කොටස් වෙලඳපොලේ තැතිගැන්ම නව මූල්‍ය අර්බුදයක අවදානම් මතු කරයි

Stock market panic risks new financial crisis

ඇන්ඩ්‍රි ඩෙමොන් විසිනි, 2016 පෙබරවාරි 12

ගෝලීය කොටස් වෙලඳපොලවල් 10දා, නිල වශයෙන්ම බෙයා මාර්කට් තත්වයට පහත වැටුනේ, පසුගිය මැයි මාසයේ පැවති ඉහල මට්ටමේ සිට සියයට 20ක් පහත වැටී ඇති, ලෝකයේ සියලු රටවල කොටස් දර්ශකය වන එම්එස්සීඅයි, සියයට 1.3න් පහත වැටීමත් සමඟය. 11දා ආසියාවේ වෙලඳපොලවල් තව තවත් අලාභ විඳීමත් සමඟ ජර්මනියේ ඩැක්ස් දර්ශකය සියයට 5න් පමන ද ස්පාඤ්ඤ අයිබීඊඑක්ස් ඒ හා සමාන අයුරින් ද ඇමරිකාවේ ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 250න් ද පහත ගියේය.

ජපානයේ නිකේ දර්ශකය ආරම්භක සීනු හඬත් සමඟ සියයට 5ත් වැඩි අගයකින් පහත වැටීමත් සමඟ 12දා මුල් අදියර වලදී කොටස් අලෙවිය වේගවත් විය.

ගෝලීය ආර්ථිකය වේගයෙන් මන්දගාමී වෙමින් තිබීම, නැඟී එන ආර්ථිකයන්හි නය (බැඳුම්කර) විකුනා දැමීම්, අමුද්‍රව්‍ය මිල ගනන් පහතට ලුහුටා යාමේ රැල්ල හා 2008 මූල්‍ය අර්බුදයෙන් වසර 8කට පසුව යලි ඇතිව තිබෙන මංමුලාව සමඟ ගනුදෙනු කරන්නේ කෙසේ ද යන්න පිලිබඳව, ලෝකයේ මහ බැංකු අතර පවතින ව්‍යාකූලත්වය මධ්‍යයේ සිදුවන කොටස් විකුනා දැමීමේ තදියම, මූල්‍ය වෙලඳපොලවල අවිශ්වාසය පිලිබිඹු කරනවාක් මෙන්ම පුලුල් අර්බුදයක ද ප්‍රකාශනයකි.

ඇමරිකාවේ කොටස් විකිනීම, ෆෙඩරල් මහ බැංකු අධිපති ඇලන් යෙලන් කොන්ග්‍රසය හමුවේ පෙනීසිටීමෙන් පසුව, ඉදිරි වසරක කාලය තුල සිය පාදක අරමුදල් පොලී අනුපාතය ඉහල නැංවීමේ තීරනය ගැන විශේෂයෙන් සඳහන් නොකිරීමෙන් පසුව තවත් ඉහල නැඟුනි.

එහෙත් ඇය, ආර්ථික තතු දිගටම නරක අතට හැරෙන්නේ නම් මහ බැංකුව බිංදුවෙනුත් පහතට සිය පොලී අනුපාතය අඩුකිරීමේ හැකියාව බැහැර නොකරන බව නම් පැවසුවාය. එසේ සිදුවුවහොත් ඇමරිකානු මහ බැංකුව, පසුගිය මාසයේ හදිසියේම පොලී අනුපාත පහත හෙලූ ජපාන මහ බැංකුවත්, 11දා සිය පොලිය රින තත්වය තුල තවත් පහත හෙලූ ස්වීඩනයේ මහ බැංකුවත් ගෙන ඇති මාවතේම යනු ඇත.

ක්ෂේමභූමි සොයා දිවීමේ පොදු ප්‍රවනතාව සමඟ බැඳුනු මේ පියවර, බැඳුම්කරයන් රින ප්‍රතිලාභ සහිත තත්වයකට ඇද දමා ඇත. ජේපී මෝගන් සංඛ්‍යාවන්ට අනුව, කලින් න්‍යායික පෙරදැකීමක් පමනක් වූ රාජ්‍ය බැඳුම්කරයන්හි රිනාත්මක ප්‍රතිලාභ තත්වය සියයට 25න් ඉහල නැඟී ඇත. සියල්ල පවසන්නේ, ලෝකය පුරා රිනාත්මක ප්‍රතිලාභ සහිත වත්කම් අගය ඩොලර් ට්‍රිලියන 5.5 ඉක්මවනු ඇති බවයි.

විකුනා දැමීම් ඉහල යාමටත්, තැතිගැන්මට මුහුනපෑමටත්, කිසිදු සැලකිය යුතු විසඳුමක් ඉදිරිපත් කිරීමට මධ්‍යම බැංකු වලට පවතින නොහැකියාව, විශ්වාසය පිලිබඳ පොදු අර්බුදයක් අවුලුවා ඇත්තේ මූල්‍ය ක්ෂේත්‍රයේ පමනක් නොවේ. අර්බුදය මඟහරවා ගැනීමේදී, 2008න් මෙපිට හටගත් සෑම ආර්ථික ව්‍යාධියකදීම කෝකටත් තෛලය ලෙස, මහ බැංකු වලට හා ආන්ඩුවලට පැවති ප්‍රසාරනාත්මක මූල්‍ය පිලිවෙත්වල ශක්‍යතාව ගැන ද විශ්වාසය කඩා වැටීමක් ඇතිව තිබේ.

රොයිටර්ස් වෙත කථා කරමින් සිටිගෲප් විධායකයෙක් මෙම මනෝභාවය පිලිබඳව මෙසේ පැවසීය: “වෙලඳපොලවල පවතින නව තේමාවක් වන්නේ, ප්‍රමානාත්මක ලිහිල් කිරීම් මහ බැංකු වලට හානි පමුනුවා ඇති අතර එය, අවදානමෙන් තොර වාතාවරනයක අවශ්‍යතාවය ඉහල නංවයි.”

වෙනත් වචන වලින් පැවසුවහොත්, විකිනීමේ කුලප්පුව පෙන්නුම් කරන්නේ, 2008 පටන් මූල්‍ය පද්ධතිය තුලට පොම්ප කර ඇති මුදල් කන්දරාව, යටි තලයේ නිරෝගී භාවය ඉහල නැංවීමට කිසිදු දායකත්වයක් සලසා නැති බවට හා ඊටත් වඩා විශාල පරිමානයේ කඩා වැටීමක බීජ රෝපනය කර ඇතුවා පමනක් බවට, මූල්‍ය වෙලඳපොලවල් තුල වැඩෙමින් ඇති බියයි.

කෙසේ වෙතත් දැන් පවතින්නේ, වසර ගනනාවක් මූල්‍ය වත්කම් ක්‍රියාත්මකව පවත්වාගෙන යාමේ අපේක්ෂාව ඇතිව මහ බැංකු, සිය “තුරුම්පු” විශාල වශයෙන් පාවිච්චි කර තිබියදී, නව මූල්‍ය කලබැගෑනියකට ප්‍රතිචාර දැක්වීමට තරම් එම මහ බැංකු සූදානම් නැති බවට වඩ වඩාත් පල වන බියයි.

විශේෂයෙන්ම රිනාත්මක ප්‍රතිලාභ සහිත මූල්‍ය වත්කම්වල දැවැන්ත වර්ධනයෙහි අර්ථය, මධ්‍යම බැංකු තවදුරටත් පොලී පහත හෙලන්නේ නම්, දිගුකාලීන නය ගෙන කෙටිකාලීන නය නිකුත් කිරීම සිය ව්‍යාපාරික ප්‍රමුඛතාවය බවට පත්කරගත් බැංකු, ඊටත් වඩා මූල්‍ය ගැටලු වලට මුහුනපානු ඇති බවයි.

මෙම බියමුසු තත්වය බැංකු ක්ෂේත්‍රය මත පැටවී තිබේ. වසර ආරම්භයේ පටන් එස්ඇන්ඩ්පී 500 මූල්‍ය දර්ෂකය සියයට 18න් පහත වැටී තිබේ. බැටකා තිබෙන බලශක්ති හා ප්‍රවාහන කර්මාන්තයටත් වඩා වේගයෙන් විකුනා දැමීම් පැතිර යාමේ තත්වයකට මුහුනපා සිටින බැංකු, මේ දක්වා වැඩියෙන්ම පීඩාවට පත්ව තිබෙන ක්ෂේත්‍රයයි.

එය යම් දෙයක් පවසයි. බලශක්ති හා කාර්මික අමුද්‍රව්‍ය අංශ තම කොටස් අගය පසුගිය වසර පුරා සියයට 31ත් වඩා පහතට ඇද වැටෙනු දැක තිබෙන අතර “සමාගම් 11වන පරිච්ඡේදයට හෝ ඩොලරයක් ශත 50ට හුවමාරු කරන තත්වයට එලඹ ඇති” බව බ්ලූම්බර්ග් වෙත පැවසුවේ එක් කලමනාකරුවෙකි.

ලෝකයේ ලොකුම ප්‍රවාහන සමාගම වන මර්ස්ක් (Maersk)හි ප්‍රධානියා වන නීල් ඇන්ඩර්සන්ගේ වචන වලට අනුව, ගෝලීය නාවික හා ප්‍රවාහන අංශය, “2008ට වඩා නරක” ව්‍යාපාරික තත්වයන්ට මුහුනපා සිටියි. පසුගිය වසරේ සියයට 50න් පහත වැටුනු සමාගමේ කොටස් අගය, 10දා තවත් සියයට 8න් කඩා වැටුනි.

කෙසේ හෝ ඇමරිකාවේ ආර්ථික වර්ධනය පිලිබඳ බලාපොරොත්තු, මේ සතිය තුල ගෝලීය නිමැවුමේ රූටා යාම වේගවත් වීම සමඟ සෝදාපාලු විය. ඇමරිකානු සමාගම් අත්කර ගත්තේ, හැකිලුනු ආදායම් හා ඉදිරි දැක්මකි. එස්ඇන්ඩ්පී 500 කාන්ඬයේ සමාගම්වල ආදායම් සිව් වන කාර්තුව තුල සියයට 4.5න් පහත ගියේය. නව වසරේ මුල් කාර්තුව තුල එය සියයට 6.3න් පහත යනු ඇති බව සැලකේ. පොදු හැඟීම වන්නේ, “ඇමරිකානු ආර්ථිකය මුදුනකට ලඟා වෙමින් තිබෙන බවත්, කථා කිරීමට තරම් ප්‍රවනතා තවත් ඉතිරිව නැතැයි” යන්නත් බව, එක් ආරක්ෂක අරමුදල් ප්‍රධානියෙක් රොයිටර් වෙත පැවසීය.

සැබෑ ආර්ථික කටයුතු වල පහත වැටීම, තෙල් මිල ගනන් තවත් නරක අතට හැරෙනු ඇති බවට පවතින බලාපොරොත්තු දැඩි කරයි. බැරලය ඩොලර් 27 දක්වා වසර 13කින් පසු පහතම අගය කරා පැමින ඇති තෙල් මිල ගනන් හමුවේ, “ආයෝජකයින්ට මුදල් අවශ්‍යව තිබෙන බැවින්” ඔවුන් විකුනා දැමීමත් සමඟ එම අමුද්‍රව්‍ය සම්බන්ධ කොටස් තවත් වටයක් විකුනා දැමීමේ රැල්ලකට මුහුන පායි.

2008 අර්බුදයෙන් අට වසරකට පසුව පැහැදිලි වන්නේ, ධනපති ආන්ඩු වලට හා හා මධ්‍යම බැංකු වලට, යටින් පැවති කිසිදු ප්‍රශ්නයකට විසඳුම් නොමැති බවය. ඒ වෙනුවට ඔවුහු වෙලඳපොලට මුදල් වක්කරති. එමඟින් ඒකාබද්ධ, අත්පත්කර ගැනීම් වැනි සමපේක්ෂනයේ හා පරපුටුකමේ ව්‍යායාමයට තවත් පහසුකම් සලසති. අවසානයේ පිරිවැය අඩුකිරීමේ ක්‍රියාවලිය තුල නිෂ්පාදනය කපා හැරීමත් රැකියා වලින් දොට්ට දැමීමත් පැතිර යයි.

අවසාන ප්‍රතිපලය සමාජ අසමානතාව තවදුරටත් වේගවත් වීමයි. නිෂ්පාදනයේ දැවැන්ත විනාශයත් කම්කරු පන්තිය දුප්පත් වීමත් තුලින් පරපුට්ටන්ගේ ධනය තවත් තරවෙයි.

වෙනත් වචන වලින් කිවහොත් 2008 අර්බුදය පැනනැඟීමට තුඩු දුන් එම කොන්දේසිම, ඊටත් වඩා තියුනු රූපාකාරයන්ගෙන් යලි නිර්මානය වෙමින් ඇති අතර එම ප්‍රතිපලම ගෙන එනු ඇත.

Share this article: