ඔබාමා හා ක්ලින්ටන් රුසියානු විරෝධය අවුලුවයි

Obama, Clinton stoke anti-Russia campaign

2016 දෙසැම්බර් 17

බැරැක් ඔබාමා හා සමහර විට ඔහුගේ ජනාධිපති කාලයටම පැවැත්වූ අවසන් මාධ්‍ය සමුලුව, දැනට හා අනාගතයේ සිදුවීමට නියමිත යුද්ධය මගින් වසාගෙන තිබීම නොවැලැක්විය හැකිය. ජාතිය යුද්ධයේ පටලවාගත් ජනාධිපති ධුර කාල දෙකක්ම ගත කල පලමුවැන්නා ඔබාමාය. ඔහු සිය ධුරයෙන් ඉවත් වන්නේ, මැද පෙරදිග පුලුල් වන ව්‍යසනය හා මාධ්‍ය ද දේශපාලන සංස්ථාපිතය ද රුසියාවට එරෙහි ආක‍්‍රමනයේ උන්මාදනීය උද්ඝෝෂනයක නිමග්නව සිටියදීය.

ජනාධිපති මැතිවරන ව්‍යාපාරය පැවැත්වෙද්දී ඩිමොක‍්‍රටික් පක්ෂයේ විද්‍යුත් තැපෑලට හොර රහසේ ඇතුලුවූ බවට ඔබාමා දිගටම දරන ආස්ථානය තවත් තියුනු වීමක් මාධ්‍ය සමුලුව තුල ප‍්‍රකාශයට පත් විය. එය පිටුපස සිටියේ රුසියාව බවට ඇමරිකානු ඔත්තු සේවා කිසිදු සාක්ෂ්‍යයකින් තොරව කරන ප‍්‍රකාශ ඔහු පුනරුච්ඡාරනය කලේය. එසේම රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිසැකවම එම මෙහෙයුම අනුමත කල බව ඔහු අවධාරනය කලේය.

ඒ අතර ඔබාමා, ඩිමොක‍්‍රටික් ජාතික කමිටුව හා ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරය, වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් හා අනෙක් අයගේ ප‍්‍රාථමික මැතිවරන අභියෝගය කඩාකප්පල් කිරීම පිලිබඳ කරුනු අඩංගු විද්‍යුත් තැපෑල “මැතිවරන ඕපාදූප” ලෙස හංවඩු ගැසූ නමුත් කාන්දුවූ තැපෑලෙහි අන්තර්ගත දේ මත එලියක් විහිදුවා ඇත. ඊට ක්ලින්ටන් වෝල් වීදියේ බැංකුවලට පැවැත්වූ කථා ද ඇතුලත් විය. ඒ සඳහා ඇයට ඉලක්කම් හයේ දීමනා ලැබුන අතර ඒවා ප‍්‍රසිද්ධ කිරීම ඇය ප‍්‍රතික්ෂේප කර තිබුනි.

මැතිවරන අවධිය තුල කාන්දුවූ විද්‍යුත් තැපෑලේ අඩංගුව තිබුනු දේ නොතකා හැරීම හා දුන් අවම ප‍්‍රචාරය සම්බන්ධයෙන් ඔහු නිල මාධ්‍ය විවේචනය කලේය.

කොන්ග‍්‍රස් සභාවේ නායකයින් සමග පැවති රහස් සැසිවාරයන්හිදී රුසියානු කඩාකප්පල් කිරීම් පිලිබඳ සාක්ෂි ඉදිරිපත් කල බවත්, ඇමරිකානු ඔත්තු සේවාවේ තක්සේරුව ඩිමොක‍්‍රටිකයන් මෙන්ම රිපබ්ලිකානුවන් ද පිලිගත් බවත් ඔහු පැවසීය. “මම කියන්නේ රුසියාව තුල සිදුවූ දෑ බොහොමයක්, ව්ලැඩිමීර් පුටින්ගේ අනුදැනුමකින් තොරව සිදු විය නොහැකි බවයි....මෙය සිදුව ඇත්තේ රුසියානු ආන්ඩුවේ මුදුන් මට්ටම්වල බව අපි කියා ඇත්තෙමු. මම එය සනාථ කරමි.”

එහෙත් ඔහු සාක්ෂි කිසිවක් ඉදිරිපත් කිරීම තරයේ ප‍්‍රතික්ෂේප කලේ එවැන්නක්, අනාගත සයිබර් ප‍්‍රහාර පිලිබඳ ඇමරිකාවේ ජාතික ආරක්ෂක ආයතන වල ප‍්‍රතිචාරය අඩපන කරනු ඇති බව පවසමිනි.

මෙම ප‍්‍රකාශ කිසිවක් සනාථ නොකරනු ලැබීමේ කාරනය, රුසියානු විරෝධී උද්ඝෝෂනයට බැසගෙන සිටින, රැස්ව සිටි ව්‍යාපාරික මාධ්‍යයේ කනස්සල්ලට හේතු නොවීය. ඔබාමා ඒ වෙනුවට, සිරියාවේ කුලීකාර “කැරලිකරුවන්” ට සහාය දෙන සිය පිලිවෙත සඳහා පැවති එකම විකල්පය, ඉරාක යුද්ධය වර්ගයේ ආක‍්‍රමනයක් හා රට තුල වාඩිලා ගැනීම බව අවධාරනය කරමින්, සීඅයිඒ සහාය ලත් සිරියාවේ තන්ත‍්‍ර මාරු මෙහෙයුම අසාර්ථක වීම පිලිබඳව ඇඟ බේරාගැනීමට උත්සාහ කලේය.

පාලක පන්තිය තුල නැගෙමින් ඇති විදේශ පිලිවෙත සම්බන්ධ ගැටුම මධ්‍යයේ ඔබාමා, “ගෙදර ඇතුලේ කුලල්කා ගැනීමක්” ලෙස පසුගිය මාසයේ හඳුන්වා දුන් දේශපාලන සංස්ථාපිතය ඇතුලත මතභේද මුල්කරගෙන දුෂ්කරතාවන්ට මුහුනදී සිටියි. ඔහු තම මාවතෙන් බැහැරව ගොස්, සීඅයි ඒ හා එෆ්බීඅයි ආරක්ෂා කලේය. ඒ, ට‍්‍රම්ප්ට උදව් වන පරිදි රුසියානු කඩාකප්පල් කිරීම්, සාක්ෂි මගින් සනාථ කර නැතැයි සීඅයිඒට විරුද්ධව එල්ලවන චෝදනා වලින් එය බේරාගැනීමට හා රැල්ල ට‍්‍රම්ප් වෙත හැරවීමේදී තීරනාත්මක ක්‍රියාකලාපයක් ඉටු කල, මැතිවරනයට දින 11ක් තිබියදී එෆ්බීඅයි විසින් ක්ලින්ටන් පෞද්ගලික විද්‍යුත් තැපැල් සේවාදායකයක් යොදාගැනීම පිලිබඳ ප‍්‍රශ්නය මත ඩිමොක‍්‍රටික් මැතිවරන ව්‍යාපාරයට මැදිගත්වීමට එරෙහිව කෙරෙන ප‍්‍රකාශ වලින් එෆ්බීඅයි ආරක්ෂා කිරීමටය.

ඔහු, එම ආයතන දෙක දේශප්‍රේමී, වෘත්තීය හා අපක්ෂපාත ඒජන්සි ලෙස ගෙනහැර දැක්වීය. එසේ වෙතත් සීඅයිඒ, ලෝකයේ ඇති වඩාත්ම කුප‍්‍රකට ඝාතන ව්‍යාපාරය වන අතර රට තුල මර්දනය ගෙනයාමේදී එෆ්බීඅයි කුප‍්‍රකටය.

ඔබාමා සිය මාධ්‍යය හමුව පැවැත්වූයේ, එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේ හා ජාතික රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර්, 2016 මැතිවරනය තුලට රුසියානු ආන්ඩුවේ කඩාවැදීම, ට‍්‍රම්ප් බලයට පත් කිරීමේ අභිලාෂය මත සිදුවීයයි නැගෙන චෝදනා ගැන සීඅයිඒ ඉදිරිපත් කරන තොරතුරු වැලඳ ගැනීමෙන් පැය කිහිපයකට පසුවය. සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන්, එෆ්බීඅයි හා සීඅයිඒ කඩාකප්පල් කිරීම් පිලිබඳව වෙනස්වූ නිගමනයන්ට පැමින ඇති බවට පලවන මාධ්‍ය වාර්තා බැහැර කරමින්, සීඅයිඒ කාර්ය මන්ඩලයට ඔබින ආකාරයේ නිවේදනයක් නිකුත් කර ඇත.

15දා රාත්‍රියේ මැන්හැටන්හිදී මැතිවරන ව්‍යාපාරයට පරිත්‍යග ලබා දුන් කන්ඩායමක් හමුවේ හිලරි ක්ලින්ටන් ද රුසියාවට එරෙහි ප‍්‍රචාරක ව්‍යාපාරයට සෘජුවම තල්ලුව දුන්නාය. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට කාන්දුවූ ශ‍්‍රව්‍ය වාර්තාවකට අනුව ඇගේ මැතිවරන පරාජය, රුසියානු කඩාවැදීම් ද රාජ්‍ය ලේකම්ව සිටියදී ඇය පෞද්ගලික විද්‍යුත් තැපැල් සේවාදායකයක් යොදාගැනීම පිලිබඳව අලුත් පරීක්ෂනයක් කෙරෙන බවට එෆ්බීඅයි විසින් කල නිවේදනය ද යන දෙකේම බලපෑම නිසා සිදුව ඇත.

ක්ලින්ටන්, රුසියානු කඩාකප්පල් කිරීම් “අපගේ රටට විරුද්ධ ප‍්‍රහාර” ලෙස ගුනාංගීකරනය කලාය. ඒවා ඇමරිකානු ආන්ඩුවේ පූර්න පරිමාන ප‍්‍රතිප‍්‍රහාරයකට දොර විවෘත කරන වචනය. එක්කෝ සයිබර් යුද්ධයක් නැතිනම් ඒ හා සමාන වෙනත් ප‍්‍රකෝපකරනයක් මගිනි. ඔබාමා ද කථා කලේ එවැනිම භාෂාවකිනි. රුසියාවට එරෙහි ඇමරිකානු ප‍්‍රති ප‍්‍රහාරයක කොටසක් ප‍්‍රසිද්ධියේඩෙසාගේ කැඳවුම ගැන කෙලින්ම ඇසූ ප‍්‍රශ්නය මගහරිමින් ඔබාමා, ඊලඟ සඳුදා මැතිවරන විද්‍යාලය කුමක් කල යුතුද යන්න ගැන කිසිවක් නොපැවසීය.

වඩා වැදගත් කාරනය නම් ඔබාමා, වැඩ ඇරඹීමට නියමිත ට‍්‍රම්ප් පාලනයත් සමග තමාට කිසිදු ගැටුමක් නැති බව අඟවයි. ඔහු ට‍්‍රම්ප් සමග නිරන්තරයෙන් පවත්වන සාකච්ඡා හිතවත් හා ගරුකටයුතු ලෙස පැවැත්වෙන බව යලි යලිත් පවසා ඇත. කඩකප්පල් කිරීම් පිලිබඳ සීඅයිඒ ප‍්‍රකාශ විවේචනය කරන ට‍්‍රම්ප්ගේ ට්විටර් සටහන් හා වෙනත් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ වලින් පුටින් දිරිගන්වා ඇත් ද හෝ ඔත්තු සේවාවන්ගේ ආත්ම විශ්වාසය පලුදුකර ඇත් ද යන ප‍්‍රශ්න වලට පිලිතුරු නොදී ඔහු මගහැරියේය.

ට‍්‍රම්ප් පාලනය වෙත “සාමකාමී ලෙස බලය පැවරීම” අධීක්ෂනය කරන බවට ඔහු දී ඇති පොරොන්දුව පරිදි මෙය සිදුවේ. තමන්ට ලැබෙන සහයෝගය ගැන ට‍්‍රම්ප්ට හා ඔහුගේ ආධාරකරුවන්ට කිසිදු මතභේදයක් නොපවතිනු ඇතැයි ඔහු කයිවාරු ගැසීය. ට‍්‍රම්ප් කුලුන්නේදී මුනගැසෙන පාලනයේ අන්ත දක්ෂිනාංශික පුද්ගලයන්ගේ හෝ ට‍්‍රම්ප් පාලනයේ පිලිවෙත් සම්බන්ධ කිසිදු සාකච්ඡාවකට ඔහු සම්බන්ධ නොවන බව ඔහු තරයේ කියා සිටියේය.

මාධ්‍ය සාකච්ඡාව දිගටම ඔබාමා, මාසයක් තරම් කාලයකින් පසුව තමා තනතුර අතහැර යන්නේ, පෙර නොවූ විරූ ගෝලීය හා දේශීය අර්බුදයක කොන්දේසි යටතේය යන කාරනය පිලිබඳව කනස්සල්ලෙන් පසුවන බවක් නොපෙන්වීය. ඇමරිකාව ලෝකයේ දෙවන ලොකුම න්‍යෂ්ටික බලවතා වන රුසියාව සමග ගැටුමක් ඇවිල යාම අද්දර සිටින බවක් ඔබාමා හෝ ධවල මන්දිරයේ මාධ්‍යකරුවන් පෙන්නුම් කලේ ද නැත.

තම පාලන කාලය තුල දිනාගත් ජයග‍්‍රහන ගැන පම්පෝරියකින් මාධ්‍ය හමුව ආරම්භ කල ඔබාමා, අති බහුතරයක් වැඩකරන ජනතාවට හඳුනාගත නොහැකි ඇමරිකාවක චිත‍්‍රයක් ඇඳ දැක්වීය.

නිල වශයෙන් පහත මට්ටමක පවතින විරැකියා අනුපාතය ගැන කයිවාරු ගසමින් ඔබාමා, වැටුප් වේගයෙන් ඉහල යන බවටත් ඔහු ජනාධිපති වන විට සිටියාට වඩා ඇමරිකානු ජනතාව යහපත් තත්වයක සිටින බව, කොටස් වෙලඳපොල තුන් ගුනයකින් ඉහල යෑම තුලින් පෙන්නුම් කරන බවට ද කටමැත දෙඩීය. වැඩකරන ජනතාවගේ විශාල කොටසකගේ පහත වැටෙන ජීවන අපේක්ෂා, මිලියන ගනනාවකගේ යහපත් රැකියා විනාශවීම හා පහත් වැටුප් පැතිරයාම, තාවකාලික රැකියා, නිවාස හිඟය එන්ට එන්ටම ඉහල යාම, සිය දිවි නාසාගැනීම් හා මත් උවදුර වැඩී යාම වැනි විනාශකාරී සමාජ අර්බුදය පිලිබඳ දත්ත ඔහු මඟහැරියේය. ඔහුගේ ධුර කාලය තුල ආර්ථික අසමානතාව වාර්තාගත මට්ටම් වලට නැගීම ගැන ද ඔහු කිසිවක් නොපැවසීය.

නියාලු මාධ්‍ය ජාලයන් හි කිසිවෙකුත්, ඔහුගේ මිත්‍යාමය කථාන්තර වලට හරස් කැපීමට හෝ මෙම සාර්ථක යයි කියන අට වසරෙන් පසුව ට‍්‍රම්ප් ජයගත්තේ ද මැතිවරනය සඳහා තමාගේම තේරීම වූ හිලරි ක්ලින්ටන් පරාජය වූයේ ද ඩිමොක‍්‍රටික් පක්ෂයට ප‍්‍රාන්ත ආන්ඩු වලදී ද සෙනේට් සභාවේ හා නියෝජිත මන්ත්‍රීමන්ඩලයේ ද අන්ත පරාජයන් අත්වූයේ මන්දැයි පැහැදිලි කරන ලෙස ඔබාමාට අභියෝග කලේ හෝ නැත.

සත්‍ය නම් ඔබාමා, 2009 පටන් වෝල් වීදිය ගලවා ගැනීමට හා රට තුල ද විදේශයන්හි ද එහි අවශ්‍යතා ආරක්ෂා කිරීමට පෙරමුන ගත් බවයි. 2008 දී හා එතරම් කැමැත්තකින් නොවූවත් යලි 2012දී ද ඔහුට ඡන්දය දුන් මිලියන ගනන් වැඩකරන ජනතාවගේ බලාපොරොත්තු සුන්කර දැමූ පාලනයකට ඔහු නායකත්වය දුන්නේය. ඔහු පාර කපා දුන්නේ, අන්ත දක්ෂිනාංශික දෘෂ්ටිවාදීන්ගෙන්, බිලියනපතියන්ගෙන්, විශ‍්‍රාමික ජෙනරාල්වරුන්ගෙන් සැදුම්ලත්, ඇමරිකානු ඉතිහාසයේ අතිශයින්ම දක්ෂිනාංශක වනු ඇති ආන්ඩුවක් බලයට පත්කිරීම සඳහාය.

පැට්‍රික් මාටින්

Share this article: