තැපැල් සේවකයන් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2016 දෙසැම්බර් 20

මූලික ඉල්ලීම් හතක් මත සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයෝ පැය 48 ක දීපව්‍යාප්ත වර්ජනයක නිරතව සිටිති. සියලු ශ්‍රේනිවලට අදාල බඳවා ගැනීම් පාටිපාටිය සංශෝධනය කර ක්‍රියාත්මක කිරීම, සියලු උසස්වීම් සහ පුරප්පාඩු වහාම පිරවීම, සියලු ශ්‍රේනි සම්බන්ධ වැටුප් විෂමතා ඉවත් කිරීම, වර්තමානයට ගැලපෙන ලෙස තැපැල් සේවක දීමනා සංශෝධනය කිරීම, දෙපාර්තමේන්තු සේවා සැපයීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීම ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇතුලත්වේ.

වර්ජනය කඩාකප්පල් කිරීමේ පියවරක් ලෙස ආන්ඩුවේ නිවාඩු අවලංගු කිරීම නොතකා උතුරු නැගෙනහිර පලාත්වල දෙමල කතාකරන තැපැල් සේවකයන් ඇතුලුව 21,000 අධික තැපැල් සේවකයෝ වර්ජනයට සම්බන්ධ වී සිටිති. එහි ප‍්‍රතිපලයක් ලෙස දිවයින පුරාම තැපැල් සේවාව මුලුමනින් ම ඇනහිට ඇත.

වර්ජනයට තැපැල් සේවකයන්ගේ පුලුල් සහභාගිත්වය සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා පවතින දැඩි උවමනාව හා සටන්කාමිත්වයේ ප‍්‍රකාශනයකි. එහෙත් එය පමනක් ම ප‍්‍රමානවත් නොවේ. අරගලය ශක්තිමත්ව සංවිධානය කර ගැනීමට හැකිවන්නේ මෙම ඉල්ලීම් සඳහා මෙතෙක් කරන ලද අරගලයේ ශේෂ පත‍්‍රයක් පිලියෙල කර ගැනීම හා අරගලය තුල මුහුන දෙන තීරනාත්මක දේශපාලන හා ක්‍රියාමාර්ගික ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමුකරමින් ඊට උචිත ක්‍රියාමාර්ගයක් මත අරගලය සංවිධානය කර ගැනීම මගින් පමනි.

වර්ජනය කැඳවුම් කොට ඇත්තේ තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන විසිනි. ඒකාබද්ධ සමිති පෙරමුන යනු තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා විදුලි පනිවුඩ සේවක සංගමය, ජාතික තැපැල් හා විදුලි පනිවුඩ සේවක සංගමය, තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, ලංකා තැපැල් සේවක සංගමය ඇතුලු සමිති 28 ක එකතුවකි.

තැපැල් සමිති පෙරමුන මෙම ඉල්ලීම් මත පසුගිය වසරේ නොවැම්බර් හා මේ වසරේ ජුනි මාසයේ විරෝධතා උද්ඝෝෂන දෙකක් කැඳවූහ. ඒවා අවසන් වූයේ ආන්ඩුවේ පොරොන්දු වලට යට කොට අරගලය විසිරුවා හැරීමෙනි. අතිකාල ප‍්‍රසාද දීමනා ගෙවීම හැර වෙනත් කිසිදු ඉල්ලීමක් මෙතෙක් ලැබී නැත. එය ද යලි කපා නොහැරීම ගැන සහතිකයක් නැත.

සමිති නායකයන්ට යලි වතාවක් වර්ජනයක් කැඳවීමට බල කෙරී ඇත්තේ සිය ඉල්ලීම් නොලැබීම නිසා තැපැල් සේවකයන් අතර පැසවන කෝපය හා නොසන්සුන්කම නිසාවෙනි. වර්ජනය කැඳවුම් කරමින් නිකුත් කර ඇති පත්‍රිකාවක ආන්ඩුව පොරොන්දු ඉටු නොකිරීම නිසා “තැපැල් සේවකයන්ගේ විශ්වාසය බිඳවැටී ඇති අතර ඒ තුල සමස්ත සේවක මන්ඩලය දැඩි කලකිරීමකට සහ මානසික පීඩනයකට ලක්ව ඇත. තත්වය එසේ හෙයින් නැවත වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට ඇතුලු වීමට තීන්දු කලෙමු” යැයි සමිති නිලධරය කියා ඇත. සමිති නායකයන් තැත් කරන්නේ තැපැල් සේවකයන් අතර ආන්ඩුව කෙරෙහි වැඩෙන කෝපය හා නොසතුට පැය 48 සංකේත වර්ජනයකට කොටු කර යලි වතාවක් අරගලය දිය කර හැරීමට ය.

තැපැල් සේවකයන්ගේ රැකියා, වැටුප් හා සේවා කොන්දේසි වලට එල්ල කෙරෙන ප‍්‍රහාර ධනපති ආන්ඩුවේ ආර්ථික හා දේශපාලන පිලිවෙත් වල කොටසක් බව දැනුවත්වම සඟවන සමිති නායකයන් ආන්ඩුවට බලපෑම් දැමීම මගින් අයිතීන් දිනා ගත හැකියැයි බරපතල මිථ්‍යාවකට තැපැල් සේවකයෝ කොටු කර ඇත.

රැකියා, වැටුප් හා සේවා කොන්දේසි පිලිබඳ තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් සාධාරන හා දිනා ගත යුතු ඉල්ලීම්ය. ඒ සඳහා සටන් කලයුතු ය. එහෙත් ඔවුන්ගේ රැකියා, වැටුප් හා සේවා කොන්දේසිවලට එල්ල කෙරී ඇති ප‍්‍රහාරයන් ධනපති ආන්ඩුවේ ආර්ථික කප්පාදු පිලිවෙතේ කොටසකි.

පුද්ගලීකරන සැලසුම් යටතේ තැපැල් දෙපාර්තමේන්තුව දිය කර හැරීම ආරම්භ කෙරුනේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරනතුංගගේ ආන්ඩුව යටතේ 1997 තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව දෙකඩ කිරීමෙනි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව යටතේ එම ක්‍රියාවලිය පෙරට ගෙන ගියේය.

ලිපි හා පාර්සල් බෙදා හැරීම සඳහා පුද්ගලික සමාගම් හා ආයතනවලට බලපත‍්‍ර නිකුත් කිරීම, පුද්ගලික ඒජන්සි තැපැල් කාර්යාල පිහිටුවීමට අවසරදීම, සමහර ප‍්‍රධාන තැපැල් කාර්යාල උප කාර්යාල බවට පරිවර්තනය කිරීම ඇතුලුව තැපැල් සේවාව පුද්ගලීකරනය කිරීම හා තැපැල් ශ‍්‍රම බලකාය කප්පාදු කිරීම එකී පුද්ගලීකරන ක්‍රියාවලියේ ප‍්‍රතිවිපාකයන් ය.

මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව යටතේ අනෙක් රාජ්‍ය ආයතන මෙන් ම තැපැල් දෙපාර්තමේන්තුව ද ප‍්‍රතිව්‍යූහගත කිරීම වඩා කඩිනම් කෙරෙනු ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව දීමට එකඟ වී ඇති, පිලිවෙලින් ඩොලර් මිලියන 1500 හා 1340 ආන්ඩුවට ලැබෙන්නේ ඒ අනුවය තැපැල් කම්කරුවන් මුහුන දෙන සැබෑ අන්තරාය එයයි. එහෙත් සමිති නායකයෝ එය වසන් කර හුදෙක් පාර්ශ්වීය ඉල්ලීම් කිහිපයක් මත විරෝධතා උද්ඝෝෂනවලට තැපැල් සේවකයන් කොටු කරමින් මූලික අන්තරාය යට ගසති.

වඩ වඩා ගැඹුරු වන ලෝක ආර්ථික අර්බුදයේ වාසුලිය තුලට ශ්‍රී ලංකාව වේගයෙන් ඇදගන්නා තතු තුල සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව යෙදී ගෙන සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රාග්ධනයේ ව්‍යූහයට හා අධිරාජ්‍යවාදී තුන්වන ලෝක යුද්ධයක සැලසුම් වලට ශ්‍රී ලංකාව පෙල ගැස්වීමක ය.

එහෙයින් ආන්ඩුවට බලපෑම් දැමීම මගින් තැපැල් සේවකයන්ට හෝ කම්කරු පන්තියේ කවර හෝ කොටසකට සිය රැකියා, වැටුප් හා සේවා කොන්දේසි දිනා ගත නොහැකිය. අයවැය මගින් යෝජිත රාජ්‍ය සේවක දීමනා වැඩිකිරීමේ කොටසක් ලෙස තැපැල් සේවකයන්ගේ දීමනා වැඩි කිරීම නිසා 2014 සහ 2015 පිලිවෙලින් රුපියල් මිලියන 2,859 සහ 2,984 ක අලාභයක් දෙපාර්තමේන්තුවට සිදු වූ බව ආන්ඩුව කියයි. අතිකාල කප්පාදුව, වැඩ වේගවත් කිරීම ඇතලු ක‍්‍රමවේදයන් වඩ වඩා තීව‍්‍ර කිරීම මගින් ආන්ඩුව උත්සාහ කරන්නේ එම අලාභයන් සේවකයන් මතට ම පැටවීමට ය. ඒවා සාමකාමීව පැටවීමට නොහැකි බව ද ආන්ඩුව දනී.

පසුගිය සතියේ සිය රැකියා රැකගැනීමේ අරගලයක යෙදුන හම්බන්තොට මාගම්පුර වරාය සේවකයන් සම්බන්ධයෙන් ආන්ඩුව කටයුතු කල ආකාරයෙන් පැහැදිලිය. පොලීසිය සහ නාවික හමුදාව යොදවා වර්ජනය කඩාකප්පල් කල ආන්ඩුව දැන් එම කම්කරුවන්ට විරුද්ධව දුෂ්ට දඩයමක් දියත් කර ඇත.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය 30 අවුරුදු යුද්ධය තුල වර්ධනය කල පොලිස් රාජ්‍ය සැලසුම් වඩ වඩා ශක්තිමත් කරමින් හා නව මර්දන නීති ගෙන ඒම මගින් වැඩකරන ජනයාගේ අරගල තලා දමන ආඥාදායක පොලිස් රාජ්‍යයක් කරාය සිරිසේන. වික‍්‍රමසිංහ ඇතුලු ධනපති පාලක පන්තිය යොමුවී සිටින්නේ.

සිය අයිතීන් දිනා ගැනීම පිනිස අරගලයට එලඹ සිටින තැපැල් සේවකයන් හා ආන්ඩුවේ ආර්ථික පිලිවෙත්වලට විරුද්ධ වන හා තම රැකියා හා සේවා කොන්දේසි ආරක්ෂාකර ගැනීමට සටන් කරන සමස්ත කම්කරු පන්තිය මුහුන දෙන තීරානාත්මක දේශපාලන ප‍්‍රශ්න එබඳුය.

පාර්ශවීය ඉල්ලීම් වලට තැපැල් සේවක අරගලය කොටු කර මෙම තීරනාත්මක ප‍්‍රශ්න සම්බන්ධයෙන් දැනුවත් දේශපාලන අරගලයක් තැපැල් සේවකයන් අතරින් ඉස්මතුවීම වලකා ලීමට තැපැල් සමිති නායකයෝ හැම වෙහෙසක් ම ගනිති. යලි වතාවක් උද්ඝෝෂනය පැය 48 සංකේත වර්ජනයකට සීමා කිරීම හා ජනාධිපතිට සන්දේශයක් භාර දීමෙන් ඉල්ලීම් දිනා ගත හැකිය යන මිථ්‍යාවකට තැපැල් සේවකයන් ගේ අරගලය හිර කිරීමේ තේරුම එයයි.

තැපැල් සමිති මෙන් ම සමස්තයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ ධනපති පාලක පන්තියේ හා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ උපකරන ලෙස මිස කම්කරුවන්ගේ අවශ්‍යතාවයන් නියෝජනය කරන සංවිධාන ලෙස නොවේ. “පක්ෂ බේදයෙන් තොර පොදු අරගලයක්” යන සූත‍්‍රයට යටත් කර සමිති නිලධරය විසින් යට ගසන්නේ මෙම තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්නය.

තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය ඇතුලු සමිති බහුතරයක් කලින් පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට පන්දම් ඇල්ලූහ. ජාතික තැපැල් සේවක සංගමය දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයට (එජාප) හා වර්තමාන ආන්ඩුවට ඍජුව සම්බන්ධ සමිතියකි. ස්වාධීන යයි කියා ගන්නා සමස්ත ලංකා උප තැපැල් සේවක සංගමය හා තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ඊනියා සාධාරන සමාජයක් සඳහා ව්‍යාපාරයේ පාර්ශවකරුවන් වන අතර සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට දර දිය ඇද්දාහ.

ආන්ඩුවේ බොරු පොරොන්දුවලට යට කර තම අරගලය ගබ්සා කිරීමට තැපැල් සේවකයෝ සමිති නායකයන්ට ඉඩ නොදිය යුත්තාහ. මෙම සංවිධානවලට විරුද්ධව සිය අයිතීන් සඳහා සටන් කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තෝරාපත් කර ගත් හා වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම ස්වාධීන වූ තමන්ගේම ක්‍රියාකාරී කමිටු තැපැල් කම්කරුවන් විසින් ගොඩ නගා ගත යුතු ය. ඒ හරහා ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් මගින් ප‍්‍රහාරයට ගොදුරුවී සිටින සමස්ත කම්කරු පන්තිය ඒකාබද්ධ කර ගැනීමට තැපැල් කම්කරුවන් යොමුවීම අවශ්‍ය වේ.

තැපැල් සේවකයන්ට මෙන් ම අවසේස වැඩකරන ජනයාට තම අයිතීන් දිනා ගත හැක්කේ සැලසුම්ගත සමාජාවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් යටතේ පමනි. ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගැන්වීම සඳහා සටන් කරන්නේ සසප පමනි. සසපට බැඳී එය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට ඒකාබද්ධ වන ලෙස අපි තැපැල් සේවකයන් හා අවශේෂ කම්කරුවන්ගෙන් ද තරුනයන්ගෙන් ද ඉල්ලා සිටිමු.

Share this article: