අසමානතා එක්සත් ජනපදය

The United States of Inequality

2016 දෙසැම්බර් 20

මේ මස මුල ගෝලීය අසමානතාව පිලිබඳ ප‍්‍රමුඛ පෙලේ විශේෂඥයන් වන ආර්ථික විද්‍යාඥ තෝමස් පිකටි, ඉමෑනුවෙල් සයස් සහ ගබ්රියෙල් සුක්මන් 1946 සිට 2016 දක්වා එක්සත් ජනපදය තුල ආදායම් අසමානතාවේ වර්ධනය පිලිබඳ පුරෝගාමී අධ්‍යයනයක් එලිදැක්වූහ.

මෙම ආර්ථික විද්‍යාඥයින් මීට පෙර සිදු කල අධ්‍යයනයන් තුලින්, වැඩිම අසමානතාවෙන් යුත් සංවර්ධිත රට වන එක්සත් ජනපදයෙහි අසමානතාව ලේඛනගත කිරීමෙහිලා සැලකිය යුතු පියවර ගෙන ඇති අතර බදු අයකිරීම, මෙඩිකෙයාර් හා මෙඩිකේඩ් බඳු සමාජ සෞඛ්‍ය වැඩසටහන් හා ප‍්‍රාග්ධන ලාභයෙන් ලැබෙන ආදායම යනාදියෙහි බලපෑම ද ඇතුලත් “ජාතික ආදායමෙන් සියයට 100ක් හසු කරගන්නා” බව සඳහන් වන පලමු සමීක්ෂනය මෙය යි.

ප‍්‍රතිඵලය, මීට පෙර සියලු ප‍්‍රයත්නයන්ට වඩා එක්සත් ජනපදය තුල සමාජ අසමානතාව පිලිබඳ පරිපූර්න චිත‍්‍රයකි. නූතන ඉතිහාසයේ පසුගිය දසක හතර තිස්සේ, පහල සිට ඉහලට ආදායමේ වේගවත්ම යලි බෙදාහැරීම සිදුව තිබෙන බව අනාවරනය කරන එහි නිගමන කම්පනකාරී ය.

එක්සත් ජනපද ජනගහනයේ පහල අර්ධයට ලැබුන, බදු ගෙවීමට පෙර ජාතික ආදායමේ පංගුව, 1980 සිට අඩකට ආසන්න ප‍්‍රමානයකින්, එනම් සියයට 20 සිට සියයට 12 දක්වා කැපී ගොස් ඇති අතර, මුදුනේ සියයට එකට අයත් පංගුව සියයට 12 සිට සියයට 20 දක්වා, දෙගුනයකට ආසන්න ප‍්‍රමානයකින් ඉහල ගොස් ඇති බව මෙම ආර්ථික විද්‍යාඥයින් සොයාගෙන තිබේ. “ජාතික ආදායමෙන් කොටස් 8ක් පතුලේ සියයට 50 වෙතින් මුදුනේ සියයට 1 අතට මාරුවී ගොස්, මේ කන්ඩායම් දෙකෙහි ආදායම් පංගු මූලික ව එකිනෙක අතර මාරු වී ඇතැ” යි කතුවරු සඳහන් කරති.

අධ්‍යයනය 1946 සිට 1980 දක්වාත් 1980 සිට වර්තමානය දක්වාත් කාලපරිච්ඡේද දෙක අතර තියුනු වෙනස් වීමක් ලේඛනගත කරයි. පලමු කාලපරිච්ඡේදය තුල, පතුලේ සිටින සියයට 50 ගේ බදු ගෙවීමට පෙර ආදායම සියයට 102 කින් ඉහල නගිමින් දෙගුනයකට වඩා වැඩි වූයේ, මුදුනේ සියයට 1 හි ආදායම සියයට 47 කින් පමනක් ඉහල නගින අතර ය. ඒ අවධිය තුල මුදුනේ සියයට 0.001 ආදායම සියයට 57 කින් ඉහල ගියේ ය.

කෙසේ වුව ද 1980 පටන්, පතුලේ සියයට 50ගේ ආදායම වසරකට (වර්තමාන වටිනාකමට අනුව) ඩොලර් 16,000 පමන මට්ටමේ එක තැන පල් වෙමින් පැවතියේ, මුදුනේ සියයට 1 සියයට 205කින් ද මුදුනේ සියයට 0.001 සියයට 636 කින් ද වර්ධනය වන අතරතුර ය.

විවිධ නය සඳහා බදු සහන හා සමාජ වැඩසටහන්වල බලපෑම සැලකිල්ලට ගැනීමෙන් අනතුරු ව ආර්ථික විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ, පහල අර්ධයෙහි ආදායම් උපයන්නන්ගේ ආදායම් 1980 ගනන්වල පටන් සියයට 21 කින් ඉහල නැග ඇති බව යි. කෙසේ වතුදු, මේ වැඩිවීම්වලින් කිසිවක් වැය කල හැකි ආදායමට එකතු වී නැති බව ඔවුහු සඳහන් කරති. ඒ වෙනුවට ඉහල ගිය මෙඩිකෙයාර් සෞඛ්‍ය ආරක්ෂන ගෙවීම්වල ප‍්‍රතිඵලය වශයෙන් එය මුලුමනින් ම වාගේ උරාගනු ලැබුනේ, අත්‍යවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂන සේවාවන් සඳහා කොල්ලකාරී ලෙස මිල නිර්නය කිරීමෙහි නිරත ඖෂධ නිෂ්පාදක දැවැන්තයින් හා රක්ෂන සමාගම් විසිනි.

විශේෂයෙන්ම 2000 වසරේ සිට ආදායම් අසමානතාව පුලුල් වීමට බලපෑ ප‍්‍රධාන සාධකය, “ප‍්‍රරාග්ධන ආදායමේ” එනම් කොටස් වෙලඳපොලේ වර්ධනය යි. කොටස් වෙලඳපොල බුබුල් පිම්බීම වනාහි, පාලක පන්තියත් එහි දේශපාලන නියෝජිතයිනුත් දැවැන්ත ධන සංක‍්‍රමනයක් ක්‍රියාවට දැමූ ප‍්‍රධානතම රූපාකාරයයි.

පිකටි, සයිස් සහ සුක්මන්ගේ වාර්තාවෙහි ඇතුලත් ඉලක්කම්, ඇමෙරිකානු ධනවාදයේ සහ එරට පන්ති සම්බන්ධතා ව්‍යූහයෙහි ඓතිහාසික පරිවර්තනයක් පිලිබිඹු කරයි. සමාජ අසමානතාවේ අතිමහත් වර්ධනය, ඇමෙරිකානු ධනවාදයෙහි ජරපත් වීම හා ලෝක ආර්ථිකය තුල එහි තත්වය පහල වැටීම සමග බැඳී තිබේ.

එක්සත් ජනපදය එහි මුල් කාලය තුල බටහිර ලෝකයෙහි වඩාත් සමානතාකාමී කලාපය වූ බව ඉතිහාසඥයින් බොහෝ විට සඳහන් කොට තිබේ. 19 වැනි සියවසේ අග භාගය තුල ඒකාධිකාරකරනයේ හා මුල්‍ය ප‍්‍රාග්ධනයේ නැගීම, ඇමෙරිකාව එක ධ‍්‍රැවයක “කොල්ලකාර වංශාධිපතීන්ගේ” ද කම්කරුවන් හා සංක‍්‍රමනිකයින්ගේ ද දේශයක් බවට පත් කලේ ය. ඔවුන්ගේ ජීවන තතු 1890 පල වුනු ජැකොබ් රීස්ගේ හව් දි අදර් හාෆ් ලිව්ස් (අනෙක් අර්ධය ජීවත් වන්නේ කෙසේ ද?) සහ 1906 දී ප‍්‍රකාශිත අප්ටන් සින්ක්ලෙයාර්ගේ ද ජංගල් (වනාන්තරය) වැනි කෘතිවලින් අනාවරනය කෙරේ.

එහෙත් මේ ක්‍රියාවලීන් සමග ම, බොහෝ සෙයින් සමාජවාදීන්ගේ ප‍්‍රයත්න ඔස්සේ, ඇමෙරිකානු කම්කරු පන්තිය වාර්ගික, ආගමික හා කලාපීය භේද ඉක්මවා සංවිධානය කිරීමට සටන් කල කම්කරු ව්‍යාපාරයේ නැගීම ද පැමිනියේ ය. 1917 රුසියානු විප්ලවය, කාර්මික සංගම් පිහිටුවීමට මග පෑදූ 1930 ගනන්වල සටන්කාමී කම්කරු ක්‍රියාකාරීත්වය ඇතුලු සිදුවීම් මෙම අරගලවලට නව ජවයක් ලබා දුනි.

ඇමෙරිකානු කම්කරුවන් බෝල්ෂෙවිකයන්ගේ ආදර්ශය අනුගමනය කරනු ඇතැයි භීතියට පත් ඇමෙරිකානු පාලක පන්තිය සතුව ලොව විශාලතම හා දියුනුතම කාර්මික ආර්ථිකයේ සම්පත් පැවති අතර, ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ගේ නිව් ඩීල් පිලිවෙත තුල ප‍්‍රකාශයට පත්, සමාජ ප‍්‍රතිසංස්කරන වැඩසටහනක් දියත් කලේ ය. එය සමාජ ආරක්ෂනය හඳුන්වා දී වෝල් වීදියේ දුෂ්ටතම අපයෝජනයන් මැඬලී ය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, අධිකාරවත් ගෝලීය බලය ලෙස එක්සත් ජනපදය ඉස්මතු වූයේ, ලෝක ආර්ථික නිෂ්පාදිතයෙන් සියයට 50 කට වඩා පාලනය කරමිනි. කෙසේ වුව ද 1960 ගනන් අවසානය වන විට, යුරෝපයේත් ආසියාවේත් ආර්ථිකයන් යලි ගොඩනැගෙද්දී ඇමෙරිකානු ධනවාදයේ ආර්ථික අධිකාරය පිරිහීමට පටන්ගති. ආර්ථික හා දේශපාලන අර්බුද මාලාවක්, 1970 ගනන්වල ආර්ථිකයේ එකතැන පල්වීම හා උද්ධමනයේ සංකලනයක් තුල කූටප‍්‍රාප්ත විය.

එක්සත් ජනපද පාලක පන්තිය මීට ප‍්‍රතිචාර දැක්වූයේ, පන්ති යුද්ධයේ, කාර්මිකහරනයේ හා මූල්‍යකරනයේ පිලිවෙතක් දියත් කරමිනි. ජනාධිපති ජිමී කාටර් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ ප‍්‍රධානියා ලෙස පෝල් වොල්කර් පත් කිරීමත් සමග එක්සත් ජනපද මහබැංකුව, රට කෘතිම අවපාතයකට ඇද දැමී ය. 1981 බලයට පැමිනීමෙන් පසු රොනල්ඩ් රීගන්, පැට්කෝ ගුවන් ගමන් පාලකයින්ගේ වර්ජනය තලා දැමූ අතර වර්ජකයින් දොට්ට දැමීමෙන් ද අසාධු ලේඛනගත කරමින් ද පරිපූර්න සමාජ ප‍්‍රතිවිප්ලවයක් දියත් කලේ ය. ලොව වටා පාලක පන්තීන් විසින් මේ හා සමාන පිලිවෙත් ක්‍රියාවට දමන ලදි.

වෘත්තීය සංගම්, 1980 ගනන් පුරා ම කම්කරු පන්තිය ප‍්‍රතිරෝධය පෑමට දැරූ සෑම ප‍්‍රයත්නයක් ම හුදෙකලා කොට පාවා දෙමින් ද සමාගම් පරිපාලනය හා රාජ්‍යය සමග ඒකාබද්ධ වෙමින් ද මේ ප‍්‍රහාරයට රුකුල් දීමෙහි ලා තීරනාත්මක ක්‍රියාකලාපයක් ඉටු කලෝ ය. දසකයේ අවසානය වන විට වෘත්තීය සංගම්, සියලු ප‍්‍රායෝගික කාර්යයන් සඳහා සමාගම් හා ආන්ඩුවේ මෙවලම් බවට තෙමේම පරිවර්තනය වූහ. ඒවායේ අධිකාරය ඉසිලූ නිලධාරී පැලැන්තිය, සිය මුලු ශක්තිය ම යෙදුවේ කම්කරු පන්තියේ අරගල යටපත් කර කඩාකප්පල් කරනු පිනිස ය.

ඩිමොක‍්‍රටික වේවා රිපබ්ලිකානු වේවා ඉන් පසු පැමිනි සෑම පරිපාලනයක් ම, එක පිට වට කිහිපයකින් සිදු කල මූල්‍ය නියාමනහරනය, සමාගම් හා ඉහල ආදායම් උපයන්නන් මත පැනවුනු නැවත නැවතත් බදු පහත දැමීම, සමාජ වැඩපිලිවෙලවල් කප්පාදු කිරීම හා සේවා ස්ථානවල ආරක්ෂනයන් අහෝසි කිරීම ඇතුලු සමාජ අසමානතාව වර්ධනය කරන පිලිවෙත් එක සේ ක්‍රියාත්මක කොට තිබේ.

2008 මුල්‍ය අර්බුදයෙන් පසු ඔබාමා පරිපාලනය, මේ ක්‍රියාවලීන් උත්සන්න කලේ ය. ධවල මන්දිරය, බුෂ් පරිපාලනය යටතේ ආරම්භ කෙරුනු ඇප දී බැංකු බේරාගැනීම නොකඩවා සිදු කල අතර, 2009 මෝටර් වාහන නිෂ්පාදන ප‍්‍රතිව්‍යූහකරනයේ දී මෙන් වැටුප් කප්පාදු කිරීම සඳහා වැඩ කරන අතරවාරයේ, ෆෙඩරල් රිසර්ව් බැංකුවේ “ප‍්‍රමානාත්මක ලිහිල්කරනය” ඔස්සේ ඩොලර් ට්‍රිලියන් ගනනින් වෝල් වීදියට පොම්ප කිරීම සඳහා උපකාර කලේ ය.

අලුත් ජනාධිපති ඩොනඩ් ට‍්‍රම්ප්ගේ එලඹෙන පරිපාලනය යටතේ, කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරය තියුනු අන්දමින් උත්සන්න වනු ඇත. ට‍්‍රම්ප්ගේ පත් වීම අලුත් යමක් නියෝජනය කරයි. ඔහු සිය කැබිනට්ටුවට බිලියනපතියන්, අන්ත දක්ෂිනාංශික, ව්‍යාපාර හිතවාදී දෘෂ්ටිවාදීන් හා ජනරාල්වරුන් පත් කරගෙන සිටින අතර ඔවුන් සියලු දෙනා කම්කරු පන්තිය දරිද්‍රතාවට ඇද දැමීම හා මහජන විරෝධය පෙර නො වූ විරූ අන්දමින් මර්දනය කිරීම ස

ඳහා කැප වී සිටිති.

එහෙත් ට‍්‍රම්ප් ඔහේ පාත් වුනා නො වේ. ඔහු කිසියම් ආකාරයක අපගමනයක් ද (රීතියෙන් බැහැර යාමක් ද) නො වේ. ඒ වෙනුවට ඔහු වනාහි, ඇමෙරිකානු ධනවාදයේ ජරපත් වීමෙහි ද සමාජ අසමානතාව පෙර නො වූ විරූ මට්ටම්වලට නැගීමෙහි ද ඇමෙරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි කඩා වැටීමෙහි ද විනාශකාරී කූටප‍්‍රාප්තිය යි.

මෙම ක්‍රියාවලීන් ම සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික පදනම් නිර්මානය කොට තිබේ. 1990 ගනන්වල මැද, එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගය සහ ලොව අනෙක් තැන්වල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා, සමාජවාදී සමානතා පක්ෂය යන නම යොදාගනිමින්, ලීග (සංගම්) වල සිට පක්ෂ බවට පරිවර්තනය වීම ආරම්භ කරද්දී අපි “පෙර නො වූ විරූ සමෘද්ධියක් භුක්ති විඳින ජනගහනයේ කුඩා ප‍්‍රතිශතයක් සහ විවිධ ස්වරූපයේ ආර්ථික අස්ථාවරත්වයන් හා පීඩාවන් තුල ජීවත් වන පුලුල් වැඩ කරන ජනකාය අතර වර්ධනය වෙමින් පවතින පරතරයෙහි” අපරිමිත විප්ලවකාරී අර්ථභාරය හඳුනාගත්තෙමු.

පසුගිය දසක දෙක මේ පෙර දැක්ම සනාථ කොට තිබේ. සමාජ අසමානතාවට එරෙහි සටනට, විප්ලවවාදී වැඩපිලිවලක පදනම මත කම්කරු පන්තියේ අරගල සංවිධානය කිරීම හා එක්සත් කිරීම සඳහා, සසප තුල මූර්තිමත් වන නව දේශපාලන නායකත්වයක් ගොඩනැගීම අවශ්‍ය කෙරේ. ධනේශ්වර ලාභ පද්ධතිය සමානතාව, ජාත්‍යන්තර සැලසුම්කරනය හා නිෂ්පාදනයෙහි ප‍්‍රජාතන්ත‍්‍ර පාලනය මත පදනම් වූ සමාජයක් මගින් - එනම් සමාජවාදය මගින් - විස්ථාපනය කල යුතු ම ය.

ඇන්ඩ්‍රේ ඩේමන්

Share this article: