බෝල්ටික් හා නැගෙනහිර යුරෝපයේ නව මධ්‍යස්ථානවල හමුදා භටයන් දහස් ගනනක් රැඳවීමට නේටෝව සැරසේ

NATO to send thousands of troops to forward bases in the Baltics and Eastern Europe

තෝමස් ගේස්ට් විසිනි, 2016 පෙබරවාරි 11

උතුරු අත්ලන්තික ගිවිසුම් සංවිධානය (නේටෝ) නැගෙනහිර යුරෝපය තුල සිය මිලිටරි යටිතල පහසුකම් පුලුල් කිරීමට ද රුසියානු සමූහාන්ඩුවේ දේශසීමාබද ප්‍රදේශවල අමතර භටයන් දහස් ගනනක් යෙදවීමට ද නියමිත බව” බ්‍රසල්ස් නේටෝ සාකච්ඡාවලට ඔන්න මෙන්න කියා තිබිය දී 10දා නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් පැවසුවේ ය.

“නේටෝවේ මාරුවෙන් මාරුවට හමුදා භට පිරිස් යෙදවීමේ ක්‍රියාවලිය වැඩි දියුනු කිරීම සඳහා මූලධර්ම මාලාවකට” එකඟ වී යැයි ස්ටොල්ටන්බර්ග් මාධ්‍යයට නිකුත් කල ප්‍රකාශයක දී කියා සිටියේ ය.

නේටෝ නිලධාරීහු නැගෙනහිර යුරෝපයේ පිහිටි මිලිටරි මුර කඳවුරු වැඩි දියුනු කිරීම සඳහා විවිධ පියවරයන් ගැනීමට එකඟ වූහ. තවත් නේටෝ කඳවුරු පිහිටුවීම, තවත් මිලිටරි උපකරන කල් තියා ස්ථානගත කිරීම, අමතර ප්‍රහාරක භටයන් දහස් ගනනක් යැවීම සහ සයිබර් හා අසමමිතික යුද්ධයට (සුලු වශයෙන් සන්නද්ධ කුඩා කන්ඩායම් අධිතාක්ෂන ආයුධවලින් සන්නද්ධ රටකට එල්ල කරන අනපේක්ෂිත හදිසි ප්‍රහාරවලට) මුහුන දීම සඳහා කෙරෙන සූදානම් කටයුතු කඩිනම් කිරීම ඇතුලු පියවර ඒ අතර වේ.

මෙම යටිතල පහසුකම් රුසියාවේ බටහිර දේශසීමාව දිගේ අඛන්ඩව නේටෝ යුද අභ්‍යාස මෙහෙයවීමේ කර්තව්‍යය පැවරෙන නව බහුජාතික පෙර ඇනි බලකායකට පදනමක් ලෙස ප්‍රයෝජනවත් වනු ඇත. නේටෝවේ පෙනුම විශාල කිරීමේ එල්ලය මෝස්කෝව “පසුබැස්සවීම” බව නේටෝ ප්‍රධානියා පැවසී ය.

“රුසියාව දේශසීමා වෙනස් කිරීමට හා අසල්වැසියන්ට තර්ජනය කිරීමට මිලිටරි බලය යොදා ගෙන තිඛෙනවා. අප අවශ්‍යතාව පරිදි නැගෙනහිර පැත්තේ ඇති තරමින් පෙනී සිටිනවා. ඕනෑ ම තර්ජනයකට එරෙහිව සියලු මිත්‍ර පාක්ෂිකයන් ආරක්ෂා කිරීමට අපට හැකි විය යුතු යි,” ඔහු කීවේ ය.

නව බලකාය “මාරුවෙන් මාරුවට යෙදවෙන්නක් වනු” ඇතැයි ද “අත්‍යවශ්‍ය සැපයුම් හා යටිතල පහසුකම් සපයා ශක්තිමත් කෙරෙනු” ඇතැයි ද ඔහු පැවසුවේ ය. බලකායේ බහුජාතික සංයුතිය “එක් මිත්‍ර පාක්ෂිකයෙකුට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාරයක් යනු සියලු මිත්‍ර පාක්ෂිකයන්ට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාරයක් බව පැහැදිලි කරනු” ඇතැයි ස්ටොල්ටන්බර්ග් ප්‍රකාශ කලේ ය.

මෙම පියවරයන් ක්‍රියාවට නැංවෙන්නේ නේටෝ ආන්ඩු දැනට මත් නැගෙනහිර හා මධ්‍යම යුරෝපය ඉමහත් ලෙස මිලිටරි තරකිරීම්වල යෙදී සිටින තත්ත්වයක් තුල දී ය. එස්තෝනියාව, ලිතුවේනියාව, ලැට්වියාව, බලගේරියාව, රුමේනියාව හා පෝලන්තය යන රටවල් තුල එක්සත් ජනපද මිලිටරි බැර අවි හා බලකායන් යෙදවූ බව පසු ගිය වසරේ දී එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඈෂ්ටන් කාටර් නිවේදනය කර ඇත. රුසියානු දේශසීමාව ආසන්නයේ යුද අභ්‍යාසවල නිරත වීමට නේටෝවේ කඩිනම් ප්‍රතික්‍රියා බලකාය සහ වෙනත් එක්සත් ජනපද හා නේටෝ සේනාංක ලිතුවේනියානු නිත්‍ය බලකායන් සමග එක් වූයේ ය. නොවැම්බර් 9 දා ඇරඹි සමගාමී නේටෝ යුද පුහුනු 5ක් ද මීට ඇතුලත් වේ.

නව බලකාය පිහිටැවෙනු ඇත්තේ 2002 දී පිහිටුවන ලද නේටෝ ප්‍රතිචාර බලකායට (එන්ආර්එෆ්) ද 2014 දී එන්ආර්එෆ්හි පෙරටු ඒකකය ලෙස පිහිටුවන ලද ඉතා උසස් සූදානමකින් යුතු ඒකාබද්ධ කාර්ය බලකායට (වීජේටීඑෆ්) ද අමතරව ය. ස්ටොල්ටන්බර්ග් 10දා කයිවාරු ගැසූ පරිදි නම් කඩිනම් ප්‍රතිචාර බලකායේ ප්‍රමානය එය ගොඩ නැගූ තැන් සිට මේ දක්වා කාලය තුල තුන් ගුනයක් වී ඇත.

ප්‍රභූ හමුදාවලට නේටෝවේ “මිත්‍ර පාක්ෂික” රටවල භූමිය මත අඩු ගනනේ නව කඳවුරු දෙකක් හිමි වනු ඇති බව නේටෝ ලේකම්වරයා නිවේදනය කලේ ය.

ජූනි සහ ජුලි මාසවල පැවැත්වීමට නියමිත සාකච්ඡාවල දී නැගෙනහිර යුරෝපය තුල සිය සන්නද්ධ ශක්තිය තව දුරටත් වැඩි කිරීමට තීරනය කරනු ඇති බව ස්ටොල්ටන්බර්ග් පැවසී ය. නේටෝව මෑතක දී තුර්කියට ලබා දෙන මිලිටරි ආධාර වැඩි කල බව සහ රුමේනියාවෙහි ජාත්‍යන්තර මිලිටරි මූලස්ථානයක් දියත් කල බව ද ඔහු උජාරුවෙන් නිවේදනය කලේ ය.

එක්සත් ජනපද හා යුරෝපා පාලක ප්‍රභූන් නිරත වී සිටින්නේ රුසියාව බිය ගන්වා, ආධිපත්‍යයට නතු කර ගෙන, අවසානයේ දී කෑලිකර දැමීමේ කොල්ලකාරී ව්‍යාපාරයක ය. මේ සඳහා ඔවුන් 2014 පෙබරවාරියේ දී එක්සත් ජනපද සහායෙන් යුක්රේනය තුල සිදු වූ කුමන්ත්‍රනයෙන් නිර්මිත අර්බුදය ඩැහැ ගෙන නැගෙනහිර යුරෝපය, පෝලන්තය හා බෝල්ටික් රාජ්‍යයන් තුල පොදුවේ මිලිටරි ශක්තිය තර කර ඇති අතර යුද සූදානම පුලුල් කිරීම් යුක්ති සහගත කිරීම සඳහා ක්‍රිමියාව යුක්රේනයෙන් ඉවත් වීම ඩැහැ ගෙන ඇත.

“නේටෝව දැන් එහි නැගෙනහිර සීමාවේ දී හා මධ්‍යධරනී ප්‍රදේශයේ දී පීඩනයකට මුහුන දෙමින් සිටිනවා. ඒ නිසා අද දවසේ අප එක් වී කවර හෝ ආක්‍රමනයක් ඇති වීම සහ අප දැක තිඛෙන තර්ජනයන් වැලැක්වීම සඳහා භට කන්ඩායම් හා නැව් යෙදවීමේ පැහැදිලි සැලැස්මක් සකස් කර ගත යුතු යි. ඒ වගේ ම අප මීට වඩා වැඩි වේගයකින් එම භට කන්ඩායම් යෙදවිය යුතු යි,” බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් මයිකල් ෆැලොන් බදාදා පැවසුවේ ය.

නේටෝ මූලෝපායඥයන් පවසන පරිදි යුද සූදානමේ මෑත ම වටයේ අරමුන වන්නේ බෝල්ටික් ප්‍රදේශයේ රුසියානු සහාය ලබන පැරා මිලිටරි බලකායන්ට එරෙහිව කෙරෙන “දෙමුහුන් යුද්ධයකින්” සමන්විත ආසන්න සිදුවීම් ද රුසියාවේ මිලිටරිය සමග මුහුනට මුහුන ලා කෙරෙන ඝට්ටනයක් ද යන දෙක ම සඳහා සූදානම් වීම යි.

මූලෝපායාත්මක හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (සීඑස්අයිඑස්) “යුරෝපය තුල අනාගත එක්සත් ජනපද හමුදා බලකායේ පෙනුම තක්සේරු කිරීම” නම් සිය මෑත වාර්තාවේ දී චෝදනා කලේ, රුසියාව නැගෙනහිර දී නෝටෝව පෙන්නුම් කරන දුබලකම් සොයා බැලීම සඳහා ගරිල්ලා සහ අසමමිතික විධික්‍රම යොදා ගැනීමට සූදානම් වෙමින් සිටින බවට යි.

ස්ටොල්ටන්බර්ගේ නව බහුජාතික බලකායට නිරායාසයෙන් ම අනුප්‍රානයක් විය හැකි අයුරින් සීඑස්අයිඑස් අනතුරු ඇඟවූයේ රුසියානු මූලෝපාය සැලසුම් කෙරෙනු ඇත්තේ “නේටෝවේ 5 වන වගන්තියේ අවම අවශ්‍යතාව ('එකෙකුට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාරයක් යනු සියල්ලන්ට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාරයකි') නොසැපිරෙන” අන්දමින් බව යි.

ඒ සමග ම සීඑස්අයිඑස් සැලසුම්කරුවෝ යුද ටැංකිවලින්, කාලතුවක්කුවලින් සමන්විත සාම්ප්‍රදායික යුද්ධයක් සහ “අගනුවරවල් අල්ලා ගැනීම හා ජය ගැනීම ඉලක්ක කර ගත්” සියල්ලන් සම්බන්ධ වන යුද්ධයක් පුපුරා යා හැකි යැයි ද කල්පනා කරති.

එක්සත් ජනපද ආන්ඩුවේ ක්‍රියාවන්ගෙන් පැහැදිලි වන පරිදි එක්සත් ජනපද පාලක කවයන් තුල පවතින උත්සුකය වන්නේ, එවැනි මහා ප්‍රචන්ඩ ව්‍යසන තත්ත්වයන් ඇති වීම නො වැලැක්විය හැකි ය යන්න යි. නේටෝවේ මෑත ම ප්‍රසාරන කටයුතු එලඹියේ ඔබාමා පාලනාධිකාරය යුරෝපය තුල එක්සත් ජනපද බලකායන් හා මිලිටරි මෙහෙයුම් සඳහා සිය මූල්‍ය ප්‍රතිපාදන හතර ගුනයකින් වැඩි කෙරෙන සැලසුම් ප්‍රසිද්ධ කර යන්තම් සතියක් ගත වූ තැන ය. පෙබරවාරි 2 දා ධවල මන්දිරය පෙන්ටගනයේ යුරෝපය යලි තහවුරු කර ගැනීමේ මුල පිරීම හෙවත් ඊආර්අයි ව්‍යාපෘතියට අමතර හමුදා, ආයුධ හා පුහුනු වැඩ සටහන් වෙනුවෙන් ඩොලර් බිලියන 3.5කට ආසන්න මුදලක් වැය කිරීම සඳහා බලය පැවරුවේ ය.

පෙන්ටගනයේ යුරෝපා ව්‍යාපෘතිවලට අඛන්ඩව දැවැන්ත මුදල් කන්දරාවන් පොම්ප කරන අතරේ වොෂින්ටනය සිය එල්ලයන් වෙනුවෙන් යුරෝපා සහ මැද පෙරදිග මිලිටරි බලකායන් බලමුලු ගන්වා ගැනීමට ද උත්සාහ කරයි. එක්සත් ජනපදයට “තම මිත්‍ර පාක්ෂිකයන්ගෙන් තවත් දේ වුවමනා කරනවා,” එක්සත් ජනපද ආරක්ෂක ලේකම් කාටර් බදාදා කියා සිටියේ ය.

එදින ම මහා බ්‍රිතාන්‍යය ජෝර්දානයෙහි යුද අභ්‍යාසවල යෙදුනු අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය හමුදා භටයෝ 1,600ක් පමන ද මිලිටරි වාහන 300කට වැඩි ගනනක් ද යොදා ගැනුනි. හමුදා මූලාශ්‍ර බ්‍රිතාන්‍ය මාධ්‍යයට කියා සිටියේ අභ්‍යාස සැලසුම් කලේ නැගෙනහිර යුරෝපයට සොල්දාදුවන් 30,000ක් හදිසියේ යෙදවීම සඳහා සූදානම් වීමක් ලෙස බව යි.

නම් නොකරන ලද බ්‍රිතාන්‍ය හමුදා මූලාශ්‍රයක් ටෙලිග්‍රාෆ් පුවත්පතට පැවසුවේ “මෙය අප සිරියාවේ දීට වඩා යුක්රේනයේ දී එක්සත් ජනපදය සමග එක් වීම සඳහා සූදානම් වීමක්” බව යි.

මේ අතරවාරයේ වොෂින්ටනය රුසියාව සමග න්‍යෂ්ටික ඝට්ටනයක් සඳහා ක්‍රියාකාරීව සූදානම් වෙමින් සිටී.

මේ සතියේ නිවේදනය කරන ලද පෙන්ටගනයේ 2017 රාජ්‍ය අයවැය එක්සත් ජනපද සබ්මැරීන, බෝම්බ හෙලීම්, අන්තර්මහාද්වීපික බලිස්ටික් මිසයිල (අයිසීබීඑම්) සහ න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ කෲස් මිසයිල ගොඩ නැගීමේ “න්‍යෂ්ටික නවීකරන වැඩ සටහනක්” සඳහා ඩොලර් බිලියන 3.2ක් වෙන් කරයි. න්‍යෂ්ටික බෝම්බ සංවර්ධනය කිරීමේ කාර්යය හසුරුවන බලශක්ති දෙපාර්තමේන්තු ආයතනයක් වන ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පාලනාධිකාරයට (එන්එන්එස්ඒ) තවත් ඩොලර් බිලියන 12.9ක් ලබා දීමට නියමිත ය. මිලිටරි විශ්ලේෂකයන්ගේ තක්සේරුව නම් එක්සත් ජනපද න්‍යෂ්ටික යුද ගබඩාව තර කිරීම සඳහා එක්සත් ජනපදය ඊලඟ වසර 25 තුල දී ඩොලර් බිලියන 700කට වඩා වැය කිරීමට යන බව යි.

Share this article: