මොසුල් හා අධිරාජ්‍යවාදී “මානව හිමිකම්”

Mosul and imperialist “human rights”

2016 දෙසැම්බර් 02

යුද්ධයෙන් සුන්බුන් බවට පත්ව ඇති සිරියාවේ අලෙප්පෝ නගරයෙන් සිවිල් ජනතාව පලායෑම පිලිබඳව සිරියාව හා රුසියාව හෙලා දැකීමට, බදාදා එක්සත් ජාතීන්ගේ අරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් කැඳවන ලදී.

රුසියානු පිටුබලය ලබන සිරියානු ආන්ඩු පාක්ෂික හමුදා පසුගිය සති අන්තයේ ආරම්භ කල ප්‍රහාර වලින් පසුව, ජනාධිපති බෂාර් අල් අසාද් තන්ත්‍රය වෙනස් කිරීමට, 2011 වර්ෂයේ දී සිවිල් යුද්ධයක් දියත් කල තැන් පටන් එම ප්‍රදේශ පාලනය කල අල්කයිඩාවට සම්බන්ධ හා වෙනත් ඉස්ලාමීය මිලීෂියා හමුදා වෙතින්, නගරයේ සියයට 40ක් පමන කොටසක් යලි අත්පත් කරගෙන ඇත. ඇමරිකාවේ පිටුබලය ලබන ඉස්ලාමීය මිලිෂියාවන්ගෙන් මිදී දහස් ගනන් වැසියෝ පලා ගියහ. ආන්ඩුවේ බලධාරීන් පැවසුවේ වසර අවසන්වන විට තමන් ඇලෙප්පෝව යලි අත්පත් කර ගන්නා බවයි.

ආරක්ෂක කවුන්සිලය ඇමතූවන් අතර එක්සත් ජනපද නියෝජිත සමන්තා පවර් ද වූවා ය. පවර් කතා කලේ අසාද්ට එරෙහිව යුද්ධය ආරම්භ කිරීමට ක්‍රියාකාරී ලෙස ඉස්ලාමීය මිලීෂියා හමුදා උසිගැන්වූ ඔබාමා පාලනාධිකාරියේ නියෝජිතයෙකු ලෙස ය. “කැරලිකරුවන්” බඳවා ගැනීමට, අරමුදල් සැපයීමට හා සන්නද්ධ කිරීමට තුර්කිය, සෞදි අරාබිය හා ගල්ෆ් රාජාන්ඩු මෙන් ම යුරෝපීය බලවතුන් සමග වොෂින්ටනය ද දායක වී ඇත. ඔවුන් ඉස්ලාම්වාදීන් යොදා ගෙන ඇත්තේ අධිරාජ්‍යවාදයට පක්ෂ, තන්ත්‍ර මාරු මෙහෙයුමේ කුලී හමුදා ලෙස ය. එහි ප්‍රතිඵලය වූයේ 400,000ට ජීවිත හානි, මිලියන 10ට වඩා පුද්ගලයන් අවතැන් කිරීම හා සිරියාවේ වැඩි කොටස විනාශ කිරීම යි.

එලඹෙන සති කීපයේ දී තම මිලීෂියා හමුදාවන්ගේ විශාල කොටසක් විනාශ වෙතැ යි වොෂින්ටනය කල්පනා කරන අතර ඇය කතා කලේ අසාද් පෙරලා දැමීමේ තම උත්සාහය පොදුවේ අසාර්ථක වී ඇති බව සලකුනු කරමිනි. ඇය ක්ෂනික සටන් විරාමයක් හා “ජාත්‍යන්තර මානවවාදී නීති සමග එකඟත්වය”ඉල්ලා සිටියා ය.

හැඟීම්බර භාෂාවකින්, පවර් මෙසේ ප්‍රකාශ කලා ය: “කවුන්සිල සාමාජිකයින්ගෙන් ද ලෝකයේ සියලු ජනයාගෙන් ද මම ඉල්ලා සිටින්නේ ඔබගේ දවසකින් අවසරයක් ගෙන නැගෙනහිර අලෙප්පෝවෙන් එන තාත්වික රූප නරඹන ලෙස යි. චිත්ත පීඩාව මධ්‍යයේ තම දරුවන් නලවන දෙමව්පියන් ද, පසුව ඔවුන්ගේ ජීවය රහිත ශරීර පසෙකින් තබන, ඔවුන්ගේ ඇඳුම්පෙට්ටි ඔහේ ඔසවා ගෙන පාගමනේ යන සිවිල් වැසියන් ද...”

රුසියානු පිටුබලය ලබන සිරියානු ආන්ඩුවේ අලෙප්පෝ ප්‍රහාරයේ ම්ලේච්ඡ මෙන්ම අනුකම්පා විරහිත ස්වභාවය පිලිබඳව විවාදයක් නැත. කෙසේ නමුත්, පසුගිය විසිපස් වසර තිස්සේ මැද පෙරදිග බොහොමයක් විනාශ කර ඇති එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රසිද්ධ ප්‍රකාශ දේශපාලනික හෝ සදාචාරමය වැදගත්කමක් නොදරයි. පවර්ගේ වාගාලාප මෙන්ම, ප්‍රන්සය, බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය හා නවසීලන්තය වැනි එක්සත් ජනපද සහචරයන්ගේ ප්‍රකාශ ද, එක්සත් ජනපදයේ මෙහෙයවීමෙන් ඉරාකයේ මොසුල් නගරය තුල සිදුකෙරෙමින් ඇති ප්‍රහාරයේ ස්වභාවය සලකා බලන විට ඊටත් වඩා හාස්‍යජනකය.

ඇලෙප්පෝවට කිලෝමීටර් හයසීයකට නැගෙනහිරෙන් එක්සත් ජනපදය හා එහි සහචරයෝ, සිරියා හා ඉරාක ඉස්ලාමීය රාජ්‍යය(අයිඑස්අයිඑස්) හමුදාවන්ට එරෙහි ඉරාක ආන්ඩුවේ ප්‍රහාරයකට සහාය දෙමින් සිටිති. සිරියාව තුල වොෂින්ටනයේ කුමන්ත්‍රන වලින් දිරිගැන්වුනු අයිඑස්අයිඑස් හමුදා ඉරාකයට පැන 2014දී මොසූල් පාලනය සියතට ගත්හ. බැග්ඩෑඩයේ එක්සත් ජනපද අනුග්‍රහය ලබන තන්ත්‍රය ප්‍රකාශ කරන්නේ, ඉරාක හමුදා භටයන් දහස් ගනනක් ද කුර්දි හමුදා හා විවිධ ෂියට් මිලීෂියා හමුදා සමාජිකයින් ද නගරය සම්පූර්නයෙන් වට කර ඇති බව යි.

එක්සත් ජනපදය නායකත්වය දෙන හමුදා, “සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට විශාල ලෙස බලය යෙදීමෙන් වැලකී සිටින්නේ” යයි ඇසෝසියේටඩ් ප්‍රෙස් පුනරුච්ඡාරනය කරන ප්‍රකාශය මහා බොරුවකි. සාකච්ඡා පිලිබද කිසියම් අපේක්ෂාවක් හෝ බැහැර කරමින් අයිඑස්අයිඑස් හමුදා “අවසානය දක්වා සටන් කිරීමට” අධිෂ්ඨාන සහගතව සිටින බව ඉරාක මිලිටරිය අවධාරනයෙන් පවසයි. නගරයේ කොටු වී සිටින මිලියන 1.6ක් පමන සිවිල් වැසියන්ට ඔවුන්ගේ නිවාසවල රැඳී සිටින ලෙස උපදෙස් දෙමින් ගුවනින් පත්‍රිකා විසුරුවා හැර ඇති අතර, ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ප්‍රන්ස, ඕස්ට්‍රේලියා, කැනඩා හා ජොර්දාන් “හවුලේ” ගුවන්යානා අයිඑස්අයිඑස් ලැගුම්හල් ලෙස සැක කෙරෙන තැන් වලට බෝම්බ හෙලති. ගුවන් ප්‍රහාර වලට බියෙන් නිවාස සංකීර්නවල බිම්මහල්වලට පවුල් පිටින් රොක් වෙමින් සිටින බව රීච් නම් ආධාරක සංවිධානය නොවැම්බර් 24දා වාර්තා කලේ ය.

බොහෝ අවස්ථාවල දී, ඇමරිකානු භටයින් කැටුව ඉරාක විශේෂ බලකා ඒකක, නිවාස පේලියෙන් පේලිය ශුද්ධ කරමින්, නගරයේ නැගෙනහිර පෙදෙස් පීරමින් සිටිති.ඔවුන් යොදා ගන්නා උපක්‍රම සරලය, රළුය. එමෙන්ම සිවිල් වැසියන්ට නිවාසවල රැඳී සිටන්නැ යි දෙන ලද උපදෙස් සලකා බලන විට සහාසික ය. අයිඑසිඅයිඑස් ග්‍රහනයේ පවතින බවට සැක කෙරෙන ගොඩනැගිලි විනාස කිරීමට ඔවුහු ගුවන් ප්‍රහාර, කාල තුවක්කු හෝ යුද ටැංකි යොදා ගනිති. අයිඑසිඅයිඑස් “මිනිස් පලිහක්” ලෙස මිනිසුන් යොදා ගනිමින් සිටන බව පවසමින් සිවිල් වැසියන්ගේ මරන වේලාසනින් ම යුක්ති සහගත කෙරේ.

තමන් අයිඑසිඅයිඑස් සටන් කරුවන් දාහක් මැරූ බව ඉරාක මිලිටරිය කයිවාරු ගැසූ අතර, අයිඑසිඅයිඑස් කියා ඇත්තේ ආන්ඩුවට පක්ෂ හා තුර්කි හමුදා භටයින් 3,700ක් ඝාතනය කල බව යි. සිවිල් ජනයාට සිදු කෙරෙන හානිය ගැන එක් පාර්ශ්වයක් විසින් හෝ විශ්වාස කල හැකි සංඛ්‍යා නොසපයන අතර, වාර්තා පවසන්නේ එය ඉතා ඉහල බවයි.මොසුල්වලට කිලෝමීටර් 80ක් පමන ඇතින් පිහිටි බටහිර අර්බිල් රෝහල සෑම දිනකම අනතුරට ලක් වූ මිලිටරි හා සිවිල් වැසියන් 150ක් පමන ඇතුල් කර ගනියි. රෝහල කරා ලඟා විය හැක්කේ ආන්ඩුවේ හමුදා විසින් අල්ලා ගනු ලැබූ ප්‍රදේශවල තුවාලකරුවන්ට පමනී. මේ වන විට, යන්තම් පුද්ගලයන් 70,000ක් පමන බේරී පලා යාමට සමත් ව සිටිති.

වසර 4,000ක ඉතිහාසයක් ඇති මොසූල් නගරය, " සුරැකීම” නාමයෙන් ඇත්ත වසයෙන් ම සිදුවන්නේ එය විනාස කිරීමයි. මෙම සතියේ 650,000ක් දෙනාට ජල සැපයුම කපා හරිමින් බෝම්බ දමා ප්‍රධාන ජලනල පද්ධතියක් විනාස කෙරුනි. මේ වන විටත් බොහෝකොටම විදුලිය කපාහැර ඇත. සැපයීම් අඩුවීමත් සමග ආහාර මිල ගනන් දෙගුන වී ඇත. නගරයේ සෞඛ්‍යාරක්ෂක පද්ධතිය ක්‍රියාවිරහිතය. විශ්වවිද්‍යාල හා බොහෝ වෙනත් රජයේ ගොඩනැගිලි සුන්බුන් බවට පත් කෙරී ඇත. බදාදා, හවුල් ගුවන්යානා නගරයේ නැගෙනහිර හා බටහිර ප්රෙද්ශ යා කරන ටයිග්‍රීස් ඟඟේ ප්රධාන පාලම් හතරකට බෝම්බ දමා විනාශ කල අතර ආහාර හා අනෙකුත් අත්‍යයවශ්‍යය සැපයීම් නැගෙනහිර ජනතාවට අහිමිකර තිබේ.

මොසුල් අල්ලා ගැනීම සති ගනනාවක්, නැතහොත් මාස ගනනාවක් ඇදී යනු ඇති බවට අනාවැකි පල කෙරේ. සීත කාලය පැමිනීමත් සමග, බෝම්බ දැමීම් වලින් සිදු කෙරෙනවාට වඩා, කුසගින්න හා රෝගබාධ ද විශේෂයෙන් ම ලමුන් ද බෙලහීන හා වයසක මිනිසුන් අයහපත් කාලගුන තත්වයකට නිරාවරනය වීමද නිසා විශාල ජීවිත හානි සිදුවීමට ඉඩ ඇත.

මෙම සතියේ දී ඔබාමා පාලනාධිකාරය සටන්විරාම හෝ “ජාත්‍යන්තර මානවවාදී නීති සමග එකඟත්වය”ඉල්ලා නො සිටියේ ය. යුද අපරාධ සම්බන්ධයෙන් අධිරාජ්‍යවාදී බලවතුන්ගේආකල්පය නීර්නය කෙරෙන්නේ ඒවා ඔවුන්ට වාසි වන්නේ නම් පමනී.ඇලෙප්පෝවල දී, එක්සත් ජනපද හා යුරෝපී බලවතුන්ගේ තත්වය දුර්වල වෙමින් තිබෙන නිසා හෙලාදැකීම් හා මෙහෙයුම් අත්හිටුවීමේ පියවර ගැනීම සඳහා ඉල්ලීම් කෙරේ. මොසුල් හි දී එක්සත් ජනපද අවශ්‍යතා ඉටු වෙමින් තිබෙන නිසා සිවිල් වැසියන්ගේ මරන සංඛ්‍යාව අඩු තක්සේරු කිරීම හෝ සම්පූර්නයෙන්ම නොතකා හැරීම සිදු කෙරේ.

අධිරාජ්‍යවාදීන්ගේ නියෝජතයින් හා ධනේශ්වර පාලක ප්‍රභූව “මානව හිමිකම්” ගැන මොනවා දෙසුවත් කම්කරුවන්ගේ ස්වාධීන ආස්ථානය විය යුත්තේ ඒවාට විරුද්ධවීම හා හෙලාදැකීමයි. අධිරාජ්‍යයවාදී යුද්ධයේ අපරාධකාරිත්වය හා නව යටත්විජිත කුමන්ත්‍රනය අවසන් කල හැකි එකම ක්‍රමය ධනවාදය ම අවසන් කිරීම පමනි.

ජේම්ස් කෝගන් විසිනි,

Share this article: