නව ජනාධිපති ට‍්‍රම්ප් ඇමරිකානු ජාතික ධජයට ගිනි තැබීම ගැන කරන ලද ප‍්‍රකාශය ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදය සලකුනු කරයි

President-elect Trump on flag-burning: The crisis of American democracy

2016 දෙසැම්බර් 01

ඩොනල්ඩ් ට‍්‍රම්ප්, එක්සත් ජනපද ජනාධිපති ධුරය සඳහා ජනවාරි 20 දා දිවුරුම් දීමට නියමිත අතර, ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තියේ ප‍්‍රකාශිත භාෂාවෙන්,“ ”එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව පවත්වාගෙන යාමට, ආරක්ෂා කිරීමට සහ රැකගැනීමට මට හැකි උපරිමයෙන් කටයුතු කරන” බවට ඔහු සහතික වනු ඇත.

එසේ සහතික වන කිසිවක් තමා විසින් නොකරනු ඇති බව තහවුරු කෙරෙන වචන 136 ක ප‍්‍රකාශයක්, මෙම දිවුරුම් දීමට යන්තම් සති හතකට පෙර, ට්විටර් මාධ්‍ය හරහා ට‍්‍රම්ප් නිකුත් කලේය. “කිසිවෙකුට ඇමරිකානු ධජය ගිනි තැබීමට ඉඩ නොදිය යුතුය. ඔවුන් එසේ කලහොත් එහි ප‍්‍රතිවිපාකයන්ට මුහුන දීමට ඔවුනට සිදුවනු ඇත. ඇතැම් විට එය පුරවැසි භාවය අහිමිවීමක් හෝ වසරක සිරදඬුවමක් හෝ විය හැකැ” යි ඔහු ලිවීය.

ඇමරිකානු ජාතික ධජය ගිනි තැබීම පිලිබඳ ව්‍යවස්ථාපිත තත්ත්වය නව ප‍්‍රශ්නයක් නොවේ. ආන්ඩුවේ කි‍්‍රයාවන්ට විරෝධය දැක්වීම පිලිබඳව දිගු කාලයක සිට ස්ථාපිත මෙම ක‍්‍රමවේදය තහනම් කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ කෙරුනේ, එය පලමු ව්‍යවස්ථා සංශෝධනය මගින් ආරක්ෂා කරන ලද අදහස් ප‍්‍රකාශ කිරීමක් බව, 1989 සහ නැවත 1990 දී, ශ්‍රේෂ්ඨාධිකරනයෙන් නිශ්චිතව තහවුරු කෙරුනු තතු තුලයි.

ජාතික ධජය පිලිස්සීම සඳහා සුදුසු දඬුවම වන්නේ එක්සත් ජනපද පුරවැසිභාවය අහෝසි කිරීම බවට කෙරෙන මෙම ප‍්‍රකාශය ව්‍යවස්ථාමය අයිතීන් බලගතු ලෙස හෑල්ලු කිරීමක් ප‍්‍රදර්ශනය කරයි. 1868 දී සම්මත කල දහහතර වෙනි සංශෝධනයෙන් “එක්සත් ජනපදයේ උපත ලද හෝ නීතිමය වශයෙන් පුරවරසිභාවය ලද අය” පුරවැසියන් වන බවට ප‍්‍රකාශ කෙරෙයි. වහලුන් නිදහස් කිරීමට මෙය යොදා ගැනුනු අතර, එකී සංශෝධනයට විශ්වීය අර්ථභාරයක් පවතී. මධ්‍යම ආන්ඩුවට හෝ ප‍්‍රාන්ත රාජ්‍යයන්ට, පුරවැසි භාවය මෙන්ම, මේ මගින් පැවරූ කිසිදු අයිතියක් සීමා කිරීමට හෝ අවලංගු කිරීමට අයිතියක් නොමැත

.

අටවන සංශෝධනයෙන් පනවන ලද, කුරිරු සහ අසාමාන්‍ය දඬුවම් තහනම් කෙරෙන නියෝගය, විජාතීයකරනය (පුරවැසිභාවය අහෝසි කිරීම) මගින් උල්ලංඝනය කෙරෙන බව, අගවිනිසුරු අර්ල් වොරන් ගේ ලිඛිත තීන්දුවක් ලෙසින් 1958 දී ශ්‍රේෂ්ඨාධිකරනය ප‍්‍රකාශයට පත් කලේය. “ශාරීරික අපයෝජනයන් සහ කුරිරු වදහිංසාවන් මෙම දඬුවම තුල නොතිබිය හැක..... ඒ වෙනුවට, සංවිධිත සමාජයක් තුල පුද්ගලයෙකුගේ සමාජමය තත්ත්වයේ පූර්න විනාශයක් එහි ගැබ්ව පවතී. සංවර්ධනය තුල සියවස් ගනනක් පැවත ආ, පුද්ගලයෙකුගේ දේශපාලන පැවැත්ම විනාශ කිරීමේ ලා, එය වධබන්ධනයන්ටත් වඩා බොහෝ ප‍්‍රාථමික (ආදිකාලීන) දන්ඩන ආකෘතියකි.”

අපරාධය ට -මේ සිද්ධියේදී නම් කථා කිරීමේ නිදහස භාවිතා කිරීමට- දඬුවම විය යුත්තේ පුරවැසිභාවය අහෝසි කිරීම බවට කෙරෙන යෝජනාව වනාහි සියලුම ව්‍යවස්ථාමය ආවරනයන් අතුගාදැමීමට කෙරෙන යෝජනාවකි. එය අත්තනෝමතික විධායක බලයේ ප‍්‍රකාශයකි. එමෙන්ම එය, වධහිංසනයන් යලි ඇරැඹීම, මුස්ලිම් වැසියන් සඳහා නාම ලේඛන සැකැසීම, රට තුල ඔත්තු බැලීම් සම්බන්ධව ඇති සියලු සීමා කිරීම් සහ විධිවිධාන ඉවත් කිරීම ආදී වශයෙන් ට‍්‍රම්ප්ගෙන් ඉදිරිපත්වන ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී යෝජනාවන් සමග පෙලගැසී ඇත.

ව්‍යවස්ථාමය මූලධර්ම විවෘතවම අවමානයට ලක් කිරීම යන කරුන මත, ඩිමොක‍්‍රටික් පක්ෂයේ කොටස් සහ එහි මාධ්‍ය ප‍්‍රකාශකයන් විසින්, ධජය පිලිස්සීම පිලිබඳ ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශය විවේචනය කොට ඇත. මෙලෙස යම් නිශ්චිත ප‍්‍රමානයක අප‍්‍රසාදයක් පල කෙරුන ද ඔවුන් අතිමූලික ප‍්‍රශ්නය නොතකා හරී. එනම්, ලඟදීම එක්සත් ජනපදයේ ජනාධිපති වීමට නියමිත මිනිසෙකුගෙන් එබඳු ප‍්‍රකාශයක් නිකුත්වීම මගින් පිලිබිඹු වන්නේ, පුද්ගලයෙකුගේ අධිකාරිවාදී චරිත ලක්ෂනයන් පමනක් නොව එක්සත් ජනපදයේ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දුර දිග යන පරිහානිය යන්නයි.

ට‍්‍රම්ප් ව්‍යවස්ථාව සුරැකීමට සහතික වන විට, “ඔහු කථාකරමින් සිටින්නේ කුමක්ද යන්න පිලිබඳව ඔහුම දන්නේදැයි සැක සිතීමට ජනතාව වන අපට හොඳ හේතු ඇතැ”යි සන්ඩේ ටයිම්ස් පුවත්පත තම බදදා කතුවැකියේ ලිවීය. “ඔහු ට්විටර් පනිවිඩ ලියයි, ඔහු ඒවා පලකරයි, ඔහු බෙරිහන් දෙයි. ඔහු ගෝලීය වේදිකාවකට නියෝග දෙන අතර ඉක්මනින්ම ඇමරිකාවේ සේනාධිනායකයා වනු ඇත. නමුත්, මෙය කිව යුතුය. නැවත නැවතත් කිව යුතුය. මෙය සාමාන්‍යය නොවේ. එය ජනාධිපතිධුරයට අවමන් කරයි.”

ට‍්‍රම්ප්ගේ ජනාධිපතිත්වය තුල නව සහ අන්තරායකාරී යමක් පැවතියද, ඔහු ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ශුද්ධ භූමිය තුලට අහම්බෙන් කඩා වැදුනු කෙනෙකු ලෙස ඉදිරිපත් කිරීම දේශපාලන ප‍්‍රබන්ධයකි. ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් කෙරේ වූ ට‍්‍රම්ප්ගේ ආකල්පය, ඩිමොක‍්‍රටිකයන් සහ රිපබ්ලිකානුවන් යන දෙපිරිසේම සහාය මත දශක කීපයක් පුරා ඇමරිකානු පාලක පන්තිය තුල වර්ධනය කෙරුනු අධිකාරී ප‍්‍රවනතාවයක අඛන්ඩත්වයක් මෙන්ම දිගුවකි.

ධජය ගිනි තැබීම නම් වූ සුවිශේෂී ප‍්‍රශ්නය මත,“ඇමරිකානු ධජයේ පාරිශුද්ධත්වය කෙලෙසීම තහනම් කිරීමේ” නීතියක් - එනම් පලමු ව්‍යවස්ථා සංශෝධනය සමග ගැටුමීකාරී වන නීතියක් - සම්මත කර ගැනීමට කොන්ග‍්‍රසයට බලය පවරන යෝජනාවක් රිපබ්ලිකානුවන් විසින් 1956 දී ගෙන ආ විට ඩිමොක‍්‍රටික් සෙනෙට් සභිකයන් 44 න් 14 ක් එයට සහාය දුන්හ. සෙනෙට් සභාවේ තුනෙන් දෙකක සුපිරි බහුතරය ලබා ගැනීමට එක් ඡන්දයක් අඩු වීමෙන් එය පරාජයට පත් විය.

එවකට සෙනෙට් සභිකාවක වූ හිලරි ක්ලින්ටන් එම සංශෝධනයට විරුද්ධ වූ නමුදු, යමෙකු ධජයට ගිනි තබන්නේ ප‍්‍රචන්ඩත්වය ඇති කිරීම හෝ, ඒ සඳහා කුපිත කිරීම හෝ, සාමය කඩ කිරීම හෝ, කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල කන්ඩායමකට ජාත්‍යන්තර වශයෙන් තර්ජනය කිරීම හෝ, බියවැද්දීම හෝ, අරමුනු කර ගනිමින් නම්, එය සාපරාධී කි‍්‍රයාවක් බවට පත් කෙරෙන, කිසිදා ඡන්ද විමසීමකට ලක් නොවූ නීතියකට සමඅනුග‍්‍රහය දැක් වූවාය. ඕනෑම දෙයක් ආවරනය වන පරිදි එම නීතියේ භාෂාව ඇති තරම් පුලුල් විය. මේ සාපරාධී කි‍්‍රයාව සදහා ඇය සහ අනෙකුත් ඩිමොක‍්‍රටිකයන් යෝජනා කල දන්ඩනය වූයේ වසරක සිර බන්ධනයයිි. ධජය එක්සත් ජනපදයට අයත් වන්නේ නම්, ඕනෑම තත්ත්වයක් යටතේ වුව ධජය පිලිස්සීම අවුරුදු දෙකක් දක්වා සිරභාරයේ රඳවා ගැනීමේ දඬුවමක් වනු ඇත.

පසුගිය වසර පහලොව තුල, වැදගත් ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් සියල්ල ක‍්‍රමානුකූලව සහ සිතාමතාම වලලා දැමීමට, විනාශ කිරීමට සහ ප‍්‍රතික්ෂේප කිරීමට, බුෂ් සහ ඔබාමා පරිපාලනයන් විසින්,“ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” භාවිතා කොට ඇත.

“ත‍්‍රස්තවාදියෙකු” විය හැකි බවට හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යැයි ඔහු අදහස් කරන ඕනෑම ඇමරිකානු පුරවැසියෙකු සමාන්‍ය කාර්ය පටිපාටියෙන් බැහැරව ඝාතනය කිරීම සඳහා එක්සත් ජනපදයේ ජනාධිපතිට අධිකාරය තිබේ යන මූලධර්මය ස්ථාපිත කලේ ව්‍යවස්ථාමය නීති පිලිබඳ මහාචාර්ය ඔබාමාය. නීතිපති එරික් හෝල්ඩර් විසින් ප‍්‍රකාශ කලේ එම බලය භාවිතා කල හැක්කේ ඇමරිකානු භූමිය තුල බවයි. ඔහුගේ පරිපාලනය ඩ්‍රෝන් යානා මගින් ලොව පුරා සිදුකල බෝම්බ හෙලීම් හරහා දවා අලු කෙරුනු දහස් ගනන් පුද්ගලයන් සමග, අඩුතරමින් එක්සත් ජනපද පුරවැසියන් තුන් දෙනෙකු හෝ ඝාතනය කිරීමට මේ බලය යොදාගෙන ඇත.

ජාතික ආරක්ෂක ඒජන්සිය මගින් සිදු කෙරෙන නීති විරෝධී ඔත්තු බැලීම් ඔබාමා විසින් ආරක්ෂා කොට ඇති අතර ඇතැම් අයුරින් විස්තාරනය ද කොට ඇත. ඔහු තවමත් රුසියාව තුල පිටුවහල්ව සිටින එඩ්වඩ් ස්නෝඩන්, ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලය තුල සිරවී සිටින ජූලියන් අසාන්ජ් සහ කැන්සාස් හි ලීවන්වර්ත් වරායේ ඉහලම ආරක්ෂාවන් සහිත බන්ධනාගාරයක් තුල වසර 35 ක කුරිරු දඬුවමක් අත්විදිමින් සිටින හෙයින් එක් අවස්ථාවකට වඩා සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කල චෙල්සී මෑනින්ග් ඇතුලු ආන්ඩුවේ අපරාධ හෙලිකොට ඇති මාධ්‍යවේදීන් සහ රහස් හෙලි කරන්නන් වධ බන්ධනයට ලක් කොට ඇත.

බුෂ් පරිපාලනයේ වධකයින් වරදකරුවන් කිරීමට හෝ නීතිවිරෝධී ලෙස රටතුල ඔත්තු බැලීම අභියෝගයට ලක්කිරීමට හෝ අධිකරනය යොදා ගැනීමට දැරූ සෑම උත්සාහයක්ම පාහේ වැලැක්වීමට ඔබාමා විසින් විධායක බලය සහ “රාජ්‍ය රහස්” ධර්මතාවය භාවිතා කොට ඇත.

ට‍්‍රම්ප් විසින් නායකත්වය දෙන ආන්ඩුවක් සමග, මිලිටරි පොලිස් ප‍්‍රචන්ඩත්වය සහ පාලනයේ ආඥාදායක ක‍්‍රමවේදයන් වඩාත් විවෘතවම ආධිපත්‍යය දරන අලුත් ආකාරයේ තන්ත‍්‍රයක් එක්සත් ජනපදය තුල බලය ගනු ඇත. ඔබාමා, ට‍්‍රම්ප්ට සියලු අතින් සාර්ථකත්වයට පත්වීමට සුභපැතුම් යොමු කරන අතර ඩිමොක‍්‍රටිකයන් ඉදිරි පරිපාලනය සමග එක්ව කටයුතු කිරීමට සහතික වන හෙයින්, ට‍්‍රම්ප් ඔහුගේ කැබිනට් මන්ඩලය, ඔහු මෙන්ම ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් දැඩිසේ හෑල්ලුවට ලක්කොට ඇති පුද්ගලයන්ගෙන් පුරවමින් සිටී.

මෙම ආන්ඩුව පැන නගින්නේ සහ එයින් ප‍්‍රකාශයට පත් වන්නේ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂනයන් පුපුරුවා හරිමින් පවත්නා ඇමරිකානු සමාජයේ සමාජ පරස්පර විරෝධතාවයන් ය. සමාජ අසමානතාවයේ ආන්තික වර්ධනයට ඇමරිකානු පාලක පන්තියේ ප‍්‍රතිචාරය එයයි. ධජය පිලිස්සීම වෙනුවෙන් මිනිසුන් බන්ධනාගාර ගත කිරීමට පාලක පන්තිය සූදානම් වන්නේ නම්, යුද්ධයට, පොලිස් ප‍්‍රචන්ඩත්වයට සහ සෞඛ්‍ය සේවය විනාශ කිරීම ට එරෙහි මහජන විරෝධතාවන් සම්බන්ධයෙන් එය කුමක් කරනු ඇද්ද?

පාලක පන්තියේ කිසිදු පාර්ශ්වයකට හෝ එහි දේශපාලන නියෝජිතයන්ට ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ගේ ආරක්ෂාව සහතික කල නොහැක. එය රඳා පවතිනුයේ දේශපාලන සංස්ථාපිතයට සහ එය විසින් ආරක්ෂා කරන ධනේශ්වර පද්ධතියට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක වර්ධනය මතය.

ජෝසෆ් කිෂෝර්

Share this article: