චීනයේ ගැඹුරු ආර්ථික ගැටලු

China’s deep economic malaise

පීටර් සිමන්ඩ්ස් විසිනි , 2016 ජනවාරි 13

චීන කොටස් වෙලඳපොලේ පසුබෑම හා රෙන්මිම්බි මුදලේ අගය පහත වැටීම, වඩාත් ගැඹුරු ආර්ථික දුෂ්කරතාවන්ගේ ලක්ෂන බවට පවතින බිය හමුවේ, වර්ෂය ආරම්භයේ පටන් ගෝලීය කොටස් වෙලඳපොලවල ඇතිවෙමින් තිබෙන කැලඹීම් වෙතින් අවධානය, චීනය වෙත යොමුව තිබේ. කර්මාන්තයේ හා දේපොල වෙලඳපොලේ දැවැන්ත අධි ධාරිතාව ද නය ම්ට්ටමේ ඉහල අගය ද නිරාවරනය කරන චීන ආර්ථිකයේ මන්දගාමිත්වය, පන්ති අරගලයේ ඉහල නැඟීමක් පිලිබඳ තර්ජනය මතුකර තිබේ.

2015 වසරට ගනන් බලන ලද නිල වර්ධන අනුපාතය සියයට 6.9ක් වුවත් සැබෑ අගය සියයට 6.5ක් වනු ඇතැයි සැලකේ. එය 2010 පැවතියේ සියයට 10.6කය. එමෙන්ම එය වසර 25කට පසු පහලම අගයයි. එහෙත් බොහෝ විශ්ලේෂකයෝ රජයේ ගනන් හිලව් ගැන සැක පහල කරති. නිදසුනක් ලෙස පසුගිය සතියේ ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබුනු ආකාරයට, කන්සෙන්සස් ඉකොනොමික්ස් හි චීන කන්ඬායම ගනන් බලන ආකාරයට 2016 වර්ධන අගය සියයට 4.8කි.

ආර්ථිකයේ තත්වය පිලිබඳ වඩා නිවැරදි දැක්මක් සම්පාදනය කිරීමට අගමැති ලී කෙකියාන් විසින් නිර්මානය කරන ලද කෙකියාන් දර්ශකය දෙස බලන කල ආර්ථික පන්ඩිතයින්ට රජයේ ගනන් හිලව් පිලිබඳ ප්‍රශ්න මතුවෙයි. කෙකියාන් දර්ශකයේ අංඟ තුනක් වන, දුම්රියේ යන බඩු තොග, විදුලිබල නිෂ්පාදනය හා බැංකු විසින් නිකුත් කරන නය, යන සියල්ල පිරිහෙමින් ඇත. පසුගිය සතියේ කැයිසින් යන ව්‍යාපාරික සඟරාව වාර්තා කලේ, දුම්රියේ ප්‍රවාහනය කරන බඩු තොග, 2015 වසරේ සියයට 10.5න් වාර්තාගත ලෙස පහත වැටී ඇති බවය.

චීනයේ පසුබෑම, ගෝලීය පසුබෑම පිලිබඳ ප්‍රවනතාවේ නිර්මිතයකි. ධනවාදය පුනස්ථාපනය කිරීම හා පසුගිය දශක තුනක් තුල රට ප්‍රධාන ගෝලීය ලාභ ශ්‍රම වේදිකාවක් බවට පත් කිරීම, දැවැන්ත ආර්ථික ප්‍රසාරනයකට තුඩු දුන්නේය. අපනයනයන්ට පහර වැදී මිලියන 20ක් රැකියා විනාශ කල, 2008 ගෝලීය මූල්‍ය අර්බුදයට ප්‍රතිචාර වශයෙන් බීජිං තන්ත්‍රය, දැවැන්ත උත්තේජක පැකේජයක් හා ලාභ නය ප්‍රවාහයක් මුදා හලේය. එය වර්ධනයේ ඉහල අගයක් පවත්වාගෙන යාමට දායක විය. එහෙත් ආයෝජනය, නිෂ්පාදනය තිරසාර කිරීමට නොව, දැවැන්ත යටිතල ව්‍යාපෘතීන් හා සියල්ලටත් වඩා සමපේක්ෂනයේ උන්මාදයකට ද පසුව කොටස් වෙලඳපොලේ උත්පාතයකට ද තුඩු දුන්නේය.

ගෝලීය අර්බුදයෙන් ඉක්මන් ගොඩ ඒමකට හා ගෝලීය වර්ධනයේ අගය ඉහල නැංවීමට දායක වූ මෙම මූලෝපාය, දැන් දරන හැරීමට පටන්ගෙන ඇත. විශේෂයෙන්ම මූලික කර්මාන්තවල අධි ධාරිතාව නිරාවරනය කරමින් අපනයන එක දිගට පහත වැටේ. කොටස් වෙලඳපොල උතුරා යන අතර මිල ගනන් එක තැන පල් වෙයි. 2015 පලමු අර්ධය තුල හුස්ම අල්ලන තරම් ඉහල නැඟුන චීන කොටස් වෙලඳපොල, බිඳ වැටුනි. එය අස්ථාවරත්වයේ තවත් සාධකයක් බවට පත්ව ඇත.

ආර්ථිකය, නිෂ්පාදන අපනයනය කිරීමේ පදනමෙන්, දේශීය පාරිභෝජනය මත පදනම්වූ සේවා ආර්ථිකයකට “හැරවීම” සඳහා චීන ආන්ඩුව උත්සාහ කරයි. එහෙත් නව “ආකෘතිය” ප්‍රතිවිරෝධයන්ගෙන් ගහනය. දේශීය පාරිභෝජනය වැඩි කිරීම පිනිස අඩුම තරමින් වැඩකරන ජනතාවට ඉහල ආදායමක් ලැබිය යුතු අතර එය, අඩු වැටුප් මධ්‍යස්ථානයක් ලෙස චීනයේ තරඟකාරිත්වයට තවදුරටත් මඟ අවුරයි. තව ද චීන තන්ත්‍රය, වෙලඳපොල ගැති ප්‍රතිසංස්කරන වේගවත් කරන ලෙස ජාත්‍යන්තරව එල්ල වන දැඩි පීඩනයකට මුහුනපා සිටින අතර ඊට රාජ්‍ය ව්‍යවසායන් විශාල ප්‍රමානයක් වසා දැමීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලත්ය. එය විරැකියාව ඉහල යාමටත් දේශීය පාරිභෝජනය පහත වැටීමටත් තුඩු දෙයි.

“හැරවීම” පිලිබඳ මොන තරම් කයිවාරු තිබුනත් රට ක්‍රියාත්මක වන්නේ, ලෝක ආර්ථිකය තුල ලාභ ශ්‍රම වොදිකාවක් ලෙසය. නිෂ්පාදනය පිලිබඳ සියලු සංඛ්‍යාලේඛන අඳුරුය. විසින් පසුගිය මාසයේ නිකුත් කරන ලද ව්‍යාපාරික මනෝගතිය පිලිබඳ දර්ශකයට අනුව, චීනයේ කම්හල් සේවා නියුක්තිය 25 වන මාසයටත්, පහත වැටී ඇත. දෙසැම්බර් මාසය සඳහා නිකුත්වූ නිල නිෂ්පාදන මිලට ගැනීමේ කලමනාකරුවන්ගේ දර්ශකය (පීඑම්අයි) නොවැම්බරයට සාපේක්ෂව සුලු වර්ධනයක් (49.7) පෙන්වා ඇත ද රැකියා වර්ධනය සඳහා තිබිය යුතු 50 මට්ටමට වඩා පහල අගයකින් යුක්තය. කැයිසින්හි දෙසැම්බර් පීඑම්අයි දර්ශකයට අනුව එම අගය නොවැම්බරයේ පැවති 48.6 සිට 48.2 දක්වා පහත බැස තිබේ. එය එක දිගට 50ට පහත අගයක් පෙන්වා ඇති 10වන මාසයයි.

නොවැම්බරයේ පැවති සමුලුවකදී අගමැති ලී පැවසුවේ, සම්ප්‍රධායික කර්මාන්තවල මෙන්ම විශේෂයෙන්ම වානේ හා ගල් අඟුරු වැනි ඊනියා පාඩු ලබන ව්‍යවසායන්හි අධි ධාරිතාව කපා හැරීමට ආන්ඩුව අදිටන් කරගෙන සිටින බවය. කෙසේ වෙතත්, නැඟෙන සමාජ නොසංසුන්තාව පිලිබඳව ආන්ඩුවේ සෑම මට්ටමකම ඇති බිය පෙන්නුම් කරමින් මේ දක්වා, ඒ සම්බන්ධයෙන් පියවර ගෙන ඇත්තේ මඳ වශයෙනි.

පසුගිය මාසයේ නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය, නැඟෙනහිර චීනයේ ලොකුම ගල් අඟුරු සමාගම වන ලෝංග්මේ සමූහයේ ඉරනම පිලිබඳව වාර්තාවක් පල කලේය. ඒ අනුව සමාගම නඟර හතරක ඇති සිය පතල් 42ක ශ්‍රම බලකායෙන් සියයට 40ක් වන කම්කරුවන් 100000කගේ රැකියා කැපීමේ සැලසුම්, පසුගිය සැප්තැම්බරයේදී නිවේදනය කර තිබුනි. එහෙත් හෙලොන්ග්ජියෑන් ප්‍රාන්ත ආන්ඩුව සතු සමාගම, රැකියා කප්පාදුව කල් දැමීය. වයස්ගත කම්කරුවන් කිහිප සීයක් ඉවත් කරන ලද නමුත් ප්‍රාන්ත බලධාරීන් සමාගමේ ක්ෂනික නය ගැටලු විසඳාගැනීම පිනිස ඩොලර් මිලියන 600ක කෙටි කාලීන නයක් සැපයීමට පියවර ගත්තේය.

ICIS C1 Energy සමාගමේ ඩෙන් ෂුං නිව් යොර්ක් ටයිම්ස් පත්‍රයට පැවසුවේ, “ඔවුහු සමාජ නොසංසුන්තාව පිලිබඳව කනස්සලු වෙති. එබැවින් ඔවුහු සියල්ල ප්‍රමාද කරති. මෙම දොට්ට දැමීම් සිදුවිය යුතුව තිබුනේ දෙවසරකට පෙරාතුවය.” එහෙත් සමූහ වශයෙන් රැකියා වලින් නෙරපීමට එරෙහිව ඒ වන විටත් විරෝධතා පැනනැඟී තිබුනු තතු තුල ප්‍රාන්ත ආන්ඩුව අඩිය පස්සට ගත්තේය. අප්‍රේල් මාසයේදී හෙගෑන්ග් නඟරයේ වැටුප් ප්‍රමාද කිරීමට එරෙහිව පෙලපාලි පැවැත්වුනි. සංවිධායකවරු අත්අඬංඟුවට ගෙන සිරගත කරන ලදී. ඔක්තෝබරයේදී සමාගමේ කලමනාකරනය කම්කරුවන් නියමිත පෙලපාලියට සහභාගී වීම වැලැක්වීම පිනිස ඔවුන් පතල්වල සිර කරන ලදී.

පුලුල් වන සේවා අංශයේ රැකියා සැපයෙනු ඇතැයි යන්න මිත්‍යාවක් බව පතල් කම්කරුවෝ දැන සිටිති. හෙලොන්ජියෑන් චීනයේ ආර්ථික වශයෙන් වඩාත්ම පීඩාවට පත්ව ඇති ප්‍රාන්තයයි. එය දැනටමත් පසුබෑමට මුහුනපා සිටියි. පසුගිය වසරේ පලමු කාර්තු තුන තුල ඊට පෙර වසර හා සසඳන කල ආර්ථික නිමැවුම සියයට 2.2න් පිරිහී ඇත.

කම්කරු පන්තියේ නොසතුට හා කෝපය, හිටපු පතල් කම්කරුවෙක් හා දැන් කුලී රථ රියැදුරෙකු නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයට දුන් ප්‍රකාශයකින් හෙලි විය. “ 1990 ගනන් වල සෑම දෙනාම දුප්පතුන් විය. දැන් පොහොසතුන් බෙහෙවින් පොහොසත් අතර දුප්පතුන් බෙහෙවින් දුප්පත්ය. රැකියා වලින් නෙරපීම නිසා සෑම කෙනෙක්ම අසහනයට පත්ව සිටී. පතල් වලින් පිටස්තරව කිසිවෙකුටත් පැවැත්මක් නැත. නව වසරේ නිවාඩු සමය එලඹෙමින් තිබියදී හෙගෑන්ග්හි ඇත්තේ ව්‍යසනයකි.”

එය පතල් කම්කරුවන්ට පමනක් සීමාවී නැත. විශාල වශයෙන් රැකියා අහිමි වීමට මුහුනදී සිටින මූලික කර්මාන්තයේ කම්කරුවන්ට ද සීමාවී නැත. පසුගිය මාසයේ සවුත් චයිනා මෝනිං පෝස්ට් පත්‍රයට ලියමින් විශ්ලේෂකයෙකු වන ඇන්ඩි සී පැවසුවේ, “2009 වසරේ පටන් චීන අධි ආයෝජනය, යුවාන් ට්‍රිලියන 40ක් හෙවත් ඩොලර් ට්‍රිලියන 6.1ක් වනු ඇත. එය භෞතික වශයෙන් ප්‍රකාශිත වන්නේ, හිස් ගොඩනැඟිලි හා කාර්මික අධි ධාරිතාව තුලය.” යනුවෙනි.

වානේ කර්මාන්තයේ අධි ධාරිතාව ටොන් මිලියන 200-400 අතර ප්‍රමානයකි. එය වෙනත් ඕනෑම රටක මුලු නිෂ්පාදනයට වඩා වැඩිය. ඒ ගැන සඳහන් කරමින් සී පැවසුවේ, “අසාධ්‍ය තත්වය භාන්ඬ නිෂ්පාදනය කරන සියලු කර්මාන්තයන්ට පොදු දෙයකි. ස්මාට් ෆෝන්ස් නිෂ්පාදනය වැනි නව කර්මාන්ත දැනටමත් විශාල අධි ධාරිතාවකට මුහුනපා ඇත. විදුලි ජනක ටර්බයින් යන්ත්‍ර පවා පාවිච්චියට නොගන්නා තරම්ය.”

චීන යකඩ හා වානේ සංඟමය වාර්තාකර තිබුනේ, 2015 පලමු මාස 11 තුල, විශාල හා මධ්‍යම තරමේ වානේ කම්හල් යුවාන් බිලියන 53.1ක් හෙවත්, ඩොලර් බිලියන 8.18ක් පාඩු ලබා ඇති බවයි. වූහාන් යකඩ හා වානේ සමාගම පසුගිය මාසයේ නිවේදනය කලේ, මාස තුනක් ඇතුලත තමන් රැකියා 6000ක් අහෝසි කරන බවයි. එහි මව් සමාගම 2016 වසර තුල, රැකියා 11000ක් අහෝසි කර වැටුප් මට්ටම සියයට 20න් කපා හරිනු ඇත.

අනෙකුත් කර්මාන්තවල ප්‍රතිව්‍යුහකරනය දැනටමත් සිදුවෙමින් තිබේ. පසුගිය මාසයේදී චීනයේ ලොකුම නැව් සමාගම් දෙකක් ඒකාබද්ධවූ අතර සමාගමේ ලොකුම දුම්රිය මෙවලම් නිෂ්පාදකයින් වන සීඑන්ආර් හා සීඑස්ආර්, වසර මුල ඒකාබද්ධ කරනු ලැබින.

“අදෘෂ්‍යමාන විරැකියාව” ලෙස හඳුන්වන, කම්කරුවන්ට කරන්නට ඒ හැටි වැඩක් නොතිබුනත්, ඔවුන්ගේ නම් සමාගම් ලේඛනයන්හි පවත්වාගෙන යෑම, අහෝසි කිරීමේ අවශ්‍යතාව ගැන චීන පාලක කවයන් තුල වාද කෙරෙමින් තිබියදී, නුදුරු අනාගතයේදී විශාල වශයෙන් රැකියා අහෝසි වනු ඇත. ආන්ඩුව ඉහල නඟින නය බරකට කර ගසා සිටින අතර ඒවායින් වැඩි කොටසක් ඒකාග්‍රවී ඇත්තේ ප්‍රාෙද්ශීය ආන්ඩුවලය. ඒවා යොදාගනු ලැබුනේ, ලෝංග්මේ වැනි “අසාර්ථක සමාගම්” පවත්වාගෙන යාමට හා යටිතල ව්‍යුහ ව්‍යාපෘතීන් හි ආයෝජනය කිරීමටය. පසුගිය සිව් වසර තුල රටේ නය බර දදේනි අනුපාතයක් ලෙස සියයට 50න් ඉහල ගොස් ඇත.

චීනයේ සමාජ විද්‍යාව පිලිබඳ ඇකඩමියේ වාර්ෂික පුරෝකථන වාර්තාවෙන් ඉල්ලා සිටින්නේ, ආන්ඩුව විසින් 2016දී, “අදෘෂ්‍යමාන විරැකියාව” දෘෂ්‍යමාන කල යුතුව ඇතැයි යන්නය. ඒ තව තවත් සමාගම් වැසී යන තත්වයකි. සෝසියටි ජෙනරල්හි මූලෝපායඥ වේ යෝ, නොවැම්බරයේදී පල කල සටහනකට අනුව, මෙහි ආරම්භක වටයේදී කම්කරුවන් මිලියන 1.7කගේ රැකියා අහෝසි වේ. “චීනයේ දැවෙන ආර්ථික ප්‍රශ්න වන, එල්බී තිබෙන ප්‍රාග්ධන අව භාවිතය, අකාර්යක්ෂම වත්කම් වර්ධනයවීම හා පලදායිතාව පහත වැටීමට” විසඳුම ලෙස එය ඉදිරිපත්කොට තිබේ. වෙනත් වචන වලින් කිවහොත්, ලොව පුරාම සිදුවන පරිදි, රැකියා හා ජීවන තත්වයන් විනාශ කිරීම හරහා අර්බුදයේ බර චීන කම්කරුවන් මත පැටවෙන්නේය යන්නයි.

පසුගිය වසරේ හේලොන්ජියෑන් ප්‍රාන්තයේ ඇතිවූ ලෝන්ග්මේ කම්කරු විරෝධතා, තියුනු වන පන්ති ආතතිය පිලිබඳ එක් ඇඟවුමක් පමනි. චයිනා ලේබර් බුලටිනයට අනුව, වැඩවර්ජන හා විරෝධතා, 2014 පැවති 1379 සිට 2015දී 2774 දක්වා වැඩිවී ඇත. ඉන් වැඩිම සිදුවීම් වාර්තාවී ඇත්තේ දෙසැම්බර් මාසය තුලය. බොහෝ අරගල, මාස ගනන් වැටුප් නොගෙවීම්වලට එරෙහි වර්ජනයන්ය. ඉදිකිරීම් කර්මාන්තයට පොදු දෙයක් වී ඇති මෙය දැන් නිෂ්පාදන, පතල් හා සේවා අංශ කරා ද පැතිරෙමින් තිබේ.

කිසි ලෙසකින් හෝ පරිපූර්න නොවන සංඛ්‍යා වුවත් ඇඟවුම් කරන්නේ, තන්ත්‍රය නිරතුරුව රාජ්‍යයට බැඳුනු වෘත්තීය සමිති හා පොලිස් රාජ්‍ය ක්‍රමවේද තුලින් මැඬලීමට උත්සාහ කරන කම්කරු පන්තියේ වැඩෙන නොසංසුන්තාවයි. චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය අරක්ගෙන ඇති බිය, ගනන් බලා ඇති මිලියන 400ක් වන දැවැන්ත කම්කරු පන්තිය, මෙම විලංඟු බිඳ හෙලමින් බලය දරා සිටන තන්ත්‍රයේ ග්‍රහනය දුබල කිරීමේ හැකියාව පිලිබඳවයි.

Share this article: