපාලන මැදිහත්වීමවත්, විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂ ගොඩ නැගීමක්වත් අවශ්‍ය නැතයි ද කියා පානු ලැබුවේ උක්ත බලවේග විසිනි. කැස්ත්‍රෝගේ විප්ලවය හා විශේෂයෙන්ම ඔහුගේ පූර්ව දේශපාලන සගයාවූ චේ ගුවේරා විසින් ප‍්‍රචාරය කල ගරිල්ලාවාදයේ ප‍්‍රතිගාමී න්‍යායන් වටා ගොනුකල මිත්‍යාවන්, සමස්ත අර්ධගෝලය පුරා විප්ලව සඳහා පූර්වාදර්ශය ලෙස ඔසවා තැබුනි.

පැබ්ලෝවාදී සංශෝධනවාදයේ භූමිකාව

මෙම ව්‍යාජ ඉදිරි දර්ශනයේ ප‍්‍රමුඛතම යෝජකයන් අතර යුරෝපයේ අර්නස්ට් මැන්ඩල්ගේ හා එක්සත් ජනපදයේ ජෝසප් හැන්සන්ගේ නායකත්වය යටතේ - පසුව මෙයට ආජන්ටිනාවේ නහුවෙල් මොරිනෝ ද එකතු විය - හතරවන ජාත්‍යන්තරය තුල මතුවූ පැබ්ලෝවාදී සංශෝධනවාදී ප‍්‍රවනතාව යි. ඔවුන් අවධාරනය කලේ, ගොවිජනයා මත පදනම්වූ සුලුධනේශ්වරය විසින් නායකත්වය දෙනු ලබන හා වෛෂයික සිදුවීම් මගින් “ස්වාභාවික මාක්ස්වාදීන්” බවට පත් විය හැකි සන්නද්ධ ගරිල්ලන්ට, සමාජවාදී විප්ලවය සිදුකිරීමට බලකෙරෙන බව කැස්ත්‍රෝ බලයට පැමිනීම මගින් සනාථ කල බව යි. කම්කරු පන්තිය නිශ්කී‍්‍රය නරඹන්නෙකුගේ තැනට පිරිහෙලනු ලැබින.

කම්කරු බලය සහිත සංවිධාන කිසිවක් නොතිබියදීත් ඔවුන් තවදුරටත් නිගමනය කලේ, කැස්ත්‍රෝගේ ජනසතුකරනය කියුබාව තුල “කම්කරු රාජ්‍යයක්” නිර්මානය කර ඇති බව යි.

කියුබානු විප්ලවයට බොහෝ කාලයකට ඉහතදී ලියොන් ට්‍රොට්ස්කි, සුලුධනේශ්වර බලවේග විසින් සිදුකරනු ලබන ජනසතුකරන වැඩසටහන්, සමාජවාදී විප්ලවය සමග මතුපිටින් අනන්‍ය කිරීමට දැඩි ලෙසම විරුද්ධ විය. 1938 දී ලියන ලද, හතරවන ජාත්‍යන්තරයේ පදනම් ලියවිල්ලවූ Transitional Program සංක‍්‍රමනීය කියාමාර්ගය සඳහන් කලේ, “(යුද්ධය, පරාජය, මූල්‍ය කඩා වැටීම්, මහජන විප්ලවවාදී පීඩනය යනාදී) සපුරාම සුවිශේෂී තත්වයන්ගේ බලපෑම යටතේ ස්ටැලින්වාදීන් ද ඇතුලු සුලුධනේශ්වර පක්ෂ, ධනේශ්වරයෙන් වෙන්වීමේ මාවත දිගේ තමන් කැමතිවාට වඩා වැඩි දුරක් යන්ට ඉඩ ඇත යන න්‍යායික ශක්‍යතාව කල් තියාම එක හෙලා ප‍්‍රතික්ෂේප කල නො හැකි ය” යනුවෙනි. කෙසේනමුත් එවන් සිදුවීමක් කම්කරු පන්තියේ සැබෑ ආඥාදායකත්වයකින් පැහැදිලිවම වෙනස් ය.

1939දී (හිට්ලර් සමග සන්ධානයකින්) පෝලන්තය ආක‍්‍රමනය කිරීමේ කි‍්‍රයාවලිය තුලදී ක්‍රෙම්ලින් තන්ත‍්‍රය විසින් ගෙනගිය අස්වාමික (ජනසතු) කිරීම් වලට ප‍්‍රතිචාර දක්වමින් ට්‍රොට්ස්කි මෙසේ ලීවේ ය: “අප සඳහා මූලිකම මිනුම් දන්ඩ වන්නේ, ජනතාව සඳහා ඒවා කෙතරම් වැදගත්වුව ද මේ හෝ ඒ ක්ෂේත‍්‍රය තුල දේපල ක‍්‍රමය පරිවර්තනය කිරීම නොව, ඔවුන් පූර්වයෙන් දිනාගත් දෑ ආරක්ෂා කරගැනීම හා නව ජයග‍්‍රහන අත්පත්කර ගැනීම සඳහා ඔවුන්ගේ හැකියාව වර්ධනය කරමින්, ලෝක කම්කරු පන්තියේ සංවිධාන හා විඤ්ඤානය වෙනස් කිරීම යි”.

කැස්ත්‍රෝවාදය, සමාජවාදය සඳහා කිසියම් නව මාවතක් නියෝජනය කරනවා නොව, එය වනාහි පැරනි යටත් විජිත ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල බලයට පත් ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවල වඩාත්ම රැඩිකල් ප‍්‍රභේදයන්ගෙන් එකක් පමනක් යැයි අවධාරනය කරමින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක) ක්ෂමාවිරහිතව පැබ්ලෝවාදී ඉදිරිදර්ශනයට එරෙහිව සටන් වැදුනේ ය. කැස්ත්‍රෝවාදය පිලිබඳව පැබ්ලෝවාදී උත්කර්ශනය, මාක්ස් දක්වා දිවෙන සමාජවාදී විප්ලවයේ සමස්ත ඓතිහාසික හා න්‍යායික සංකල්පය ප‍්‍රතික්ෂේප කිරීමක් නියෝජන කරන බවත්, ජාත්‍යන්තරව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ඒකාබද්ධ කරන ලද විප්ලවවාදී කේඩරය ධනපති ජාතිකවාදය හා ස්ටැලින්වාදයේ කඳවුර තුලට දියකර හැරීමට පදනම දමන බවටත් එය අනතුරු අඟවා සිටියේ ය.

අධිරාජ්‍යවාදී ආක‍්‍රමනයට එරෙහිව කියුබාව මූලධර්මිකව ආරක්ෂා කරන අතරේ හජජාක, කැස්ත්‍රෝවාදය පිලිබඳ සිය විශ්ලේෂනය පදනම් කලේ, අධිරාජ්‍යවාදී යුගයේදී ධනපති ජාතිකවාදයේ භූමිකාව පිලිබඳ පුලුල් විශ්ලේෂනයක් තුල ය.

නොනවතින විප්ලවය පිලිබඳ ට්‍රොට්ස්කිගේ න්‍යාය ආරක්ෂා කරමින් 1961දී එය මෙසේ ලීවේ ය: “එවැනි ජාතිකවාදී නායකයින්ගේ භූමිකාව පිම්බීම ට්‍රොට්ස්කිවාදීන්ගේ කාර්යය නොවේ. ජනතාවගේ සහය ගොනු කිරීමට ඔවුන්ට හැකියාව ලබා දී ඇත්තේ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, විශේෂයෙන්ම ස්ටැලින්වාදී නායකත්වයේ පාවාදීම් නිසා ම පමනි. මේ ආකාරයෙන් ඔවුන් අධිරාජ්‍යවාදය හා කම්කරු ගොවි ජනතාව අතර තාප්ප බවට පත් වෙති. සෝවියට් සංගමයෙන් ලද ආර්ථික ආධාරවල ශක්‍යතාව හමුවේ බොහෝවිට ඔවුන්ට, අධිරාජ්‍යවාදීන් සමග දැඩි කේවලයක් කිරීමේ හැකියාව ලබා දුන් අතර ධනපති හා සුලු ධනේශ්වර නායකයන්ගේ වඩාත් රැඩිකල් කොටස්වලට අධිරාජ්‍යවාදී ව්‍යවසායන්ට ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවා ලබා දෙමින්, ඒ තුලින් තවදුරටත් ජනතා සහය ලබා ගැනීමට කොන්දේසි සැකසීය. එහෙත්, අප සම්බන්ධයෙන් ගත් කල සෑම සිදුවීමකදී ම වඩාත් තීරනාත්මක ප‍්‍රශ්නය, සෑම රටක් තුලම කම්කරු පන්තිය, සෝවියට් සභා ගොඩ නැගීමට පීඩිත ගොවීන් මෙහෙයවා ගනිමින් ද ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය සමග අත්‍යවශ්‍ය සම්බන්ධතා ගොඩ නගා ගනිමින් ද මාක්ස්වාදී පක්ෂයක් හරහා දේශපාලන ස්වාධීනත්වය අත් කරගැනීමේ කාරනාව යි. අපේ මතය වන්නේ, මොනම තත්වයක් යටතේවත් ජාතිකවාදී නායකත්වය සමාජවාදීන් වනු ඇතැයි යන අදහසට ට්‍රොට්ස්කිවාදීන් අනුගත නොවිය යුතු බව යි. කම්කරු පන්තියට විමුක්තිය සලසා ගැනීම කම්කරු පන්තියේම කර්තව්‍යය වන්නේ ය”.

පැබ්ලෝවාදීන් විසින් ඔජවඩවන ලද න්‍යායන්, කම්කරුවන්ගේ ව්‍යාපාරය අවමංගත කිරීමට කොන්දේසි සකසමින්, ෆැසිස්ට්-මිලිටරි ආඥාදායකත්වයන්ට මාවත කැපීමට උදව්කාරක විය. රැඩිකලීකෘත තරුනයින් හා තරුන කම්කරුවන්ගේ සමස්ත පරම්පරාවක්ම ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ අරගලයෙන් ඉවත හරවමින්, ජීවිත දහස් ගනනක් බිලිගත් මාරාන්තික සන්නද්ධ අරගල වෙතට තල්ලු කිරීමට ඒවා උදව්කාරකවිය. ලතින් ඇමෙරිකාව තුල මෙම අනතුරු ඇඟවීම් ඛේදජනක අයුරින් සනාථ කෙරී ඇත.

පලමුවැනි නිදර්ශනය වූයේ, මෙකී න්‍යායන් බොලීවියාවේදී චේ ගුවේරාගේම ජීවිතය බිලිගැනීම ය. පතල් හා බොලිවියානු කම්කරු පන්තියේ සෙසු කොටස්වල සටන්කාමී අරගල නොතකා හරිමින්, වඩාත් පසුගාමී කොටස් හා ගොවියන්ගේ පීඩිත කොටස් අතරින් ගරිල්ලා හමුදාවක් නිර්මානය කිරීමට ඔහු නිශ්පල ලෙස වෑයම් කලේ ය. මෙය අවසන් වූයේ, සීඅයිඒ හා බොලිවියානු මිලිටරිය ඔහු ලුහුබැඳ ගොස් තනිකර, සාගතයට ඇද දමා 1967 ඔක්තෝබරයේදී මරනයට පත් කිරීමෙනි.

ගුවේරාගේ ඉරනම සමස්ත අර්ධගෝලය පුරාම දැකිය හැකිව තිබූ කැස්ත්‍රෝවාදයේ හා පැබ්ලෝවාදී සංශෝධනවාදයේ විනාශකාරී ප‍්‍රතිපලවල ඛේදනීය පූර්වාපේක්ෂනයක් විය. මේ ආකාරයෙන්ම, ආර්ජන්ටිනාව තුල ගරිල්ලාවාදයේ අනුගාමිකයෝ, 1969 කෝඩොබාසෝ මහා වැඩවර්ජනය සමග පුපුරා ගිය විප්ලවවාදී කම්කරු පන්ති ව්‍යාපාරය මොට කර දැමීමටත් අවමංගත කිරීමටත් සේවය කලෝ ය.

කැස්ත්‍රෝම සම්බන්ධයෙන් සැලකූ කල ඔහු, සෝවියට් කඳවුරේ සේවාදායකයෙක් වසයෙන් ද තමන්ගේම පාලනයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට දැරූ ප‍්‍රයත්නය තුල තත්‍ය දේශපාලනයේ කි‍්‍රයාධරයෙක් වසයෙන් ද කටයුතු කරමින්, ඔහු අභිබවා ගොස් පෙරලා දැමීමට වෑයම් කල ඒ ලතින් ඇමෙරිකානු ආන්ඩු සමගම සබඳතා ගොඩ නගා ගැනීමට වෑයම් කලේ ය. මෙසේ, චිලී රටේ ෆැසිස්ට්වාදීන් හා මිලිටරිය කම්කරු පන්තිය තලා දැමීමට සූදානම් වෙමින් සිටියදී ත් ඔහු, “සමාජවාදය කරා පාර්ලිමේන්තු මාවත” හුවා දක්වමින් 1971දී එරට සංචාරය කලේ ය. පේරු හා ඉක්වදෝරයේ මිලිටරි පාලන තන්ත‍්‍රය අධිරාජ්‍ය විරෝධීන් යයි ප‍්‍රසංශා කල කැස්ත්‍රෝ, 1968 ශිෂ්‍යයින් සමූලඝාතනය කිරීම දක්වා ගමන් කල මෙක්සිකෝවේ පාලක පීආර්අයිහි දූෂිත තන්ත‍්‍රය වැලඳගැනීමට පවා කි‍්‍රයා කලේ ය.

කැස්ත්‍රෝගේ පිලිවෙත්වල සමස්ත බලපෑම මෙන්ම ඔහු හුවා දැක්වීමට මුල්වූ දේශපාලන පිලිවෙත්, සමස්ත අර්ධගෝලය පුරා සමාජවාදී විප්ලවය වැලක්වීමට හේතු කාරක වී තිබේ.

දැන් පොදුවේ අධිරාජ්‍යවාදී බලවතුන් ද විශේෂයෙන් එක්සත් ජනපදය ද ගනන් බලන්නේ, කියුබාව තුල හා ඉන් පරිබාහිරව තම අවශ්‍යතා පෙරට ගෙනයාම සඳහා කෙතරම් පරමානයකින් කැස්ත්‍රෝගේ මරනය යොදාගත හැකි ද යන්න ගැන යි.

“මෙම තනි පුද්ගලයා ජනතාව හා ඔහු වටා ඇති ලෝකය මත ඇති කල යෝධ බලපෑම ඉතිහාසය විසින් වාර්තාගත කරනු ඇතැ” යි කියමින් ද “ඇමෙරිකා එක්සත් ජනපදය තුල මිතුරෙක් හා සහකරුවෙක් ඔවුන්ට සිටින බව කියුබානු ජනතාව දැනගත යුතුයයි” ද සඳහන් කරමින් ජනාධිපති බැරක් ඔබාමා කුහක ප‍්‍රකාශයක් නිකුත් කලේ ය.

“දශක හයක් තිස්සේ තමන්ගේම ජනතාව පීඩාවට පත් කල ම්ලේච්ඡ ආඥාදායකයෙකුගේ අභාවය” සමරමින් ජනාධිපති ලෙස පත්ව සිටින ට‍්‍රම්ප් ඔහුගේ පැත්තෙන් ප‍්‍රකාශක් නිකුත් කලේ ය. ඔබාමා විසින් ගනු ලැබූ පියවර අවලංගු කරන බවට ට‍්‍රම්ප් කර තිබෙන ප‍්‍රකාශ එලෙසින්ම කි‍්‍රයාවට නගනු ඇත් ද යන්න පිලිබඳව වැඩෙන සමපේක්ෂනයේ අර්ථය, එක්සත් ජනපද බැංකු හා සංගත විසින් කියුබාව විනිවිදීමට පහසුකම් සලසා ගැනීමයි.

අධිරාජ්‍යවාදයේ නියෝජිතයන් ප‍්‍රතිගාමීත්වයේ පිලිවෙත ඉදිරියට ගෙන යාම සඳහා කැස්ත්‍රෝගේ මරනය ගසා කෑමට වෑයම් කරමින් සිටින අතරේ, කම්කරුවන්ගේ හා තරුනයින්ගේ නව පරම්පරාවක් සඳහා කැස්ත්‍රෝවාදයේ ඓතිහාසික අත්දැකීම හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් වර්ධනය කරන ලද වඩාත් දුරදිග යන විවේචනය අධ්‍යනය කිරීම, එලැඹෙමින් තිබෙන මහා විප්ලවවාදී අරගල සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමේ හා ඔවුන් මෙහෙය වනු ඇති පක්ෂ ගොඩ නැගීමේ අතශ්‍යවශ්‍ය කටයුත්ත ඉතිරිවී තිබේ.

බිල් වෑන් ඕකන්

Share this article: