බර්නි සෑන්ඩර්ස් මැතිවරන ව්‍යාපාරයේ දේශපාලන භූමිකාව

The political role of the Bernie Sanders campaign

2016 පෙබරවාරි 11

ඩිමොක්‍රටික් නිව් හැම්ෂයර් ප්‍රාථමිකයේදී 09දා, බර්නි සෑන්ඩර්ස්ට විශාල ජයක් අත්වීම, හිලරි ක්ලින්ටන් ව්‍යාපාරයේ අර්බුදය උත්සන්න කරමින්, සමස්ත ඩිමොක්‍රටික් ප්‍රාථමික ඡන්දයෙන්ම සෑන්ඩර්ස් පෙරට පැමිනීමේ හැකියාව මතුකර ඇත.

එම ඡන්දයේ විස්තර මගින්, තරුන හා අඩු ආදායම් ලාභීන් අතර විශේෂයෙන්ම සෑන්ඩර්ස්ගේ දේශපාලන ව්‍යාපාරය සඳහා පුලුල් සහායක් පලවන බවට තවත් සාධක හෙලිකරනු ලැබ තිබේ. අවසන් ඡන්ද ප්‍රතිපල අනුව සෑන්ඩර්ස්ට, වයස 30න් පහල ඡන්දදායකයින්ගෙන් සියයට 83 ද විද්‍යාල උපාධියක් නොමැති අයගෙන් සියයට 67 ද වසරක ආදායම ඩොලර් 30,000ට අඩු ඡන්දදායකයින්ගෙන් සියයට 72 ද ලැබී තිබුනි. ඡන්දදායකයින්ගෙන් තුනෙන් එකක්ම පැවසුවේ ආදායම් විෂමතාවය මැතිවරන ව්‍යාපාරයේ වඩාත්ම ප්‍රබල ප්‍රශ්නය වන බවයි. ඔවුන්ගෙන් සියයට 71ක් සෑන්ඩර්ස්ට ඡන්දය දී තිබුනි. ක්ලින්ටන්ට ලැබුනු ප්‍රතිපල අනුව ඇයට ඡන්දය පාවිච්චි කර තිබුනේ, වයස 65ට වැඩි (සියයට 54) අය සහ වාර්ෂික ආදායම ඩොලර් 200,000ට වැඩි (සියයට 53) අයයි.

තවත් සංඛ්‍යාවක් සෑන්ඩර්ස්ගේ ව්‍යාපාරයෙහි අවශ්‍ය දේශපාලන භූමිකාව පෙන්නුම් කරයි: ඩිමොක්‍රටික් ප්‍රාථමිකයේ ඡන්දදායකයින්ගෙන් සියයට 40ක් (ඩිමොක්‍රටිකයන් ලෙස ලියාපදිංචිවී නැති) “ස්වාධීන/අප්‍රකාශිත” අය ලෙස තමන්ව හඳුන්වාගත්හ. මොවුන්ගෙන් සියයට 72ක් සෑන්ඩර්ස්ට සහාය දී තිබුනි. සෑන්ඩර්ස් යන වර්මොන්ට් සෙනේට් සභිකයා යලි යලිත් කියා ඇත්තේ, සිය “දේශපාලන විප්ලවයේ” අරමුන, ඡන්දදායකයින් යලි වතාවක් ඩිමොක්‍රටික් පක්ෂයේ ලැයිස්තුවට ගැනීම බවය.

සෑන්ඩර්ස්ට පල වන වැඩෙන සහයෝගයේ ආරම්භක දේශපාලන පිලිබිඹුව වන්නේ, 1930 ගනන් වලින් මෙපිට දක්නට නොලැබුනු මට්ටම් කරා සමාජ අසමානතාව නැග තිබියදී, දශක ගනනාවක් තිස්සේ කෘතීම ලෙස මඬිනු ලැබ ඇති, ඇමරිකානු දේශපාලනයේ උග්‍ර ආතතියයි.

විශේෂයෙන්ම 2008 මූල්‍ය කඩාවැටීමෙන් පසුව ඇමරිකානු පාලක පන්තිය, ජනගහනයේ අති මහත් බහුතරයක්, වැටුප් පහත වැටීම, සෞඛ්‍ය හා විශාමික සහනයන්ට පහර වැදීම, මහා විරැකියාව හා නැගෙන නයගැතිකමට මුහුනපා සිටියදී, බැංකු වලට ඩොලර් ට්‍රිලියන ගනන් පොම්ප කරමින්, පන්ති සම්බන්ධතා ප්‍රතිව්‍යුහගත කිරීමේ යෙදී සිටිති.

ආර්ථික අර්බුදය, යුද්ධය, ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට පහර එල්ලවීම හැර අන් කිසිවක් දැක නැති තරුනයින්, පුලුල් පරතරයක් සහිතව සෑන්ඩර්ස්ට සහාය දුන්නේය. දැන් 18 හැවිරිදි වියේ පසු වන තරුනයෙක් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” පටන්ගන්නා කල වයස අවුරුදු 4ක් හා ගෝලීය මූල්‍ය අර්බුදය පිපිරීයන විට වයස 11ක්ව සිටියේය.

සෑන්ඩර්ස්ගේ සහයෝගය වැඩිවීම, මෙම වෛෂයික තත්වයන්ට පල වන ප්‍රමාදවූ ප්‍රතික්‍රියාවකි. දශක ගනනාවක් තිස්සේ සමාජවාදී අදහස් මැඬලා තිබුනු රටක් තුල, මිලියන ගනන් මිනිසුන්, තවමත් නොපැහැදිලි ලෙස වුවත්, ධනේශ්වර විරෝධී අදහස් කරා හැරී ඇත. ඉහල මධ්‍යම පන්ති ස්ථරයන්ගේ උන්මාදයක් බවට පත්ව ඇති, වර්ගය, ලිංගිකත්වය, ලිංගික නැඹුරුව මත පදනම්ව ඇති අනන්‍යතා දේශපාලනය හරහා, පලමු කාන්තා ජනාධිපති බවට පත්වීමේ තම අභිලාශය ප්‍රකට කරමින් ක්ලින්ටන්, කාන්තා ඡන්දදායකයින් මෙහෙයවා ගැනීමට අසමත් වීමෙන් පෙනී ගියේ ඒවාට පුලුල් බලපෑමක් නැති බවය. ඒ උද්ඝෝෂනය සමග සෑන්ඩර්ස්වාදීන් ස්වෝත්තමවාදීන් බව ද ඇය කියා ඇත.

එහෙත්, සෑන්ඩර්ස්ට පල වන සහාය, සමාජ කෝපයේ ප්‍රකාශනයක් බව පැවසීම, ඔහුගේ මැතිවරන ව්‍යාපාරය මේ කෝපය අන්තර්ගත කරගත් හා ප්‍රකාශයට පත්කරන දෙයක් යයි පැවසීම සමග කිසිදු සම්බන්ධයක් නැත. සෑන්ඩර්ස් කම්කරු පන්තිය වෙනුවෙන් නොව කථාකරන්නේ, සමාජ ප්‍රතිරෝධය වර්ධනය වීම බියෙන් හා සැකයෙන් යුතුව දැකගන්නා අතර එය පාලනය කිරීමට යම් ක්‍රමයක් සොයමින් සිටින පාලක පන්තියේ හා දේශපාලන සංස්ථාපිතයේ කොටසක් වෙනුවෙනි. පාලක පන්තිය ලොකුම තර්ජනය ලෙස දැක ගන්නේ, සිය ආර්ථික හා දේශපාලන බලයට අභියෝග කරන කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් පැන නැගීමය. සෑන්ඩර්ස්ගේ කර්තව්‍යය වන්නේ, මහජන විරුද්ධත්වය ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස පෙලගස්වමින්, එවන් වර්ධනයක් වලක්වාලීමය.

තමන්ට පැවරී ඇති කර්තව්‍යය ගැන සෑන්ඩර්ස් මුලුමනින්ම දැනුවත් නැතැයි යන මිත්‍යාව වැලඳගත් ඕනෑම අයෙක්, 09දා ජයග්‍රහනයෙන් පසුව ඔහු පැවැත්වූ කථාව කියවා බැලිය යුතුය. ප්‍රාථමිකයේ ඡන්දදායක සංඛ්‍යාව ඉහල යාම හුවා දක්වමින් සෑන්ඩර්ස් මෙසේ පැවසීය: “මුලු රටේම සිදුවනු ඇත්තේ එයයි. අප මෙය සිහියේ තබාගත යුතුය, ඡන්දදායකයින්ගේ සහභාගිත්වය ඉහල මට්ටමක පවතින කල, ඩිමොක්‍රටිකයින් හා ප්‍රගතිශීලීන් ජයගෙන තිබේ. මෙය සිහියේ තබාගැනීම අවශ්‍යය, මෙය හුදෙක් අපගේ විරුද්ධවාදීන්ට පමනක් නොව මට සහයෝගය දැක්වූ අයට ද එක සේ අදාල පනිවිඩයකි. එනම්, තව මාස කිහිපයකින් අපි එක්වී මෙම පක්ෂය එක්සත් කිරීම අවශ්‍යය,” අපේක්ෂකයා ලෙස තෝරා ගන්නේ කවරෙක් වුවත් ඔහු පිටුපස. අවධාරනය ඈඳින.

“දේශපාලන ක්‍රියාවලිය තුලට අලුත් මිනිසුන් ගෙන ඒමට” සෑන්ඩර්ස් බලාපොරොත්තු වෙයි. ඒ “වෙනසේ අපේක්ෂකයා” යයි කියන ලද ඔබාමා යටතේ ඛෙහෙවින් හානියට පත් ඩිමොක්‍රටික් පක්ෂයේ විශ්වාසනීයත්වය නැංවීමටය. 2012දී ඔබාමා, සිය දෙවන වාරයේදී පලමුවැන්නේදීට වඩා අඩු ඡන්ද ප්‍රමානයක් ලැබ යලි බලයට පත් වූ ෆ්‍රෑන්ක්ලීන් ඩි රූස්වෙල්ට්ට පසු ඒ වර්ගයේ පලමු ජනාධිපති ලෙස බලයට පත් විය. එයට හේතුව ඡන්දදායකයින්ගේ සහභාගිත්වය තියුනු ලෙස පහත වැටීමයි. එවකදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය, එය වනාහි, නොමග යැවූ හා “සමස්ත ද්වි පක්ෂ දේශපාලන ක්‍රමයෙන්ම, වඩ වඩාත් දුරස්ත වූ මැතිවරන ප්‍රතිපලයකි.” යනුවෙන් ලිවීය.

සෑන්ඩර්ස්ගේ සැබෑ ක්‍රියාමාර්ගයෙහි අර්ථයෙන් ගත් කල, වඩාත්ම වැදගත් ප්‍රශ්නය වන්නේ, සංගත ලාභ කපා හැරීමට බලපානු ඇති බැවින් ඉක්මනින්ම අතහැර දමනු ඇති ඔහුගේ ජනාධිපති පොරොන්දුව වන අවම වැටුප ඩෙලර් 15කිරීම හා රජයේ පාසැල්වල හා විශ්වවිද්‍යාලවල නොමිලේ උපකාරක පන්ති පැවැත්වීම නොව, ඔහු අධිරාජ්‍යවාදී යුද්ධයට දෙන සහයෝගයයි. මැතිවරන ව්‍යාපාරය පුරාවටම සෑන්ඩර්ස් විදෙස් පිලිවෙත ගැන කියා ඇත්තේ ඉතා අඩුවෙනි. එහෙත් ඔහු පවසා ඇති දේහි අරමුන, පාලක පන්තියට හා මිලිටරියට තමා අනතුරක් නොවන බව සහතික කිරීමයි.

09දා රාත්‍රියේ සෑන්ඩර්ස් පැවැත්වූ කථාවේදී, ඉමහත් ඝෝෂාකාරී ඔල්වරසන් නැගුනේ, 2003දී ඔහු ඉරාක යුද්ධයට එරෙහිව ඡන්දය දුන් බව කියා සිටි විටය. එහෙත් ඒ විගසම ඔහු පැවසුවේ “අපි අයිඑස්අයිඑස් විනාශ කල යුත්තෙමු” යනුවෙනි. එනම් ඉරාකයේ හා සිරියාවේ යුද්ධය දිගටම ගෙන යන බවයි. සෑන්ඩර්ස් මෙම ප්‍රකාශ කලේ, තමන් දිගින් දිගටම ආරක්ෂා කල ඔබාමා පාලනයේ විදේශ ප්‍රතිපත්තිය යටතේ, සියල්ලටත් වඩා ජනාධිපති බෂර් අල් අසාද් තන්ත්‍රය පෙරලා දැරමීමේ අරමුනෙන් සිරියානු යුද්ධය ඉමහත් ලෙස පුලුල් කිරීමේ සූදානම පවතිද්දීය. සිරියානු ගැටුම, නැගෙනහිර යුරෝපයේ විශාල මිලිටරීකරනය ද ඇතුලු ඇමරිකාව හා යුරෝපීය බලවතුන්ගේ නිරන්තර ඉලක්කයක් බවට පත්ව ඇති න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමග යුද්ධයක් ඇවිල යාමේ තර්ජනය මතු කරයි.

සෑන්ඩර්ස් මේ කිසිවකට විරුද්ධ නැත. පාලක පන්තිය විසින් ඔහු බලයට පත්කිරීමට තීරනය කරනු ලැබුවොත්, ඔහු සිය “ප්‍රගතිශීලී” අක්ත පත්‍ර යොදාගනු ඇත්තේ, යුද්ධය සඳහා සහාය ගොනුකිරීමටය. “අද දිනයේ බර්න් (බර්නි සෑන්ඩර්ස්) ගැන කථා කරන අය” හෙට දිනයේ මුහුනදෙනු ඇත්තේ බෝම්බ වලටය. සමාජ ප්‍රතිසංස්කරන පිලිබඳව සෑන්ඩර්ස් සිය හිස් පෙරොන්දු, යුද්ධයට අවශ්‍ය මූල්‍ය වියදම් ගැන කථා කරමින්, බිඳ දැමීම යුක්තිසහගත කරනු ඇත.

වර්මොන්ට් සෙනේට් සභිකයාගේ දේශපාලන බැඳීම් ද කිසිසේත්ම දෙවැනි ගනයේ දේවල් නොවේ. මීට පෙර බොහෝ අවස්ථා වලදී, එක්කෝ ඩිමොක්‍රටික් පක්ෂය තුල හෝ නාමිකව ඉන් පිටත සිට කටයුතු කර ඇති දේශපාලන චරිතයන්ට පැවරුනු පරිදි, ඔහු ද සිය කර්තව්‍යයන් ඉෂ්ට කරනු ඇත. මෙම ඉතිහාසයට පහත සිදුවීම් ඇතුලත්ය: 20 වන සියවසේ මුල ජනාධිපතිවරන ව්‍යාපාරය තුල ඩිමොක්‍රටික් පක්ෂයේ “ජනප්‍රිය” අපේක්ෂකයා බවට පත්වූ විලියම් බ්‍රයන්, 1920 ගනන්වල, පසුව ඩිමොක්‍රටික් පක්ෂයේ අන්ඬක් බවට පත්වූ ගොවි කම්කරු පක්ෂයේ රොබට් ලා ෆොලෙටි, 1948දී ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය විසින් සහාය දක්වන ලද ප්‍රගතිශීලී පක්ෂයේ, ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට්ගේ හිටපු උප ජනාධිපති හෙන්රි වොලස්. වඩාත් නූතන නිදසුන් අතර, ඩිමොක්‍රටික් පක්ෂයේ ජෙසී ජැක්සන් හා ඩෙනිස් කුසිනික්, ඩිමොක්‍රටික් පක්ෂයට පිටත සිට බලපෑම් කිරීමට යොමුවූ හරිත පක්ෂයේ විවිධාකාර උද්ඝෝෂන ව්‍යාපාරවේ.

සෑන්ඩර්ස් සිය මැතිවරන ව්‍යාපාරය තුල අවධාරනය කල පරිදි ඔහුගේ අරමුන “විප්ලවයක්” කිරීම නොවේ. එවැන්නක් වැලැක්වීමය. ඔහු තෝරාගතහොත්, තම පොරොන්දු වේගයෙන් හා නිර්දය ලෙස ඉවත දමනු ඇත. ඔහුගේ කටයුතු, 2015 ජනවාරියේදී කප්පාදු වලට විරුද්ධ වීමේ පදනම මත තෝරා පත්කරගත් හා දැන් බැංකු විසින් අන කරන වඩාත් රුදුරු කප්පාදු පවා ක්‍රියාත්මක කරන්නාවූ, ග්‍රීසියේ සිරිසාව ද සිරියාවට විරුද්ධව රට යුද්ධයට සම්බන්ධ කිරීමේ තීරනය ගත් කොන්සවේටිව් ආන්ඩුවට පහසුකම් සැපයීමේදී මූලික ක්‍රියාකලාපයක් ඉටු කල “වාම” කම්කරු පක්ෂ නායකයා ලෙස පසුගිය වසරේදී තේරී පත්වූ බ්‍රිතාන්‍යයේ ජෙරමි කෝබින් ද පිලිබිඹු කරයි.

බලපෑම් යෙදීම හමුවේ සෑන්ඩර්ස් වමට තල්ලු කල හැකි යයි තර්ක කරන, තෙමේම ධනපති රාජ්‍යයට ඒකාග්‍ර වීමේ තවත් යාන්ත්‍රනයක් ලෙස ඔහුගේ ව්‍යාපාරය ගසා කන සංවිධානම, දකුනට ගමන් කරමින් සිටියි.

ඇමරිකාවේ පන්ති ඝර්ෂන මතුපිටට පුපුරා ඒම පිලිබඳ බොහෝ සලකුනු දැනටමත් ප්‍රකාශයට පත් වෙයි. පසුගිය වසරේ විකුනා දැමීමේ කොන්ත්‍රාත් වලට මෝටර් රථ කම්කරුවන්ගෙන් පලවූ සටන්කාමී ප්‍රතිරෝධය, ලෙඩ නිවාඩු දමමින් ඩිට්‍රොයිට් ගුරුවරුන් විරෝධතා දැක්වීම, සිසු විරෝධතා, මිචිගන් ප්‍රාන්තයේ ෆ්ලින්ට්හි නිවැසියන් අතර ඊයම් විස සහිත ජල සැපයුම කෙරෙහි මතුව ඇති කෝපය ඒ අතර වේ. විදේශයේ යුද්ධය පැතිරවීමට පාලක පන්තිය ගෙන යන කුමන්ත්‍රන, ඇමරිකානු කම්කරු පන්තිය තුල පවතින යුද විරෝධී මනෝගතීන් සමග ගැටෙනු ඇත.

කෙසේ වෙතත් කම්කරු පන්තියට දේශපාලන ඉදිරි මාවතක් සොයා ගත හැක්කේ, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක පදනම මත සිය දේශපාලන ස්වාධීනත්වය වෙනුවෙන් කරන අරගලයක් තුලින් පමනි. “ජනතාවට සමීප වීම” යන නමෙන් සෑන්ඩර්ස්ට අනුගත වන හා ඔහුගේ භූමිකාව වසං කරන සියල්ලන්ගේ ද සෑන්ඩර්ස්ගේම ද දේශපාලනය සම්මුති විරහිතව හෙලිදරව් කිරීම ඒ සඳහා අවශ්‍ය කෙරේ.

ජෝසෆ් කිෂෝර්

Share this article: