නැවත වතාවක් සෑන්ඩර්ස් හා සමාජවාදය ගැන

Once again on Sanders and socialism

2016 පෙබරවාරි 20

එම්එස්එන්බීසී කේබල් නාලිකාව හා ටෙලෙමුන්ඩෝ (ඇමරිකානු/ ස්පාඤ්ඥ භාෂා විකාශන රූපවාහිනී නාලිකාව) විසින් අනුග්‍රහය දැක්වූ, 18දා රාත්‍රියේ ලාස් වේගාස් නගර ශාලාවේ පැවති රැස්වීමක දී, ඩිමොක්‍රැටික් ජනාධිපති අපේක්ෂක හා තෙමේම “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙක්” බව කියා ගන්නා බර්නී සෑන්ඩරස්ගෙන්, ඔහු සමාජවාදය යනු‍වෙන් අදහස් කරන්නේ කුමක් දැ යි එක් වැඩසටහන් මෙහෙයවන්නෙකු ප්‍රශ්න කලේය.

ධවල මන්දිරය වෙත ඔහුගේ ගමන, සමාජ අසමානතාව, දේශපාලන ආධිපත්‍යය හා වෝල් වීදියේ සාපරාධිත්වය හෙලා දැකීම මත පදනම් කිරීමෙන් සෑන්ඩර්ස්, වැඩකරන ජනතාවගෙන් හා තරුනයන්ගෙන් පුලුල් සහායක් දිනා ගෙන ඇත. තමා සමාජවාදියෙකැ යි කියා ගැනීම, බොහෝ කම්කරුවන් හා තරුනයන් ඔහුගෙන් ඈත් කරනවා වෙනුවට ඔහුගේ උද්ඝෝෂනයට ආකර්ෂනය කර ගෙන තිබීම, ධනේශ්වර විරෝධී මනෝගතියේ වර්ධනය පිලිබඳ සලකුනකි. 19දා නිකුත් කෙරුනු එක් ප්‍රමුඛ ජනමත විචාරනයකට අනුව, ඩිමොක්‍රැටික් ඡන්දදායින් අතර ඔහු ජාතික මට්ටමේදී, හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ට පසු පසින් සිටින්නේ යන්තම් සියයට 3 සංඛ්‍යාවකිනි.

සමාජවාදය ගැන ප්‍රශ්නයට පිලිතුරු දෙමින් සෑන්ඩර්ස් මෙසේ පැවසී ය: “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකු ගැන මම කතා කරන විට, ඔබ දන්නවා මම කුමක් ද කියන්නේ කියා? ජ්‍යේෂ්ටයින්ට ආත්මාභිමානය හා ආරක්ෂාව ලබා දීමට ෆ්‍රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට් විසින් වර්ධනය කරන ලද, මෙරට ඉතාමත් ජනප්‍රිය හා වැදගත් වැඩසටහන වන සමාජ ආරක්ෂනය... ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකු ගැන කතා කරන විට, මම කතා තරන්නේ වෛද්‍යරක්ෂනය ගැන යි, එය වැඩිහිටියන් සඳහා තනි ගෙවන්නෙකුගේ රක්ෂන ක්‍රමයකි. එමෙන් ම මගේ අදහසට අනුව, අපි එම සංකල්පය සියල්ලන් වෙත ව්‍යාප්ත කල යුතු ය...”

“ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකු ගැන මම කතා කරන විට, මම වෙනිසියුලාව දෙස බලන්නේ නෑ. මම කියුබාව දෙස බලන්නේ නෑ. මම බලන්නේ ඩෙන්මාර්කය හා ස්වීඩනය වැනි රටවල් දෙස යි...”

මෙම ප්‍රතිචාරය පරිස්සමින් විමසා බැලිය යුතුය. “ප්‍රකෝටිපති පන්තියට” එරෙහිව “දේශපාලන විප්ලවයක්” පිලිබඳ ඔහුගේ කතා කෙසේ වෙතත්, එය පැහදිලි කරන්නේ සෑන්ඩරස්, ධනේශ්වර ක්‍රමයේ හෝ ඇමරිකානු සංගත-මූල්‍ය ප්‍රභූව විසින් වසර 150ක වැඩි කාලයක් පාලනය කර ඇති ද්විපක්ෂ දේශපාලන ඒකාධිකාරයේ විරුද්ධවාදියෙකු නොවන බව යි.

සෑන්ඩරස්ගේ ඊනියා “සමාජවාදයේ” ධනේශ්වර විරෝධී කිසිවක් නැත. සමාජවාදය යනු ධනවාදය ප්‍රතිසංස්කරනය කිරීම නො වේ, එය එහි ප්‍රතිපක්ෂය යි. එය පදනම් වන්නේ, ප්‍රධාන කර්මාන්ත, ප්‍රවාහන, විදුලිසංදේශනය, බැංකු වැනි නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය අහෝසි කිරීම හා ඒවා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ මහජන උපයෝගිතා බවට පරිවර්තනය කිරීම මත ය. වැටුප් ක්‍රමය යටතේ, කම්කරුවන් සූරාකෑම මගින් උකහා ගන්නා අතිරික්ත වටිනාකම මත පදනම් වන පුද්ගලික ලාභය සඳහා නිෂ්පාදනය කිරීම, සමස්තයක් වශයෙන් සමාජයේ යහපත සඳහා නිෂ්පාදනය කිරීම සමගින් වෙනස් කෙ‍රේ. තාර්කික සැලසුම්කරනයේ පදනම මත ආර්ථික ජීවිතය සංවිධානය කිරීම මගින් එය වෙලඳපොල අරාජකත්වය අහෝසි කර යි.

එය ලෝක සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන අරගලයේ දී ජාත්‍යන්තරව කම්කරුවන් එක්සත් කිරීම මගින් ගෝලීය නිෂ්පාදනය හා ජාතික රාජ්‍ය දේශපාලන රාමුව අතර ප්‍රතිඝතිතාව ජය ගනි යි. එය කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම හා කම්කරුවන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම මගින් පමනක් ජය ගත හැකි විප්ලවවාදී වෙනසකි.

සෑන්ඩර්ස් මේ සියල්ලට විරුද්ධ වෙයි. “සමාජවාදයේ” නාමයෙන් ඔහු කියා සිටින්නේ 1930(සමාජ ආරක්ෂනය) හා 1960(වෛද්‍යරක්ෂනය) ආයතන ගත කෙරුනු වැඩ සටහන්වල මාවත් ඔස්සේ පවතින ආර්ථික හා දේශපාලන පදනම ප්‍රතිසංස්කරනය කල හැකි බව යි. කම්කරු පන්තිය සඳහා සැලකිය යුතු ජයග්‍රහන මූර්තිමත් කරන අතර මෙම වැඩසටහන් එකක් වත් ඇමරිකානු පාලක ප්‍රභූවේ මූලික පන්ති උත්සුකයන්ට අභියෝග නො කලේ ය. නිශ්චිතව ම පාලක පන්තියේ ආර්ථික හා දේශපාලනික බලයට අත නො ගැසූ හෙයින්, මෙම වැඩසටහන් පැවතුනේම නිරන්තර ප්‍රහාරයකට යටත්ව ය. ඒවා වඩ වඩා කපා හැරී ඇති අතර දැන් ඉලක්ක කෙරෙන්නේ අහෝසි කිරීම සඳහා ය.

තව ද, මෙම වැඩසටහන් පැමිනියේ කොයිබින් ද? ඒවා ඇමරිකානු පාලක පන්තියේ පරෝපකාරයේ ප්‍රතිඵලයක් නොවේ. ඇමරිකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ කටුක හා ලේ වැකි අරගලයන්ගේ ක්‍රියාදාමයක දී පාලක ප්‍රභූවෙන් ඒවා උදුරා ගැනුනේ ය. ඇමරිකාව තුල 1930ස් ගනන් හා 1960 ගනන්වල සමාජ ප්‍රතිසංස්කරන පිලිබද ප්‍රඥප්තිය පසු පසින් වූ ඉතාමත් වැදගත් සාධකය වූයේ, රුසියාව තුල ලෝක ඉතිහාසයේ පලමුවැනි කම්කරු රාජ්‍ය ස්ථාපිත කෙරුනු 1917 සමාජවාදී විප්ලවය යි.

ලෝකයම පරිවර්තනය කල එම සිදුවීම, ඇමරිකාවේ හා ලෝකය වටා කම්කරුවන්ගේ අරගල වලට දැවන්ත ආවේශයක් සැපයූ අතර එය සෑම ධනේශ්වර රටක ම පාලක පන්තිය තුල ජනිත කලේ එවැනි දෙයක් තමන්ට ද සිදුවෙතැ යි යන භීතිය යි. 1929 මහා අවපාතයේ පිපිරීම ඇමරිකාවේ හා ජාත්‍යන්තරව මිලියන ගනනකගේ දෑස් හමුවේ ධනවාදය අපකීර්තියට ලක් කල අතර, ප්‍රධාන ඇමරිකානු නගර තුනක - ටෙලේඩෝ, සැන් ෆ්‍රැන්සිස්කෝ හා මිනියාපොලිස් - 1934දී මහා වඩවර්ජන ලෙස පුපුරා ගිය පන්ති අරගලයක් ඇවිලවී ය.

එක්සත් ජනපදය තුල සමාජ විප්ලවය වැලැක්වීම මූලික අරමුන ලෙස ගත් සමාජ රක්ෂනය ඇතුලු සමාජ ප්‍රතිසංස්කරන මාලාවක් ක්‍රියාත්මක කිරීමට, ධනේශ්වර ක්‍රමය හා ඇමරිකානු පාලක පන්ති අවශ්‍යතාවන්ගේ තිරිසර ආරක්ෂකයෙකු වූ, ෆ්‍රෑන්කලින් රූස්වෙල්ට් පොලඹවන ලද පසුබිම වූයේ එය යි.

ඊ ලඟ ප්‍රධාන සමාජ ප්‍රතිසංස්කරන, එනම් වැඩිහිටියන් හා දුප්පතුන් සඳහා ආන්ඩුවේ සෞඛ්‍ය වැඩසටහන් වන වෛද්‍යරක්ෂනය හා වෛද්‍යාධාර ව්‍යවස්ථා ගත කෙරුනේ, නැගෙන සමාජ අරගලයන් හා වැඩිවන දේශපාලන අතෘප්තියේ කොන්දේසි යටතේ ය. මෙය දැවන්ත මානව හිමිකම් ව්‍යාපාරයන්ගේ කාල පරිච්ඡේදයක් විය. එය හරයෙන් 1930ස් ගනන්වල කාර්මික වෘත්තීය සමිතිවල නැගීම ඇති කෙරුනු පන්ති අරගලයන්ගේ ව්‍යාප්තියක් වූ අතර එය සප්‍රානික කෙරුනේ, සමානාත්මතාවාදී ඌරුවෙනි. ආසියාව හා අප්‍රිකාව සෙල වූ යටත්විජිත විරෝධී අරගල සමග එය සම්පාත වුනි. ඇමරිකානු නගර සිසාරා පැතිරුනු නාගරික කැරලි, කාර්මික කම්කරුවන්ගේ සටන්කාමී වැඩවර්ජන හා යුද විරෝධී ව්‍යාපාරයන්ගේ පලමු ඇලලීම් එය සමග අත්වැල් බැඳ ගැනුනි.

එහෙත් එහි ගෝලීය ආර්ථික ආධිපත්‍යය හා දේශපාලන බලපෑමේ මුදුන් මට්ටමේ දී පවා, නිදන්ගත දරිද්‍රතාව, විරැකියාව හා පරිපීඩනය පරාජය කිරීමට ඇමරිකානු ධනවාදය අසමත් විය. 1964දී ලින්ඩන් බී ජොන්සන් ඔහුගේ “දරිද්‍රතාවට එරෙහි යුද්ධය” ප්‍රකාශ කල නමුත් ජාත්‍යන්තර හා අභ්‍යන්තර ප්‍රතිඝතිතා විසින් ඇමරිකානු ධනවාදය පසු බැස්සවීමත් සමග එය ඇද වැටුනි. එතැන් සිට, ඩිමොක්‍රැටික් පක්ෂය හා සමස්තයක් ලෙස ඇමරිකානු පාලක පන්තිය පෙර නො වූ ලෙස ප්‍රචන්ඩකාරීව දකුනට මාරු වී ඇති අතර ලිබරල් ප්‍රතිසංස්කරන පිලිබඳ සියලුම ප්‍රතිපත්ති අතහැර දමා ඇත.

පසු ගිය තිස් වසරේ කම්කරු පන්තියට එරෙහිව පාලක පන්තියේ කුරිරු ප්‍රහාර පෙරමුන ගෙන ඇත. 2008 ධනේශ්වර බිඳවැටීම ඉක්බිත්තේ, ඔබාමා පාලනාධිකාරය යටතේ එය උත්සන්න කෙරුනි. සෑන්ඩර්ස් නිතර ම සඳහන් කරන්නේ අද ඇමරිකාව තුල පොහොසත් ම පුද්ගලයන් 20දෙනාට ජනගහනයේ පතුලේ සියයට 50ට වඩා - පුද්ගලයන් මිලියන150කට වැඩි - ධනය හිමි වන බවයි. එහෙත් ඔහු වැලඳ ගන්නේ හා ප්‍රශංසා කරන්නේ කම්කරු පන්තියෙන් පොහොසතුන්ට ඉතිහාසයේ විශාල ම ධනය මාරු කිරීම අධීක්ෂනය කර ඇති ජනාධිපතිට ය.

18දා රාත්‍රියේ ඔහු පැවසූ පරිදි, “සැබෑ ම තත්වය නම්, මට සිතන්ට සිදුවන්නේ ජනාධිපති අසාමාන්‍ය ලෙස යහපත් කාර්යයක් ඉටු කර ඇති බව යි. අඩියෙන් අඩියට මම ඔහු සමග වැඩ කර තියෙනවා.”

මෑත දිනවල දී, පෝල් කෘග්මන් හා ජාර්ඩ් බරන්ස්ටීන් වැනි ක්ලින්ටන්ට පක්ෂ ආර්ථික විද්‍යාඥයින්, රජයේ පාසල්වල නිදහස් අමතර ඉගැන්වීම් හා ආන්ඩුව සපයන පොදු සෞඛ්‍ය රක්ෂනය වැනි සෑන්ඩර්ස්ගේ යෝජනවාලට පහර දී ඇති අතර ඒවා ප්‍රායෝගික නොවන හා සාක්ෂාත් කර ගත නො හැකි ඒවා ලෙස හඳුන්වා දී තිබේ. මෙය පාසල් වැඩසටහන් සඳහා “මුදල් නැතැ”යි යන සම්මත බොරුව මත පාදනම් ව, සෑන්ඩර්ට දකුනෙන් පහරදීමකි. කෙසේ නමුත්, එක් තීරනාත්මක නිරීක්ෂනයක දී කෘග්මන් හා අනෙකුත් අය නිවරැදි ය. ක්ලින්ටන්ට පක්ෂ විවේචකයින්ට අඩු නැතිව සෑන්ඩර්ස් පිලිගන්නේ ද ආරක්ෂා කරන්නේ ද පවතින ආර්ථික පද්ධතිය යි. එම ආරම්භක ලක්ෂ්‍යයෙන් ඉදිරියට යන ඔහුගේ ප්‍රතිසංස්කරන යෝජනා සැබවින් ම මනෝරාජිකය.

ධනේශ්වර පාලනයේ පදනම්වලට ඍජුව අභියෝග කරන මහජන අරගලවලින් පිටත අව්‍යාජ ප්‍රගිතිශීලී වෙන්සකම් ඇති කල ‍නො හැක.

සෑන්ඩර්ස්ගේ උපකල්පිත “සමාජවාදී” ආදර්ශ සම්බන්ධයෙන් ගත් විට - ඩෙන්මාර්ක් හා ස්වීඩන් - දෙරටට ම පසු ගිය දශක දෙක කාර්ය බහුල වී ඇත්තේ, දෙවැනි ලෝක යුද්ධයට පසු ස්ථාපිත කෙරුනු ශුභසාධන රාජ්‍ය ය අහෝසි කිරීම හා කම්කරු පන්තිය මත පෙරනො වූ විරූ කටුක කප්පාදු පියවර පැටවීම සමගිනි. සමාජ හා දේශපාලන ප්‍රතිගාමිත්වයට ඒවායේ හැරීම පෙන්නුම් කරන්නේ සරනාගතයන් ට එරෙහි ම්ලේච්ඡ ප්‍රහාරයන්ගෙනි. මැද පෙරදිග අධිරාජ්‍යවාදී යුද්ධ නිසා පලා යන පුද්ගලයන් 80,000ක සංඛ්‍යාවක් නෙරපන බව ගෙවී ගිය මාසයේ දී ස්වීඩනය නිවේදනය කල අතර ඩෙන්මාර්කය රැකවරන පතන්නන්ගේ වත්කම් පැහැර ගැනීමේ සැලැසුම් නිවේදනය කලේ ය.

සෑන්ඩර්ස් අසමානතාව, යුද්ධය හා මර්දනයට එරෙහිව කම්කරු පන්තියේ වැඩෙන විරුද්ධත්වය නියෝජනය නො කර යි. ඔහු මහජනතාව අතර ධනපති විරෝධී මනෝගතියේ වර්ධනය සංයෝජනය නො කරයි. ඔහු නියෝජනය කරන්නේ මෙම වර්ධනයන් කෙරෙහි පාලක පන්තියේ ප්‍රතිචාරය යි. ඔහුගේ කේන්ද්‍රීය දේශපාලන කාර්යය වන්නේ, ඩිමොක්‍රැටික් පක්ෂය පිටුපස සමාජ නොසංසුන්තාවය හරවා යැවීම මගින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක මතුවීම වැලක්වීම යි.

බැරී ග්‍රේ

Share this article: