නියුරෙම්බර්ග් නඩු විභාගවලින් 70 වසරකට පසු- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

නියුරෙම්බර්ග් නඩු විභාගවලින් 70 වසරකට පසු

Seventy years since the Nuremberg Trials

වෙරීනා නීස් විසිනි, 2015 දෙසැම්බර් 3

නියුරෙම්බර්ග් නඩු විභාගය ආරම්භවු 70 වන සංවත්සරය නොවැම්බර් 20දාට යෙදී තිබුනි. කිව නොහැකි තරම් අපරාධ හා මිලියන සංඛ්‍යාත මරනවලට වගකිවයුතු ඉහල පෙලේ නාසි නිලධරයන් 21 දෙනෙකු නියුරෙම්බර්ග්හි අධිකරන මාලිගයේ (Judicial Palace) නඩු කාමර අංක 600 හි විත්තිකරුවන් සේ චෝදනා ලැබ සිටියහ.

නියුරෙම්බර්ග් අධිකරන මාලිගය

හිට්ලර්, හිම්ලර් සහ ගොබෙල්ස් ඒ වන විටත් නඩු විභාගයට ලක්වීම මගහැරීම පිනිස දිවි නසා ගෙන තිබුනි. මාර්ටින් බෝමන් අල්ලා ගත නොහැකි වීමෙන් නඩු විභාගයට මුහුන නොපෑව ද වරදකරු කරනු ලැබ සිටියේ ය. මුලින් චෝදනාවලට ලක්වූ තවත් නාසි නිලධාරීන් දෙදෙනෙකුවූ, ජර්මන් කම්කරු පෙරමුනේ නායක රොබට් ලේ , මහා ආයුධ ව්‍යාපාරික ගුස්ටාෆ් ක්රුප් ෆොන් බොලන් අන් හැල්බැක් ද උසාවියේ පෙනී නොසිටියහ. විභාගයට පෙරදින ලේ සිය දිවි හානි කරගත් අතර ඔත්පලව සිටි වයෝවෘද්ධ කෘප් නඩු විභාගයට මුහුන දිය හැකි තත්ත්වයක නොවීය.

කෙසේ වුව ද කාමරය තුල සිටි නාසි ප්‍රධානීන්ගේ නම් ඇසූ පමනින් ඇඟ කිලිපොලා යන අතර නඩු විභාගයේ වැදගත්කම ද සලකුනු කලේය. නාසි රාජ්‍යයේ දෙවන බලධරයා වූ “රයික්ස් මාර්ෂල්”හර්මන් ගෝරිං පසෙකින්, “නියෝජ්‍ය ෆියුර”(ෆියුර -නායකයා -හිට්ලර්ගේ පදවිය) රැඩොල්ෆ් හෙස් , විදේශ ඇමැති ජෝකිම් ෆොන් රිබන්ට්‍රොප්, ‍වෙයර්මාක්ට් හි (ජර්මානු හමුදාවේ ) ඉහලම අනදෙන නිලධාරී විල්‍හෙල්ම් කයිටල්, ආරක්ෂක පොලිසියේ ප්‍රධානී අර්නස්ට් කොල්ටර් බෘනර්, යටත් කොට ගත් පෝලන්තයේ පරපීඩාකාමී අන දෙන්නාවූ හෑන්ස් ෆ්‍රෑන්ක්, බ‍ලෙන් වැඩ ගන්නා කම්කරුවන් පිටුවාහල් කිරීමේ වගකීම දැරූ ෆ්‍රිට්ස් සෝකල්, පක්ෂ න්‍යායාචාර්ය සහ නැගෙනහිර ප්‍රදේශය සඳහා ඇමති ඇල්ෆ්‍රඩ් රොසන්බර්ග්, ස්ටර්මර් නම් නාසි පුවත්පතෙහි කර්තෘ ජූලියස් ස්ට්‍රයිකර් සහ තවත් අය ද වාඩිවී සිටියහ.

1945 නොවැම්බර් 20 දින සිට 1946 ඔක්තෝබර් 1 දා තෙක් මරන දන්ඩන ගනනාවක් පැන වීමෙන් අවසන්වුනු පලමුවන නියුරෙම්බර්ග් නඩු විභාග ස්මරනය කරන්නාවූ ප්‍රදර්ශන සහ වෙනත් සිදුවීම් ගනනාවක් පැවැත්වුනි. “නියුරෙම්බර්ග් විභාග ස්මරනය” නම් වූ ප්‍රදර්ශනය , ඇසින් දුටු සාක්ෂි කරුවන් තිදෙනෙකුට සාකච්ඡා මන්ඩපයකට පැමිනෙන ලෙස නොවැම්බර් 20 දා ආරාධනය කලේ ය. ඔවුහු භාෂා පරිවර්තකයෙකු (ජෝර්ජ් සකීම් ), ප්‍රධාන චූදිතයාගේ ආරක්ෂයෙකු (මොරිස් ෆක්ස්) සහ ප්‍රංශ ජාතික විනිශ්චයකරුගේ සහායකයෙකු (ඊව්ස් බයිග්බෙඩර්) ලෙස සේවය කලෝ වූහ. ඔවුන් තමන්ගේ අත්දැකීම් විස්තර සහිතව ඉදිරිපත් කරන ලදි.

ජෝර්ස් සකීම්

හැම්බර්ග්හි යුදෙව් ජාතික නාට්‍ය රචක ආතර් සකීම්ගේ පුත් පලස්තීනයේ සහ නිව්යෝර්ක්හි පිටුවහලේ හැදී වැඩුනු ජෝර්ජ් සකීම්ට නාසි අපරාධ කරුවන් කිට්ටුවෙන් නිරීක්ෂනය කිරීමේ අවස්ථාව ලැබී තිබුනි. නඩු අසද්දී ඔහු, පරිවර්තන කටයුතුවල නිරතවූ අතර ගෝරිං ද ඇතුලු තවත් අයගෙන් ප්‍රශ්න කිරීම ඔහු නිරීක්ෂනය කලේ ය. සියලු වරද හිට්ලර් මත පැටවීමට ගෝරිං උත්සාහ කල අතර, ෆක්ස් කියා සිටි ලෙස, “ජේත්තුකාරයෙක්” ලෙස තමාව නිරූපනය කර ගත්තේ ය.

අවුෂ්විට්ස් අනදෙන්නාවූ රුඩොල්ෆ් ‍හොස් ගේ දසුනෙන් ඇතිවූ තිගැස්ම අද දක්වාම සකීම්ගේ මතකයේ රැඳී තිබේ. අර්නස්ට් කොල්ටන් බෘනර්ගේ නීතිඥයා, සමූහ ඝාතකයා “විත්තියේ සාක්ෂි කාරයෙකු” ලෙස කැඳවූ අතර හරස් ප්‍රශ්න ඇසීමේදී සකීම් භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කලේ ය. “අතිශයින් දූෂිත හා පිරිහුනු පුද්ගලයෙකුවූ ඔහු “අවුෂ්විට්ස් හි තිරිසන් මෙන්ම පරපීඩාකාමී සමූලෝත්පාටන ක්‍රම, අයිස් මෙන් සීතල ස්වරයෙන් විස්තර කරමින් දිනපතා දස දහස් ගනනින් ඝාතනය කිරීම සඳහා අන දුන් අයුරු පැවසුවා”.“ඒ අවධියේ මගේ වයස අවුරුදු 22ක් විතරයි. ඒවා දරා ගැනීම මට හුඟක් අමාරු වුනා”.

නඩුවේ විනිශ්චයන් පසුව අසන්නට ලැබුනු කල අනෙක් දෙදෙනා මෙන්ම සකීම් ද මහත් අස්වැසුමක් ලැබීය. අවම වශයෙන් කෲරතම නාසීන්ගෙන් සමහරකට යුක්ති සහගත දඬුවමක් ලැබුනි. වර්තමානය පිලිබඳ ඔහුගේ නිගමන විමසන ලදුව සකීම් පැවසුවේ, ‍"හැම දෙයකටම වඩා තරුනයන්ට මා දෙන අවවාදය නම් නැවත කිසිදා එවන් ඒකාධිපතිත්වයකට ඉඩ දෙන්න එපා. මුල් අවධියේම එවැන්නක් නවතා දැමීම සහතික කර ගන්න” යනුවෙනි.

නියුරෙම්බර්ග් නඩු විභාග අනුස්මරනය සදහා ප්‍රදර්ශනය

ප්‍රදර්ශනය තුල පසුබිමෙහි, මූලික (original) චුදිතයන් වාඩිවී සිටි බංකු සහ ප්‍රදර්ශනය කරමින් පවතින චිත්‍රපට

එම ගොඩනැගිල්ලේම වසර 5 කට පෙර විවෘත කල අනුස්මරන ප්‍රදර්ශනය , ප්‍රධාන යුද අපරාධ කරුවන්ගේ නඩු විභාග මතකයට කැඳවයි. නඩු විභාගයේ දිග හැරුම , චූදිතයන් සහ ඔවුන්ගේ නීතිඥයන් ,උසාවියට ලැබී තිබුනු ලිය කියවිලි සහ සාක්ෂි කරුවන් සහ ජාත්‍යන්තර ප්‍රතිචාරය ආදිය පිලිබඳව සවිස්තරාත්මක තොරතුරු එහි ඇතුලත් ය. නඩු විභාගය පිලිබද මූලික චිත්‍රපටිය තමාගේ නිර්දෝශීභාවය ප්‍රකාශ කිරීම සදහා චූදිතයන් එකා පසුපස එකා නැගී සිටි අයුරු පෙන්වයි. චූදිතයන් අසුන් ගෙන සිටි මූලික බංකු දෙකද දැක ගැනීමට ඇත.

වෛද්‍යවරු, ජූරි සභිකයන්, අයි.ජී.ෆාබන් නම් ව්‍යවසායේ ප්‍රධානියා බඳු ව්‍යාපාරිකයන්, ජනරාල් වරුන් සහ අනෙකුන් වගවීමට බඳුන් කල, පසුව පැවැත්වූ නඩු විභාග 12 ද ඊට අමතරව ජපන් යුද අපරාධ කරුවන්ද විභාගයට බඳුන් කල නඩු විභාග ද ලේඛනාරූඩ කර ඇත.

කාමරයෙන් කොටසක් ෆෙඩරල් සමූහාන්ඩුව (බටහිර ජර්මනිය), නාසි අතීතය සමග ගනු දෙනු කල ආකාරය දැක්වීමට යොමුකර ඇත. “ජයග්‍රාහකයන්ගේ යුක්තිය ”මැයෙන්වූ පාඨය යටතේ මාධ්‍යවේදීන් සහ දේශපාලකයන් නියුරෙම්බර්ග් විභාග හෙලා දුටු අතර නාසීන්ගේ අපරාධ තව දුරටත් පරීක්ෂා කිරීම ජර්මන් විනිශ්චය කරුවන් විසින් වලක්වාලන ලදි. 1979 දී පවා නාසි ඝාතන ගැන පනවා තිබූ නීතිමය සීමාවන් ඉවත් කිරීම බුන්ඩස්ටාගයෙන් (පාර්ලිමේන්තුව) සම්මත වූයේ පක්ෂව 255ක් හා විපක්ෂව 222ක් ලෙස ඉතා කිට්ටු ඡන්දයකිනි. පාර්ලිමේන්තු මහජන ගැලරියේ සිටි නාසි සිර කඳවුරු වල සිට දිවි ගලවා ගත්තවුන් මහත්සේ කැලඹෙනු දක්නට ලැබුනි.

1979 බුන්ඩස්ටාගයේ පැවැති සීමායන ආයාමය (statute of limitation) පිලිබඳ විවාදය

ප්‍රදර්ශනයේ ප්‍රධානී හෙන්රික් ක්ලෝසන් සහ ඇයගේ අධ්‍යාපන උපදේශිකා ඇස්ට්‍රිඩ් බෙට්ස් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පවසා සිටියේ යෞවනයන් ද ඇතුලු නරඹන්නන් සංඛ්‍යාව වර්ධනයවීමක් තමන් දැක ඇති බව යි. පසුගිය වසර පහ තුල නරඹන්නන් 370,000 ක් ආකර්ෂනය කර ගැනීමට ඔවුන් සමත්වී ඇත. මෙයට හේතුව වත්මන් යුද්ධ බවත් ඒවා යුක්රේනයේ සිද්ධීන්, සරනාගත අර්බුදය හා වඩාත් මෑතකදී පැරිස් ප්‍රහාරවලින් පසුව අප වෙත වඩාත් ලංවී ඇති බව බෙට්ස් කීවා ය. “නියුරෙම්බර්ග් නඩු විභාග තවදුරටත් ඓතිහාසික සිද්ධියක් පමනක් නොවේ, හුදෙක් ඉතිහාසය ම පමනක් නොවේ ” ක්ලෝසන් සඳහන් කලා ය

>ආක්‍රමනකාරී යුද්ධයට දඬුවම් ලබා

ඇත්ත වශයෙන්ම නියුමේබර්ග් විභාග විශාල ඓතිහාසික වැදගත්කමක් දැරුවේ ය. ප්‍රථම වතාවට දේශපාලකයන් සහ මිලිටරි නිලධාරීන්, ඔවුන් ප්‍රධාන භූමිකාවක් රඟපෑ රාජ්‍යයන් විසින් සිදුකල අපරාධ සඳහා වගවීමට ලක් කරන ලදි. ඔවුන්ගේ ක්‍රියාවන් නීත්‍යානුකූල කල, ජාතික නීති වල හෝ ආන්ඩුව හෝ තමන්ගේ ඉහල නිලධාරීන් නිකුත්කල අන දීම් වල හෝ පිටුබලය ‍මත යැපීමට ඔවුන්ට නොහැකි විය. තමුන් දුන් අන පිලි පැද්දා පමනි යන සාධාරනකරනය මත බොහෝ නාසීන්ට නිදැල්ලේ යෑමට ඉඩ සලසා දුන්, පසු කාලීන ෆෙඩරල් ජනරජයේ නීතිමය තීන්දු වලට වඩා මෙය හාත්පසින් වෙනස් වේ.

පැමිනිල්ලේ ප්‍රධාන නීතිඥයාවූ රොබට් ජැක්සන් 1945 නොවැම්බර් මස 21 දින ඔහුගේ ලෝක ප්‍රසිද්ධ හැඳින්වීමේ කථාව තුල පැහැදිලි කල පරිදි, “අප හෙලාදැකීමට හා දන්ඩනයට ලක් කිරීමට බලාපොරොත්තුවන මෙම වැරදි කෙතෙක් ගනන් බලා සිදුකලා ද කොතෙක් විසකුරු ද සහ කොතෙක් විනාශකාරී ද යත් ඒවා නොතකා සිටීම ශිෂ්ඨාචාරයට දරාගත නොහැකි ය. මක් නිසාදයත් ඒවායේ පුනර්කරනය මගින් එය (ශිෂ්ඨාචාරය) අහෝසිවීම වැලැක්විය නොහැකි වන නිසා ය”. වැඩිදුරටත් ඔහු පැවසූ පරිදි, ”අද දින අප මෙම චූදිතයන් විනිශ්චයට ලක් කරන වාර්තාව, හෙට දින ඉතිහාසය විසින් අපව විනිශ්චය කරනු ලබන වාර්තාව වන බව අප කිසිදා අමතක නොකල යුතු ය.”

චිත්‍රපටය ප්‍රක්ෂේපනය කරද්දී (ගෝරිං සිටගෙන) මූලක චුදිත බංකු පසු බිමෙහි දිස් වේ

යුද අපරාධවලට දඬුවම් කිරීම එල්ල කරගෙන , පලමු වන ලෝක සංග්‍රාමයට පෙර හේග් සම්මුතියේ සිට බල පැවත්වූ අන්තර් ජාතික නීතිය, නියුරෙම්බර්ග්හිදී මතු දැක්වෙන වැරදි සඳහා ද චෝදනා ගොනුකල හැකි වනසේ පුලුල් කරන ලදි:“සාමයට එරෙහි අපරාධ ”, “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ” සහ “නම් කරන ලද අපරාධ සඳහා නඩු පවරනු ලැබීමෙන් වැලකී සිටීමට කුමන්ත්‍රනය කිරීම”. සෝවියට් රුසියාව, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ නියොජිතයන් මෙකී මූලධර්ම සඳහා 1945 අගෝස්තු 8 දින දරන ලන්ඩන් ආඥා පනත මගින් එකඟත්වයට පැමුනුනෝ ය. නියුරෙම්බර්ග් නඩු විභාග වලින් පසුව මෙකී වැරදි, එක්සත් ජාතීන්ගේ මානුෂීය අයිතිවාසිකම් කොමිසම විසින් 1950 ජූලි මස 29 දා සම්පින්ඩනය කල නියුරෙම්බර්ග් මූලධර්ම තුල ස්ථාපිත කරන ලදි.

ආක්‍රමනකාරී යුද්ධයක් සූදානම් කිරීම හා මෙහෙයවීම අන්තර් ජාතික නීතිය යටතේ අපරාධයක් ලෙස, මෙම ලියවිල්ල (ඉතිහාසයේ) ප්‍රථම වතාවට ප්‍රකාශයට පත් කලේ ය. A කාන්ඩයේ 6 වන මූලධර්මය ප්‍රකාශ කරන පරිදි, “මතු දැක්වෙන අපරාධ අන්තර්ජාතික නීතිය යටතේ අපරාධ සේ දන්ඩනයට ලක් කල හැක.

“සාමයට එරෙහි අපරාධ

i. ආක්‍රමනකාරී යුද්ධයක් හෝ අන්තර්ජාතික ගිවිසුම් , එකඟතාවන් හෝ සහතික කිරීම් කෙලෙසන යුද්ධයක් , සැලසුම් කිරීම, සුදානම් කිරීම, ආරම්භ කිරීම හෝ මෙහෙයවීම;

ii. ( i) යටතේ සඳහන් කරන ලද කිසියම්ම හෝ ක්‍රියාවක් සාක්ෂාත් කර ගැනීම සඳහා සිදුකරන පොදු සැලසුමකට හෝ කුමන්ත්‍රනයකට සහභාගී වීම."

දින 218 ක නඩු විමසීමකින් පසුව ප්‍රධාන නියුරෙම්බර්ග් නඩුවේදී, 1946 ඔක්තොබර් මස 1 වනදා මරන දඬුවම් 12ක් , ජීවිතාන්තය දක්වා සිර දඬුවම් 3ක් ,දීර්ඝ කාලීන සිර දඬුවම් 4ක් සහ නිවරදි කරුවන් යැයි තවත් තීන්දු 3ක්, උසාවිය විසින් නියම කරන ලදී. මරන දන්ඩනය නියම කරන ලද්දවුන් 1946 ඔක්තෝබර් 16 දා එල්ලා මරන ලදි. හර්මන් ගෝරිං ඔහුගේ මරන දන්ඩනය ක්‍රියාත්මක කිරීමට ආසන්නව තිබියදී තම සිර කුටිය තුලදී දිවි තොර කර ගත්තේ ය.

තවත් නඩු විභාග 12ක් 1946 දෙසැම්බර් හා 1949 අප්‍රේල් අතර පැවැත්වින. මුල් නඩු විභාගය මෙන් නොව මේවා මුලුමනින් ම එක්සත් ජනපද මිලිටරි විනිශ්චය මන්ඩල ඉදිරියේදී පැවත්වුනු අතර ප්‍රකාශ කල දඬුවම් සැලකිය යුතු ප්‍රමානයකට ලිහිල් වූවා සේම, ක්‍රියාත්මක කිරීම ද ඕනෑවට එපාවට මෙන් සිදු විය.

නියුරෙම්බර්ග් මූලධර්ම, සීතල යුද්ධ සමයේ ආරම්භයත් සමගම ප්‍රකාශයට පත්වූ අතර එම අවධියේ සිදුවූ යුද්ධ සහ මහා පරිමාන මිනිස් ඝාතන සඳහා තව දුරටත් පිලිපැද්දේ නැත. උදාහරන කීපයක් පමනක් දක්වන්නේ නම්, වියට්නාමයේ ප්‍රංශ හා ඇමරිකානු අපරාධ හෝ 1965-1966 දී බටහිර පිටුබලය ලැබූ ඉන්දුනීසියානු ඒකාධිපති සුහර්තෝ විසින් සිදු කරනු ලැබූ, කම්කරුවන් සහ කොමියුනිස්ට්වාදීන්ගේ සමූහ ඝාතන හෝ පරීක්ෂා කිරීම සඳහා කිසියම් අන්තර් ජාතික නඩු විභාග පැවැත්වූයේ නැත.

නියුරෙම්බර්ග් මුලධර්ම කීපයක් එක්සත් ජාතීන් නැවත ඉදිරියට ගන්නේ 1990 ගනන්වල පමනි. කෙසේ වෙතත් 1993 දී පැරනි යුගෝලාවියාව සඳහා ද 1994 දී රුවන්ඩාව සඳහා ද අන්තර් ජාතික අපරාධ විනිශ්චය මන්ඩලයක් ස්ථාපනය කරන ලද්දේ වුව ද මේවා තනිකරම එල්ල කරන ලද්දේ, සාමාන්‍යයෙන් අප්‍රිකාවේවූ, කුඩා රටවල රජයන් හා ඒකාධිපති පාලනයන් කෙරේ ය. එක්සත් ජාතීන්ගෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන හේග්හි අන්තර් ජාතික අපරාධ අධිකරනයට ද මෙය සාධාරන වේ. මෙම අධිකරනය 1998 රෝම ප්‍රඥප්තිය මගින් ස්ථාපනය කරනු ලැබුවේ වුව ද එක්සත් ජනපදය, රුසියාව, ඉන්දියාව, චීනය හා ඊශ්‍රායලය වැනි ප්‍රබල රටවල් ගනනාවක් එය පිලිගැනීම ප්‍රතික්ෂේප කර ඇත. ඊට පුරසාරම් කියා පෑ හැකි විශාලතම සාර්ථකත්වය වන්නේ , මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සඳහා සුඩානයේ ජනාධිපති ඕමාර් අල් බෂර් අත් අඩංගුවට ගැනීම පිනිස වරෙන්තුවක් නිකුත් කිරීම පමනකි.

පසුගිය අවුරුදු 15 පුරා එක්සත් ජනපදය හා එහි යුරෝපීය සහචරයන් විසින් ඇෆ්ගන්ස්ථානයේ, ඉරාකයේ, ලිබියාවේ සහ සිරියාවේ යලි යලිත් ආක්‍රමනකාරී යුද්ධ හා කුලීකාර යුද්ධ මගින් සිදුකල, සෑම අතකින්ම 6(A), මූලධර්මයේ මිනුම් දඩු සපුරාලන, ලේ වැකි “සාමයට එරෙහි අපරාධ” හේග්හි විමර්ශනයට පාත්‍ර නොවින.

Share this article: